මහ රැයේ දී පිරිමි සොයා එන සඳවතී


 

 

සඳපායා ඇත. සඳකිරණ ගස් මත පතිත වී තිබේ. ඒ සඳකැන් අතරින් හොල්මන් මවනා ගස් අතු ඉති අතර මහ පොළවේ රටා මවා ඇත. මේ ​ෙසවනැලි අතරින් සුදුම සුදු වැලි මාවත දිගේ එන රුවැත්තිය සත්තකින්ම රූමත් වූවාය. ඇය එන්නේ තනි පංගලමේ රැයෙහි නොනිදා සිටින තරුණයන් සොයාය. එය සුන්දරය. නමුත් සිදුවන්නේ අසුන්දර පෙර නිමිත්තක් බව කිසිදු තරුණ පිරිමියෙක් දැන සිටියේ නැත. සිදුවන්නේ කුමක්ද? ඇස් අයා බලා සිටිය නොහැකි වූ තරම් බිහිසුණු වූවකි. මේ ඒ කතාන්දරයයි.   

ගස් අතරින් මැදියම් රැයේ රුවැති කතක් ගමන් කරන්නට වූවාය. ඇය සත්තකින්ම පිරිමින් රවටන රුවැත්තියක වූවාය. ඇය පිළිබඳව කිසිවෙක් දැන සිටියේ නැත. ඇයගේ රූප ස්වභාවය නිසාම එක්වරක් නොව දෙවරක් නොව ඇය දෙස බලා සිටින්නට තරම් තරුණ ඇස් ප්‍රිය කළාය. ඇස් පැහැර ගන්නට සමත් විය. ඇය යකින්නකැයි ඇය දැක්ක කිසිදු පිරිමියකු නොසිතුවේය. එහෙත් මේ ගමේ ගම්මු බියපත් වුහ. ඇසූ පමණින් ඈ යකින්නකි. පුරුෂ පාර්ශ්වයටම පමණක් දෘෂ්‍ය මාන වන ඈ සම්ප්‍රදාය විසින්ම කාටත් මුණගස්වා ඇත. ඇය මෝහිණි නම්වූවා. මෝහිණි දවාලට ද රාත්‍රියටද ඒ ගම සිටින බව පැතිරගියේ ලැව් ගින්නක් මෙන්ය.   


මෝහිණිය යනු කවුරුන්ද? බටහිර මනෝ විද්‍යාවට අනුව මෙය මානසික පෙරළියකි. මිනිස් යටි හිතේ ඇති ආශාව ඉස්මතු වී අවුත් නින්දේදී කාන්තාවක් හෝ පිරිමියෙක් බවට පත්වී දර්ශනය වේ. දේශීය වෛද්‍යවරු සඳහන් කරන්නේ මෝහිණිය නම් යක්ෂණියකගේ ක්‍රියාවක් පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන ආකාරයයි.   


එසේම මානසිකවද සමහර අවස්ථාවට සිහින පෙනී, මේ ආකාරයට සිදුවන බව දේශීය වෛද්‍ය ක්‍රමයේද සඳහන් වේ. පිරිමියාට මෝහිණීයත්, ස්ත්‍රියට කළුකුමාරයත් පෙනීමේදී මානසිකව ද බලපා ඇති ආකාරයය. මානසිකව ආශාව ඉස්මතුවී පෙනෙන සිහිනයේදී කාන්තාවක් හෝ පුරුෂයකු පෙනී ක්ෂණික මෝචනය වීම සිදුවේ. නමුත් පසුව ක්ලාන්ත ගතිය, ඇතැම්විට උණ, සීතල, හන්දිපත් රුදාව වැනි දේ නැත. එය දිනපතා මෙන් දින තුන හතරක් සිදුවුවහොත් හන්දිපත් රුදාව වැනි දේ ඇති වේ. මන්ද දනහිස්වල මැලබෝර්න් ගතිය නැතිවී යන හෙයිනි. රෝගියෙකු දුටුවිට දක්ෂ පළපුරුදු යකැදුරු මහතෙකුට නාඩිබලා සේම සලකුණු අනුව මානසික රෝගයද නැතිනම් භූත රෝගයද කියා හඳුනාගත හැක. මෝහිණිය ශරීර ගත වූ විට මුහුණේ පැහැය වෙනස් වේ. එසේම මේ දෙදෙනාම සිටිනුයේ තනියම නොවේ, කෙසේ හෝ ප්‍රේතයකු හෝ ප්‍රමාණවත් භූත පිරිසක් රෝගියාගේ ශරීරයට රිංගවයි. රෝගියා කොතරම් අපිරිසිදු වුවත් ප්‍රේතයාට කම් නැත. මෝහිණිය අපිරිසිදුකමට අකමැතිය. උන් කරනුයේ ප්‍රේතයා ශරීරගතව සිටින විට ඈත බැල්ම හෙලා සිට උවමනා අවස්ථාවට ශරීරගත වීමය.   


අප දන්නා පරිදි රෝගීන්ගේ ඥාතීහු පවසන පරිදි, දේවාල, කෝවිල්වලට හා පන්සල් වලට මෙවැනි භූතරෝගීන්ට යා නොහැක. පිරිත් දේශනාවලට සවන්දිය නොහැක. තෙල් නූල් මතුරන විට අමාරු තත්ත්වයට පත්වේ. මානසිකව බලපාන අයට මේ කිසිවක් නැත. කෙතරම් තෙල් නූල් මැතුරුවත් ඔවුහූ නිසොල්මන්ව සිටිති.   


මෝහිණිය වැසුණු පිරිමි තරුණ පිරිස්වලට කළ යුත්තේ පුරුෂයා හැකි ඉක්මනින් විවාහ කර දෙන ලෙසය. එවිට ස්වප්න දෝෂ නිමාවේ. නමුත් මෝහිණී කළුකුමාරයා තදින් බැල්ම ඇති අයගේ විවාහය ඉතා අසීරුය. මන්ද මේ දෙදෙනාටම විවාහවීමට ඉඩ නොදෙති. විවාහ වූවත් රාත්‍රී සිහිනෙන් දර්ශනයවීම අනිවාර්යයෙන්ම සිදුවේ. ඉන් පසු විවිධ කරදර ඇතිකරයි. මෙවැනි අවස්ථාවලදී අප කළේ මෝහිණියට අංග සම්පූර්ණ පිදේනිය දී ස්ත්‍රී ඇඳුම්, සාරි, යට සාය, පනා, කොණ්ඩකටු, වළලු, සුවඳ වර්ග, මල් වර්ග පුළුටු කර දීමය. දිෂ්ටි කිරීමේදී මෝහිණී දිෂ්ටිය ඇති අය ශරීරය වෙව්ලවා ඇතැම්විට ප්‍රල්‍ය වී බෙරපදයට මෙම මෝහිණි ආරූඪ වූ පිරිස් නටන ආකාරයද අප තොයිල් ගෙවල්වල දී දැක ඇත.   


මෝහිණිය වැසුණු රෝගීන්ට යක් ඇදුරෝ සිදුකරන ගුරුකම් රැසකි. රුක් අත්තන ගහේ කරුව සිටුවා ගැට පොළොස් මාලුව, එළවලු 25, පුළුටු, දිය ගොඩ මාංශ, බිත්තර, රීරි ගොටු සහිතව පිදේනිය නැවුම් නෑඹිලියක සකසා දීමයි. දිෂ්ටි කිරීමේදී තදින් දිෂ්ටිය ඇත්නම් පුරුෂයා බෙරපදයට නටා පිදේනිය බාර ගන්නේය. එම අවස්ථාවට අපි දෙදෙනාගෙන්ම නැවත නොඑන ලෙසට දිව්රුම් දෙයි.   


මෝහිණිය වැහුණු තරුණ පිරිමින්ට කළුපාට වැහි වළාකුළු, අහස ගොරවා විදුලි කෙටීම, තද වැස්ස, ගං වතුර, හමුදා භටයින්, පොලිස් භටයින්, මල්වතුවල ඇවිදීම, පාළු කැළෑවල ඇවිදීම පළමුව මේ ආකාරයට සිහින පෙනී පිරිමින්ට කාන්තාවනුත්, ස්ත්‍රීන්ට පුරුෂයනුත් පෙනේ. අඳුරන අයසේම නාඳුනන අය ලෙසත් දර්ශනය වේ. එසේම මානසිකවද මේ සිහින පෙනෙන අවස්ථාද ඇත. ඒ ගං වතුර, මල්වතු, උයන්වතු ආදිය ද ඊට හේතුවන්නේ ධාතු ශක්තිය කිපී ඉහට ගැනීමය. එවිට සිහිනයක් බවට පත්වී දර්ශනය වේ. මානසික සිහින පෙනුනාට එය එතරම් ගණන් ගත යුතු නැත. අධිකාම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විවාහවී සිටියත් මානසිකව මෙවැනි සිහින පෙනී ස්වප්න මෝචනය වීමට හැකිය.   
මෝහිණී සමූහයේ නව දෙනෙක් සිටින බව පත පොතේ හා යක් ඇදුරෝද පවසති. මේ අනුව, ශරීරයට බැල්ම වැටුණ විට ස්ත්‍රීන් අප්‍රිය කරයි, නිතරම මූත්‍රා කිරීමට අවශ්‍යය. පපුව දැවිල්ල ඇතිවේ, අතපය වේදනාව, පපුවේ බරගතිය දැනේ. නිතර සීතලක් දැනේ. ඇතැම්විට උණ ගතිය ඇති වේ. මෝහිණී තරුණ පිරිමින්ගේ බැල්ම ඇතිවූ විට පොළොස් ඇඹුලට ප්‍රිය කරයි, පිරිමින් අප්‍රිය කරයි, වම් පයෝදරයට රිදුමක් ඇතිවේ, පපුව ගැහෙයි, ඇඟ සීතලවී උණ පවා ඇති වීමට පුළුවන. අතපය වේදනා ගෙනදේ. බඩේ යමක් තනි කරගෙන නොමැති නම් දෙහි කපා නූල් දැම්ම විටදී සුවවේ. ශරීරයට ඇතුල්විය හැක්කේ බඩේ යමක් තනිකර ගතහොත් පමණි. එසේ නොමැතිනම් තිබෙනුයේ ඈත බැල්මකි. කෑළි කපන මහ කළුවරේ මෝහිණිය තරුණ පිරිමි සොයා එන්නේ තනි පංගලමේය. පිරිමිද තනිපංගල​ෙම් රාත්‍රියේ සිටින විට ගමන් යන විට තුන්මන්සල අසල වන රොදකද, පාළු සොහොන, ළිඳ කුඹුර වැට නියර අසල දී ඇය ඔබ සොයා එනු ඇත.   


ගැහැනියක තුළ අන්තර්ගත පුරුෂ ලැදියාව ඇනිමස්‌ (Animous) ලෙසත්, පුරුෂයකු තුළ පවතින්නා වූ ස්‌ත්‍රී ස්‌වරූපය නැතිනම් ලැදියාව ඇනිමා (Anima) ලෙසත් හැඳින්වේ.   
පුරුෂයා කෙරෙහි ඇති වන්නා වූ දැඩි ඇල්ම හා අවරෝධනය වූ ලිංගිකමය ආශාව ගැමි අවිවාහක යුවතියන්ට කළු කුමාර දිෂ්ටියෙන් ඉදිරිපත් වේ. අවිවාහක පුරුෂයන්ට රාත්‍රියෙහි මුණගැසුණා යැයි පවසන්නට වූ මෝහිණිය නැමැති තරුණියන්ගෙන් සංකේතානුසාරයෙන් නිරූපණය වන්නේ ද පුරුෂ චිත්තාභ්‍යන්තරය තුළ අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ලිංගිකමය ආශාවම ය.   


සත්තකින්ම පුද්ගලයන්ට යක්‌ෂයන් ආරූඪ වීම තුළ ද ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක්‌ දැකිය හැකිය. මේ අනුව, කෙනකු සමඟ ඇතිවන දැඩි වෛරය, කෝපය, අප්‍රසන්නතාව, අධික බිය හෝ අධික බියමුසු අත්දැකීමකට මුහුණ දීම එමගින් නිරූපණය කෙරේ. සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට අනුව අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ආශාවන් අවිඥනික මනස තුළ තැන්පත් වී කාලය ගත වීමත් සමඟම අසාමාන්‍ය චර්යාවන් ලෙස දිගහැරේ. 


....................................  
අලව්ව නගරයේ ජීවත්වන සිරිමල් විසිඅට හැවිරිදි අවිවාහක තරුණයෙකි. සමාජශීලී තරුණයෙකු වූ සිරිමල්ට දෙමාපිය උරුමයෙන් ලද නිවස හා විශාල ඉඩමද එහි වගාවන්ගෙන් ලැබෙන පලදාවෙන්ද ඉතා හොඳ ආදායමක් ලැබේ. කිසිවකුටවත් අතනොපා ජීවත්වීමට සිරිමල්ගේ පියා එම වටපිටාව සිරිමල්ට සකස් කර දී තිබුණි. පවුලේ එකම දරුවා වූ සිරිමල්ට පියාගේත් මවගේත් ආදරය නොඅඩුව ලැබුණ අතර, ඔහු ගමේ සෑම අයෙකු සමඟම හිතවත්ව ජීවත්වන නිසා කොයි කාහටත් ඔහු බොහෝ ප්‍රියමනාප විය. මගතොටේදී දකින ඕනෑම අයෙකුට සිනා රැල්ලකින් සංග්‍රහ කරන සිරිමල් ඇත්තෙන්ම කඩවසම් තරුණයෙකි. පාසල් අවදියේදීවත් පෙම් සබඳතාවයක් නොපැවැත්වූ හෙතෙම මේ වනතුරුත් තරුණියක හා ප්‍රේම පළහිලව්වක් ඇති කර ගත්තේ නැත. ගමේ ශ්‍රමදාන කටයුතුවලට සේම අනෙක් සෑම කටයුතුවලදීත් තම ශ්‍රමය හා ධනයෙන් උදව් උපකාර කරන සිරිමල් නිතරම නිවසේ රැඳෙන පුද්ගලයකු නොවීය. සිරිමල්ගේ පියා මීට වසර කීපයකට පෙර පපුවේ අමාරුවකින් මියගිය අතර, සිරිමල් හා ඔහුගේ මවත් නිවසේ මෙහෙකාරියන් දෙදෙනාත් පමණක් මෙම නිවසේ ජීවත් වේ. වත්තපිටියේ වැඩ කිරීමට කිහිප දෙනෙකුද සිටින අතර, ඔවුන් සවස්වනවිට වැඩ නිමවී පිටත් වේ.   


ගමේ කා සමඟ හෝ සුහද කතාබහක නිරතවන සිරිමල් නිවසට පැමිණෙන්නේ බොහෝ රෑ බෝ වීය. ඒ එන අතරතුරදී මත්වතුර ටිකක් තොලගෑමට සිරිමල් අමතක නොකළත් එය පුරුද්දක් කර ගත්තේ නැත. සිරිමල් පැමිණෙනතුරු සිරිමල්ගේ මව නින්දට යන්නේ නැත. රෑ බෝ වී පැමිණෙන පුතාට රාත්‍රී ආහාරය ලබාදී ඔහු නින්දට ගිය පසු නිදාගැනීමට යාම ඇයගේ සිරිත විය.   

 

මෝහිණී සමූහයේ නව දෙනෙක් සිටින බව පත පොතේ හා යක් ඇදුරෝද පවසති. මේ අනුව, ශරීරයට බැල්ම වැටුණ විට ස්ත්‍රීන් අප්‍රිය කරයි, නිතරම මූත්‍රා කිරීමට අවශ්‍යය. පපුව දැවිල්ල ඇතිවේ, අතපය වේදනාව, පපුවේ බරගතිය දැනේ. නිතර සීතලක් දැනේ. ඇතැම්විට උණ ගතිය ඇති වේ. මෝහිණී තරුණ පිරිමින්ගේ බැල්ම ඇතිවූ විට පොළොස් ඇඹුලට ප්‍රිය කරයි, පිරිමින් අප්‍රිය කරයි, වම් පයෝදරයට රිදුමක් ඇතිවේ, පපුව ගැහෙයි, ඇඟ සීතලවී උණ පවා ඇති වීමට පුළුවන. අතපය වේදනා ගෙනදේ. බඩේ යමක් තනි කරගෙන නොමැති නම් දෙහි කපා නූල් දැම්ම විටදී සුවවේ. ශරීරයට ඇතුල්විය හැක්කේ බඩේ යමක් තනිකර ගතහොත් පමණි. එසේ නොමැතිනම් තිබෙනුයේ ඈත බැල්මකි. කෑළි කපන මහ කළුවරේ මෝහිණිය තරුණ පිරිමි සොයා එන්නේ තනි පංගලමේය. පිරිමිද තනිපංගල​ෙම් රාත්‍රියේ සිටින විට ගමන් යන විට තුන්මන්සල අසල වන රොදකද, පාළු සොහොන, ළිඳ කුඹුර වැට නියර අසල දී ඇය ඔබ සොයා එනු ඇත.   

 


සිරිමල්ට කටයුත්තක් කරදීමට සිරිමල්ගේ මව කොතරම් ඔහු උනන්දු කරවීමට උත්සාහ කළද සිරිමල් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. “මට දැන්ම මගුලක් ඕන නෑ අම්මේ” කියා එම ප්‍රශ්නෙන් මගහැර යාම සිරිමල්ගේ සිරිතය. “හැමදාමත් මම ජීවත් වෙන්නෙ නෑ පුතේ. මමත් අප්පච්චි වගේ මැරිලා ගියොත් මගේ පුතා තනිවෙනවා. ඊට කලින් පුතා කසාදයක් කර ගන්න ඕනෑ. මව නිතරම ඇවිටිලි කළේ සිරිමල්ගේම යහපතටය.   


දිනක් සිරිමල් රෑ බෝ වී නිවසට පැමිණ නින්දට ගියේ රාත්‍රී ආහාරයද නොගෙනය. මව කොතරම් ඇවිටිලි කළත් ඔහු නින්දට ගියේ “කන්න බෑ” කියමිනි. මහා පාන්දර එක්වරම සිරිමල් මහා හයියෙන් බෙරිහන් දුන්නේ “මෝහිණී මෝහිණී” යනුවෙන් කෑ ගසමිනි. “මොකද මේ බෙරිහන් දෙන්නේ. පුතේ පුතේ” කියා සිරිමල්ගේ මව ඔහු පියවි සිහියට ගත්තාය. “අම්මේ මෝහිණී ආවා... මෝහිණී ආවා” සිරිමල් කීවේ ගොත ගසමිනි.   


පසුදා උදෑසන සිරිමල්ගේ මව සිරිමල් නිවසින් පිටතට යාමට පෙර කීවේ රෑ වීමට පෙර නිවසට එන ලෙසත් මීට පසු රෑ ගමන් බිමන් නවතන ලෙසත් අවවාදාත්මකවය. එදිනද සිරිමල් නිවසට ආවේ රෑ බෝ වීය. “එපා මං ළගට එන්න. අනේ අම්මේ.... මෝහිණී ඇවිත් අම්මේ” කියමින් එදිනද සිරිමල් බෙරිහන් දී කෑ ගසා දහඩිය පෙරාගෙන අවදි විය. සිරිමල්ගේ මව පසුදින සිරිමල් කැටුව ගමේ කට්ටඬි මහතා වෙත ගෙන ගොස් කරට නූලක් දැම්මවීය.   


සිරිමල්ගේ වෙනස ඔහුගේ යහළුවන්ටත් අසල්වැසියන්ටත් අවබෝධ විය. “මොකද සිරිමල් මේ. ඉස්සර වගේ නෙමෙයි සිරිමල්. හරිම වෙනස්” ඔවුන් කීවේ එලෙසය. “මට හීනෙන් මෝහිණීව පේනවා. මගේ ළඟට ඇවිත් මාව ඇ​ෙඳන් බිමට ඇදලා දානවා. මෝහිණී හරිම ලස්සනයි. සුදු සාරියක් ඇඳලා කොණ්ඬේ හරිම දිගයි”  සිරිමල් සැමටම පැවසීය.   
සිරිමල් වෙනදට කලින් නිවසට යාමට පිටත් වූවත් රාත්‍රී එකොළහට පමණ ඇත. ඔහුගේ පිටුපසින් ඇසුණු ශබ්දයට හැරී බලන විට මෝහිණී සිරිමල්ගේ පිටුපස සිටගෙන සිටිමින් දත් විරිස්සා සිනාසුණි. සිරිමල් විගහට පය ඉක්මන් කර නිවසට ගොඩ වැදී දොරවල් වසාගෙන නින්දට ගියේය. හීනෙන් සිරිමල්ට මෝහිණී කතා කළාය. සිරිමල් හූ කියමින් ලතෝනි දීගෙන අවදි විය.   


ගමේ පන්සලට ගෙනගොස් සිරිමල්ට පිරිත් නූලක් ගැට ගසා හාමුදුරුවන්ට කියා සෙත් පිරිත් කියා ආරක්ෂාව ලබාගත් සිරිමල්ගේ මව සිරිමල්ව නිවසට කැටුව ගියාය. දින සති මාස ගෙවෙමින් සිරිමල්ගේ කඩිසර බව, සුහදශීලී බව ද කෙමෙන් කෙමෙන් ඔහුගෙන් දුරස් විය. හරිහැටි කෑමක් බීමක් නොගත් සිරිමල් කල්පනා සාගරයක ගිලුණේය. එළි පහළියට ගියත් කිසිවකු සමඟවත් හරියට කතා බහා නොකළේය. සිරිමල්ගේ වෙනස කිසිවකුටවත් දරාගැනීමට නොහැකි විය. කිසිවකුටවත් මෙයට කුමක් කළ යුතුදැයි අවබෝධ නොවීය.   
දිනක් සිරිමල් මහා දහවල් ගමේ ඇවිදිමින් එන අතරතුරදී අඩි ශබ්දයක් ඇසී පිටුපස හැරී බලන විට මෝහිණී තමන් දෙසට එන සෙයක් පෙනුණි. සිරිමල් “අයියෝ මාව බේරගන්න. මෝහිණී මාව බිලිගන්න එනවා” කියමින් දුවන්නට විය. රාත්‍රී නින්දට ගියපසු මෝහිණී සිරිමල්ට කරදර කළාය. ඔහුට නිදාගැනීමට ඉඩ දුන්නේ නැත. සිරිමල්ට ඇහැරවා මෝහිණී ඔහු ඇදෙන් බිමට ඇද දමයි. මෝහිණී සිරිමල් වෙතට සෑම රාත්‍රියකම පැමිණියාය. සිරිමල් එන්න එන්නම දුර්වල විය. නිවසටමවී සිටි ඔහු එළියට බැස්සේම නැත. කෑමක් දුන්නද බොහෝ පෙරැත්ත කිරීමෙන් පසු පමණක් කටක් දෙකක් කෑ සිරිමල් ඇඳ මුල්ලට වී සැඟවී සිටියේ “මෝහිණී මාව මරයි මෝහිණී මාව මරයි” මතුරමිනි.   


සිරිමල්ගේ මවත් මිතුරෝත් ගමේ උදවියත් සිරිමල්ට සිදුවී ඇති ගැටලුවට විසඳුමක් සොයා යකැදුරකු කැඳවා බලි තොවිලයක් සූදානම් කළෝය. පන්දම් එළියෙන් මුළු පෙදෙසම ආලෝකමවත් විය. විලක්කු සමඟ බෙර හඬින් මුළු පළාතම දෙවනත් විය. සිරිමල්ගේ පසුපස එන මෝහිණී අල්ලා ඇයට දඬුවම් කිරීමට යකැදුරු කටයුතු කළෝය. සිරිමල්ගේ කොණ්ඩෙන් අල්ලා යකැදුරා කෝ මෝහිණී යනුවෙන් ඇසීය. “අර ඉන්නේ අර ඉන්නේ ගල් තලාව උඩ වාඩිවෙලා මට කතා කරනවා අම්මෝ මං ඉවරයි ” කියමින් සිරිමල් දුවන්නට පටන් ගත්තේය. සියල්ලෝ සිරිමල් යකැදුරා වෙතට ගෙන ඇවිත් ඔහු අල්ලාගෙන සිටියෝය. යකැදුරෝ සිරිමල් වට කරගෙන පන්දම් ගසමින් නටමින් කෑ ගසමින් මෝහිණීගේ බැල්මෙන් සිරිමල් මුදවා ගත්හ.   


දින සති ගෙවී ගියේය. සිරිමල් සොය නැවතත් මෝහිණි ඇගේ දරුවා රැගෙන පැමිණුනි. මෝහිණී සිරිමල් අත්හරින පාටක් නැත. ඇය සිරිමල් තම වසඟයට ගැනීමට මාන බලයි. තම පුතා දිනෙන් දිනම පිරිහෙන බව දුටු සිරිමල්ගේ මව නිතරම පසුවූයේ අඬමිනි. තම පුතාට කුමක් සිදුවීද? කොපමණ කීවද කසාදයක් කර ගන්න යැයි ඔහු එය මගහැරි නිසා දැන් ඔහු වෙතට මෝහිණී පැමිණේ. ඇයගෙන් තම පුතා ගලවා ගන්නේ කෙසේද? සිරිමල්ගේ මව අඬමින් කල්පනා කරන්නට විය. සිරිමල් වෙතට මෝහිණී පැමිණෙන නිසා ගමේ බොහෝ තරුණයින්ගේ නිවෙස්වල දොරවල් සවස් වනවිට වැසුණේ තම පිරිමි දරුවන් මෝහිණීගෙන් ආරක්ෂා කර ගැනීමටය.   


සිරිමල්ට කසාදයක් කර දුන්නොත් ඔහුගේ සිතින් මෝහිණීගේ මතකය යනු ඇතැයි ඥාතීන් පැවසූ නිසා සිරිමල්ගේ මව සිරිමල්ට හොඳ තැනකින් ඉක්මනින් කසාදයක් ලෑස්ති කළාය. සිරිමල් කසාද බැන්දේය. කසාදය කෙරී සති තුනක් ඉක්ම යනවිට සිරිමල් “මෝහිණී මට කතා කරනවා” කියා වෙළ පැත්තට ගමන් කරන්නට විය. හැමදාම කවුරුන් හෝ සිරිමල් අල්ලාගෙන නිවසට පැමිණියේය. බලිතොවිල්, සාස්තර, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොතෙක් කළ ද සිරිමල්ව මෝහිණීගෙන් ගලවා ගත නොහැකි විය.   


මෙයට පිළියමක් සෙවූ ඥාතීන්ට ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගැන දැනගැනීමට ලැබුණි. භූතයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, යක්ෂයෝ අල්ලා මට්ටු කරන වෛද්‍ය විද්‍යාකුලපති මහතා වෙතට සිරිමල් යොමු කෙරිණි.   


වෛද්‍ය විද්‍යාකුලපති මහතා සිරිමල්ගෙන් සියලු විස්තර අසා දැනගත්තේය. කුඩා අවදියේ පටන්ම සිරිමල් යක්ෂයින්ට, භූතයින්ට බියක් දැක්වූ චරිතයකි. මෝහිණී නම් සංකල්පය සිරිමල්ගේ සිත්ගත් දෙයක් විය. අවිවාහක තරුණයින් වෙතට මෝහිණි බැල්ම දානවා ඔවුන් සොයා එනවා යන සංකල්පය සිරිමල් විශ්වාස කළේය. ඒ අනුව තරුණ වියේ පසුවන අවිවාහක සිරිමල්ගේ සිතට කලක් යනවිට මෝහිණී තමන්ගේ පසුපස එනවා යන දෘෂ්ටි මායාව ඇතුළු විය. කොතරම් තොවිල් පවිල් කළ ද මෝහිණී ඔහුගේ සිතින් නොගියේ එය දෘෂ්ටි මායාවක් වූ නිසාය. වෛද්‍ය විද්‍යාකුලපති මහතා සිරිමල්ව මනෝ විශ්ලේෂණයට භාජනය කර මෝහන නිද්‍රාවට පත් කළේය. ඒ අනූව යටි සිතේ වූ මෝහිණී පිළිබඳ දෘෂ්ටි මායාව සිරිමල්ගේ සිතින් ඉවත් කිරීමට වෛද්‍යවරයාට හැකිවිය. සිරිමල්ගේ වාසනාවට එතැන් පටන් සිරිමල් සොයා මෝහිණී ආවේ නැත.   


වෛද්‍ය විද්‍යාකුලපති මහතා පවසන්නේ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාච, දේව, බ්‍රහ්ම චරිත මිනිස් සිරුරට ඇතුළුවන්නේ නැත. එසේ වූවා යැයි මිනිසුන් සිතා ගන්නා පමණි. දුර්වල සිත් ඇත්තෝ මෙම සංකල්පවල සිට සිතන්නට පටන් ගත්විට එහි ග්‍රහණයට අසුවේ. මෙම සංකල්පයෝ දෘෂ්ටි මායාවෝ, දර්ශන විලසින් දෘෂ්ටි මායා ලෙසින් පැමිණ උග්‍ර මානසික රෝගයක් ඇතිවන්නට හේතු වේ. මෙය රෝගී තත්ත්වයක් වශයෙන් හඳුනාගත හැකිය. ඊරියකා, මෝහිණී, කාලි, මහසෝනා, කඩවර වශයෙන් සංකල්පයන් සමාජය තුළ ඇති සංකල්පයන්ය. එවැනි සංකල්ප තුළට සජීවී ආත්ම ගලපා දුර්වල සිත් තුළ දෘෂ්ටි මායාවක් ලෙසින් ඉහත චරිත යක්ෂ, ප්‍රේත, භූත ලෙස සිත්හි තැන්පත්වීම මත මානසික ගැටලු ඇතිවන්නේය. එය සංකල්පයක් පමණි. ඒවා ඉවත් කිරීමට වෛද්‍ය විද්‍යාවේ ක්‍රම රැසක් ඇති බව වෛද්‍ය විද්‍යාකුලපති මහතා පැවසීය.  


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   

 


සටහන හා ඡායාරූප
නිමල් අල්ගෙවත්ත