මැතිව් පීරිස් අත්අඩංගුවට ගැනීම එදා ජන මාධ්‍යයට වාර්තා වුණේ​ මෙහෙමයි


එදා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව-5

 

මැතිව් පීරිස් දේවගැතිවරයා සම්බන්ධ ඝාතන සිදුවීම් දෙකේ මරණ පරීක්ෂණ වාර්තා කළ මාධ්‍යවේදියකු ලෙස නෝමන් පිළිහවඩනයන් හඳුන්වා දිය හැකිය.   

මීනීමැරූම් බහුලව සිදු නොවු යුගයක සිදු වු රසල් සහ ඉයුනීස් ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කළ නෝමන් පළිහවඩන එම සිදුවීම් වාර්තා කළ හැටි මෙසේ ගෙන හැර පෑවේය. 


1979 කාලේ මම නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙසයි කටයුතු කළේ. ඒ කාලේ හිටපු ප්‍රවීණ මාධ්‍ය​ෙව්දියකු වූයේ හැරී උබේසේන මහත්තයා. 1979 මාර්තු 24 දා සෙනසුරාදා දවසකි. මට හැරී මහත්තයා කතා කරා.   


නෝමන් මල්ලි ඔයා කොහොම හරි මරණ පරීක්ෂණ උසාවියට යන්න. මිස් කර ගන්න එපා. හොඳ හොඳ සිද්ධි වර්තා වෙනවා. අවධානයෙන් ඉන්න ඔහු පැවසුවා.   
මම උදේම මරණ පරීක්ෂණ උසාවියට ගියා. එදා ලංකාදීපයේ විශාඛා සිරිවර්ධන, ඉංග්‍රීසි පුවත් පතක මාධ්‍යවේදිනියක වු රුවනී විජේදාස, දවස පත්තරේ ඉන්ද්‍රාණි ​ෙෆාන්සේකා ලේක් හවුස් පත්තර කණ්ඩායමෙන් මම සහභාගී වුණා. ඒ කාලේ මරණ පරීක්ෂණ උසාවියට විවිධ වාර්තා එනවා. හැම මාධ්‍යවේදියෙකුගෙම තිඹිරිගෙය හා තෝතැන්න එයයි.   
ඒ නිසා අපි කවදාවත් මරණ පරික්ෂණ උසාවිය මඟ හරින්නේ නෑ. එදා වෝල්ටර් ඩී. පෙරේරා මහත්තයා මරණ පරීක්ෂණය පැවැත්වුවා. එතන සුදු ​ලෝගුවක් දා ගත්ත පියතුමෙක් හිටියා.   


කවුද ඒ කියලා මම සාජන් නානායක්කාරගෙන් ඇහුවා.   


ඒ වෙලාවේ එයා කිව්වා. මේ පියතුමා එයාගේ නෝනාගේ මරණයට සැක කරනවා කියලා. අද එයාගෙන් කට උත්තර ගනියි කියලත් ඔහු කිව්වා. 

 
මෙය මට වටින කතාවක්. ඒ වගේම අනිත් මාධ්‍ය වාර්තාකරුවොත් ඊට අවධානය යොමු කළා.   


මරණ පරීක්ෂණය ආරම්භ කළා. තොරතුරු එකින්එක අනාවරණය කළා. අවසානයේ මට ඇහුණා අපේ වාර්තාකාරිණියෝ ටික කතා වෙනවා. ඉරිදා ඇවිල්ලා සඳුදා පත්තරේට ලියමු කියලා. මම ඒකට මුකුත් කිව්වේ නෑ. ඇහුණේ නෑ වගේ හිටියා. මම කෙලින්ම ගියේ ලේක් හවුස් එකට. එදා ලේක් හවුස් එකේ එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා හිටියා. ඒ වගේම උපකතෘ වූ ගාමිණී සුමනසේකර මහත්තයා හිටියා.   


රණසිංහ මහත්තයා මම ගෙන ආව විස්තර බැලුවා. අයිසේ මේක හොඳ කතාවක්. වහාම පත්තරේ මැෂිම නවත්තලා මේක ​ෙකාළඹ මුද්‍රණයට ලීඩ් කරලා ගහමු කිව්වා. ඒ කිව්ව විදියටම එය කොළඹ මුද්‍රණයට ගැහුවා. පහුවදා බලන කොට එක පත්තරයක වත් ඒ කතාව ගිහින් තිබු​ෙණ් නෑ.   


හැබැයි ඔබ්සර්වර් එකේ පණ්ඩුක සේනානායක පොඩි විස්තරයක් දාලා තිබුණා. පහුවදා අනිත් පත්තරවල කෙල්ලෝ මට දොස් කිව්වා. ඒ අය කිව්වා ඔයා කරපු දේ නිසා අපිට බැණුම් අහන්න වුණා කියලා.   


මම ඒ අයට එදා කිව්වා වටිනා ප්‍රවෘත්තියක් ගෙදර අරන් යන සිරිතක් නෑනේ කියලා.   


මේ පුවත මහත් ආන්දෝලනයක් වුණා. පහුවදා එය දිණමිණ පත්තරෙත් ගියා. ඒකට හෙඩිම දැම්මේ සිරි රණසිංහ මහත්තයා. මේක පළ වුණාට පස්සේ හැරී උබේසේන මහත්තයා මට කිව්වා, මල්ලී මේක හරි උනන්දුවෙන් කරලා තියෙනවා. දැන් ඔයා දිගමට මේ කතාව ෆලෝ අප් කරන්න. (ලුහු බඳින්න) කියලා.මම මාධ්‍ය කලාවට ආවට ෆලෝ අප් කියන වචනය ඉගෙන ගත්තේ එදායි. ඒ වගේම එදා ඔහු මට කිව්වේ හැබැයි අතේ රෝල් නම් ලියන්න එපා කියලා.   


මම ඒ අවවාදය පිළිගත්තා. මාත් සමග දවසින් ප්‍රේමලාල් විජේරත්න, ලංකාදීපෙන් ප්‍රේම කුමාර රාජපක්ෂ තරගයට ලියන්න පටන් ගත්තා. එක්කෙනෙක් වත් ප්‍රවෘත්ති මඟ අරින්නේ නෑ. උදේ ඉඳලා රෑ වෙනකම්ම පොලිසියේ උසස් නිලධාරීන්ට කතා කරමින් අලුත් පුවත් පිළිබඳ විමසමින් අවධානයෙන් හිටියා.   


නියෝජ්‍ය පොලිස්පති ආර්. සුන්දරලිංගම් මහතා ඒ කාලේ මට උදව් කළා. ඔහු බොහොම හොඳයි. ඒ වගේම පොලිස් කොමසාරිස් වාමදේවන්, පොලිස් අධිකාරි හේමා වීරසිංහ වැනි මහත්වරු මිනීමැරූම් පිළිබඳ පරීක්ෂණ කටයුතුවල නිරත වුණා. මමත් එක අවස්ථාවක් වත් මඟ අරින්නේ නැතිව වාර්තා කළා. ඔවුන් සම්බන්ධ කරගෙන අලුත් තොරතුරු සොයා ගත්තා. සමහර අවස්ථා වල ආරක්ෂක හේතු මත තොරතුරු නොදුන් අවස්ථාත් තිබුණා.   


එ් වගේ වාතාවරණයක කොයි වෙලේක හෝ මැතිව් පීරිස් දේවගැතිවරයා අත්අඩංගුවට ගනියි කියලා මට සැක හිතුණා.   


මමයි ලේක් හවුස් එකේ ඩී.බී. ලියන​ෙග්යි දේවගැතිවරයා සිටි පල්ලියට ගියා. හවස් වෙන කම්ම පල්ලිය අසල රැඳී සිටියා. දවස් කීපයක්ම ඒ ආකාරයට බලා සිටියා. පොලිසියේ අය අපිව අඳුරන්නේ නෑ.   


ඒත් අපි පොලිසියේ අය අඳුරගෙන තිබුණා.   


එක දවසක් හැන්දෑවරුවේ පොලිසිය පල්ලියට ඇවිත් දේවගැතිවරයා අත්අංගුවට ගත්තා. අපේ කැපවීම සාර්ථක වුණා. අපි කෙළින්ම කන්තෝරුවට ගිහින් ඒ කතාව ලිව්වා. අපි පැපරාසි මාධ්‍ය ක්‍රමයට හුරු වුණේ මේ රහස් පරීක්ෂණ ක්‍රමවේදය නිසායි.   


එ් වගේම දෙන්නැති ප්‍රවෘත්තියක් කොහොමද ගන්නේ කියන එක ප්‍රගුණ පුහුණු ක​ෙළත් මේ පරීක්ෂණ ක්‍රියාවලිය නිසයි. ඒකට එක උදාහරණයක් මම කියන්නම්. ඩැල්රින් ඉන්ග්‍රම් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් අපි හොඳ සෝදිසියෙන් හිටියේ. ඒ අනුව අපිට ඒ පිළිබඳ නිල නොවන ආරංචියක් ආවා. එහි සත්‍යතාව දැන ගත යුතුයි. අපි ඇය සේවය කරන ස්ථානය සොයාගෙන තිබුණා.   


අැය සේවය කළේ යුනියන් ප්ලේස් එකේ. මමයි ඩී.බී. ලියනගේයි එම ස්ථානයට ගියා. එහි නිලධාරියෙකු ගෙන් ඇහුවා අපේ අක්කා පොලිසිය අත්අඩංගුවට ගත්තා නේද කියලා. එම නිලධාරියා හිතුවේ මම ඩැල්රින්ගේ මල්ලි කෙනෙක් කියලා.   


අනේ පුතේ කලබල වෙන්න එපා. මේ දැන් කොළඹ ග්‍රෙගරි පාරේ. පොලිසියෙන් ඇවිල්ලා (අපරාධ මූලස්ථානයෙන්) ප්‍රශ්න කරන්න අරගෙන ගියා. පුතා බය වෙන්න එපා. එම නිලධාරියා කීවා. අපි ඒ ආකාරයට තොරතුරු ලබාගෙන ග්‍රෙගරි පාරට ගියා. පැයක් යන්න ඉස්සෙල්ලා අනිත් කැමරාමන්ලා ටිකත් ආවා. හැන්දෑවේ තුනේ ඉඳලා හවස හය වෙනකම්ම ඩැල්රින් එළියට එනතුරු එතන රැඳී සිටියා.   


​ෙපාලිසිය අපිව මුළා කරන්න පොලිස් කාන්තාවකට සාරියක් අන්දවලා මුලින් රැගෙන ගියා. අපි පොලිස් උපක්‍රම පිළිබඳ අවධානයෙන් හිටියේ. ඒ නිසා අපි ඊට රුවටුණේ නෑ.   
අපේ එක කැමරාමන් කෙනෙකු වු ජයන්ත දිවිසේකර ඉදිරිපස පැත්තේ බලා සිටියා.   


අපේ අනිත් කැමරමන් වූ රාජා පෙරේරා පිටුපස ප්‍රදේශයේ බලා සිටියා. කොහොම හරි රාජා පෙරේරාගේ කැමරාවෙන් බේරී ඇයට යා නොහැකි වුණා.   


තව දවසක් මහ රෑක මැතිව් පීරිස් දේවගැතිතුමාගෙන් පොලිසිය ප්‍රශ්න කළා. ඒ දවසෙදි අපේ කැමරමන්ලා ගහක් උඩ නැගලා ඔහු එනතුරු බලා සිටියා. පූජකතුමාගේ හෙවණැල්ල බිත්තියට වැටී තිබුණා. ඔහුගේ පැහැදිලි පින්තූරයක් ගත නොහැකි වුවත් බිත්තියට වැටුණු හෙවණැල්ල පින්තුර ගත්තා. ඒ වගේ විවිධ ක්‍රම භාවිතා කරලා තොරතුරු ලබා ගත්තා.   


තවත් දවසක රසල් ඉන්ග්‍රම්ගේ මළ සිරුර ගොඩ ගැනීම සිදු වුණා. එය සිදු කළේ හිමිදිරියක. බොරැල්ල කනත්ත මීදුමෙන් වැහිලා තිබුණේ. අපි මිනිය ගොඩ ගන්නකම් එහි සෑ​ෙහන වේලාවක් රැඳී සිටියා. ඒ තරම් ඇප කැප වෙලා තමයි අපි මේ සිදුවීම් පිළිබඳ තොරතුරු හොයාගෙන පුවත් පත්වල ලිපි පළ කළේ.   


මේ ප්‍රවෘත්ති බලන්න රටේ විශාල උනන්දුවක් ඇති වෙලා තිබුණා.   


එ් නිසා අපේ නම් ඉබේම පාඨකයන්ට හුරු වුණා.   


එදා ඒ ආපු ගැම්ම තාමත් අපි අතර තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මේ වගේ කැප වීමත් තියෙන්න ඕනැ. බොරු නොලියා කැපවීමෙන් කටයුතු කිරීම තමයි නිවැරදි මාධ්‍යවේදියා කියන්නේ.   

 

 


සටහන කුමාරි හේරත්