මන්නාරම් නිම්නයේ මහා ජන සංහාරය


 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශකථා සාහිත්‍ය ඉතිහාසයේ නොලියැවුණ අතීතයේ සිදුවූ සමූහ මිනිස් ඝාතනයක සාක්ෂි යැයි අනුමාන කළ හැකි මිනී වළක් 2018 අගභාගයේදී මන්නාරමේ පැරැණි සතොස ගොඩනැගිලි භූමියෙන් මතුවූ බව අපි දනිමු. පසුගිය දිනවල ඒ සඳහා සියලුම ජනමාධ්‍යයන්ගේ අවධානයද යොමුවී තිබුණි.   


ඊළාම් බෙදුම්වාදීන් හා ආණ්ඩුවේ හමුදා අතර හටගත් තිස් අවුරුදු යුද්ධයේ අඳුරු සෙවනැලි පහව යමින් තිබියදී මතුවූ මෙම ආන්දෝලනාත්මක අනාවරණය සුළුකොට තැකිය නොහැකි විය. මේ අතර සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් සුරැකීම පෙරදැරි කරගත් ජිනීවා සමුළුව 2019 මාර්තු මස පැවැත්වීමට නියමව පැවතුනි. එබැවින් යුද්ධයෙන් අතුරුදන්වූ පුද්ගලයින් සෙවීමේ ජනාධිපති කාර්යාලයේ (OMP) ප්‍රධානී සාලිය පීරිස් විසින් සපයන ලද පහසුකම් මත මන්නාරම් මහේස්ත්‍රාත් සරවන රාජා ගේ නියමයෙන් අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂගේ අධීක්ෂණය මත කැලණිය විශ්විවද්‍යාලයේ වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් එහි කැණීම් කටයුතු අරඹන ලදී.   


මක්නිසාදයත් 2014 දී මන්නාරමේ තිරුකේතීෂ්වරම් ශිව දේවාලය අසලින් මතුවූ පුද්ගලයින් 83 දෙනකුගේ ඇට සැකිලි සොයාගත් පැරැණි සොහොනක් පිළිබඳව පෙර දිනක දී තිබූ අධිකරණ විනිශ්චය ඉක්මවා යා හැකි පසුබිමක් පිළිබඳ සැක මෙහිදී මතුවී ආ බැවිනි.   


මේ අතර 2018 දෙසැම්බර් 12 වනදා මන්නාරම් කච්චේරිය අභියසට රැස්වූ පිරිසක් මෙම සමූහ මිනීවළේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වූ අන්තෝනියෝ ගුවාරෙස්ට ලියූ සංදේශයක්ද රජයේ බලධාරීන්ට පිළිගන්වනු ලැබුණි. මෙම පරිශ්‍රය නිරීක්ෂණය සඳහා පැමිණි ජන පිරිස් අතර මන්නාරම් රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු මාහිමියන් සහ රදගුරු අනුනායක වික්ටර් සුසෙයි පියතුමානන්ද පැමිණ සිටි බව වාර්තා පළවිය. 

 
කැණීම් හා කාබන් 14 පරීක්ෂණය   


2018 මැයි 28 වනදා මන්නාරම සමූහ මිනීවළේ කැණීම් අරඹන ලද අතර එතැන් සිට කැණීම් අත්හිටවූ 2019 මාර්තු 08 වනදා දක්වා වූ දින 156 තුළ කරන ලද පිරික්සුම්වලදී පුද්ගලයින් 328 දෙනකුගේ ඇටසැකිලි සොයා ගැනුණි. ඉන් 28ක් ළමුන්ගේ බවද අනාවරණය විය. එම ඇට සැකිලි අයත් මිනිස් සිරුරු විධිමත්ව මිහිදන් කළ ඒවා නොවන බව ඒවා විසිරී තිබූ ආකාරයෙන් එළිදරව් විය. ඇට සැකිලි අතර තිබී ඔවුන් පැළඳ සිටි රන්, රිදී දෑ ලෝහමය ගෙළ පළඳනා හෝ අත් පා පළඳනා හෝ පරිහරණය කළ මැටි භාණ්ඩ, අවි ආයුධ වැනි දෑ හෝ හමුවී ඇති බව කියතත් ඒවා පිළිබඳව නිශ්චිතව වාර්තා නිකුත්වී නැත.   


එහෙත් අතීතයේ ජන ඝාතනයක් සිදුවී ඇති බවට අනුමාන සිතුවිලි මතුවූ බැවින් පොළෝ ගැබේ ස්ථර කිහිපයකින් ලබාගත් මානව අස්ථි කොටස්වල නියැදි කිහිපයක් කාල නිර්ණය සඳහා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මියාමි හි බීටා ඇනලයිටික් පර්යේෂණ ආයතනය වෙත යවන ලදී. ඒ අදාළ කාලය හෙවත් වයස හඳුනා ගැනීමට තරම් වැදගත් ඓන්ද්‍රීය වස්තූන්ගේ එනම් අස්ථි කොටස් රේඩියෝ කාබන් 14 (අඩංගු කාබන්වල විකිරණශීලී සමස්ථානිකය) විද්‍යාගාර පරීක්ෂණයකට භාජනය කිරීමටය.   


වෙනත් ආකාරයකට කියනවා නම් ප්‍රශ්නයකට තුඩුදී ඇති පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය (අස්ථි, කෙස්, පරාග, පස්, පොකුණු මඩ, ගුහා චිත්‍ර ආදී මානව නිර්මිතයන් වැනි) වල අඩංගු රේඩියෝ කාබන් අංශුන් මැන බලා එමගින් වයස නිශ්චය කර ගැනීම කාබන් 14 පිරික්සුම නම් වේ. පිරික්සුමෙන් පසු හෙළි කරන්නේ අදාළ ද්‍රව්‍යයේ වයස පිළිබඳ කාල ප්‍රාන්තරයකි.   
මන්නාරම් සමූහ මිනීවළේ අස්ථීන්ගේ කාල ප්‍රාන්තරය (ක්‍රි.ව. 1400-1650 දක්වා දළ වශයෙන්) අවුරුදු 250ක කාලයකි. කාබන් පිරික්සුමකින් අප වෙත ලැබෙන්නේ අසීමිත කාල අතීතයක් විද්‍යාත්මක පුනීලයකට බහා පෙරා අදාළ කාලය අතැඹුලක් සේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උදව්වන ප්‍රතිඵලයක් බව මෙයින් පැහැදිලි වේ. මෙනයින් කාලය නිශ්චිත නම් සිද්ධියට අදාළ වන වගකිව යුත්තන් හා වින්දිතයින් හඳුනා ගැනීම පහසු කෙරේ.   


යාපනය රජ පරපුරේ ඉතිහාසය අනුව නල්ලූර්හි පාලනය පුරාවෘත්ත ගත ආර්ය චක්‍රවර්තීන්ගෙන් ඇරැඹෙයි. අනතුරුව කනගසූරිය (1467-1478) සිට සංකිලි කුමාර (1616-1620) ගේ රාජ්‍ය වර්ෂවලින් අවසන් වේ. කාබන් පර්යේෂණ ප්‍රතිඵල අනුව යෝජිත වන වසර 250 කට හසුවන කාලයේ රජකළ පාලකයින් වන්නේ පරරාජසේකරම් (1478-1519) සිට II වන සංකිලි (1616-1620) දක්වා රජවරු නව දෙනෙකි. අදාළ සමූහ මිනිස් ඝාතනයට සම්බන්ධතාවක් ඇති බව ඓතිහාසික ලිඛිත වාර්තා අනුව පෙනී යන I වන සංකිලි හෙවත් සෙකරාජසේකරම් (1519-1561) යාපන රාජාවලියේ තෙවැන්නාය. (The kings of Jaffna during the Portuguese period Rer. fr. S Gnanaprakasar-1920   


දහසය වැනි සියවසේ ආරම්භයේ සිට ඉංග්‍රීසීන්ට යටත්වන තෙක් යාපා පටුනේ ඉතිහාසය කැපී පෙනෙන යුග 3 කට බෙදා ඇත. එනම් දෙමළ පාලන සමය (1500-1619) පෘතුගීසි පාලන සමය (1619-1658) සහ ලන්දේසි පාලන සමය (1658-1796) යනුවෙනි. (ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුන්වන කොටස මහාචාර්ය එස්. පද්මනාදන් පිටු 88) කාබන් 14 කාල නිර්ණයට අනුව අදාළ අස්ථි කොටස්වල කාලය යටතට ගැනෙන්නේ පෙර කී යාපන ඉතිහාසයේ පළමු හා දෙවන කාල පරිච්ඡේද දෙක මිස තුන්වන කාල පරිච්ඡේදයට අයත් ලන්දේසි පාලන සමය නොවේ.   


ඇරත් පෘතුගීසි-ලන්දේසි දෙපිරිස අතර මේ සා විශාල ජන සංහාරයක් සිදුවූ සටනක් ගැන ඉතිහාසයේ වාර්තා නොවන අතර මහාචාර්ය මංගල ඉලංගසිංහ පෙන්වා දෙන විදියට පෘතුගීසින්ට අයත් මන්නාරම, යාපනය හා නාගපට්ටම් යන අවසන් බළකොටු තුන පවා 1658 දී ලන්දේසීන් අත්පත්කර ගන්නේ සටනකින් තොරවය. (එම ග්‍රන්ථයේ පිටුව 155) අස්ථි කොටස් පිළිබඳ කාල ප්‍රාන්තරයේ අවසන් මායිම වන්නේද ක්‍රි.ව. 1650 වේ.   


සමූහ මිනීවළ ගැන කරන ප්‍රකාශයක් වූයේ කාබන් පිරික්සුම් ප්‍රතිඵලය පිළිගත නොහැකි එකක් බවයි. මෙය උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සුමන්තිරන්ගේ මතයකි. විද්‍යාත්මක පිරික්සුමකට පසු ප්‍රකාශිත ස්වාධීන ප්‍රතිඵලයක් අභියෝගයට ලක් කිරීමට තරම් පදනම් කරගත් හේතුන් කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ ඔහු විසින්මය. තිස් වසරක් තිස්සේ ඇදී ගිය බෙදුම්වාදී ඊලාම් යුද්ධයේ කෲර ප්‍රතිඵලයක් ලෙස මන්නාරම් සිද්ධිය හඟවන්නට ගත් උත්සාහයක් සේ එය පෙනේ.   


සමූහ මිනී වළේ පිරික්සුම් කටයුතුවලට සම්බන්ධවූ මහේස්ත්‍රාත්වරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෝහාරික පුරාවිද්‍යා මහාචාර්යවරයා හෝ අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා හෝ තම රාජකාරි කටයුතු කිරීමේදී අනිසි බලපෑම්වලට ලක්වූ බවට කිසි විටෙක වාර්තා කර නැත. එසේම ෆ්ලොරිඩාවේ ඇනලයිටික් පර්යේෂණායතනයට තම කීර්ති නාමය කැළැල් කර ගනිමින් පක්ෂග්‍රාහී වාර්තාවක් නිකුත් කිරීමට තරම් සැඟවුනු පදනමක්ද හෙළිවී නැත. මෙබඳු තත්ත්වයන් යටතේ මෙම මත බැහැරලීම මනෝඥ වේ.   


විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිකුත් කළ වාර්තාවන් පවා සැක කරමින් මත පළවන පසුතලයකදී නිගමනය සඳහා තවත් අනුපූරක සාක්ෂි කරා යොමුවීමට සිදුවීම වැළැක්විය නොහැකිය. තත්කාලීන ලිඛිත ඓතිහාසික ලිපි ලේඛන සාහිත්‍යය කරා එබැවින් එළඹීම අත්‍යවශ්‍ය වේ. අවාසනාවට අපේ රටේ ප්‍රධාන සිංහල වංශකථාකරුවෝ මන්නාරමේ සිදුවූ මිනිස් සංහාරය පිළිබඳව සටහන් තබා නැත.   


“මිස දුටුගත් පවිටු කුරිරු ධරුණු පරංගි’ (මහාවංශය 96:67) ලෙස පෘතුගීසින්වත් ‘මිථ්‍යා දුෂ්ටික වෛර සමූහයා’ (එම 99:174) ලෙස ලන්දේසීන්වත් හඳුන්වන මහාවංශය වැනි මූලාශ්‍ර පොත් මෙබඳු මහා මිනිස් ඝාතන අරභයා නිහඬ වතක් රැක්කේ ඇයි දැයි පැහැදිලි නැත. එසේ වූයේ සිංහල බෞද්ධයින්ට මන්නාරම් ඝාතනය අදාළ නොවූ නිසාද? මෙහිදී අපට උදව්කර ගත හැකි මූලාශ්‍ර තුනක් වෙත යොමුවිය හැකිය.   


මූලාශ්‍ර 01: ෆ්‍රැන්සිස් සාවියර් ලිපි 

 
මන්නාරමේ සමූල ඝාතනය සිදුවූවාට පසු ඒ ගැන ඉතාම කිට්ටු වසරවල ලේඛනාරූඪ වූ ඓතිහාසික මූලාශ්‍ර රැසක් හමුවන්නේ පෘතුගීසි යුගයේ ජීවත්වූ කතෝලික ඉතිහාසඥයින් සහ ධර්මදූත සේවයේ නියැළී සිටි පියවරුන් විසින් ලියා තැබූ පොත්පත් හා හුවමාරු කරගත් ලිපි අතරිනි. සන්ෆ්‍රැන්සිස් සාවියර් නම් ජේසු නිකායික පියතුමා (1506-1554 මෙතුමා කතෝලික සාන්තුවරයෙකි.) ලියා ඇති ලිපි සරණිය ඒ අතර ඉතාම වැදගත් මූලාශ්‍රයෝය. එම ලිපි ක්‍රි.ව. 1544 (එනම් වූ වසරේදී තත් සමූල ඝාතනය සිදුවූ බව ලංකාවේ කිතුණු සභා ඉතිහාසයේ දැක්වේ) අගෝස්තු මස 21 සහ 1549 ජනවාරි මස 26 අතර කාලයේදී වරින්වර පෘතුගාලයේ ලිස්බන්, ඉන්දියාවේ පුනෙයිකාසල්, කොචින්, නාග පට්ටනම් සහ සභාවේ සන්තෝමේ යන ස්ථානවල සිට ලියූ ලිපි හතකි.   


මෙම ලිපිවල ඇති ඓතිහාසික අගය නිසා පසුකලෙකදි ගරු ජී. ෂුහැමර් සහ ගරු ජේ. වික්ස් යන යතිවරුන් විසින් තෝරාගෙන සංග්‍රහ කරන ලදුව ඉතිහාසඥ ගරු විටෝ පර්නියෝලා (ජේ. නි) පියතුමන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ප්‍රකාශයට පත්කර ඇත. (බලන්න Catholic church in Sri Lanka-the Portugese period-1505-1565 පිටු 49-60 තිසර ප්‍රකාශනයකි.) මෙම පිටු අතර හමුවන 1710 දී ලිස්බන් නුවරදී මුද්‍රණය කළ ගරු ෆ්‍රැන්සිස්කෝ ඩී සූසා (ජේ. නි.) පියතුමාගේ පෘතුගීසි ග්‍රන්ථයෙන් උපුටා දක්වන විස්තරද මෙහිදී ඉතා ප්‍රයෝජනවත්ය. මෙම ලිපිවල අඩංගු තොරතුරුවල සාරංශයක් පහත දැක්වේ.   


1. මන්නාරමේ වැසියන්ගේ බලවත් ඉල්ලීම මත ගරු සාවියර් පියතුමන් විසින් මන්සිල්හාස් නමැති පියනමක් බෞතීස්ම කටයුතු සඳහා මන්නාරමට එවීය.   
2. සෙකරාජසේකරම් හෙවත් I වන සංකිලි (1519-1567) යන යාපනේ රජු විසින් අළුතින් බෞතීස්ම ලබා කිතුදහම වැළඳගත් මන්නාරම් වැසියන් සමූල ඝාතනය කළේය.   
3. මේ නිසා දෙමළ රජුට දඬුවම් කිරීමට පෘතුගීසින් විසින් සැලසුම් සම්පාදනය කරන ලදී.   
4. ගරු ෆ්‍රැන්සිස් ස්වියර්තුමන් මුළුගැන්වී සිටි කිතුණුවන් දිරිගන්වා ශක්තිමත් කිරීම සඳහා යාපනය, කොළඹ, ඩෙල්ෆ්ට් සහ නාගපට්ටම් හා දේශ සංචාරයේ යෙදුණෝය.   
5. පේගු රටින් පැමිණි රන්, සේද ඈ අගනා වෙළෙඳ භාණ්ඩ රැගත් පෘතුගීසි නැවක් යාපනයේ නොගැඹුරු මුහුදේ එරීමත් සමඟ එම භාණ්ඩ සංකිලි විසින් රාජසන්තක කර ගැනීම වළක්වා ගන්නට ගත් උත්සාහය නිසා රජුට දඬුවම් කිරීම නතරවී තිබේ.   


මෙම මූලික තොරතුරු පදනම් කරගෙන ඉතිහාසඥ ගරු පර්නියෝලා පියතුමා මත රැසක් ඉදිරිපත් කර තිබේ.   


1. මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගින්ව කිතු දහමට හරවා ගෙන බෞතීස්ම කළේ ෆ්‍රැන්සිස් සවියර් නමින්ම යුත් වෙනත් තේමාචාර්ය වරයෙක් බවට පෘතුගීසි ඉතිහාසඥ ක්වේරෝස් කරන ප්‍රකාශයේ වැදගත්කමක් තිබේ.   
2. ප්‍රාණ පරිත්‍යාගීන් ජීවත්වූ ‘පාටම්’ යනු කරියාපටන යන මන්නාරමේ කරියාවරුන්ගේ නිජ ග්‍රාම පටුන වේ.   
3. පණ පිදුවේ කඩෙයාර් කුලයේ මිනිසුන් හා ගැහැණුන්ය. කරාවේ කුලයේ අය නොවේ. කඩෙයාර්වරු හුණුකර්මාන්තයේ නියැලුන දිළිඳු ප්‍රජාවකි. (යාපනයේ දෙමළ හින්දුන්ගේ සම්ප්‍රදායික කුල ධුරාවලියේ 16 වන අවතලයේ ස්ථානගත වන්නේ මොවුන් බව පසුකලෙක ඉංග්‍රීසින් නිකුත් කළ ගැසට් පත්‍රයක සඳහන්වේ.)   
4. ප්‍රාණ පරිත්‍යාගීන්ගේ බෞතිස්මය සිදුවූයේ 1544 ඔක්තෝබර් මාසයේ වන අතර ඔවුන් සියලු දෙනා ඝාතනයට ලක්වූයේ එම වසරේ නොවැම්බර් මාසයේදීය.   
5. සංකිලි රජුව පලවා හැරීම හෝ ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සොයුරා වූ නීත්‍යානුකූල රජකම හිමියා බෞතීස්මකර නල්ලූර්හි රජකම පැවැරීම සඳහා පෘතුගීසින් ගේ රහස් සැලැස්මක් ක්‍රියාත්මක වී තිබුණි.   


මූලාශ්‍ර 02: ට්‍රිනිඩෑඩේ ග්‍රන්ථය   


සන්ෆ්‍රැන්සිස් ස්වියර් හිමියන්ගේ ලිපිවලට පසුව තත් විෂයය අළලා ලියන ලදුව හමුවන වැදගත් මූලාශ්‍රය ගරු පාවුලා ඩි ට්‍රිනිඩැඩේ (ෆෑ.නි.) පියතුමන් (1571-1651) ගේ ‘පෙරදිග අධ්‍යාත්මික ජයග්‍රහණය’ (Conquesta Spiritual Do Oriente) කෘතියයි. මෙය අති උතුම් එඩ්මන්ඩ් පීරිස් (නි.ම.නි) හිටපු හලාවත රදගුරු හිමිපාණන් සහ ගරු අචිලස් මීර්ස්මන් (ෆ්‍රැ.නි.) යන දෙදෙනා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.   


මෙම ග්‍රන්ථයේ 35 වන පරිච්ඡේදය මන්නාරම් සමූල ඝාතනය පිළිබඳව කරුණු රැසක් ඉදිරිපත් කරයි. පසුගියදා මෙම ජන ඝාතනයේ ඓතිහාසික කාලවකවානු ගැන අදහස් දක්වා ඇති ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස මහාචාර්ය ටී.ජී. කුලතුංග ද උපුටා දක්වන්නේ මෙම පුස්ථකයේ අඩංගු ඓතිහාසික තොරතුරුය.   


පෙර කී පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. මන්නාරමේ ඝාතනයට කලින් සංකිලි රජු කළ අපරාධ දෙකකි. එනම් නල්ලූර් රාජධානියේ නීත්‍යානුකූල හිමිකරු වූ තම වැඩිමල් සොහොයුරු පරනිරූපසිංහම්ව ඝාතනය කිරීමට කළ රහස් කුමන්ත්‍රණය පළමු වැන්නයි. මේ නිසා ඔහු ගෝවට පලා ගොස් පෘතුගීසි ප්‍රතිරාජයා වෙතින් රැකවරණය පැතීය.   
දෙවැන්න නම් රැකවරණය සහ යුධ සහාය ඉල්ලා දකුණේ සිට යාපනේට පලා ආ වීදිය බණ්ඩාර නම් සිංහල කුමරාව මරා ඔහු රැගෙන විත් තිබූ දළදාව සහ වස්තුව අත්පත් කර ගැනීමයි. අනතුරුව සංකිලි ගේ කෲරත්වයේ උච්ච අවස්ථාව ලෙස වාර්තා වන්නේ මන්නාරමේ දූපත් වැසියන් සමූල ඝාතනය කිරීමයි.   


එහි ජීවත්වූ කතෝලික ආගම වැළඳගත් සියල්ලන් තරාතිරම් නොබලා කඩු ගෑමට අණ කරන ලදී. මෙම ඝාතන සිදුකළ පෙදෙස ‘පටිම්’ නම් වේ. ‘පටිම්’ යනු ‘පට්ටාන’, ‘පටුන’ යන අරුත් දනවන අතර ‘කරෙයි පට්ටාන’ නම් විය. (එනම් කරෙයිවරුන්ගේ පටුන යන තේරුමයි) ප්‍රාණය පූජා කළ වුන් සැමරීම සඳහා පසුකලෙකදී එය ‘ප්‍රාණපරිත්‍යාගින්ගේ නිම්නය (Valley of Martyrs) යැයි පට බැඳුණි.   


මෙම ඝාතනය නිසා පෘතුගීසිහු මහත් වික්ෂෝපයට පත්වූහ. පෘතුගාලයේ III වන දොන් ජාවෝ රජු සංකිලිට දඬුවම් කිරීම සඳහා එවකට ඉන්දියාවේ ප්‍රතිරාජයා වූ මාර්ටින් අල්ෆොන්සෝ ඩි සූසා (1542-1545)ට අණ කළමුත් ඔහු නියුක්තව හුන් වෙනත් රාජකාරි නිසා දඬුවම් දීම අතපසු විය. කෙසේ වෙතත් ඉන්පසු ප්‍රතිරාජයා වූ දොන් කොන්ස්තන්තීනුද බ්‍රැගන්සා (1558-1561) 1560 දී නැව් හා බෝට්ටු 92ක් පුරවාගත් විශාල යුධ සේනාවක් සමඟ අවුත් යාපනය ආක්‍රමණය කළ අතර සංකිලි රජු නල්ලූර්හි බළකොටුවට පලාගොස් උපක්‍රමශීලීව පෘතුගීසින් හා සාම ගිවිසුමකට එළඹ මන්නාරම් දූපතේ අයිතිය පෘතුගීසින්ට පැවරීය.   


විජය නගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයන්ගේ අඩන්තේට්ම්වලට ලක්ව සිටි දකුණු ඉන්දියාවේ ධීවර කිතුනුවන්ද මන්නාරම්හි පදිංචි කරවූයේ ඉන් පසුවය. මෙලෙසින් අවස්ථා දෙකකදීම පෘතුගීසින්ගේ එකටෙක කිරීමේ දණ්ඩනවලින් බේරීමට සංකිලි සමත්විය.   


මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් සමූහ මිනීවළ පිළිබඳ තම මතය සනාථ කිරීම සඳහා බ්‍රැගන්සාගේ මෙම ආක්‍රමණයද උපයෝගී කර ගනී. ඒ අනුව ඔහු ඝාතනය සිදුවූයේ යැයි සිතන කාල ප්‍රාන්තරයේ මෙහා ඉම 1560 දක්වා ඉදිරියට ගෙන එයි.   


මූලාශ්‍ර 03: යාල්පාන වෛවමාලෙයි   


මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීන් ගැන අපට හමුවන එකම දේශීය මූලාශ්‍රය වන මෙය යාපනයේ ඉතිහාස ග්‍රන්ථයකි. 1736 දී බලයට පත් ජාන් මැකාරා යන ලන්දේසි ආණ්ඩුකාරයාගේ ඉල්ලීම මත මයිල්වාගනම් නම් වූ දෙමළ පඬිවරයා ලියූ පොතකි. මෙම ග්‍රන්ථයෙ සී. බ්‍රිටෝ පරිවර්තනයේ (1879) 33 වන පිටුවේ ඝාතනය ගැන සඳහන් වේ. එහි වැඩිමනත්,

සඳහන්වන, කරුණක් ඇත. එනම් ඝාතනය සිදුවූයේ ‘කාරා’ වර්ෂයේ ‘අදි’ මාසයේදී බවය.   


‘කාරා’ යනු හින්දු ආගමික දින දර්ශනයේ 25 වන වසර වන අතර ‘අදි’ යනු ජුලි-අගෝස්තු යන මාසයන්ය. රජුගේ උමතු කෝපයට හසුවූ සිංහල බෞද්ධ වැසියන්ද තම රාජධානියේ සීමාවෙන් ඔබ්බට වන්නියටත් උඩරටටත් පලවා හැරිය බවද සඳහන් වේ. දඹදෙණිය, කෝට්ටේ ආදි යුගවල සිට ඉතිහාසයේ හමුවන වන්නියාර් වන්නි රජවරුන්ගේ පාලන ප්‍රදේශ කැරලි කෝලාහල අවස්ථාවලදී අභයභූමි බවට පත්විය. යාල්පාන වෛපවමා​ෙලයි තොරතුරුවල නිරවද්‍යතාව සනාථ කරගන්නට උදව්වන පසුකලෙක ලියැවුණ තවත් යාපනේ දෙමළ ඉතිහාස ග්‍රන්ථයක් වන්නේ මුදළිඳු සී. රාසනායගම් ගේ කෘතියයි. (Ancient of Jaffna Being A Research in to the History of Jaffna From very Early Times to the portugese period-1926)   


මෙහි පිටු 327-390 දක්වා වූ යාපනයේ ආර්ය රජවරුන් පිළිබඳ පරිච්ඡේදයේද 1544 සංකිලිගේ මන්නාරම් මිනිස් ඝාතනයත් ඊට අමතරව තවත් වැදගත් තොරතුරුත් අඩංගුවේ. ඔහුට අනුව ක්‍රිස්තියානීන් ඝාතනය කළ පසු සංකිලි රජු යාපනයේ සිංහලුන්ගේ පූජනීය බෞද්ධ සිද්ධස්ථානද විනාශකර දමා තම රාජධානියෙන් ඔබ්බට වන්නියටත් උඩරටටත් ඔවුන් පලවා හැරියේය. ඉතිරිවූ සිංහලුන් යාපනේ දෙමළ නායකයින්ගේ වහලුන් බවට පත්වූ පසු එම සමාජය සමග මිශ්‍රවිය.   


අදත් යාපනේ වෙසෙන කොවියාර් (ගොවින්) වරු, කනකරයෝ (අලි බලන්නෝ) සහ නලවරයෝ (ගස් මදින්නෝ) පෙර කී සිහලුන්ගෙන් පැවත එන්නෝය. සංකිලිගේ මන්නාරම් ඝාතනය සිදුවී වසර 6 කට පසු ක්‍රි.ව. 1560 දී බ්‍රැගන්සා නල්ලූර් නගරයට පිවිස සංකිලිට එරෙහිව ගම් රැසක් හා දේවාල රැසක් විනාශ කොට වීදිය බණ්ඩාරගෙන් සංකිලි පැහැරගත් දළදා අනුරුවද අත්පත් කර ගත්තේ යැයි එහි සඳහන්වේ.   


මෙම තොරතුරු අනුව පෙනී යන්නේ මන්නාරමේ කඩෙයාර්/කරාව මිනිසුන් ලක්වූ ඝාතන හා පීඩනයන්ටත් යාපනය රාජධානියෙන් සිංහලුන් පලවා හැරීමටත් 1 වන සංකිලි වගකිව යුතු බවය. ඒ අතර නල්ලූර් ආශ්‍රිත ගම්බිම් හා හින්දු දේවාල විනාශ කරමින් කළ මිනිස් ඝාතනවලට පෘතුගීසි ප්‍රතිරාජයා වූ බ්‍රැගන්සා වගකිව යුතු නමුත් ඔහු අතින් මන්නාරම් දූපත් අසල මිනිස් ඝාතන කළ බවට කරුණු නිශ්චිත ලෙස අනාවරණය නොවන බවය.   


අප දන්නා තරමින් මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගින්ගේ ඛේදවාචකයට අදාළව ලියැවී ඇති කාලානුපිළිවෙළ වැදගත්කමක අනුව හමුවන ප්‍රධාන මූලාශ්‍ර තුන ඉහත පරිදිය. ඉන් අනතුරුව 1913 දී පෝල් ඊ පීරිස් (Ceylon-The Portugese Era) සහ 1944 දී ගරු ඒ.ජී.බී. අන්තෝනිනස් (නිමනි) (Martys of Mannar) පියතුමාද 1938දී ගරු එස්.ජී. පෙරේරා (Historical sketches) පියතුමාද දාහත මූලාශ්‍ර හා ජනශ්‍රැති ඇසුරින් දීර්ඝ විවරණාත්මක විස්තර ඉදිරිපත් කර ඇති බව සැලකුව මනාය.   


ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ඉල්ලීම   


මනුෂ්‍ය ඉතිහාසයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා නිරතුරු සිදුවන අයුරින් සමාජය තුළ ප්‍රභූත්වය ලබාගන්නා එක් මිනිසෙකුගේ හෝ සමාජ ස්ථරයකගේ පැවැත්ම තහවුරු කර ගැනීම් අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා බලය යොදාගත් ආකාරය පෙන්වා දෙන කදිම ශ්‍රී ලාංකික නිදර්ශනයකි, මන්නාරමේ සමූහ මිනීවළ. මනුෂ්‍යත්වය පසෙකලා ජාතිය, භාෂාව හෝ ආගම, දඩමීමා කරගන්නා වර්තමාන සමාජයේ පාලකයින්ට ‘පුරාවිද්‍යාව’ හා ‘ඉතිහාසය’ විසින් මෙයින් කදිම පාඩමක් කියා දෙයි.   


ලංකාවේ කිතුණුවන්ට නම් මෙම සමූල ඝාතනය ඔවුන්ගේ සභා ඉතිහාසයේ අසමසම ඇදහිල්ලේ සන්ධිස්ථානයකි. කෙසේ වෙතත් මෙරට ඉතිහාසඥයින් සමහරකගේ අදහස් හා විවිරණ මත ගොඩනගා ගත් දෘෂ්ටිමය පලිහක් තිබෙන බව අප අමතක නොකළ යුතුය. එනම් බලහත්කාර උපායමාර්ග මගින් පරංගින් විසින් ස්වදේශියයන්ව බෞතීස්ම කර එම ආගමට හරවා ගත්තේය යනුවෙන් පතුරවා ඇති මතයයි.   


පැරැණි ස්වදේශීය රජවරුන් හා අතිනත ගත් පූජ්‍ය තන්ත්‍රයද සමග එක්ව බලරහිත යටත් වැසියන් මෙච්චල් කිරීමේ වැඩවසම් උවමනාව මෙම දෘෂ්ටියමය පලිහෙන් ආවරණය කරගෙන තිබෙන බව අවධානයට ගත යුතුයි. අධිකාරිත්වයේ අසිපත අත්පත් කරගත් පාලක ප්‍රභූකාරකාදීන් ස්වබලය යොදා නිරායුධ සිවිල් වැසියන් හිතුමතයේ ඝාතනය කිරීම එහි අවසාන ප්‍රතිඵලය වන බවයි මන්නාරමේ සමූහ මිනීවළෙන් අනාවරණය වන්නේ. එනම් තමන්ට අභියෝග වන සමාජ කොටස් විනාශකර දැමීම කරන බවයි.   


වැඩවසම්වාදී කුල පීඩනය නිසා සමාජයේ පරිධියට තල්ලුවී ගිය නිසාත් තමන් කැමැති ආගමක් තෝරා ගැනීමට නොහැකි වීම නිසාත්, ආත්මාර්ථකාමීත්වය හා අයශ්කාමය ලුහුබඳිමින් බලය අතහැරීමට අකැමැති රාජ්‍ය නායකයින් පලවා හැරීමට බැරිවීම නිසා තමන් වැළලී ගිය බව ඔවුන් කියන නිහඬ වෘත්තාන්තයයි.   


අවසන් වශයෙන් මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීන් වත්මන් සමාජයෙන් ඉල්ලන්නේ කුමක්ද? තම ඇටකටු මිනිසුන්ගේ පටු විවිධ අන්තවාදී මතිමතාන්තර ඔප්පු කිරීම සඳහා බලහත්කාරයෙන් යොදා නොගන්නා ලෙසයි. සත්‍යය දැක දැකත් එය ප්‍රතික්ෂේප නොකරන ලෙසයි. සත්‍යය පිළිගැනීම ජයග්‍රහණයේ ආරම්භය බව අමතක නොකළ යුතුය.   

 

 


රංජිත් නිමල් කුරේරා