මහ කොටි තිදෙනකු අල්ලන්න කොටි අඩවියට ගිය ගමනක්


උතුරේ යුද ගැටුමේ අමතක නොවන කතා 

 

  • මන්ත්‍රීවරයෙක්, හමුදාවේ 44ක් ඝාතනය කළ කොටි තිදෙනා අසීරු ගමනකින් පසු කොළඹට ගෙන ආවා
  • හෙලිකොප්ටර් යානයක්ද වෙඩි තියා බිම දාලා   
  • වවුනියාව ප්‍රධාන තැපැල් කාර්යාලයත් බෝම්බ අටවා පුපුරුවා හැර 13ක් මිය යති. 46ක් බරපතළ තුවාල ලබති

 

1997 වසරේ සිට 2001 වසර දක්වා කාලය තුළ වන්නි දිස්ත්‍රික්කය ලෙයින් තෙත් කරමින් දේශපාලනඥයින්, ද්‍රවිඩ සංවිධාන වල නායකයන්, ක්‍රියාකාරිකයන් හමුදාවේ හා පොලිසියේ පමණක් නොව සාමාන්‍ය වැසියන්ද ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් සිටි ප්‍රබල කොටි නායකයන් තිදෙනකු කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් කොටින්ගේ බලකොටුවලට පිටුපා කොටුකරගෙන ඇත්තේ සිය ජීවිත පරදුවට තබා ගොස්ය.   


කොටි බළකොටුවලට රිංගා කරන මෙම රහසිගත මෙහෙයුම්වලදී යම් අත්වැරදීමක් එහෙම සිදුවුවහොත් ඒ මෙහෙයුම්වලට සහභාගිවන නිලධාරින් කොටින්ගේ අත්අඩංගුවට පත්ව අවසානයේ අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ..   


සෙල්වරාජා කාන්ත රූබන් හෙවත් ශ්‍රී තම්බිතුරෙයි ගුණසේකරන් හෙවත් මරක්කාල් පනිචෙක්චෙල්වන් හා ක්‍රිෂ්ණ ගිරිදරන් හෙවත් ගිරි නමැත්තන් මෙසේ වන්නියේ එවකට කොටි බල ප්‍රදේශවලට රිංගා අල්ලාගත් ප්‍රබල කොටි නායකයින් තිදෙනෙකි.   


කොටි බළකොටුවලට රිංගා මේ ප්‍රබල කොටි නායකයන් තිදෙනා ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මීට වසර 18කට පමණ ඉහතදීය.   


එනම් 2001 වසරේ සැප්තැම්බර් මාසයේය.   


කොටි බළකොටුවලට රිංගා මේ කොටි ප්‍රබලයන් තුන් දෙනා අල්ලාගැනීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී ඇත්තේ එවකට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රාජකාරී කළ දැනටත් පොලිසියේ රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලුපුල් පීරිස් මහතාය.   


ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලුපුල් පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වන්නියේ කොටි අඩවියට රිංගා මේ ප්‍රබල කොටි තුන්දෙනා අල්ලාගෙන ඇත්තේ බෝම්බ මරුවැල් අතරින් ජීවිතය පරදුවට තබා ගොස්ය.   


උණ බම්බුවලට අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවා බෝම්බ සකස්කර එම උණ බම්බු වලින් මාර්ග දෙපස වැටවල් තනා ආරක්‍ෂක අංශ නිලධාරින් අසලින් ගමන් කරන විට පුපුරුවා හැරීමට කොටින් යොදා තිබූ සූක්‍ෂම උපක්‍රමයක් විය.   


මෙම කොටි තුන් දෙනා අල්ලාගැනීමට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම කොටි බළකොටුවලට රිංගුවේ මෙවැනි මර උගුල්ද ඉවත් කරමිනි.   
කොටින් අටවා තිබූ මෙවැනි මර උගුල් ඉවත්කර ඒවා නිෂ්ක්‍රීය කිරීමට එවකට මන්නාරම ප්‍රදේශයේ රාජකාරී කළ නාවික හමුදාවේ කපිතාන් සරත් මොහොට්ටි මහතා ප්‍රධාන නාවික භටයින් ගෙන්ද සුවිශේෂි දායකත්වයක් ලැබී ඇත.   


සරත් මොහොට්ටි මහතා පසුකාලයක රියර් අද්මිරාල් නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ලබා තිබේ.   


මෙම බෝම්බ පිපිරිවීම් වලට අදාළව පරීක්‍ෂණ සිදුකර ඇත්තේ එවකට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස සිටි එස්.ජී. වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේය.   
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලුපුල් පීරිස් මහතාට ලැබුණු බුද්ධි තොරතුරු මත ගොස් කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් රූබන් ගුණසේකරන් හා ගිරිදරන් කියන කොටි ප්‍රබලයන් තිදෙනා අල්ලාගැනීමට හැකි වී තිබේ.   


දමිළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහුගේ පුතා ඇතුළු හමුදාවේ හා පොලිසියේ සාමාන්‍ය වැසියන් හා රජයේ සේවකයන් 41 දෙනෙකු බෝම්බ අටවා ඝාතනය කිරීම හා තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැනද, 1997 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නිලධාරින්ද සමග විනාශ කිරීම ගැනද තොරතුරු මෙම කොටි ප්‍රබලයන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ලද ප්‍රශ්න කිරීම හමුවේ හෙළිකරගැනීමට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට හැකිවී ඇත.   


ප්ලොට් සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සවර්ණභවා නන්දන් හෙවත් ෆන්ඩුපානාදන් යන මහත්වරුන්ද පොලිස් කොස්තාපල්වරුන් වන එච්.ඒ. නොයෙල් හෙට්ටිආරච්චි (35663), ඩබ්ලිව්.පී. අජිත් විජේසේකර (38333) සහ ස්ටැන්ලි ලෝස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ක්ලේමෝ බෝම්බයක් පුපුරුවාහැර ඝාතනය කර තිබුණේ හොරොව්පතාන මාර්ගයේ රම්බෙකුලම හංදියේදීය.   


මෙම බෝම්බ පිපිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිය ෂාතිමා ෂන්ඩුගනාදන් මහත්මියද තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක්ද බරපතළ තුවාල ලබා තිබිණි.   
වවුනියාවේ පිහිටි ලකී නමැති ප්ලොට් කාර්යාලයේ වහළය මත අධි බලැති බෝම්බයක් අවටා 1999.09.02 දින දුරස්ථ පාලකයකින් එම බෝම්බය පුපුරුවා වවුනියාව ප්ලොට් නායකයා ඇතුළු තිදෙනෙකු ඝාතනය වී තවත් අයෙකු තුවාල ලැබූහ.   


වවුනියාව ප්ලොට් නායකයාව සිටි කාලිංගම් මානික්කදාසන්, ධර්මලිංගම්, නඩරාජා හෙවත් ඉලංගෝ සහ මුරුගන් හෙවත් විනෝදන් නමැති ප්ලොට් සාමාජිකයන් තිදෙනා මිය ගිය අතර අරූල්දරන් නමැති ප්ලෝට් සාමාජිකයාට බරපතළ තුවාල සිදුවිය.   


වවුනියාව - මන්නාරම් පාරේ කන්ගිපුරම් 2000.01.14 වැනිදින ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා කුලතුංග ආරච්චිගේ සරත් (35401) මහතා ඝාතනය විය.   
වවුනියාව - මන්නාරම මාර්ගයේ දෙකේ කණුව ආසන්නයේ පිහිටි රංජිත් නැමැත්තාගේ වෙ​ෙළඳසැල අසලදී එම මාර්ගයේ වළදමා තිබූ අධි බලැති බෝම්බයක් 2000.01.15 දින පුපුරුවා හැර ට්‍රක් රථයකින් ගමන් ගත් යුද හමුදාවේ දෙවැනි ලුතිනන්වරයෙක් වූ එස්.අයි. පීරිස් (64269) මහතා ඇතුළු හමුදාවේ 09 දෙනෙක් ඝාතනය කර තිබිණි.   
මෙම බෝම්බ පිපිරීමෙන් ට්‍රක් රථයේ ගමන් ගත් හමුදා සෙබළුන් 09 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.   


වවුනියාව නගරයේ පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාලය තුළ අධිබලැති බෝම්බයක් 2001 01.27 දින පුපුරුවා හැරීම් නිසා හමුදා සෙබළුන් හය දෙනෙක්ද, පොලිස් කොස්තාපල්වරයෙක්ද, සාමාන්‍ය වැසියන් හය දෙනෙක්ද මියගොස් තවත් 46 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබිණි.   


මියගිය අය අතර වවුනියාව ප්‍රධාන තැපැල් කන්තෝරුවේ සහකාර තැපැල් ස්ථානාධිපති සින්නයියා බාස්කරලිංගම්, එම තැපැල් කාර්යාලයේ සේවය කළ චන්ද්‍රා ලිංගම් යන මහත්වරුද විය.   


ප්ලොට් සංවිධානයේ සාමාජිකයන් කණ්ඩායමක් අංක 62-1099 දරණ වෑන් රථයෙක් වවුනියාව උමා මහේස්වරන් පාරේ 1998.06.12 දින ගමන් කරමින් සිටි අතරවාරයේ රම්බෙකුලම් ප්‍රදේශයේදී එම වෑන් රථය ඉලක්ක කර ගෙන ක්ලේමෝ බෝම්බ දෙකක් පුපුරුවා හැර ඇත.   


මෙම බෝම්බ දෙක පුපුරුවා හැරීමෙන් ප්ලොට් සාමාජිකයෝ හත් දෙනෙක් ඝාතනය වූ අතර අට දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය.   


සෙල්වතුරෙයි ශාන්ත කුමාර්, පත්මසිලන්, වින්දන, ජේසු පිල්ලෙයි ලෝරන්ස්, ශාන්තන්, කරුනේෂරාජා පරිමාලා සහ සිරිසෝනියා වඩමාලෙයි යන අය මෙම බෝම්බ පිපිරීමෙන් මියගිය අය වෙති.   


​කොටි බළකොටුවලට රිංගා අත්අඩංගුවට ගත් කොටි ප්‍රබලයන් තිදෙනාගෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායම ප්‍රශ්න කිරීමේදී මේ සියලු ඝාතනයන් ගැන තොරතුරු ඔවුන් අනාවරණය කර තිබේ.


අත්අඩංගුවට ගත් කොටි ප්‍රබලයන් තිදෙනා අතරින් ක්‍රිෂ්ණ ගිරිදරින් හා තම්බිතුරෙයි ගුණසේකරම් යන දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වවුනියාව ප්‍රදේශයට ගොස් ඇත්තේ තවත් කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටය.   


ඒ මේ කොටි ත්‍රස්තයන් දෙදෙනාගේ මග පෙන්වීම යටතේය.   


වවුනියාව - ආසිකුලම් ප්‍රදේශයේ පදිංචි විජේරත්නම් රැජිනකාන්, වවුනියාව මුරුගන් පාරේ පදිංචි සුන්දරලිංගම් සුදේශ්වරන් හෙවත් සුරේෂ්, ආසිකුලම් පදිංචි වෛරමුත්තු වසන්ත කුමාර හෙවත් වසන්තන් යන තිදෙනා ද කොටි ත්‍රස්තවාදීන්ට ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් ආසිකුලම් පදිංචි රාසලිංගම් පසුපති නමැති කාන්තාවක්ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.   


වෛරමුත්තු වසන්ත කුමාර හෙවත් වසන්තන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ පාපොච්චාරණය කර ඇත.   


මගේ අයියා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙක් ඔහුගේ නම කරන්. මම මුලතිව් පුදුකුඩිරිප්පු වල පිහිටා තිබූ ඊලවන් කඳවුරෙන් පුහුණුවීම් ලබාගත්තා. එල්.ටී.ටී.ඊ සන්නද්ධ අංශයේ මට ලැබුණු සාමාජික අංකය 2515 ඊට පස්සේ බුද්ධි අංශයට බැදුනා. 4520 යන අංකය මට බුද්ධි අංශයට බැදුනාට පස්සේ ලබාදුන්නා.   


ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි පරිහරණය, අත් බෝම්බ ගැසීම හා වෙඩි තැබීමට මා මාස 03ක් පුහුණුවීම් ලබා තිබෙනවා. 1997 වසරේ වෙත්තිලයිකර්නි හමුදා කඳවුරට පහර දෙන්න ජෙයන් කියන කොටි නායකයා ඇතුළු කණ්ඩායමත් එක්ක මමත් ගියා. මේ ප්‍රහාරය සාර්ථක වුණා. අපේ 140ක් පමණ මිය ගොස් 200කට විතර තුවාල සිදුවුණා. 1995 වසරේ ​ජෙයන් එක්ක අලිමංකඩ කඳවුරට පහර දීමට ගියා. එම ප්‍රහාරයෙන් අපේ සාමාජිකයන් 75ක් මියගොස් 25ක් විතර තුවාල ලැබුවා.   


මගේ අයියා වන කරන් තමා 1997 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකට ආසිකුලම් කැලෑවේ සිට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නිලධාරින් සමඟ විනාශ කර දැමුවේ. මේ ප්‍රහාරය එල්ලකර අයියා ඇතුළු කණ්ඩායම වන්නි වලට යද්දී පුවරසිකුලම් මායිමේදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මියගියා. එල්.ටී.ටී.ඊ එකේ මේජර් තනතුරක් දැරූ මගේ අයියා වන කරන්ගේ දේහය ඔහුත් එක්ක හිටිය සගයින් අරගෙන ගියා. සංවිධානයේ ඉහළම ගෞරව ඇතිව වන්නියේ ඊච්චන්කුලම් කොටි සුසාන භූමියේදී ආදාහනය කළා.   
අත්අඩංගුවට පත් වූ රාසිලිංගම් පුවති නමැත්තිය මෙසේ පොලිසියට පාපොච්චාරණය කර තිබේ.   


මේ ඒ පාපොච්චාරණයයි.   


ආසිකුලම් කැලෑවේදී හෙලිකොප්ටර් යානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ආ කොටි කණ්ඩායමට මම ආහාර පාන පිළියෙල කරදී උදව් කළා. මගේ පුතෙක් වන විජයරාජන් හෙවත් රාසම්ද කොටි සංවිධානයේ නායකයෙක්. කොටි කණ්ඩායම් මගේ නිවසට පැමිණ සාකච්ඡා පැවැත්වනවා ඔවුන් ලබාදෙන ගිනි අවි බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය මම කෙසෙල් ගෝනිවල සඟවා ගෙන ඔවුන්ට අවශ්‍ය තැන්වලට ගිහින් දෙනවා.   


කොටි ත්‍රස්තවාදින් අල්ලා ගැනීමේ මෙම මෙහෙයුමට හා වැඩිදුර පරීක්‍ෂණ සඳහා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඕ.පී. අබේරත්න, පොලිස් පරීක්‍ෂක පී.එන්. අාබ්දීන්, පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (222) රොෂාන් (137), ජයසූරිය (8698) විජේබණ්ඩාර සහ වෙල්ලප්පුලි යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් ශඛීලා (4870) මහත්මියද හවුල් වී ඇත.   


ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අබේරත්න මහතා මේ වන විට වරකාපොළ පොලිස් ස්ථානාධිපති ලෙසද විජේබණ්ඩාර මහතා උප පොලිස් පරීක්‍ෂක නිලයට උසස්වීම් ලබා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරියේ නිරතව සිටිති.   

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය