මරණය තෙක් සුව නින්දට බාධා කළ මකුණෝ


 

බෝගම්බර සිපිරි ගෙයි කුරුටු ගී - 2

 

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යනුවෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට යෝධ පුවරුවකි. පවුල් පිටින් ඝාතනය කර, කිරි දරුවන් පවා දූෂණය කර ගෙල සිර කර මරා වන ලැහැබ්වලට විසි කරන දුර්දාන්ත අමනුෂ්‍යයන් මනුෂ්‍යයන් වන්නේ කෙසේ දැයි මට සිතුනු වාර අනන්තය.   


“සිරකරුවන් ද මනුෂ්‍යයන්” යැයි පිළිගැනීමට මැළිකමක් ඇති වුව ද සිරකරුවන් ද මනුෂ්‍යයන් කළ හැකි යැයි මට සිතුණේ බෝගම්බර බන්ධනාගාරය තුළ ඇවිදිමින් යන විටදීය.   


“ආදරණීය චමිලා අක්කේ! මල්ලි ආපහු එන්නේ නෑ. ඔයා හොඳින් ඉන්න.”   


මරණ දඬුවමට නියම වූවකු රඳවා සිටි කුටියක එසේ ලියා තිබිණි.   


“සත්‍යය ලොවට අවබෝධ කරදීම දුෂ්කරය” ඒ තවත් වැකියකි. මරණ දඬුවමට ලක්වූ ඔහුගේ විඳවීම කොතෙක් දැයි වටහා ගැනීම අසීරු නැත.   


“වරෙක සන්සුන්ව ගලන   
තව වරෙක වියරු වන   
සසල දළ රළ නගන   
මහා සමුදුරයි නුඹ   
කිසි දිනෙක නොසෙ​ල්වෙන   
සෙනෙහසින් ළඟ ඉන්න   
සසළ රළ බිඳ දමන   
විසල් ගල් කුළ මම”   


මෙම පැදි පෙළ අවසන් කර තිබුණේ “මම ඔයාට ගොඩක් ආදරෙයි සුදු නංගී” යනුවෙනි. උපමා අලංකාර වඩාත් ව්‍යක්ත ලෙස ගළපා ඇතැයි මට සිතෙන මේ සොඳුරු කවි හදවත මරණ දඬුවමට ලක්වීමට තරම් ගොරෝසු වූයේ කෙසේ දැයි මට සිතාගත නොහැකිය.   
“ජීවිතය වැරදීමට ගත වෙන්නේ එක් නිමේෂයකි. එහෙත් එය විඳවීමට කල්පයක් කල් ගත වෙයි” ඒ තවත් වැකියකි. “සත්‍ය අවබෝධ වෙන විට සියල්ල සිදු වී හමාරයි” යනුවෙන් ඇති කියමන ඒ සිරකරුට මනාව ගැළපේ. එහෙත් යළි නිවැරැදි කළ නොහැකි වරද ඉදිරිපිට පසුතැවීම හැර අන් කිසිවකට ඉඩක් ඉතිරි නොවේ.   


“පිස්සු හැදෙන සඳ   
ඇයි කියනවද ආනන්දේ   
​ෙම් තරම් නපුරු වුණේ   
සොඳුරිය ලෙසින් ඉඳලා   
හතුරු වුණේ ඇයි සොඳුරිය”   


අගක් මුලක් තේරුම්ගත නොහැකි මෙම පැදි පෙළ බිත්තියෙහි අපැහැදිලි අකුරෙන් ලියැවී තිබිණි. මරණ දඬුවමට ලක්වූවකුට උරුම මානසික විපිළිසර බව ඔහුගේ පැදි පෙළෙන් මනාව නිරූපණය වන්නේ යැයි මට සිතෙයි.   


“අත් හැර දමන දුවන්නෙක්   
කිසිම විටෙක නොදිනයි  
දිනන්නෙක් කිසියම් දිනෙක   
අත් හැර දමා නොදුවයි”   


එ් තවත් වැකියකි. මරණ දඬුවමට ලක් වූවකු දාර්ශනිකයකු බවට පත්වී තිබේ ද? නොඑසේනම් දාර්ශනිකයකුට මරණ දඬුවම හිමි වී තිබේ ද? තේරුම්ගත නොහැකිය. එය පමණක්ම නොව ඒ බිමේ ඉතිරිව ඇති බොහෝ දේ තේරුම් ගැනීමට අසීරුය. ඒවා තේරුම්ගත හැකි වන්නේ මරණ දඬුවමට ලක්වූ මරණයට හිත හුරුවූ අයකුට පමණකැයි මම සි​ෙතයි.   


“සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” ඒ තවත් වැකියකි. ඔහුගේ ජීවිතය වැරදුණේ එතැන විය හැකිය. සිතිවිලි පවා සිර ගත කළ අඳුරු සිරකුටිය තුළ කාබන් පෑනකින් ඔහු එසේ ලියා තිබිණි.   


මරණීය දඬුවමට නියම වූ සිරකරුවකු ලියා තිබුණේ වෙනම කතාවකි.   


“මකුණා අපිට - අපි මකුණට” එසේ ලියා තැබූ ඔහු එතැනින් නතර නොවී මෙසේ ද ලියා තිබිණි.   


“දුකට සැපට මකුණෝ” වැකිය එය වේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නියම කරන ලද දිනයකදී මරණයට පත් වීමට සිටි ඔහුට ජීවිතය සම්බන්ධයෙන් මහ මෙරක් උසට බලාපොරොත්තු නොවීය. ඔහුට අවැසිව තිබුණේ මරණය තෙක් සුව නින්දකි. එහෙත් එයට මකුණා බාධා කරයි. මකුණාට ඔහු විරෝධය පළ කර තිබුණේ එහෙයිනි.   


මරණ දඬුවමට නියම වූවකුට ජීවිතය සම්බන්ධයෙන් ප්‍රාර්ථනා තිබිය හැකි යැයි සිතිය නොහැකිය. එයෙන්ම ඔවුන්ට ගහ මරා ගැනීමට දෙයක් ද නැත. මරණය පැමිණෙන තුරු දුක සැප බෙදා හදාගෙන ජීවත් වීම පමණක් ඔවුන්ගේ උරුමය වේ. ඒ අරුතෙන් ගත් කල්හි සාමාන්‍ය සමාජයේ දී දක්නට නොලැබෙන ප්‍රාණ සම මිත්‍රත්වයක්, සහෝදරත්වයක් හා සමගියක් ඔවුන් තුළ තිබිය යුතුය.   
එහෙත් එය එසේම නොවේ යැයි මට සිතුණේ මරණීය දණ්ඩනයට නියම වූවන්ට ස්නානය කිරීම සඳහා වෙන් කර ඇති ටැංකිය අසල වූ වැකියක් දැකීමෙනි. එහි සඳහන් වූයේ මෙවැන්නකි.   


“උදේ 8ට දිය නෑම බූරුවන්ට පමණි”  


එතැනම තවත් වැකියකි.   

 


“කණ්ණාඩිය ඉදිරිපිට දත් මැදීම තහනම්. එහෙත් මෝඩයන්ට අවසර ඇත”  


මරණයේ භූමියේ දී පවා සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුන පිරිස් එහි සිට ඇත. නොඑසේනම් එබඳු වැකියක් ලිවීමට හේතුවක් නැත.   
ඉතා කුඩා සිරකුටියේ සිමෙන්තියෙන් බඳින ලද ඉතා කුඩා වළකි. ඒ සිරුරු කිස සඳහාය. සෑම සිරකුටියකම පාහේ බිත්තියේ කුඩා සිදුරකි.   


“එහෙම සිදුරක් හදලා තියෙන්නේ සිරකරුවන්මයි. ඒ හෑන්ඩ් ​ෙෆා්න් හන්ගන්නයි. හෑන්ඩ් ෆෝන් එක ඒ සිදුරට දාලා ආපහු වහනවා. ඒ තාක්ෂණය නම් හරි ඉහළයි” අප යනවිට එහි සිටි රැකවලෙක් කීවේය.   


කෙතරම් ආරක්ෂක මුරකාවල් තර කර තිබුණ ද හිර ගෙය තුළට ජංගම දුරකථන රැගෙන ඒමත් බන්ධනාගාර නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලදී එම ජංගම දුරකථන ආරක්ෂා කර ගැනීමටත් සිරකරුවන් පාන හපන්කම විශේෂිතය. එය විශේෂ උපාධියක් පිරිනැමීමට තරම් හපන්කමකි.   

 

 


සෑම සිරකුටියකම පාහේ නොවැරදීම දක්නට ලැබුණු දෙයක් වේ නම් ඒ බිත්තියටම සවිකර තිබූ කණ්ණාඩියකි. බාහිර සමාජයෙන් මුළුමනින්ම බැහැරව හුදකලා පාළු කුටියක සිරගත කර සිටින ඔවුන්ට තමන්ගේ මුහුණ දැකීමෙන් කුමන ආකාරයේ සිතිවිලි පහළ වන්නේ දැයි තේරුම් ගැනීමට අසීරුය. එහෙත් එය ඔවුන්ගේ පාළු සෝබර ජීවිතයට කිසියම් ජීවයක් රැගෙන ආ බවට නම් සැකයක් නැත.  


“දුක පැකට් කරන් විකුණනවා නම් අදටත් අපි මිනිස්සු අයියා” එසේ ලියා තිබුණේ ගම්පොළ කැප්ටන් නමැත්තෙකි.   


“ආත්ම විශ්වාසය   
ආත්මාවබෝධය   
ආත්ම ශක්තිය විසින්   
මුවහත් කරනු ලැබූ  
මට ඕනෑම දෙයක්   
කළ හැකිය”   


එහෙත් ඔහුට දැන් කිසිවක් කළ නොහැකිය. ඔහුට කළ හැකි එකම දෙය මරණය එනතුරු බලා සිටීම පමණයි. එබඳු බලගතු අධිෂ්ඨානයක් පෙර පැවැතියේ නම් ඔහුගේ ශාපලත් ඉරණම වෙනස් කරගත හැකිව තිබිණි.   


“කළ වැඩ හොඳ නම්  
නිදියයි සතුටින්” 
ඒ එක් වැකියෙකි.   

 

 


“තවත් බිත්තියක සටහන්ව තිබුණේ අවංක සිනාවක් බලාපොරොත්තු විය හැක්කේ කිරි දරුවකුගෙන් පමණි” යනුවෙනි.   


“බෝගම්බර සිර ගෙදර වේවා රජ මාළිගයක්” ජීවිතයේ සියලු බලාපොරොත්තු හා පැතුම් අත්හළ ඔහු සතුව තිබූ එකම ප්‍රාර්ථනය එය පමණි.   


“ධර්මිෂ්ට මිනිසා දොළොවම ජය ගනී”   
“සත්‍යය අවබෝධ වනවිට සියල්ල සිදුවී අවසානයි”   
“හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී”   
“ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි”   


“කරන කලට පව් මීරිය මීසේ” මේ සියලු වැකි සටහන්ව තිබුණේ එකම සිරකුටියකය. ඔහු සියලු හැඟීම් හා ආවේග බිත්තිය පුරා විසුරුවා තිබේ.   

 


“ජීවිතයේ දුෂ්කරම කාර්යය මිනිසා හඳුනා ගැනීමය”   


“වැරදුණි ජීවිතය”


“සෙවණැල්ල වුව ළඟ සිටින්නේ ආලෝකයේදී පමණි”   


“අම්මේ, ඔයා සතුටෙන් නේද?” 


එක් සිරකුටියක එසේ සටහන්ව තිබිණි.  


 මහල් තුනෙන් යුත් බෝගම්බර සිරගෙදර තුන් වැනි මහලේ කාමර චිත්‍රාගාර බඳුය. එක් කාමරයක ලෝකය පුරා විප්ලවයේ ආශ්වාදය පැතිරවීමට සමත් වූ රැඩිකල් තරුණයන්ගේ රතු තරුව වූ චේගේ විශාල සිතුවමකි. එම කුටියේම අනෙක් බිත්තියේ සාමයට ළැදි ජනතාවගේ යුද වීරයා වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ යෝධ සිතුවමකි. ඒ සිරකරුවා කෙතරම් දක්ෂයකු ද යන්න එමගින් පැහැදිලිය.   

 


එක් කුටියක් කුඩා දරුවන්ගේ පින්තූරවලින් පිරී තිබිණි. තවත් කුටියක් හින්දි නිළියන්ගේ පින්තූරවලින් වැසී තිබිණි. එක් කුටියක කුරුලු කූඩුවකි. සිරකරුවා කාඩ්බෝඩ් පෙට්ටියකින් එම කුරුලු කූඩුව තනා තිබිණි. මෑතක් වන තුරුම කුරුල්ලන් එහි ආගිය බවට සලකුණු තිබේ.   


“මට මාව නැති වුණා” උඩු මහලේ එක් සිරකුටියක එබඳු වැකියකි. ජීවිතය සම්බන්ධ පසුතැවීම එමගින් ප්‍රකාශ වේ.  

 
​ෙබා්ගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී හා සිතුවම් දැන් දුර්වර්ණ වෙමින් තිබේ. ඒවායින් ඇති වැඩක් නැත. එහෙත් ජීවිතය වැරදුණු, ජීවිතය අහිමි වූ මිනිසුන්ගේ සිතිවිලි ජීවිතය සොයන මිනිසුන්ට වැදගත් යැයි අපි සිතමු.

සටහන  :  ප්‍රසන්න සංජිව තෙන්නකෝන් / සේයාරූ : ඇලෙක්සැන්ඩර් බාලසූරිය