මහනුවරට මුලින්ම වැඩම වූ දළදා හිමි වැඩ සිටියේ කොහිද ?


 

සීතාවක දෙල්ගමු විහාරයේ සිට ඉදල්ගස්හින්න හරහා ඌව පාරෙන් දළදා හිමි මහනුවරට වැඩම වන විට පළමු විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592 - 1604) සෙංකඩගල නගරය සරසා ඇමතීන් පිරිවරාගෙන අම්පිටියට ගොස් ඉතා ගෞරවයෙන් දළදාහිමි පිළිගත් බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය කියයි.   


දළදා හිමි සෙන්කඩගල නගරයට වැඩම වන විට හවස් විය. එමෙන්ම දළදා හිමි වැඩ සිටීමට මේ වන විට දළදා මැදුරක් තිබුණේ නැත. දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය හොඳින් කියවන විට පළමු විමලධර්මසූරිය රජු ගලඋඩහිමි සමග සෙංකඩගලට දළදා හිමි වැඩම කළ හැකි මාර්ග සාකච්ඡා කරන විට දළදා හිමි වැඩමවීමට පෙර දළදා මැදුරක වැඩ ඇරඹූ බව පෙනී යයි.   


එහෙත් එහි ඉදිකිරීම් ආරම්භව තිබුණා පමණකි. සවස් වී ගෙන එන විට තාවකාලිකව දළදා හිමි තැන්පත් කළේ අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේය. ආදාහනමළුව ගෙඩිගේ විහාරයට ඒ නම ලැබුණේ උඩරට සිටි රජවරුන් රජ බිසෝවරුන් එහිදී දවා පුළුස්සා භෂ්මාවශේෂ කුඩා ථූප බැඳ ඒ අසල සමරු වෘක්ෂ සිටුවා තිබූ බැවිනි.   
එවැනි ආදාහන ථූප හා වෘක්ෂ රැසක් ආදාහනමළුව විහාරයේ විය. එහි ඇති බෝධිය චන්ද්‍රාවතී බෝධිය නමින් හඳුන්වන්නේ උඩරට රාජ්‍යය ආරම්භ කළ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ මව් බිසව සිහිවීමටයි.   


ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටීම   


දළදා වැඩම වූ දා රාත්‍රිය දළදා හිමි අස්ගිරි විහාරයට අයත් ආදාහන මළුව විහාරයේ වැඩසිටි බව කඹුරුගමුවේ වජිර හිමි ලිවූ දළදා ඉතිහාසය හා සංස්කෘතිය ග්‍රන්ථයේ කියවෙයි. එහිදී අස්ගිරි මහානායක පදවිය දැරූ ගොඩමුන්නේ ධම්මානන්ද හිමි ඒ අදහස දක්වා ඇත. උඩරට ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබූ වෝල්ටර් විමලචන්ද්‍ර මහතාද ඒ අදහස දරයි.   


අස්ගිරි විහාරයේ ප්‍රභවය විකාශය හා තදනුබද්ධ අධ්‍යාපන ක්‍රමය ග්‍රන්ථයේදී තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි එක් රැයක් එහි දළදා හිමි වැඩසිටි බව කියයි. එසේ ආදාහන මළුව විහාරයේ දළදා හිමි වැඩවසන විට දෙල්ගමුව සිට දළදා මහනුවරට වැඩමවීම පිළිබඳ ඇල්ලේපොළ මංගල හිමිට පළමු විමලධර්මසූරිය රජුට (ක්‍රි.ව. 1592 - 1604) දළදා හිමිගේ ආවතේව කටයුතු කිරීම පැවරූ බව අස්ගිරි උපත කියයි.   


පසුදා උදේ පළමු විමලධර්මසූරිය රජු ඇමැතීන් පිරිවරාගෙන පැමිණ දළදා හිමිට පූජාවක් පැවැත්වූ බවට අස්ගිරි උපත වැඩිදුරටත් කියයි. දළදා ඉතිහාසය හා සංස්කෘතිය ග්‍රන්ථයේදී කඹුරුගමුවේ වජිර හිමි පෙන්වා දෙන පරිදි සෙංකඩගලට වැඩමවූ දළදා මුලින්ම වැඩම වූ තැනට කරන ගෞරවයක් ලෙස අදත් ඇසළ පෙරහර දියකපනදා රාත්‍රියේ අස්ගිරිය ගෙඩිගේ විහාරයට වැඩමවා සියලු රැකවල් පුදපූජා සැලකිලි පැරැණි චාරිත්‍ර අනුව පසුදා දවල් පෙරහර පිටත්වන තුරු තබා දළදා මාලිගාවේ සිට ගිලන්පස දානමාන එවමින් දළදා පෙරහර කරඬුව මේ විහාරයේ අවුරුද්දකට වරක් වැඩ සිටියි.   


එමෙන්ම රංජිත් හෙට්ටිමුල්ල ලිවූ දළදා පුවත ග්‍රන්ථය අනුව දළදා පෙරහර කරඬුව දියකපනදා වැඩමවූ විට ආදාහනමළුව විහාරයේ ඇති දළදා ගමන් මාලිගාව නමැති විශේෂ මණ්ඩපයේ තබා පුද සත්කාර පවත්වයි. හි.බ. දිසානායක ලිවූ දාඨ ධාතු පුරාණය ග්‍රන්ථයේදී කියනුයේ එක් රැයක් නොව දින කීපයක් කලක් යනතුරු දළදා හිමි ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ වැඩ සිටි බවයි.   


ආදාහන මළුව විහාරය සොහොන් භූමියක ඉදිවූවක් බැවින් එහි දළදා වැඩසිටිය හැකිදැයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න 10-08-2003 සිළුමිණ පත්‍රයට සැපයූ ලිපියකදී අනුමාන කරයි. ඔහුගේ අදහස දළදා මැදුරක් ඉදිවනතුරු අම්පිටිය දළුක්ගොල්ල විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටි බවයි.   


දළදා හිමි සඳ දක්නා ගෙට වැඩම වීම   


එක් රැයක් දින කීපයක් හෝ කෙටි කාලයක් ආදාහන මළුව විහාරයේ වැඩසිටි දළදා හිමි ඉන්පසු පළමු විමලධර්මසූරිය රජුගේ රජමැදුරේම සඳ දක්නා ගෙට වැඩම වූ බව පළමු විමලධර්මසූරිය රජු කලම ලියවුණු දළදා පුවත කාව්‍ය ග්‍රන්ථයේ 445 කවියේ එයි. රජු බැහැදැකීමට වෙන්කර තිබූ විශේෂ ශාලාවේ එක් කොටසක් සඳ දක්නා ගේ නමින් දළදා පුවත හඳුන්වයි. මෙහිදී දළදා චාරිත්‍ර ඉෂ්ඨ කළේ ඇල්ලේපොළ මංගල හිමිය. දියවඩන නිලමේ පදවිය දළදා මහනුවරට වැඩම වීමට මුල්වූ හිරිපිටියේ ඒකනායක රාළ උසුලා ඇත.   


පළමු විමලධර්මසූරිය රජු කළ දෙමහල් දළදා මැදුර   


කෙටි කලක් යන විට පළමු විමලධර්මසූරිය රජු දළදාහිමි වැඩසිටීමට ඉක්මනින් දෙමහල් දළදා මැදුරක් ඉදිකළ බව වංශකතා කිහිපයකම සඳහන් වෙයි. දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය අස්ගිරි තල්පත අස්ගිරි උපත සිංහල දළදා වංශය ශ්‍යාමෝසම්පදාවත චූලවංශය සුළු රාජාවලිය යන මූලාශ්‍ර හතේ මෙම දෙමහල් දළදා මැදුර ගැන කියවෙයි. එය රජමැදුර සමීපයේ ඉදිකළ බව චූලවංශය 94 පරිච්ඡේදය කියයි. එහිද තේවා කටයුතු ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ බව අස්ගිරි උපත කියයි. මෙය කෙටි කාලයක් තුළ හදිසියේ ඉදිකළ දෙමහල් දළදා මැදුරක් විය.   


පළමු විමලධර්මසූරිය රජු කළ තුන්මහල් දළදා මැදුර   


කෙටි කලකින් හදිසියේ ඉදිකළ මුල් දෙමහල් දළදා මැදුර දළදා හිමිගේ ගෞරව පිණිස ප්‍රමාණවත් නොවූ බව සිතූ පළමු විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592 - 1604) පසු කල මුලින් ඔහු ඉදිකළ දෙමහල් දළදා මැදුර අසලම වඩාත් විසිතුරු තුන් මහල් දළදා මැදුරක් ඉදි කළ බව මේ අාසන්න කාලයේ ලියවුණු ඓතිහාසික මූලාශ්‍ර හතරක කියවෙයි.   


සිංහල දළදා වංශය දළදා පුවත දෙවන දළදා පූජාවලිය ශ්‍යාමෝසම්පදාවත යන මූලාශ්‍ර හතර ඒවාය.   


පළමු විමලධර්මසූරිය රජු තම රජ මැදුරට නුදුරුව මුලින් කළ දෙමහල් දළදා මැදුර අසලම පසුව කළ තුන්මහල් දළදා මැදුර පිහිටා තිබුණි. ඒ අනුව අද දළදා මැදුර පිහිටා ඇති බිමේම හෝ ඒ අවට වෙන ස්ථානයක රජමැදුර අසලම පළමු විමලධර්මසූරිය රජු කළ දෙමහල් හා තුන්මහල් දළදා මැදුරු දෙක තිබූ අතර පසු කල පෘතුගීසි අක්‍රමණයකින් ඒ දෙකට තදබල හානි සිදුවී විනාශ වූ බව පෙනෙයි.   

 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
එස්.කේ. ජයවර්ධන