මහ සටන් සිදුවූ ගැටඹේ තොට


මහවැලි ගඟේ බ්ලිගන්න තැන්   

 

 ගැටඹේ තොටුපොළ අසළ පිහිටි තානාපතිවරු, ප්‍රභූන් ඇතුළු පිරිස නැවතීමට ගොඩනැගිලි සාදා තිබුණා යැයි කියන ප්‍රදේශය   

 

 ගැටඹේ ප්‍රදේශයෙන් මහවැලි නදිය ගලා ගෙන යන ආකාරය   

 

 

 

අතිශය චමත්කාර දසුන් මවමින් ගලාබසින මහවැලි නදිය සෙංකඩගල පුරවරයේ දී බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් බව පොත්පත්වල සඳහන් වේ. මුතුන් මිත්තෝ ද ඒ බව සනාථ කරති. ඉන් එක් ස්ථානයක් වනුයේ ගැටඹේ තොටය. වර්තමායේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් දිනයේ සතරමහා දේවාලයන්හි දිය කපන ස්ථානය වශයෙනි. එහෙත් රජ දවස හිස ගසා දැමීම, දියේ ගිල්වා මැරීම" උපසම්පදා උත්සවයක් පැවැත්වීම පමණක් නොව විදේශීය ජාතීන් සමග සටන් කිහිපයක් ද මෙහි දී ඇති වී තිබේ. ඒ පිළිබඳව අප්‍රකට තොරතුරු බොහොමයකි. 
  
සෙංකඩගල පුරවරය පහළවන්නටත් පෙර ඈත අතිතයේ සිටම කොළඹ, කඩුගන්නාව, දන්තුරේ ප්‍රදේශයේ සිට පැමිණෙන ජනතාව ගැටඹේ තොටින් ඇතුළු වී මහනුවර නගරයට යා යුතුව තිබුණි. එදා බටහිර දොරටුවෙන් ඇතුළුවන්නන් හට හමුවන “කඩවත” මෙම මහවැලි ගඟේ ගැටඹේ තොටුපළයි. කඩවත යනුවෙන් හඳුන්වන්නේ රජතුමාගේ අණින් ක්‍රියාත්මක වන මුරපොළකි. එහිදී ගමන් කරන අයගෙන් ප්‍රශ්න කර අවශ්‍ය කටයුතු සිදුකරන සහ බඩු භාණ්ඩ පරීක්ෂා කර බලා බදු මුදල් අය කර ගන්නා ස්ථානයකි. ප්‍රථමයෙන් සිංහල රජවරුන් ද, පසුව ඉංග්‍රීසීන් විසින් ද මෙතැනින් යන එන අයගෙන් බදු මුදල් අයකර ගැනිණ.   


ගැටඹේ තොට ආශ්‍රිතව රජුට මාලිගාවක්, මගීන්ට නැවතීමට ගිමන්හලක්, පැන් බීමට පැන් තාලියක්, ගව ගාලක්, ආහාර පිසීමට කුස්සියක්, වැසිකිළි - කැසිකිළි මෙන් ම බදු අය කරන්නන්ගේ බදුකුටි, නිවාස, සිරගෙයක්, වධකාගාරයක් පවා ගඟ දෙපස ඉදිකර තිබේ. සෙංකඩගල රාජධානිය බිහි වීමෙන් පසු මෙම ගැටඹේ තොටුපළ පළල් විය. බලන කඳු වැටියෙන් ඇතුළු වන සතුරු හා මිතුරු සේනාවන් විමර්ශනය කිරීමටත්, ඉන්පසු එම තොරතුරු රජතුමා වෙත දැන්වීමටත්, රජතුමා හමුවෙන්නට පැමිණෙන රාජකාරි නිලධාරීන්, තානාපතිවරුන්, පූජකවරුන් පිළිගැනීමත් මෙහිදී සිදුවිය. ඔවුහු විශේෂ මන්දිරයක නවතා රජු බැහැදැකීමට රැගෙන යාමත් සිදු වූයේද මෙම ස්ථානයේදී ම ය.   


මෙම මහවැලි නදියේ ගැටඹේ තොටුපොළ බිහි වූ කාලයේ දී ම නාථ, උපුල්වන් මහා දෙවිවරුන් වන්දනාමාන කිරීම සඳහාත්, කොළ අතු එල්ලා පිහිට පැතීම සඳහාත් බෝධි වෘක්ෂයක් බිහි වී තිබෙන බව ප්‍රදේශවාසීන් ගේ අදහසයි. වර්තමානයේ “ගැටඹේ මහා බෝධි වෘක්ෂය” ලෙස එය හැඳින්වේ.   


රජ දවස අලි ඇතුන් පටවා ගෙන යා හැකි පාලන් පාරුද, රජුගේ සිට සුළු මගියා දක්වා එගොඩ මෙගොඩ කරන විවිධාකාර ඔරුද මෙහි තිබී ඇත.   


මහවැලි ගඟේ ගැටඹේතොට සිට සටන් දෙකක් මෙහෙයවා ඇති බව දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරස්ථානයේ ශාස්ත්‍රපති ගල්බොඩ සිද්ධත්ථ හිමියෝ පැවසූහ.   


“ඒ සටන් දෙක වන්නේ දන්තුරේ සහ ගන්නෝරුවේ සටනයි. සටන් දෙකම මේ ගැටඹේ බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාවෙන් සිංහල හමුදාවෝ ජය ගත්හ. ක්‍රි.ව. 1954 වසරේදී අති ශූර පෘතුගීසි සෙන්පතියකු වූ පේරෝ ලෝපේස් ද සූසා විශාල භට පිරිසක් සමග පැමිණියා. එවකට රජ කළේ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා. පෘතුගිසීන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ භාරයේ සිටි උඩරට රජ කළ කරල්ලියද්දේ රජුගේ දියණිය වූ දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියට රජකම ලබා දී, ඔවුන්ගේ රූකඩයක් සේ ඇයව පාලනය කිරීමයි. ඒ ඉතිහාසය අපි කවුරුත් දන්නවා. මේ සටන ගැටඹේ තොටේ සිට දන්තුරේ දක්වා පැතිරුණා. දන්තුරේදී ඔවුන් සියලුම දෙනා අපේ සිංහල සේනාව අතින් මිය ගියා. අවසානයේදී දෝන කතිරිනා විමලධර්මසූරිය රජතුමාගේ බිසව බවට පත්වුණා.”   

 

සතරමහා දේවාල දියකපන ගැටඹේ තොටුපොළ  

 


ගන්නෝරුවේ සටන ඇතිවුණේ ක්‍රි.ව. 1638 දී දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේ දී, පෘතුගීසී ජනරාල්වරයෙකු වූ දියෝගු ද මේලෝ කැස්ත්‍රෝ ගේ සේනාව සමගයි. එවකට මාතලේ පාලනය කළේ දෙවැනි රාජසිංහ රජුගේ සොහොයුරා වන විජයපාල කුමාරයායි. පෘතුගීසීන් මහනුවර ආක්‍රමණය කළේ කුමාරයාගේ සහාය ලැබේවි යැයි විශ්වාසයෙන්. මෙය තමන් රැවටීමට කළ උපායක් බව තේරුම් ගත් පෘතුගීසීන් මරණ බයෙන් කොළඹට යාම සඳහා ගැටඹේතොට වෙත පැමිණියා. ගැටඹේ තොටෙන් එතෙරවීමට තබා මහවැලි ගඟට බැසීමටවත් ඉඩ නොතබාම සිංහල හමුදාවෝ ගං ඉවුරේදීම ඔවුන්ට පහර දුන්නා. මෙහිදී ජනරාල් ද මේලෝ සහ ඔහුගේ සගයා වූ මේජර් දමියාන් බේතාදු ද මරණයට පත්වුණා.   


පසුව දෙවැනි රාජසිංහ රජතුමා මහවැලි ගං ඉවුරේ ගැටඹේ දේවාලය සහ බෝධියට පැමිණ භාරහාර ඔප්පු කර විශේෂ බුද්ධ පූජාවක් දින හතක් පුරා නොකඩවා පැවැත් වූ බව උන්වහන්සේ පැවැසූහ.   


ගැටඹේතොට ගැන සඳහන් කිරීමේදී සිරියම්මාල් කුමාරිය ගැන ද සඳහන් කළ යුතුව තිබේ. ඇය රාජාධිරාජසිංහ රජතුමාගේ බිරිඳගේ සහෝදරියයි. රජුගේ යකඩ දෝලියක් ලෙස ගෙනවිත් තබා ගෙන සිටියේ ද ගැටඹේ මහවැලි ගඟ අසළ පිහිටි රාජකීය උද්‍යානයේ පිහිටි මාලිගාවේය. මෙම මාලිගය රජතුමා විසින් අලුතින්ම ඉදිකරන ලද්දකි. සිරියම්මාල් බිසව රජතුමාට වඩා දෙගුණයකින් බාල වූ අතර, ඇය රාජ අණින් රජුගේ පස් වන බිරිඳ වුවද, පිළිමතලව්වේ මහා අදිකාරම් සමඟ පෙමින් බැඳී සිටියාය. රජුගෙන් අනෙක් බිසෝවරුන්ට දරුවන් සිටියේ නැති වුවත්, සිරියම්මාල් බිසවට දරුවෙක් ලැබුණි. ඒ පිළිමතලව්වේ අදිකාරම් ගෙනි. ඔහු කන්නසාමි කුමරුය. අවසන් රජු වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වූයේ මෙම කුමාරයා ය. කුමාරයා හැදී වැඩුණේ පේරාදෙණිය, ගැටඹේතොට ආශ්‍රිත ප්‍රදේශයේ ය.   


දුටුගැමුණු කුමාරයා ද ගැටඹේ තොටුපළට පැමිණ තිබෙන බව සිද්ධත්ථ හිමියෝ කීය. තම පියා සමග අමනාපව රුහුණේ සිට සෙංකඩගල පුරවරයට පැමිණියේ ගැටඹේ තොටුපළ හරහාය. පසුව මෙහිදී හාස්කම් කිහිපයක්ද සිදු වී ඇති බව ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙක් පැවසීය. ඉන් එක හාස්කමක් වන්නේ ගඟෙන් එගොඩ වී බෝධි වෘක්ෂය වෙත පැමිණ එයට වැඳ නමස්කාර කර තම ප්‍රාර්ථනා ඉටුවන්නට යැයි ප්‍රාර්ථනා කර කොළ අතු කඩා බෝධි වෘක්ෂයේ එල්ලුවේය. එදවස ගඟ ගලා ගොස් ඇත්තේ බෝධිය අසළිනි. වර්තමානයේ ගඟෙහි හැඩය වෙනස් වී ඇති බව ද උන්වහන්සේ පවසති.   


පසුව දුටුගැමුණු කුමාරයා සතා සිවුපාවුන්ගෙන් ආරක්ෂාවීමට ගෙනා මුගුර අසළ මඩගොඬේ සිටුවා, තම උරහිසේ එල්ලා ගෙන ආ බත් මුල කෑමට පටන් ගත්තේය. එම බත්මුලේ අල කොළ කිරෙන් උයා, වේළපු හාල් මැස්සන් තෙලෙන් බැද තිබුණි. ආහාර ගන්නා අතරතුරද ඔහු සිතන්නේ මගේ රටේ රජකම ලැබෙයිද, නොලැබෙයිද, රට එක් සේසත් කළ හැකි වේවිද, නොහැකි වේවිද ආදී සිතුවිලිය. එසේ සිතමින් තමන් නොදැනුම්වත්ව බත් පතේ ඇති අල කොළ සහ හාල්මැස්සන් කීප දෙනෙක් මඩ ගොහොරට විසිකළේය. බත් කා අවසානයේ ගැමුණු කුමරු අත සේදීමට අසළ තිබූ ජලයට අත දැම්මේය. සිදුවූයේ පුදුමයකි. එකවරම ජලයේ පාවී ආ හාල්මැස්සන් පිහිනා ඉවතට ගියේය. පුදුමයෙන් වට පිට බලද්දි ඉවත දැමු අල කොළ ටික පැළ වී දලු දමා තිබුණි. ජලය පානය කිරීමෙන් පසු මුගුර අතට ගන්නට හැදුවේය. මුගුර පැළ වී දලු දමා ඇත. එය සෙලවීමටවත් හැකියාවක් නැත. මීට මොහොතකට පෙර සිතු පැතුම් ඉටුවන බව අවබෝධ විය. තුන් වරක් මෙම බෝධි වෘක්ෂයට වැඳ නමස්කාර කර කොත්මලේට පිටත්ව ගියේය. එදා සිට අද දක්වාම මෙම බෝධිය “පැතුම් බෝධිය” නමින් ව්‍යවහාරයේ පවතී.   


පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කළ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් විසින් රචිත කෘතියක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිවෙමින් පැවති කාලයේ ගැටඹේ තොට ගැන වටිනා තොරතුරු කිහිපයක් ද සඳහන් කර තිබේ. ඒ මෙසේය.   


“පේරාදෙණිය තානායම, පශූ වෛද්‍ය රසායනාගාරය, රෝහල පසුකර යන විට වම් පසින් මහවැලි ගඟෙන් එගොඩ කෘෂිකර්ම විද්‍යාලයට අයත් ගොඩනැගිල්ල දක්නට ලැබෙද්දී මාවතෙහි ඉදිරියෙන් ඇළක් හරහා සාදා ඇති පටු පාලමක් හමුවේ. ඊට මඳක් ඔබ්බෙන් ඇති පොල් අතු සෙවිලි කළ මඩුවේ පැත්තකින් කරත්ත පාරක සලකුණු දැකිය හැකි අතර, එය පැරණි නුවර පාරයි. එම කරත්ත පාර දිගේ පහළට බසින විට දකුණු පැත්තෙන් බෝධියක් තිබේ. තවත් පහළට බසින විට තොටුපළ හමුවේ.   


ගඟෙන් අනෙක් පැත්තෙහිද කරත්ත පාරක සළකුණු දැක ගත හැකි අතර, එය කැලෑ රොදින් වට වී ඇති බැවින් මෙම ස්ථානය සොයාගැනීමට අපහසු වුවත් වාහනයෙන් බැස බලන්නේ නම් එම බෝධිය දැක ගත හැකිය... යනුවෙනි.  මෙහි කියැවෙන රෝහල වර්තමාන සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ළමා රෝහලයි. පටු පාලම ගැටඹේ නව පාලමට මඳක් ඔබ්බෙන් පේරාදෙණිය දෙසට වන්නට පිහිටා ඇති පාලමත්, දුම්රිය පාරත් අතර මැදින් දැකිය හැකිය. ගැටඹේ නව පාලම ආසන්නයේ නුවර පේරාදෙණිය මාර්ගයේ දිය කපනා තොට බෝධිය පිහිටා ඇත.   


දෙවැනි විමලධර්මසූරිය රජ (ක්‍රි.ව 1581-1592) දවස රක්ඛංග දේශයෙන් මෙහි වැඩම කළ සන්තාන ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා තිස්තුන් නම විසින් උපසම්පදා කර්මය සිදුකරන ලද්දේ ද මෙම බෝධියට නුදුරින් පිහිටි ගැටඹේ තොටේදී ය.   


ගැටඹේ තොටින් එගොඩ පිහිටියේ ගන්නෝරුවයි. ගැටඹේ සිට ගන්නෝරුවට යන්නේ නම් තොටියාට මුදල් ගෙවිය යුතු වුවත්, මෙගොඩට එන්නේ නම් ගෙවීමක් කිරීමට අවශ්‍ය වූයේ නැත. තොටුපළට අවශ්‍ය ඔරු සැපයීම සිදුකළේ පේරාදෙණිය ඇතුළු කටුපුල්ලේ ගම්වලිනි.   


උඩරට රජවරුන් බැහැ දැකීමට පැමිණෙන රජවරු, ප්‍රභූවරු, තානාපතිවරු, භික්ෂූන් වහන්සේලා රජුගේ අනුමැතිය ලැබෙන තුරු රැඳී සිටියේ වර්තමානයේ ගන්නෝරුව කෘෂිකර්ම පර්​ෙ‌ය්ෂණ ආයතනයට අයත් භූමියේය. ක්‍රි.ව. 1803 දි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුණ ගැසීමට පැමිණි සෙන්පති මැක්ඩෝවල්ගේ දූත මණ්ඩලයේ සිටි ජෝන් සී. වීල් නම් ප්‍රංශ ජාතිකයා සිය ගමන් විස්තරයේ සඳහන් කර ඇත්තේ එම ගොඩනැගිල්ලේ සිට තොටුපළට යාර දෙසීයක පමණ දුරක් ඇති බවය.   

 

 ගන්නෝරුව ප්‍රදේශයේ සිට නව පාලම සහ ගැටඹේ පුරාණ විහාරස්ථානය (පැතුම් බෝධිය) පෙනෙන අයුරු.   

 

 ගැටඹේ දියකපනා තොට අසළ පිහිටි මහා බෝධි වෘක්ෂය (පැතුම් බෝධිය)   

 

 ඇරැව්වාවල නිලමේගේ හිස එල්ලා තිබුණා යැයි කියන ප්‍රදේශය   

 


තවද, ඔවුන් නැවතී සිටි ගොඩනැගිල්ල පිටුපස සුවඳවත් මලින් බර වූ වෘක්ෂයේ හිස් කබලක් තිබී ඇති අතර, රැකවලුන්ගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසූ විට දැන ගැනීමට ලැබී ඇත්තේ එය ඇරැව්වාවල නිලමේගේ හිස් කබල බවය. රජුගේ ආඥාවක් බව පවසමින් පිළිමතලව්වේ ඇතුළු පිරිස ගන්නෝරුව වධක භූමිය වෙත ඔහු රැගෙන ගොස් ඝාතනය කර ඇත්තේ රජුගේ අනු දැනුමකින් තොරවය. අරැව්වාවල නිලමේ නොබියව මරණයට මුහුණ දුන් ආකාරය පිළිබඳව රැකවලාගෙන් තොරතුරු දැනගත් ජෝන් සී. විල් විසින් ඔහුට දක්වන ගෞරවයක් ලෙස එම ගස පාමුල ගලක් තැන්පත් කළ බව ද සිය සටහන්වල සඳහන් කර ඇත.   


ගැටඹේ තොට අසළ විහාරයේ අවසානය සිදුවන්නේ ද, එම ප්‍රදේශයේ හැදී වැඩෙමින් රජකම දක්වා ඉහළට ගිය කන්නසාමි කුමාරයාගෙන් වීම කනගාටුවට කරුණකි. ක්‍රි.ව. 1814 වසරේ මෙම විහාරයේ අධිපතිව සිටි මල්වතු විහාර වංශයේ අනුනාහිමියන් වහන්සේ වන අති පූජ්‍ය පරණාතල හිමිපාණන් වහන්සේට මල්වතු මහා නා හිමිකම ලැබීමට නියමිතව තිබුණි. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමය පරිදි උන්වහන්සේ ගැටඹේ තොට අසළ විහාරස්ථානයේදී හිස ගසා ඝාතනය කරන ලදී.   


ඉන්පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රජකම කිරීමට ලැබුණේ මාස කිහිපයකි. එතුමාගේ යටත්වැසියන් ම ඔහුට නින්දා අපහාස කර නොමරා මරමින් කොළඹට රැගෙන ගියේ ද ගැටඹේ තොටුපළ හරහා වීම දෛවයේ සරදමක් දැයි නොතේරේ.   

 


ස්තුතිය - දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරස්ථානයේ ශාස්ත්‍රපති ගල්බොඩ සිද්ධත්ථ හිමි   


සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර