මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්


පෙම්වතා පෙම්වතිය හැර ගියාම, සැමියා බිරිඳ දූ දරුවන් හැර ගියාම, කිරිපැණි සේ හිඳ මිතුරා අත්හැර දා ගිය විට, දෙන්නා දෙමහල්ලන් විරසක වී දෙපැත්තට වුණාම, එහෙමත් නැත්නම් පෙම්වතාගේ සැමියාගේ සබ්බ සකල මනාවම කපටිකමෙන් සොරාගෙන වෙනත් විවාහයක්‌ කරගෙන ඉන්නකොට පීඩාවට පත්වන අයට ලොකු සහනයක්‌ වශී ගුරුකමකින් කරගන්න පිළිවන්. අපේ ජන සාහිත්‍යයේ බොහෝ කතාවල වශීය ගැන කතාවෙනවා. එයාට වශීවෙලා වගේ කියල අපේ ජන වහරෙත් යෙදෙනවා. මේ කතාවත් වශී බන්ධනයක් පිළිබඳව කියවෙන කතාවකි.   


අම්බලන්ගොඩ නගරයේ ටවුමට ආසන්නව මයෝමිත් ඇගේ දෙමව්පියනුත් ජීවත් වූහ. මයෝමිට වයස අවුරුදු විසි දෙකකි. පවුලේ එකම දරුවා ඇයයි. මයෝමිගේ දෙමාපියන් මයෝමිට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. පවුලේ එකම දරුවා නිසා ඇයට පූර්ණ නිදහස ද දෙමාපියන්ගෙන් නොඅඩුව ලැබුණි. එතරම් රූමත්කමින් හෙබි තරුණියක නොවූවත් පාසල් අධ්‍යාපන කටයුතුවලට දක්ෂතාවන් දැක් වූ නිසාම අ.පො.ස. උසස් පෙළ විභාගයද සමත් වී සරසවි වරම් ලැබුවාය.   


මයෝමි මේ වනවිට විශ්වවිද්‍යාල සිසුවියකි. ඇයගේ හොඳම යෙහෙළිය වූයේ අරුණිය. අරුණි ද ඇය සමඟම සරසවියේ ඉගෙනුම ලබයි. ඒ නිසාම ඔවුන් සරසවියට එන්නේද යන්නේද එකටමය. පවුලේ දැඩි ආදරයක් සෙනෙහසක් රැකවරණයක් ලැබුණද සම වයස් යහළු යෙහෙළියන් සොයා ගැනීම කොයි කා අතිනුත් සිදුවන්නකි. නමුත් මයෝමිට සිටි එකම යෙහෙළිය අරුණි පමණකි. අරුණිට ද එසේමය.   


මයෝමිත් අරුණිත් කෑවේ බීවේ එකටමය. ගමන් බිමන් ගියේද එකටමය. කිසිදු හේතුවක් නිසා මෙම මිතුදම බිඳුණේ නැත. සැපේදීත් දුකේදීත් මයෝමි හා අරුණි එකිනෙකාට බොහෝ සමීපව සිටියහ. මේ බැව් දන්නා සැවොම පැවසුවේ සමාජයට ඉතා හොඳ ආදර්ශයක් බවයි. සරසවියේදී පමණක් නොව, ගමේ කඩ පිලේ, නාන තොටුපළේදී, බස් නැවතුමේ පවා මොවුන්ව දුටු විට මොවුන්ගේ බැඳීම කතා බහට ලක්වන කාරණාවක් වූවේය.   
මයෝමිගේත් අරුණිගේත් දෙමාපියන්ට මෙය ඉතාමත් අස්වැසිල්ලක් විය. දෙදෙනාම එකට යන එන නිසා ඔවුන් ගැන ඇහැ ගහගෙන සිටීමට අවශ්‍ය නොවන නිසා ඔවුනොවුන්ගේ දෙමාපියන්ට එය විශාල සහනයකි. ඒ පමණක් නොව, මෙවන් වයසක තරුණියන් පෙම් පළහිලව් ඇති කරගැනීමද සුලභ කාරණයක් වුවත් මයෝමිගෙන් හෝ අරුණිගෙන් එවන් ගැටලු දෙමාපියන්ට ඇති වූයේ නැත.   


එහෙත් මයෝමි හා අරුණි සම්බන්ධව මෙපමණ කාලයක් ගෞරවාන්විත දේ ඇසුණද දැන් දැන් ඔවුන් දෙදෙනා ගැන සරසවියේ හා ගමේ කොල්ලන් පවසන්නේ ඇසීමටත් ලජ්ජා හිතෙන දේය. ඔවුහු මිතුරියන් දෙදෙනා යන එන දිහා උපහාසයෙන් බලති. දෙදෙනාගේ මිතුදම දිහා මෙතරම් උපහාසයෙන් බැලීමට කරුණු මන්ද?   


මයෝමිත් අරුණිත් අන් තරුණ යෙහෙළියන්ට වඩා හාත්පසින්ම වෙනස් ගතිගුණවලින් හෙබි දෙදෙනෙකි. ඔවුනොවුන් හරියට ප්‍රේමවන්තයින් සේය. සැබෑවටම එය එසේම නොවන්නේද?   


මේ අතර මයෝමිගේ දෙමාපියන්ට නොයෙකුත් අසුභ ආරංචි අසන්නට ලැබුණි. සරසවියේ ඉගෙනුම ලබන මයෝමිගේ නෑදෑ සොයුරියක වන අනුත්තරා ඇගේ මවට යමක් පවසයි. අනුත්තරාගේ මවට සවන් අදහාගත නොහැකි විය. වහාම තම ඥාතිවරිය හමුවී මේ බව පැවසිය යුතුයැයි ඇය අදිටන් කරගත්තාය. අනුත්තරාද සරසවිය වෙත පිටත් වූවාට පසු ඇය මයෝමිගේ නිවසට ගියේ මයෝමිගේ මව හමුවීමටය. ‘‘ආ අක්කේ මොකද මේ උදේම. කොහේවත් යන ගමන්ද අක්කා’’ මයෝමිගේ මව ඇසුවේ තම ඥාතිවරිය අත්‍යවශ්‍ය කරුණකට හැර මෙසේ නොපැමිණෙන බව දන්නා නිසාය.   


‘‘හ්ම්. වාඩිවෙන්නකො. මට දෙයක් කියන්න තියෙනවා නංගිට. ඒත් මේක අහලා නංගි කලබල වෙයි. ඒ වගේම මටත් අදහාගන්න බැරිවුණා. ඒ වුණත් මේවා හංගගෙන ඉඳලා හරියන්නෙ නැහැනේ. ඒකයි මං මේ තකහනියක්ම ආවේ අනුත්තරා යනකම් ඉඳලා’’ මයෝමිගේ මවට ඇය පැවසුවාය.   


‘‘ඇයි අක්කේ මොකක්ද ප‍්‍රශ්නේ. කාටද... මොකක්ද වෙලා තියෙන්නේ’’ මයෝමිගේ මව ප‍්‍රශ්න වැලක්ම ඇසුවාය.   


‘‘මයෝමියි අරුණියි අතර තියෙන්නේ අපි හිතන විධියේ සම්බන්ධයක් නෙමෙයි. ඊට එහා ගිය දෙයක්. ඒක පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි නේද’’ අනුත්තරාගේ මව පැවසුවාය.   


‘‘එ...එ.. කියන්නෙ මොකක්ද’’ මයෝමිගේ මව කලබලෙනි.   


‘‘අපි හිතුවට දෙන්නාගේ යහළුකම මිත‍්‍රත්වයක් කියලා ඒක එහෙම නෙමෙයිලු. කැම්පස් එකෙත් ඔය ගැන හරියට කතා වෙනවලු. මහා නරක දේවල්’’   


අනුත්තරාගෙ මවට තවත් යමක් පැවසීමට තරම් වචන ගොනු කර ගත නොහැකි විය. ‘‘අපොයි දෙයියනේ මේ මොන විනාසයක්ද... මේ කෙල්ලො දෙන්නට මක් වෙලාද... අපොයි අපටත් ඔය වගේ ආරංචි ආවට ඊරිසියාවට කියනවා කියලයි හිතුවේ. ඒත් මේ මොන විලි ලැජ්ජා නැතිකමක්ද?’’ කළ හැක්කේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? ඇයට හිතාගැනීමට නොහැකිය.   


සවස ලෙක්චර්ස් අවසන් වී මයෝමි නිවසට පැමිණියේ බොහෝ තෙහෙට්ටු බවකිනි. ඒත් නිවසට ගොඩ වී ටික වේලාවකින්ම මව ඇයට තර්ජනාත්මකව පැවසුවේ අරුණි සමඟ තියෙන ඇයිහොඳයිය නවතා දමන ලෙසය. මව ඇයට අවවාද කළාය. අවසානයේ රැකවල් දැම්මේ නිවසින් එළියට යාමටවත් නොහැකි වන ලෙසිනි.   


‘‘කෙල්ල පරිස්සම් නොකරගෙන ඉගෙන ගන්න දෙයින් අහවල් දෙයක්ද’’ මව මයෝමිගේ පියාට කීවේ ඒ ටිකය. කොපමණ රැකවල් දැමුවද මයෝමි අරුණි සොයාගෙන ගියාය. ඔවුන්ගේ මිතුදම කාහටවත් බිඳ දැමීමට නොහැකිය. අරුණිගේ දෙමාපියන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටියත් ඔවුන් එය එතරම් තැකුවේ නැත. එහෙත් මයෝමිගේ මවත් පියාත් සිටියේ දැඩි කම්පනයකිනි.   


මයෝමිගේ කේන්දරය ගෙනගොස් ජ්‍යෝතිර්වේදියෙකුට පෙන්වූවද එහි කිසිදු අපලයක් හෝ ග‍්‍රහ දෝෂයක් නොමැති බව කියවුණි. එසේ නම් පිහිට පැතිය යුත්තේ කොහින්ද? සාස්තර... ඇය සාස්තරයක් බැලීමට ගියේ ඒ ගැන කිසිදු විශ්වාසයකින් නොව, කළ හැකි දෙයක් නොමැති නිසාය.   


දේවාලයේ සාස්තර කියන මෑණියන් ඉදිරියේ මයෝමිගේ මව තමා පැමිණි කාරණය කීවේ ලජ්ජා සහගතවය. ඇය කිසිවකුගේ හෝ මුහුණක් දිහා ඍජුව බැලීමට නොහැකිව සිටියාය. ‘‘මේ දරුවාට වෙලා තියෙන දේ මට පෙන්නුම් කරනවා. මේක අර දැරිවි වෙනුවෙන් කරපු වශී බන්ධනයක් වැරදිලා මේ දැරිවිට වශී වෙලා තියෙන්නේ. මේ දැරිවිට දීපු දෙයකුත් බඩේ තියෙනවා. ඒ විසත් අයින් කරන්න වෙයි බන්ධනය කපන්න කලින්. ඒකට නම් කසායක් හදලා දෙන්න වෙයි’’ මෑණියෝ කියා අවසන් වූ පසු කීවේ කසාය මෑණියන් විසින් සාදා දෙන බවත් බන්ධනය කැපීමට රුපියල් හතළිස් දහසක් අවශ්‍ය බවත්ය.   


හැබැයි මේ වශී ගුරුකම් ඉතාම ප්‍රවේසමෙන් ඒ වගේම පුද පූජා වත් පිළිවෙත් අකුරටම සිදුකරමින් සිදුකළ යුතු වෙනවා යැයි දේවාලයේ මැණියෝ කීවාය. වශී ගුරුකම් රැසක් ඇති බවද ඇය කියන්නීය. ඒ ඒ වශීයට අනුව වශියට මුදල් අය කෙරෙනු බව මෑණියන්ගේ පරිවාර මෑණියෝ කියන්නාහුය. එතුමිය මෙසේද කීවාය.   


ස්‌ත්‍රී පුරුෂ වශීය, රාජ වශීය (රාජ්‍ය නිලධාරීන් සේවකයන්, උසස්‌ තනතුරු දරන අයගේ සිත් දිනා ගැනීමට), සර්වජන වශීය (ව්‍යාපාර හා තම තමන්ගේ රැකියා කටයුතු ඉෂ්ටාර්ථයෙන් සිදුකර ගැනීම), මුඛ වශීය, දේව වශීය, භූත වශීය (භූතයන් තම කාර්ය මස්‌තක කර ගැනීමට වසඟ කර ගැනීම) ආදි වශයෙන් කළ හැකියයි පළවේ.   


අපේ මෑණියෝ මේ ආකාරයේ වශී කර්ම සිදුකරන්නේය. ස්‌ත්‍රී පුරුෂ වශීය මෙහිදී වැදගත්ය. වශීයකින් සිදුවන්නේ ප්‍රේම බන්ධනයක්‌ නැවත ඇති කිරීමයි. වශී ගුරුකම්වලදී නූල්, යන්ත්‍ර, පැන්නීම්, කැවීම්, පෙවීම්, ඉරි පැන්නුම්, වැල්පැන්නුම්, යන්ත්‍ර රත් කිරීම් ආදිය පිළිවෙත් ලෙසට තිබේ. මේවා නියමෙට සාත්තරයට කළ යුතුයි.   


තමන් සන්තකයෙහි නැති කෙනෙකු තමන් වෙත සිත ඇද ගන්නට ගෙන්වා ගන්නට ප්‍රබල ආකර්ෂණයක්‌ කළ යුතු වෙනවා. නමුත් තමන් සන්තකයෙහි සිටින පෙම්වතියක බිරින්දෑවරිය එහෙමත් නැත්නම් තමන් ප්‍රිය කෙනෙකු තමන් වෙතට නම්මා ගන්නට කඳ පිළිවෙත එහෙමත් නැත්නම් කඳට මතුරන ලද ඖෂධ හෝ පැණි රස මතුරා දීම නියතවම වශීයක්‌ සාර්ථක වීමට මගක්‌. එහෙත් මතක තබාගත යුතුම කාරණයක්‌ වන්නේ මන්ත්‍රාචාරියෙකු ඔබට ඔබේ ප්‍රියම්බිකාව වසඟයට ගන්නට දෙනු ලබන ඖෂධ මුසුකරන ලද වශීය ඇයට අනතුරුදායකය. 

 
මෙම ඖෂධවල අඩංගුව පවතින දේ නොදිරවා උදරය තුළ පැවැත්ම නිසාම ඇය පසුව දරුණු රෝගාබාධයකට ලක්‌ව සදහටම රෝගී විය හැකිය. මෙබඳු වශීයක්‌ දීමෙන් අනතුරුව සතියක ඉකුත්ව ඇයට විරේකයක්‌ දිය යුතු වෙනවා. නමුත් එය බොහෝ දෙනා කරන්නේ නැහැ. එම නිසාම ඇයව යටකී රෝගාතුරම ද සිදුවිය හැකියි.   


විශේෂයෙන්ම ඉතා ඉක්‌මන් ප්‍රතිඵල වශීයට ගොදුරු කර ගන්නා තැනැත්තාට හෝ තැනැත්තියට "කඳ" පිළිවෙතට (ආහාර පානවලට) මතුරා කරනු ලබන වශීකර්මයකින් ඉක්‌මන් ප්‍රතිඵල ලබාගත හැකිවෙනවා.   


දේවතා මණ්‌ඩලයේ ගණ දෙවියන්, විෂ්ණු ඇතුළු බොහෝ දේව පිහිටත් මදනමෝහිණි, කාලි ආදීන්ගේ පිහිටත් මන්ත්‍රාචාරියා ලබාගත යුතු වෙනවා. පාරම්පරික මන්ත්‍රවලින් වශී ගුරුකම් කරන ශිල්ප දත්කෙනෙකුට හැරගිය අයෙකු ඇයව හෝ ඔහුව හැරගිය දිනය හරියටම මතක නම් නිසැකවම ඔහු හෝ ඇය දින 7 කින් ගෙන්වා ගත හැකිව තියනවා.මේ දියණියට ද ඒවාගේ වශී බන්ධනයක් සිදුකර තියනවා.   


දේවාලයේ මෑණියන් දුන් කසාය බිව් මයෝමිගේ ශරීරයෙන් විස ඉවත් විය. මයෝමිගේ මව සැනසීමට පත්වූවාය. දැන් ඇත්තේ බන්ධනය කැපීමයි. එයට මුදල් ලෑස්ති කරගත් මයෝමිගේ දෙමාපියෝ ඒ සඳහා සියලු කටයුතු කළෝය. දේවාලයේ මෑණියන් විසින් බන්ධනය කපා ඉවත් කෙරුණි. මයෝමිගේ මවට දැන් ඇත්තේ විශාල සැනසීමකි. තම ඇස් දෙක මෙන් රැකි දියණිය බේරා ගැනීමට හැකි වුණු සතුටින් පසුවිය. ගෙදරින් එළියට බැසීමටවත් ඇයට ඉඩක් ලැබුණේ නැත. තවද, මයෝමි කෙරෙහි මව ඉතාමත් විපරමෙන් සිටියාය.   


ඇය කාමරයටම මුළුගැන්වී සිටීම මවට එතරම් සතුටුදායක නොවීය. ඇය මයෝමි කාමරයට වී කුමක් කරන්නේදැයි විපරමින් සිටියාය. ඒ අතරතුර දී මයෝමි මෙතුවක් කලක් රහසිගතව තබාගෙන සිටි ජංගම දුරකථනය මව අතට පත්විය. ඇය එය පරීක්ෂා කර බැලුවාය. තමාගේ සිහින සියල්ලක්ම දෙපා මුලම බිඳී විසිර ගොස් ඇත. මයෝමිගේ වශී බන්ධනය කපා ඉවත් කළ ද ඒ කාලය තුළ ඇය දුරකථනයෙන් අරුණි හා පෙම්බස් දොඩා ඇත. මයෝමිගේත් අරුණිගේත් ඔවුනොවුන් වෙත යවන ලද කෙටි පණිවුඩ කියවා බැලූ මවට සිදුවී ඇත්තේ කුමක්දැයි අදහාගැනීමටවත් නොහැකි සේය.   


තවත් කළ හැකි දෙයක් නොවීය. ගම අතහැර ඈත පිටිසර පළාතකට යාමට ඔවුහු සිතාගත්හ. තවත් මෙහි ජීවත් වුවහොත් වන්නේ සියලුදෙනාටම බෙල්ලේ වැල දාගන්නටය. ඔවුහු තීරණයක් ගත්හ. තම නිවස අතහැර ඔවුන් පිට පළාතකට පදිංචියට ගියහ.   


අලුත් නිවසට පදිංචියට ආ පසු මයෝමිගේ මව පසුවූයේ සැනසීමෙනි. කිසි කෙනෙකුගෙන් නින්දා අපහාස විඳීමට සිදු වන්නේ නැත. ලජ්ජාවකින් තොරව ගමනක් බිමනක් යා හැකිය. අහල ගම් හතකවත් දන්නා හඳුනන කිසිවකු හෝ නොමැත. මෙසේ මාස කිහිපයක් ගතවිය. අලුත පදිංචියට ආ නිවසට ආසන්න නිවසේ සිටින මයෝමිගේ වයසට වඩා අවුරුදු තුනක් බාල නෙතුමි සමඟ මයෝමි ඉතාමත් කුලුපග විය. මයෝමි නෙතුමි සමඟ ඕනෑවට වඩා කුලුපග වී ඇති බව මයෝමිගේ මවට ඉවෙන් මෙන් දැනුණි.   


ඇයට යක්ෂාරූඪ විය. ඇය මෙවර පෙරට වඩා දරුණු විය. මයෝමිද හිතුවක්කාර ගති පෙන්වන්නට වූවාය. මෙවරද ඇයට නිවසටම කොටුවීමට සිදුවුණි. ඇය පණ මෙන් රැකි ප්‍රේමය නොමැති සොවින් ජීවිතය නැති කරගන්නට සිතා මවගේ අසනීපයකට ගෙනා පෙති වගයක් එකගොන්නට බීගෙන ගියාය. ඉන්පසු දින ගණනක් ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඇගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකි විය. එහෙත් තම දියණිය ගැහැනු ළමුන් සමඟ ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතා නවතා ගන්නේ කෙලෙසදැයි දෙමාපියෝ සිතන්නට වූහ. ඔවුන්ට මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගැන දැනගැනීමට ලැබුණි. මයෝමිව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


සියලු කරුණු විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇයට ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව මයෝමිගේ එම තත්ත්වය ඉවත් විය. ඒ සම්බන්ධව වෛද්‍යවරයා මෙසේ පැවසුවේය.   


සමලිංගිකත්වය යනු සමාන ලිංග හෝ ලිංගිකත්ව ඇති පුද්ගලයින් අතර ඇතිවන්නා වූ ප්‍රේමණීය ආකර්ෂණයක්, ලිංගික ආකර්ෂණයක් හෝ ලිංගික හැසිරීමක් ලෙස හැඳින්විය හැකියි. ලිංගික දිශානතියක් ලෙස සමලිංගිකත්වය සමාන ලිංග සහිත පුද්ගලයන්ගේ දිගු කාලීන හැඟීම්බර, ප්‍රේමණීය හෝ ලිංගික ආකර්ෂණ රටාවක් වෙයි. එමෙන්ම එය එම ආකර්ෂණ, ආශ්‍රිත හැසිරීම් සහ එවන් ප්‍රජාවකගේ සාමාජිකත්වය මත පදනම් වූ පුද්ගල අනන්‍යතාවක් ලෙසද හැඳින්විය හැකිය.   


ද්වීලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද විෂමලිංගික-සමලිංගික වර්ණාවලියේ ඇති ප්‍රධාන ලිංගික දිශානති තුනෙන් එකකි. එක් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය තීරණය වන්නේ කෙලෙසදැයි විද්‍යාඥයින් විසින් නිශ්චිතවම හඳුනාගෙන නැතත්, එයට ජානමය, හෝමෝනමය සහ පාරිසරික බලපෑම් අතර සංකීර්ණ අන්තර්ක්‍රියාවක් හේතු වන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි. තව ද එය තෝරාගැනීමක් ලෙස නොසලකන විද්‍යාඥයින් විසින් මෙහි හේතු සාධක පැහැදිලි කිරීමට ජීව විද්‍යාත්මක සිද්ධාන්තවලට, එනම් ජානමය සාධක, පූර්ව කළල පරිසරය හෝ සමාජයීය සාධක යොදාගැනීමට නැඹුරුවක් දක්වති.   
එමෙන්ම දෙමාපියන් හෝ පූර්ව ළමා ඇත්දැකීම් ලිංගික දිශානතිය තීරණය කිරීමෙහිලා බලපාන බවට සැලකිය යුතු සාක්ෂි ලැබී නැත. සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් ලෙස සමහර පුද්ගලයින් විශ්වාස කරන නමුත් විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වාදී ඇත්තේ සමලිංගිකත්වය සාමාන්‍ය සහ මානව ලිංගිකත්වයේ ස්වාභාවික විචලනයක් බවත් එමගින් සෘණාත්මක මානසික ප්‍රතිඵල ඇති නොවන බවත්ය. මානසික වෛද්‍ය ප්‍රතිකාර මගින් ලිංගික දිශානතිය වෙනස් කළ හැකි බව කළ හැකියි.   


මෙලොව උපත ලබන මිනිසුන් ස්වභාවයෙන්ම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වෙති. විරුද්ධ ලිංගික ඇසුරට ප‍්‍රිය කරයි. නමුත් ඇතැමුන් වෙනත් ලිංගික අපගමනයන්ට ලක් වේ. සමලිංගික ඇසුරද එලෙසය. මෙහිදී යමෙක් විරුද්ධ ලිංගිකයනට ආකර්ෂණය වනවා වෙනුවට සමලිංගිකයනට ආකර්ෂණය වේ. මෙය බහුල වශයෙන් පිරිමින් අතර සිදු වුවද කාන්තාවන් අතරද සිදුවේ. මයෝමිද එවැනි අයෙකි. මැය ප‍්‍රිය කළේ ආදරය කළේ කාන්තාවන්ට පමණකි. ඇත්තෙන්ම මෙම සමලිංගික තත්ත්වය මනෝ ප‍්‍රතිකාර මගින් පැහැදිලිවම සුව කළ හැකි තත්ත්වයකි.   

 


අද වනවිට මයෝමි දෙදරු මවකි. ඇය සාමාන්‍ය පරිදි හොඳ විවාහ ජීවිතයක් ගත කරන්නීය.   

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත