මහ කැලේට යටවූ බෝධිය අතීත පාරේ මං සලකුණක්ද ?


සිරිපා වඳින්නට සමනළුන් පියඹා ගිය   
මං පෙත දි​ගේ -3   

එරත්නගොඩට අතීතයේ ගොඩවූ තැන   

 

 


හිමගිරේ මහ වනාන්තර මැද්දෙන් ගලා ආ කුරුගං කොමළියගේ දිය දහර බෝපත් ඇල්ලෙන් පහළට වැටෙද්දී සීතල දෙගුණ තෙගුණ විය. එහෙත් සිරිපා වන්දනාවට පේවී යන මේ ගමන හැමවිටම පිරිසිදු විය යුතුය. ඒ නිසා දියමිටිතැනින් ගොඩ වෙන්නට පෙර ඊට පහළින් වු ගල්තොට දියමංකඩට බැස හොඳහැටි දියනා පිරිසිදු ​වෙන්නැයි නඩේ ගුරාලා අනෙක් අයට උපදෙස් දුන් ආකාරය ගැන ඇත්තේ මුඛ පරම්පරාවෙන් එන කතාය.   


සිරිපා පුදට සුරංගනාවියන් මල් නෙළුෑ ‘රාජකීය මල්වත්තේ’ සිට සමනලුන් සිරිපා වඳින්න ගිය මග ඔස්සේ අතීත ගමන්මග සොයා යද්දී පාරම්පරික ජනකතාවල නෂ්ඨාවශේෂයන් තැනින් තැන දී තවමත් ඇසිය හැකිය.   


සියවස් දහයකට වැඩි ඈත අතීත යුගයේ සිරිපා කරුණා කළ බවට අනුමාන කරන සිරිපා මග ඔස්සේ යද්දී වැට කඩොලු එමටය. සමහර තැනක කිසිඳු සලකුණක් හෝ නැත. කුරු ගඟේ ගල්තොට දියමංකඩින් එගොඩවන ප්‍රදේශය අද හඳුන්වන්නේ එරත්නාගොඩය. එදා බෝමලුවත්තය.   


“ඒ - රත්නය - ගොඩගත්-තැන” එරත්නාගොඩය. ඒ රත්නය යැයි කිව්වේ කෙහෙල් මුවක් තරම් විශාලැති රතු මැණිකක්ය. ඒ-රත්නය- නම් වූ රතු මැණික ගොඩගත් තැන ‘එරත්නාගොඩ’ නම් වූ බව ජනවහරේ පවතී. මෙම සිදුවීම සීතාවක රජ සමයේ වූ කතා පුවතක් බවට ද ජන විශ්වාසයක් පවතී.   


“අපි අහලා තියන විදිහට මේ මැණික හම්බවෙලා තියෙන්නේ ‘කීරිහේනයා’ කියන හේන මාමා කෙනෙකුට. හේන මාමා කියලා කියන්නේ රෙදි සේදීම රැකියාව කරගත් පරම්පරාවේ අයට. ඒ අයට ‘ඩෝබි’ කියලාත් හඳුන්වනවා. එදා ඒ කුලබේදය තිබුණට අද එහෙම නෑ.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැහැදිලි කළේය.   

 

කොටුකර ඇත්තේ ඉපැරණි බෝ මලුවයි   

 

 


“මම කළ ජනශ්‍රැති පර්යේෂණ අනුව මේ හමුවුණා යැයි කියන රතු මැණික පළමුවැනි රාජසිංහ රජ්ජුරුවන්ට බාර දීලා. එතකොට රජ්ජුරුවො අහලා මොනව ද ඕනෑ කියලා. ඒ වෙලාවේ අර ‘කීරිහේනයා’ කියන හේන මාමා කියලා තියනවා කරදරයක් නැතුව රෙදි හෝදාගන්න තැනක් දෙන්න කියලා. ඒ ගමන රජ්ජුරුවෝ නියම කළාලු ඔය ගල්තොට දියමංකඩට පහළ ඉඳලා හැතැක්මකට වැඩි දුරක් ඒ කියන්නේ වර්තමානයේ කුරුවිට නගරයත් පහුකරලා දෙල්ගමුව පන්සල විතර වෙනකම් වූ කොටසේ ගඟේ දෙපැත්තේ සහ ගඟ මැද ගංවැල්ල රෙදි සෝදන්න, වේළන්න පාවිච්චි කරන්න ගන්න කියලා” ආචාර්ය කමල් අබේවර්ධන මහතා අලුත් යමක් එකතු කළේය. එසේ නම් මේ වකවානුව ක්‍රිස්තු වර්ෂ 1580න් පසු විය යුතුය. ඒ රාජසිංහ රජු සීතාවක රාජ්‍යත්වයට පත්වන්නේ එම වර්ෂයේ නිසාය.   


මේ අතීත පාරම්පරික ජනකතා ඔස්සේ අපේ මේ ගමන යද්දී හමුවන තැන්, පුද්ගලයන්, ඔවුන්ගේ පරම්පරාව ආදිය ගැන සඳහන් කරනවිට කෙනෙක් චෝදනා කරන්න පුළුවන් යටපත් කළ “කුල” ගැන නැවතත් කතාකරමින් අතීතය හාරා අවුස්සන බවට. එහෙත් සුරංගනාවියන් මල් නෙළමින් ගිය පාර සොයා යද්දී හමුවූ යථාර්ථය මිස කිසියම් පුද්ගල කොටසක් අසීරුවට ලක් කිරීමේ අරමුණින් ඒවා සටහන් නොකරන බවද සඳහන් කළ යුතුමය.   


සුරංගනාවියන් මල් නෙළුෑ මල්වත්ත, එහි සිටි කොටා, ආදී කතා පුවත් පාරම්පරික බෞද්ධ ජනකතාවකි. මේ ජනකතාවට ශතක ගණනාවකට පසු සීතාවක රජ සමය එයි. එබැවින් මේ කියන වෙනස් කම් අවුරුද්දකින් දෙකකින් වූ දේවල් නොව වසර සිය ගණන් තුළ සිදුවූ දේවල් යැයි අනුමාන කිරීම හෝ උපකල්පනය කිරිම කළ හැකිය.   
කුරුගඟේ දියමිටි තැනින් එගොඩ වී වත්මන් එරත්නාගොඩ පැත්තෙන් ඉදිරියට යනවිට පෙර කී බෝමලුව වත්ත හමුවෙයි. මල්පැල වත්ත ද ඒ ප්‍රදේශය හැඳින්වීමට භාවිතා කළ බවට ජනප්‍රවාදයේ එයි. නැගෙනහිර පැත්තෙන් පොළොවෙන් අඩි පහක් හයක් උසට ද බස්නාහිර පැත්තෙන් අඩි අටක් දහයක් පමණ උසට ද එසවුණ වර්ග අඩි 1500ක පමණ වපසරියකින් යුතු මහ කළුගල් සහිත බිමි කඩක ඉතා විශාල බෝධියක් අදටත් එහි තිබේ.   


මේ බෝධිය වටකොට නෙටුල් පඳුරුද, මුහුදු කැන්ද සහ වෙනත් කැන්ද ගස් කිහිපයක් ඇතුලුව වල් ගස් කිහිපයක් බෝධිය වටේට වැවී බෝධියේ පෙනෙන්නේ ඉහළ ඇති බෝ අතු දෙක තුනක් පමණි. කුරුගං කොමළිය අසළ අතීත වන්දනාකරුවන් නැවතී පන්සිල් සමාදන් ව පඬුරු බැඳ හිමගිරට පය තැබූ බෝමලුවේ අද තත්ත්වය එසේය. ඒවා වර්තමානයේ පුද්ගලික ඉඩම් නිසා එසේ කැලෑවට යටවීමට හේතු විය හැකිය. එදා බෝමලුව අවට අද තේ සහ පොල් වගාවන්ය. නුදුරින් ඇත්තේ ගෙවල් ය.   

 

ප්‍රාග් ඓතිහාසික බටදොඹ ලෙන  

 


ආචාර්ය කමල් අබේවර්ධන මහතා සමග මීට විසි වසරකට පෙර තොරතුරු ගවේෂණය කරන්නට ගිය කණ්ඩායමට අයත්වූ ඩබ්.කේ. ප්‍රේමදාස මහතා පදිංචිව සිටින්නේ ද ඒ අසලය. බොහෝ දෙනෙක් ඔහුට කියන්නේ ‘ප්‍රේමදාස මාමා” කියාය. මැදිවිය පසුකර සිටින මේ ගැමියා සිනහමුසු මුහුණින් යුතුව ඔහු දන්නා දේ අපට පැවසුවේ “මතු පරම්පරාව මේවා දැනගෙන ඉන්න ඕනෑ මහත්තයෝ” කියමිනි.   


“මේ අවට ගෙවල් හදන්න ගෙපල් කපනවිට, වගාවට වතුපිටි එළි පෙහෙළි කරනවිට පොළොන්නරු යුගයේ කාසි, මහනුවර යුගයේ කාසි, පෘතුගීසි සහ ඔලන්ද කාසි හමුවෙලා තියනවා. දැනටත් සමහර අය ළඟ ඒවා තියෙන්න පුලුවන්. රිදී බුදුපිළිම දෙකක් හමුවෙලා තියනවා. එකක් නම් වතුයායේ පන්සලට පූජා කළාලු. අනික ගෙදරක තියනවා කියලයි ආරංචිය.” ප්‍රේමදාස මාමා තොරතුරක් හෙළි කළේය.   


ඒ ගැන ආචාර්ය කමල් අබේවර්ධන මහතා ද තහවුරු කළේ ය.   


“ප්‍රේමදාස මාමා කියන කතාව ඇත්ත. ඔය කියන පෞරාණික භාණ්ඩ මේ හරියේ තිබිලා හමුවෙලා තියනවා. මේ හරියේ ඉපැරණි අම්බලමකුත් තිබිලා තියනවා. කුරු ගඟෙන් එගොඩ වෙලා මීටර් දෙසිය පනහක් විතර ආවාම තියන මේ බෝමලුව අවට ඒ කාලේ ලොකු නිස්කලංක බවක් තියෙන්න ඇති. අම්බලමක් තිබුණ සලකුණු තිබිලා තියනවා. කුරහන් ගලක් තිබිලත් හමුවෙලා තියනවා. නමුත් දැන් මේවා පුද්ගලික ඉඩම් නිසා ඒ ගැන වැසියෝ කියන්න කැමති නෑ” ආචාර්ය කමල් අබේවර්ධන මහතා යාථාර්ථය පැහැදිලි කළේ ය.   
එතැනදි හමුවූ තරුණයෙක් පැවසුවේ අම්බලමට යොදා තිබූ ගල් උලුවස්සක උඩකඳ අසල ගෙවත්තක ඇති බවයි. එසේම කුරහන් ගලේ ඒ කොටසක් ද ඇති බව කීවේය. මේ කුරහන් ගල සැබෑවටම කුරහන් ඇඹරීමට යොදා ගත්තේ ද එසේ නැතිනම් කුරුගඟේ දියමිටි තැනින් චෛත්‍ය හා විහාර කර්මාන්තයට ගත් වැලි ඇඹරීමට යොදාගත් එකක් ද යන්න පුරා විද්‍යාඥයන් විසින් තහවුරු කළ යුතුය. ඔවුන්ට එසේ කරන්නට කුරහන් ගලේ කොටස ලැබිය යුතුය. සමහරවිට මේ ලිපියෙන් පසු ඒ කොටස් ලැබෙන්නටත් ඒ වගේම අතුරුදන් වන්නටත් ඉඩ නැතුවා නොවේ.   

 


ඒ වගේම මේ ආසන්නයේ මහකොස් කබල නමින් ඉපැරණි කොස් ගසක් තිබූ බවට තොරතුරු ලැබුණ බව කීවේ ද ආචාර්ය කමල් අබේවර්ධනයන්මය. “මේක නැසීගිය ඩබ්.කේ. ගුණසේකර මහතාට වර්තමානයේ අයිති කොටසේ තිබිලා තිබුණේ. මේක ඇටුවන් බැහැපු කොස් ගහක්. ‘ඇතා බැඳපු කොස් ගහ’ කියලත් ජනතාව අතර කියමනක් තියනවා.” ආචාර්ය කමල් විස්තර කළේය.   


“එරත්නාගොඩ දක්වා ප්‍රදේශයේ මුහුදු මට්ටමේ ඉඳලා උස ගත්තොත් මීටර් 29-30 මට්ටම්වල තියෙන්නේ. මෙතනින් එහාට භෞතික පරිසරයේ ලොකු වෙනසක් වෙනවා. අපි කතාකළ ‘මල්වත්තඕවිට’ ඉඳලා ආපු තැනිතලා ප්‍රදේශය මෙතනින් අවසන් වෙනවා. ඉන් ඉදිරිය හඳුන්වන්නේ දෙවැනි අඩතැන්න කියලයි. ඒක සිරිපා අඩවියේ මැදහින්න දක්වා තියනවා.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැහැදිලි කිරීමක් කළේය.   


“මේ බෝමලුව වත්තේ ඉඳලා තම්පිටකන්දට පාරවල් දෙකක් තියනවා. එකපාරක් වැටිලා තියෙන්නේ වත්මන් ව්‍යාපාරිකයෙක් වූ ජයතුංග මහතාට සහ ඔබේසේකර නිළමේ මහත්වරුන්ට අයිති ඉඩම් හරහා. කෞෂාල් කියන මහත්මයාට අයිති ඉඩම් පැත්තෙන් වූ අනික් පාරෙන් යද්දී අම්බලන් මූකලාන හමුවෙනවා. මේ හරියේ තිබිලා මැටි පුලුස්සා හැදූ සිංහල උලු සහ පෙතිඋලු කෑලි, ගඩොල් කොටස් හමුවෙලා තිබුණා. ඒ වගේම ලිප් ගිනි මොලවපු ලකුණු හඳුනාගන්න පුලුවන් වූණේ අඟුරු කොටස් හමුවුණ නිසා. ශ්‍රීපාදය වන්දනාවට ජනයා යන්න පටන්ගත් කාලයේ මේ හරියේ අම්බලමක් තියෙන්න ඇති කියලා උපකල්පනය කළ හැකියි.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා අදහසක් දැරීය.   
එපමණක් නොව මේ අම්බලම් ගොඩැල්ලේ තැනින් තැන තිබී ගඩොල් කෑලි ද, දැව පිළිස්සූ අඟුරු ද, වානේ වලින් තැනූ කැතිපිහි තලද, පුවක් කැපීමට යොදාගන්න ‘ගිර’ වල අඬු කොටස් කිහිපයක් ද පොළොන්නරු යුගයේ තඹ කාසි කිහිපයක් ද හමු වූ තොරතුරු ඇති බවට ලැබුණ තොරතුරු තමන්ට ද ලැබුණු බව ආචාර්ය කමල් අබේවර්ධන මහතා තහවුරු කළේය.   


“ඒ විතරක් නෙමෙයි ඔය ඉඩමක තියන ගලක අශ්ව කුරයක සලකුණක් කොටලා තියනවා. මේ ආකාරයේ අශ්ව සලකුණු යොදන්නේ ඉංගම්මාරුව ගමක කියලා පුරා විද්‍යඥයෝ පෙන්වා දෙනවා.” ආචාර්ය කමල් අබේවර්ධන තවත් තොරතුරු ගෙනහැර පෑවේය.  බෝමලුව වත්තේ සිට තම්පිටකන්දට යනවිට හමුවන මේ අම්බලම් මූකලාන පිහිටි උස මට්ටමේ සිට මෙනේරිවත්ත හරහා හතරේ කණුවට එකම සමෝච්ඡ රේඛාවක මට්මකින් පාර වැටී තිබේ.   


මේ සම මට්ටම නිසා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අම්බලන් මූකලානේ ඉඩම් වැසියන් අතර අක්කරය සහ දෙක බැගින් බෙදාදීමට එවකට සිටි ආණ්ඩුකාර සර් හෙන්රි මේසන් මන්ක් මුවර් මහතා ක්‍රියා කළ බව ඉතිහාසයේ දැක්වෙනවා. මුල් කාලයේ ඒ ඉඩම්වල හේන් කළ බවත් පසුව ඒ ප්‍රදේශ ආශ්‍රිතව ජනාවාස ඇතිවුණ බවටත් තොරතුරු ඇති බවට ආචාර්ය කමල් අබේවර්ධන මහතාගේ පර්යේෂණ වලදී හෙළිවූ බව කීවේය.  

 


ලබන සතියේ   


හීන්පිදුරුතලාගල ඔස්සේ සිරිපා මලුවට.... 
04  වැනි පිටුවට...
සටහන-ඡායාරූප   
අජිත්ලාල් ශාන්තඋදය