මව්වරුන්ගේ දොළදුක් හෙළි කළ පුනර්භව රහස්


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු මව්වරුන්ට ඇතිවන විවිධ ආශාවන් දොළදුක් ලෙස හඳුන්වනු ලැබේ. විශේෂයෙන්ම මව්වරුන්ට එවැනි කාලවල දී කෑමට සිත් වන විවිධ ආහාර වර්ග පිළිබඳවද හෙළිවේ. ඊට අමතරව විවිධ ගමන් යාමටත් විවිධ දර්ශන දැකීමටත් ඇතැම් මව්වරුන්ට ආශාවන් ඇතිවේ. Cravings යනුවෙන් හැඳින්වෙන මෙම ආශාවන් ගැබිනි මව්වරුන්ට ඇතිවීම සාමාන්‍ය සිරිතය. ඒ අයුරින්ම ඔවුන්ට ඇතිවන අප්‍රියතාවන් (Aversion) ඇතුළු විවිධ ක්‍රියාකාරකම් පිළිබඳවද අනාවරණය වේ.   

 

පුනර්භව


පර්​ෙ‌ය්ෂණ වලදී පෙරභවය හෙළි කළ දරුවන් තුළින් දක්නට ලැබෙන ඔවුන්ගේ ඇතැම් ආශාවන් සහ ක්‍රියාකාරකම් මව්වරුන් මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ.   


මේ නිසා එම පර්​ෙ‌ය්ෂණවල වෙනමම අංශයක් වශයෙන් දරුවා මව් කුස තුළ සිටියදී මවට ඇති වූ දොළදුක් (PREGNANCY CRAVINGS OF SUBJECT'S MOTHER RELATED TO PREVIOUS LIFE) යනුවෙන් විමර්ශනය කරනු ලැබේ. ඒ අතරින් ලැබී ඇති ඇතැම් සාධක අනුව මව්වරුන්ට ඇති වූ දොළදුක් ඇතැම් විට මව් කුස තුළ සිටි දරුවාගේ පෙරභවයේ චර්යාවන් පිළිබිඹු කරන සිදුවීම් ලෙස හෙළි වේ.   


එවැනි පුනර්භව සාධක ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවල පෙරභවය හෙළි කළ දරුවන් අතරද ඇත. ඉන්දියාව තායිලන්තය, බුරුමය සහ තුර්කියෙන්ද අතිශය වැදගත් සාක්කි රැසක් හමු වී තිබේ. මවට ඇති වූ දොළදුකක් පෙරභවය හෙළි කළ දරුවාගේ පෙරභව ආශාවන් ලෙස සනාත වූ අතිශය පුදුම සිදුවීමක් මීට වසර ගණනකට උඩදී කුරුණෑගල ප්‍රදේශයෙන් අනාවරණය විය.   


ලිපිකාරිනියක් ලෙස සේවය කළ එම දරුවාගේ මව තරුණ වයසේ සිටිම දුම්වැටි සුවඳට දැඩි ලෙස අප්‍රිය කළ කාන්තාවක වූවාය. විවාහයෙන් පසු සැමියාද දුම්බීම සිදුකළ අයකු නොවීය.   


නිවසට පැමිණ අයෙකු හෝ දුම්වැටියක් දැල්වීම හෝ ඔවුහු අප්‍රිය කළහ. කිසිවිටෙකත් දුම්වැටි නිවසට ගෙන ඒමක්ද සිදු නොවිණි. මෙම යුවලගේ දෙවැනි දරුවා ලැබීමට දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමෙන් පසු මාස තුනක් පමණ ගතවිය. මවට ඇති වූ ආශාවක් පිළිබඳව ඇය සිය සැමියාට හෙළි කළේය. එනම් ඇයට දුම්වැටියක් උරා බීමට සිතෙන බවය. බිරියගේ ප්‍රකාශයෙන් සැමියා මවිතයට එක්විය.   


කිසි දවසක ඔයාට ඇති නොවූ ආශාවක් ඇතිවූයේ ඇයි?” යනුවෙන් සැමියා ප්‍රශ්න කළේය.   


“මට පුදුම ආශාවක් ඇතිවුණා” යි ඇය පිළිතුරු දුන්නාය. බිරියගේ මෙම ඉල්ලීම ඉවත දැමීම ඇගේ මානසික තත්ත්වයට බලපෑමක් ඇති වේයැයි සිතූ සැමියා ඇයට දුම්වැටියක් ගෙනවිත් දුන්නේය. දුම්වැටිය දැල් වූ ඇය ක්ෂණයකින් එය ඉවත දැමුවාය.   


නියමිත මාස ගණන සම්පූර්ණ වී ඇය පිරිමි දරුවෙකු බිහි කළාය. උපුල් යනුවෙන් නම් තැබූ එම දරුවා නිරෝගීමත් දරුවකු විය. වයස අවුරුදු දෙකහමාරක් පමණ වූ දරුවා දිනක් නිවසේ ආලින්දයේ සිටියේය. නිවසට පැමිණි පියාගේ මිතුරකු ඔහු සතුව තිබූ දුම්වැටි පැකැට්ටුවක් ඉවතට ගන්නා අයුරු දරුවා බලා සිටියේය.   


වහා ඒ වෙතට ගිය ඔහු දුම්වැටි පැකට්ටුව ගෙන එහි තිබූ දුම්වැටියක් ඉවතට ගත්තේය. ක්ෂණයෙන් එය ඇඟිලි අතර රඳවා මුවට ගන්නා අයුරු ඔවුන්ට දක්නට ලැබිණි.   


පැමිණ සිටි අමුත්තා එය දැල්වීය. භීතියට පත් වූ මව එය ලබා ගැනීමට සූද‌ානම් වන විටත් දරුවා දුම්පානයට සූදානම් වූයේ අතිශය පුදුම අයුරිනි. මව වහා දරුවාගෙන් එය ඉවත් කරනු ලැබුවාය.   


පුත්‍රයාගේ මෙම හැසිරීම් රටාව දෙමාපියන්ටද බලවත් ගැටලුවක් විය. කිසි දිනෙක දුම්වැටි පැකට්ටුවක් හෝ නොදැක සිටි දරුවා එක්වරම එය ලබා ගෙන දුම්වැටියක් මුවේ තබාගත් අයුරු ඇදහිය නොහැකි විය. දෙමාපියෝ ඒ පිළිබඳව මවිතයට පත්ව සිටියහ.   


කාලය ගෙවී ගියේය. හොඳින් කතා කිරීමට හැකියාව ලැබීමෙන් පසු ඔහු පෙර භවයක තොරතුරු අනාවරණය කරන්නට විය. පෙර භවයේදී ඔහු ජීවත්ව සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ බවත් බිරිය නිවසේ සිටින බවත් එම දරුවා ප්‍රකාශ කළේය. බිරිය පාසල් ගුරුවරියක් බැව්ද ඔහුට මතක තිබිණි. සිදු වූ රිය අනතුරක්ද එම දරුවා හෙළි කළේය. එම දරුවා හෙළි කළ තොරතුරු අනුව පෙරභවයේ ජීවත්ව සිටි නිවසක් ඔහුගේ බිරියත් හමුවීමට ඔහුට අවස්ථාව ලැබිණි. මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී අනාවරණය වූයේ පෙරභවය ලෙස සනාථ වූ තැනැත්තා අධික ලෙස දුම්පානයට හුරුව සිටි අයකු බවය.   


දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු මවකට ඇති වූ ආශාවන් පෙර භවය හෙළිකළ දරුවා මගින් අනාවරණය වූ තවත් පුනර්භව සාධකයක් මීට වසර ගණනකට උඩදී උපන් දරුවෙකුගෙන් හෙළිවිය.   


කොළඹ කාසල් රෝහලේදී උපත ලද එම දරුවා මව් කුස තුළ මාස හයක පමණ කාලයක සිටියදී මවට ඇතිවූයේ විහාරස්ථානවලට ගොස් පින් දහම් කිරීමේ ආශාවකි. සතියකට වරක් පූජනීය ස්ථානයට යන මවට භාවනානුයෝගීව සිටීමටද දැඩි ආශාවක් ඇතිවිය. ඒ අනුව ඇය සෑම සෙනසුරාද‌ා දිනෙකම නිවස ආසන්නයේ පිහිටි පූජනීය ස්ථානයට යෑමට පුරුදුව සිටියාය.   


දරුවා බිහිවීමට සිටියදී ඇය වැඩි වශයෙන්ම ප්‍රිය කළ එකම ආහාරය වූයේ කිරිබත්ය. ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිවීමට සිටියදී එවැනි කිසිදු ආශාවක් ඇයට ඇති නොවිනි. නියමිත කාලය සම්පූර්ණ වී ඇය පිරිමි දරුවකු බිහි කළාය. බහ තෝරන වියේ සිට එම දරුවාගේ ඉල්ලීම වූයේ විහාරස්ථානයට කැඳවාගෙන යන ලෙසය.   


සනත් නම් වූ එම දරුවා අන් දරුවන්ට වඩා ආගමික භක්තියක් ඇති බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. ඇතැම් විට ඔහු නිවසේ ඇද මත හිඳගෙන භාවනානුයෝගීව සිටීමද පුරුදුව සිටියේය.   


ඔහු ඒ අයුරින් සිටින විටදී ඒ අසලට පැමිණෙන සොහොයුරන් ඉවතට යැවීමද ඔහුගේ සිරිතවිය. මෙම දරුවා පිළිබඳව පර්​ෙ‌ය්ෂණ පවත්වන විටදී ඔහු සිව් වන වියේ පසුවිය. ඒ වන විට එම දරුවා ඔහුගේ පෙරභවය පිළිබඳව තොරතුරු හෙලි කර තිබිණි.   


ඔහු පෙරභාවය අනාවරණය කළ අයුරුත් මවට ඇති වූ දොළදුක් ආශාවන් සහ දරුවාගේ හැසිරීම් රටාවත් අතර තිබූ සබඳතාව විමර්ශනය කිරීමට එද‌ා අවස්ථාව ලැබිණි. එහිදී මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් මව දුන් පිළිතුරුත් මෙසේය. 

 
ප්‍රශ්නය - ඔබේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු ඔබට ඇති වූ විශේෂ ආශාවන් මොනවාද?   
පිළිතුර - මව් කුසට මාස හයක් පමන වූ විටදී පූජනීය ස්ථානවලට යෑමට තද බල ආශාවක් ඇති වුණා.   
ප්‍රශ්නය - අනෙක් දරුවන් බිහිවීමට සිටියදී එවැනි ආශාවන් ඇතිවූයේ නැද්ද?   
පිළිතුර - නෑ   
ප්‍රශ්නය - එවැනි විහාරස්ථානවලට ගොස් සිදු කළ වැඳුම් පිදුම් මොනවාද?   
පිළිතුර - ඇතැම් විට භාවනා කටයුතු වැනි දේටත් ආශාවක් ඇතිවුණා.   
ප්‍රශ්නය - ශීල ව්‍යාපාර වැනි දේටත් සම්බන්ද වූවාද?   
පිළිතුර - ඔව්, දහම් කටයුතු වලට වැඩි වශයෙන් සහභාගි වූවා.   
ප්‍රශ්නය - දරුවා ඉපදීමට ප්‍රථම ඔබට ආහාර වර්ග කිසිවක් පිළිබඳව විශේෂ කැමැත්තක් තිබුණද?   
පිළිතුර - ඔව් මට කිරිබත් කෑමට දැඩි ආශාවක් ඇති වුණා.   
ප්‍රශ්ණය - දරුවා මගින් ඔබ දුටු ඔහුගේ විශේෂ හැසිරීම් රටා මොනවාද?   
පිළිතුර - ඉතා කුඩා කල සිට ඇඳ මත වාඩි වී භාවනා කරන අයුරින් සිටියා.   
ප්‍රශ්නය - ඒ ගැන ඔබ සිතුවේ කුමක්ද?   
පිළිතුර - කිසිවක් සිතන්නට බැරි වුණා.   
ප්‍රශ්නය - විහාරස්ථානවලට යෑමට ඔහු තුළ තිබූ ආශාව කෙසේද?   
පිළිතුර - ඔහු නිතර පන්සලට යෑමට දැඩි ආශාවක් දැක්වූවා.   
ප්‍රශ්නය - ඔහු පෙර භවයක් ගැන හෙළි කළ තොරතුරු මොනවාද?   
පිළිතුර - එයා පොඩි කාලෙ කාර් එකට කිව්වේ බෙල් කියල. දවසක් කිව්වා කෝච්චියක් ඇවිත් ඩොග් ගාල හැපුණා කියල. එයා පුදුම විදිහට කෝච්චිවලට බියකුත් දැක්වූවා යයි එද‌ා එම දරුවාගේ මව අප සමග හෙළි කළාය.   


පෙරභවයේදී නිතර පන්සලට ගිය බවත්ද ඔහු හෙළිකර තිබේ. විවාහ වීම සඳහා කාරයේ යන විටදී දුම්රියක ගැටීමෙන් මරණයට පත් වූ බැව් මෙම දරුවා හෙළි කර ඇති නමුත් එය සිදුවූයේ කුමන ප්‍රදේශයකදී යන්න අනාවරණය නොවූ බැව්ද මව අප සමග කීවාය.   


මෙම දරුවා පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන්ද ශ්‍රී ලංකාවට පැමිණි අතර පෙර භවය සොයා ගැනීම මේ දක්වා දුෂ්කර විය. ඔහු ඉතා කුඩා කළ සිටම ඉතා ප්‍රිය කළ ආහාරය වුයේ කිරිබත්ය. ඒ පිළිබඳව මව පවසන්නේ එම දරුවා මව් කුස තුළ සිටියදී ඇයට ඇතිවූ ආශාව ඒ අයුරින්ම දරුවා මගින් දක්නට ලැබුණු බවය.   


එක්දහස් නමසිය හැට නමය වසරේදී හෝමාගමදී උපත ලද සුජිත් නම් දරුවකු මගින්ද මවගේ දොළදුක් ආශාවක් පෙරභවයට සම්බන්ධ බවට අනාවරණය වීය.   


එම දරුවා හෙළි කළ පෙර භවයේ තැනැත්තා මරණයට පත්වූයේ පානදුර ගොරකාන ප්‍රදේශයේදීය. මත්පැන් පානයටද හුරුවී සිටි ඔහු ලොරි රථ අනතුරකින් මරණයට පත්වූයේ 1969 ජනවාරි මාසයේදීය. ඔහුගේ ප්‍රියතම ආහාර වර්ග වූයේ මඤ්ඤොක්කා සහ වඩේය. ඔහුගේ ජීවිත තොරතුරු අනාවරණය කළ දරුවා මව් කුස සිටියදී මවට අැති වූ දොළදුක් ආශාව වූයේද මඤ්ඤොක්ක සහ වඩේය.   


ඔහුගේ මරණය සිදු වී මාස හතක් ගතවීමෙන් පසු පෙරභවය හෙළි කළ දරුවාගේ උපත සිදුවී තිබිණි. එම දරුවා ඉතා පැහැදිලිව ඔහුගේ පෙරභව තොරතුරු අනාවරණය කළේය. පෙර භවයේ බිරිය පිළිබඳවත් අනෙකුත් නෑ හිතවතුන් පිළිබඳවත් එම දරුවා නිවැරදිව හෙළි කළේය. මෙම දරුවාගේ පුනර්භව සාධකයද මහාචාර්ය ස්ටීවන්සන් විසින් පූර්ණ පර්​ෙ‌ය්ෂණයකට ලක් කළේය. එම දරුවා මව් කුස තුළ සිටියදී මවට ඇති වූ දොළදුක් ආශාව පෙරභවයේ තැනැත්තාගේ ආශාවන් ලෙස පිළිගැනීමට සිදුවිය.   


ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළ කළ දරුවන් දස දෙනෙකු පිළිබඳව වර්ජීනියා විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථයකටද මෙම දරුවාගේ පුවත අැතුළත් කර තිබේ. මවට ඇතිවූ මඤ්ඤොක්ක සහ වඩේ කෑමට ඇති වූ ආශාව එහි සඳහන් කර ඇත්තේ.   


(MOTHER SAD THAT DURING HER PREGNANCY WITH HIM SHE HAD EXPERIENCED A SOMEWHAT UNUSUAL INTEREST IN EATING WADE AND MANIOC) යනුවෙනි.   
මහාචාර්ය ස්ටීවන්සන් විසින් බුරුමයේදී සිදු කරන ලද පුනර්භව පර්​ෙ‌ය්ෂණයකදී ද මවට ඇති වූ දොළදුකක් පෙරබවය හෙළි කළ දරුවෙකු මගින් අනාවරණය වීය.   


බුරුමයේදී උපත ලද මන්ග් නම් දරුවෙක් මව් කුස තුළ සිටියදී එම මවට ඇතිවූයේ ඌරු මස් පැණි සමග ආහාරයට ගැනීමේ ආශාවකි. එම දරුවා ඉපදී බහ තෝරන වියට පත් වී ඔහුගේ පෙර භවය පිළිබඳව හෙළි කළේය.   
ඔහු අනාවරණය කරනු ලැබුවේ ජපන් ජාතිකයෙකුගේ ජීවිත තොරතුරුය. ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේදී දරුවා හෙළි කළ පරිදි ජපන් ජාතිකයන් ගන්නා ආහාර වර්ගයක් ලෙස එය පිළිගැනීමට සිදුවිය.   
දරුවා මව් කුස සිටියදී මව ප්‍රියකළ එම ආහාර වර්ගය පෙරභවයේ ආශාවන් ඉදිරිපත් වූ ප්‍රබල සාධකයක් ලෙස සනාථ විය. එ් පිළිබඳව ලියන ලද වාර්තාවේ එය සඳහන් කර ඇත්තේ.   


DURING MOTHER'S PREGNANCY WITH MOUNG SHE HAD A CRAVING FOR PORK COOKED WITH SUGAR, JAPANESE PEOPLE FREQUNTLY ADD SUGAR TO THEIR FOODS WHERES BURMESE PEOPLE DO NOT COOK MEATS WITH SUGAR) යනුවෙනි. මේ අයුරින් පෙර භවය හෙළි කළ දරුවන් මව් කුස තුළ සිටියදී මවට ඇති වූ විවිධ ආශාවන් එම දරුවන් ගේ පෙර භවයට සම්බන්ධව තිබූ බැව් පර්​ෙ‌ය්ෂණ රැසකින් අනාවරණය වේ.   


පෙර භවය හෙළි කළ දරුවන් මව් කුසයේ සිටියදී මව්වරුන්ට ඇතිවන දොළදුක් (CRAVINGS IN PREGNANCY) සහ ඇතිවන අප්‍රිය කිරීම් (AVERSION IN PREGNANCY) යනුවෙන් පුනර්භව පර්​ෙ‌ය්ෂණ වලදී හඳුන්වනු ලැබේ. ඇතැම් විට එම ආශාවන් පෙර භවයේ තැනැත්තා තුළ තිබූ ආශාවන් ලෙස සනාථ වූ අවස්ථා රැසක් තිබේ.

 

 

 

තිස්ස ජයවර්ධන