මරුවා පෙනී පෙනී කෑම සොයා පනින කකුළුවෙක්


සමුදුර සුවිසැරිය

උදම් රළ හේතුවෙන් සෑම දිනකට දෙවරක්, මුහුද ගොඩබිමත් ගොඩබිම මුහුදත් බවට පරිවර්තනය වෙයි. හිරු උදාවත් සමග මුහුදු රළ ගල් පර වෙරළින් සෙමින් බැස යද්දී, සාගරය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන බොහෝ ජීවීන්ට අලුත් දවසක් උදා වෙයි. අභියෝග රැසකට මුහුණ දීමට ද සිදුවෙයි. කෙසේ නමුත් කුස පුරවා ගන්න වෙර දරන බ්‍රසීලයේ ‘සැලී ලයිට්ෆුට් කකුළුවන්’ මුහුණ දෙන්නේ එසේ මෙසේ අභියෝගයකට නොවෙයි. 

 

කකුළුවෝ


බ්‍රසීලයේ නිවර්තන කලාපීය මුහුදු තීරයේ වාසය කරන සැලී ලයිට්ෆුට් කකුළුවෝ දස දහස් ගණනින් සෑම දිනකම අරුණලු උදා වෙද්දී, වෙරළේ ගල්පර මතට එක්රොක් වෙයි. කුසගින්නේ සිටින මෙම කකුළුවන් මෙසේ එක්රොක් වී සිටින්නේ, මුහුදු ජල මට්ටම සෙමින් සෙමින් බැස යනතුරු ය. වෙරළේ ඔවුන් සිටින ස්ථානයේ සිට මීටර් සියයක් පමණ දුරින්, මුහුදු ජලය බැස යද්දී ගල් පර කිහිපයක් ඉහළට මතුවෙයි. කකුළුවන්ගේ ආහාරය ඇත්තේ මෙතැන ය. මෙම ගල් පරය මුහුදු ශාක, පෙඳ පාසිවලින් පිරුණු තැනකි. කුස පුරවා ගැනීමට නම් මෙම ගල් පරයට යා යුතුව ඇත. එපමණක් නොව, සවස් වෙද්දී ආපසු ගල්පර වෙරළට පැමිණිය යුතුය. සෙමින් සෙමින් කකුළුවන් එකා දෙන්නා බැගින් ඉදිරියට ඇදෙයි. උන් ගලින් ගලට පනිමින්, ගල් පර මතින් යයි. වතුරට කිට්ටු වීමට උන්ගේ වැඩි කැමැත්තක් නැත. 


මරුවා වතුරේ


කකුළුවෝ හැකි සෑම විටම ගල් පර සහ කුඩා ගල්වල රැඳී සිටීමට ලොකු උත්සාහයක් දරති. එය හරියට උන් වතුරට බියක් දක්වනවා වැනි ය. ගලින් ගලට පනිද්දී, වතුරට පතිත වුණොත් හැකි ඉක්මනින් උන් යළි ගල් පරයක් සොයා අඬු ගසා දමමින් ජලය මතින් දිව යයි. කකුළුවන් වතුරට බියක් දක්වන්නේ සාධාරණ හේතුවක් ඇතිවය. මරුවා වතුරේ රැඳී සිටී. ගත වන්නේ නිමේෂයකි. ගලින් ගලට පනින කකුළුවන් එකිනෙකා මාරයාට ගොදුරු වෙයි. වතුරේ සිට, වතුරෙන් ඉහළට පැන කකුළුවන් ගොදුරු කර ගන්නා මාරයා ආඳෙකි. මෝරේ ආඳෙකි. 


ගල්ගුල්ලා


මෝරේ ආඳා කරදියවාසී විලෝපිකයෙකි. සිංහලෙන් මේ සත්වයා හැඳින්වෙන්නේ ගල්ගුල්ලා යන නමිනි. කකුළුවන් ගොදුරු කර ගන්නා මේ මෝරේ ආඳා, වයිරම් මෝරේ ආඳෙකි. ‘වයිරම් මෝරේ ආඳා’ කකුළුවන් අල්ලා ගැනීමේ විශේෂඥයෙකි. තියුණු දත් සහිත, ලොකු කටක් ඇති, ශක්තිමත් හකුපාඩා ඇති සත්වයෙකි. කකුළුවාගේ ඝනකම් කට්ට බොහොම පහසුවෙක් පොඩි පට්ටම් කිරීමට ආඳාට හැකි ය. කකුළුවන්ගේ මාරක සතුරා මෝරේ ආඳා ය. ආඳා වතුරෙන් ඉහළට පනිමින් ගල්පරවල සිටින කකුළුවන් පවා එකිනෙකා ගොදුරු කර ගනිද්දී සෙසු කකුළුවෝ බියෙන් තැතිගෙන එක පොදියට ගුලි ගැසෙති. දැන් කුමක් කරන්නේදැයි කල්පනා කරති. කකුළුවන් සිටින්නේ කුසගින්නේ ය. ආහාර පිරුණු ගල් පරය ඈතින් දිස් වෙයි. උන් කෙසේ හෝ එතැනට යා යුතුය.


නිර්භීත තීරණයක්


එක් කකුළුවෙක් බය පැත්තකට දමා නිර්භීත තීරණයක් ගනී. ආහාර ඇති ගල් පරයට යෑමේ අධිෂ්ඨානයෙන් කකුළුවා වතුරට පනී. ඌ අඬු ගසා දමමින් ජලය මතුපිටින් දිව යයි. ඉක්මනින් කුඩා ගල් පරයකට ගොඩ වෙයි. යළිත් ලොකු පිම්මක් පැන තවත් පියවර කිහිපයක් ඉදිරියට යයි. තවත් ගලකට ගොඩ වෙයි. එතැනින් තව ගලකට පනී. හැකි උපරිම වේගයෙන් ඉදිරියට යයි. ගල් පරයකට ගොඩවුණු සැණින්, ගිමන් හරින කකුළුවා ඇස් කරකවමින් වටපිට බලයි. ඒ ආඳා සිටින්නේ කොහේදැයි සොයමිනි. කකුළුවා මේ වනවිට යා යුතු දුරින් අඩක් ගෙවා අවසන් ය. මෝරේ ආඳා ද කපටියෙකි. වතුරේ ජීවත් වුවත්, ගොඩබිමට පැමිණ දඩයම් කිරීමට ද ආඳාට හැකි ය. ආඳා සෙමින් ගල් පර මතින් ඇදී යන්නේ, කකුළුවාගේ ගමන හරස් කිරීමට ය. ආඳා කකුළුවාට ඉදිරියෙන් ගල් පර සහ දියකඩිති අතර සැඟවී උගුලක් අටවයි.


තවත් මරුවෙක්


කකුළුවාට ආපසු හැරී යා නොහැකි ය. ඌ ඉදිරියට යා යුතුය. ටික වේලාවක් ගිමන් හරිමින් සිටි කකුළුවා යළි දිවීම ආරම්භ කරයි. ලොකු පිම්මකින් ගලින් ගලට පනිමින්, දිය කඩිති අතරින් කකුළුවා දිවයයි. මේ අතර, තවත් විලෝපිකයෙක් දිය කඩිති අතර ගැවසෙයි. මේ බූවල්ලෙකි. බූවල්ලා ද ආඳා මෙන්ම කකුළුවන් ගොදුරු කර ගනී. සැඟවී සිට කකුළුවන් ගොදුරු කර ගැනීමට බූවල්ලා හපනෙකි. කකුළුවා හැකි උපරිම වේගයෙන් ගලින් ගලට පනිමින් සහ ගල් පර අතරින් දිය කඩිති හරහා දිව යයි. එක් දිය කඩිත්තක සැඟවී සිටින බූවල්ලා අඬු දිගු කරමින් කකුළුවා අල්ලා ගැනීමට වෙර දරයි. කකුළුවා වේගයෙන් එතැනින් පිම්මක් පනී. ඌ බූවල්ලාගේ අඬුවලට හසුවන්නේ නැත. බූවල්ලාගෙන් බේරෙන කකුළුවා දැන් යන්නේ ආඳා සැඟවී සිටිත තැනට ය.


අවසන් සටන


බූවල්ලාගෙන් බේරී ඉදිරියට දිවයන කකුළුවා අල්ලා ගැනීමට මෝරේ ආඳා සූදානම් ය. කකුළුවා මෝරෝ ආඳා සිටින තැන දැක වෙනත් මගකින් ඉදිරියට දිව යයි. මෝරේ ආඳා කකුළුවාට දෙවැනි වන්නේ නැත. ඌ ගල් පර අතරින් ඇදෙමින්, දිය කඩිති අතරින් පිහිනමින්, වේගයෙන් කකුළුවා ලුහුබඳී. වතුර මතින් දිව යන කකුළුවා ගල් පරයකට ගොඩවීමට පනින්න උත්සාහ ගනිද්දී, විදුලි වේගයෙන් පිටුපසින් පැමිණෙන ආඳා ඉහළට පැන කකුළුවාගේ අඬුවක් ඩැහැ ගනී. ආඳා කකුළුවා වතුරට ඇද ගැනීමට උත්සාහ දරයි. එහෙත්, කකුළුවා උත්සාහය අත් හරින්නේ නැත. ඌ අඬු ගසා දමමින් පණ බේරා ගන්න සටන් කරයි. තත්පර කිහිපයක් ඇතුළත, ආඳාගේ ග්‍රහණය ලිහිල් වෙයි. ඒ සමග විදුලි වේගයෙන් පිම්මක් පනිමින්, කකුළුවා ගල් පරය මතට ගොඩවෙයි. ඒ පිම්මත් සමගම ඌ පණ බේරා ගනිමින් ඉදිරියට දුවයි. කකුළුවා නතර වෙන්නේ ආහාර පිරි ගල් පරයට ළං වූ පසුවය. මරණයට අභියෝග කළ කකුළුවාගේ වික්‍රමය අවසන් ය. මුහුදු ශාක, පෙඳපාසි සහ දිය සෙවල පිරි ගල් පරය මතට දැන් ඌ පැමිණ සිටී. එතැන ඌට ආරක්ෂාව ලැබේ. කාගෙන්වත් බාධාවක් නැත. දැන් ඉතිං උදම් රළ නැගෙන්න පෙර ඌ බඩකට පුරවා ගත යුතුය.

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න
බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි