මාස 6 කට වරක් හමුවී


ආදරය කරන කුරුලු ජෝඩුවක්

මුලින්ම පැමිණෙන පෙන්ගුවින්ලා

ෂියර් වෝටර්ස් කුරුල්ලෝ

ස්නෙයාරර් පෙන්ගුවින් යුවළක්

 

 

නවසීලන්ත දූපත් රාජ්‍යයට අයත්, එක් කුඩා දූපතක් සීත කාලය එළැඹෙද්දී, සැඬ සුළං සහ තද සීතල කාලගුණයකින් බැටකයි. නිරන්තරයෙන් වැසි ඇද හැලෙද්දී, මෙම දූපත අඳුරු, මූසල පෙනුමක් ගනී. මේ කාලයට කිසිවකු දූපතට පැමිණෙන්නේ නැත.මේ දූපතට කෙටි ගිම්හානයක් ද උදා වෙයි. මේ කෙටි කාලයේදී, දූපත උණුසුම් වෙයි. සැඬ සුළං පහව යයි. හිරු රැස් වැටෙද්දී මහා පරිවර්තනයක් සිදුවෙයි. දූපත සංචාරකයන්ගෙන් පිරෙන්න පටන් ගනී. එකා දෙන්නා බැගින් සංචාරකයන් දූපතට පැමිණෙන්න ගනී. 


කුරුල්ලෝ


දූපතට පැමිණෙන මේ සංචාරකයෝ, මුහුදු කුරුල්ලෝය. ගිම්හානයේ පළමු අරුණලු නැගෙද්දී, මුලින්ම පැමිණෙන්නේ, පියාඹන්න වරම් නැති වුවත්, මුහුදේ පිහිනන්න ශූර පෙන්ගුවීන්ලාය. මුහුදු කුරුල්ලන් දූපත බලා පැමිණෙන්නේ එක අරමුණක් ඇතිවය. ඒ, ගිම්හානය අවසන් වීමට පෙර අභිජනනය සඳහාය. දූපත බලා පැමිණෙන පිරිස අතර ස්නෙයාරර්ස් පෙන්ගුවීන්ලා, ෂියර්වෝටර්ස් මුහුදු කුරුල්ලන් සහ ඇල්බට්‍රෝස් මුහුදු කුරුල්ලන් දකින්න ලැබේ. ෂියර්වෝටර්ස් කුරුල්ලා සිංහලෙන් හැඳින්වෙන්නේ දියලාවකයා සහ පිරිලාවකයා යනුවෙනි. මේ මුහුදු කුරුල්ලා නාලනාසික එසේත් නැතිනම් නලයක් බඳු හොටක් ඇති දුඹුරු පැහැති කුරුල්ලෙකි.


දූපත


මුහුදු කුරුල්ලන් බොහොමයක් ඔවුන්ගේ කැදලි තනන්නේ බිමය. ඇතැම්හු ඒ සඳහා ගුල් තෝරා ගනිති. මේ දූපතට සතුරු කරදර නැත. විලෝපිකයන්ට දූපතට පැමිණීමට ද නොහැකිය. එහෙයින්, විලෝපිකයන් ගැන බිය විය යුතු නැත. බිම හාරා කැදලි තනා බිත්තර දැමීමට දූපත ආරක්ෂිත තැනකි. ගිම්හානය උදා වී දින දෙක තුනක් යද්දී දූපත මුහුදු කුරුල්ලන්ගෙන් පිරී යයි. දූපත කුරුලු පාරාදීසයක් බවට පත් වෙයි. කෙටි ගිම්හානයත් සමඟ උදා වුණු කෙටි අභිජනන සමයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. ඒත්, දූපතට එන හැමෝටම සහකාරියක හෝ සහකරුවකු හෝ නැත.

 

 


ඇල්බට්‍රෝස්


දූපත අද්දරට වෙන්න, විසිරී පැතිරී ගිය ගසක ඉහළට මතුවුණු යෝධ මුල් අතරේ හුදෙකලාව බලා සිටින ‘බුලර්ස් ඇල්බට්‍රෝස්’ කුරුල්ලෙකි. ඔහු බලා සිටින්නේ ඔහුගේ සහකාරිය පැමිණෙන තුරුය. ඇල්බට්‍රෝස් කුරුල්ලන් පමණක් නොව, කිරිල්ලියන් ද ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට සහකරු හෝ සහකාරිය ලෙස තෝරා ගන්නේ එක් කුරුල්ලකු හෝ කිරිල්ලියක පමණය. හැම වසරකම, මාස හයක කාලයක් කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් වෙන් ව ජීවත් වෙයි. දෙදෙනා වෙන වෙනම මුහුදේ සැරිසරයි. දෙදෙනා යළි මේ දූපතේ දී එක් වන්නේ පැටවුන් බිහිකිරීමටය. 


ඇය ප්‍රමාදයි


කෙසේ නමුත් මේ වසරේ ඇය ප්‍රමාදය. ඇල්බට්‍රෝස් කිරිල්ලියක දූපත බලා පැමිණෙයි. නැහැ. ඒ ඇය නොවෙයි. දූපතට පැමිණ සිටි අනෙක් කුරුල්ලන් ඔවුන්ගේ නියමිත රාජකාරිය ලහිලහියේ අවසන් කර පිටවි යයි. ඒත් කිරිල්ලිය තවම නැත. දවසින් දවස කාලය ගත වෙයි. ඇය ඉක්මනින් පැමිණියේ නැතිනම්, සාර්ථකව එක් වීමට හෝ බිත්තර දැමීමට හෝ අපහසු වනු ඇත. 


තවම නෑ


හැම උදෑසනකම, දියලාවකයන් මුහුදට පියඹා යයි. ඒ, ඔවුන්ගේ පොඩිත්තන්ට කෑම ගෙන ඒම සඳහාය. හුදෙකලා වුණු ඇල්බට්‍රෝස් කුරුල්ලා ඈත මුහුද දෙස දෑස් දල්වා බලා සිටී. කිරිල්ලිය තවමත් නැත. දියලාවකයන් සවස යළි දූපත බලා පැමිණෙයි. ඒ දවස අවසන් කරමිනි. කිරිල්ලිය තවම නැත. මේ වනවිට මේ දූපතේ කුරුල්ලෝ බිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් සිටිති. ඒත්, ඇල්බට්‍රෝස් කුරුල්ලා උනන්දුවක් දක්වන්නේ ඒ අතරින් එක් කිරිල්ලියක් කෙරෙහි පමණය. ඇය තවමත් දූපතට පැමිණ නැත.


ඇය එනවා


පසුදා අරුණලු නැගෙද්දී කිරිල්ලියක දූපත වෙත පියඹා එනු පෙනෙයි. කිරිල්ලිය පැමිණෙන්නේ තමා වෙත බව කුරුල්ලාට වැටහෙයි. දෙදෙනා සෑම වසරකම දූපතේ හමුවන්නේ එකම තැනකය. ඔව්, මේ එන්නේ ඇයයි. දින කීපයක ප්‍රමාදයකින් පසු ඇල්බට්‍රෝස් කිරිල්ලිය කුරුල්ලා වෙත පැමිණෙයි. දැන් හරි. සහකාරිය ළඟට පැමිණෙද්දී, කුරුල්ලා මුලින් ලැජ්ජාශීලී බවක් පෙන්වයි. ඇල්බට්‍රෝස් කිරිල්ලිය, ඔවුන්ට ආවේණික කුරුලු බසින් කුරුල්ලා සමඟ කතා කරයි. වැඩිවේලාවක් යන්න කලින් දෙදෙනාම කතාබහ අරඹයි. දෙදෙනා එකිනෙකා පිළිගැනීම කරන්නේ ඔවුන්ට ආවේණික වූ විශේෂ නර්තනයකිනි. සීත කාලය උදාවීමට පෙර බිත්තර දමා පැටවුන් ලොකු මහත් කරන්න නම්, ඊට පෙර කළ යුතු දේ බොහොමයකි. තවත් කල් ගැනීමට අවශ්‍ය නැත. ඉක්මන් විය යුතුය. කුරුල්ලාගේත් කිරිල්ලියගේත් මේ හමුව සිදුවන්නේ මාස හයක විරාමයකින් පසුවය. ඒත් ඉතිං, සමහර දේවල් හදිස්සියට හෝ කලබලේට හෝ කළ නොහැකිය.

 

කිරිල්ලි එනකන්

ඇය තවම නෑ

කිරිල්ලි පැමිණෙමින්

දෙදෙනා යළි හමුවෙයි​

 

 

 

ලුසිත ජයමාන්න
බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි