මාගම යටාල වෙහෙරේ වැඩ වසන දළදා වහන්සේ


 යටාලතිස්ස දාගැබ 

 

  • මාගම යටාල දාගැබට වම් යටි දළදා වහන්සේ වැඩම වූයේ කාලිංගයෙන් වම් දළදා වහන්සේ වැඩමවීමට වසර 600කට පෙරයි.  

 

නන්වන් කුසුම් සුවඳ ගෙනැ බුදු මුවින් දේශිත සියලු සූත්‍ර ධර්ම දේශනා අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශිත සතර දළදාවන් අතරින් දළදා වහන්සේ තෙනමක් ම මේ දිවයිනෙහි වැඩ වසන බව පුරාවිද්‍යා සාක්ෂි මගින් තහවුරු වේ. මේ පුවත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ සිත් සතන් මහත් අමන්දානන්දයට පත් කරවන පුවතක් වනු නිසැකය. බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි වූ රදනක චතුර් දන්තයන් පාලි බසින් හැඳින්වෙන්නේ ‘‘දාඨා’’ යනුවෙනි.  


බුදුන් වහන්සේගේ සෙසු දන්තයන්ට වඩා සුදු පැහැ දීප්තියෙන් බබළන සතර දළදා වහන්සේ ගේ ප්‍රභාශ්වරය ‘‘දාඨා ප්‍රභා’’ ලෙසින් පාලි සාත්‍යයෙහි වර්ණිතය.  


ක්‍රි.ව. 310 වැන්නේ කිත්සිරි මෙවන් රජුගේ 9 වන රාජ්‍ය වර්ෂයේ දී බුදුන් වහන්සේගේ වම් දළදාව කාලිංග දේශයේ සිට ශ්‍රී ලංකාවට වැඩම වීමත් සමග මෙරට ජන ජීවිතයේ ඇති වූයේ අසිරිමත් ම යුග පෙරළියකි. ඒ සමග නිතැතින්ම දළදා සමිඳුන් රාජ්‍යත්වයේ සංකේතය බවට පත්විණි.  


දේශයේ දේශපාලනික සාමාජයීය හා සංස්කෘතික සමෘද්ධිය උදෙසා, දළදා සමිඳුන්ගේ සුසම්ප්‍රාප්තිය තරම් බලපෑ වෙනත් කිසිදු සාධකයක් නොමැති බැව් විද්වත් මතයයි. දළදා වංශය, දළදා පූජාවලිය, ධාතු වංශය, දළදා සිරිත වන් දළදා සමිඳු අගයන්නට වෙනම ම දළදා සාහිත්‍යයකින් සිංහල සාහිත්‍ය වංශය ආලෝකමත් විය. මෙනයින් මුළු මහත් රටටත් විශේෂයෙන්ම කන්ද උඩරටටත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ඉමහත් සෙතක් උදා විය. මෙවන් අති උතුම් තවත් දන්න ධාතුන් වහන්​සේ නමක් ඓතිහාසික රෝහණ දේශයේ මාගම් දනව්වේ ද ජීවමානව වැඩ හිඳිනා පුවත මුළු මහත් ජාතියේම අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වේ. පුරා විද්‍යාඥයන් රාශියක් වසර ගණනාවකට ඉහළ ශිලා ලේඛන සහ ශාස්ත්‍රීය සාධක සමුදායක් උපයෝගී කර ගනිමින් බුදුන්වහන්සේ​ගේ වම් දළදා සමිඳුන් මාගම් දනව්වේ චෛත්‍යයක නිදන් කර ඇති බවට කරුණු හෙළිදරව් කර ඇත. එනමුදු අද දක්වා එම හෙළිදරව්ව නිසි පරිදි ජනගතවී නොමැති සෙයක් හැඟෙයි.  
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කරනු ලැබූ අවස්ථාවේ සර්වඥ ධාතූන් විභේදනය වූ අයුරු ධාතු වංශයෙහි සවිස්තරව දැක්වෙයි. එහි ලලාට, දෙඅකු සහ සතර දළදා යන ධාතු සප්තමය නොවිසුරුණු බව සඳහන්ය. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආදාහනයෙන් පසු සම සතළිස් දන්ත ධාතූන් ද කේෂ හා ලෝම ධාතූන් ද දෙවියන් රැගෙන ගිය බව පැවසේ. ශේෂ වූ සතර දළදා බෙදී ගිය ආකාරය මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මැනවින් සඳහනි. එම සතර දළදාවන් අනුපිළිවෙළින් දෙවියන් විසින් දෙව් ලොවට ද ගන්ධාර පුරයට ද කලිඟු රටට හා නා ලොවට ද ගෙන යන බව සූත්‍රගතව පවතී.  


දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේය. එම දළදා වහන්සේ දන්න හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේය. කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි.  

 

යටාලතිස්ස දාගැබේ ඇත් පවුර 

 


කාවන්තිස්ස රජ සමයෙහි මහා දේව මහ තෙරුන්​ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුවන්ගේ නාග භවනයට ගොස් දකුණු දළදාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. එනමුදු මෙම දකුණු දළදාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි. නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි. එහි හින්දු කෝවිලක් ඉදිව පැවැති ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජයා කළ චෛත්‍යයක නටඹුන් හමු වූ බව වාර්තා වේ.  


එවකට මෙම වෙහෙර හඳුන්වා ඇත්තේ ජගත් නාථ නමිනි. ජගත් නාථ යනු බුදුන් වහන්සේ උදෙසා ව්‍යවහාරිත අන්වර්ත නාමයකි. ඉන්දීය පුරාවිද්‍යා භාරකාර සුරේෂ් ප්‍රේම චන්ද්‍ර මහතා මෙම පුවත තහවුරු කර ඇත. ඔහු දක්වන පරිදි ඔහුගේ පරපුරේ මීමුත්තෙකුට මෙම නටඹුන් පිරික්සීමේ දී තඹ සන්නසක් හමු විය. බුදුන්වහන්සේ​ගේ දකුණු දළදාව එම වෙහෙරේ තැන්පත් කර තිබූ බව එම තඹ සන්නසෙහි සඳහන්ව තිබූ බව ද පැවසේ. සෝමාවති රජ මහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් මෑතක දී නෑග්පූර්හි පිහිටි මෙම පුරාවිද්‍යා නටබුන් පරීක්ෂාකර බැලීමට ගොස් ඉහත පුවත සනාථ කර ඇති බව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. මෙම ප්‍රදේශයේ බෞද්ධයන් හා හින්දූන් අතර වාර්ගික ගැටුම් ඇති වූ අවස්ථාවේ අදින් වසර 2200 කට පෙර මෙහි තැන්පත්ව තිබූ දකුණු දළදා සමිඳුන් ආරක්ෂිතව ලංකාවට වැඩමවන ලද බව ද සඳහනි.  


මීළඟට අප අවධානය යොමුවන්නේ මාගම ජීවමානිතව වැඩවසන තෙවන දළදා වහන්සේ පිළිබඳවය.  
1996 වසරේ දී එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් සී.ආර්. ගොඩකුඹුර මහතා ශිලා ලේඛන සංග්‍රහයෙහි (1966 VOL V) මෙම දළදා වහන්සේ පිළිබඳව සෙල්ලිපියකින් අනාවරණය වූ තොරතුරු පළකර ඇත. මාගම්පත්තුව ආශ්‍රිත කිරින්දේ රණකෙළිය නම් ස්ථානයේ කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී මතුකරගත් සුවිශේෂී ශිලා ලේඛනයක් පිළිබඳව මෙහි තොරතුරු වාර්තා වේ. දාගැබක් ඇතුළු නටබුන් රාශියක් මධ්‍යයෙන් මතුකරගත් මෙම සෙල්ලිපිය තිස්ස ස්ථූපයෙහි කාවන්තිස්ස රජු විසින් තවත් දළදා වහන්සේ නමක් නිදන් ගත කර ඇති බව සනාථ කරවයි. පසු කාලයේ දී මෙම සෙල්ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා විසින් වඩාත් නිවැරදිව පරිවර්තනය කරනු ලැබීය.  


‘‘ඈපා මිහින්ද්හු විසින් පෙර තුන් බුදුන් දා නින්දු තන්හි, මේ අප ගොයුම් දස බුල් යටි වම් දළදා වසා මහතුම්බු කැරැ තුන්සියය තෙසැටි පිරිවෙණින් ලකර් කොටි කාවන්තිස්ස මහරද්හු තමා නම් නෙත් කරැ දුන් තිසරම් රද් මහ වෙහෙරට දකුන් දෙසෙහි...’’  


මෙහි අරුත ඈපා මිහිඳු විසින් ගෞතම දසබලධාරීන්ගේ යටි (හක්කේ) වම් දළදාව වසා මහා ස්ථූපයක් කළේ පෙර (කප්හී) කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරුන්ගේ ධාතු නිදන් කොට පැවති ස්ථානයෙහිම බවය. මෙම සෙල්ලිපියෙහි අවසන් පේළියෙහි පැහැදිලිව ගම්‍ය වන්නේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුන් වහන්සේලාගේ දළදාවන් ද පූර්ව යුගයන් හිදී මෙහි නිදන් කර ඇති බවය. ලළාට ධාතු වංශය ද (පිටුව 59) මෙම පුවත තහවුරු කර ඇත. මෙහි සඳහන් තිසරම් වෙහෙර වර්තමානයේ ජනතාව​ගේ ​පොදු පිළිගැනීම බවට පත්ව ඇති වත්මන් තිස්සමහාරාම විහාරය නොවන බවත් ක්‍රිස්තු පූර්ව යුගවල වත්මන් තිස්ස මහ වෙහෙර නොහොත් දළදා සෑය වශයෙන් ව්‍යවහාරිකව පැවතියේ වත්මන් යටාලතිස්ස වෙහෙර බව ද පැහැදිලි වේ. මෙම ටැම් ලිපිය වර්තමානයේ කතරගම පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ. මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් මෙම සංසිද්ධිය පිළිබඳව පුළුල් ශාස්ත්‍රීය ගවේශනයක් සිදුකර ඇති බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.  


වර්තමානයේ තිස්ස මහා විහාරය අතීතයේ හඳුන්වා ඇත්තේ නාගමහා විහාරය යන නමින් බව 1883 වසරේ දී ප්‍රකාශිත එඩ්වඩ් ම්‍යුලර්ගේ ANCIENT INSCRIPTIONS OF CEYLON නම් කෘතියෙහි සඳහනි. තිස්සමහාරාම සෑ මළුවේ කළ පුරාවිද්‍යා කැණීමක දී හමු වූ අභිලේඛනයකින් එය තහවුරු වන බව ම්‍යුලර් මහතා සිය කෘතියෙහි සඳහන් කරයි.  


දළදා සමිඳුන් ජීවමානව නිශ්චිත වශයෙන් වැඩ හිඳිනා දළදා දා ගැබක් පිළිබඳ ශිලා ලේඛනයක් අපට මීළඟට දෘශ්‍යමාන වනුයේ තිස්ස යටාලතිස්ස විහාර භූමියෙනි.  


1) ස්ව(ස්)ති - 2) අභා සල මෙව - 3)න් මපුරුමුකා තුන්ව - 4)න් නේ වෙසඟ පුර දස - 5)වක් දවස් දෙනා අ - 6)ක් වෙහෙර නියම් දෙ - 7)ට නාදළමි දළදා දාගැ - 8)බ(ත්‍ර)යක් පුදාය බ - 9)ම්බ දෙයෙන් පවත්නා - 10)සත්ගම් කැරැවු නැ - 11)ටු වි පිටියෙහි නා දළනාමි - 12)ව(............)ට  


ඉහත සෙල්ලිපියෙහි අරුත අපට මෙසේ සලකා ගත හැකිය.  


‘‘යහපතක්ම වේවා (මම) ජේතවන අග්‍ර විහාරයේ නියාම ජ්‍යෙෂ්ඨ නාගදාඨ වෙමි. අභය ශිලා මේඝවර්ණ රජුගේ (අභිෂේකයෙන්) තුන්වන (වර්ෂයේ) වෙසක් (මස) පුර (පක්ෂයේ) දසවන දින දළදා දාගැබ(ට) ඡත්‍රයක් පූජා කෙරිණි. උතුම් පූජාවක් සේ පවත්නා පරිදි දානගම් කරවූ (මම) නැටුව්පිටියෙහි නාගදාඨ නායක වෙමි.’’  
1986 වසරේ දී නටබුන්ව පැවති යටාලතිස්ස සෑමළුව පුරාවිද්‍යා කැණීම් කිරීමේ දී සෑමළුවේ දකුණු ​කොටසේ තිබී ග්‍රැනයිට් ගල් පුවරුවක කොටන ලද ඉහත දැක්වූ ශිලා ලේඛනය මතුවිය. මේ වන විට මෙම ශිලා ලේඛනය යටාල දාගැබට යාබදව පිහිටි කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව දකුණු පස එළිමහනේ පුරාවිද්‍යාර්ථීන්ගේ නිරීක්ෂණය සඳහා තැන්පත් කර ඇත. වත්මන් යටාලතිස්ස වෙහෙර අතීතයේ දී දළදා වහන්සේ නිදන්ගතව පැවති බැවින් දළදා දාගැබ යනුවෙන් ව්‍යවහාරිත බව තත් ටැම් සෙල්ලිපියෙන් මැනවින් ස්ථුට වේ. මාගම් රාජධානිය තුළ ඉදිකරන ලද ප්‍රථම දාගැබ ලෙස සැලකෙන යටාලතිස්ස චෛත්‍ය නිර්මාණය කරන ලද්දේ ගෝඨාභය රජුන්ගේ පියා ලෙස සැලකෙන මහානාග නිරිඳුන් විසිනි. එතුමන් යටාලතිස්ස වෙහෙර ත්‍රිපිටකාරිට්ඨ නම් මහ රහතුන් වහන්සේ වෙත අත්පැන් වත්කර පූජා කළ බව ලලාට ධාතුවංශ කතුවරයා සඳහන් කරයි.  


යටාලතිස්ස වෙහෙරෙහි නිදන් කිරීම පිණිස යටි වම් දළදාව මාගම වෙත සම්ප්‍රාප්ත වීම පිළිබඳව මෙහිදී විමසා බැලීම වැදගත් වේ. ගන්ධාර දේශය වෙත හූන මුස්ලිම් ආක්‍රමණ එල්ල වූ අවස්ථාවල එහි ගොස් සිටි වන්දනාකරුවන් විසින් එරට චේතිය වනයේ තැන්පත් කර තිබූ වම් දළදාව ඇතුළු පූජනීය බෞද්ධ පූජා වස්තු මෙරට භක්තිමත් රජ දරුවන් වෙත ගෙනවිත් භාර දෙන්නට ඇතැයි අනුමාන කිරීමට අවකාශ පවතී.  
ඉන්දීය හිසියං හා පාහියන් හිමිවරුන් ඇෆ්ගනිස්ථානයේ කළ සංචාරයේ දී තමනට දන්ත ධාතූන් වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසුණු බව කරන සඳහන ද මෙහි දී අපගේ අවධානයට ගැනීම වැදගත් වේ.  
සෙංකඩගල වැඩහිඳිනා දළදා සමිඳුන් මෙරටට වැඩමවීමට වසර 600කට පමණ පූර්වයෙහි යටාලතිස්ස දාගැබෙහි බුදුන්වහන්සේගේ යටි වම් දළදාව නිදන් කර ඇති බව පුරා විද්‍යාත්මක සාක්ෂි සමාලෝචනය කර බැලීමේ දී නිගමනය කළ හැකිය.  


මේ පිළිබඳව විද්වත් කතිකාවක් ඇතිකොට යටාලතිස්ස දාගැබේ බුදුන් වහන්සේගේ වම් දළදා සමිඳුන් තැන්පත් කර ඇති බව පොදු ජනතා සිත්සතන්හි තහවුරු කිරීමට වැඩපිළිවෙළක් යෙදීම කාලීන යුග අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දෙනු කැමැත්තෙමි.  

 

 

මහනුවර දළදා මැදුරේ ​තේවාව පවත්වන අයුරින් යටාලතිස්ස මහා වෙහෙරේ නිතිපතා සාම්ප්‍රදායික තේවාව පැවැත්වීමටත් පසුව වාර්ෂික දළදා පෙරහරක් පැවැත්වීමේ යෝග්‍යතාවත් කෙරෙහි රාජ්‍ය පාලකයින්ගේ නිසි අවධානය යොමු කිරීම වැදගත්ය. ඈත අතීතයේ සිටම රාජ්‍යත්වය උරුම වූයේ දළදා සමිඳුන් ගේ භාරකාරත්වය හිමිකර ගත් රාජ්‍ය නායකත්වය වෙතය. එම සුවිශේෂී සාධකය ද සැලකිල්ලට ගෙන ලක්දිව තෙවන දළදා වහන්සේ වැඩවසන යටාලතිස්ස වෙහෙර පිහිටි මාගම්පුර ජන්ම ලාභය ලද වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙතින් යථෝක්ත යුග අවශ්‍යතාවයන් සපුරාලනු දැක්ම මුළු මහත් ජාතියේම සුප්‍රාර්ථනාව බව අවධාරණය කරනු රිසියෙමි.  
දළදා වහන්සේ කේන්ද්‍ර කොටගෙන කන්ද උඩරට රාජධානිය ශ්‍රී සමෘද්ධිමත් භාවයට හා අභිමානවත්භාවයට පත් වූ අයුරින්ම රෝහණ දේශය ද යටාලතිස්ස වෙහෙර වැඩ සිටින වම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ප්‍රමුදිතව මහත් යශෝරාවයට පත් වනු දැක්ම මුළු මහත් ජාතියේම දැඩි අපේක්ෂාවයි.  

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්