මහ වන මැද රුධිර ගංගාවක්


තිස්තුන් වසරකට පෙර අරන්තලාවේ භික්ෂු සංහාරය-2

සිද්ධිය ජීවමාන කරමින් තනා ඇති සිහිවටනය

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

එදා මේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වර්තමානයේ දී අම්පාර උදයපුර සාම විහාරයේ විහාරාධිපති හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් සිය අත්දැකීම් මෙසේ විස්තර කළේ රෝගී තත්ත්වයේ සිටිමිනි. උන් වහන්සේගේ ඡායාරූපයක් ගැනීම ද ප්‍රතික්ෂේප කෙරිණි. 


“ඇත්තෙන්ම ඒ අවස්ථාව තවමත් මට මැවිලා පේනවා. එදා බස් එකට නැග්ග ත්‍රස්තවාදීන් මුලින්ම කළේ කඩු සහ පිහි වලින් පහර දීපු එකයි. මමත් තුවාල වෙලා බසය තුළම වැටුණා. ඒ අතරේ මගේ ඇඟ උඩට තවත් කීප දෙනෙක් වැටුණා. එක සැරයක් කඩු පිහි වලින් කපලා කොටලා ගියපු ත්‍රසත්වාදියෝ එළියේ ඉඳලා වෙඩි තිබ්බා. ආයේ ඇතුළට ඇවිල්ලත් වෙඩි තිබ්බා. මගේ වම් කකුලට වෙඩි තුනක් වැදිලා තිබුණා. පිට කොන්දේ මූනිස්සම් කෑල්ලක් තවමත් තියෙනවා. එදා හමුදාවෙන් අපිව අම්පාර රෝහලට ඇතුළු කළා. 


එතැනින් මහනුවර මහ රෝහලටත් එතන සතියක් විතර හිටියට පස්සේ කොළඹ මහ රෝහලටත් යැව්වා. වසර කීපයක් යනතුරුම මගේ වැඩක් තනියම කර ගන්න බැරුවයි මම හිටියේ. කාලයක් කිහිලි කරුවලිනුත් ඇවිද්දා. අදටත් බේත් හේත්වලට විශාල වශයෙන් මුදල් වැය වෙනවා. ඒ ප්‍රහාරය සිද්ධ වෙලා වසර 25 ක් විතර වෙනතුරුත් මා හීනෙන් බය වුණා. නිතරම තිගැස්සිලා ඇහරුණා. කාලයක් යන තුරු මම කායිකවත් මානසිකවත් මම නොසෑහෙන්න දුක් වින්ඳා. ” 


අම්පාර විද්‍යානන්ද මහ පිරිවෙනේ වර්තමාන පරිවේණාධ්‍යක්‍ෂ, අරන්තලා බොෟද්ධ මධ්‍යස්ථානාධිපති මහවාපි මහ විහාරය, ඓතිහාසික පුළුකුණාව රජමහ විහාරය, කල්මුණේ සුභද්‍රාරාමය යන විහාරයන්හී විහාරාධිපති නැගෙනහිර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, දිගාමඩුළු සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන් එදා මේ සිදු වීම වෙන විට සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමිනි. 


උන් වහන්සේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයෙකි. මෙම සිදුවීමෙන් උන් වහන්සේගේ ජීවිතය බේරුණේ ද දෛවෝපගත ලෙසිනි. සිද්ධියට සතියකට පමණ පෙර නායක හාමුදුරුවෝ කොළඹ බලා වැඩම කළේ ගමනේ කටයුතු සහ නවාතැන් දාන මානාදිය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහාය. එහි කොල්ලුපිටියේ දී ලොකු හාමුදුරුවන්ට කිරිඳිවැල සෝමරතන හිමියන් හමු විය. 
“හාමුදුරුවනේ මමත් ඔය ධර්ම දූත චාරිකාවට සහභාගී වෙන්න අම්පාරට එන්නද? ” ඒ සෝමරතන හිමියන්ගේ ඉල්ලීමයි. 


“නෑ සෝමරතන, මෙහේ ඉඳලා මේ කටයුතු හොයලා බලලා සූදානම් කරන්න. ඊට පස්සේ මෙහේදී අපිත් එක්ක එකතු වෙලා කතරගමට යන්න පුළුවන්.” ඒ ලොකු හාමුදුරුවන්ගේ නියමයයි. 
“අනේ හාමුදුරුවනේ, මම අම්පාරටම ඇවිල්ලා ඔබවහන්සේලා එක්ක එන්නම්.” 
“නෑ නෑ සෝමරතන මෙහේ ඉන්න.” ඉන්පසුව දැඩි නිහැඩියාවකි. 
“සෝමරතන මට වතුර එකක් ගෙනත් දෙන්න.” 

 

මහාවාපි විහාරය ඉදිරියේ ඇති අරන්තලා භික්ෂු ස්මාරකය

 

වතුර එක ගෙනැත් දෙන ගමන් සෝමරතන හිමියන් යළිත් ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේ “අනේ හාමුදුරුවනේ, මමත් එන්නම්.” යනුවෙනි. 
එසැණින් ලොකු හාමුදුරුවන් තරමක් රළු ස්වභාවයෙන් කීවේ, “සෝමරතන........ මම දැන් උන්නාන්සේට එක පාරක් දෙපාරක් කිව්වා නේද? කියන දේ අහලා මෙහෙට වෙලා ඉන්නවා. දෙවැනිදා අපි ආවම අපිත් එක්ක යන්න පුළුවන්.” කතාව එතැනින් හමාර විය. 
සැබවින්ම අනාගතයේ දවසක ලොකු හාමුදුරුවන්ගේ ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා සෝමරතන හිමියන්ව දෛවෝපගත ලෙස මෙලොව ඉතිරි කර ගියා සේය. මන්ද යත් එදා සෝමරතන හිමියන්ට අම්පාරේ සිට මේ ගමනට සම්බන්ධ වෙන්නට ඉඩ දුන්නේ නම් සෝමරතන හිමියන් ද ඝාතන වූ ලැයිස්තුවට එක් වන්නට ඉඩ තිබුණි. 
මේ පිළිබඳව අදහස් දැක්වූ කිරිඳිවැල සෝමරතන හිමියෝ 
“මේ මහා කෲර ඝාතනය මුළු ලෝකයම හෙළා දැක්කා. එදා ලොකු හාමුදුරුවන්ගේ දැඩි නියෝග නොවන්නට මමත් මේ අය සමඟ යනවා. නමුත් එය වැලකුණා. මගේ අභිප්‍රාය ලොකු හාමුදුරුවන් බුද්ධ ශාසනයට කළ සේවය ඉදිරියට ගෙන යෑමයි. ඒ අරහත් ධජය ලෙයින් තෙත් වූ ස්ථානය අද ලොව පරසිඳු ස්මාරකයක් බවට පත් කරන්නට මට හැකි වුණා. ඒ සඳහා රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශයත් සහාය දුන්නා. 


මෙම මහා ඛේදවාචකය වසරක් පාසා සිහිපත් කරමින් දිගටම අපි ආගමික කටයුතු කරගෙන ආවා. නමුත් ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට පටන් ගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ රාජ්‍ය පාලනයේදීය. එම කාලයේදීත් ඉන් පසුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ විවිධ මැති ඇමතිවරු ඒ සහයෝගය දිගටම අපට ලබා දුන්නා. 
අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ද අපට සහයෝගය දෙනවා. මේ සඳහා ශාසනාලයෙන් යුතුව සහයෝගය දෙන පක්ෂ විපක්ෂ හැමෝටම සියලු පුරවැසියන්ටත් මගේ කෘතඥතාව හිමිවෙනවා. මෙම සිද්ධිය සිහිපත් කරමින් මෙවරත් එම සැමරුම් කටයුත්ත ආගමික වතාවන්ට මුල්තැන දෙමින් කොරෝනා වෛරසය නිසා සෞඛ්‍ය උපදෙස් මත සිදු කරනවා.” 


කෙසේ නමුත් මුළු ලොවම කම්පා කළ අරන්තලා භික්ෂු ඝාතන සිද්ධිය නිමා වූයේ එලෙසිනි. මේ පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා ගන්නට එදා තුවාල වී බේරුණු තවත් ස්වාමීන් වහන්සේ නමක් දුරකතනයෙන් සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත. එදා දෛවෝපගත ලෙස ජීවිතය බේරාගත් බේලින් මහතා සොයා අම්පාර සිට කි.මී. 32 ක් පමණ මඟ ගෙවාගෙන නුගේලන්ද ගමට ගියත්, එහිදී දැන ගන්නට ලැබුණේ පෙර කී පරිදිම ඔහුගේ වියෝව ගැනයි. ඔහුගේ දියණියක වන එදිරිසිංහගේ විජිතා (56) මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. 


“මේ සිද්ධිය මටත් හොඳට මතකයි. නමුත් එදා තාත්තලා ගියපු වෑන් එක පහු වෙලා ගිය බවක් කී බව මට යන්තමට මතකයි. නමුත් ඒ ගැන ස්ථිරවම මට මතක නෑ. සමහර විට තාත්තලා ඉස්සර වෙලා ගියාද දන්නෙත් නෑ. ඒ ගැන පැහැදිලි අදහසක් මම දන්නේ නෑ. හාමුදුරුවෝ අපේ තාත්තා එක්ක හරිම හිතවත්. ඒ පිරිසගේ ඝාතනය පිළිබඳව තාත්තා මැරෙන තුරුම ලොකු කනගාටුවකින් හිටියා. තාත්තා මිය ගියේ 2016 දී.” 

 

 

කෙසේ නමුත් එදා බස් රථය සමඟ ගිය වෑන් රථයත්, කුඩා ලොරියත් පිළිබඳව පැහැදිලි තොරතුරු මා හට සොයා ගැනීමට නොහැකි විය. 


මේ වන විට අම්පාර විද්‍යානන්ද මහ පිරිවෙනත්, අරන්තලා බෞද්ධ මධ්‍යස්ථානයත් පවත්වාගෙන යාමේ මහා භාරදූර කටයුත්ත සහ වගකීම පැවරී තිබෙන්නේ කිරිඳිවැල සෝමරතන හිමියන්ටය. උන්වහන්සේ ඉතා අසීරුතා මැද මෙම කටයුතු කරගෙන යන බව අපට පෙනෙන්නට විය. විශේෂයෙන්ම විශාල ශිෂ්‍ය පිරිසක් වෙසෙන විද්‍යානන්ද පිරිවෙණට ද බෞද්ධ ඔබගේ සහයෝගය අවැසි බව පෙනෙන්නට තිබේ. ඒ සඳහා ඔබගේ පරිත්‍යාගයන් 071-8333322 යන දුරකතන අංකයට අමතා ලබා දිය හැක.

 

 

සටහන සහ ඡායාරූප
දිගාමඩුල්ලේ සමන් දිසානායක