මහ කැලේ මැද දී ගමනායකට කණේ පාරක්


විජේවීර සැඟව සිටි හම්බෙගමුවේ හේන් සොයා ගිය ගමන-03

 

ගමේ ගෙවතු ද වගාවට සූදානම් කර ඇති අයුරු   

 

වැහි කාලයට දිය පිරුණු වළක්   

 

හේනක ඇති පැලක් රවුමින් දක්වා ඇත.   

 

 

 

ජාතිවාදී කෝලාහලවලින් පසුව ඇතිවූ යුද්ධය නිසා දකුණෙන් හමුදාවට පොලීසියට බැඳුනු තරුණ තරුණියෝ රැසකට දිවි අහිමි වූහ. මේ නිසා හමුදාවට හෝ පොලීසියට ගිය තරුණයන් අතරින් නොමැරුණු වාසගමක් සහිත පරපුරක් සොයාගත නොහැකි තරමට තත්ත්වය වර්ධනය වන්නට විය. 

 
හම්බෙගමුව ගමට ද යුද්ධයේ දී මියගිය යුද හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ සිරුරු ගණනාවක්ම ගෙනෙනු ලැබිණි. රතඹලාගම, අලුත්වැව, අරඹෙකෙම, බෝගස්වැව, අලුත්වැව, කොටවෙහෙර මංකඩ ආදී යාබද ගම්වල තරුණයින් හමුදාවට බැඳී කෙටි කලක් තුළ මෙසේ දිවි අවසන් වීම නිසා ගැමියන් යුද්ධයට මෙන්ම කොටි සංවිධානයට ද ශාප ක​ෙළා්ය.   


මේ නිසාම කොටි සංවිධානයට එරෙහි මතවාදයට මේ ප්‍රදේශයේ තිබුණේ ලොකු කැමැත්තක්ය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව දේශපාලන විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට එරෙහිව ගෙනගිය ක්‍රියාකලාපයට ද මේ ගම්වල තරුණ කොටස් සංවිධානගත වෙන්නට විය.   


ඒ සඳහා සාධාරණ සාධක ඕනෑ තරම් මෙහි විය. ගොවිතැන් කරන ජනතාවට නිසි පහසුකම් සහ නිෂ්පාදන තුට්ටුදෙකට ගන්නා අතරමැදි ව්‍යාපාරිකයන්ගෙන් ගොවිජනතාව බේරාගෙන ඒ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදෙන වැඩපිළිවෙළක් නොතිබීම සහ වෙනත් ගම් හා සැසඳීමෙන් ප්‍රමාණවත් සංවර්ධන වැඩපිළිවෙළක් මේ ගම්මාන ආශ්‍රිතව සිදු නොවීම එදා යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහිව හම්බෙගමුවේ තරුණ නැගිටීමට යම් හේතුවක් වන්නට ඇති බව එදා ජේ.වී.පීයට බැඳී රහසිගත දේශපාලනය කර අද වියපත්ව සිටින බොහෝ දෙනාගේ අදහසයි.   


“ඒ කාලේ අපිට හේන් ගොවිතැන් කරලා විතරක් ජීවත් වෙන්න පුළුවන් වුණේ නෑ. කුඹුරු කෑල්ල වපුරාගෙන වී ටික ගෙට ගත්තට ඒ වී වලට හරිහමන් මිලක් තිබුණේ නෑ. දේශපාලනය කරපු මිනිස්සුත් අපේ ගම් ඈත් කරලා තිබුණේ. ගම්වලට ආණ්ඩුවෙන් කියලා තිබුණේ ඉස්කෝලෙ විතරයි. ඒකට ගුරුවරු නෑ. එන ගුරුවරයා ටික දවසක් ඉඳලා ගිහිං. කොහොම මාරු හදාගත්ත ද දන්නේ නෑ. ගමේ කොල්ලෙකුට කෙල්ලෙකුට සාමාන්‍යපෙළින් එහාට බලාපොරොත්තු තියාගන්න බැරි තත්ත්වයක් තිබුණේ. සාමාන්‍ය පෙළත් පාස්වෙන්න හැම විෂයකටම ගුරුවරු හිටියේ නෑ. කොහොමහරි ආමි එකට යන්න සුදුසුකම් හදාගන්න එක තමයි 84-85 වකවානුවේ ළමයින්ගේ බලාපොරොත්තුව වුණේ.” ගුණේ හෙළි කළේ ය.   


හම්බෙගමුවට ආසන්න ගමක ජීවත්වන අසූව දශකයේ මැදභාගයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ වී පසුව එහි දේශපාලන සහ සන්නද්ධ පුහුණුවීම් ලැබූ ක්‍රියාකාරිකයෙකු වී සිට ආරක්‍ෂක අංශවලට ද හසුවී වසර ගණනක් පුනරුත්ථාපනය වී නිදහස්ව පැමිණ දිවි ගෙවන ‘ගුණේ’ මේ අතීත තොරතුරු හෙළි කරන්නට කැමති වුණත් ඇත්ත නම හෙළි කරනවාට අකමැතිය. ඒ නිසා අපි ඔහුට “ගුණේ” යැයි කියමු.   


“ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෝ මේ හම්බෙගමුවේ ඉන්න බවක් අපි ඒකාලේ දැනගෙන හිටියේම නෑ. ගමෙන් පක්‍ෂයට බැඳිලා ක්‍රියාකාරීන් විදියට හිටියේ කිහිප දෙනයි. ඒ අයව හැබෑ නමින් හැඳින්නුවේ නෑ. හැම කෙනාටම පක්‍ෂයෙන් නමක් දාලා තිබුණා. මටත් එහෙමයි. ඒ හින්දා අපේ ඇත්ත නමින් කිව්වාට දන්න අය අඩුයි. ඒක අපිට ආමි එකෙන් බේරෙන්න ලොකු වාසියක් වුණා. අපි 87 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනකම් කරදරයක් නැතුව දේශපාලන වැඩ ටිකත් කරගෙන ගොවිතැන් බතුත් කරගෙන හිටිය” ගුණේ කියයි.   


“හේන් කරන කාලෙට හේන්වල වැඩට ආපු මිනිස්සු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හිටි බව පක්‍ෂයට දැඩි ලෙස ඇපකැප වුණ මමවත් දැනගෙන හිටියේ නෑ. වැල්ලවායේ දිසා සහෝදරයාගේ නියෝගයක් කෙළින්ම මට ලැබුණේ නෑ. තෙලුල්ලේ සහෝදරයා හරහා තමයි මට ඒ නියෝග ලැබුණේ. ඒත් පක්‍ෂයේ ලොකු සහෝදරයෙක් හම්බෙගමුවේ හේනකට යන්න එනවා කියලා කවමදාවත් දන්වලා නෑ. අපේ පක්‍ෂයේ ලොකු සහෝදරයෙක් එනවා එයාට ආරක්‍ෂාව ඕනෑ කියලා පක්‍ෂයෙන් කොයිම වෙලාවකවත් කියලා නෑ. ඒ හින්දා කවුද හිතන්නේ විජේවීර, ගමනායක වගේ පක්‍ෂ නායකයෝ මේ කැලේට එයි කියලා” ගුණේ විස්තර කරයි.   
මේ කාලයේ හම්බෙගමුව අවට ස්ථාන කිහිපයක ජනතා විමුක්ති පෙරමුණේ පුහුණු කඳවුරු තිබූ බව හම්බෙගමුවේ ක්‍රියාකාරී ජවිපෙ සමාජිකයෙකුව සිටි “ද‌‌ාස” විස්තර කළේය.   


“හම්බෙගමුව ඉඳලා තණමල්විල පැත්තට යනකොට අරඹෙකෙම හන්දිය හම්බවෙනවා. එතනින් වමට බලහරුව පැත්තට යන්න පුළුවන්. ඊට ඉස්සරහ හන්දියෙනුත් තලගහදිගනේ වැවට යන පාරෙනුත් යන්න පුළුවන්. ඒ ගියාම බලහරුව වැව තියනවා. වැවට වේල්ල පැත්තෙන් ඈත මහ කැලෑව. ලොකු ගල්තලාවක් එහෙම තියනවා. බලහරුවවැව, අලුත්වෙල, ඇතිළිවැව (තණමල්විල වැල්ලවාය පාරේ යනවිට හමුවන) දඹේආරවැව කියන ප්‍රදේශ වට කරලා මේ ලොකු කැලෑව තියෙන්නේ. මේ කැලෑවේ පුහුණු කඳවුරක් තිබුණා. අර මම කිව්ව ලොකු ගල උඩට ගියාම වටේම පේනවා. දකුණු පැත්තට වෙන්න බලහරුව තියෙන්නේ. නැගෙනහිර පැත්තෙන් ඈත තණමල්විල - වැල්ලවාය පාර. උතුරු පැත්තට වෙන්න අලුත්වෙල තියෙන්නේ. ඒ කාලේ මම දැනගෙන හිටියේ එක කඳවුරක් වුණාට ඒවා ජංගම කඳවුරු. ඉටිකොළ ගහලා හදන ඒවා. එක කණ්ඩායමක් පුහුණු කළාට පස්සේ කඳවුර වෙනස් කරනවා” ද‌ාස පැහැදිලි කළේය.   


මේ කඳවුරුවල දේශන, පුහුණු කටයුතු ආදියට එන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකයන් ඒවාට කැඳවාගෙන එන්නේ ද රහසිගතව බව දාස කියයි. ඒ එන දේශකයා කෙළින්ම කැලේ කඳවුරට පැමිණෙන්නේ නැත.   
හම්බෙගමුවෙදී අපට මුලින් හමුවූ ‘පාල’ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේ සංවිධාන කටයුතු හම්බෙගමුව මහ කැලේ දී රහසිගතව සිදු වෙද්දී ඔහු මුහුණ දුන් සිද්ධියක් විස්තර කළේ මෙසේ ය.   


“මම දවස් පහක් විතර හේන්වල ගස් කපාදාලා ගිනි තියන්න සූදානම් කරලා ගෙදර ආවා. මගේ මතයේ හැටියට මේ අසූහය කාලේ. එතකොට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරලා තිබුණේ නෑ. ඒ වුණාට කොටි සිංහල ගම්වලට ගහන්න පටන් අරං. මගේ මතකයේ හැටියට කොටි කතරගමට ගහලා මාස දෙකක් විතර ඇති වගෙයි. ගුණවික්‍රමරත්න සහෝදරයා මගෙන් ඇහුවා ආය කවද්දා හේන්වලට යන්නේ කියලා. මම කිව්වා දවස් දෙකකින් යනවා කියලා. ඒ ගමන කිව්වා ජයතිලකගේ හේනට වැඩට මිනිහෙක් එනවා. ඒ යනගමන් ඒ මිනිහාට ජයතිලකගේ හේන පෙන්නන්න පුළුවන් ද කියලා. මම හා කිව්වා.   

 

ඉරිඟු හේනක්   

 

අලුතින් හේනක් හදන්නට ගිනි තබා ඇති ආකාරය   

 

 


ඉතින් දවස් දෙකකට විතර පස්සේ උදේ අටට විතර මම හේන්වලට යන්න සූදානම් වෙලා ගුණවික්‍රමරත්න සහෝදරයා හම්බවෙන්න ආවාම මිනිහෙක් හිටියා. වැඩිය කතාබහක් නෑ. බොහෝම කර්කෂ ජීවිතයක් ගතකරන කෙනෙකුගේ පෙනුම තිබුණේ. මිනිහගේ අතේ පෝර කවරයක ඔතපු පොට්ටනියක් තිබුණා. අපිත් හේන්වලට යනකොට එහෙම තමයි බඩු ගෙනියන්නේ. මිනිහ මාත් එක්ක යන්න පිටත්වුණා. පාර ගුරු පාරක්. මහ ට්‍රැක්ටර්, ලෑන්ඩ්මාස්ටර් (අත් ට්‍රැක්ටර් හඳුන්වන්නේ ඒ නමිනි), කරත්ත යන පාරවල්. පාරේ වැලි තියන තැන් වැඩියි. බයිසිකලුත් යන්නේ මේ පාරෙමයි. පාර දෙපැත්තේ පොහොන පඳුරු. සමහර තැන්වල පොහොන පඳුරු අපිට වැඩිය උසයි. පාරේ මායිමට පොහොන් පඳුරු.   


මට මතක හැටියට ඉඳුරුගම්වැව පැත්තෙන් අපි ගියේ. ඒ කාලේ වල්අලි ඉන්න හින්දා පරිස්සමෙන් ආවේ ගියේ. අපි ඉස්සරහට යන කොට අපේ පිටිපස්සෙන් බයිසිකල් කාරයෙක් ආවා. බෙල් එක ගැහුවා. ඒ හරියේ වැල්ල. අපිට අයින් වෙන්න තැනක් තිබුණෙම නෑ. අපි දෙන්නා පොහොන් පඳුරු අයිනටම වුණා. ඒ ආපු එකාගේ බයිසිකලේ වැල්ලේ කැරකෙන්නේ නැතුව වැටුණා. බයිසිකලේ ලැගේජ් එකේ කවරයක් බැඳලා තිබුණා. ඒකත් එක්ක මිනිහට බයිසිකලේ පාලනය කරගන්න බැරුව වැටුණේ. සරමත් පැටලුණා. මෙන්න මේකා වැටිච්ච බයිසිකලේ නැගිට්ටුවන්නේ නැතිව මිනිහා නැගිලා ඇවිත් මට පිටිපස්සෙන් මාත් එක්ක ආපු අර මනුස්සයාගේ කනට ගැහුවා. මොනවත් වරදක් කරාට නෙමෙයි මිනිහා බයිසිකලෙන් වැටුණ කේන්තියට.   


ඊට පස්සේ මම මිනිහට එහෙම කරන්නේ ඇයි කියලා අහනකොට මට මතක් වුණා මමයි මිනිහයි දවසක් ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහෙන් එකක දී හමුවුණා කියලා. මිනිහත් මගේ දිහා බලාගෙන හිටියා. අපේ කතාව එතනින් එහාට ගියේ නෑ. මගෙත් එක්ක අාපු මනුස්සයා මොනවත්ම කිව්වේ නෑ. මිනිහා බිම බලාගෙන ඉඳලා අර වැටුණු බයිසිකලේ කෙළින් කරන්නත් උදව් වුණා. පස්සේ තමයි දන්නේ ඒ මගෙත් එක්ක ගිහිං කණේපාරක් කාලා තිබුණේ උපතිස්ස ගමනායක සහෝදරයා කියලා.”  


පාල ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත දේශපාලන වැඩ පිළිවෙළේ එක් සිදුවීමක් පැහැදිලි කළේය.   


හම්බෙගමුවෙදී අපිට හමුවුණ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරීන් අතර සිටි වැඩි දෙනෙක් දේශපාලන සහ සන්නද්ධ කඳවුරුවල පුහුණුව ලැබූවෝ බව කීහ. නමුත් ඔවුන් පැවසුවේ ගමේ සාමාජික සහෝදරවරු එකම දිනයේ එකම කඳවුරුවල පුහුණුව නොලැබූ බවය.   


“ඇත්තටම ගමේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීව හිටපු සාමාජිකයෝ ගැන එයාලට පක්‍ෂයෙන් දීලා තිබුණ නම්වලින් දැනගෙන හිටියා. හැබැයි එයාල පන්ති පහ කරලා, ඊට පස්සේ තියන දේශපාලන කඳවුරුවලට, සන්නද්ධ පුහුණු කඳවුරුවල පුහුණුව ලැබුව ද කියන්න දැනගෙන හිටියේ නෑ. පක්‍ෂය ඒක අපේ ආරක්‍ෂාවටම ගත්ත උපක්‍රමයක් කියලා හිතෙනවා” පාල විස්තර කළේය.   


පාල ද තමන් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ පුහුණුව ලැබූවෙක් නිසා හැමවිටම පරෙස්සම් වන්නට වග බලාගත් බව කියයි. ඔහු සඳහන් කරන අන්දමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 1983 වසරේ සිට වරින්වර හම්බෙගමුව ප්‍රදේශයේ කඳවුරු දාගෙන පක්‍ෂයේ ඉදිරි කටයුතු සැලසුම් කරන්නට ඇති බවයි.   


එසේම සන්නද්ධ පුහුණු කඳවුරු 1987න් පසු පිහිටුවන්නට ඇති බව ඔහුගේ විශ්වාසයයි. ඒ නිසා රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් එක දිගටම හමුබෙගමුවේ සැඟව නොසිට වෙස් වලාගෙන පිටව ගොස් නැවත වරින්වර පැමිණ කඳවුරු මාරුකරමින් යන්න එන්න ඇති බව ඔහුගේ විශ්වාසයයි.   


“මට එක සිද්ධියක් හොඳට මතකයි. ඔය බලහරුව දේශපාලන කඳවුරට ගිහිං පුහුණුව ලැබූ අපේ සහෝදරයෙක් මට හමුවුණා. එයා මාව සන්නද්ධ පුහුණුව ලබන්න පොළඹවා ගත්තා. මම වැඩිය ඉගෙනගෙන නැති හින්දා මම සන්නද්ධ පුහුණුවට කැමති වුණා. දවසක් ඒ කඳවුරට එක්කගෙන යන්න ආපු සහෝදරයා මට හමුවුණේ බලහරුවේ වැව පැත්තෙන් අලුත්වැවට යන පාරේදි. එයා මාව දන්නේ නෑ. මාවත් එයා දන්නේ නෑ. පක්‍ෂයේ සහෝදරයෙක් මට කියපු වෙලාවට කිව්ව තැනට මම ගියා. එතකොට අඳුරු වැටිලා. මම ගිය හරිය ඒ කාලේ මහකැලේ. වල්අලි කොහෙන් මතුවෙයිද දන්නේ නෑ. මම ගිහිං විනාඩි කිහිපයක් යනකොට මට ඇහෙයි කියපු රහස් වචනය කියනවා ඇහුණා. පේන්න කෙනෙක් නෑ. ආමි එක නොඑන බව මට ලොකු විශ්වාසයක් තිබුණා. මට ඇහෙයි කියපු රහස් වචනය තුන් පාරක් ඇහුණට පස්සේ මම මට කියන්න කියපු රහස් වචනය කිව්වා.   
ටික වෙලාවකින් කැලේ ඇතුළෙන් ‘අපි යමු “පාල” සහෝදරයා’ කියලා කෙනෙක් ඇවිත් පිටත් වුණා. මාව එක්ක යන්නේ කවුද කියලා මම දන්නේ නෑ. හැබැයි අපි යන්නේ අලුත්වෙල දියබෙත්ම පැත්තට කියලා මට හිතුණා. පැය එකහමාරක් විතර නොනැවතී ගිහිං එක තැනකදී අර සහෝදරයා මට නවතින්න අණ කළා. මම නැවතුණා. පැය කාලකට බාගෙකට විතර පස්සේ මට ඇහෙයි කියපු රහස් වචනය ආයෙත් ඇහුණා. තුන් පාරක් ඇහුණට පස්සේ මම මට කියන්න කියපු රහස් වචනය කිව්වා. පොඩි වෙලාවකින් දෙන්නෙක් ආවා. ‘යමු “පාල” සහෝදරයා’ කියලා කිව්වා. ඒ කටහඬ අර මුලින් ඇහුණ කටහඬ නෙවෙයි.   


මෙහෙම ගිහිං ඔයකින් එගොඩ වුණා. මට හිතුනේ ඒ කුඩා ඔය කියලා. ඔයෙන් එගොඩ වෙලා බොහොම දුෂ්කර මගක් ගෙවාගෙන කඳු පල්ලම් නගිමින් බහිමින් පැය ගාණක් ආවා. අහස පැහැදිලියි. දවසක් අඳුරේ ගමන් යාමෙදි දිසාව සහ කාලය ගණනය කරගන්න තරු රටා උපයෝගී කරගන්නා හැටි කියලා දුන්නා මට මතකයි. මම බලහරුවේ වැව කිට්ටුව ඉන්න කොට අහස දිහා බලද්දි ‘මහවළසා’ තාරකා පන්තිය නැගෙනහිර පැත්තේ අහසේ පායමින් තිබුණේ. හැබැයි එදා ගමන අවසන් වෙනකොට ‘මහවළසා’ තරු පන්තිය බස්නාහිර පැත්තෙන් නොපෙනී යන්න කිට්ටු වෙලා තිබුණේ. ඒ හින්දා පැය අටක් නවයක් ගමනට ගතවෙන්න ඇති කියලා මම හිතුවා.” පාල කීවේය.   


පාල පවසන අන්දමට මේ අලුත්වෙල ඉස්මත්තේ ඇති කඳවුරකි. මේ කැලේ උතුරු පැත්තට වල්හපුතැන්න, බෙරගල පැත්තත් නැගෙනහිර පැත්තට වෙන්නට කොස්ලන්ද, වැල්ලවාය පැත්තත් විය යුතුය. දකුණු පැත්තට තණමල්විල හම්බන්තොට ඉසව්වත්, බස්නාහිරට තමන්ගේ ගම වූ හම්බෙගමුව පැත්තත් විය යුතුයැයි උපකල්පනය කළ බව පාල පැවසුවේය.   


නමුත් තමන් දැන් සිටින ඉසව්ව හෝ කඳවුරට එන සහෝදරයින් හෝ පුහුණුවට ඇවිත් ඉන්න සහෝදරයින් සමග වැඩි විස්තර කතා කිරීම තහනම් බව පාල කීවේ ය. ගිනිඅවිවල ඉතිහාසය, ඒවායෙන් පිටවන උණ්ඩවල ක්‍රියාකාරිත්වය, ගිනිඅවි වර්ග, ඒවායේ කොටස් ආදිය සමග ඒවයෙන් වෙඩි තියන ආකාරය මේ සන්නද්ධ කඳවුරේ දී පුහුණු වූ බව පාල පැවසුවේය.   


“මේ කඳවුරේ ලොකු විනයක් තිබුණා. අපි පහළොස් දෙනෙක් තමයි පුහුණු වුණේ. පුහුණුව දුන්න අය ආමි එකේ වගේ කොණ්ඩ කොටට කපලා හිටිය අයත් හිටියා. පුහුණුවට උපදෙස් දෙන්න එන අය දවසින් දවස වෙනස්. රෑටත් පුහුණුව තිබ්බා. අඳුරේ ඉලක්ක ගන්න හැටි කියලා දුන්නා. අපි කෑවේ බිව්වේ පුංචි එළියකින්. උදේට නැගිටලා බලනකොට ඊයේ පුහුණුවට උපදෙස් දෙන්න හිටි අය නෙමෙයි අලුත් අය ඉන්නේ.   

 

හම්බෙගමුව දියවර ගමට යන පාර   

 

අතහැර දැමූ හේනක්   

 

 


මෙහෙම පුහුණුවෙමින් ඉන්න අතරෙදි හැන්දෑවේ අපිට කිව්වා, එදා රාත්‍රී සැඟවෙන්න සූදානමින් ඉන්න කියලා. අපිට රහස් වචන ආදියත් රාත්‍රියක් ගත කරනකොට ඕනෑ උපකරණත් කියලා දුන්නා. ඒ වුණාට ඒවා අපි ළඟ තිබුණේ නෑ. අපි රෑ දහයට විතර කඳවුරේ ඉඳලා පැය භාගයක ගමනක් ගිහිං සෝදිසි මෙහෙයුමකට දැම්මා. කණාමැදිරි එළියක් හරි එනවානම් ඒ ගැන අවදියෙන් ඉන්න කිව්වා. මට දෙපැත්තෙන් ඉන්නේ කවුද කියලා නමින් දැනගෙන හිටියේ නෑ. රහස් පදයෙන් විතරයි අපේ කෙනෙක් කියලා දැනගත්තේ.   


පහුවෙනිදා එළිය වැටෙන්න ඉස්සර අපි අපේ කඳවුරට ගියා. එළිය වැටුණට පස්සේ අලුත් උපදේශකයෝ කිහිප දෙනෙක් ඇවිත් හිටියා. පස්සේ තමයි දැනගත්තේ රෝහණ විජේවීර සහෝදරාගේ වල්හපුතැන්නේ ගෙදරට යන්න කැලෑපාරක් මේ පැත්තෙන් තිබුණා කියලා. ඒ හින්දා දිගම්පැලැස්සේ හේන්වලට ඇවිත් අලුත්වැව හරහා තණමල්විල ඉඳලා හම්බෙගමුව හරහා වේලිඔය දක්වා තියන බී528 පාර පැනලා ඉහළ බුරුතකැටිය නැත්නම් මහපැලැස්ස, මහයාය, රංකැටුව ආදී ප්‍රදේශ හරහා තමයි කැලේට ඇතුළුවෙලා ඇවිත් ගිහිං තියෙන්නේ. ඒ යන ගමනේ වෙහෙස නිවාගෙන තියෙන්නේ අපි පුහුණුව ලබපු කඳවුරේ දී කියලා පස්සේ දැනගත්තේ.” පාල පැහැදිලි කළේය.   


“ඇත්තටම අපි පුහුණුව ලබද්දි අපේ නායකයෝ ගැන පින්තූරවලින් අපි දැකපු, හිතාගෙන හිටිය ස්වරූපය නෙමෙයි දකින්නට තිබුණේ. ඒ හින්දා අපේ නායකයෝ දැක්කත්, එකට කෑවා බිව්වත් ඒ අහවලා කියන්න අපි දැනගෙන හිටියේ නෑ. මම හමුදාවට අහුවෙලා බූස්ස කඳවුරට ගිය කාලෙ අපිට පුහුණුව දීපු සහෝදරවරු වගේ ස්වරූපය තියන කිහිප දෙනෙක් දැක්කා. නමුත් ඒ අය කවුද කියන්න දැනගෙන හිටියේ නෑ.” පාල තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේය.   


ඉතිරි කොටස ලබන සතියට..... (හමුදා මෙහෙයුමක් මැද විජේවීර හම්බෙගමුව වැව ඉස්මත්තට) 

 


අජිත්ලාල් ශාන්තඋදය සහ හම්බෙගමුව මහින්ද අබේරත්න