මහල් නිවාසයක් ඇතුළේ පාතාලයේ හොර ‘උසාවියක්’


ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය

 

දෙමළ පාතාලයට එරෙහිව සංවිධානය වීමක් පමණක් ලෙස මුල් කාලයේ දැක්වුණ ද ක්‍රමයෙන් සංවිධානාත්මක තවත් අපරාධ කල්ලියක් බවට පත් වූ මාළිගාවත්ත පාතාලයේ කිරුළ තම තමන් සතු කරගන්න කීපදෙනෙක් අතර සීතල යුද්ධයක් කාලයක් තිස්සේ පැවතිණි.   


 නාගරික මන්ත්‍රී ඉමිටියාස් සමග සාකච්ඡා කර ඔහුගේ උපදෙස් පරිදි මුලින්ම වැඩේට අතගැහුවේ නූර්ය. නූර් එ්කට යොදාගත්තේ ෆාජිවය. ෆාජි එක්ක සම්බන්ධකම් තිබුණ කෙනෙක් හැටියට අයුබ්ඛාන් ද මෙම කණ්ඩායමට ඇතුළත් විය. ඒ කණ්ඩායම නියෝජනය කළ අනෙක් පිරිස වූයේ ෆෙන් ෆාරිස් මොහොමඞ් ෆයිසාල් නොහොත් බයියා, මොහොමඩ් නියාස් අයුබ්ඛාන් නොහොත් අයුබ්ඛාන්, මොහොමඩ් අරිබ් මොහොමඩ් අතාස්, මොහොමඩ් අන්වර්, මොහොමඩ් සිසෙල් මොහොමඩ් නිසාන් නොහොත් ජුලී, මොහොමඩ් මිලාන් මොහොමඩ් අක්‍රම් නොහොත් මංජල් අක්‍රම් හා මොහොමඩ් හසන් මොහොමඩ් නොහොත් ආනමාලු ඉමිටියාස් ය. මේ ෆාජිගේ දෙවැනි කණ්ඩායමයි. මීට අමතරව තවත් ගෝල බාලයෝ රැසක් ෆාජි යටතේ සිටියෝය.   


 මේ අයගෙන් ඇතැමෙක් විටින් විට විවිධ හේතු මත පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත්විය. එවිට ඔවුන්ගේ පවුල් නඩත්තු කරනු ලැබුවේ ෆාජි විසිනි. එහෙත් එවැනි දේවල් නිරන්තරයෙන් කරන්න සිදුවෙද්දී ෆාජිට ඒ ගෙවල් නඩත්තු කිරීම හැර වෙනත් යමක් කරන්නට අඩුම තරමින් තමන්ගේ ගෝල බාලයින්ට වැටුපක් ගෙවන්නවත් ඔහුට නොහැකි විය.   


 තමන්ගේ ආද‌ායම් මාර්ගය වැඩිකර ගැනීමට පුළුවන් ක්‍රමයක් හොයන්නට ෆාජිට බල කෙරිණ. ඒ වනවිටත් සුළුවෙන් ආරම්භ කර තිබූ කප්පම් ගැනීම වේගවත්ව, ක්‍රමවත්ව, කරගෙන යාමට ෆාජි කල්පනා කළේ ඒ නිසාය. ෆාජිගේ මෙම අදහසට වඩාත් වැඩි දායකත්වයක් සැපයුවේ අයුබ්ඛාන් ය. ඔහුට ඒ සඳහා මනා හැකියාවක් තිබුණි. අයුබ්ඛාන්ගෙන් බේරිලා ඉන්න කිසිම ව්‍යාපාරිකයකුට හැකි වූයේ නැත. එහෙත් පොලිසියේ ඇස වඩාත් ගැටී තිබුණේ නූර් වෙතටය. ඒ ලංකාවට කුඩු ගෙන්වීමේ ප්‍රබලයකු ලෙස නූර් නම් දරා සිටීම නිසාය. මේ නිසා අයුබ්ඛාන්ලා, ෆාජිලා කරන වැරදිවලටත් උත්තර බඳින්න සිදුවූයේ නූර්ටය.   


 නූර් ගැන අපි කලින් කතා කරද්දීත් පෙන්වා දුන් ලෙස පිටකොටුවේ පලතුරු ව්‍යාපාරිකයකු වූ නීල්ගේ ඝාතනය සම්බන්ධයෙන් නූර් අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් ඒ සිදුවීමට ඇත්තටම සම්බන්ධ වී තිබුණේ අයුබ්ඛාන්ය. පසුකලෙක අයුබ්ඛාන් ද එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය. එහෙත් මුලින්ම ඊට වගකියන්නට සිදුවුණේ නූර්ටය. ෆාජිලාගේ අයුබ්ඛාන්ලාගේ කප්පම් ගනුදෙනුවලට නූර් කැමැත්තක් දැක්වූයේ නැත.


“අපේ මිනිස්සුන්ට කරදර කරන්න එපා” යැයි ඔහු ඔවුන්ට කීපවතාවක් අවවාද කළත් ඵලක් නොවිණි.


“සුදාකරන්ලාගේ පාතාලය නිසා මාළිගාවත්තේ අපේ මිනිස්සු ගොඩක් දුක් වින්දා. අපි සංවිධානය වුණේ ඔවුන්ගෙන් අපේ මිනිස්සු ගලවගන්න. එහෙම කියලා බලය හදාගත්ත සුදාකරන්ලා පන්නලා දාපු අපිත් ඒ විදිහටම වැඩ කරනවා නම් අපේ මිනිස්සුන්ට පිහිට වෙන්නේ කවුද?” නූර් ඔවුන්ගෙන් ඇසීය. ඒත් ඒකට කිසිම යහපත් ප්‍රතිචාරයක් ෆාජිලාගේ කල්ලියෙන් ලැබුණේ නැත.   


 “ෆාජිලා කිව්වේ නූර්ට කුඩු සල්ලි තිබුණාට අපේ එවුන් නඩත්තු කරන්න එ්වා දෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට අපේ එවුන් කූඩුවට ගියාම ඇප දෙන්න, උන්ව බේරගන්න, උන්ගේ පවුල් නඩත්තු කරන්න සල්ලි ඕන. ඒකට පහසුවෙන්ම මුදල් හොයන්න පුළුවන් විදිහ තමයි කප්පම් ගැනීම. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපි මේක නවත්වන්නේ නැහැ.” ෆාජිත් අයුබ්ඛානුත් කිව්වේ ඒ විදිහටය.   


 මේ මතගැටුම නිසා නූර් ෆාජිලාගෙන් වෙන් වී වෙනම තමන්ගේ කණ්ඩායමක් හදාගෙන වැඩ කළේය. ඔහු පාතාල කටයුතුවලට ඒ තරම් දුරට සම්බන්ධකම් පැවැත්වීම නොකළා වුණත් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යාමටත් පාතාලයේ ගනුදෙනු අවශ්‍ය බැවින් නූර් තමන්ගේ කල්ලියක් වෙනම පවත්වාගෙන ගියේය. ඔහු දේශපාලනඥයන් සමග ද කිට්ටු ගනුදෙනුවක් හදාගත්තේ මත්ජාවාරම්කරුවන්ගේ ඉහළ පුරුක්වලට තිබූ සම්බන්ධකම් දැනහඳුනා ගැනීමෙනුයි. 

 
 මේ දෙගොල්ල අතර මරාගැනීම නිසා මාළිගාවත්තේ මුස්ලිම් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක්වූහ. කප්පම් ගැනීම පමණක් නොව කුලියට මීනි මැරීමේ කොන්ත්‍රාත් පවා සිදුකළහ. අවිආයුධ විකිණීමත්, මංකොල්ලකෑමත් ඔවුන්ගේ ජාවාරමේ තවත් අංග කීපයකි. වරක් නීතිවිරෝධී තේ ජාවාරම්කරුවකුගෙන් ලැබුණ කොන්ත්‍රාත්තුවක් මත තේ පරීක්ෂකවරුන් දෙදෙනකු ඝාතනය කිරීමට ෆාජි කටයුතු කළ අතර එය ලැබුණේ අමින් නමැති හිතවතෙකුගේ මාර්ගයෙන්. අමීන් කරගෙන ගිය කසළ තේ වෙළඳ‌ාමට නීත්‍යනුකූලව කටයුතු කළ, අල්ලසට යට නොවූ මේ තේ පරීක්ෂකවරුන් හරහට සිටීම මේ ඝාතන කොන්ත්‍රාත්තුවට හේතු විණි.


ෆාජි ඝාතනය සැලසුම් කළේය. ඒත් එහිදී එක්අයෙකු මියගොස් අනෙක් තැනැත්තා සදාකාලික අබ්බගාතයෙකු බවට පත්වුණි. ඒ ඉරණමට මුහුණ දුන්නේ බෝධිදාස හා කරුණාරත්න යන තේ පරීක්ෂකවරුන් දෙදෙනාය. එහිදී බෝධිදාස මියගොස් කරුණාරත්න අබ්බගාතයෙකු විය. මේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම නිසා එකල ඉතාමත් වටිනා මෝටර් රථ ලෙස හැඳින්වෙන නවීන පන්නයේ පැජරෝ ජීප් රථයක් ෆාජිට තෑගි ලැබුණි.   


 මිනීමැරුම් හා කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ෆාජි අත්අඩංගුවට ගත්තේය. ඔහු මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටියදී මලිගාවත්තේ බලය අල්ලා ගන්නට අලුත්ම චරිතයක් පෙරට ආවේය. ඒ ආනමාලු ඉමිටියාස් ය. ෆාජි නැතිව ගමේ ඉතිරි වූ ෆාජිගේ සහෝදරයා වූ බයියාට මේ දේවල්වලට තනිව මුහුණ දෙන්නට තරම් හැකියාවක් තිබුණේ නැත.   


ෆාජි ඇප ලබා එළියට ආවේ පළාත් සභා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. ෆාජිගේ පැමිණීම ඔහුගේ ගෝලබාලයින්ට මහා අස්වැසිල්ලක් වුණි. ආනමාලු ඉමිටියාස්ගේ ක්‍රියාකලාපයට තනිව මුහුණ දෙන්නට නොහැකිව ඔවුන් හෙම්බත් වී සිටි බැවිනි. මේ අතරතුරේ 98 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ මුස්ලිම් දේශපාලනඥයෙක් ෆාජිගේ සහය ඉල්ලා සිටියේය. මේ සම්බන්ධතා නිසා ආනමාලු ඉමිටියාස්ට ෆාජිව හිසරදයක් වෙන්නට පටන් ගත්තේය. ෆාජිගේ බළකොටුව බිඳින්න ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. වරක් ඔහු ෆාජිට වෙඩි තබා ඝාතනය කරන්නට පවා උත්සාහ කළත් එය වැරදී ගියේ අනූනවයෙනි.   


 දේශපාලනඥයාගේ ඉල්ලීම් ෆාජිගේ කප්පම් ව්‍යාපාරයට පෑදුන ඉල්ලමක් මෙනි. ෆාජි වහාම සිය සහෝදරයා වූ බයියා හමුවී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළේය.   
 “මේක තමයි අපිට සල්ලි ටිකක් හොයන්න තියෙන හොඳම වෙලාව. මන්ත්‍රීගේ මැතිවරණ වැඩේට කිව්වාම ඔය යක්කු සල්ලි නොදී ඉන්නේ නෑ. මොකද ඔය හැම එකාටම ඕන තමන්ගේ ව්‍යාපාරේ කරගෙන යන්න දේශපාලනඥයෙක්ගේ ගනුදෙනුවක්. ඒ නිසා කොළඹ ඉන්න මුස්ලිම් බිස්නස්කාරයෝ සේරගේම නාමලේඛනයක් හදපන්. එහෙම හදලා උන්ගේ ෆෝන් නම්බර් අරන් දැනුම් දීපං මාව හම්බවෙන්න කියලා. මම උන්ව හම්බවෙන්නේ තනියම.”   

 

 


 ෆාජි බය්යාට පැහැදිලි කළේය. බයියා ඒ උපදෙස් අනුව ටෝජිගේ ද සහය ඇතිව පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මරදාන, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශ රැසක මහාපරිමාණ ව්‍යාපාර කරන මුස්ලිම් ජාතිකයන් දෙසීයකට ආසන්න ප්‍රමාණයකගේ නාමලේඛනයක් සකස් කළේය. දවසට ව්‍යාපාරිකයන් දහදෙනා බැගින් ගෙන්වා බයියාගේ නිවසේදී ෆාජිට මුණගස්වනු ලැබිණ.   

 

ෆාජි ඇප ලබා එළියට ආවේ පළාත් සභා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. ෆාජිගේ පැමිණීම ඔහුගේ ගෝලබාලයින්ට මහා අස්වැසිල්ලක් වුණි. ආනමාලු ඉමිටියාස්ගේ ක්‍රියාකලාපයට තනිව මුහුණ දෙන්නට නොහැකිව ඔවුන් හෙම්බත් වී සිටි බැවිනි. මේ අතරතුරේ 98 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ මුස්ලිම් දේශපාලනඥයෙක් ෆාජිගේ සහය ඉල්ලා සිටියේය. මේ සම්බන්ධතා නිසා ආනමාලු ඉමිටියාස්ට ෆාජිව හිසරදයක් වෙන්නට පටන් ගත්තේය. ෆාජිගේ බළකොටුව බිඳින්න ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. වරක් ඔහු ෆාජිට වෙඩි තබා ඝාතනය කරන්නට පවා උත්සාහ කළත් එය වැරදී ගියේ අනූනවයෙනි.   

 


 ඔවුන්ව මුණගැසෙන කාමරයේ අවිආයුධ රැගෙන ආරක්ෂාව සපයන්නන් ලෙස කීප දෙනෙක් රඳවා තබාගැනීමට ද ෆාජි කටයුතු කළේය. ඒ ආරක්ෂාවටම නොව ව්‍යාපාරිකයන් බිය ගැන්වීමටය. එක්වරකට එක් ව්‍යාපාරිකයා බැගින් ගෙන්වා ගෙන ඔහු එක් අයෙකුගෙන් ලක්ෂ තිහක් හතළිහක් බැගින් ‘මැතිවරණ ව්‍යාපාරයට ආධාර’ යන ලේබලය යටතේ කප්පම් එකතු කළේය. මෙසේ එකතු කරගත් කෝටි ගණනාවක මුදලින් සුළු ප්‍රමාණයක් දේශපාලනඥයාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවූ ෆාජි ඇතුළු කණ්ඩායම ඉතිරි මුදලින් සුපිරි ජීවිත ගතකරන්න පටන් ගත්හ. එහෙත් තමන් මුදල් එකතු කළේ සැබවින්ම මැතිවරණ ව්‍යාපාරයට යැයි ඒත්තු ගැන්වීමටත් රජය සමග සමීප ගනුදෙනු ඇති බව පෙන්වීමටත් පෙර කී මුස්ලිම් දේශපාලනඥයාගේ ද සහය ඇතිව මාළිගාවත්ත නගර මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ඡායාරූපය සහිත අතිවිශාල පුවරුවක් ඉදිකිරීමට ද කටයුතු කළේය.   


 ෆාජි කප්පම් ගන්නෙකු, කුලියට මීනි මරන්නෙකු පමණක් නොව කැලෑ උසාවියක් ද පවත්වාගෙන ගිය අයෙකි. තමන්ට එරෙහිව යන්නන්ගේ නඩු අහන්නට ඔහු තමන්ගේ උසාවියක් මහල් නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ නිවසක පවත්වාගෙන ගියේය. ඒ උසාවියට කැඳවන කෙනෙකුට ලේසියෙන් බේරෙන්නට ලැබුණේ නැත. ඔහු හැම කෙනෙකුටම දරුණු දඬුවම් නියම කළේය. ඇතැමුන් වාහනවල පිටුපස බැඳ වාහනය වේගයෙන් ධාවනය කරන්නට සලස්වා බරපතළ තුවාල සිදුවන තත්ත්වයට පත් කළේය. කාන්තාවන් ඇසුරට දැඩිව ලොල් වූ ෆාජි තමන්ගේ බිරිඳ වෙනත් අයෙකු සමග පැන යනතුරු ඒ ගැන කිසිවක් දැන නොසිටින තරමට තමන්ගේම ජීවිතයකට හුරුවී සිටියේය.    


 දෙමළ පාතාලයට එරෙහිව සංවිධානය වූ මුස්ලිම් තරුණයන්ගේ කල්ලිය වසර කීපයක් ඇතුළත දරුණු පාතාල කල්ලියක් බවට පත්වී ඔවුන් අතර බලය වෙනුවෙන් කරගන්නා මරාගැනීම් නිසා කණ්ඩායම් තුන හතරකට කැඩෙන තත්ත්වයට පත්විය. මෙය ඔවුන් අල්ලා ගැනීමට පොලිසියට ද පහසු මාර්ගයක් හද‌ාදෙන්නක් විය.  

 


මුදිතා දයානන්ද