මහවැලි ගඟට පනින ජීවිත බේරන ‘තම්බි මල්ලී’


 

ඔහු යතුරුපැදියක් අලුත්වැඩියා කරමින්. 

 

  • ගඟෙන් ගොඩට ගත් පිරිස දහස් ගණනක්
 
පේරාදෙණිය කිවූ සැනින් ලෝක ප්‍රකටව ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. එසේම ඓතිහාසික සෙංකඩගල පුරවරයට ඇතුළු වන එක් දොරටුවක් ඇත්තේ ද පේරාදෙණියේයි.  
 
සෙංකඩගල පුරවරයට ඇතුළු වීමට කුමන දිශාවෙන් පැමිණිය ද මහවැලි ගඟ තරණය කිරීමට සිදුවීම ද අනිවාර්යය.  
 
කඩුගන්නාව බලන දුර්ගය හරහා පැමිණියද ගලගෙදර දුර්ගය හරහා පැමිණිය ද​ ලේවැල්ල හරහා පැමිණිය ද කිසිවෙකුටත් මහවැලි නදිය තරණය නොකොට එහි ඇතුළු වි ය නොහැකිය. එහෙත් අද මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ සෙංකඩගල පුරවරයේ ස්වභාවිකව පිහිටා ඇති ආරක්ෂක පිහිටීම සම්බන්ධයෙන් නොවේ. සෙංකඩගල පුරවරයට පේරාදෙණිය දිශාවෙන් ඇතුළු වීමේදී මහවැලි නදිය තරණය කිරීම සඳහා යොද‌ා ගන්නා පේරාදෙණිය පාලම අසල සිටින අපූරු මිනිසෙකු ගැනය.  
 
 කෙනෙකුට ඔහු තම්බි මල්ලිය. තවත් කෙනෙකුට ඔහු තම්බි අයියාය. ඒ කුමන නමක් කියා ඔහු සොයාගෙන ආවත් ඔහු සොයා එන්නේ හදිසි අවස්ථාවකදීය. ඒ සියදිවි හානිකර ගැනීම සඳහා පේරාදෙණිය පාලමෙන් මහවැලි ජලාශයට පැන්න අයෙකු හෝ ඒ අසල ගඟේ නාමින් සිටි අයෙකු දියේ ගිලෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් කිසිවෙකු සිටින විටදීය. කිසියම් පුද්ගලයෙකුට ඇතිවූ චිත්ත පීඩාවක් හේතුවෙන් ඇතිවන ක්ෂණික කලකිරීමක් හේතුවෙන් පේරාදෙණිය පාලමෙන් පහළට පැන්න සැනින් පළමුවෙන් ක්‍රියාත්මක වන්නේ අසල රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් හා ඒ අසල ජනතාවයි. එම අවස්ථාවේදී ඔවුන් වහාම යන්නේ ඒ අසල සිටින තම්බි මල්ලි සොයාගෙනයි.   
පේරාදෙණිය පාලම අසලම යතුරුපැදි අලුත්වැඩියා වැඩපොළේ සිටින තම්බි මල්ලිට පොලිස් නිලධාරියා හෝ පැමිණෙන කෙනා අනතුර ගැන පැවසීමට පෙර ඔහු පැමිණෙන ස්වරූපයෙන් පැමිණෙන්නේ කුමකටදැයි තේරුම් ගෙන වහාම ක්‍රියාත්මක වේ.  
 
ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වී මහවැලි නදිය දෙසට ගොස් ජලාශය විමර්ශනය කොට වහාම ජලයට පැන ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින පුද්ගලයා බේරාගෙන ගොඩට රැගෙනවිත් රෝහල් ගත කිරීමට පියවර ගනී. එසේත් නොමැතිව ජලයේ ගිලී මියගිය පුද්ගලයෙකු නම් ඔහුගේ හෝ ඇයගේ මෘත දේහය ගොඩට රැගෙන ඒමට කටයුතු කරයි.  
 
 ඒ ආකාරයට තම්බි මල්ලි මහවැලි නදියෙන් ගොඩට රැගෙන ආ ජීවත්වන අය හා මෘත දේහ සංඛ්‍යාව දෙදහසකට වැඩි යැයි ඔහු පවසයි.  
 
බෝම්බ බඩ බැඳගෙන ගොස් අනිත් අයත් මරාගෙන තමන් ද විනාශ වී ස්වර්ගයට ගොස් කන්‍යාවන් සමග සුර සැප විඳීමට සිහින මවන අන්ධ භක්තිකයන් සිටින මෙවන් යුගයක තම්බි මල්ලි නම් හරි අපූරු මිනිසෙකි.  
 
ඔහු ස්වර්ගය පතනුයේ මියයාමට දඟලමින් සිටින මිනිසුන්ගේ ජීවිත ඉන් මුදවාගෙනය. ඒ අපූරු මිනිසා ඉරිදා ලංකාදීපය වෙනුවෙන් සොයා ගියේ එබැවිනි.  
පේරාදෙණිය පාලම අසල ඔහු සේවය කරනු ලබන වැඩපොළට යන විටද වටපිටාව ගැන කිසිදු තැකීමක් නොකර ඔහු ඔහුගේ වැඩය.  
 අප පැමිණි කාරණාව පහද‌ා දුන් විට ඔහුගේ වැඩපොළ ඇති ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක් පහළට බැස ක්ෂණිකව මා රැගෙන ගියේ මහවැලි ගඟ අසලටය.   
මේ ඔහුගේ කතාවයි.  
 
පැණිදෙනිය ප්‍රාථමික විදුහලෙන් දෙක වසර දක්වා අධ්‍යාපනය හද‌ාරා ඇති ඔහු කුඩා කල සිටම කාර්මික රැකියාවට හුරු වූ අයෙකි. මොහොමඩ් අලි සබ්‍රි රාසික් හරීඩ් එසේත් නොමැති නම් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ආදරයෙන් අමතන නම වූ තම්බි මේ වන විට 52 වැනි වියේ පසුවෙයි. පේරාදෙණිය පාලම පසුකොට ගම්පොළ මාර්ගය පටන් ගන්නවාත් සමඟම යතුරුපැදි අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක් තිබේ. එම යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ අලි සබ්‍රි එසේත් නොමැති නම් තම්බි සේවය කරන අතර එම ගොඩනැගිල්ලෙන් පහළට බැසගෙන යන විට මහවැලි ගඟට ආසන්න වන්නත් පේරාදෙණිය පාලම යට ඉතා හොඳින් දර්ශනය වන ස්ථානයක බාගෙට ඉදිකළ නිවෙසක ඔහු ජීවත් වෙයි.  
 
 
 
 
මම පැණිදෙණිය ප්‍රාථමිකේට ගිහින් යාළුවොත් සමඟ ආපසු ගෙදර එන්නෙත් ගඟ දිගේ ඒ ආවත් වැඩි කාලයක් ගත කරන්නෙත් මහවැලි ගඟේ. මාළු අල්ලනවා, පීනනවා, කිමිදෙනවා ඕවා තමයි දවස පුරා කරන්නේ.  
 
 මම ගඟට වැටුණු පළමු කෙනා බේරා ගත්තේ එක්දහස් නවසිය හැත්තෑපහ හෝ හැත්තෑ හය අවුරුද්දේ. ඒ වෙනකොට මම ගොඩක් පොඩි. එද‌ා සිට මේ දක්වා ගඟට වැටුණු අය පණපිටින් හෝ මරණයට පත් වූ අය කොපමණ ප්‍රමාණයක් ගොඩ අරගෙන තිබෙනවා ද කියා මට මතක නැහැ. සමහර විට දෙතුන් ද‌ාහක් වෙන්නැති.  
 පේරාදෙණිය පාලමෙන් කවුරුන් හෝ සිය දිවි හානිකර ගන්න පැන්නොත් ඉස්සර වෙලාම දැනගන්නේ එතන හන්දියේ රථවාහන රාජකාරියේ ඉන්න පොලිසියේ මහත්වරු. ඒ මහත්වරු තම්බි තම්බි කියාගෙන දුවගෙන එන්නේ මාව හොයාගෙන. මම ඉතා කෙටි වේලාවකින් ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් ගඟට පැනලා පණපිටින් හෝ මළ සිරුර හෝ ගොඩට ගේනවා.  
 
 මෙතනින් ගඟට පනින බොහෝ අය තරුණ කොල්ලෝ, කෙල්ලෝ. බොහෝ විට ඒ ලව් කේස්වලට. ගෙදරින් තරහ වෙලා. ඉඩම් හබ, ණය කේස්වලටත් ගොඩාක් අය ගඟට පනිනවා.  
 
 මේ ළඟදී අවුරුදු පනස් තුනක කාන්තාවක් ගඟට පැන්නා. මම මේ පැත්තෙන් ගිහින් ගඟට පනිනකෙට ඇය සමග සිටි ඇයගේ පුතා ගඟට පැනල ඇය බේරාගෙන තිබුණා.  
 ඉස්සර පේරාදෙණිය පාලම ළඟ කඩපෙළ තිබුණේ නැහැ. ලොරි නවතන තැනක් තිබුණේ. ශ්‍රීපාද වන්දනාවේ යන නඩත් වෙනත් වන්දනා බසුත් මේ ස්ථානයේ නවත්වනවා. ඒ අය බොහෝ විට ගඟට බැස නානවා. ගඟේ අවද‌ානම් තැන් පෙන්නලා දුන්නත් බීපු අය එය පිළිගන්නේ නැහැ. ඉතින් ගිලෙනවා. එහෙමත් නැත්නම් ගසාගෙන යනවා. එතකොට පණපිටින් හරි මළමිනිය හරි අරගෙන දෙනවා.  
 
 එහෙම කළා කියලා මම ඒ අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී මට සිද්ධ වෙන්නේ පාඩුවක්. මොකද මම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්මයි පනින්නේ. ඒවා අස්කර කර ඉන්න වෙලාවක් නැහැනේ. ඉතින් සාක්කුවේ තියෙන වටිනා දේ ඇතුළු මිල මුදල් විනාශ වෙනවා. එහෙම වුණා කියා මට දුකක් නැහැ. කෙනෙක් පණ පිටින් බේරා ගත්තහම මට විශාල සතුටක් දැනෙනවා. ආත්ම තෘප්තියක් ඇති වෙනවා.  
 
පණපිටින් බේරලා ඉස්පිරිතාලෙට යවපු එක්කෙනක් විතරයි මාව බලන්න දෙතුන් සැරයක් ආවේ. හසලක පැත්තේ තරුණයෙක් ලව් කේස් එකකට පැන්නා. එයාව පණපිටින් බේරාගෙන පේරාදෙණිය ඉස්පිරිතාලෙට යැව්වා. පස්සේ මිනිහා කොහොම හරි හොයාගෙන මාව හමුවෙන්න ආවා. දැන් දෙතුන් පාරක්ම ඇවිත් ගියා.  
දියේ ගිලෙන කෙනෙක් බේරාගන්න යනකොට කෙළින්ම ඔහු ළඟට යන්න හොඳ නැහැ. අතේ දුරින් වැඩේ කළ යුතුයි. එසේ නොවුණහොත් දියේ ගිලෙන කෙනා බේරාගන්න යන කෙනාව බද‌ාගන්නවා. එසේ වුවහොත් දෙන්නම ගිලෙනවා.  
 
දියේ ගිලෙන කෙනාගේ පිටිපස්සෙන් ගොස් බෙල්ලන් අල්ලාගෙන අනිත් පැත්ත හරවා ඔහුගේ ඔළුව වතුරෙන් උඩට අරගෙන පිටේ තියාගෙන ගොඩට ගේන්න ඕනෑ.  
 ජීවිත ආරක්ෂක පාඨමාලා හද‌ාරා නොමැති ඔහු ඔහුගේ අත්දැකීමෙන් පළපුරුද්දෙන් ලැබූ දේ ඔහු එසේ විග්‍රහ කරයි.  
 
 දිවි හානිකර ගැනීම සඳහා කොතරම් ආවේගයෙන් දියට පැන්නත් ඒ අය මරු විකලෙනුයි දඟලන්නේ. දියේ ගසාගෙන යන අය පිදුරු ගහක් හරි අල්ලගෙන ජීවිතය බේරා ගැනීමට උත්සාහ කරනවා. මම ඒ බව ඉතා හොඳින් දැක තිබෙනවා.
 
 
අඩක් ඉදිකළ ඔහුගේ නිවෙස.  
 
 
  
පසුගිය කාලයේ මෙරට ජාතීන් අතර පැතිර ගිය විවිධ දුර්මත සම්බන්ධයෙන් කළ විමසීමකදී දෙකේ පන්තියට පමණක් අධ්‍යාපනය හැදෑරූ මේ මිනිසා කියනුයේ මෙවන් කතාවකි.  
 ජාතිභේදය කියන්නේ එක එක මිනිස්සු මවාගත් දෙයක් පමණයි. ඒ වාගේම මිනිසුන්ගේ ඔළුවලට කැවූ විෂබීජයක්. දැන් බලන්න කව්රුන් හෝ මිනිසෙක් මහමඟදී කිසියම් හෝ අනතුරකට මුහුණ දුනහොත් ඔහු හෝ ඇය බේරා ගැනීමට ඒ අසලම සිටි කෙනා ඉදිරිපත් වෙනවා. එතනදී ඔහු කව්ද ජාතිය කුමක් ද ආදි ප්‍රශ්න වැදගත් වන්නේ නැහැ. එතනදී වැදගත් වන්නේ මනුෂ්‍ය ජාතියයි. මිනිසුන් අතර තිබිය යුත්තේ එයයි.  
 
ජාතිවාදයෙන් ඉන්න අය තේරුම් ගන්නේ එවැනි හදිසි අවස්ථාවකට මුහුණ දුන්නොත් පමණයි. මනුෂ්‍ය ජාතිය කව්ද කියලා අන්න එද‌ාට තමයි ඔවුන් තේරුම් ගන්නේ මනුස්සකම කියන එක.  
 
 ඒ ගැන බොහෝ මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. මිනිසුන්ගේ ඔළුවලට විෂබීජ කවලයි තියෙන්නේ. මේ ඉන්න තැන ඔබ ඇදගෙන වැටුණහොත් මම වහාම ක්‍රියාත්මක වී ඔබට උදව් කරනවා. මම හදිසියේ හරි ඇදගෙන වැටුණොත් ඔබ මට උදව් කරනවා. එය ස්වයංක්‍රීයව සිදුවන දෙයක්. එය මිනිසුන්ටත් පොදුයි. සත්වයන්ටත් පොදුයි.  
සමුගැනීමට පෙර කිසිවක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි විමසූ විට ඔහු මෙවන් අහිංසක ඉල්ලීමක් කළේය.  
 
ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙක් මගේ ගැන කොහොමද දැනගෙන මට ඔක්සිජන් ටැංකියක් එක්ක කිමිදුම් කට්ටලයක් ගෙනත් දුන්නා. මට ඒවා අත්‍යාවශ්‍ය දේවල් නොවෙයි. හදිසියේ කෙනෙක් ගොඩගන්න වුණොත් ඕවා ඇඳ ඇඳ ඉන්න වෙලාවක් නැහැ.  
 
මට වැදගත් වෙන්නේ බාගෙට හදලා තියෙන මගේ ගේ හද‌ාගන්න කව්රු හරි උදව් කළොත් පමණයි. මට ඒ සඳහා උදව් කළොත් ලොකු පිනක් යැයි ද පැවැසීය.
 
 
 ඡායාරූප හා සටහන  
 ෂේන් සෙනෙවිරත්න