මහ මුදලිට බොන්න වතුර ගෙනාවේ එංගලන්තයෙන්


ලංකාව බැබළවූ මහ සිටුවරු-2

 

බළපිටිය මහා කප්පින වලව්වේ විසූ සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා ගැන තවත් එක් අපූරු කතාවක් නම් මුදලිතුමාට බීමට වතුර එංගලන්තයෙන් ගෙන ආ බව කියන කතාවයි. එවකට යටත් විජිතයක් වූ ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට හැරෙන්නට එංගලන්තයෙන් වතුර බීමට හයියක් මෙන්ම අවසරය තිබුණේ බළපිටිය මහා කප්පින වලව්වේ මේ මුදලිවරයාට පමණක් බව ජනප්‍රවාදයේ එන කතාවේ සඳහන් වේ. 

 
1875 වර්ෂයේ ජුනි මස 04 වන දින පැවැති ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කළ කතාව මේ මහා මුදලිවරයාගේ සමාජ මෙහෙවර අගැයීමට දුන් සහතිකයකි. ‘මහත්වරුනි, මේ අවස්ථාවේ මා ඉදිරිපිට පෙනී සිටින සැම්සන් රාජපක්ෂ මහත්මා වැනි අයගේ ත්‍යාගශීලී භාවය වැනිය යුතුය. එතුමා මෙම විද්‍යාලයේ ප්‍රගතියටත් ඔබ හැමදෙනාගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමටත් අත්ත්‍යන්තයෙන්ම උපකාරී වූවෙකි.   


 මේ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට සුදුසු වූ මෙම වටිනා බිම එතුමා පරිත්‍යාග කළේය. මේ තරුණ මහතුන් උනන්දු කිරීම පිණිස ත්‍යාග ද පිරිනැමීය. තම නිජබිමෙහි වැසියන් හට කළ හැකි සෑම පරිත්‍යාගයක්ම කළේය. මෙවැනි පරිත්‍යාගශීලීන් අතර ප්‍රමුඛයා වන්නේ රාජපක්ෂ මහත්මායි.’   


රටේ අනාගතය වෙනුවෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සූතිකාගාරය ඉදිකිරීමට වටිනා ඉඩම් පරිත්‍යාග කරමින් මුල් වූයේ බළපිටියෙන් බිහිවූ මේ මහා මුදලිවරයාය.   
 වෛද්‍ය සිසුන් වෙනුවෙන් ‘රාජපක්ෂ’ ත්‍යාගයද තමන් ඉගෙනීම ලැබූ ඉංග්‍රීසි ඇකඩමිය (රාජකීය විද්‍යාලය) වෙනුවෙන් ‘රාජපක්ෂ’ ත්‍යාගය ද ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ‘වීරසිංහ’ ත්‍යාගය හා වි​ෙද්‍යා්​දය පිරිවෙණෙහි පාළි, සංස්කෘත හා සිංහල විෂයන් සඳහා වාර්ෂිකව ත්‍යාග තුනක් පිරිනමමින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන ලද ද‌ායකත්වය කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.   


පරිත්‍යාගශීලී ගුණයෙන් පිරිපුන් චරිතයක් ලෙස කා අතරත් ප්‍රසිද්ධව සිටි සැම්සන් රාජපක්ෂ මුදලිවරයා සැබෑ ලෙසම ද‌ානපතියෙක් ලෙස හඳුන්වා දිය හැකි කතාවක් ප්‍රදේශවාසීන්ගේ මතකයේ අදටත් පවතී.   


 ‘නැහැ’ ‘බැහැ’ වචන එතුමන් තුළ නොතිබුණි. දිනක් මහා කප්පින වලව්වට ඉංග්‍රීසි ජාතික අමුත්තෙක් පැමිණියේ පෙර කිසිදු දැනුම් දීමකින් හෝ ආරාධනයක් අනුව නොවේ. එංගලන්තයේ සිට ලංකාවට පැමිණි මෙම විදේශිකයා නිවාඩුවක් ගත කිරීමට පැමිණි පුද්ගලයෙකි. ඔහු සාමාන්‍ය පුද්ගලයකු ද නොවීය.   


 එංගලන්තයේ ධනවත් සිටුවරයාට හදිසියේ විශාල මුදලක් අවශ්‍ය විණ. ලංකාවේ එවකට ප්‍රසිද්ධව සිටි ධනවතුන් කීප දෙනෙකු මුණගැසීමට ගොස් තිබුණි. මුදල් ආපසු නොඑවාවි යන සැකය මත විදේශික ධනවතාට එම මුදල් ලැබී නොතිබුණි.   


විදේශික ධනවතා තම උවමනාව ගැන මහ මුදලිතුමාට කීය. ‘ඔබට අවශ්‍ය මුදල මම දෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් වෙන්න ඕනෑ.’ මුදලිතුමා කී විට විදේශික ධනවතාගේ මුහුණ අඳුරු වී ගි​ෙය්ය.   


 ටික වේලාවක් නිහඬව සිටි ධනවතා පොරොන්දුව කුමක්දැයි විමසීය.   


ඔබට දෙන මේ මුදල් ආපහු එවන්නේ නැහැ කියන පොරොන්දුව මට ඔබගෙන් ඕනෑ. සැම්සන් රාජපක්ෂ මුදලිතුමා කීය. ඇතුළු කාමරයකට ගොස් තමාට ඇති තරම් මුදල් ගන්නා ලෙස මුදලිවරයා විදේශික සිටුවරයාට සේප්පුව පෙන්වා කීවේ ඔහු පුදුමයෙනුත් පුදුමයට පත් කරවමිනි.   


 සිය රටට ආපසු ගිය සිටුවරයා එංගලන්තයේ වරාය ආසන්නයේ ගොඩනැගිල්ලක් සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා නමින් නම්කර ඇත්තේ ඊට උපහාරයක් ලෙසිනි.   
වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇත්තනීස් මහතා ගාලු නගරවාසීන්ට කළ සේවාව ඇගයීම සිහිකිරීම සඳහා හෝරාස්ථම්භයක් (ගාලු කොටුවේ පිහිටි ඔරලෝසු කණුව) ඉදිකිරීමට නගරවාසීන් තීරණය කළ අවස්ථාවේදී මේ සඳහා රුපියල් තුන්දහස් පන්සීයක මුදලක් ඊට වැය කරමින් සියලු සම්පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමා විසින් බවට එම සිහිවටනේ ඇති සෙල්ලිපියේ සඳහන් පහත වැකි වලින් මනාව ඔප්පු වේ.   


 The Clock is the Gift of Samson D' Abrew Rajapakse J.P. of Kosgoda Mdccel xxxiii (=1883)   


මේ තවත් එවන් කතාවකි. ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිමාවක් පිහිටුවීමට පැවැති සාකච්ඡාවේදී රටේ වැඩි දෙනකුට මෙම කාර්යයට සම්මාදම් වීමට හැකි වන පරිදි එක් අයකුගෙන් රුපියල් පනහකට වඩා මුදලක් භාර නොගත යුතු බවට තීරණය කරන ලදී.   


පැමිණ සිටි සාමාජිකයන්ගේ නම් ඒ අනුව ලියාගන්නා ලදි. සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ වාරය එළඹි විට ‘සැම්සන් රාජපක්ෂ ඇතුළු පිරිස රුපියල් පන්දහසයි’ මුදලිතුමා කී විට එහි සිටි බොහෝ දෙනා පුදුමයට පත් වූහ. 1880 දෙසැම්බර් මස නම වන දින මෙම ප්‍රතිමාව කොළඹදී විවෘත කෙරුණේ උත්සවාකාරයෙනි.   


 අනේපිඬුසිටු පරපුරේ සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා තමන්ගේ පිහිට පතා ආ කිසිවකු හිස් අතින් ආපසු හරවා යැව්වේ නැත.   


දිනක් දුප්පත් මිනිසෙකු රැකියාවක් ලබා ගැනීම සඳහා දුක්ගැනවිල්ලක් ලියා මුදලිවරයාට දුන්නේය.   


 ‘බෝසත් තුමනි, සැම්සන් රද පසබි දන   
හාමත් වෙමින් මාගේ දරු හතර දෙන   
 කෝ බත් තාත්තේ බඩගිනි යයි අඬන   
 කෝමත් කෑම දෙන්නේ ණයට අරගෙන’   


මුදලිතුමාට අයත් වත්තක කංකානම් කමක් ඉල්ලා මුදලිතුමාට කවියෙන් ලියා තිබූ දුක්ගැනවිල්ල අනුව දුප්පත් මිනිසාට රැකියාවක් ලැබුණි.   


 බළපිටියේ දරුවන්ගේ අනාගතය ගැන දුර දක්නා නුවණින් සිතා බළපිටියේ මුල්ම පාසල ආරම්භ කරන ලද්​ෙද් සැම්සන් රාජපක්ෂ මුදලිතුමා විසිනි. ඒ 1869 වසරේදීය. වතුරේගම කනිටු විදුහල ලෙස හැඳින් වූ මෙම භූමියේ වර්තමානයේ අහුන්ගල්ල පොලිසිය පිහිටා තිබේ.   


 වික්ටෝරියා රැජිණගේ ජුබිලි මංගල්‍යය වෙනුවෙන් තම උපන්ගම වන බළපිටියේ රෝහලක් ඉදිකිරීම සඳහා 1887 වසරේ ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ මෙම මුදලිතුමාය.   
සුන්දර මාදු ගඟ මැද පිහිටි දූපතක් වූ කොත්දුව විහාරය බළපිටිය රේවත විදුහල අසල පිහිටි මහා කප්පින මුදලින්ද‌ාරාමය, ගොදුව විහාරය හා අහුන්ගල්ල කැකිරිවත්ත විහාරස්ථානයේ බුදු මැදුර රාජපක්ෂ මුදලිතුමාගේ ශාසනික මෙහෙවර මහඟු ප්‍රතිඵලයකි.   


 විද්‍යෝදය පිරිවෙණේ ආරම්භක කැපකරු ද‌ායකයකු වන මෙතුමා 1878 වසරේදී ලංකාවට වැඩම කළ බුරුම ජාතික රාජගුරු ජාගර (ස්වෙජිත් ෂයාතෝ) මහා හිමිනම ඇතුළු හිමිවරු කීප දෙනෙකු කොහිලවගුර වතුයායට වැඩම කරවා උවටැන් කළ බව කියැවේ.   


රාජගුරු ජාගර මාහිමියන් තම වලව්වට වැඩම කරවා එහි වස් විසීමට ද කටයුතු කළ ආකාරය ‘රාජපක්ෂ පවුලේ වර්ණනාව’ නම් කාව්‍යයේ සඳහන් වේ.   


 ජාගර මාහිමියන්ගේ උපන් ගම වූ ‘ස්වෙජින්’ නාමය සිහිවීම. සඳහා උන්වහන්සේට උපහාර ලෙස වලව්ව සමීපයෙන් ගලා බසින මාදු ගංගාවේ ‘ස්වෙජින්’ සීමා මාලකයක් තනවා ජාගර මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පද‌‌ා විනය කර්මය පවත්වා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකා​ෙය් වාර්ෂික උපසම්පද‌ාව පුණ්‍ය උත්සවය ආරම්භ කිරීමටද සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා පුරෝගාමී වූයේ ශාසනාලයෙන් යුතුවය. මහ සඟරුවන නිරන්තරයෙන් කප්පින වලව්වට වැඩම කරවා මහා දන් පිරිනැමුවේ සිව්දෙසින් වඩින මහා සංඝරත්නය වෙනුවෙනි.   


සිවුරු හැර යාමට කල්පනා කර නින්දට ගිය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් බියකරු සිහිනයක් දැක උදෑසන අවදි වූයේ හැඳ සිටි සිවුරද අපවිත්‍ර කරගනිමිනි. සිවුරු ඇරියොත් ඉන්නට ඉඩදෙන්නේ නැති බවට හැඩිදැඩි පුද්ගලයෙක් පැමිණ ගුණානන්ද හිමියන්ට හීනෙන් තර්ජනය කළේය.   


 ගුණානන්ද හිමියන් මේ බියකුරු හීනය දකින මොහොතේ මහ කප්පින වලව්වේ සුවනින්දේ පසුවූ සැම්සන් රාජපක්ෂ මහමුදලිතුමාද සිහිනයක් දුටුවේය. ‘අන්න ගුණානන්ද හාමුදුරුවන්ගේ සිවුර අපවිත්‍ර වෙලා. උදෙන්ම ගිහිල්ලා අටපිරිකරක් පූජා කරන්න යැයි සිහිනෙන් දුටු නාඳුනන පුද්ගලයා මහමුදලිතුමාට කීය.   


 උද‌ෑසනම ගුණානන්ද හිමියන් බැහැ දැකීමට පන්සලට ගිය රාජපක්ෂ මහමුදලිතුමා සිවුරු සෝදමින් සිටි ගුණානන්ද හිමියන් දැක පුදුමයට පත් විය. නාඳුනන පුද්ගලයකු පැමිණ සිහිනයෙන් කී කතාව සත්‍යයක් බවට මුදලිතුමාට අවබෝධ විය.   


 පාන්දරින්ම පන්සලට පැමිණියේ ඇයිදැයි ගුණානන්ද හිමියන් මුදලිතුමාගෙන් විමසීය. පසුව දෙදෙනාම දුටු සිහින ගැන කතා කිරීමෙන් පසු ශාසනය ගැන දෙදෙනා තුළ තිබූ භක්තිය සියදහස් ගුණයකින් වැඩි වී වඩ වඩාත් ශාසනයේ දියුණුව පිණිස කටයුතු කළ බව දැක්වේ.   


 දරු උපත් ලියාපදිංචි කිරීමට එකල ජනතාවට ලබාදී තිබූ දින ගණන ප්‍රමාණවත් නොවීම නිසා එම දින ගණන වැඩි කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට කරුණු කීවේද රාජපක්ෂ මහමුදලිතුමා විසිනි.   

 

 


දළද‌ා වහන්සේ කලක් සඟවා තිබූ බවට ජනප්‍රවාදයේ එන කොත්දූව දූපතේ විහාර ආරාම යළි ගොඩ නැගීමට පුරෝගාමී වූයේ සැම්සන් රාජපක්ෂ මහමුදලිතුමාය. ඒ ගැන ජනප්‍රවාදයේ එන කතාවකි මේ.   


 එදින පොහෝ දිනකි. සැම්සන් රාජපක්ෂ මුදලිතුමා අඟුලක නැගී සේවකයන් කීප දෙනෙකු සමග මාදුගඟ තරණය කොට කොත්දූව දූපතට ළඟා වූයේ ධීවරයන්ගෙන් තමාට ලැබුණු ආරංචියක සත්‍ය අසත්‍ය බව සොයා බැලීමටය.   


 දූපතේ වනරොද මැදින් ඉදිරියට ආ මුදලිතුමා දුටුවේ කැලෑවට යටවී තිබූ නටබුන්ය.   


ගෙන ආ මල් පූජාකොට බෝධිය අසල පහනක් දල්වා යළි වලව්ව බලා යාමට අඟුලට ගොඩ වී ගඟ මැදට ගොස් ආපසු දූපත දෙස බැලූ විට දුටු දසුනින් මුදලිතුමා බියට පත්විය. කොත්දූව දූපතම ගිනිගෙන දැවෙනු දක්නට ලැබුණි.   


බියට හා කලබලයට පත් මුදලිතුමා වලව්වට යාම මඳකට නවතා යළි කොත්දූව දූපත දෙසට අඟුල පදින ලෙස සේවකයන්ට කීවේය.   


 තමා දල්වා ආ පහන බිමට වැටී ගිනි ගන්නට ඇතැයි මුදලිතුමාට සැක සිතුණි.   


 වහා දූපතට ගොඩ වූ මුදලිතුමාට ඉදිරියට යාමට හැකිවූයේ අඩි කීපයක් පමණි. මුදලිවරයාගේ ගමන් මග හරස්කරගත් සුදුපාට නාග රාජයකු පෙනය පුප්පාගෙන නැගී සිටි දුටු මුදලිවරයා සිය ගමන නතර කර අඩියක් පස්සට ගත්තේ කිසිවක් සිතාගත නොහැකිවය.   


 තමාට බෝධිය ළඟට යාමට ඉඩදෙන ලෙස මුදලිතුමා නාගයාට කන්නලව් කළේය. ගතවූයේ ටික වේලාවකි.   


 මාර්ගයෙන් ඉවත් වූ සුදු නාගයා අතුරුදන් විය. බෝධිය අසලට ගිය මුදලිතුමා දුටුවේ තමා දැල්වූ පහන නිරුපද්‍රිතව දැල්වෙමින් තිබෙන අයුරුය. දූපතේ හා බෝධියේ හාස්කම් ගැන පැහැදුණු මුදලිතුමා දෙවියන් බුදුන් වැඳ දූපතෙන් අඟුලට ගොඩ වූයේ සැදැහැ සිතිනි.   


 1881 වසරේ දිනක සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඔරු පාරු යොදවා ගල් පස් ඇද කොත්දූව විහාරස්ථානය යළි ගොඩ නැගීමට සිය පෞද්ගලික ධනය වැය කිරීමට මුදලිතුමා පියවර ගත්තේ ශාසන​ෙය් දියුණුවට ඇප කැප වෙමිනි.   


 ඉංග්‍රීසි ප්‍රථම පාසලක් කොස්ගොඩ නුගටියේ ආරම්භ කිරීමට ද මෙතුමා කටයුතු කළේය. වර්තමානයේ අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය ලෙස හැඳින්වෙන්නේ මෙම පාසලයි. හෙළ බස වෙනුවෙන් මහා මෙහෙයක් කළ ජයන්ත වීරසේකර වැනි මහා උගතුන් වියතුන් රැසක් පසුකාලයේ බිහිවූයේ මේ මහා විද්‍යාස්ථානය නිසාවෙනි. 

 
සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ විශිෂ්ට සමාජ මෙහෙවර අගයමින් 1876 වසරේදී සමස්ත ලංකා සාම විනිසුරු පදවියෙන් ද වාසල මුදලි පදවිය ඇතුළු තනතුරු රැසකින් පිදුම් ලැබීමට වරම් ලැබුණි.   


 ටයිම්ස් පුවත්ප​ෙත් වාර්තාකරුවකු වූ ජෝන් කැෂර් සිය පුවත්පතට ලියා තිබූ දීර්ඝ වාර්තාවෙන් කොටසක් මෙලෙස උපුටා ගෙන සටහන් කරමි.   


 කොළඹ සිට වැලිතරට සැපත් වන්නට දින දෙකක් ගත විය. මග දෙපස දහස් ගණන් ජනයා රැස්ව සිටිනු දුටුවෙමි. බෙන්තර සිට මේ පෙරහරේ පන්දහසකට අධික පිරිසක් ගමන් ගන්නා ලද අතර රත්මලානේ සිට ඉතා දර්ශනීය තොරණ හැත්තෑතුනක් ඉදිකර තිබුණි. කප්පින වලව්වේද හයදහසකට අධික පිරිසකට සංග්‍රහ කරන ලදී.   
1881 වසරේ අගෝස්තු මාසය සැම්සන් රාජපක්ෂ මුදලිතුමාට උද‌ාකළේ ඉතා දුක්මුසු කාල පරිච්ඡේදයකි.   


සිය මෑණියන් හා බෑණනුවන් දින දෙකක් ඇතුළත මියගොස් වසරකට පසු දියණිය ද අවසන් ගමන් ගියේ මුදලිතුමා දැඩි ලෙස සිත්තැවුලට පත්කරමිනි. සිතේ අස්වැසිල්ල සඳහා කදිරානේ මුතුවාඩිය නිවසට පැමිණ ටික දවසක් ගෙවූ මුදලිතුමා 1888 වසරේදී මෝදර කාරලු වලව්වට පැමිණියේ බලවත් සේ රෝග තත්ත්වය උත්සන්න වීමෙනි.   
 1888 වසරේ ජනවාරි 26 දින 57 වැනි වියේ පසු වූ කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ වාසල මුදලිතුමන් සිය දෙනෙත් සදහටම පියාගත්තේ රටට, ජාතියට ශාසනයට මහා මෙහෙවරක් ඉටුකරලමිනි.   


 රජයේ සියලු ගරු බුහුමන් මැද ආදහන කටයුතු ජනවාරි 28 වන දින කොළඹ මාදම්පිටිය සොහොන් බිමේදී සිදුකෙරෙණි. හික්කඩුවේ සුමංගල, රන්දෙ‌ාඹේ ධම්මාලංකාර යන නාහිමිවරු ඇතුළු සිය ගණනක් මහා සංඝරත්නය ඊට සහභාගි වූ බව සඳහන් වේ.   


මේ මහා යුග පුරුෂයාගේ අභාවය ගැන ‘ලක්මිණි පහන’ පුවත්පතට මහා වියතකු වූ ධර්මරත්න පඩිතුමන් ලියූ ලිපියේ කොටසක් මෙසේ සඳහන් වේ.   


 බුද්ධාගම්කාර යම් පමණ සමූහයක් ඇත්නම් ඒ සියලු දෙනාගේම සිත්වලට මෙතුමාගේ ජීවත්ව සිටීම මහත් ධෛර්යයක්ව තිබුණේය. මක්නිසාද යත් ලංකාව පරදේශීන්ට අත්පත් වුණායින් පසු පාත රට විසූ පුරාණ ඇමැති පෙළපත් සියල්ලම වගේ නිලතල, ලාභ, කීර්ති ආදිය සඳහා පරදේශීන්ගේ සිත්ගන්නා අදහසින් මිථ්‍යා දෘෂ්ටික වූවෝය.   


 සමහරු බුද්ධාගම අදහන්නේත් දන්දෙන්නෙත් බණ පිරිත් අහන්නේත් පන්සල්වලට යන්නේත් වටපිට බල බලා මහත් බයකින්. නමුත් මුන්නාන්සේට භයක් චකිතයක් වීමට හේතු නැති බැවින් නිර්මල බුද්ධාගම්කාරයෙක්ව සිටියා පමණක් නොව බුද්ධාගම්කාරයන්ට නොඉසිලිය හැකි බරක් පැමිණි විට ඉසිලීමට සිටියේ මුන්වහන්සේ පමණයි.   


 එබැවින් සියලු බුද්ධාගම්කාරයන්ගේ කටයුතු කර්මාන්ත අත්හැර සතියක් මුළුල්ලේ හඬා වැලපෙමින් ශෝකය ප්‍රකාශ කරත් නම් මැනවැයි සිතමි.   


මහා කප්පින වලව්වේ අවසන් මහා මුදලිවරයා වන්නේ සැම්සන් රාජපක්ෂ මහා මුදලිතුමාගේ එකම පුතුණුවන්ය. ටියුඩර් දීදෙරක් නතානියල් රාජපක්ෂ නැතහොත් ටියුඩර් රාජපක්ෂ මහමුදලිතුමාය.   


 සිය පියාගේ ව්‍යාපාරික කටයුතු පාරම්පරික බූදලය හා පියා කරගෙන ආ සමාජ මෙහෙවර ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා ඉදිරියට ගෙන ගියේ තම පරපුරේ වගකීම හා යුතුකම් අකුරටම ඉටුකරමිනි.   


 1898 දී මීගමුවේ මැග්ඩලීන් ජෝන් ද සිල්වා රාජපක්ෂ මුදලිතුමාගේ දියණියක වූ ප්‍රාන්සස් ලීලි ළමාතැනිය සමග යුගදිවියට පත් ටියුඩර් රාජපක්ෂ මහමුදලිතුමාට බ්‍රියට්‍රිස්ශීලා, හියුබට් රාජපක්ෂ, ටියුඩර් ලැන්ස්ලොට් යන නමින් දරුවන් තිදෙනෙක් වූහ.

   
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා ඕල්කට්තුමන් ප්‍රමුඛ පරමවිඥ‌ානාර්ථ සංගමයේ ඉල්ලීම පරිදි තම පරපුරට අයත් කොළඹ-මරද‌ාන පරණවාඩිය මාවතෙන් අක්කර තුන හමාරක ඉඩම පරිත්‍යාග කළේ වත්මන් ආනන්ද විදුහල ආරම්භ කිරීම සඳහාය.   


ඒ පිළිබඳව 1895 මාර්තු 05 දින ‘ලක්මිණි පහන’ පුවත්පතේ මෙසේ සඳහන් වී තිබුණි.   


 ලංකාවේ ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලය පැවැත්වීමට යෝග්‍ය භූමියක් නැතිව සිටියදී කොළඹ පරම විඥ‌ානාර්ථ සංගමයේ මෙහෙය වීමෙන් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා පරිත්‍යාග කළ භූමි භාගයේ මුල්ගල තැබීමේ උත්සවය පසුගිය සිකුරාද‌ා පස්වරු 05 ට පැවැත්වුණි.   


 ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා සුභ මොහොතින් මුල්ගල තැබූ මෙම උත්සවයට හික්කඩුවේ සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමි, මුල්ලේරියාවේ ගුණරතන හිමි ද සහභාගි වූහ. මෙතෙක් බෞද්ධ ඉංග්‍රීසි පාසල නමින් වූ මෙම විද්‍යාලය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ යෝජනාවක් අනුව ‘ආනන්ද විදුහල’ ලෙසට නම් විය.   


තම ගම් පියසේද ඉංග්‍රීසි පාසලක් නොමැති අඩුව දුටු ටියුඩර් රාජපක්ෂ මහමුදලි තුමා ගමේ ප්‍රභූවරු සමග එක්වී රාජපක්ෂ කොලීජිය නමින් උසස් ඉංග්‍රීසි විදුහලක් ආරම්භ කර පාසලට අවශ්‍ය සියලුම ඉඩම් පරිත්‍යාග කර ගොඩනැගිලි ඉදිකර දුන්නේය. අහුන්ගල්ල රාජපක්ෂ විදුහල නමින් අද හඳුන්වන්නේ මෙම පාසලයි. කටුනායක ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා අක්කර දහයක් පරිත්‍යාග කෙරුණේ මෙතුමා සතු දේපළවලිනි. මෙවන් විශාල සේවාවක් කළ රාජපක්ෂ මුදලිවරුන් සිහිකිරීම සඳහා කොළඹ නගරයේ මාර්ගයක් නම් කර නැති අතර අඩුම වශයෙන් පාසලක සිහිවටනයක්වත් නම්කර නොමැති වීම ශෝචනීය කරුණක් බව සටහන් කළ යුතුය.   


 බළපිටිය තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීමට ඉඩම පරිත්‍යාග කර ගොඩනැගිල්ලක් ඉදිකළ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා සිය ළමා තැනියගේ පියාණන් සිහිවීම සඳහා මීගමුව රෝහලේ අංගසම්පූර්ණ සූතිකාගාරයක් තනවා පරිත්‍යාග කළේය.   


 චිත්‍ර කලාවට දස්කම් දැක්වූ මෙතුමා සුද්දන් හා සමසමව චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ එකම ශ්‍රී ලාංකිකයා බව ද කියති. දක්ෂ ජ්‍යොතිර්වේදියකු වූ මෙතුමාට දේහ ලක්ෂණ වලින් අනාගත වාක්‍ය කීමේ හැකියාවක් තිබූ බවට ඔප්පු කළ හැකි එක කතාවකි මේ.   


 අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායකව වැඩිසිටි කොස්ගොඩ ජිනාලංකාර මාහිමියන් මහානායක ධුරයට පත්වූ පසු කොළඹ කුප්පියාවත්තේ ජයශේඛාරාම විහාරයේදී කී කතාව ඊට නිදසුනකි.   


වැලිතර සිරි සුදස්සන උපසංඝරාජයන් වහන්සේ මගේ පැවිදි ගුරුවරයා. ඒ කාලේ මහානායක ධුරය දැරුවේ උන්වහන්සේ. මම පුංචි කාලේ ගුරු හාමුදුරුවොත් එක්ක නිතරම වලව්වට වඩිනවා. දවසක් ටියුඩර් හාමු මහත්තයා මා දිහා හොඳට බලා ඉඳල කිව්වා. ‘නායක හාමුදුරුවනේ... මේ පොඩි උන්නාන්සේ හරිම වාසනාවන්තයි. කවදහරි මේ නිකායේ මහානායක වනවා’ කියා. ඒක මට මේ උන්නාන්සේගේ අංගලක්ෂණ වලින් කියන්න පුළුවන්’ කියා.   


 මම මේ තරගයට බය නැතිව ඉදිරිපත් වුණේ ටියුඩර් හාමු මහත්තයාගේ අනාවැකි කවදාවත්ම වැරදුණේ නැති නිසයි. ඒ විශ්වාසය මට තිබුණා. ජිනාලංකාර අභිනව මහානායක මාහිමියන් පවසා තිබුණේ මහානායක ධුරය සඳහා පැවැති තියුණු තරගයකින් අනතුරුවය.   


ගාල්ල - කොළඹ දුම්රිය මාර්ගය තැනීමේදී මුදලිතුමාට අයත් ඉඩම් හා සාමාන්‍ය ජනතාවගේ ඉඩම් ද ඊට පවරා ගන්නා ලදී. පවරාගත් ඉඩම් සඳහා මුදලිතුමාට වන්දි ගෙවීමට රජය මුලින් සූදානම් වෙද්දී වන්දි මුදල් ප්‍රතික්ෂේප කළ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා ප්‍රථමයෙන්ම දුප්පත් ජනතාවගේ ඉඩම්වලට වන්දි ගෙවන ලෙස රජයට දැනුම් දුන්නේය.   
 වන්දි මුදල් ලබා නොගැනීමට ගරු කිරීමක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව මුදලිතුමාට කොඩියක් ලබාදී තිබුණි.   


 මුදලිතුමාට ගමනක් යාමට අවශ්‍ය විටෙක අතරමග ඕනෑම තැනකදී දුම්රියක් දැක එම කොඩිය වැනූ විට දුම්රිය නවතා මුදලිතුමා නංවාගෙන තිබෙන බව ජනප්‍රවාදයේ දැක්වේ.   
සිය පියා මෙන් ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ වාර්ෂික උපසම්පද‌ා විනය කර්මය පැවැත්වීමට මෙතුමාගේ ජීවිතයේ අවසාන භාගයේදී මහා කප්පින වලව්ව හා ඉඩම උපසම්පද‌ා කටයුතුවලට පමණක් පරිහරණය කිරීමට හැකිවන පරිදි සඟසතුකොට පූජා කළේය. ‘කොඩි සිල්පත’ නමින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද්​ෙද් එම පූජා ලියැවිල්ලේ ඔප්පුවය. ඒ 1956 වසරේ මාර්තු මස 04 වැනිද‌ාය.   


 බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජුගේ අභිෂේක උත්සවයට ලංකාව නියෝජනය කිරීමට තෝරාගත් සිව් දෙනාගෙන් එක් අයකු වූයේ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාය. ඒ මෙතුමාගේ පරහිතකාමී ගුණයට උපහාර ලෙසිනි. මීගමුවේ සූතිකාගාරය විවෘත කරමින් හෙන්රි මැක්ලම් ආණ්ඩුකාරවරයා ඒ බව නිවේදනය කළේ එහි රැස්ව සිටි ජනයාගේ ප්‍රීතිඝෝෂා මැදිනි.   


‘පස්වැනි ජෝර්ජ් මහරජතුමාණන්ගේ මෞලි මංගල්‍යයට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිතයන් සිව්දෙනාගෙන් කෙනෙකු ලෙස ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා නම් කිරීමට මම කැමැති වූයෙමි. මෙය රාජකීය අනුමැතිය ලබා ඇත. 

 
එංගලන්තයට ගොස් ආපසු සිය රටට පැමිණි ටියුඩර් රාජපක්ෂ යුවළට හරසර දැක්වීම සඳහා 1911 ඔක්තෝබර් මස 28 දින ‘පබ්ලික් හෝල්’ නම් ශාලාවේදී උත්සවයක් පැවැත්වුණි. එම උත්සවය මිහිරි ගැයුම් වැයුම් වලින් සමන්විතව තිබුණි. එහිදී දොස්තර තෝම්ස් එෆ් ගාර්ඩ්න් මහතා දෙසුමක් පවත්වමින් ‘ඔබ ශ්‍රේෂ්ඨ පියකුගේ ශ්‍රෙෂ්ඨ පුතෙකි.’ යනුවෙන් පවසා තිබේ.      


(අහුන්ගල්ලේ සු. ද සොයිසා හා උෂාන්ත මැන්ඩිස් යන මහත්වරුන්ට ස්තූතිය.) 

 


මතු සම්බන්ධයි


සටහන සහ ඡායාරූප 
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා