මහ මග හමුවූ සිරුරේ අබිරහස


මළ මිනිසුන් සමග නොමළ කතා

 

කඩ සාප්පුත් ඇරලා දාලා මුදලාලි පවා කලබලයෙන් දුව යද්දි කඩවලට බඩුගන්න ආපු අයත් වැල නොකැඩී නගරයේ ජල ටැංකිය පැත්තට දුවන්ට වූහ. තල් අත්තට වැටුණ බෙලි ගෙඩියට බයේ ලෝකේ පෙරළෙනවයි කියලා දුවපු කැලේ සත්තු ටික වගේ මේ මිනිස්සු ද දිව ගියහ. සමහරු කමිසේ අඳින ගමන් ද තවත් කෙනෙක් කඩා හැලුණ කොණ්ඩය බඳින ගමන් ද සමහරු සරම පැත්තක් අතකින් උස්සාගෙන ද පාරේ වළවල්වල වැටී නොවැටී මිනිස්සු දිව්වෝය. 


 “ඇයි මේ හැමෝම දුවන්නේ? කඩසාප්පු කඩා වැටෙනවා කියලවත් දැනුම් දුන්නාද?” 
වෙන දේ හිතාගන්න බැරිව එක තරුණියක් දුවන කෙනෙක්ගෙන් විමසුවාය. 


 “නෑ නෑ අර වතුර ටැංකිය ගාව කොල්ලෙක් මරලා දාලලු.” 
 “කොල්ලෙක් මරලා දාලා?” 
 “ආහ්.” 
 “අනේ අපොයි. ඒ මොන අපරාධයක් ද?” 


 පොලිසියෙන් මළ සිරුර තිබූ ස්ථානයට එන විටත් එතනට ළඟාවීමට නොහැකි තරමට මිනිසුන්ගෙන් පිරීගොස් තිබිණ. 
 “හා හා අයින් වෙලා අපිට රාජකාරි කරගන්න ඉඩ දෙනවලා.” 


 පොලිසිය සිරුර තිබූ ස්ථානය වටා කහ පාට කළු පාට පටියක් ඇද්දේය. ඒ අපරාධ ස්ථානයක් බවත්, අනවසරයෙන් ඇතුළුවීම තහනම් බවත් අඟවන ආරක්ෂක වැටක් බඳුය. අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති හා පොලිස් ස්ථානාධිපති දෙදෙනාම සිරුර වෙත කිට්ටු කර මතුපිටින් පරීක්ෂා කර බැලූහ. වැටී සිටිය තැන ඒ තරම්ම ලේ ගලාගොස් තිබුණේ නැත. මුහුණේ එක් කම්මුලක කුඩා කුඩා කැපුම් තුවාල සමූහයකි. ඒ කැපුම් තුවාල මොන විදිහේ ආයුධයකින් කළාදැයි සිතාගත නොහැකිය. ඇඟේ ඇඳුම් සියල්ල කිසි කරදරයකින් තොරව තිබේ. එක් කකුලක විලුඹෙන් තරමක් ඉහළට වන්නට දණහිසට මඳක් පහළින් තුවාලයක් ඇති බව පෙන්වූයේ කලිසම් කකුලේ වූ ලේ පැල්ලම නිසාය. ඇතැම්විට මෙය රිය අනතුරක් වන්නට ද හැකිය. එහෙත් කිසිවක් තමන් තනියම කල්පනා කරන්නේ ඇයි? අවදානමක් ගන්නවාට වඩා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ගෙන්වීම සුදුසු යැයි පොලිස් ස්ථානාධිපතිවරයා තීරණය කළේය. 


 අධිකරණ වෛද්‍යවරයා සිරුර මතුපිටින් පරීක්ෂා කර මුහුණේ ඇතිවී තිබෙන තුවාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. ඒ තුවාල වී කුරුල්ලෙකුගේ පාදයේ කොරපොතු පිහිටා තිබෙනවා සේය. එක සමාන්තරව කැපුම් පහර කීපයක් ළඟින් ළඟින් පිහිටා ඇති අතර ඒ එක කැපුමක් අවසන්ව ඒ ආසන්නයෙන්ම තවත් කැපුමක් ආරම්භව තිබේ. මෙවැනි කැපුමක් සාමාන්‍යයෙන් ආයුධයකින් කළ නොහැකිය. එය බොහෝ විට රිය අනතුරකදී සිදුවිය හැකි තුවාලයකි. වාහනයක වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදී එය බිඳීයාමෙන් එහි වීදුරු කැබලි බිඳී ගිය රටාව අනුව සිදුවූ තුවාලයක් වීමේ සම්භාවිතාව වැඩි බව වෛද්‍යවරයාගේ අදහස විය. 


 සිරුර පාරේ තිබුණේ නම් මෙය නිගමනය කිරීම වඩාත් පහසුය. ඒත් එය පිහිටා තිබුණේ මහ මග ආසන්නයේ වූ හිස් ඉඩමකය. ඒ නිසා කිසිවක් එකවර නිගමනය කළ නොහැකි විය. අධිකරණ වෛද්‍යවරයා ඒ ආසන්නයේ මහ මග ද පරීක්ෂා කර බැලුවේය. හිටිගමන් තිරිංග තද කිරීමෙන් වාහනයක රෝද ඇදී ගිය ලකුණු සිරුර වැටී තිබූ ස්ථානයට මිටර දහයක් පමණ ඇතුළත ආසන්නයේ දකින්නට ලැබිණ. පාර මැදින් ආ ටයර් පාර මඳක් හැරී ඉඩම පැත්තට හැරී තිබෙනු දැකිය හැකිවිය. එසේම ඒ ස්ථානයේ දිගටම කුඩා වීදුරු කැබලි ද දැකිය හැකිවිය. පොලිසිය ඒ වීදුරු කැබලි කිහිපයක් ද නඩුවට අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට ලබාගත්හ. 


 මියගිය අයගේ කලිසමේ හා කමිසයේ සාක්කු පරීක්ෂා කර ඔහුගේ මුදල් පසුම්බිය සොයාගත් අතර එහි තිබූ ජාතික හැඳුනුම්පත අනුව පදිංචි ලිපිනය සොයාගනු ලැබිණ. ඒ අනුව පොලිසියෙන් එම ලිපිනයට යවා පියා හා සහෝදරියක එම ස්ථානයට ගෙන්වා ගනු ලැබිණ. ඔවුන් එහි පැමිණ මියගොස් තිබෙන්නේ තම පුතා බව හඳුනාගත් අතර මෙය ඝාතනයක් ද යන සැකය ඔවුන්ට ද මතු විය. 


 “පුතා ඊයේ යාළුවොත් එක්ක සංගීත සංදර්ශනයක් බලන්න ගියේ. එයා රෑ ආවේ නැහැ. යාළුවන්ගෙන් ඇහුවාම කිව්වා අපිත් එක්ක නෙවෙයි ආවේ, අපි දන්නේ නැහැ කියලා. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.” 
 “යාලුවෝ පුතාගෙන් පළිගන්න මොකක් හරි හේතුවක් තිබුණාද?” 


 “අපි දන්නේ නැහැ මහත්තයෝ. දැන් කාලේ මරාගන්න කෙල්ලෙක් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධයක් වුණත් ඇතිනේ.” 
 පියා හා සහෝදරිය මේ මරණය සම්බන්ධයෙන් සැක පළ කළ නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කරනු ලැබීය. 


 අධිකරණ වෛද්‍යවරයා සිරුර මතුපිට තුවාල මුලින්ම පරීක්ෂාවට ලක් කළේය. එහිදී පෙර කී මුහුණේ තුවාලවලට අමතරව පිටෙහිද සිරීම් තුවාල දක්නට ලැබිණ. එය කිසියම් රළු පෘෂ්ඨයක ඇතිල්ලී ඇදී යාමෙන් සිදුවන ආකාරයේ තුවාල බව වෛද්‍යවරයාගේ නිගමනය විය. සිරුර වැටී තිබුණ ස්ථානය රළු බොරලු සහිත ස්ථානයක් වූ බැවින් මියගිය අය එම ස්ථානයේ වැටී, ඇදී ගිහින් හෝ ඇදගෙන ගිහින් හෝ තිබෙන බව අනුමාන කළේය. 


 සැලකිය යුතු මට්ටමේ තවත් තුවාලයක් මියගිය අයගේ වම් පාදයේ දණහිසට යටින් තිබිණ. එහි හම ඉරීගොසිනි. දණහිස හා පාදයේ වළලුකර අතර පිහිටි අස්ථිය හෙවත් ජංගාස්ථිය ද බිඳී ගොසිනි. ඒ අනුව මියගිය අය කිසියම් දෙයක තදින් වැදී ඇති බව තහවුරු විය. අධිකරණ වෛද්‍යවරයා මුල සිටම සැක කළ පරිදි මියගිය අය වාහනයක හැපුණේ නම් මෙම තුවාලය වාහනයේ බෆරයේ වැදීමෙන් සිදුවූ තුවාලයක් බව ද ඔහු නිගමනය කළේය. පාදයේ සිට අඟල් 18ක් උඩින් මෙම තුවාලය තිබූ නිසා අනතුරට ලක්වූ වාහනය ඊට සමාන උසකින් පිහිටි බෆරයක් සහිත වාහනයක් විය යුතු බව ද ඔහුගේ නිගමනය විය. 


 පාදයේ හම ඉරීගිය ස්ථානය හොඳින් පරීක්ෂා කිරීමේදී සුදු පැහැ කුඩා කැබලි කීපයක් දැකිය හැකි විය. එය වඩාත් හොඳින් පරීක්ෂා කර බලන විට කිසියම් තැනක පාදය තදින් ඇතිල්ලීමෙන් ගැලවී ඇලවුණ තීන්ත බව පෙනී ගියේය. එසේ නම් මේ මියගිය අය හැප්පුන වාහනයේ තිබූ තීන්ත බවට සැකයක් නැත. 


 අනතුරෙන් මිය යාමට තරම් තුවාලයක් මියගිය අය සතුව බාහිරින් දක්නට නොවීය. එබැවින් එය නිශ්චිත කරගැනීම සඳහා සිරුර කපා පරීක්ෂා කිරීමට සිදුවිය. 


 සිරුර කපා පරීක්ෂා කිරීමේදී පපු කුහරයේ දකුණු පැත්තේ පෙණහලු හා හෘදය වස්තුව අතර රුධිරය පිරී තිබිණ. එම රුධිරය ඉවත් කර බැලූවිට මිලිලීටර දහසකට ආසන්න ප්‍රමාණයක් ඇති බව නිරීක්ෂණය විය. ලේ ඉවත් කර පපු කුහරය පිරිසිදු කර බලද්දී හෘදය වස්තුවෙන් පිටතට රුධිරය ප්‍රවාහනය කරන ප්‍රධාන ධමනිය වන මහා ධමනිය එහි ධමනි වක්‍රය අසලින් කැඩී ගොස් ඇති බව පෙනී ගියේය. ධමනිය කැඩුණ තැන ඉහළ කොටසේ ධමනි බිත්තිය හරස් අතර වැරලි වී ඉරීගොස් ඇති බව දැකිය හැකි විය. 
 මේ ආකාරයට ධමනිය කැඩී යා හැක්කේත් ධමනි බිත්තිය මෙලෙස ඉරී යා හැක්කේත් සිරුර දෙපසට ඇදීමක් වැනි ආකාරයකිනි. කිසියම් තැනක වැදී පුද්ගලයෙක් ඉහළට විසි වනවිට ඔහුගේ හෝ ඇයගේ උදර කුහරයත් උරස් කුහරයත් එකට සම්බන්ධ කෙරෙන මහා ප්‍රාචීරයට පහළින් පවතින ඉන්ද්‍රියයන් පහළට තල්ලුවන අතර උරස් කුහරයේ පවතින ඉන්ද්‍රියන් ඉහළට තල්ලු වේ. එසේ සිදුවන්නේ මහාප්‍රාචීරය අසලින් සිරුර පිට පැත්තට නැවී යාමෙනි. එලෙස තල්ලු වී යාමේදී ඇතිවන පීඩනය නිසා මේ ආකාරයට මහා ධමනිය බිඳි යා හැකිය. මරණයට හේතුවී තිබෙන්නේ මහා ධමනිය බිඳී යාමෙන් අධික ලෙස රුධිරය වහනය වීම බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. 


 කලින් නිරීක්ෂණය වූ කරුණු ද සැලකිල්ලට ගත් වෛද්‍යවරයා මෙය මියගිය පුද්ගලයා අධික වේගයෙන් ගමන් කළ වාහනයක මුහුණට මුහුණ ගැටී ඇති බව නිගමනය කළේය. ඔහුගේ පාදය රථයේ බෆරයේ වැදීමෙන් රථයේ බොනට්ටුව මත වැටී ඉදිරිපස වීදුරුවේ ද ගැටී නැවත උඩින් විසිවී ගොස් තරමක් ඈතින් වැටී ඇත. සිරුර අභ්‍යන්තරයේ තුවාල එම විසිවීම මත ඇති වූ ඒවා බව නිගමනය කළේය. ඔහුගේ රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමේදී අධික ලෙස බීමත්ව සිටි බවට ද තහවුරු විය. 


 ඒ අනුව පළාගිය රථය සොයා පොලිසිය පරීක්ෂණ ඇරඹීය. ඉදිරිපස වීදුරුව හා බෆරය සකස් කිරීමට සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර කීපයක් ඇතුළත පිහිටි ගරාජ වෙත පැමිණි මෝටර් රථ ගැන විමර්ශනයක් ඇරඹුවේය. එහිදී මියගිය අයගේ පාදයේ තිබී සොයාගත් සුදු පැහැ තීන්ත අනුව සුදු පැහැති, බෆරය බිම සිට අඟල් 18ක් ඉහළින් පිහිටි වාහනයක් ගැන අවධානය යොමු කරනු ලැබීය. 


 ඒ අනුව එක් වාහනයක් හමුවිය. එම වාහනයේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන්ම බිඳී තිබිණ. වාහනයේ ඉදිරිපස ලේ පැල්ලම් ද දක්නට ලැබිණ. එම පැල්ලම්වල වූ රුධිරය මියගිය අයගේ රුධිරය හා සංසන්දනය කර පරීක්ෂා කරන විට ඒවා ද සැසඳිණ. ඒ අනුව මෙම මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට තහවුරු වූ අතර වාහනයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ මාරාන්තික අනතුරක් සිදුකර පලායාම හේතුවෙනි. අනතුරක් සිදුකර පලාගිය විටදී අනතුරට ලක්වූ තැනැත්තා මිය යන්නේ නම් නීතියේදී එය ඝාතනයක් සේ සලකනු ලැබේ. 


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 

 


මුදිතා දයානන්ද