මහවැලි ගඟේ බ්ලිගන්න තැන්


 වරාතැන්න හත්කිද ප්‍රදේශයෙන් මහවැලි ගඟ ගලා බසින ආකාරය. මිනිසුන් ගඟට බිලි වන්නේ ද මෙතැනදී ය. වම්පසින් දිව යන්නේ ගන්නෝරුව කටුගස්තොට ප්‍රධාන මාර්ගයයි. (ගුවන් ඡායාරූපයකි)  

මහවැලි ගඟේ පුනීල වැනි ගල් වළවල් සෑදී ඇති වරාතැන්න හත්කිද ප්‍රදේශය

 

මහවැලි කොමලිය, ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා බව පැවසුවද එය කුඩා දිය පහරකින් ලෙසින් ආරම්භ වන්නේ හෝටන්තැන්නෙනි. සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල නිර්මාණය කරමින් පහළට කඩා වැටෙමින් තෙල්දෙණියෙන් කොත්මලේ ජලාශයටත්, නාවලපිටිය, ගම්පොළ හරහා පේරාදෙණිය, ගැටඹේ, හත්කිඳ දූපත්වලින් නොනැවතී, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ පුරවමින් මහියංගණය, වස්ගමුව වනය මැදින් පොළොන්නරුව හරහා ගොස් ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටේ.   

වරක සැඩ පහරක් ලෙස ද තවත් වරෙක සාන්තව ද ගලා බසින මහවැලි ගඟේ ජලයෙන් කෙත්වතු ලක්ෂ ගණනින් සරු සාර කරමින් මිනිස් ජීවිත පෝෂණය කරයි. එම ජලයම තවත් වරෙක මිනිසාටම නපුරු වන්නේ කෙසේදැයි තේරුම්ගත නොහැකිය. එහෙත් එය ජලයේ වරදක් නොවේ. මිනිසුන් වන අපගේම වරදින් සිදු කර ගන්නා අනතුරුය. 

 
ඒ අනුව මහවැලි ගඟේ අනතුරු සහ බිලිගන්නා ස්ථාන ද කිහිපයක්ම තිබේ. ඒ බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැති බව වනජීවී පර්​ෙ‌ය්ෂක ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි. ඔහු තවදුරටත් මෙසේද කීය. 

 
“මෙහි සුවිශේෂී වැදගත් ස්ථානයක් වශයෙන් ගැටඹේ පාලමට පහළින් “වරාතැන්න හත්කිඳ පාරිසරික කලාපයක්” බවට පත් කර තිබෙන ගංගාව ආශ්‍රිත ප්‍රදේශය නම් කළ හැකියි. එම ප්‍රදේශය ඉතාමත්ම බිහිසුණුයි. ජීවිත ගණනාවක් මේ වනවිට ගිලගෙන අවසන්. සෑම වසරකම පාහේ අවම වශයෙන් දෙතුන් දෙනෙකුවත් මෙම ස්ථානයේදී මහවැලි කොමලියට බිලිවෙනවා. අවසාන වරට එනම් සති දෙකකට පමණ පෙර සෞදි ජාතික කාන්තාවක් මේ ස්ථානයේදී මියගියා. සාමාන්‍ය ජනවහරේ පවතින්නේ මෙතැන “බිලි ගන්නා” ස්ථානයක් වශයෙනි.   


වරාතැන්න හත්කිඳ දූපත්වලට ඉහළ සිට ජලය සම්පූර්ණයෙන්ම ගලා බසින්නේ ගල් තට්ටුවක් මැදිනි. එම ගල් තට්ටුවේ ගල් වළවල් ද ස්වභාවධර්මයා විසින් නිර්මාණය කර ඇත්තේ පුදුම සහගත ආකාරයෙනි. අදහා ගැනීමටවත් නොහැකිය. විස්මිතය. වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වී ඇති එම ගල් වළවල් පුනීලයක් ආකාරයෙන් සෑදී තිබෙනවා. වර්ෂා කාලයේදී නොපෙනෙන මෙවන් තැන් වියළි කාලයේ දී මතු වේ. ඒ ස්වභාවධර්මයේ නිර්මාණ මේ වගේ යැයි කියාපෑමට මෙනි.   


වියළි කාලයේදී ජලය අඩු වුවද පටු තැන්වලින් මහවැලි ගඟේ ජලය නිරතුරුවම වේගයෙන් ගලා බසිනවා. ඒ ආකාරයෙන් ජලය ගලා බසිනා පටු තැන්වල පතුළේ තවත් ගල් වළවල් පිහිටා තිබෙන්නේ පුදුම ආකාරයෙනි. මතුපිටින් ජලය වේගයෙන් ගලා ගිය ද අඩි කිහිපයක් යටින් ඇති පුනීල වැනි කුහර තුළට ජලය තවදුරටත් වේගය වැඩි කරමින් ඇදී යනවා. කිසිවෙක් නොදන්නාකමින් මෙවන් ස්ථානයකට බැස්සොත් හෝ වැටුණොත් ආපසු පිහිනා ඒමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවන් ස්ථානයකින් පිහිනා එන කෙනෙකුගේ ශරීරයට උඩින් එන ජල ප්‍රවාහයට හසු වුණොත් ආපසු පිහිනා යාමට අපහසු වෙනවා. පහළින් ඇති ජල පහරට හසු වී පුනීලයක් වැනි වළෙහි හිර වෙනවා. දක්ෂ පිහිනුම්කරුවකුට වුවද එම ස්ථානයෙන් පිහිනා එගොඩ විය නොහැකියි. හොඳ දැනුම්වත් භාවයකින් යුතු පුද්ගලයකු නම් කෙසේ හෝ බේරී යනු ඇත. එහෙත් ඒ වාසනාව තිබුණොත් පමණි. මේ නිසා බොහෝ දෙනෙක් මෙවන් ගල් වළවල්වලට වැටීමෙන් අනතුරු කර ගන්නවා.”   


ජල රකුසා ඒ ආකාරයෙන් මිනිසුන් බිලි ගත්ත ද වරාතැන්න හත්කිඳ දූපත් ප්‍රදේශය අතිශය රමණීය භූමියක පිහිටා තිබේ. ගල් බේසම්, පුනීල වැනි වළවල්වලින් සමන්විත ඉතාමත් ආකර්ෂණීය තැනකි. එහි වරක් දෙවරක් නොව පැය ගණනක් වුවද බලා සිටිය හැකිය. මේ නිසාම, එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා හෝ එවන් ස්ථාන නැරඹීමට පැමිණෙන සහ ඩිංගි බෝට්ටුවලින් ගඟ ඉහළ සිට ගඟ දිගේ පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයෝ නැවතී එහි අසිරිය විඳ ගැනීමට උත්සාහ කරති.   


තවත් බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ සහ ඊට උඩින් රැඳී සිටිමින් ගල් වළවල්වල සහ ජලය ගලා බසින ලස්සන විඳ ගනිති. ඒ අතරේ මධුවිත පානය කරන පුද්ගලයෝ ද නැතුවාම නොවේ. ඔවුහු වීරයන් වීමට එම ස්ථානයෙන් ජලයට බැස නෑමට උත්සාහ කරති. එහෙත් අවසන් වන්නේ තම ජීවිතය ජලයට පුද කරමිනි. එවන් ආකාරයේ සිදුවීම් බොහෝ ය.   


එහි ඉවුරේ බෑවුම ද කෙළින් පිහිටා ඇති නිසා නොදන්නා කෙනෙකු අඩිය තැබුවහොත් ලිස්සා ගොස් ජලයට වැටී ජිවිතය අවසන් වන්නේ ගල් වළක හිර වීමෙනි. පහළ හත්කිඳ (කිඳ යනු වළකි) නැතිනම් වළවල් හතක් තිබුණ බව මුතුන් මිත්තෝ පවසා තිබෙන බව ගම්වැසියෝ කියති. ජලය අඩු කාලයේ පවා ඒවා අඩි තිහකට වඩා ගැඹුරක් පවතින බව දක්නට ලැබේ.   


ගඟෙහි පහළ පටු ප්‍රදේශයේ එවන් වළවල් (කිදවල්) පිහිටා තිබේ. ජලය අඩු කාලයේ පවා ඒවායේ ජලය රැඳී තිබේ. එහෙත් බොහෝ දෙනෙක් එම වළවල් ගැඹුර නොමැති බව සිතා එයට බැස අනතුරු සිදු කර ගන්නවා. මැරෙනවා. විශේෂයෙන්ම පටුම තැන සිට පළල්ම ස්ථානය දක්වා අතර ප්‍රදේශය තුළ බොහෝ දෙනෙක් මැරෙනවා. පටුම ස්ථානයට “මහතැන” වශයෙන් හැඳින්වෙන අතර, පළලම ස්ථානයේ හත්කිඳ දූපත් පිහිටා තිබෙනවා. ගඟ දඟරයක් ආකාරයෙන් ගලා යන්නේ ද මෙම ස්ථානයෙනි.   

මහවැලි කොමලිය, ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා බව පැවසුවද එය කුඩා දිය පහරකින් ලෙසින් ආරම්භ වන්නේ හෝටන්තැන්නෙනි. සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල නිර්මාණය කරමින් පහළට කඩා වැටෙමින් තෙල්දෙණියෙන් කොත්මලේ ජලාශයටත්, නාවලපිටිය, ගම්පොළ හරහා පේරාදෙණිය, ගැටඹේ, හත්කිඳ දූපත්වලින් නොනැවතී, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ පුරවමින් මහියංගණය, වස්ගමුව වනය මැදින් පොළොන්නරුව හරහා ගොස් ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටේ.   


මෙහි ඇති භයානක තත්ත්වය නම්, ජලයේ ගිලෙන පුද්ගලයන් බේරාගන්න යන අයගේ ජීවිතත් අනතුරේ වැටීමයි. ඔවුන්ගේ ජීවිතයත් අවද‌ානමේ තබමින් මිනිසුන් බේරා ගන්න ඉදිරිපත් වන වරාතැන්න ගමේ ජනතාව අගය කළ යුතුයි. බොහෝ දෙනෙකුගේ නොසැලකිලිමත් කමත් මිය යාමට හේතුවක්. අනෙක් කරුණ අධික බීමත්කම ය. ඡායාරූප ගැනීමට ගොස් ලිස්සා වැටීම වැනි විවිධ කාරණා නිසා ද ජීවිතය අනතුරේ දමා ගන්නවා. ඊට අමතරව දිවිනසා ගැනීමට ජලයට පැනපු අයත් සිටිනවා. මෙවන් ස්ථානවල තිබෙන අනතුර ගැන නොදන්නාකම නිසා ද මිය යන අය ගැන ඇති වන්නේ කනගාටුවකි.   


වරාතැන්න හත්කිඳ ගඟ ආශ්‍රිතව බිලිගන්නා ප්‍රධාන ස්ථාන කිහිපයක්ම දැක ගත හැකිය. ඉන් එක් ස්ථානයක් නම් සීමාමාලකයට ආසන්න ප්‍රදේශයයි. අභයරත්න දුනු ගරාජය ඉදිරිපිට ඇති නාන තොටුපළ ද රිවර් ප්ලේස් ගාර්ඩ්න් ප්‍රදේශය, එළිෆන්ට් වෝක් ආසන්නයේ ඇති මහවැලි ගඟ, දෙවැනි රාජසිංහ මාවතේ පොල් කැටේ (පොල් කට්ට) ආදී ප්‍රදේශත් ඊට අයත් වෙනවා.”   

 


 

 

වරාතැන්න විහාරස්ථානයේ විහාරාධිපති තල්දෙණියේ සමිත හිමි:-   


“විහාරස්ථානය ඉදිරියෙන් පිහිටා ඇති මහවැලි ගඟේ ගිලී බොහෝ දෙනෙක් මිය යනවා. සෑම වසරකම පාහේ එවන් සිද්ධියක් දෙකක් ආරංචි වෙනවා. මේ වනවිට දෙසීයකට අධික පිරිසක් මරණයට පත්වෙලා අවසන්. පිටින් පැමිණෙන පුද්ගලයෝ දැනුම්වත් කිරීමට යාමේදී ඔවුන් අප සමඟ ආරවුල් ඇති කර ගන්නවා. එහෙත් අවසානයේ ඔවුන්ගේ පිහිටට සිටින්නෙත් වරාතැන්නේ ගමේ අපි පමණයි.   


ඒ වගේ අත්දැකීම් බොහොමක් තියෙනවා. මෙයට වසර දෙකකට පෙර ත්‍රීවිල් තුනක අට දෙනෙක් පමණ පිරිසක් ඇවිත් ගඟ අසල බොන්න පටන් ගත්තා. ඒ අතරේ එහි සිටි වයස අවුරුදු ද‌ාසයක පමණ ළමයෙක් වෙරි වෙලා ජලයට වැටුණා. පසුව බොහොම අමාරුවෙන් ඔහු සොයා ගත්තේ. ඒ වන විටත් ඔහු මිය ගිහින්. මේ ගැන විමසන්න ගිය අපට ඔවුන් බැන්නා. එපමණක් නොවෙයි, අර මැරුණ ළමයව ද‌ාල ගියා. අවසානයේදි අපි පොලිසියට දැනුම් දීල මිනිය භාර දුන්නා.   


විහාරස්ථානයේ බෝධින් වහන්සේ ළඟට ගියාම පහළින් ගලා බසින මුළු ගඟම පේනවා. සති දෙකකට පමණ පෙර අපි දැක්කා ගඟේ ඉහළ සිට බෝට්ටුවක් වේගයෙන් ඇවිත් සීමාමාලකය අසල පෙරළුණා. එය සිදු වුණේ වේගයෙන් ජලය ගලා යන පටු තීරයේදීයි. දැන් එහි සිටි කිහිප දෙනෙක් බෝට්ටුවේ එල්ලී සිටින අතර තවත් කිහිප දෙනෙක් ගඟේ අනෙක් පස ඇති ගල් උඩට නැගලා අත් වනමින් උදව් ඉල්ලනවා. මම මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.   


ඒ අවස්ථාවේ පී.එම් වීරසිංහ, ෂෙහාන් ධම්මික, ශාන්ත කුමාර, සුපුන් වරාතැන්න පන්සලේ සිටියා. ඔවුන් සමඟ කඹ කිහිපයක් ද රැගෙන ගඟට ගියා. මේ ගඟෙහි ස්වභාවය නම් දහවල් දොළහ, එකෙන් පස්සේ ජලය වැඩි වෙනවා. එවන් අවස්ථාවක දී පළපුරුදු කිමිදුම්කරුවකුටවත් පිහිනා ගොස් බේරා ගන්න බැහැ. අවසානයේ දී කඹ කිහිපයක් ඔවුන් ඉන්නා ප්‍රදේශයට දමා ගල්වල ගැටගසා ගත්තා. ජලයේ සිටින කිහිප දෙනෙක් කඹවල ආධාරයෙන් මෙගොඩට ගත්තා. ඒ වනවිට පොලිසියෙන් සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම් ද පැමිණියා.   


එක ගැහැනු ළමයකු සුපුන් මල්ලී කරේ තියාගෙන මෙගොඩට පිහිනා එනකොට, එක අවස්ථාවක ඔවුන් දෙදෙනාම ගිලුණා. අපට හිතාගන්න බැහැ කුමක් කරන්නද කියා. ජලයට බහින්නත් බැහැ. අපි හිතුවා ඔවුන් අපට නැති වුණා කියා. එහෙත් කොහොම හරි ඔහු ඇය රැගෙන පිහිනා ආවා. එවන් අවදානමක් අරගෙන තමයි ජීවිත බේර ගත්තේ. අනෙක් කාන්තාවගේ මළකඳ ගල් අතර හිර වී තිබියදී කිමිදුම්කරුවන් විසින් සොයා ගත්තා.”   


සුපුන් වරාතැන්න:-   


“ඒ ඩිංගි බෝට්ටුවේ සෞදි ජාතිකයන් හත් දෙනකු සහ කාන්තාවෝ දෙදෙනකු ඇවිත් තියෙනවා. බෝට්ටුව පෙරළුණාට පසු එක ගැහැනු ළමයෙක් කොහොම හරි එගොඩ පිහිටි ගලක් අල්ලගෙන බද‌‌ාගෙන සිටියා. සීතලේ ඇය ගැහෙනවා. එතැනට ගිය කිහිප දෙනෙක් ගෙනෙන්න උත්සාහ කළත් ඇය කැමති වෙලා නැහැ. පස්සේ මමත් එතැනට පිහිනා ගියා. ඇයට තරමක් දුරට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුඵවන්. මම ඇයට මෙහි ඇති භයානක තත්ත්වය ගැන පැහැදිලි කළා. එවිට ඇය කියනවා, හෙලිකොප්ටර් එකක් ගෙනත් දෙන්න කියා. ඒ සඳහා පැය දෙක තුනක්වත් යන බව මම කීව. මුස්ලිම් කාන්තාවක් නිසා ඇඟට අත තියන්න එපා කියනවා. අත තියන්නේ නැතිව ඇය රැගෙන මෙගොඩට පිහිනා එන්න බැහැ. පැයකට ආසන්න වේලාවක් පැහැදිලි කර අවසානයේ ඇය කරේ තියාගෙන පිහිනා ආවා. එක වරෙක අපි දෙන්නම ගිලුණා.”   

 

 

 


ලබන සතියට.   

 


සටහන සහ ඡායාරූප 
සිසිර කුමාර බණ්ඩාර