මරණයේ සංඥාව බිත්තියේ සටහන් කළ දැරියක්


මරණාසන්න මනෝ සංඥා

 

 

ගවේෂා දැරියගේ මාරාන්තික අනතුර සිදුවීමට මාස තුනකට පෙර ඇය නිවසින් යන බැව් මරණයේ සංඥාවක් ලෙස තැබූ සටහන මේ දක්වා නිවසේ බිත්තියේ ආරක්ෂා සහිතව තබා ඇත. මරණයට පෙර මෙවැනි ප්‍රකාශ නිකුත්වීම කිසියම් අධිමානසික බලවේගයක් මගින් සිදුවන්නක් ලෙස මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂකයෝ විග්ලේෂණය කරති. EXTRA SENORY  PERCEPTION යනුවෙන් හැඳින්වෙන මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ අතරද මෙවැනි සිදුවීම් දක්නට ලැබේ. 
මරණාසන්න මනෝ සංඥා හෙළි කළ අය අතර කුඩා දරුවෝ රැසක්ද සිටිති. කුඩා දරුවන් විසින් ඇතැම් විට කරනු ලබන ප්‍රකාශ තුළ එවැනි සංඥා ඇතුළත් වී තිබේ. මාරාන්තික අනතුරු කල් තියා දැනුම් දෙන සටහන් සහ විවිධ චිත්‍ර නිර්මාණය කළ දරුවෝද ඒ අතර සිටිති. මරණයේ අභිරහස් ලෙස පිළිගැනීමට හේතුවූ එවැනි සිදුවීම් රැසක් මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ඇත.


මරණය පිළිබඳව කල් ඇතිව සංඥාවක් ඉදිරිපත් කළ දැරිය පිළිබඳව මීට වසර කීපයකට උඩදී පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. එම දැරියගේ නිවසේ බිත්තියක ලියා තිබූ වදනක් මගින්  කියවුණේ ඇය නිවසින් යන බවය.


එම සටහන තැබූ පුංචි දැරිය ඉන් මාස තුනකට පසු ඇය සඳහන් කළ පරිදිම ජීවිතයෙන් සමුගෙන ගියාය. හදිසි රිය අනතුරකින් මරණයට පත්වූ එම දැරිය උපත ලැබුවේ 2002 ජූනි මස හයවැනිදාය.


පන්නල පදිංචි බැංකු නිලධාරීයෙකු වූ ආනන්ද මහතා සහ ලලිතා යුවලගේ දරු දෙදෙනාගෙන් බාල එකම දියණිය වූයේ ගවේෂාය. කුඩා වියේ සිටම ගවේෂා දැරියගේ සිරිත වූයේ අන් දරුවන් මෙන් නිවසේ බිත්තියේ විවිධ සටහන් සහ චිත්‍ර ඇඳීමය. ඇතැම් විට ඇය විසින් එසේ  අඳිනු ලබන චිත්‍ර සහ සටහන් බිත්ති තීන්ත ආලේප කිරීම්වලදී මැකී ගියද ඇය නැවත නැවත ඒවා ඇඳීම සහ ලිවීම නොකඩවා සිදුකළාය. 


අධ්‍යාපනයටද දැඩි උනන්දුවක් තිබූ මෙම දැරිය තනිවම ප්‍රශ්න ලියාගෙන ඒවාට පිළිතුරු  ලිවීමට තරම් බුද්ධිමත් දැරියක් වූවාය. ඇගේ මෙම ක්‍රියාවද තම දියණිය තුළවූ අතිවිශේෂ දස්කමක් ලෙස දෙමාපියන්ටද දක්නට ලැබිණි. ඒ වනවිට පන්නල ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ ඇය නිවසේ සිට පාසල් ගියේ වෑන් රථයකිනි. එම වෑන් රිය නිවස අසලටම පැමිණ ඇය රැගෙන යාමත් නැවත නිවසටම රැගෙන ඒමත් සිරිතය.


සැම දිනකම දියණිය එනතුරු මව මග බලමින් සිටින්නීය. වෑන් රිය නිවස අසල නතර කළ විට ආරක්ෂා සහිතව ඉන් බැස එන ලෙසද මව විසින් දියණියට උපදෙස් දී තිබිණි. ඒ අනුව ඇය සෑම දිනකම ආරක්ෂා සහිතව වෑන් රියෙන් බැසීමටද පුරුදුව සිටියාය.


නිවසට පැමිණ දැරිය පැමිණි වෙලේ සිට පාසල් වැඩ කටයුතුවල නියැලීමටත් බිත්තිවල සටහන් ලිවීමත් නිතර සිදුකළාය. දිනක් ඇය විසින් බිත්තියේ ලියා තිබූ සටහනක් මවට දක්නට ලැබිණ. එහි සඳහන් වූයේ, 


‘‘මේ ගෙදරින් මම යනවා
අම්මා, තාත්තා, අයියා, මීට දුව ගවේෂා  යනුවෙනි.
මෙම සටහන දුටු මව දියණියගෙන් ඒ පිළිබඳ විමසීමක් කළාය.
ඔයා මොකක්ද මේ ලියල තියෙන්නේ?
මව ප්‍රශ්න කළ විට ඇය කිසිදු පිළිතුරක් නොදී සිනහ මුහුණකින් සිටියාය.


දියණියගේ මෙම සටහන තම සැමියාටද පෙන්වා දුන් ගවේෂාගේ මව එය කුඩා දරුවන් විසින් කරනු ලබන ක්‍රියාවක් ලෙස සිතුවාය. දෙමාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළහ.


මේ අතර  ගවේෂාගේ ගති සිරිත් අතර තවත් සුවිශේෂි බවක් දෙමාපියන්ට දක්නට ලැබිණි. එනම් කිට්ටුම ඥාතිවරයන්ගේ උපන් දින පිළිබඳ ඇයට ඉතා හොඳ මතකයක් තිබීමය. ඇතැම් විට ඔවුන්ගේ උපන් දින වර්ෂ සහිතව පිළිවෙළින් ඒවා ගණනය කර කල් ඇතිව  මරණයට පත්වන්නෙ කවුරුන්ද යන්න ගණනය කිරීමය.


තවත් දිනක් ඥාතිවරයෙකුගේ නිවසට ගිය ඇය ‘‘ මම මැරුණොත් වැඩියෙන්ම අඬන්නේ කවුරුද?’’ යයි විමසුවාය. දියණියගේ මෙම වදන් ඇගේ පැසුණු කතා ලෙස ඔවුහු සිතුහ. ගෙදරින් යනවා යයි ඇය නිවසේ බිත්තියේ ලියා මාස තුනක් ගතවිණි. ගවේෂා  සිරිත් පරිදි වෑන් රියෙන් පාසල වෙත ගියාය. පාසල අවසන්වී ඇය නිවසට එන වේලාව ළඟාවිය. මව නිවස තුළ සිටියාය. වෑන් රථය නිවස අසල නතර කරන හඬ  මවට ඇසුණි. දියණිය නිවසට එනු ඇතැයි මව බැලුවාය.
නිවසට ඒමට ඇය වෑන් රථයෙන් බැස අඩි කීපයක් ගමන් කළාය. රථය යළි පණගන්වා පිටත්වූයේ පුංචි දැරිය රථයේ ගැටිමෙනි. සිදුවූ අනතුරින් දැරියට බරපතළ තුවාල සිදුවී සිරුරෙන් රුධිර ගලා ගියේය.  ඇය වහා රෝහල්ගත කැරිණි. නාසයෙන් ලේ වහනය වූ දැරිය දින පහක් තිස්සේ සිහිසුන්ව සිට ජීවිතයෙන් සමුගත්තේ දෙමාපියන් සහ සොහොයුරා දැඩි කම්පාවට පත් කරවමිනි.


 මෙම දැරියගේ ප්‍රකාශත් ඇය විසින් බිත්තියේ ලියා තිබූ සටහනත් ඇගේ මරණය පිළිබඳ සිදුකළ මනෝ සංඥා ලෙස පිළිගැනීමට සිදුවිය. ගවේෂාගේ කුඩා කල සිට තිබූ හැසිරීම් රටා පිළිබඳව විමර්ශනයක් කිරීමට ඒ දිනවලදී අපට අවස්ථාව ලැබිණ. එහිදී ගවේෂාගේ   ගති සිරිත් පිළිබඳව මව කළ සාකච්ඡාව ඒ අයුරින්ම මෙසේය.


‘‘දුව ඉගෙනීමට තිබුණේ පුදුම ආශාවක් සහ උනන්දුවක්. ඉස්කෝලේ ඇරිල ආව වේලේ සිට මොනව හරි ලියනවා. අඳිනවා. එයා ඒවාට හරිම උනන්දුයි. වයසට වඩා පැසුණු බවක් එයාගෙන් දුටුවා. පාසලේ උගන්වන දේවලට වඩා එයා වෙනත් පාඩම් ගැනත් උනන්දුයි. සමහර වේලාවට එයාම ප්‍රශ්න ලියාගෙන ඒවාට පිළිතුර ලියලා හරිද  බලන්න කියලා අපිට කියනවා.’’ 


‘‘මරණය ගැන එයා මතු කළ ප්‍රශ්න හරි පුදුමයි. නැදෑයන් සමහරුන්ගේ උපන්දින එයාට හොඳට මතකයි. ඒවායේ අවුරුද්ද අනුව ඔවුන්ගේ වයස් සීමාවන් ගණනය කරනවා. ඒ විදියට ගණනය කරල ඔවුන් මිය යා යුත්තේ වයස අනුව මරණය සිදුවිය යුතු අනුපිළිවෙල අපිට කියනවා. අපි ඒවාට එතරම් දුරට අවධානය යොමු කළේ නෑ. 


‘‘ඔයා මැරුණොත් වැඩියෙන්ම අඬන්නේ කව්ද? කියල දවසක් නෑ ගෙදරකදි අහල තිබුණා. එයා එහෙම ඇහුවෙ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ. මේ සිදුවීම් වෙලා මාස තුනක් විතර ගියාට පස්සේ තමයි එයාට  අනතුර සිදුවුණේ.


බිත්තියේ ලියල තිබුණ ‘‘ගෙදරින් යනවා’’  කියන සටහන දැකල මම එයාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් මගේ මුහුණ බලල සිනාවුණා මිසක් කිසිම දෙයක් කිව්වේ නැහැ. ඊට කලින් බිත්තියේ ලියල තිබ්බ සටහන් සහ  චිත්‍ර බිත්ති ආලේප කරන විට මැකී තිබුණා. ඊට පස්සේ එයා ලියපු සටහන තමයි ‘ගෙදරින් යනවා’ කියල ලියපු දෙය’’. යැයි ගවේෂාගේ මව හෙළි කළාය. 


තම දියණියගේ වියෝවීමෙන් තවමත් දැඩි කම්පාවට පත්වී සිටින ආනන්ද මහතා සහ ලලිතා මහත්මිය ගවේෂා  දැරිය  එදා ලියා තිබූ සටහන තවමත් ඔවුන්ගේ මවිතයට හේතුවක් බැව් පවසති. ඇය වියෝවී මේ වනවිට වසර එකොළහක් ගතවී ඇත. මේ වනවිටත් ඇය විසින් ලියන ලද එම සටහන  නිවසේ ආරක්ෂිතව තබාගෙන තිබේ.

 

තිස්ස ජයවර්ධන