මිනී මරුවන්ට පොදු සමාවක් දෙන්න අගමැති ඩී.එස්. අකමැති වෙයි


වසර 70ක් පිරෙන වයිට් හවුස් මංකොල්ලය-3 

 

වයිට් හවුස් මිනීමැරුම සහ මුදල් කොල්ලයත් එක්කම කියැවෙන්නේ “හාර ලක්‍ෂයේ මංකොල්ලය”යයි. මේ දෙකම එකක් බවට බොහෝ දෙනෙකු පටලවා ගනිති. වයිට් හවුස් නඩුවෙන් එල්ලුම්ගස් ගිය ලෑතර බාස් නොහොත් ඒ.ආර්. පීටර් පෙරේරා නිදහස් කර ගැනීමට ඔහුගේ මස්සිනා වන ජේමිස් සෙනෙවිරත්න හාර ලක්‍ෂයේ මංකොල්ලය සැලසුම් කරයි. ටර්ෆ් ක්ලබ් කොල්ලය කියන්නේ ද හාරලක්‍ෂ මංකොල්ලයට මය. 

අප ගෙවුණු දෙසතියේ කතා කළේ වයිට් හවුස් මිනීමැරුම සහ මුදල් කොල්ලය පිළිබඳවයි. වයිට් හවුස් සිද්ධියේ වරදකරුවන් වූ චුදිතයන් “හාරලක්‍ෂ මංකොල්ලයට” සම්බන්‍ධයක් නැත. 


නමුත් ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසය තුළත් පොලිස් අපරාධ විමර්ශනවලත් ඉතා වැදගත් වූ සංසිද්ධි කිහිපයක් නිසා මේ නඩු දෙකම වැදගත් නඩු ලෙසින් සැළකෙයි. ඉන් එකක් වන්නේ ඇසින් දුටු සාක්කි නොමැතිව වුවත් පරිවේෂණීය සාක්ෂි මත අපරාධ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල පාර්ශ්වය වූ පොලිසිය සමත්වීමයි. අනෙක් කාරණය අපරාධ සිද්ධිය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් තුළ විමර්ශන මෙන්ම අධිකරණ නඩු විභාගය ද අවසන් ව දඬුවම් ක්‍රියාත්මක වීමය. 


මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා වෙඩි තබා මරා දමා ඔහු සන්තකයේ වූ රුපියල් තිස් පන් දහසක මුදලක් කොල්ලකෑමේ වරදට වැරදිකරුවන් වූ අමරතුංග මාටින් නොහොත් හල්පේ මාටින් සමග කොටි ඇල්බට්, ලෑතර බාස් හෙවත් ඒ.ආර්. පීටර් පෙරේරා සහ සුරබියෙල් යන අයට මරණීය දණ්ඩනය නියම විය. ජයසුන්දර පෙරේරා චෝදනාවලින් නිදහස් විය. ඒපිං පෙරේරා නොහොත් ඒපිං බාස්ට තිබූ චෝදනා රජය විසින් කලින්ම ඉල්ලා අස්කරගෙන තිබුණි. ඒ මීට හැත්තෑ වසරකට පෙරදීය. 


රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ කොළඹ දෙස සිට රත්නපුර දෙසට යද්දී හමුවන පණුකැරෑපිටිය හන්දිය අසල පිහිටි කිලෝමීටර් 93 කණුව පසුකරද්දී හමුවන අමුතාගොඩ ගම්මානයට හැරෙන පාරට මීටර් තුන්සියයක් පමණ රත්නපුර දෙසට වන්නට පිහිටි රත්නපුර පැරණි පාරේ දී මේ අපරාධය සිදුවූයේ මහ දවාලේ ය. 


මේ අපරාධය සිදුවූ තැන දැන් මහ පාර නැත. නමුත් පණුකැරෑපිටිය පසුකර රත්නපුර දෙසට යනවිට වමට ඇති වංගුව පසුකරනවාත් සමගම ඈතින් පෙනෙන ශ්‍රී සාක්‍යසිංහ සාමාධි පිළිමයට ළඟාවන්නට පෙර පාලම් දෙකක් හමුවෙයි. ඒ පාලම් දෙකේ සිට පාරේ වම් පැත්තේ මේ අපරාධය සිදුවූ වයිට් හවුස් නමින් පසු කලක ප්‍රසිද්ධියට පත් මැඩිල්ලවළේ පාලමේ නෂ්ටාවශේෂ ඉතිරිව ඇත. නමුත් අද වයිට් හවුස් පාලම කියන්නේ මහඇළට තැනූ මේ නව පාලමට ය. එයට නව පාලම යැයි කීවද ඒ පාලමද දැන් පනස් වියට ළංවුවකි. 


වයිට් හවුස් සිද්ධියේ විත්තිකරුවන් අතරින් එක් අයෙක් කුරුවිට නගරයට නුදුරු හල්පේ ප්‍රදේශයේ උපන් අයකු විය. ඔහු අමරතුංග මාටින් හෙවත් හල්පේ මාටින් නම් විය. කොල්ලය සැලසුම් කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන ලෑතර් බාස් නොහොත් ඒ.ආර්. පීටර් පෙරේරාය. පීටර් පෙරේරාගේ සහෝදරියක් රත්නපුර ප්‍රදේශයට විවාහ වී සිටි බවට වූ තොරතුරක් ද ලැබුණි. 


මේ අපරාධයේ දී ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතාට වෙඩි තබන්නට ඇත්තේ හල්පේ මාටින් හෝ කොටි ඇල්බට් යන දෙදෙනාගෙන් කෙනෙක් බවට නිශ්චිතව නොකිය වුවද නඩුවේ දී මේ විත්තිකරුවන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකුට ගැලවීමක් නොවීය. 


හල්පේ මාටින් මේ සිද්ධියට සම්බන්‍ධ නැති බවට ඔහුගේ මෑණියන් පැවසුවේ යැයි මාටින්ගේ බාල සහෝදරයකු වන අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා කියයි. නමුත් පොලිස් විමර්ශන වාර්තා සහ නඩු වාර්තා සැලකීමේ දී ඔහුගේ සම්බන්‍ධයක් ඇති බව අධිකරණයේ දී ඔප්පු වී තිබේ. 


ඒ කාලයේ එක පවුලක සාමාජිකයන් ගණන වැඩිය. කොතරම් වැදගත් පවුලක් වුවත් සමහර පවුල්වල පවුලට නොගැළපෙන ක්‍රියා කරන කෙනෙක් සිටින්නට පුළුවන. හල්පේ රජ්ජුරුවන් වූ අමරතුංග මොහොට්ටිහාමි සහ වැද්දාගල මුදියන්සේලාගේ රම්මැණිකේ ගම්පතින්ගේ පුතකු වූ අමරතුංග මාටිනුත් එසේ වන්නට ඇත. එහෙත් ඔහු එසේ අපරාධයකට සම්බන්ධ යැයි කියා දඩුවම් ලැබුවාට ඒ පවුලේ සෙසු අය හෝ ඔවුනගෙන් පැවත එන්නන් පළි නැත. 


මේ අපරාධයට හල්පේ මාටින් සම්බන්‍ධ බව පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් අධිකාරී සී.සී. දිසානායක මැනවින් සිය විමර්ශනවලින් ගොඩනගා තිබුණි. 1947 මැයි 15දා රත්නපුර පොලිස් අධිකාරී ලෙස පත්ව ආ ඔහු 1948 නොවැම්බර් 15දා තෙක් රත්නපුර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළේ ය. පොලිස් දෙපාර්තමේන්තුවේ ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ “ජංගල්” යන අන්වර්ථ නාමයෙනි. ඔහුගේ පරීක්‍ෂණවලට ඉංග්‍රීසි ජාතික පොලිස් නිලධාරියකු වූ එවකට රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකව සිටි ප්‍රධාන පරීක්‍ෂක සී.එස්.ඒ. ස්කානිවල් සහ උප පොලිස් පරීක්‍ෂක ඒ. කන්නන්ගර යන දක්‍ෂ නිලධාරීන් දෙදෙනා සහාය විය. 


මෙම අපරාධය සම්බන්‍ධ විමර්ශනවලදී අපරාධය ගැන හෝඩුවාවන් වූයේ අයි.ඩී. හේමපාල නම් නවහැවිරිදි දරුවා සිය පියා වූ චාර්ලිස් අප්පුහාමි හෙවත් අයි.ඩී. මහත්තයාට දී ඔහු විසින් ලියාගෙන තිබූ එක්ස් 3025 මෝටර් රථයේ අංකයත්, මැඩිල්ලවලේ පාලම අසල තේ කඩයේ සිටි කෙනෙක් දුන් ඉසෙට් 4476 යන කාර් දෙකේ අංකත් පමණි. 


ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතාට වෙඩි තැබූ ආකාරය ගැන වයිට් හවුස් මහත්මිය සාක්කි දුන් නමුත් පුද්ගලයා හඳුනාගන්නට ඇය පෙරෙට්ටුවේ දී අසමත් වූවා ය. සිද්ධිය වන අවස්ථාවේ වාහනයේ පිටුපස අසුනේ සිටි හෝල් මෙනවිය හෝ ෂෝට්ලන්ඩ් මෙනවිය ද වෙඩි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට අසමත් වූහ. මේ නිසා පොලිස් අධිකාරී දිසානායක මහතා කටයුතු කළේ දැඩි උපක්‍රමශීලීවය. අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය හරහා ඔහු ක්‍රියා කළේ ඒ නිසාය. 


මේ කියන වකවානුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ බෙදීම් අනුව කතරගම සිට අවිස්සාවේල්ල දක්වාම සබරගමු පළාතට අයත් විය. අද මෙන් ඒ කාලේ ද පොලිස්ථානවලට අනුබද්ධව සිවිල් ඇඳුමින් සැරසුණ බුද්ධි නිලධාරීන් සේවය කළේ ය. 

 

 

වර්තමානයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබ සිටින පොලිස් පරීක්‍ෂක ලියනගේ බුද්ධදාස සමරතුංග මහතාගේ පියා වූ ලියනගේ සමරතුංග අර්නෝලිස් හෙවත් සමරතුංග ලියනගේ අර්නෝලිස් මහතා බුද්ධි අංශ නිලධාරියෙකි. ඇප ලබා නිදහස්ව ගිය ලෑතර් බාස් ගැනත් පාදුක්කේ නොණ්ඩි නැපෝසිඤ්ඤෝ ගැනත් විමසීමෙන් සිටිමින් විමර්ශනවලට සහාය වූ නිලධාරියෙකි. 


“ඒ කාලේ දිස්ත්‍රික් පොලිසිවල ඩීඅයිබී කියලා ශාඛාවක් තිබිලා තියනවා. අපරාධ සම්බන්‍ධයෙන් විමර්ශන කිරීම්, අපරාධකරුවන් සම්බන්‍ධව රහසිගතව තොරතුරු සොයා බැලීම් ඒ අය කරලා තියෙන්නේ. තාත්තා ඒ අංශයට අනුයුක්ත වෙලා හිටියේ. ඒ හින්දා අපේ තාත්තාට කිව්වේ සීඅයිඩී රාළහාමි කියලා. තාත්තා යුනිෆෝම් ඇන්දේ නිල උත්සවයකට විතරයි. අනිත් වෙලාවට සිවිල් ඇඳුමින් ආවේ ගියේ. සරම ඇඳලා කෝට් එක දාල යන වෙලාවලුත් තියනවා. සමහර අවස්ථාවල අලි බාස්ලගේ ගෝලයන් වෙලාත් ඉඳලා අපරාධකාරයෝ ඇල්ලුවලු. එස් ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක මහත්තයාගේ වලව්වේ ඌරුකොටුවක නැවතිලා වැඩ කළ අපරාධකාරයකු අල්ලන්න තාත්තාත් ඒ ඌරුකොටුවෙම කම්කරුවකු විදියටත් වැඩ කළා කියලා තියනවා. අපරාධකාරයත් අල්ලලා තියනවා.” 


“වයිට් හවුස් සිද්ධියට සම්බන්ධ ලෑතර් බාස් ඇප මත නිදහස් වුණාම තාත්තා එයා ගැන පසුවිපරම් කරන්නට රහසිගතව සම්බන්‍ධ වෙලා ඉඳලා තියනවා. ඒ වගේම පාදුක්කේ නොණ්ඩි නැපෝසිඤ්ඤෝ, හල්පේ මාටින් මේ අය ගැන ඒ අයගේ ගම්වලට වෙස් වළාගෙන ගිහිං තොරතුරු හොයලා තියන බව අපිට කියලා තියනවා. සමහර වෙලාවල් වල ඒ මිනිස්සු එක්ක අරක්කු තිප්පොළවල්වලටත්, බුරු පොළවල්වලටත් ගිහිං තියනවලු. බූරුත් ගහලා තියනවලු. ඒ විදියට ඒ තැන්වලට ගියාට තාත්තා පොලීසියෙන් කියලා දැනනොගන්න තාත්තා කටයුතු කළා කියලා කිව්වා. අවසානයේ දී ඇප පිට නිදහස්ව සිටි ලෑතර් බාස් අල්ලා ගන්න ගිහිං තියෙන කණ්ඩායමට තාත්තාත් ගියා කියලා තාත්තා ජීවතුන් අතර සිටිය දී කියලා තියනවා මට මතකයි.” විශ්‍රාමික පොලිස් පරීක්‍ෂක සමරතුංග මහතා පැවසුවේ ය. 


“මාටින් අයියා ළඟ ලොකු පිස්තෝලයක් තියනවා මම දැකලා තියනවා. ඒකට උණ්ඩ විසිහතරක් විතර දාන්න පුළුවන් කියලා අහලා තියනවා. මෙච්චර විතර දිග ඇති (සිය අතේ වැලමිට වංගුවේ සිට අතේ කෙළවර පෙන්වයි) මාටින් අයියා හිරේ ගියාට පස්සේ තාත්තා ඒක කාටහරි දෙන්න ඇති” හල්පේ මාටින්ගේ බාල සහෝදරයකු වන අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා කියයි. ඔවුන්ගේ පියා “හල්පේ රජ්ජුරුවෝ” ලෙස හැඳින්වූ අමරතුංග මොහොට්ටිහාමිය. 


ඒ කියන ආකාරයේ පිස්තෝලයක් හල්පේ මාටින් සන්තකයේ තිබූ බව නඩු විභාගයේ දී අපරාධයට සම්බන්‍ධව පසුව පැමිණිල්ලේ සාක්කාරයකු වූ නැපෝසිඤ්ඤෝගේ සාක්කියෙන් තහවුරුවී තිබේ. 


“හල්පේ මාටින් එයාගේ වත්තේ කිරි කපන කෙනෙක් අත එවු පණිවිඩයට මම එයාව හම්බවෙන්න හල්පේ ගෙදරට ගියා. පහුවදා පාදුක්ක ගලගෙදර හන්දියෙදී අපි හම්බවෙලා ලෑතර් බාස්, හල්පේ මාටින් සහ කොටි ඇල්බට්, හිරිපිටියේ මැණික් විල්බට්ගේ පුතා සුරබියෙල් ඇතුළු කිහිප දෙනෙක්ම හම්බ වුණා.” 


“එදා වැඬේ හරියන්නේ නැහැ කියලා පහුවදාට වැඩේ කල් දාලා අපි හල්පේ මාටින්ගේ ගෙදරට ආවා. පහුවදා උදේ ආයෙත් මල්වානේ කොටි ඇල්බට්ගේ ගෙදරට ගියා. එතන දී කොටි ඇල්බට් මාටින් අත තිබූ ලොකු රිවෝල්වරය ඔහුගේ අතට අරගෙන හල්පේ මාටින්ට කුඩා රිවෝල්වරයක් දුන්නා” යැයි සාක්කියට කියා තිබුණි. 


සැබැවින්ම මේ අපරාධය සැඟව යන්නට ඉඩ තිබුණ නමුත් පොලිස් අධිකාරී සී.සී. දිසානායක මහතාගේ තීක්‍ෂණ බුද්ධිය අනුව අපරාධකරුවන් අල්ලා ගැනීමට ක්‍රීයා කිරීම නිසා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුව තිබේ. 
එසේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබුණේ ද අමරසිංහගේ පෙරේරා අප්පුහාමි හෙවත් පොඩිඅප්පුහාමි නැමැත්තෙකු 1948 ජුනි 11 දින රත්නපුර පොලිසියට පැමිණ පොලිසියෙන් නිදහස්ව ගිය නැපෝසිඤ්ඤෝ බීමතින් කළ හෙළිදරව්වක් ගැන දැනුම් දීමෙන් අනතුරුවය. 


“වෙඩි තැබුවේ කවුරුන්ද කියා නොදන්නා බවත් නමුත් කොල්ලයට ඔහු සම්බන්‍ධ වූ බව” නැපෝසිඤ්ඤෝගේ මුවින් පිටවු කතාව අමරසිංහගේ පෙරේරා අප්පුහාමි හෙවත් පොඩිඅප්පුහාමි පොලිස් අධිකාරී සී.සී. දිසානායක මහතාට දුන් ඔත්තුව පරීක්‍ෂණ යළි අවදිකරන්නට හේතුවක් විය. 


ඒ අනුව පොලිස් අධිකාරී දිසානායක මහතා අපරාධකරුවන්ට දඬුවම් දිය හැකි අන්දමට පැමිණිල්ල ගොනු කළේය. නැපෝසිඤ්ඤෝ අපරාධයට සම්බන්‍ධ වුවත් ඔහු පැමිණිල්ලේ සාක්කිකරුවෙක් බවට නීතිපතිවරයාගේ උපදෙස් හා අනුමැතිය ඇතිව යොදා ගත්තේය. පාරේ වැටී තිබී හමුවූ වයිට් හවුස් සුද්දාගේ පිස්තෝලය අහුලා දුන් ජේ.ඇම්. පුංචි මහත්තයා නොහොත් ප්‍රේමදාස මාමාත් ඒ පිස්තෝලය පොලිසියට දුන් ගම්මුලාදෑනී බෝධිපාල රාළහාමි හෙවත් ගුරුලුවාන රාළහාමිගේ භූමිකාව නඩුවට ඈඳා නොගෙන සිද්ධිය ඔප්පු කළ හැකි ලෙස ගොනු කළේ ය. 


රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගයෙන් පසුව නඩුව උපරිමාධිකරණයට යොමු කෙරුණි. වී ශාන්ත ක්ලෙයාර් ස්වෝන් නම් ඉංග්‍රීසි ජාතික උපරිමාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ ජූරි සභාවක් ද සහිතව නඩු විභාගය 1948 නොවැම්ර් 22 දින දී ආරම්භ විය. රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ.සී අලස් සහ මහෙන්ද්‍ර රාජා නීතිඥවරු පැමිණිල්ල මෙහෙය වූහ. පළමු වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ඒ.එෆ්.ජේ. සොයිසා මහතා ද, 3, 4 සහ 5 විත්තිකරුවන් වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ කේ.ඩී. ද සිල්වා යන නීතිඥවරු පෙනී සිටියහ. හය වන විත්තිකරු වෙනුවෙන් චාල්ස් ජයවික්‍රම නීතීඥවරයා පෙනී සිටියේ ය. 


මේ නඩුවේ රජයේ සාක්කිකාරයකු වූ පාදුක්කේ නැපෝසිඤ්ඤෝ නමගිය අපරාධකාරයකු මෙන්ම කලින් අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් දඬුවම් විඳ ඇති නිසාත් ඔහුගේ සාක්කිය විශ්වාසවත් සාක්කියක් නොවන බව ඔප්පුකර නඩුව දිනාගැනීම විත්තියේ අභිලාෂය විය.


“මට මතකයි තාත්තා නඩුවට කොළඹ යනවා. මාටින් අයියා වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා අල්ලලා තිබුණේ. අපි කොළඹ නඩු අහනවා බලන්න ගියේ නෑ. තාත්තා තමයි ගියේ. තාත්තා ගිහිං ඇවිල්ලා විස්තර කියනවා.” හල්පේ මාටින්ගේ බාල සහෝදරයකු වන අමරතුංග පුංචි මහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා මතකය අවදි කරයි. 


නමුත් නැපෝසිඤ්ඤෝ විශ්වාසවන්ත සාක්කිකරුවකු බව සනාථ කිරීමට පැමිණිල්ල තවත් සාක්කි ගණනාවක් ම යොදාගත්තේය. හතර වන විත්තිකාර ඒපිං පෙරේරා හැර සෙසු සියලු දෙනාම පැටලෙන ලෙස නැපෝසිඤ්ඤෝ සාක්කි දුන්නේය. 

 

 

මහෙස්ත්‍රාත් උසාවියේදී සාක්කි දෙමින් තමා නැපෝසිඤ්ඤෝව කැඳවාගෙන ඒමට කෙනෙක් යැවූ බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බව හල්පේ මාටින් ප්‍රකාශ කළේ ය. නමුත් දිවුරා බොරු සාක්කි දුන් බවට ඔහු වරදකරු කළ අධිකරණය ඔහුට හය මාසයක සිර දඬුවමක් ද නියම කරනු ලැබිණි. 


දින දහ අටකට සීමා වූ නඩු විභාගයේ තීන්දු 1048 දෙසැම්බර් 10 දින ප්‍රකාශයට පත් කෙරුණේ ජූරියේ තීරණය පරිදි අමරතුංග මාටින් නොහොත් හල්පේ මාටින් සමග කොටි ඇල්බට්, ලෑතර බාස් හෙවත් ඒ.ආර්. පීටර් පෙරේරා සහ සුරබියෙල් යන අයට මරණීය දණ්ඩනය නියම විය. ජයසුන්දර පෙරේරා චෝදනාවලින් නිදහස් විය. ඒපිං පෙරේරා නොහොත් ඒපිං බාස්ට තිබූ චෝදනා කලින්ම ඉල්ලා අස්කරගෙන තිබුණි. 


මේ තීන්දුවට විරුද්ධව ඉදිරිපත් කළ ඇපෑල ද නිෂ්ප්‍රභ වී විත්තිකරුවන්ගේ මරණ දඬුවම ස්ථිර විය. 


’‘එතකොට අගමැතිව හිටපු ඩී.ඇස්. සේනානායක මහත්තයා හමුවෙලා පොදු සමාවක් ලබාගන්න කටයුතු කරනවා කියලා තාත්තා ඩී.ඇස්. අගමැතිතුමා හමුවෙන්නත් ගිය බව කිව්වා. නමුත් නඩු තීන්දුවේ වෙනසක් කර ගන්න කාටවත් බැරිවුණා. එල්ලලා මැරුවේ කවදද කියලා දැනගන්න ලැබුණේ නෑ. තාත්තාත් එක්ක ඊට පස්සේ මාටින් අයියා ගැන අපි කතා කළේ නෑ.” අමරතුංග පුංචිමහත්මයා හෙවත් කුරුප්පු මහත්තයා පැවසුවේ ය. 
මේ අතර ඩයිනමයිට් යොදා හිරගේ පුපුරවා හැර පලායාමට මේ සිරකරුවෝ කුමන්ත්‍රණය කළ බවක් හෙළි විය. එසේම මේ සිරකරුවන්ට පැනයාමට සහායවීමට ලෑතර බාස් හෙවත් ඒ.ආර්. පීටර් පෙරේරාගේ මස්සිනා වූ එම්.ඒ.ඩී. ජේමිස් සෙනෙවිරත්න හාරලක්‍ෂ මංකොල්ලය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සැලසුම් කළ ද ඔවුහු ද පොලිස් අත්අඩංගුවට පත්වූහ. 


අවසානයේ නීතිය නොනැමී අමරතුංග මාටින් නොහොත් හල්පේ මාටින් සමග කොටි ඇල්බට්, ලෑතර බාස් හෙවත් ඒ.ආර්. පීටර් පෙරේරා සහ සුරබියෙල් යන සිව් දෙනා එල්ලා මරා දැමිණි. දැන් ඒ අතීතය ඔවුන්ගේ ඥාතීන් විසින් ද වළ දමා බොහෝ කල්ය. ඔවුන්ට පැන යන්නට උදව් කළ ලෑතර බාස් හෙවත් ඒ.ආර්. පීටර් පෙරේරාගේ මස්සිනා වූ හාර ලක්‍ෂයේ මංකොල්ලය සැලසුම් කළ එම්.ඒ.ඩී. ජේමිස් සෙනෙවිරත්න ද ඊට මාස කිහිපයකට පසු එනම් 1949 අගොස්තු 30 දින එල්ලා මරා දැමිණි. ඒ හාරලක්‍ෂයක් මංකොල්ලා නඩුවේ හත් වන විත්තිකරු ලෙස වැරදිකරු වෙමිනි. 


හැත්තෑ වසරකට පෙර මේ ලක්දිව පොලිසියත් අධිකරණයත් ක්‍රියා කළේ එලෙසය. එදා අපරාධකාරයන්ට නිදැල්ලේ ඉන්නට නම් ඉඩ නොලැබුණි. දේශපාලන නායකත්වය ද අපරාධකාරයන්ට සමාව දෙන්නට සිය කශේරුව නැමුවේ නැත. 


අධිකරණ සේවා කොමිසමේ හිටපු සාමාජිකයෙකු මෙන්ම සැසි කොමසාරිස්වරයකු වූ වොල්ටර් තල්ගොඩපිටිය මහතා විසින් ඉංග්‍රීසි බසින් රචිත අභය හේවාවසම් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කළ ලංකාවේ සුප්‍රසිද්ධ නඩුවිභාග කිහිපයක් ග්‍රන්ථයෙන් ද වයිට් හවුස් නඩු විභාගය ගැන විස්තර සඳහන් ව ඇත. 

 

 

 

 


ඡායාරූ සටහන 
අජිත්ලාල් ශාන්ත උදය