මිණිබැඳි දවුලක් උරුම වූ දොඹගහපුරණ


ගැමි රසවිත  

 

 

​අප කුඩාවුන් සන්දියේ පන්සලක පිංකම් පොළකට දොඹගහපුරණලා එනවයි කිව්වොත් එදාට පන්සල් බිම ඊස් මීස් නැත. ඒ ඔවුන්ගේ හේවිසි දවුල් හරඹ, නැටුම් අඩවි කස්තිරම් දැක බලා ගැනීමේ දුර්ලභ වරම උදාකර ගන්නටයි. අද ‘ජහුටා’ නමින් බමුණාකොටුවේ කැඩපත්වෙහෙර ප්‍රදේශයෙන් ප්‍රකට වූ දෙබස් කථන මුද්‍රා නාට්‍යවල මුල් ස්වරූපය වන මුද්‍රා නාට්‍ය බොහොම වරුණාවට ඉදිරිපත් කරන්නටත් දොඹගහපුරණලා දායක වූවෝය. සමස්ත ලංකාවෙන් මුදුනටම ආ ඔවුන්ගේ මහාරාවණා ගීත මුද්‍රා නාට්‍යය අද තිබුණා නම් ජාතික උරුමයක් වෙන්ට තිබිණි.  


දොඹගහපුරණලා ඉහළින්ම කප් ගසා සිටියේ දවුල් හරඹ වාදනයටයි. ඒ ශිල්පයට ලංකාවේ පමණක් නොව දේශදේශාන්තරවලද නම් දරා සිටි මොරගොල්ලාගම විතිකුලියේ සුරඹා ගුරුන්නාන්සේ ළඟට හිටියේ දොඹගහපුරණ සොමිඳා ගුරුන්නාන්සේය. ඔහුගේ දවුල් හරඹයෙහි පමණක් නොව හඬෙහිද අමුතුම රාගානිශ්‍රිත කීරි ගැසීමක් සැඟව තිබිණි. අපට මෑත කාලයෙහි එවන් ගම්භීර සුරල් ගායන හඬක් අසන්නට ලැබුණේ පනාපිටියේ පනාවිටිකන්දේ විසූ ගිරන්දා ගුරුන්නාන්සේගෙන් පමණි. සොමිඳා ගුරුන්නාන්සේගේ දවුලේ සුරලට සමගාමීව ඊට මිණිගෙඩි නාදයකුත් මුහුවී තිබීම අබිරහසක් විය. ප්‍රදේශයේ සෙසු නැටුම් හා වාදන ශිල්පීන් බොහොමයකට දොඹගහපුරණලාගේ මේ විස්මෘත ආශ්චර්යය ගැන ඉරිසියා පරවශ කුඩුකේඩු සිත් හටගැනීම අරුමයක් නොවේ.  


ඔවුන්ගේ මේ ගතු කේලාම් කන්ද උඩරට මහ වාසල දක්වා පැතිර යන තරමට ප්‍රබල විය. ඔය කියන දවුලත් ඇන්න දොඹගහපුරණ ගුරුන්නාන්සේට මහ රාජෝත්තමයාණන් ඉදිරිපිට පෙනී සිටින සේ අණාඥ ලැබිණ.  
‘‘හැබෑද බොල මේ කියන හරුප?’’  
‘‘දෙයියෝ බුදු වෙන්ඩ එහෙමයි.’’  
‘‘ඈ, බොල මගේ පංචතූර්ය විරිදු පණික්කිය ලෑ මඩුවෙ සිල්පීන්ටවත් නැති හපන්කොමක් තොට?’’  
‘‘සමා අවසර ලැබෙන්ට, ඒ මං හිතල කොරපු දහංගැටයක් හෙම නොවිච්චි..’’  
‘‘පෙන්නාපිය ඒ මිණිගෙඩි කොහෙද කියලා..’’  
‘‘තරහ අවසර, මේ දවුලෙ නම් ඇතුළෙ පිට කොතනකවත් මිණිගෙජ්ජි එල්ලා නැතුවා...’’  
‘‘ගහපිය සුරලක් බලන්ට...’’  
හැබෑ නේන්නම්, සුරල් නාදයට රිද්ම දෙන ගෙජ්ජි නාදයකුත් රජුට ඇසෙන්ට ගති.  
‘‘හෙනං ගලෝපිය වරපට..’’  
‘‘එහෙමයි’’  
දෙපැත්තෙන්ම දවුල් ඇස් වරපටින් මුදා විවෘත කොට දැක්වුවද ගුරුන්නාන්සේගේ කතාව ඇත්තය. මිණිගෙඩි, රහුගෙඩි හෝ ගෙජ්ජි කිසිවක් එතුළ නොවීය. දවුල් පෘෂ්‍ඨයේ ද නොවීය.  
‘‘බැඳු ආයෙත් වරපට’’  
‘‘එහෙමයි...’’  
ගුරුන්නාන්සේ නැවතත් නිසියාකාරව දවුල් කඳට වරපට බැඳ පදමට මූසන් කළේය.  
‘‘ආයෙත් ගහපිය සුරලක්...’’  


මහ රජ්ජුරුවන්ටත් මේ විස්මෘත නාදය ගැන ඇතිවූයේ ගෞරව පූරස්සර බැතියකි. රජතුමාගේ සැරවැර ස්වරූපය වෙනස් විය.  
‘‘කියාපන් ගුරුන්නැහේ, උඹට දේව වරමක්කත් ලැබුණද?’’  
ටික වේලාවක් හිස බාගෙන සිටි වාදන ශිල්පියා මුවගුලු හැරියේය. ‘‘ගැත්තාට සමාවෙන්ට..... එහෙමයි...’’  
‘‘උඹ ඒ ගැන කියන්ට මනාප නං කිව්වට කාරි නෑ. නොකිව්වාය කියල රජ්ජුරුවො උදහස් වෙන්නෙත් නෑ....’’  


‘‘එහෙමයි, මං මෙතුවක් කාලයක් මයෙ නාච්චිරේ එක්කවත් වචනයක් කටින් නොහළා රැකගත්තු රහස ඔබවහන්සෙ ඉදිරිපිට වමාරඤ්ඤං.. ඉන් පස්සෙ මේ ආස්චරියාවෙ සත්ත බිඳිලා යන්ටත් බැරි නෑ. ඒත් කාරි නෑ. දේව අණට වාගෙම රජ අණටත් අපි යටත් වෙන්ට එපායැ..’’  


‘‘එක අමාවක රිට්ටාවක් දවසෙ අලුයං ජාමෙ සුදු ඇඳගත් උත්තමයෙක් මා ඉදිරිපිට පෙනීහිට මෙහෙම අණ කළා. කොළමුණු ඔයේ අහවල් ඉස්තානෙ වැල්ලෙන් යටවෙලා ඇහැළ කොටයක් ඇති. ඒක ගොඩදාලා ගෙනැත් නියමිත පුද පූජා ඔප්පු කරලා ඒකෙන් දවුල් බෙර කඳ තනාගන්’ මමත් පහුවදා පාන් පැයට කාක්කා අඬන්ට කලියෙන් ඔය ඉවුරෙ වස්තරේ ගලවා තියා නිබුඩෙන්ම වැලිදල්ල අහක් කොල්ලා ඇහැළ කඳ ගෙනැත් රත්නින්දෙ දෙවොලට යාතිකා කොල්ලා හඳුන් කිරි පැණියෙන් නාවලා කුලුඳුල් ආවුද කට්ටලේකින්ම කඳ හාරා ගත්තා. තුන් මාසෙකුත් දවස් හතක් ගතකරලා මේකට හම් පූජාකොරාපු සතුන්ටත් මුරුතැන් පූජාවක් කරල පින් පමුණෝල තමයි දවුල වරපට ගැන්නුවෙ. දෙයියෝ බුදුවන්ඩ, ආන් ඒ දවුල තමයි මේ.  


මේ කතාව පිළිගත් රජතුමා දොඹගහපුරණ සොමිඳා ගුරුන්නැහැව ආපසු එවුවෙ තනියෙන් ගේන්ට බැරි තරමට තෑගි බෝග, පාක්කුඩම් හා සන්නස් පත්‍රත් රාජභට ආරස්සාවකුත් සහිතවයි.  


උඩ තිබ්බටුවාවේ එහෙව් දොඹගහපුරණ නැටුම් පෙළපතේ නශ්ඨාවශේෂයක්වත් හොයා ගන්න බැරි තරමට පරිහානියට පත්ව තිබීම නම් හැබෑවටම කණගාටුවකි.

 

ගුණතිලක මැටියගනේ  
සභාපති, වීරඹුගෙදර ප්‍රා.ලේ. සංස්කෘතික 
බල මණ්ඩලය