මන්ත්‍රී පදවි ගන්න අකමැති ජවිපෙ සහෝදරියෝ


සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ

 

“ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ තිබෙන ලොකුම පවුල. අපි ඒ පවුලේ සහෝදරියෝ. අපි හැමෝම වැඩ කරන්නේ, ජීවත් වෙන්නේ එකම පවුලක් හැටියට.” සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ සහෝදරිය එහෙම කිව්වේ තමන්ද ඒ පවුලේ සාමාජිකාවක් වීම පිළිබඳව බොහොම ආඩම්බරයෙනි.   


ඇය අද මන්ත්‍රීවරියක් වගේම ජවිපෙ කාන්තා අංශයට නායකත්වය දෙන ප්‍රධාන සංවිධායිකාව වුවද, ඇය 94න් පසු ජවිපෙ ගොඩනැගීමට මුල් කාලයේ සිටම දැඩි දුෂ්කරතා මැද විශාල වැඩකොටසක් ඉටු කළ සහෝදරියකි. ඇගේ අත්දැකීම් ජවිපෙ මුහුණදුන් අත්දැකීම් හා ගොඩනැගීම සිදුවුණ ආකාරය ගැන වටහා ගැනීමට දැඩි පිටුවහලක් වනු ඇත. 
මේ සමන්මලීගේ අදහස්වලින් බිඳකි. 


“මම කිව්වානේ අපිට තමයි ලොකුම පවුල තියෙන්නේ කියලා. මොකද කාගෙත් අම්මලා අපෙත් අම්මලා වුණා. කාගෙත් තාත්තලා අපෙත් තාත්තලා. කාගෙත් සහෝදර සහෝදරියෝ අපෙත් සහෝදර සහෝදරියෝ. ඒ නිසා අපි හැමෝම එකිනෙකාගේ වැඩ කටයුතුවලදී උදව් කරගත්තා. ඉතිං මොන තරම් අමාරු කාර්යයක් වුණත් අපිට අමාරුයි කියලා දැනුණේ නැහැ. දවසම වැඩ කළත් අපිට වෙහෙසයි කියලා හිතුනේ නැහැ. අපි හැම වෙලාවකම හිටියේ අපේ මූලික අරමුණ පෙරටු කරගෙන. ඉතිං සාමාන්‍ය වෙනත් සංවිධානවලට, පක්ෂවලට තියෙන නිලතල පිළිබඳ ප්‍රශ්න, වගකීම් අඩුවැඩිවීම පිළිබඳ ප්‍රශ්න, මන්ත්‍රී ධුර පිළිබඳ ප්‍රශ්න, මේ කිසිම දෙයක් අපිට නැහැ. කවුරු කොයි වගකීම දැරුවත් හැමෝම තමන්ට ලැබෙන කාර්යය උපරිමයෙන් ඉටු කරනවා. අපි හිතන්නේ සමාජයක් නිසියාකාරව පවතින්න නම් කළමනාකරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේම වැසිකිළි පවිත්‍ර කරන්නන් ද සිටිය යුතු බවයි. ඒ ඒ පුද්ගලයා තමන්ගේ වගකීම ඉටු නොකළහොත් සමාජයක් හැටියට අපිට ඉදිරියට යන්න බැහැ. ඉතිං පක්ෂයකටත් ඒක පොදුයි. 
මන්ත්‍රීකමක් ගන්න එක තමයි අපේ අය අකමැතිම දේ. මොකද මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ ඇත්ත සමාජ පරිවර්තනයේ කාර්යභාරයෙන් පරිබාහිර ගොඩක් රාජකාරිවලට සම්බන්ධ වෙන්න සිදුවෙනවා. මන්ත්‍රීවරයෙක් සාමාන්‍ය මිනිස්සු ඉන්න මට්ටමට වඩා උඩින් තමයි ඉන්නේ. මිනිස්සු පිළිගන්නෙත් එහෙම ඉන්න මන්ත්‍රීවරු. ඉතිං අපිට ඒකට ආසාවක් නැහැ. මමත් මන්ත්‍රීවරියක් ලෙස පත් කළාට පස්සේ ඒක පිළිගන්න ටිකක් අමාරු වුණා. මේ තත්ත්වයට මුහුණ දෙන හැටි පක්ෂය මට පෙන්වලා දුන්නා. සාමාන්‍ය සමාජයේ පෙන්වන මන්ත්‍රීවරයාගේ සිටි මිනිස්සු අතර ඇත්තටම ජීවත් වන ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑවටම මැදිහත් වෙන මන්ත්‍රීවරයෙක් වෙන හැටි පක්ෂයේ අපේ ඉහළ සංවිධායකයින් පෙන්වා දුන්නා. ඒ කටයුතුත් කරන අතරේ මම සමාජවාදී කාන්තා සංගමයේ සංවිධාන කටයුතුවල නිරත වුණා. 


මම දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී වුණේ මුලින්ම 1997දී. ඒ වගේම මම දෙහිවල, ගල්කිස්ස, මොරටුව රත්මලාන කියන මුහුදුබඩ කලාපයේම කාන්තා සංගමයේ සංවිධායිකාව වුණා. ඒ කාලේ පූර්ණ කාලීනව වැඩකරන අය හිටියේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා තමයි ඒ තරම් විශාල ප්‍රදේශයක් මට භාර වුණේ. 


 අපිට කාන්තා සංගමය විදිහට මුලින්ම වැඩ පටන් ගන්නකොට සමාජය අතරට එය රැගෙන යාම පහසු වුණේ නැහැ. මුලින්ම අපිට කාන්තා සංගමය නමින් කාන්තාවන් වෙනුවෙන් හඬ නගන සංවිධානයක් ඇති බව සමාජයට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වුණා. ඉතිං අපි මුලින්ම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කළා. ඊට පස්සේ කාන්තාවන් විදිහට ජීවත් වීමේදී මුහුණ දෙන්න සිදුවන විවිධ ගැටලු, ඒවාට තිබෙන විසඳුම, ඒ විසඳුම ලබාගත හැකි ආකාරය ආදී දේ දැනුවත් කරමින් චිත්‍ර පෝස්ටර් ආධාරයෙන් ප්‍රදර්ශනයක් කළා. මේවායින් අපි සමාජය තුළට ප්‍රචාරක තලයෙන් එක් වුණා. ඊට පස්සේ තමයි පත්තර ආධාර කරගෙන අපි කාන්තාවන් දැනුවත් කළේ. අපි ඒ දේවල් ගැන කලින් කතා කළා. 

 

 


සමාජයේ විවිධ තරාතිරම්වල කාන්තාවන් නියෝජනය වෙනවානේ. මේ හැම පාර්ශ්වයකම කාන්තාවෝ අතරට යන්න අපි විවිධ වැඩසටහන් කළා. කියවන කරන උගත් සමාජය අතරට යන්න අපි පොත් ලිව්වා. උරුමයක පියසටහන් අපේ මුල්ම කෘතිය. එයින් අපි කාන්තාවන්ගේ ප්‍රශ්න හා විසඳුම ගැන කතා කළා. අපේ දෙවැනි කෘතිය රතු කුසුම්. එයින් ලෝකයේ විවිධ රටවල සමාජවාදී විප්ලවය වෙනුවෙන් අරගල කළ එහිදී මර්දනයන්ට අභීතව මුහුණ දුන් කාන්තාවන් ගැන, ඒ ඒ රටවල විප්ලවය ජයගත් පසුව රජයේ වගකීම් දරමින් සමාජයට තවදුරටත් සේවය කළ කාන්තාවන් ගැන කතා කළා. 


 කලාවට ලැදියාවක් දක්වන සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණියන් අතරට යන්න අපි කාන්තාවන්ගෙන්ම සැදුම්ලත් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. ඒක මුලින්ම අපි කාන්තා දින සැමරුමකින් එළි දැක්වුවාට පස්සේ ඇතැම් උත්සවවලට බාහිර සමාජයෙන් පවා අපිට ආරාධනා ලැබුණා. 


 ඒ වගේම චිත්‍ර කලාව පිළිබඳව උනන්දුවක් දක්වන සමාජය ඉලක්ක කරගෙන අපි කළල රූ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. ඒක මුලින්ම පෙන්නුවේ ජාතික කලාභවනේ. ඊට පස්සේ ඒක දිස්ත්‍රික් මට්ටමින් රටපුරා ප්‍රදර්ශනය කළා. මේ ප්‍රදර්ශනයට චිත්‍ර ඇන්දේ චිත්‍ර කලාව විෂයක් ලෙස ඉගෙන ගත්ත කාන්තාවෝ නෙවෙයි. එකම එක චිත්‍ර ගුරුවරියක් මේකට සම්බන්ධ වුණා. අනෙක් හැමෝම ජීවිතයේ විවිධ දේවල්වලට චිත්‍ර ඇඳලා තිබුණ අත්දැකීමෙන් තමයි මේ වැඩේ කළේ. ඒත් ප්‍රදර්ශනය කලා භවනේ ප්‍රදර්ශනය කළ දවසේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිසුන් වගේම කථිකාචාර්යවරුනුත් ඒක නරඹන්න ඇවිත් ඒ එක එක චිත්‍ර මොන කලාවට අයත් චිත්‍ර ද කියලා විස්තර කරමින් ඒවායේ දියුණුභාවය ගැන කතා කළාම අපිට ගොඩක් සතුටක් දැනුණා. සමහරු ලොකු මිල ගණන්වලට චිත්‍ර ඉල්ලුවා. ඒත් අපිට තිබුණේ මුල්‍යමය අරමුණක් නෙවෙයිනේ. ඒ වගේම අපි මේක රටපුරා ගෙනියන්න ඕනෑ වුණා. ඒ නිසා අපි චිත්‍ර වික්කේ නැහැ. 


 ඇත්තටම අපිට තිබුණේ යමක් කළ යුතුයි කියන අධිෂ්ඨානය විතරයි. ඉතිං චිත්‍ර ගැන පොඩි හරි අවබෝධයක් දැනීමක් තිබුණ අය එකතු කරලා අපි අවශ්‍යතාවය කතා කළා. මාස දෙකක් විතර අපේ අය මේ චිත්‍ර ඇන්ද‌ා. සමහර චිත්‍ර, චිත්‍ර විෂය ඉගෙන ගන්න අයවත් අඳින්න හිතන්නේ නැති මාධ්‍යවලින් අපේ අය ඇඳලා තිබුණා. මේ සියල්ල තුළින් අපි ඒ සමාජය අතරට ගියා කියලා දැනුණා. මේ හැම දෙයක්ම කරන්න මුදල් හොයන එක තමයි අපිට තිබුණ අසීරුම අභියෝගය. ඒකට අපි පාරේ කැට හෙළෙව්වා. ආධාර පත්‍ර අරගෙන මෙවැනි දේවල්වලට උදව් කරන අය අතරට ගියා. සමහර දිස්ත්‍රික්කවල සහෝදරියෝ ශ්‍රම වැඩ කරලා මුදල් හොයලා දුන්නා. අපි පාර්ලිමේන්තු පාරේ, සමහර විට බොරලැස්ගමුව පිල්ලෑව පන්සල අසල කැඳ වික්කා, දුර්ලභ පලතුරු වර්ග වික්කා, ගමේ කෑම ජාති වික්කා. මේවාගේ දේවල් කරලා තමයි මුදල් හෙව්වේ.” 


ජවිපෙ ක්‍රියාකාරිනියන් හැටියට වැඩකරද්දි මුදල් අවශ්‍යතා පිරිමහගන්න මුදල් සෙවීම සම්බන්ධයෙන් සමන්මලී සහෝදරිය එවැනි කතාවක් කියද්දි ඈන් චන්ද්‍රමාලි සහෝදරියටත් තිබෙන අත්දැකීම් ගැනත් නොකියාම බැරි වන්නේ ඒ සමහර දේවල් කාන්තාවක් ලෙස සාමාන්‍ය සමාජයේදී කෙනෙක් කරනවා නම් ඒ වෙන කරන්නම දෙයක් නැති අයෙක් පමණි. එසේම ඒ පුද්ගලික අරමුණක් වෙනුවෙන්, තමන්ගේ දරු පවුල රැකගැනීම, අම්මා තාත්තා රැකගැනීම වැනි කාරණාවක් වෙනුවෙනි. එහෙත් සමාජයේ පොදු අරමුණක් වෙනුවෙන් කරන කාර්යයක් වෙනුවෙන් තරුණියන් පිරිසක් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන තැනක අත්උදව්වට ගියා කිව්වාම ඒක විශ්වාස කරන්න එකපාරටම කෙනෙකුට පුළුවන් ද? 


“ඒ දවස්වල මම වැඩ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ. අපිට පොදු වැඩකට මුදල් අවශ්‍යතාවක් වෙලා ඒක හොයාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හැමදාමත් කැට හොලවන්න බැහැ කියලා අදහසක් අපිට තිබුණා. මොකද මිනිස්සු ඒක දකින්නේ වෙනම විදිහකටනේ. ඉතිං අපි අපේ ශ්‍රම දායකත්වය දෙන්න පුළුවන් වැඩ හෙව්වා. අපිට ඒ වෙලාවේ ලැබුණේ ගොඩනැගිල්ලක් ඉදිකරන තැනක කොන්ක්‍රීට් ස්ලැබ් එක දාන්න උදව් කරන්න. කොන්ක්‍රීට් පුරවමු තාච්චි උඩට යවන්න තමයි අපිට භාර වුණේ. උඩට ඒවා විසිකරන්න නම් අපිට බැහැ. එ්කට එතන හිටපු පිරිමි කෙනෙක් ඉදිරිපත් වුණා. අපි අතින් අත තාච්චි ටික එයා ළඟට ගෙනත් දුන්නා. රබර් ග්ලවුස් දාගෙන තමයි වැඩ පටන් ගත්තේ. ඒත් ටිකක් වෙලා වැඩ කරනකොට අපිට ඒවා හුරුත් නැති නිසා අර ග්ලවුස් අතරින් සිමෙන්ති ගිහින් අත් කසන්න පටන් ගත්තා. සමහර තැන්වල සිමෙන්ති තැන්පත් වෙලා ගල්වෙලා. ඒවා ගලවන ඒක ලේසි වුණේ නැහැ. අපි රෑ නැවතුණ තැන්වලදී සිමෙන්ති ඉවත් කරලා තෙල් ගාලා සමේ ගොරෝසු ගතිය නැති කළා. ඊට පස්සේ තුවාල වෙච්චි තැන්වලට කහ දියකරලා ගෑවා. ඒක නම් අමතක කරන්න බැරි අත්දැකීමක්. 


 අපේ පක්ෂ මූලස්ථානය ගැන ගොඩක් දෙනා කතා කරනවානේ. ඒ තරම් මුදලක් කොයින්ද ජවිපෙට කියලා සමහරු අහනවානේ. ඇත්තටම ඔතන මුදල් හැටියට වැඩිපුරම තියෙන්නේ අමුද්‍රව්‍යවලට ගිය වියදමයි. ශ්‍රමයට මුදල් වැය වුණා නම් ඒ ඉතාමත්ම අඩුවෙන්. අපිට දිස්ත්‍රික්කවලට දවස් බෙදලා දීලා තිබුණා කාර්යාල ගොඩනැගීමට මානව සම්පත් සැපයීමට. ඒ දවස්වලට අපි යන පිරිසට කෑම බීමට අවශ්‍ය ද්‍රව්‍යත් හොයාගෙන වඩු කාර්මිකයන්, මේසන් බාස්ලා, වෑල්ඩින් ශිල්පීන් වගේ අයත් අරගෙන ගිහින් දවස් කීපයක් ඉඳලා වැඩකරලා එනවා. ඉතිං මමත් ගියා සහෝදරියෝ පිරිසකුත් එකතු කරගෙන අපේ දිස්ත්‍රික්කයේ සහෝදරවරු සමග. අපි වැලි ඇද්දා. ගඩොල් ඇද්දා. ඇත්තටම ඔය කාර්යාලය ලස්සන වෙලා තියෙන්නේ, ශක්තිමත් වෙලා තියෙන්නේ අපේ ශ්‍රමශක්තියෙන්. එහෙම දායකත්වයක් අපි නොදුන්නා නම් ඔවැනි කාර්යාලයක් අපිට හදාගන්න වෙන්නේ නැහැ. 
 තිස්සමහාරාමය තමයි අපිට පරිපාලනය කරන්න ලැබුණ එකම පළාත් පාලන ආයතනය. තිස්සමහාරාමය ජයග්‍රහණය කළාට පස්සේ අපි තිස්ස හදන්න දායක වුණ ආකාරය, තිස්ස කාන්තාවන්ගේ ප්‍රශ්නවලට කාන්තා සංගමය ලෙස දායකත්වය දුන් ආකාරයත් ලොකු අත්දැකීමක්.”


 ඈන් චන්ද්‍රමාලි සහ තවත් අය තිස්ස හදපු හැටි අපි ලබන කලාපයෙන් කතා කරමු. 

 


සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද