මව්පිය ආදරය නැතිව දරුවාට සැදුණු හිසරදය


ග්‍රහ අපලයක් කියා යකැදුරන් පසුපස දුවලා   

නිමේෂ් හා තිසංකාගේ මව්පියෝ රජයේ සේවකයන් ය. ඔවුන් ජීවත් වන්නේ අලු‍ත්ගමය. එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන නිමේෂ් අට ශ්‍රේණියේ හා තිසංකා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. හැමදාම තිසංකාව පාසලට රැගෙන යන්නේ මව විසිනි. නිමේෂ් පාසල් වෑන් රියෙන් පාසල වෙත යයි. නිමේෂ්ට හෝ තිසංකාට කිසිදු අඩුපාඩුවක් නොමැතිය. මවත් පියාත් කිසිදු අඩුපාඩුවක් නොකරති. 


පාසල නිම වී නිවසට පැමිණි විට නිමේෂ් කරනුයේ ඇඟපත සෝදාගෙන කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වෙසෙන තම පාසලේම මිතුරෙකුගේ නිවසට ගොස් සවස් වනවිට නිවසට පැමිණීමයි. කලක සිටම නිමේෂ් නිවසේ රැඳෙනුයේ රාත්‍රී හතෙන් පසුය. කා බී රාත්‍රී නින්දට යන ඔහු උදේ පාන්දරම අවදි වී පාසල් යාමට සූදානම් වන අතර, මව බෙදා දෙන බත් ටික කන්නේ විශාල කල්පනාවක නියැළෙමින්ය. ඉන්පසු පාසල් වෑන් රථය පැමිණි විට එයට දුවගොස් ගොඩවන්නේ මවට හෝ පියාටවත් නොකියාය. තිසංකාව පාසල නිම වූ විට නිවසට රැගෙන එන්නේ ඔවුන්ගේ අසල්වැසි නිවසේ කාන්තාව විසිනි. ඇයගේ දියණිය ද තිසංකාගේම පංතියේ ඉගෙනුම ලබයි. නිමේෂ්ගේ මව හා පියා සමග අසල්වැසි නිවැසියන් බොහෝ හිතවත්ය. 


සවස පහ හමාර වනවිට නිමේෂ්ගේ මව රැකියාව නිමවී පැමිණෙන අතර, පියා සවස හත - හතහමාර ​ෙවද්දී නිවස වෙත එයි. නිමේෂ්ගේ මව උදේම අවදි වී ආහාර පිසිනුයේ උදේ හා දවල් දෙවේලටමය. ඇය සවස නිවසට පැමිණි පසු රාත්‍රී ආහාරය සකස් කරන්නීය. වැඩ නිම වී නිවසට පැමිණි පසු ඇය දියණියගේ වැඩකටයුතු කරන්නේ ඇයව හුරතල් කරමිනි. 
හැම මොහොතකම “චූටි දූ මෙහෙ එන්න... චූටි දූ එන්න කෑම කවන්න... චූටි දූ එන්න ඇඟ හෝදගන්න... කෝ එන්න ගෙදර පාඩම් වැඩ ටික බලන්න... කෝ එන්න කොණ්ඩෙ පීරන්න” කියමින් තිසංකාව නිතරම තමන් අසලම රඳවා ගනිමින් ඇයට බොහෝ ආදරේ කරන්නීය.

 
පියා ද නිවසට පැමිණි පසු ඇඟපත සෝදාගෙන රාත්‍රී ආහාරය ගෙන අවසන් වූ පසු තිසංකාව ළඟට ගෙන සුරතල් කරයි. “පුතා කෝ කෑම කෑවද... කාලා නිදාගන්න” නිමේෂ්ගේ මව පවසන්නේ එපමණකි. පියා ද ඉඳහිට එලෙස පවසයි. මවත් පියාත් බොහෝ කාර්යබහුලය. නිමේෂ් ගැන සෙවීමටවත් ඔවුන්ට කාලයක් වූයේ නැත. 


නිමේෂ් තම නැගණිය තිසංකා සමඟ වැඩි කතාබහක් නැත. ඉස්සර නම් ඔහු පාසල් නිම වී පැමිණි පසු නිතරම නැගණිය සමඟ කෙළිදෙලෙන් පසුවෙයි. එහෙත් මෑතක සිට ඔහු නැගණිය සමඟ කතා බහ නොකර අවශ්‍ය දෙයකට පමණක් කතා කරයි. මව හා පියා සමඟ ද එසේමය. එහෙත් නිමේෂ්ගේ මව්පියන්ට එය එතරම් වගක් නොවීය. 
මවගේත් පියාගේත් ආදරය දිනා සිටින්නේ තිසංකාය. එම නිසා නිමේෂ් වැඩිපුරම කාලය ගත කළේ ඔහුගේ මිතුරාගේ නිවසේය. එහෙත් පොතක් පතක් අල්ලන්නේවත් නැත. 
ටික කාලයක් යනවිට නිමේෂ්ට දරාගත නොහැකි හිසරදයක් ඇති විය. නිතරම වාගේ නිමේෂ් තම නැගණිය තිසංකාත් සමඟ ආරවුල් ඇති කරගනී. බොරුවට හෝ ඇයට බැණවදී. නැගණියව ළඟට ගෙන මවත් පියාත් ඇයගේ පාසලේ තොරතුරු අසන විට නිමේෂ් කේන්තියෙන් පුපුරමින් එතැනින් ඉවත්ව යයි. 


“පුතේ මෙහෙ එන්නකො බලන්නකො ඔයාගේ නංගි අද පන්තියේ දී ලස්සනට කවි කියලා ටීචත් එයාට හොඳ කියලා” මවත් පියාත් තිසංකා දෙස ආදරයෙන් බලා සිටී. නිමේෂ් කාමරයට ගොස් නිදාගත්තේය. උදෑසන අවදි නොවූ නිසා මව නිමේෂ්ට කතා කළාය. 


“පුතා අද ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේද තාම නිදි ද ඔයා” නිමේෂ් කිසිම කතාබහක් නැත. මව ඔහු අසලට පැමිණියාය. නිමේෂ්ව සොලවමින් පාසලට ප්‍රමාද වන බව පවසා සිටියාය. 


“අනේ අම්මේ වැඩක් බලාගෙන යනවද... මගේ ඔළුව කැක්කුමයි... මං අද යන්නෙ නෑ ඉස්කෝලෙ... අම්මට ඕනනං යන්න” මව දෙස කේන්තිය පුපුරන දෑසින් බලා නිමේෂ් සයනයේ අනෙක් පසට හැරී නිදාගත්තේය. 


එතැනින් එහාට නිමේෂ්ගේ මව කිසිවක්ම නොපවසා කාමරයෙන් පිටව ගිය අතර, තිසංකාව සූදානම් කරගෙන පාසලට ඇරලවා ඇය රැකියාව කරන ආයතනය වෙත පිටත්ව ගියාය. සවස පැමිණෙන විට ද තිසංක කිසිම ආහාරයක් ගෙන නොතිබිණි. 


“පුතා මොකද මේ ඔයා කෑම කාලත් නෑනේ... ඇයි ළමයෝ” නිමේෂ්ගේ මව ඇසුවාය. “මට බඩගිනි නෑ... ඔළුව කැක්කුමයි” නිමේෂ් කීය. 


“කෝ එන්න මෙහෙට බලන්න” මව ඔහුට අඬගැසුවාය. “ඕන නෑ මට පාඩුවෙ ඉන්න දෙන්න” නිමේෂ් මවට එකටෙක කීය. සවස වැඩ නිමවී නිවසට පැමිණි නිමේෂ්ගේ පියාට මව නිමේෂ්ට හිසරදයක් ඇති වී ඇති බවත් උදේ සිටම ඔහු කිසිවක්ම නොකා නොබී සිටින බවත් පැවසුවාය. 


“පුතේ මොකද ඔයාට... අම්මා කිව්වා ඔළුවෙ කැක්කුම කියලා” නිමේෂ්ගේ පියා දෙසවත් නොබැලූ නිමේෂ් “මගේ ඔළුව රිදෙනවා තාත්තා මට නිදාගන්න ඕනේ” පැවසුවේය. 
දින තුනක් පමණ නිමේෂ් පාසල් නොගොස් සිටියේ හිසරදයෙන් පීඩාවිඳි නිසාය. නැගණිය තමා අසලට පැමිණි විට ඇයව බැණ එළවා ගන්නා නිමේෂ් “තමුසෙ මට පේන්න එන්න එපා” යැයි පැවසුවේ නැගණිය දෙස තරහෙන් බලමින්ය. නිමේෂ්ව වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමට මව තීරණය කළාය. එදින සවස වැඩ නිමවී පැමිණි ඇය නිමේෂ්ව වෛද්‍යවරයෙකු වෙත කැටුව ගොස් හිසරද තත්ත්වය ගැන වෛද්‍යවරයාට පැවසුවාය. වෛද්‍යවරයා නිමේෂ්ගෙන් විස්තර අසා ඔහුට බෙහෙත් ලබා දුන්නේය. එහෙත් එම බෙහෙත් බොන විට පමණක් හිසරදය සුළු වශයෙන් සුව වුවද නැවත නැවත ඇතිවිය. යම් විටෙක ඔහු හිස බදාගෙන බෙරිහන් දුන්නේය. ගෙදර බඩු මුට්ටු පවා විටෙක ඔහු බින්දේය. 
නිමේෂ්ට මව, පියා හා නැගණිය නයාට අඳුකොළ වැනිය. ඔවුන් තමන් සමඟ කුමක් හෝ කතා කළ විට නිමේෂ් කරනුයේ ඔවුනගේ ඇඟට කඩාපැනීමය. නිමේෂ්ගේ මව තම දියණියව පාසලෙන් රැගෙන එන අසල්වැසි යෙහෙළියට නිමේෂ්ගේ තත්ත්වය පැවසුවාය. 


“අනේ මන්දා පුතාට මොන යකෙක් වැහිලද දන්නෙ නෑ... අපි කාවවත් පේන්න බෑ එයාට... කේන්ති ගියාම ගෙදර බඩු මුට්ටුත් පොළවෙ ගහනවා... ටික දවසක ඉඳලා ඔළුව බදාගෙන කියනවා ඔළුව කැක්කුමයි කියලා... බේත් ගන්න එක්ක ගියෙත් මගේ උවමනාවට” නිමේෂ්ගේ මව යෙහෙළියට පැවසුවාය. 


“නරකද පුතාව පන්සලට එක්ක ගිහිං කපු මහත්තයට කියලා නූලක්වත් දැම්මොත්... පිරිමි දරුවෙක් වුණත් දෝෂ තියෙනවානෙ” අසල්වැසි යෙහෙළිය නිමේෂ්ගේ මවට එසේ කීවාය. “හ්ම් තව ටිකකින් යන්න ඕනෙ පුතාව එක්කගෙන කපු මහත්තයා ළඟට” නිමේෂ්ගේ මව කීවේ යෙහෙළියගේ කීම අනුමත කරමිනි. 


නිමේෂ්ගේ මව බොහෝ අපහසුවෙන් නිමේෂ්ව කැමති කරවා ගත් පසුව කපු මහතා ළඟට කැටුව ගියාය. විස්තර කියා අවසන් වූ පසු කපු මහතා දෙවියන්ට කැප කර නිමේෂ්ගේ කරට නූලක් දැම්මේය. “දින හතකින් එන්න යන්ත්‍රයක් දාන්න... ඔය අපලවලට ඇති වෙන ලෙඩ රෝග. ඒවට ප්‍රතිකර්ම කළාම ඕවා ඉබේම හරියනවා. ළමයා හරිම මුරණ්ඩු පාටයි. ඒවත් ඉබේම හරියයි සුරය දැම්මම” කපු මහතා කීවේ නිමේෂ් තරහෙන් යුතුව එතැනින් ඉවත්ව ගිය පසුය. 


නිමේෂ් පාසල් යන්නේ ද ඕනෑඑපාවටය. මුල දී ඉගෙනීමට තිබූ කැමැත්ත පවා මේ වෙද්දී ඔහුගෙන් දකින්නට නැත. පාසල් යන්න කී විට මවගේ ඇඟට කඩා පනී. එවිට මව නිහඬ වේ. නැගණිය දිහා රවා බලයි. පියාට ද කීකරු නැත. ඔහු නිවසේ සිටිනුයේ පිටස්තර පුද්ගලයෙකු සේය. නිතරම රූපවාහිනිය දෙස බලාගත්වනම සිටී. එහෙත් සිටිනුයේ ලොකු කල්පනාවකය. මව හෝ පියා යමක් කී විට රූපවාහිනියේ දුරස්ථ පාලකය පවා පොළොවේ ගසා කාමරයට ගොස් දොර වසාගනී. පාසලේ ගුරුවරුන්ගෙන් ද නිමේෂ්ගේ මවට පැමිණ ඔවුන් මුණගැසෙන ලෙස වරක් දෙවරක් නොව කීපවතාවක්ම පණිවුඩ ලැබිණි. 


කපු මහතා කී පරිදි දින හතකින් පසුව නිමේෂ් කැටුව බදාදා දිනක ගොස් රුපියල් හත්දහස් පන්සියයක් ගෙවා නිමේෂ්ගේ කරට අපලවලට සුරයක් දැමුවේය. පිළී ආහාර මාස තුනක් යනතෙක් ආහාරයට නොගත යුතු බව කපු මහතා කීවේ “සුරයේ බල බිඳෙයි එහෙම වුණොත්” කියාය. “මාස තුනක් කිලි අහුවෙන තැන්වලට යවන්නෙ නැතිව බලාගත්තොත් වඩාත් හොඳයි” කපු මහතාගේ කීම එසේම සිදුකරන බව නිමේෂ්ගේ මව පොරොන්දු විය. 


අපලවලට සුරය පැලැන්දූ දින සිට නිමේෂ්ට මස් මාළු ආහාරයට නොලැබිණි. කිරට සෑදූ එළවළුවක් හෝ දෙකක් සමඟ පමණක් බත් පිඟාන ලැබුණි. එහෙත් නැගණියට මස් මාළු ආහාරයට දෙයි. නිමේෂ්ගේ කේන්තිය තවත් වැඩි වූවා පමණි. මාස තුනක් ගතවී ද නිමේෂ්ගේ තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය. එසේම නිරන්තරයෙන්ම පීඩා විඳි හිසරදය නිසා ඔහු තවත් කිපුණේය. 


“කරුමෙ කරුමෙ” නිමේෂ් මවටත් පියාටත් ඇසෙන්නට කෑ ගසයි. නිමේෂ්ගේ කාමරයේ ද කිසිම පිළිවෙළක් නැත. ඔහුගේ සනීපාරක්ෂාව ගැන ද කිසිම තැකීමක් නොකරන ඔහු එක්කෝ යහළුවාගේ නිවසට ගොස් සවස නිවසට එයි. නැතහොත් කාමරයට වී දොර වසාගෙන සිටියි. මෙය බලාගෙන සිටිය නොහැකි තැන නිමේෂ්ගේ පියා උදෑසනම නිමේෂ්ගේ පාසලේ විදුහල්පතිතුමා හමුවී නිමේෂ් ගැන පවසා සිටියේය. 


“ඔළුව කැක්කුමයි කියලා පාසල් එන එකත් අඩු වේගෙන යනවා. ඒත් ඩොක්ටර්ස්ලට පෙන්නලත් සුවයක් නැත්තම් කරන්න තියෙන්නෙ දරුවව මානසික වෛද්‍යවරයෙක් වෙත එක්කගෙන යන එක. ඒක තමයි මව්පියන් වශයෙන් මේ වෙලාවෙ ඔයගොල්ලො කළ යුතු. හ්ම්... මං දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා... දරුවව ඒ ඩොක්ට ළඟට එක්ක යන එක තමයි සුදුසු... ඔය වගේ තත්ත්වයන්වලටත් ඒ ඩොක්ට ප්‍රතිකාර කරනවා... මනෝ චිකිත්සකවරයෙක්...” 


විදුහල්පතිතුමාගේ දැනුම්වත් කිරීම මත නිමේෂ් ඔහුගේ මව්පියන් විසින් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත කැටුව ගියේය. 


විද්‍යාකුලපති මහතාගේ අබියස දී නිමේෂ් කේන්තියෙන් පුපුරමින් අහක බලාගෙන සිටියා මිසක අසන කිසිවකටවත් පිළිතුරු දුන්නේ නැත. නිමේෂ්ගේ මව්පියන් පැවසූ කරුණුවලින් පසුව වෛද්‍ය විද්‍යාකුලපති මහතා මව්පියන්ට කාමරයේ පිටත රැඳී සිටින ලෙස පවසා මුලින්ම නිමේෂ්ව සංයමයට පත් කළේය. නිමේෂ් සමඟ තනිවම කතා කළේය. බොහෝ වේලාවක් කතා කළ පසු වෛද්‍යවරයා අසන සියලු‍ දේට නිමේෂ් පිළිතුරු දුන්නේය. 


විද්‍යාකුලපති මහතා නිමේෂ්ට සති කීපයක් මනෝ ප්‍රතිකාර ලබාදුන්නේය. නිමේෂ්ගේ හිසරද තත්ත්වය සහමුලින්ම දුරුවිය. එසේම නිමේෂ්ගේ සිතේ තිබුණු කලකිරීම, දුක, තරහ ආදිය ඉවත් වී සිත තුළට සතුට සැහැල්ලු‍ව ළංවිය. නිමේෂ්ගේ පෙර තිබුණු මළානික ස්වභාවය කෙමෙන් කෙමෙන් දුරු වී ගියේය. වෛද්‍යතුමා මෙම රෝගී තත්ත්වය පැහැදිලි කරදෙන්නට විය. 


“ඇත්තටම දරුවාට තිබුණේ විශාල මානසික ආතතියක්. මව්පියන්ගේ කාර්යබහුලත්වය. නැගණිය පමණක් දෙමාපියන්ගේ ආදරය දිනාසිටීම, ඇය ගැන පමණක් ඕනෑවට වඩා සොයා බැලීම සහ තමන්ට කිසිවෙකුත් ආදරයක් නැත යන හැඟීම් නිමේෂ්ගේ සිතට දරාගත නොහැකි තත්ත්වයක් වූවා. ඒ පීඩනයත් සමඟ දරුවාට දරාගත නොහැකි හිසේ කැක්කුමක් ඇති වී තිබෙනවා. නමුත් එය මානසික පීඩනය මත ඇතිවුණු මනෝ කායික රෝගයක් පමණයි. ඒ නිසා තමයි කායික වෛද්‍ය ප්‍රතිකාරවලින් නියම සුවයක් නොලැබුණේ. එම ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණ විට කළ යුතුව තිබුණේ මනෝ චිකිත්සකයකු හෝ මනෝ වෛද්‍යවරයකු කරා යාමයි. නමුත් ඔබලා ඒ වෙනුවට කළේ මිත්‍යා විශ්වාස පසුපස දිවීමයි. මා විසින් මෙහිදී කළේ දරුවාගේ මානසික ආතතියට මනෝ ප්‍රතිකාර ලබාදීම පමණයි. එසේම ඔබලා දරුවන්ගේ කාරණාවලදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියා විද්‍යාකුලපති මහතා නිමේෂ්ගෙ මව්පියන්ට අවවාද කළේය. 


වසර කීපයක් ගතවීද නිමේෂ්ට ඇතිවුණු දරුණු හිසරදය ඉන්පසු කිසිදිනෙක හටගත්තේ නැත. 

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත