මළ මිනී දෙපයින් ඇවිද්දවන තෙලේ බලේ


 

 

මීගස්වැව ප්‍රදේශයේ ජීවත් වන කසුන් වඩු කාර්මිකයෙකි. සිහින් ශරීරයකින් යුත් ඔහු කෙරෙන් දිස්වන්නේ මැදිවියේ පුද්ගලයෙකුගේ ස්වරූපයකි. කසුන් විවාහ වන්නේ අවුරුදු විසිදෙකෙහිදීය. වත්සලා කසුන්ගේ බිරිඳය. ඔවුන්ට එක් දියණියක සිටී. විවාහ වී වසර හතක් වුවත් ඔවුන්ගේ ආර්ථික දියුණුවක් දැකීමට නොහැකි විය. සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔවුන්ට තම දියණියගේ පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් දැරීමට තරම්වත් ආර්ථිකයක් නොවීය. 


කොපමණ අඩුපාඩුකම් තිබුණද සතුටින් සමගියෙන් දිවිගෙවන ඔවුන්ගෙන් කිසිවකුට කරදරයක් නොවීය. එතරම් ශක්ති සම්පන්න අයෙකු නොවන කසුන් රක්ෂාව කර නිවසට පැමිණෙන්නේ බොහෝ හෙම්බත්වය. වත්සලා උයා ඇති ආහාරයකින් සප්පායම් වන කසුන් රාත්‍රී නින්දට යන්නේ පසුදා උදෑසනම අවදි වී රක්ෂාවට පිටත් වීමටය. එහෙත් සයනයට (ඇඳට) ගියද ඔහුට නින්ද අහලකටවත් නොපැමිණේ. කල්පනාබරව බොහෝ වේලාවක් සයනයේ ගත කරන ඔහුට නින්ද යන්නේ නොදැනුවත්වමය. 


දිනක් හිටිහැටියේම කසුන්ගේ දෙපා පණ නැති වී බිම ඇඳවැටුණි. දෙපා සොලවන්නටවත් බැරිය. වත්සලාට සිදුවූ දෙය අදහාගැනීමටවත් නොහැකි වුණි. 
මේ කුමක්ද සිදුවූයේ. ඇය කසුන් වැලඳගෙන අඬන්නට පටන් ගත්තාය. මගේ දෙයියෝ අනේ මොකද මේ. නැගිටින්න. අනේ මොකක්ද මේ වුණේ එකපාරටම. අනේ දෙයියනේ” කියමින් වත්සලා විලාප දුන්නාය. වත්සලාගේ හඬට අහල පහල අය කලබලයෙන් නිවසට ආවේය. කසුන් බිම වැටී සිටිනවා දුටුහ. ඔවුහු වහාම ඔහුව ඔසවා ඇදේ හාන්සි කළෝය. “මොකක්ද වුණේ වත්සලා නංගී” ඔවුන් ඇසුවේ කසුන් දෙස බලාගෙනය. මෙහෙම බලා ඉඳලා හරියන්නේ නෑ අපි කසුන්ව ඉස්පිරිතාලෙට ගෙනියමු” ඔවුහු අනුකම්පාවෙන් වත්සලාට කීවෝය. දියණිය පාසල් ගොස්ය. ඇය රැගෙන ඒමට යා යුතුය. සැමියා තනිකර දා යන්නේ කෙසේද. උභතෝකෝටික ප්‍රශ්නයකට ඇය මැදි වී ඇත. මොනවද නංගි කල්පනා කරන්නේ” වත්සලා විශාල කල්පනාවක සිටිනවා දුටු විජිත ඇසුවේය. වත්සලාගේ නිවසට ටිකක් දුරින් විජිතගේ නිවස පිහිටා තිබේ. විජිතත් ඔහුගේ බිරිඳත් වත්සලාලට බොහෝ හිතවත් වූහ. 


 දූ එක්කරගෙන එන්න යන්නේ කොහොමද අයියේ? ඉස්පිරිතාලෙට ගිහින් එන්න කොච්චර වෙලාවක් යයිද? දූ එක්කරගෙන එනකම් මෙයාව මෙහෙම තියාගන්නේ කොහොමද” වත්සලා ඉකිබිඳිමින් පැවසුවාය. හරි හරි අක්කා දූව එක්කරගෙන එන්න යයි. නංගි ලෑස්ති වෙන්න අපි කසුන්ව ඉස්පිරිතාලෙට එක්කගෙන යමු” විජිත කීවේ තම බිරිඳ දෙස බලමිනි. “අනේ ඔව් වත්සලා මං දූව එක්කරගෙන ඇවිත් අපේ ගෙදර තියා ගන්නම් ඔයාලා එනකම්” විජිතගේ බිරිඳ කීවේ වත්සලාගේ හිස අතගාමිනි. 


කසුන්ව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගී තත්ත්වය නිර්ණය කිරීමට අපහසු විය. දින දෙක තුනක් පමණ වෛද්‍ය පරීක්ෂණ කෙරුණු අතර කසුන්ට සුව විය. වත්සලාගේ හිතට සහනයක් දැනෙන්නට විය. සැමියාගේ දෙපා පණ නැති වී සදහටම ඔහු රෝගී වුවහොත් ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්න ඇගේ සිතට ඇති වූ ප්‍රශ්නයයි. දෙවියෝ බැලුවා වගේ කසුන් සුව වූයේය. එහෙත් එම සතුට පැවතියේ දින කීපයකි. කසුන්ට නැවත රෝගී තත්ත්වය ඇතිවිය. රෝහලට ගෙන යන අතරතුර කසුන්ට සුව විය. 
ඇති වී නැති වී යන මෙය රෝගයක් නොව අමනුස්ස දෝෂයක් බව අසල්වාසීහූ කියන්නට වූහ. එහෙත් කසුන් බැලීමට පැමිණි ඥාතීන් පැවසුවේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකුට කසුන්ව පෙන්වීම සුදුසු බවයි. ඒ අනුව ඔහුව ස්නායු රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරිණි. වෛද්‍ය මතය වූයේ කසුන්ට කිසිදු රෝගයක් නොමැති බවයි. එහෙත් යම්කිසි මානසික ආබාධයක් ඇති විය හැකි බව වෛද්‍යවරයා කීවේය. 


අසල්වැසියන් පවසන අන්දමට තම සැමියාට ඇත්තේ අමනුස්ස දෝෂයක් බව වත්සලා සිතුවාය. නොමැතිනම්​ වෛද්‍යවරුන් කරා ගියද තම සැමියා කිසිදු රෝගී තත්ත්වයකින් නොපෙළෙන බව ඔවුන් පවසයිද? ඇය තීරණයක් ගත්තාය. සැමියාව දේවාලයක් වෙත රැගෙන යාමට කටයුතු කළාය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අතරතුර බලි තොවිල්ද නැටුවේය. කසුන් ලෙඩ කර ඇත්තේ මහා බලගතු පෙ​රේත ආත්මයක් බව දේවාලයේ කපු මහතා කීය. ඔහු දෙපා ඇද ඇද පස්ස බිම අදිමින් යන්නේ ඒ නිසා බවත් එම පෙරේත ආත්මය කසුන්ගේ ශරීරයෙන් ඉවත් කළ පසු සියල්ල හරියන බවත් කපු මහතා කීවේය. 


කසුන්ට ඇවිදීමට නොහැකි නිසා ඔහු පණ නැති දෙපා අදිමින් පස්ස පොළවේ තබාගෙන ඇවිදියි. දිනක් කසුන් මෙසේ ඇවිදිමින් යන්නේ වත්තේ එහා කෙළවරේ ඇති සොහොන දෙසටය. වැටකින් වෙන් කර තිබූ සොහොන දෙසට ගිය කසුන් වැටෙන් මෙහා සිටියේය. 
වත්සලා ගමේ පන්සල වෙත කසුන්ව රැගෙන යන්නේ එමගින් හෝ සෙතක් ලබාගැනීමටයි. කපු මහතා කළ තෙල් ශාන්තිය නිසා කසුන් යළි සුවය ලැබීය. ශරීරයට ඇතුළු වෙලා තියෙන්නේ බලගතු පෙරේත ආත්මයක්. මේක බලාන ඉඳලා හරියන්නේ නැහැ. පූජාවක් කරලා තෙල් ශාන්තියක් කර මේ පෙරේත ආත්මය ඇඟෙන් අහන් කරන්න” කපු මහතා වත්සලාට පැවසුවේ කසුන්ගේ හිසට තෙල් ගාමිනි. 


පන්සලේ කපු මහතාටම කියා එම පූජාව කිරීමට වත්සලා සිතුවාය. එහෙත් ඒ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවන නිසා ඇය බොහෝ දුක් වූවාය. ගෙදර ස්වාමියා ඔත්පළ වූවාම එම පවුලේ සියලු දෙනාටම විඳින්නට සිදුවන දුක් ගැහැට මොනවට පැහැදිලි කරම්ද. ඇය ඥාතීන්ගෙන් හා අසල්වැසියන්ගෙන් උදව් පැතුවාය. කසුන් යළිත් දෙපා පණ නැතිව ගියහොත් ගොඩගන්නට නොහැකි වේවැයි කපු මහත්තයා කියූ වදන් යළි යළිත් ඇය සිහි කළාය. 


කසුන්ගේ නිවසේ පූජාව ලැහැස්ති කෙරුණි. කපු මහතා නිවසට පැමිණියේය. අපේ කතාන්දරයේ කපු මහතා සිදුකරන්නේ අමුතුම තෙල් ශාන්ති කර්මයකි. හෙතෙම එය ඉගෙන ගෙන ඇත්තේ තම පරම්පරාවෙනි. ඒ උරුමයෙන් තමාට අයිති වූ ශාස්ත්‍රයයි. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි. මේ අනුසාරයෙන් හෙතෙම මෙම ගුරුකම සිදුකරන බව කපු ගරුන්නාන්සේගේ ආවතේවකරුවෝ නැතිනම් කොට්ටෝරුවෝ පවසන්නට වූහ. මේ අනුව අපේ කපු මහතාගේ ගුරුකම්වල බලයෙන් සියල්ල සිදුකළ හැකිය. මේ ඒ කපුමහතාගේ විස්මිත ශාස්තරයෙන් සුවපත් කරන ශාන්තිකර්මයෝය. එයට උපයෝගි කරගන්නේ අපූරු තෙල් වර්ගයකි. 


මේ ශාන්තිකර්මයට අපේ කපු ගුරුන්නාන්සේ අය කරන්නේ දහස් ගණනින් මුදල්ය. එය සමහර අවස්ථාවල රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වන අවස්ථාද ඇත. ඒ මුදල තීරණය වන්නේ රෝගි පිරිසගේ ඥාතීන්ගේ වත්කම් මතය. 


මේ අනුව කපු මහතා මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබා ගැනීමයි. කාලි ගණපති මාඩ සාමි භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් පසුව තම තෙල් ශාන්තිකර්මය සිදුකරයි. 


අපේ කපු ගුරුන්නාන්සේට, මන්ත්‍ර ශාස්ත්‍ර, ජ්‍යොතිෂ්‍ය, කෙම් ක්‍රම ආදිය ගැනත් හොඳ දැනුමක් තිබේ. එය අරුමයක් නොවේ උරුමයෙන් ආ දැනුමයි. ජන්ම පත්‍රය ආශ්‍රයෙන් ලෙඩ රෝග හොයා ගන්නා ආකාරයද විස්මයජනකය. වෙදකම් කරන කොට මන්ත්‍ර ශාස්ත්‍රයත් ප්‍රයෝජනයට සාස්තරය සූත්තරය මනාවූ දැක්මක් ඇතිව පේවත් වීමෙන් පසුවයි. රෝගියාගේ සුවය පිණිස කටයුතු කරන බව කීව ද බුලත් මත තබන මොනර කොළ ඉලත් තට්ටුව අතක් බරට තැබිය යුතුව ඇත. රුපියල් මොනර කොල අඩුවක් තිබේ ද? ශාන්ති කර්මයේ ස්වභාවයට බාල වන්නේය. ඒ රහස මුල දීම රෝගියාගේ ඥාතීන්ට පරිවාර ගෝලයෝ පවසන්නේ යාගය ආරම්භ කරන්නටත් දින සති ගණනකට පෙර දීය. 
මේ හපන්කම් කරන්නට අහල ගමක හෝ සතර පේරුවේ ගමක හෝ යක් ඇදුරෙක් නැති බව බල සම්පන්නකම කියන්නේ පරිවාර ගෝලයෝ ය. එය යාගය සිදුකරන කසුන්ගේ නිවසට ආ පිරිසට ඇසෙන නොඇසෙන ආකාරයට ඔවුනොවුන් කතා කරති. එය අනුමත කරන්නේ පරිවාර ගෝලයෝ ය. එහෙමයි කපු මහත්තයා එහෙමයි ගුරුන්නාස්සේ එහෙමයි ගුරුතමා කියමින් ඒ අය අත් වැල් අල්ලති. පද මුමුණති. 


ඒ අතර ගුරුන්නාන්සේ වැඩිහිටි ගෝලයාට අතින් සංඥාවක් සිදුකරන්නේය. දැහැත් විටක් ගෙන එන්න යැයි ආවතේවකරුවෙක් කසුන්ගේ නිවසේ සිටින ඥාතියෙකුට අණ කරන්නට විය. ක්ෂණිකවම එය සිදුවන්නේ ගරු නමස්කාර ස්වරූපයෙනි. 


පන්දම් විලක්කුත් තෙල් බෙහෙත් ද එක්ව මන්ත්‍ර ගුරුක​ෙමන් සකස් කර ගත් සුවඳ හමන ජීවක තෛලය මගින් මේ ශාන්ති කර්මය තුන් තිස් පැයක් සිදුකෙරේ. එය අතිශයින්ම බියජනක ස්වරූපයක් ගත්තේය. 


ලෙඩ සුව කරන තෙල් බෙහෙත් වර්ග වගේම නොයෙක් විපත් අනතුරු අමනුෂ්‍ය බලපෑම්ල හදි හූනියම් රෝග සුවය සර්ව රෝග නිවාරණය ආදියෙන් ආරක්ෂාව සලසන තෙල් බෙහෙත් වර්ගත් අප කපු මහතා සතුය. 


මේ තෙල් බිංදුවක් රන් හෝ රිදී සුරයකට දාලා පැලඳගෙන ඉන්න කොට අනතුරක් කරදරයක් රෝගයක් සිදුවන්නේ නෑ. හතර ගාතේ වැටිලා සිටින අත් පා පණ නැති ඇත්තන්ටද මේ බලගතු තෙල් සහිත සුර පැලඳවීම මගින් කඩියෙක් සේ දිව පැන ඇවිදින්නට හැකිය. ඒ අපේ විස්මිත කපු ගුරුන්නාන්සේගේ අත්ගුණයද සමඟින් මෙය අපූරුවට කළ හැකිය. අනතුරු අකල් මරණ නොයෙක් ලෙඩ රෝගවලිනුත් සුවය ලැබෙන තරමේ බලයක් මේ තෙලේ තියන බව කපු ගුරුන්නාන්සේ කියයි. 


මේ අපූරු තෙල සකස් කරන්නේ ද අදාළ රෝගියාගේ නිවසේ සිටයි. ඒ සඳහා අවශ්‍ය පිරිසිදු පරිසරයක් ද කිල්ලට අසු නොවූ වටාපිටාවක් ද තිබිය යුතුය. උපත් කිල්ල, මරණ කිල්ල, මාස කිල්ලට හසුනොවූ පිරිස් මෙයට සම්බන්ධ කර ගන්නා මෙන් පරිවාර ගෝලයන්ට කපු ගරුන්නාන්සේ කල් තියා දැනුම්වත් කරයි. තෙල හිඳගන්නා ස්ථානය ඉතාමත් පිරිසිදු ස්ථානයක් වෙන්න ඕනෑ. උඩු වියන් බැඳගන්න ඕනෑ. මේ කටයුත්තට සහභාගී වන අයත් නාලා පිරිසිදු වෙලා ඉන්න පේවත් වී සිටිය යුතුය. 


තෙල හිඳගැනීමේදී පැඟිරි දර සහ කුරුඳු දර විතරක් භාවිතා කළ යුතුය. කපු ගුරුන්නාන්සේ කියන්නේ තෙල දවස් තුනක් මඳ ගින්නේ පැසෙන්නට ඕනෑ බවයි. එය අකුරටම සිදු කළ යුතුයි. 


වැරදුණ හොත් සියලුම දොස් කපු මහතා පිටින් යන්නේය. මේ නිසා ආරක්ෂාවටද කටයුතු සිදුකරන්නේ තමාගේද රෝගියාගේද ආරක්ෂාව සහතික කරන්නටය. වංගෙඩියක බැඳ ඇති කුකුළෙක්ද, ඒ මත තබා ඇති අළු පුහුල් ගෙඩිය ආරක්ෂාවට තබා ඇත්තේ යකඩ හෝ වානේ කඩුවක් ද වංගෙඩියට යාබදව තබාගෙනයි. එය කපු ගුරුගේ ආරක්ෂාවට අගනේය. සහෙන්නට තරම්ය. ගිරයක් හෝ පිහියක් ද නිරතුරුවම කපු මහතාගේ සමීපයේ දැකිය හැකිය. 


මෙම තෙලට අවශ්‍ය ඖෂධ වර්ග රාශියකි. මේ අනුව ඇත්දෙමට මුල්, වෙනිවැල්ගැට මුල්, පනම්පෙති මුල්, අංකෙන්ද මුල්, අමුකහ මුල්, දෙමට මුල්, මඟුල් කරඳ මුල්, අනෝදා මුල්, වේලා මුල්, කුරුඳු මුල්, නික මුල්, වරා මුල්, ඉරමුසු මුල්, දෙහි මුල්, දොඩම් මුල් ආදී ගස්වල ඇති මුල්වලින් මෙම තෙල් සකස් කරන්නේය. 


මේ සමගම කපු මහතා තම ගුප්ත තෙල් නිපදවීමට මන්තරවලින් ජප කරන්නේ ඇසෙන නොඇසෙන ශබ්දයෙන් යුතුවයි. මෙම මුල් වර්ග වෙන වෙනම කොටාගෙන යුෂ නැලිය බැගින් රැස් කර ගෙන හොඳින් පෙරාගනී මේ යුෂ භාජනයකට දමා සුබ නැකතකින් අලුත් ලිපක් ගේ මැද හෝ යාග සීමාවේ හෝ සකස් කළ ලිප මත තබයි. පැඟිරි දර සහ කුරුඳු දරද ගෙන ගිනි දල්වා ගිනි දේවතාවන්ගෙන් අවසරය අරගෙන සිදුකරන්නට පරිවාර ගෝලයෝ කපු ගුරන්ගේ උපදෙස් පරිදි සීරුමාරුවටම සිදුකරන්නේය. 


අනාදිමත් කාලයක සිට පැවත එන කල්කයද තෙලට මුසු කරන්නටද ගුරු කපු මහතා අමතක නොකරයි. මේ අනුව මෙම කල්කය සකස් කර ගන්නේද අමුතුම ආකාරයෙනි. අරළු, බුළු, නෙල්ලි, වියළි ඉඟුරු, සුදු ලූනු, අබ, නවසාරම්, අක්රුපට්ටා, සීනක්කාරම්, උළුහාල්, මනෝසීල, හිරියල්, සුවඳකොට්ටං, දේවදාර, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, සුදුදුරු, කළුදුරු, රත් හඳුන්, හරංකහ, කඟවේනා අං, සුවස ලුණු, බළල් ලුණු, යවකාර ලුණු, දිය ලුණුද එක් කරමින් මුව හෝ ගෝන අං තට්ටුවක් සහිත මල් යහනාවක තබන්නටද එය ජප කර මන්තර කියන්නටද කපු මහතා ගන්නේ අපමණ වූ වෙහෙසෙකි. 


මෙම ඖෂධ කළඳක් හෝ ඊට මඳක් වැඩියෙන් ගෙන එයට පෙනෙල ගෙඩි ගෙන කොටා මිරිකා යුෂ පතක් දමා හොඳින් කුඩු කරගත යුතුව ඇත. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද, පුදුමයකි. එම කුඩු ඇඹුල් දොඩම් ඉස්මෙන් හා ඉඟුරු ඉස්මෙන් සතපවා මන්තර බලයෙන් ජපකර ගඝ පිහිටුවා අඹරාගෙන තල තෙල්, මීතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, එළඟිතෙල්, පරණ පොල් තෙල් එක වර්ගයකින් පත හතර බැගින් ගෙන මිශ්‍රණයට එක් කර ලිප මත පැසෙන හැලියට එක් කරන්නේ පළපුරුදු බව සියල්ලටම පෙන්වමිනි. කපු ගුරුන්නාසේගේ බල මහිමය දෙස කසුන්ගේ නිවසේ සියලුම ඥාති පිරිස්ද බලා සිටින්නේ මහත් ඕනෑකමිනි. 


කල්කය ඉටි සේ ඇලෙන පදමට පත් වන තුරු දින තුනක් තෙල පැසෙන්නට සකස් කර ගැනීමෙන් පසුව තෙල ළිපෙන් බා ගෙන ඉතිරි ගුරුමක් පිළිවෙළට සිදු කරන්ට අපේ කපු ගරුන්නාන්සේ අමතක නොකරති. පැය හතක් නිවෙන්නට හැර වෙනම හැළියකට තෙල පෙරා ගත යුතුයි. පෙරාගත් තෙල තවත් පැය හතක් තිබිය යුතුය. 
මේ අතරතුර පරිවාර ගෝල ගුරුන්නාන්සේලා නැතහොත් අවතේව කපු ගුරුන්නාන්සේලා එක්ක එක් තැන මේ ශාත්ති කර්මය සිදුකරන භූමියේ වටකර ගත්තා වු නූල් ඇද මන්ත්‍ර බලයෙන් ජප කරන්නටද අමතක නොකරති. ඒ භූමියේ ආරක්ෂාවටයි. 


ඉන් පසුව සිදුකරන්නේ කුමක්ද? එය ද විස්මිත වූ කටයුත්තකි. පසුව උරුලෑ සට්ටන්, සුදු හඳුන්, හිඟුරු පියළි, නාමල් රේණු, කට්ටකුමංජල්, මොනර පිල්, හරං කහ, සුවඳ කොට්ටං සම සමව ගෙන කුඩු කර සිනිඳුවට අඹරාගෙන තෙල මතට ඉහින්න දමති. මේ තෙල් දැන් මිය ගිය මළ මිනියක් වුවද පො​​ළොවේ පය ගසා ඇවිදින්නට තරම් බලගතු වූ තෙල් සකස් කර අවසන්ය. 


ගුරු කපු මහතා කටපුරා බුලත් විටක් කා කර මත පැලඳ ගත් සාටකය (සුදු රෙද්ද) ගසා හිසේ පැළඳ ගන්නේ සියල්ලම සිදුකර අවසන් ඇති බව කියන්නාක් මෙන් කෙම් ශාස්තරයට අනුවයි. 


පසුව නිවසෛහි ජීවත්වන රෝගී වූ කසුන්ට රන් හෝ රිදී හෝ සුරයට මන්තර බලයෙන් ජපකරන ලද තෙල් පුරවා සකස්කර ගත් සුරය ඉණේ හෝ අතේ හෝ නූලක ආධාරයෙන් පලඳවා තෙල් මන්තරයෙන් සිදුකරන අපූරු ශාන්ති කර්මය නිමකරන්නේ ආතුරයන්ට සෙත ශාන්තිය ලැබී රෝග සුවපත් වූවා යැයි පවසමිනි. 


මළගිය ඥාතීන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් සියල්ලන්ම කැඳවමින් කපු ගුරුන්නාන්සේ ජප කරන්නට විය. ගොක් කොළ සැරසිලි, පුලුටු වලින් සමන්විත පූජාව බැලූ බැල්මට බිය උපදවන සුලුය. කසුන් ඒ අතරෙදිත් වත්තේ ඇති සොහොන දෙසට ගියේය. ඒ සමඟම කසුන්ව ආවේශ කරන්නට කපු මහතා උත්සාහ ගත්තේය. එහෙත් කසුන්ගේ මුවින් කිසිවක් හෝ නොකියවිණි. බුද්ධ රූපයක් පෙන්වමින් කපු මහතා කසුන්ගේ ශරීරයට වැහී සිටින පෙරේත ආත්මය පොරොන්දු කරවා ගන්නේ යළිත් මේ ශරීරයට පැමිණෙන්නේ නැති බවටය. කපු ගුරුන්නාන්සේ කසුන්ගේ ශරීරයෙන් අමනුෂ්‍ය බලවේගය ජපකරන ලද ​ෙතල් ශාන්තිකර්මයෙන් පන්නා දැමුවේය. කපු ගුරුන්නාන්සේ තමන්ට පොරොන්දු වූ මුදලද අතට ගත්තේ උජාරුවෙනි. කපු ගුරුන්නාන්සේ විශ්වාස කරමින් කසුන් හා වත්සලා සැනසුම් සුසුම් හෙළුවේ යළිත් ප්‍රේත ආත්මය ඔවුන්ට කරදර නොකරාවි යන සිතුවිල්ලෙනි. 
දුක් මහන්සියෙන් හරිහම්බ කර ජීවත් වූ ඔවුහු දස අතේ ණය වූහ. දැන් එම ණය පියවා යළිත් සුපුසුරුදු ජීවිකාව පවත්වාගෙන යා යුතුව ඇත. එහෙත් ඔවුන්ට මසක් දෙකක් පමණි එම සැනසුම ලබාගත හැකි වූයේ. යළිත් කසුන් ඔත්පල වූයේ සියලු බලාපොරොත්තු සුන් කරමිනි. දරුවාගේ අධ්‍යාපන කටයුතුද අඩාළ වන්නේ මේ ගැටලු මධ්‍යයේය. වෛද්‍යවරුන් කරා ගියද බලිතොවිල් කළද පූජා පැවැත්වුව ද ශාන්තිකර්ම කළද යළි යළිත් කසුන් රෝගී වූයේ ය. 


මේ අතරතුරදී කසුන්ගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් ඔවුන්ට මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණි. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ වැනි අමනුෂ්‍ය දෝෂ ඉවත් කරවන අනවින කොඩිවින කපන මෙම වෛද්‍යවරයා වෙත කසුන්ව යොමු කිරීමට ඥාතීහූ කටයුතු කළෝය. වෛද්‍ය වාර්තා හා එතෙක් කළ සියලු දේ කෙරෙහි වෛද්‍යවරයා අවධානය යොමු කළේය. ඇති වී ඇති තත්ත්වය කුමක්ද යන්න වෛද්‍යා විද්‍යාකුලපති මහතාට අවබෝධ විය. ඒ අනුව කසුන් මෝහන නිද්‍රාවට පත් කෙරුණි. 
වෛද්‍යවරයා - ඔබ මෙසේ හැසිරීමට හේතුව කුමක්ද 


කසුන් - මට මැරුණු කෙනෙක් වැහෙනවා. 


වෛද්‍යවරයා - කවුද ඒ

 
කසුන් - ඉස්සරහා ගෙදර විජේසිරිගේ ලොකු අයියා. මම මැරුණේ පහළ වෙල ගාව තියෙන ළිඳට පැනලා. 


වෛද්‍යවරයා - ඇයි ඒ. 


කසුන් - මට ඇවිදින්න බැරුව ගියා. මට ජීවිතේ එපා වුණා. ඒ නිසා මම ළිඳට පැනලා මැරුණා. 


වෛද්‍යවරයා - ඔබ ඇයි වත්තේ තියෙන සොහොනට යන්නේ. 


කසුන් - එතන තමයි මාමා වළලලා තියෙන්නේ. මේ ගේත් වත්තත් මට අයිති දේවල්. 


මෝහන නිද්‍රාවේදී වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නවලට එසේ පිළිතුරු ලැබුණි. එසේ නම් කසුන්ට සත්තකින්ම ප්‍රේත ආත්මයක් වැසුනේද නොමැතිනම් ඔහුට සිදුවූයේ කුමක්ද යන්න සියලු දෙනාටම ප්‍රශ්නයක් ඇති වනවා නියතය. එයට පිළිතුරු ලබා දෙන්නට කුලපති මහතාට හැකිවිය. 


වෛද්‍යවරයා - ඔබට වැහුණු මළගිය අයෙක් නැහැ. සියල්ල ශරීරයෙන් ඉවත් කෙරුණා. ඔබට දැන් කිසිදු බලපෑමක් නෑ. දැන් ඔබ කසුන්ම පමණයි. 


ඉන්පසු වෛද්‍යවරයා යළිත් කසුන්ගෙන් ප්‍රශ්න කළේය. 


වෛද්‍යවරයා- ඔබ දැන් මට ඇත්තම පවසන්න ඕනේ. ඔබ විජේසිරි ගැන කොහොමද දන්නේ. ඔබට විජේසිරි වැසුණු බව ඔබ දන්නේ කොහොමද. කවුද ඔබට එහෙම කීවේ. 
කසුන් - මම පොඩිකාලේදී ආච්චි මට කියලා තිබුණා. 


වෛද්‍යවරයා - ඉතින් මියගිය පුද්ගලයා ඔබට ආරූඪ වේ යැයි සිතුවේ ඇයි. 


කසුන් - ආච්චි කියපු විදියට මේ ඉඩමේ අයිතිකාරයා තමයි විජේසිරි. එයා තමයි හැමදේම භුක්තිවිඳලා තියෙන්නේ. 


ඔබට දැන් සියල්ල පැහැදිලි වනු ඇත. මෝහන නිද්‍රාවේ සිටින කසුන්ගේ සිතට වෛද්‍යවරයා කරුණු පැහැදිලි කරදුනි. 


ඔබට කිසිදු මැරුණු අයෙකු ආවේශ වී නැහැ. ඔබ එලෙස හැසිරෙන්නේ පෙර කී දැනගත් කරුණුවල පිහිටායි. ඔබ සිතනවා මැරුණු කෙනා මේ ඉඩම භුක්ති විඳලා තිබෙන නිසා ඉඩමට ආදරෙන් ඔබගේ ශරීරයට වැසී ඇති බව. මියගිය පුද්ගලයා ඇවිදින්න බැරි අයෙක් නිසා ඔබත් එම මානසික තත්ත්වයේදී ඒ ආකාරයට හැසිරුණත් අද සිට ඔබට එවැනි මානසික තත්ත්වයක් ඇති වන්නේ නැහැ. ඔබ දැන් සම්පූර්ණයෙන්ම නිරෝගියි” අනතුරුව කසුන්ව මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණි. 


මෙහි විද්‍යාත්මක ක්‍රියාවලිය මනෝ චිකිත්සක වෛද්‍ය විද්‍යාකුලපති මහතා පැහැදිලි කළේය. 


සමහර පුද්ගලයින්ගේ සිතට බියක් ඇතුළු වූ පසුව මිථ්‍යා විශ්වාස නිසා මනස දුර්වල වේ. ඒ සියල්ල ඔවුන්ගේ සිතේ තැන්පත්ව තිබීම නිසා එවැනි විශ්වාසයන් මත මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකියි. මෙහිදී යම් ශරීර කොටසක් පණ නැති වීමත් වෙව්ලීම ආදී බොහෝ දේත් සිදුවන අවස්ථා තිබෙනවා. ඇත්තටම මෙය සිදුවන්නේ නැහැ. කසුන්ටද සිදුවී ඇත්තේ සිතින් මවාගැනීමක් විතරයි. ඔහුට තමන් ජීවත් වන ඉඩම භුක්ති විඳ මියගිය පුද්ගලයා ගැන අසන්නට ලැබී තිබුණි. එම පුද්ගලයාට ඇවිදින්නට බැරි බවත් දනී. මියගිය පුද්ගලයාගේ සියලු තොරතුරු ඔහු දනී. මියගිය පුද්ගලයාගේ සොහොනද වත්තේ පිහිටා ඇති බවත් හොඳින්ම දනී. 


මෙහිදී පැහැදිලි වන්නේ මෙවැනි රෝගී තත්ත්වයක් මියගිය පුද්ගලයෙකුට ඇති කරවිය නොහැකි බවයි. මෙය හුදෙක්ම මානසික රෝගී තත්ත්වයක් පමණක් බව වෛද්‍යවරයා පැහැදිලි කර දුනි. 


වසර කීපයක් ගතවීද යළිත් කසුන්ගේ ශරීරයට භූත, ප්‍රේත කුම්භාණ්ඩ වැනි අමනුෂ්‍ය දෝෂ ආවේශ වූයේ නැත. ඔහු සම්පූර්ණයෙන් නිරෝගිය. කසුන් සිය බිරිඳ වත්සලා හා දරුවා සමඟ සතුටින් කල්ගෙවුවේය. 

 


(මෙහිදී රෝගියාගේ පෞද්ගලිකත්වය උදෙසා නම් ගම් වෙනස් කර ඇත. සත්‍ය සිදුවීමකි) 

 


සටහන හබරාදුව නිමල් අල්ගෙවත්ත