මහ පොළොව හොල්ලාගෙන සිටි ඩයිනෝසරයන් වඳකළ උල්කාපාතය වැටුණු තැන මෙන්න


 

වසර මිලියන 66කට පෙර පෘථිවියට කඩාවැටුණු උල්කාපාතයක් හේතුවෙන් මිහිමත තිබූ පැළෑටි සහ ජීවත් වූ සතුන්ගෙන් 75%ක් විනාශ වන්නට ඇතැයි විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති. පක්ෂී ගණයට අයත් නොවූ සියලු ඩයිනසෝරයන් මිහිමතින් වඳවී ගියේ එකී ව්‍යසනය හේතුවෙන් බවද එකී ඝට්ටනයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙක්සිකෝවේ චික්සුලුබ් ආවාටය නිර්මාණය වූ බවද ඔවුහු ප‍්‍රකාශ කරති.   


චික්සුලුබ් ආවාටය කිලෝමීටර් 180ක පමණ වට ප‍්‍රමාණයකින් යුතු වන අතර කිලෝමීටර් 20ක පමණ ගැඹුරින් යුතුය. මෙම ආවාටය වසර මිලියන 66කට ඉහතදී එනම් ක්‍රිටේසීය පෙලොයොජීන් සීමාවේ (ක්‍රිටේසීය යුගයේ අවසන් කාලය සහ පෙලොයොජීන් යුගයේ ආරම්භක කාලයේ) නිර්මාණය වී ඇති බවට පිළිගැනෙයි. එය නිර්මාණය වූයේ කි‍්‍රටේසීය පෙලොයොජීන් මහා විනාශය නැතිනම් අධික දීප්තියක් සහිත කිලෝමීටර් 10 පමණ විෂ්කම්භයකින් යුත් උල්කාපාතයක් හෝ ධූමකේතුවක් පොළොවට කඩා වැටීමෙන් සිදුවූ මහා විනාශයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එම විනාශයෙන් පෘථිවියේ තිබූ පැළෑටි සහ වාසය කළ සතුන්ගෙන් 75%ක් විනාශ වී ගිය බවට විද්‍යාඥයන් හඳුනාගෙන ඇති අතර පක්ෂී ගණයට අයත් නොවූ සියලු ඩයිනසෝරයන් ඉන් විනාශයට පත් වී තිබේ.

ඩයිනසෝරයන් පමණක් නොව එක්තරා මැඩි විශේෂයක්ද විනාශයට පත්වන්නට ඇතැයි පාෂාණ විද්‍යාඥයකු වන රොබට් බැකර්ගේ මතය වී තිබේ.   


ඝට්ටන ක්‍රියාවලිය මගින් නිර්මාණය වී ඇති බවට හඳුනාගෙන ඇති එකම ආවාටය චික්සුලුබ් ආවාටයයි. එහි මීටර 600ක ප‍්‍රමාණයක් පුරා ඇත්තේ රොන් මඩය. 2016 මෙම ප‍්‍රදේශයේ සිදු කරන ලද ගවේෂණයකදී රෝස පැහැති ග‍්‍රැනයිට් පාෂණ හමුවිය.

සාමාන්‍යයෙන් රෝස පැහැති ග‍්‍රැනයිට් පාෂාණ දැකිය හැක්කේ පෘථිවියේ ගැඹුරු පෘෂ්ඨයේය. ඝට්ටනයෙන් පෘථිවි පෘෂ්ඨය ගැඹුරේ පවතින පාෂාණද දැඩි කම්පනයකට ලක්වී ඇති බවට එය සාක්ෂියකි. මෙම පාෂාණ සාමාන්‍ය ග‍්‍රැනයිට්වලට වඩා සැහැල්ලු බවින් සහ ශක්තියෙන් දුර්වලය.   


මෙක්සිකානු රාජ්‍යයට අයත් තෙල් සමාගමක් වන පෙමෙක්ස් සමාගමේ භූ භෞතික විද්‍යාඥයකු වූ ග්ලෙන් පෙන්ෆීල්ඩ් සහ විධායක නිලධාරියකු වූ අන්තෝනියෝ කමර්ගෝ තම සමාගම සඳහා නව තෙල් නිධි සහිත ප‍්‍රදේශ සෙවීම පිණිස 1978 වසරේ එක්තරා දිනයක ගුවනින් විමර්ශනය කරමින් සිටියහ. ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු කෙරුණේ මෙක්සිකානු බොක්කේ යුකටන් අර්ධද්වීපයේය. එහිදී කිසියම් අපූරු ස්ථානයක් පිළිබඳව පෙන්ෆීල්ඩ්ගේ අවධානය යොමු විය. එය අසාමාන්‍ය සමමිතියක් සහිත කිලෝමීටර 70 පමණ පළලින් යුතු ජලයෙන් යටවූ විශාල ආවාටයකි. තවදුරටත් විමර්ශන කරමින් ගිය ඔහුට උතුරු දෙසට නෙරාගිය තවත් ආවාටයක් දර්ශනය වූයේය. මෙම අවාට යුගලය වෘත්තයක රූපාකාරයක් නිර්මාණය කරන බැව් ඔහු දුටුවේය. එය පිහිටා තිබුණේ චික්සුලුබ් ගම්මානය ආසන්නයේය. මෙම රූපාකාරය භූ විද්‍යාත්මක ඉතිහාසයේ සිදුවූ දැවැන්ත ව්‍යසනයක ප‍්‍රතිඵලයක් ලෙස එය සිදුවන්නට ඇතැයි පෙන්ෆීල්ඩ් අනුමාන කළේය. පෙන්ෆීල්ඩ්ගේ සොයාගැනීම සම්බන්ධ කිසිදු වාර්තාවක් ප‍්‍රසිද්ධ කිරීමට පෙමෙක්ස් සමාගමෙන් ඔහුට අවසර හිමි නොවූවද භූ භෞතික විද්‍යා ගවේෂක සංගමය මගින් පවත්වන ලද සමුළුවක ඒ පිළිබඳ සුළු අනාවරණයක් කිරීමට පමණක් අවසර ලැබිණි. එම සමුළුවට සහභාගී වූයේ අවම පිරිසක් වූ බැවින් ඔවුන්ගේ හෙළිදරව්වට එතරම් වැදගත්කමක් හිමි නොවීය.   


තම සොයාගැනීම සනාථ කිරීම සඳහා අවශ්‍ය භූ භෞතික දත්ත පෙන්ෆීල්ඩ් සතු වුවද ඒ සඳහා අවශ්‍ය පාෂාණ වැනි භෞතික සාක්ෂි ඔහුට නොමැති විය. 1951 වසරේ පෙමෙක්ස් සමාගම අඩි 4300ක් පමණ ගැඹුරු පර්යේෂණ ළිං කැණ තිබූ බැව් ඔහු දැන සිටියේය. එම ස්ථරය පෘථිවියේ අධික උෂ්ණත්වයෙන් හා පීඩනයේ බලපෑමෙන් ඇති ලාවා සහිත පාෂාණවලින් සමන්විත බැවින් ඒවා සොයා ගැනීමට උත්සාහ කළද සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහොසත් විය. එහෙයින් තම පර්​ෙය්ෂණය අත්හැර දැමීමට පෙන්ෆීල්ඩ්ට සිදු විය.   


1980දී භූ භෞතික විද්‍යාඥයකු වූ වෝල්ටර් අල්වාරේස් සහ ඔහුගේ පියා වූ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ලූවී වෝල්ටර් අල්වාරේස් තම උපකල්පනයන් ඔස්සේ නව මතයක් ඉදිරිපත් කළහ. ඔවුන්ගේ උපකල්පනය වූයේ අතිවිශාල පිටසක්වල වස්තුවක් පෘථිවියට කඩාවැටී ඇති බවකි.   


1990 වසර වන තෙක් කිසිවකුට චික්සුලුබ් ආවාටයේ භූවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට නොහැකි විය. (මෙම ආවාටය චික්සුලුබ් ආවාටය ලෙස නම් කෙරුණේ එය චික්සුලුබ් ගම්මානය ආසන්නයේ පිහිටා ඇති බැවිනි.   


1990 වසරේ පෙන්ෆීල්ඩ්හට ඇරිසෝනා විශ්වවිද්‍යාල ඇලන් හිල්ඩර්බ‍්‍රෑන්ඞ් නමැති ශිෂ්‍යයකු හඳුනා ගන්නට ලැබිණි. ඔවුන් දෙදෙනාගේ හමුවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආවාටය නිර්මාණය වූ යුගය, එය නිර්මාණය වීමට බලපෑ සාධක, එහි පාෂාණ සංයුතිය, ගුරුත්වාකර්ෂණ විසමතා මෙන්ම අවට පැතිර තිබූ ස්වාභාවිකව නිර්මාණය වූ වීදුරු වැනි ද්‍රව්‍ය වැනි දෑ අනාවරණ කරගැනීමට හැකි විය.   

 


ක්‍රිටේසීය පෙලොයොජීන් මහා විනාශයේ බලපෑම හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළන ලද පරමාණු බෝම්බයේ ශක්තිය මෙන් බිලියන දෙකක ගුණයකින් යුතු විය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කළහ. එමගින් විසුරුණු රොන් මඩ ප‍්‍රමාණය කියුබ්ක් කිලෝමීටර 200,000ක ප‍්‍රදේශයක් පුරා පැතිර යන්නට ඇතැයිද එමගින් මහා සුනාමි තත්ත්වයක් ඇති කරන ලදැයිද එම සුනාමි රළ මීටර 100ක් පමණ ඉහළට විහිද යන්නට ඇතැයිද අනුමාන කර තිබේ. ඔවුන්ගේ නිගමනවලට අනුව එම රළ ටෙක්සාස් හා ෆ්ලොරිඩා ලෙස වර්තමානයේ හැඳින්වෙන නූතන ඇමෙරිකානු ප‍්‍රාන්ත පිහිටා ඇති භූමි ප‍්‍රදේශය තෙක් පැතිර ගොස් තිබේ. තත්පරයක් වැනි කාලයක් තුළ ආවාටයෙන් දැඩි උණුසුම් දුහුවිලි, අළු සහ වාෂ්ප පොළොව මතුපිටට ගලා එන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලැව් ගිනි ඇති වී යෝධ කම්පන රළ මතුවන්නට විය. එමගින් ගෝලීය භූකම්පා සහ යමහල් විදාරණ ඇති විය.   


විමෝචනය කෙරුණු දුහුවිලි සහ අණු වසර ගණනක් පුරා පෘථිවිය මත තැන්පත් වන්නට ඇත. අවම වශයෙන් දසකයක පමණ කාලයක් පුරා එලෙස තැන්පත් වූ දුහුවිලි සහ අණු මගින් ඇතිකරන ලද කටුක පාරිසරික බලපෑම පෘථිවි ජීවීන් කෙරෙහි ඉතා අහිතකර තත්ත්වයක් ඇති කළේය. පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ඉහළ ගිය අතර එය හරිතාගාර ආචරණයට දැඩිව බලපෑවේය. දුහුවිලි ස්ථරය හේතුවෙන් පොළොවට සූර්යාලෝකය පතිත වීමට බාධා පැමිණුනි. පෘථිවිය ක‍්‍රමයෙන් සිසිල්වන්නට වූ අතර ප‍්‍රභාසංශ්ලේෂණය ඇනහිටියේය. එමගින් ආහාර ජාලයට බාධා පැමිණුනි.   


මෙම මහා ව්‍යසනයේ බලපෑමෙන් ලොව පුරා ඉතා තුනී මැටි පටලයක් පැතිර ගියේය. විද්‍යාඥ අල්වාරේස් පියපුතු දෙපළ අනාවරණ කළ කරුණුවලට අනුව ඒවායේ ඉරිඩියම් ලෝහය විශාල වශයෙන් පවතියි.

  
ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ෂෝන් ගුලික්ගේ නායකත්වයෙන් යුත් පර්​ෙය්ෂක කණ්ඩායමක් මගින් 2008 පෙබරවාරියේ අනාවරණ කළ පරිදි මුලින් නිගමනය කරන ලද ප‍්‍රමාණයට වඩා වැඩි ගැඹුරක තිබූ ජලය පොළොව මතුපිටට පැමිණ ඇති බවයි. ඉන් සල්ෆර් අංශු විශාල වශයෙන් පරිසරයට එක් විය. ක්‍රිමේසීය පෙලොයොජීන් මහා විනාශයේ බලපෑම දෙආකාරයකින් දරුණු ප‍්‍රතිඵල ඇති කිරීමට සමත් විය හැකිය. සල්ෆේට් අංශු පෘථිවිය මතුපිටට රැඳ‌ා පැවතීමෙන් පරිසරය අධික ශීතලට ලක්වේ. අම්ල වැසි ඇති වීමට එමගින් බලපෑමක් ඇති විය හැකිය. මෙහි දීර්ඝ කාලීන බලපෑම වනුයේ යුකටන් අවසාදන ද්‍රෝණියේ මිනිස් වාසය පවතින ප‍්‍රදේශවල මතුපිට ජලය හිඟවීමය.   


කෙසේ වුවද ක්‍රිමේසීය පෙලොයොජීන් විනාශය පෘථිවිය උඩුයටිකුරු කරන්නට සමත් වී ඇතැයි විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.   

 

ප‍්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා