මර්දනයෙන් පසු ජවිපෙ කාන්තා සංගමය ගොඩනැඟූ හැටි


සමාජයේ හරස්කඩක්   

සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ - 3   

 

 

 

අපි මුලින්ම කාන්තා සංගමය විදිහට වැඩ පටන් ගන්නකොට ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම සංවිධායිකාවන් හිටියේ නැහැ. පක්ෂෙත් එක්ක කලින් වැඩ කරපු, එහෙමත් නැත්නම් පක්ෂෙ පවුල්වලට සම්බන්ධ සහෝදරයන් කීප දෙනකු එකතු කරගෙන ටිල්වින් සහෝදරයා සාකච්ඡාවක් කළා. ඊට පස්සේ ඒ අය කොළඹ හා කොළඹට ආසන්න දිස්ත්‍රික්කවලට සංවිධායිකාවන් හැටියට පත් කරගෙන අපි වැඩ ආරම්භ කළා. එහෙම කළේ ආරම්භයක් ගන්න පහසුවෙන්න. එහෙම වැඩකරගෙන යද්දි අපිට වසර දෙකක් පමණ වන විට තවත් දිස්ත්‍රික්ක ගණනාවක සංවිධාන ගොඩනගා ගන්න හැකි වුණා.   


ජවිපෙ ගොඩනැගීමට සමාන්තරව කාන්තා සංගමයේ දෙවන වර ගොඩනැගීම සම්බන්ධයෙන් සමන්මලී සහෝදරිය මතකය අවදි කළේ එලෙසිනි.   


දැවැන්ත මර්දනයකට මුහුණ දීලා හැට දාහක් පමණ ඝාතනයට ලක්වෙලා, පක්ෂ නායකත්වයත් ඝාතනයට ලක්වෙලා තිබුණ වෙලාවක, සාමාන්‍ය මනුස්සයෙක් ජවිපෙට කිට්ටු කරන්නවත් බයයි. අපට දේශපාලනය කරන්න නොදී පක්ෂය තහනම් කරලා, අපිට කැලේට ඇදලා දාපු එක ගැන ඒ වෙලාවේ කවුරුවත් කතා කළේ නැහැ. සිදුවුණ හැම වැරැද්දක්ම අපේ පිට තමයි එදා පැටුවණේ. ඒ නිසා සම්බන්ධකම් හොයනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. සහෝදරවරුන්ගෙන් ලැබුණ සහයෝගය නිසා අපිට පක්ෂයේම පවුල්වලින් සහෝදර සහෝදරියෝ පිරිසක් එකතු කරගෙන වැඩ පටන් ගන්න පුළුවන් වුණා. ඒත් පසු කලෙක අපිට පක්ෂයට කිසිම සම්බන්ධයක් නැති පවුල්වල දරුවෝ ජවිපෙ සමග වගේම සමාජවාදී කාන්තා සංගමය සමගත් සම්බන්ධ කරගන්න හැකි වුණා.   


ජනතාව අතරට කාන්තා සංගමය අරන් යන්න අපි 96දී කාන්තා විමුක්ති පුවත්පත පටන් ගත්තා. අපි පත්තරය අරන් ගමක් ගමක් ගානේ ඇවිදලා කැන්වසින් කළා. නගරවල ඇවිදලා, බස්වලට නැගලා, කතා කරලා පත්තරය වික්කා. ඒ වෙලාවට අපිට නොයෙකුත් අවලාද ආවත් පත්තර දහයක් හරි කැමැත්තෙන් ගත්තා නම් ඒක තමයි අපේ තෘප්තිය වුණේ. බැනපු දේවල් අපි තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ.   


ඒවා ගැන කතා කරලා අපි විහිළු කරගත්තා මිසක් දුක් වුණේ නැහැ. එහෙම දුක් වුණා නම්, ඒවායින් අපි වැටුණා නම් අපිට මේක ගොඩනගන්න වෙන්නේ නැහැ. අපිත් එක්ක වයසක අම්මලා පවා පත්තර විකුණන්න ගම්වල ඇවිදින්න ආවා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. ඒ සමහර අම්මලාගේ පුත්තු 89 මර්දනය අවස්ථාවේ අතුරුදන් වෙලා. තවත් සමහරුන්ගේ පුත්තු අත්අඩංගුවට පත්වෙලා නොයෙක් වදබන්ධනවලට ලක්වෙලා තිබුණා. එහෙම පවුල්වල අම්මලා කීප දෙනෙක් හරි අපිත් එක්ක එකතුවීම ලොකු ශක්තියක් වුණා.   


සුජාතා කියන්නෙත් ජවිපෙ 94න් පසු නැගිටීමේදී එකතු වුණ තවත් සහෝදරියක්. ඇය තමන්ගේ අත්දැකීම අප සමග පැවසුවේ මේ ආකාරයටය.   


මගේ අය්යා ජවිපෙට සම්බන්ධ වෙලා අත්අඩංගුවටත් පත්වෙලා නිදහස් වුණ කෙනෙක්. ඒත් 94න් පස්සේ වැඩ පටන් ගන්නකොට එයා ආපහු ඒ වැඩවලට සම්බන්ධ වුණා. එයා මාවත් රැස්වීම්වලට එක්ක ගියා. මුලින්ම ගියේ ඉල් විරු සමරුවකට. මම හිතන්නේ ඒ 95 අවුරුද්දේ. එදා විජේවීර සහෝදරයා දුව ඊශා විජේවීර තාත්තාට ලියපු ගීතයක් විමුක්ති ගී අතර ගායනා වුණා. ඒක අහලා මම ගොඩක් සංවේදී වුණා. ප්‍රධාන දේශනය කළේ ටිල්වින් සිල්වා සහෝදරයා. ඔහු කරපු කථාව විශේෂයෙන්ම 88-89 මර්දනයට ජවිපෙ සාමාජිකයන් මුහුණ දුන්න හැටි, සහෝදරවරු ගොඩක් මැද හිටපු සහෝදරියන්ගේ ගෞරවයත් ආරක්ෂා කර ගනිමින් කැලෑවල් මැද්දේ සැඟවී හිටපු ජවිපෙ සහෝදරවරු ගැන කියපු කතා මගේ හිත් ගත්තා. මම එදාම ඒ පක්ෂයේ සාමාජිකයකු වෙන්න ඕන කියලා වැඩේ ඉවර වුණාට පස්සේ ගිහින් පත්තර විකුණමින් හිටිය පිරිසක් ළඟට ගිහින් සාමාජික ෆෝම් එකක් ඉල්ලුවා. එතන හිටපු සහෝදරයෙක් හිනාවෙලා මාත් එක්ක සුහදව කතා කළා.   


නංගී අපි ෆෝම් පුරවලා සාමාජිකයෝ බඳවා ගන්නේ නැහැ. නංගි කැමති නම් ඇඩ්‍රස් එක දෙන්න, නැත්නම් ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් අපිට කියන්න. අපි හම්බවෙලා කතා කරමු. මේකේ වැඩකරන ආකාරය අනුව තමයි ඔයා සාමාජිකයකු වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙම නැතිව සාමාජික මුදලකින් නෙවෙයි කියලා ඔහු මට පැහැදිලි කළා. ඒක මගේ හිතට තවත් කාවැදුණා. ඒ වෙලාවෙම මම ලිපිනය දුන්නා.   
ටික දවසකට පස්සේ වැඩිහිටි කාන්තාවක් ආවා මාව හමුවෙන්න. එයාට කවුරුත් කිව්වේ කාන්ති අක්කා කියලා. ඒ නිසා මමත් එහෙම කිව්වා. කාන්ති අක්කා මාව මුණගැහිලා කැන්වසින්වලට එක්ක ගියා. මම කිසිම දෙයක් කියන්න දන්නේ නැති නිසා මුලින්ම එයාලා ගෙවල්වලට ගිහින් කතා කරද්දි මම අහගෙන හිටියා විතරයි. ඊට පස්සේ මම කිව්වා මට මේ විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඒ පාර මාව පක්ෂේ අධ්‍යාපන වැඩවලට සම්බන්ධ කරගත්තා.   


ජවිපෙ පංති පහ කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතිං ඒ පංති පහ මමත් කළා. ඒ කාලේ පංති කරන්න ගොඩක් අය නැහැ. අපේ දිස්ත්‍රික්කයේ ඒ වෙලාවේ පංති කරන්න ඔක්කොම හිටියේ හය දෙනයි. අපි හයදෙනාම එක ගෙදරකට එක්ක ගිහින් දවස් තුනක් එකදිගට එක තැන තියාගෙන අපිට ඉගැන්නුවා. ඒ සමහර දේවල් එකවරම වැටහුණේ නැතත් පස්සේ පොත පත කියවද්දි තේරුම් ගන්න පුළුවන් වුණා.   
ඊට පස්සේ මමත් තනියම කැන්වසින් එකක කතා කරන කෙනෙක් වුණා. ඒ කාලේ අපිට තිබුණ ලොකුම සතුට තමයි තනියම ගෙදරකට ගිහින් කතා කරලා කෙනෙකුට කරුණු පැහැදිලි කරලා කෙනෙක් ප්‍රශ්න අහමින් සම්බන්ධ වෙන තත්ත්වයට ගන්න හැකිවීම. එහෙම කතා කරන අය වැඩිවුණ තරමට අපිට සතුටුයි. ඒ ඔවුන් අපිට ඇහුම්කන්දීමටවත් සූදානම් වීම නිසයි. ඒ අය ඉදිරිපත් කරන ප්‍රශ්නවලට හරියට උත්තර දෙන්න ලැබුණාම ඒ තෘප්තිය වැඩිවෙනවා. නගරයක කැටයක් හෙලෙව්වොත් මගේ කැටයේ අනෙක් හැමෝටම වඩා සල්ලි එකතු වෙලා තියෙනවා නම් එක තමයි මගේ සතුට. ඒ විදිහට මම ටිකින් ටික පක්ෂයේ අර්ධ කාලීනව වැඩකරන කෙනකු වුණා. 96දී තමයි මම පූර්ණ කාලීනව වැඩ කරන්න පටන් ගත්තේ.   


මම පූර්ණ කාලීනව වැඩ කරද්දී අය්යා ඒකට එකඟ වුණේ නැහැ. එයා කිව්වා ඔයා හොඳට ඉගෙන ගෙන තියෙනවානේ, නංගී පක්ෂයට සහයෝගය දෙන්න, ඒත් රස්සාවක් කරන්න කියලා. මම අය්යාගෙන් ඇහුවා, ඒ කියන්නේ ජවිපෙ ඉන්නේ ඉගෙන ගත්තේ නැති අයද කියලා. අය්යාට උත්තර තිබුණේ නැහැ. මම ඇහුවා රෝහණ සහෝදරයා වෛද්‍යවරයෙක් වෙන්න තිබුණ අවස්ථාව අහිමි කරගෙන පක්ෂය ගොඩනැඟුවා නම් ඇයි අපිට බැරි ඒ පක්ෂය ගොඩනගන්න? අපි අපට පොඩි පහේ රස්සාවක් කැප කරන්න බැරි? කියලා. ඒ පාර අය්යා කිව්වා නංගී ඔයා ගෑනු ළමයෙක්. ගෑනු ළමයෙකුට මේවා හරියන්නේ නැහැ. ඔයාට ඕවා තේරෙයි කසාද බඳින වයසකදී කියලා. මම කිව්වා කසාද බැඳලා මේක කරන්න බැරි වුණොත් මම ඒකත් නවත්තනවා කියලා. එහෙම තමයි මම අය්යාගෙන් ආපු විරෝධය නවත්ත ගත්තේ.   


පක්ෂේ පූර්ණකාලීන ආවාට පස්සේ අයියාගෙන් මම මුදල් ඉල්ලුවේ නැහැ. එයාම හිතලා කීයක් හරි දුන්නා නම් හැර මම මුදල් ඉල්ලන්න ගියේ නැහැ. මොකද ඒකත් එයා මාව නවත්තන්න හේතුවක් කරගනී කියලා හිතපු නිසා. පක්ෂේ සාමාජිකයන්ගේ හිතවතුන්ගේ ගෙවල්වලින් ලැබෙන මුදල අනුව බස් එකේ යනවාද? පයින් යනවාද කියලා කොයි තරම් දුර පයින් යනවාද කියලා තීරණය කරනවා. දවල්ට කන වෙලාවටම ගෙවල්වලට යැවෙන්නේ නැහැ. ඉතිං සමහර දවස්වලට රෑට හිටපු ගෙදරින් උදේට කන්න දෙයක් ලැබුණොත් ඒක විතරයි රෑ වෙනකල්ම. අඩුම තරමින් කඩේකින් තේ ටිකක් බොන්නවත් අපි ගාව සල්ලි නැහැ.   


එක දවසක් මට මතකයි මම රඹුක්කන පැත්තේ ගෙදරකට ගියපු හැටි. ඒ ගෙදර තිබුණේ කන්දක් මුදුනේ. මුළු වත්තම තනිකරම රබර් වත්තක්. වැස්සට වතුර බහින කානු වගේ තමයි ගෙදරට යන්න පාර තිබුණේ. මුදුනටම ගියාම තමයි ගෙවල් කීපයක් තියෙන්නේ. එතෙක් පාළු වත්ත විතරයි. උදේට කාලත් නැතිව මම ගියේ. කන්ද නැගගෙන යද්දී ලොකු වතුර තිබහක් ආවත් ගෙයක් දොරක් නැතිව කාගෙන් වතුර ඉල්ලන්නද? කන්ද මුදුනටම ගිහින් ගෙදරට ගිහින් බලනකොට ඒ ගෙදර කවුරුත්ම නැහැ.   


අල්ලපු ගෙදරින් වතුර ටිකක් ඉල්ලගෙන බීලා ආපහු පල්ලම් බැස්සා. එහෙම තමයි අපි වැඩ කළේ. කවුරුහරි දුන්නොත් ලැබුණොත් කෑවා. ඇඳුමක් දුන්නොත් ඇන්දා නැත්නම් තියෙන ඇඳුම දෙක හෝද හෝද මාරුවෙන් මාරුවට ඇන්දා. සමහරු අපිව අඳුනගන්නේම ඇඳුමෙන්. දුර තියා ඇඳුම දැක්කාම ඔය එන්නේ අහවලා කියලා කියන්න නිතර දැකලා පුරුදු අයට පුළුවන් වුණා.   


සුජාතා සහෝදරිය පෙන්වා දුන්නේ 


95-96 කාලයේ තත්ත්වයයි. 2008 කියලත් ලොකු වෙනසක් නැහැ කියලා හිතෙන්නේ අනුරාධපුරයේ සුරේකා සහෝදරියගේ කතාව ඇහුවාමයි.   


සුරේකා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ පාසල් යන කාලයේදියි. ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවක් ලෙසයි.   


මම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ 2008 දී. ඒ වෙනකොට පක්ෂය ගොඩක් ඉදිරියට ඇවිත් තිබුණා රටක් හැටියට. ඒත් අනුරාධපුරය වගේ දුෂ්කර ප්‍රදේශයක අපිට වැඩ කරද්දි ලැබෙන දුෂ්කරතාවන්ගේ නම් අඩුවක් තිබුණේ නැහැ. මට ජවිපෙ කියන්නේ විශ්වවිද්‍යාලයක් වගේ වුණා. ඒ නිසා උසස් පෙළ දෙවන වර පෙනී සිටීම නවත්වා මම පූර්ණ කාලීන දේශපාලනය තෝරගත්තා. අපිට තිබුණ සම්බන්ධකම් බොහොමයක් ගොවි පවුල්වල අයගේ. ඒ අය ගොවිතැනක් කරගෙන ජීවත් වුණේ දහඅතේ ණය වෙලා. 

 
ඒ නිසා අපිට බස් ගාස්තුවක් ඉල්ල ගන්න නෙවෙයි ඔවුන්ට පිහිට වෙන්න තමයි අපිට සිදුවුණේ. ඒ තරම්ම ඒ අය අසරණයි. ඒත් අපි ඒ ගෙවල්වලට ගියාම කන්න බොන්න තියෙන හැටියකට දීලා බොහොම සුහදව කතා බහ කරනවා. උදේට යන්න ලෑස්ති වෙනකොට රුපියල් පනහක් හරි දීලා බස් එකට තියාගන්න කියලා කියනවා. ඒ ලැබෙන මුදලින් තමයි අපි සමහර විට දවස් දෙකක් විතර ගත කරන්නේ. පයින් යාම එපා වුණාට පස්සේ මම ගෙදර තිබුණ බයිසිකලේ (පාපැදිය) අරන් ආවා.   


එහේ තියෙන්නේ වැඩිපුරම අලි ඉන්න කැලෑවල්. ඒ තැන්වලින් යන එක හිතට හරිම බයක්. ඒත් කරන්න දෙයක් නැහැනේ. සමහර දවල්වල පැච් ගිහින් හැතැප්ම ගාණක් බයිසිකලෙත් තල්ලු කරන් පයින් යනවා. ඊට පස්සේ මට යතුරුපැදියක් ලැබුණා. ඒක අපේ හිතවත් සහෝදරයෙක් කාලයක් පාවිච්චි කරපු එකක්. අඩුපාඩු හදලා මට දුන්නා. මම ඊට පස්සේ ගමන් බිමන් ගියේ ඒකෙන් තමයි.   


පක්ෂෙට සම්බන්ධකම් සොයාගෙන අපි ගෙවල්වලට ගියා. ඒ කැන්වසින්වලදී ලැබෙන ලිපිනයන් අනුව හෝ කාගේ හෝ හිතවත් කමක් අනුව ලැබෙන ලිපින අනුව. ඒ ගියාම අදාළ පුද්ගලයා හැර ගෙදර ඉන්න අනිත් අය කැමති නැති නිසා මුලින්ම යන්නේ මොනවා හරි බොරුවක් කියාගෙන. ඊට පස්සේ ටික ටික අපි ඒ ගෙවල්වල අනෙක් සාමාජිකයන්ගේ හිත දිනාගන්නවා. ඒ ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයලා දීලා. උත්තර හොයලා දෙනවා කියන්නේ මුදල්වලින් නෙවෙයි. දැනුමෙන්. සමහර පවුල් ප්‍රශ්නවලට පවා අපිට උත්තර හොයාදෙන්න සිදුවෙනවා. ඒ දේවල් නිසා ඔවුන් තමන්ගේ දුක කියන්න ඉන්න කෙනෙක් විදිහට අපව පිළිගත්තා.   


අපේ ගම්වල සමහර අයට ඉන්න හිටින්න හරියට තැනක් නැහැ. අපි මන්ත්‍රී අරමුදල්වලින් මුදල් යොදවලා, මදිපාඩුවට හිතවතුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන්ද මුදල් යොදවා ගෙවල් හදලා දීලා තියෙනවා. සමහරුන්ගේ ගෙවල් සෙවිලි කරලා දීලා තියෙනවා. තවත් සමහර කෙනෙකුගේ වැසිකිළිය හදලා දීලා තියෙනවා. ගමේ නාන ළිඳ හදලා දෙනවා. මේ දේවල්වලට වැඩි පුරම යොදවන්නේ අපේ ශ්‍රමය. අපි වැඩ කරන දිහා බලාගෙන ඉඳලත් සමහර විට ඒ ගම්වල තරුණයෝ හිතවත් වෙනවා. මොකද අපි සහෝදරන්, සහෝදරියන් කියලා කිසිම වෙනසක් නැහැ. හැමෝම සුහදව වැඩ කරනවා. ඒ වගේම අපේ අය සිගරැට්, මත්පැන් කිසිවක් නැතිව විනෝදෙන් වැඩ කරනවා. ගොවි ගෙදරට ගියාම ඒ අයත් එක්ක විට ටිකක් කාලා කතා කර කර ඉන්නේ ගෙදර අය වගේ. ඉතිං මේ දේවල් නිසා අපිට ගොඩක් අය සමීප වුණා.   

 


2008 කියන්නේ පක්ෂය තරමක් ඉදිරියෙන් තිබුණ කාලයක් වුණත් මම මුලින් කිව්වා වගේම අපේ පළාතේ තිබුණ ආර්ථික අමාරුකම් නිසා වැඩ කරන්න මුදල් හොයාගත්තේ කැට හොලවලා. ඇතැම් අවස්ථාවල අපි ගොවිබිම්වල කුලියට වැඩ කළා. මට මතකයි අපි එක වතාවක් දින දෙකක් හේන්වල බටු කැඩුවා. එක් කෙනෙකුට ඒ දවස්වල කුලිය දුන්නා රුපියල් හයසීයක්. අපි තුන් දෙනෙක් වැඩ කරලා දවස් දෙකකදී තුන්දාස් හයසියක් හොයා ගත්තා. මට මතක හැටියට කාන්තා දින උත්සවයට කොළඹ යන්න බස්එකේ කුලියේ මදිපාඩුව හෝ පෝස්ටර්වලට ගෙවන්න හෝ අවශ්‍ය මුදල හොයන්න තමයි එහෙම කළේ.   


සුරේකලාගේ, සුජාතලාගේ, නන්දසීලි අක්කලාගේ වගේම තවත් අයගෙත් අත්දැකීම් ගොඩක් තියෙනවා ඔබත් සමග කතා කරන්න.   


වැටුපක් නැතිව ජවිපෙ සාමාජිකයෝ ජීවත් වෙන්නේ කොහොමද? ඔය කිව්වට එන්ජීඕ කාරයෝ සල්ලි දෙනවා ඇති. ඒවායින් වැටුපක් ගෙවනවා ඇති. මොන යකාද වැටුපක් නැතිව වැඩ කරලා පිකට්වලට ගිහින් ගුටිත් කන්න එන්නේ? වෙන සාමාන්‍ය පක්ෂයකට නැති තරමේ පක්ෂ කාර්යාලයක් ජවිපෙට කොහෙන්ද සල්ලි නැත්නම්? ජවිපෙ මන්ත්‍රීවරු වැටුප් ගන්නේ නෑ කිව්වට රජයට ආපහු දෙන්නෙත් නැහැනේ. ඔය අරමුදලට කියලා දාලා ආපහු මන්ත්‍රීවරුන්ටම ගෙවනවා ඇති. මේ වගේ මතවාද, විචිකිච්ඡාවන් සාමාන්‍ය සමාජයේ කොතෙකුත් පවතී.   


සමාජවාදී කාන්තා සංගමය යනු ජනතා විමුක්ති පෙරමුණේ කාන්තා අංශයයි. ලබන කලාපයෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන්නටය.   

 


සටහන හා ඡායාරූප 
මුදිතා දයානන්ද