මැතිවරණ ජය ලැ​ෙබිද ඔබම බලාගන්න


කේන්දරයක ඒ ඒ ග්‍රහයින්ගෙන් උදාවන යෝග ජීවිතයට බෙහෙවින්ම ශුභඵල උදාකර දීමට සමත්ය. අඟහරු නැත්නම් කුජ ග්‍රහයාගෙන් රුචක යෝගයද, බුධ ග්‍රහයාගෙන් භද්‍ර යෝගයද, ගුරු ග්‍රහයාගෙන් ගුරු හංස යෝගයද, සිකුරු ග්‍රහයාගෙන් මාලවී යෝගයද නම කියූ පමණින් තැතිගන්නා සෙනසුරු ග්‍රහයාගෙන් සස යෝගයද උදාවෙයි. කුජ, බුධ, ගුරු, සිකුරු සහ ශනි යන මෙම ග්‍රහයින්ගෙන් එක් අයෙකු හෝ බලවත්ව කේන්ද්‍ර ස්ථාන ගතව හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව සිටින්නේ නම් රාජ යෝග උදාවෙයි. එහෙත් එම ග්‍රහයින් පාපී ග්‍රහයින්ගේ දෘෂ්ඨියට ලක්ව හෝ පාප සංයෝගව සිටීමෙන් ශුභ ඵල නොලැබේ.
  
අඟහරු බලවත්ව කේන්ද්‍ර ස්ථානයක යෙදී ඇත්නම් ගජකේශරී යෝගය යෙදෙයි. චන්ද්‍රයාගෙන් 4, 7, 10 යන ස්ථානයක පාප ග්‍රහ සංයෝග නොමැතිව, බ්‍රහස්පති නැත්නම් ගුරු තැන්පත්වී ති​බේ නම්ද චන්ද්‍රයා සමග ගුරු යෙදී ඇත්නම්ද රාජයෝග උදා කෙරෙයි. එසේ වුවද කේන්ද්‍රයේ දුෂ්ඨස්ථාන ලෙස හැඳින්වෙන 6, 8, 12 යන රාශියක කුමන ග්‍රහයකු වුවද ශුභ ඵල නොදෙයි.  


බ්‍රහස්පති හෝ චන්ද්‍රයා උච්ච වී ශුභ ස්ථානයක ශුභ සංයෝග සහිතව තැන්පත්ව ඇත්නම් එයින් ශුභඵල උදාවේ. එසේ වුවත් ගුරු වක්‍රවී සිටී නම් ශුභඵල උදාවන්නේ නැත.  


ගුරු හෝ පුර පක්ෂයේ චන්ද්‍රයා උච්චවී ශුභ සංයෝග සහිතව ශුභ ස්ථානයක සිටින්නේ නම් නියතින්ම ජය ලැබෙන අතර ගුරු වක්‍රවී සිටිය හොත් එම ජය උදාවන්නේ නැත. රවි ග්‍රහයා මේෂ රාශියේ යෙදීමද රාජයෝගයකි. සමාජයේ කැපී පෙනෙන චරිතයකට හිමිකම් තිබේ. චන්ද්‍රයා කටක රාශියේ යෙදී සිටී නම් කුලීර යෝගය උදාවෙමින් එයද කැපී පෙනෙන බලවත් යෝගයකි. අඟහරු මේෂ හෝ මකර රාශියේ යෙදී ඇත්නම්, තේජවන්ත බවක් පෙන්වන පුද්ගලයකු බිහිකරවයි. එවැනි අයකුට නායකත්වය ගෙන කටයුතු කළ හැකිවේ. බාධක මැඩගෙන ඉදිරියටම යාහැකිය. බුධ ග්‍රහයා මිථුන හෝ කන්‍යාවේ නම් හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව ඇත්නම්, ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කරන උගත්කම, බුද්ධිමත්කම නිසාම දියුණුවට පත්වන්නේය. ඉපයීමට දක්ෂයකුද වන්නේය. අන්‍යයන්ගේ ගෞරවයටද පාත්‍රවන්නේය.  


ගුරු ග්‍රහයා කටක ධනු මීන රාශිවල නම් උච්චව ස්වක්ෂේත්‍රව අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වන්නෙක් වේ. ගුණ නුවණ ධනය, කීර්තිය ප්‍රසංශාව තමන් ළඟට පැමිණේ.  


සෙනසුරු ග්‍රහයා තුලා මකර හෝ කුම්භයේ යෙදී ඇත්නම් බලය මෙන්ම ප්‍රසිද්ධිය ළඟා කර දීමට සමත් වෙයි. බාධක මැඩගෙන ඉදිරියට යාහැකි අයකු වෙයි.  


සෙනසුරු ග්‍රහයා තුලා මකර හෝ කුම්භ රාශිගතව සිටී නම් බලය ප්‍රසිද්ධිය හිමිකර දෙයි. අවහිර බාධක මැඩගත හැකිවෙයි. දියුණුවේ ඉහළට යා හැකි වෙයි. පවුලට ගමට නගරයට ප්‍රධානත්වය උදාකර ගැනීමට හැකිවෙයි.  


එසේ වුවද පංච මහා පුරුෂ යෝග ඇතත් ඇතැම් විට ඒවා භංගවන අවස්ථාද උදාවන්නේය. යෝග කාරක ග්‍රහයා උච්චවන රාශියෙහි අධිපති ග්‍රහයා තමන්ගේ නීච රාශි අධිපතියාගේ දෘෂ්ඨියට දැක්මට ලක් වුවහොත් ඉහත කී පංච මහා පුරුෂ යෝග භංගවන්නේය. මේ අනුව අත ළඟ එන මැතිවරණයෙන් ජයගත හැකිදැයි කල්වේලා ඇතිව දැන ගැනීමට තමන්ට හැකිවෙනු ඇත.  

 

 

 

 


තෙලිඋන්නේ, පී හේවාපතිරණ  
39/1 වැලිපොතවත්ත, කැකණදුර,  මාතර  
0770635279.