මධුෂ්ට උණ ගැනෙන්න ගෝලයන්ට වෙඩි


රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-8

 

අවි ගත්තන්ට අවියෙන්ම නැසෙන්නට සිදුවෙන බව එලෙස අවි ගත්තෝ හොඳින්ම දනිති. ඔවුහු තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමෙන් ගේම ඉල්ලා ප්‍රහාරයක් එල්ල කරන්නේ ඒ බව හොඳින්ම දැනගෙනය. ඒ නිසා පාතාල නායකයෝ කිසිවෙක් අහම්බෙකින්වත් එකිනෙකාට මුණ ගැසෙන්නට එන්නේ නැත. එසේ මුණ ගැසෙන්නට ඉඩක් තබාගන්නේ ද නැත. අහඹු ලෙස හෝ මුණ ගැසුණොත් ඒ ඔවුන්ගේ ගෝල බාලයින් පමණි. නායකයින් එකිනෙකාට මරණ වරෙන්තු පිළිබඳ පණිවුඩ යැවෙන්නේ ඒ ගෝල බාලයින් මගිනි. නායකයින් හැමවිටම සිටින්නේ ආරක්ෂිතව කටුවක් තුළට රිංගා ගෙනය.   


සමයං, හර්ෂට ගෙවිය යුතු කොන්ත්‍රාත් මුදලක් නොගෙවා පොල්ල තැබුවේය. ඒ වෙනුවෙන් සිරගෙදරදීම හර්ෂගේ ප්‍රහාරයකට ලක්වීමට ද සමයංට සිදුවිය. එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී සමයං තවත් හතුරෙක් හදාගත්තේය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ හතුරාගේ හතුරා තමන්ගේ මිතුරාය යන න්‍යායෙන් සමයංගේ හතුරෝ සියලු දෙනා එක පිලකට එකතුව සමයං ඝාතනය කිරීමට සැලසුම් කිරීමය. එහෙත් ඒ කුරුමානම වැරදුණේය. වැරදුණ කුරුමානම නිසා ගේම කැරකුණේ හර්ෂ වෙතටය. අංගොඩ ලොක්කා ද තමන්ට වෙඩි තැබීමේ සිදුවීම පසුපස සිටින බව සමයං දැන සිටියේය. එහෙත් ඔහුගෙන් පළිගැනීම දෙවනුවට තැබූ සමයං පළමු ප්‍රධාන හතුරා ලෙස හර්ෂව ගත්තේ ඔහුගේ කෙරුවාවල් ගැන දැන සිටි නිසාය. හර්ෂ අවසන් නොකළොත් ඔහු වෙතින් කුමන මොහොතක හෝ තමන්ව ඉවරයක් වෙනු ඇති බව සමයං දැන සිටියේය. ඒ නිසා ඔහු වහාම හර්ෂ වෙතට හැරුණේ ගෝලයින් අතේ පණිවුඩයක් ද යවමිනි.   


“නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතාගනිං. දැන් ඉතිං මේ නයා දෂ්ට කරලා මිසක් පස්ස බලන්නේ නෑ” සමයං හර්ෂට මරණ වරෙන්තුව නිකුත් කළේය.   


 ඒ සඳහා ඔහු සිය ගෝල බාලයින් සමඟ සැලසුමක් සකස් කළේය. කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි හර්ෂ යසස්ට 2016 පෙබරවාරි 26 වැනිදා ඇප ලැබීමට නියමිත බව සමයං දැන ගත්තේය. හේ ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට කල්පනා කළේය.   


“ඌ හැදුවේ මාව අධිකරණයට ගේන වෙලාවේ මරන්නනේ. මං දෙන්නම්කෝ උන්දැට ඒකට ගේම. ලෑස්ති වෙයල්ලා. හර්ෂයා ගේනවා 26 වැනිදා අලුත්කඩේ උසාවියට. මං දන්න තරමින් ඌට එදාට ඇප ලැබෙනවා. ඇප අරන් එළියට එද්දී උඹලා ගේම දීපල්ලා.” සමයං මේ අණ නිකුත් කරන්නේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිටියදීය. ඔහුට තිබූ ජීවිත තර්ජන නිසාම එකල සමයංට දැඩි ආරක්ෂාවක් සපයා තිබිණ. ඒ නිසා ඔහු සිටියේ රිමාන්ඩ් සිරිකරුවන් සමඟ නොව බන්ධනාගාරගත සිරකරුවන් සමඟ බව ද කියැවේ. කෙසේ වෙතත් ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මධ්‍යයේ සිට ජංගම දුරකථන භාවිත කරමින් හර්ෂ ඝාතනයට සැලසුම් කළේය.   
සමයං ගෝලයින්ට දැනුම් දුන්නේය. සමයංගේ උපදෙස් පරිදි පිරිස “ගේම” ක්‍රියාත්මක කිරීමට සූදානමින් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටියහ. එක් ගෝලයෙක් ඇතුළට ගොස් ඇප ලැබුණ බව සහතික කරගෙන ආවේය. එහෙත් ලෙයට ලෙයින් පළිගන්නා පාතාලය ගැන ඒ පාතාලයේ සාමාජිකයන් තරමට දන්නා වෙනත් කිසිවකු සිටිනු ඇතිද? ඒ නිසා සමයංගේ ලේ සෙලවීමේ වරදට තමන්ගේ ලේ සෙලවීමේ සැලසුමක් ක්‍රියාත්මක වනු ඇති බවත් ඇප ලබාගන්නා දිනය එයට කදිම දවසක් වනු ඇති බවත් හර්ෂ හොඳින්ම දැන සිටියේය. ඒ නිසා ඔහු එයින් මිදීමට මඟක් සොයා ගත්තේය.   


ඇප ලැබුණ ද එදින ඇප තබා තමන්ව නිදහස් කර නොගන්නා ලෙස ඔහු තමන්ගේ හිතවතුන්ට දන්වා සිටියේය. ඇප තබන්නට කෙනෙක් නොසිටියහොත් ඔහුට යළි බන්ධනාගාරයට යන්නට සිදුවෙනු ඇත. මේ වෙලාවේ බන්ධනාගාරයට තාවකාලිකව හෝ ආපසු යාම ජීවිත ආරක්ෂාවට වටිනේය. ඒ නිසා ඔහු සිය හිතවතුන්ට දැනුම් දුන්නේ එදින ඇප තැබීමක් නොකර පසුදින අධිකරණයට ඉදිරිපත් වී ඇප තබා බන්ධනාගාරයට පැමිණ තමන් රැගෙන යන ලෙසය.   


සමයංගේ ගෝලයින් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට රැඳී සිටියදී ඔවුන්ගේ ඇස වසා හර්ෂ බන්ධනාගාර බස් රථයෙන් අධිකරණ භූමියෙන් පිටව ගියේ එසේය. එසේ යළි බන්ධනාගාර ගතවූ හර්ෂ 27 වැනිදා බන්ධනාගාරයෙන් පිට වූයේ ඔහුට ඉදිරිපත් වූ ඇප කොන්දේසි සැපිරීමට හැකි අයෙකු අධිකරණයට ඉදිරිපත් වූ බැවිනි. එසේ සමයංට කොකා පෙන්වා පලාගිය හර්ෂ දැන් ඉතිං සැඟවී ජීවත්වීම සුදුසු යැයි කල්පනා කළේය. ඇප ලබා තමන්ගේ නිවසට නොගිය හර්ෂ කෙළින්ම ගියේ තම අනියම් බිරිඳගේ නිවසටය.   


පාතාල ලෝකයේ සබඳතා පවත්වාගෙන යන පියෙක් තමන්ගේ දියණිය දීග දෙන්නට සොයන්නේ තමන්ගේ කල්ලියට එකතු කර ගත හැකි චණ්ඩියෙක්වය. තමන්ගේ පුතාට බිරිඳක සොයන්නේ චණ්ඩි පියෙක් හෝ සහෝදරයෙක් සිටින නිවසකින්ය. පාතාලයන්ගේ බිරින්ඳෑවරු ද තමන්ගේ චණ්ඩි සැමියා අනෙක් අය සමඟ සැසඳීමට පෙලඹීම සාමාන්‍ය දෙයකි. ඇතැම් විට ඒ පාතාලයන්ට තිබෙන බිය නිසා හෝ ඇතැම් විට සැමියා මියගිය පසු ආරක්ෂාවකින් තොරව තනිවීමට සිදුවීම නිසා ආරක්ෂාව පතා හෝ ඔවුන්ගේ බහට අවනතව අනියම් සබඳතාවට එකඟ වන බිරින්ඳෑවරු ද නැතුවා නොවේ. ඒ නිසා එක් පාතාලයකුගේ බිරිඳක් තවත් පාතාලයකු සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යාම නැතහොත් එක් පාතාලයකු තවත් පාතාලයකුගේ බිරිඳක තමන්ගේ ඇසුරට ගැනීම සාමාන්‍ය දෙයකි. මේ අනියම් සබඳතා නිසාත් ඔවුන් එකිනෙකා මරාගැනීම සිදුවෙන අවස්ථා ඇත.   
හර්ෂගේ මරණය කැඳෙව්වේ ද අනියම් බිරිඳගේ නිවසේදීය. පෙබරවාරි 27 වැනිදා ඇප ලබා රාජගිරිය ඔබේසේකරපුර පිහිටි අනියම් බිරිඳගේ නිවසට ගොස් සැඟවුණ හර්ෂ තමන් පසුපස කවුරුන් හෝ ලුහුබැන්ඳේ නම් ඔවුන්ට තමන් සොයා ගැනීමට නොහැකි වෙන පරිදි පසුගිය එනම් පෙබරවාරි 28 වැනිදා අලුයම අනියම් බිරිඳ ද සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගියේය. ඔහු එලෙස ශ්‍රී පාද වන්දනාවේ ගියේ සිරිපතුල වැඳ, සමන් දෙවියන්ගේ සහයෝගයෙන් වත් ජීවිතය ආරක්ෂා කරගත හැකිවනු ඇතැයි ඔහු කල්පනා කළ නිසා ද? නැතහොත් දින කීපයක් කොළඹ මඟහැර සිටීම නුවණට හුරුයැයි කල්පනා කළ නිසාද? යන්න දන්නේ ඔහුම පමණි. හර්ෂ යළි රාජගිරියට පැමිණියේ මාර්තු දෙවැනිදාය. ටික දවසක් ආරක්ෂිතව සිය අනියම් බිරිඳ ද සමඟ සතුටින් කාලය ගත කරන්නට ලැබෙතැයි හර්ෂ සිතුවා විය හැකිය.   


එහෙත් මෙවර සමයං හොඳම තුරුම්පුව භාවිතා කරමින් හොඳම තොරතුරු ලබාගත්තේය. ඒ තොරතුරු ලැබුණේ හර්ෂගේ අනියම් බිරිඳගෙන්ම බවට ද තොරතුරු වාර්තා විය. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවද සමයංට අවශ්‍ය තොරතුර නිසි පරිදි ලැබී තිබිණ. ඒ තොරතුරු අනුව සමයං හොඳම අස්සයා රේස් එකට දැම්මේය. ඔහු ඩී. මංජු නොහොත් දඩල්ලගේ මංජු ය. ලැබුණු තොරතුරු සියල්ල ඔහු ඩී. මංජුට ලබාදුන්නේය. මංජු සිය ගෝලයකු වූ අසිත කුමාර හෙවත් ආමි අසිත සමඟ සැලසුම දියත් කළේය. ආමි අසිත හොඳ වෙඩික්කරුවෙකි. ඩී. මංජු ද ඊට දෙවැනි නැත. දෙදෙනාම එක්ව ප්‍රහාරයට ගියහ. ශ්‍රී පාද වන්දනාවේ ගොස් දෙවැනිදා නිවසට පැමිණි හර්ෂ තුන්වැනිදා දහවල් වෙනතුරු නිදාගත්තේය. දහවල් වී අවදි වූ හර්ෂ අනියම් බිරිඳ බෙදාදුන් බත්පත රැගෙන හොඳට හරිබරි ගැසී වාඩි වුණේ උදේ කෑමක් ද නැතිව නින්දේ සිටීමෙන් ඇති වූ දැඩි කුසගින්න නිවාගනු පිණිසය. ශ්‍රී පාද වන්දනාවේ ගියත් හර්ෂ කර තිබූ පව් සේදී ගොස් නැති සේය. සමන් දෙවියන් ද අහක බලාගෙන සිටි සෙයකි.   

අනාගත් බත් කට මුවට ගන්නට හර්ෂට ඉඩක් ලැබුණේ නැත. වේගයෙන් ආ යතුරුපැදිය හර්ෂ සිටි වතු නිවාසය ආසන්නයේම නවත්වා එයින් බැසගත් දෙදෙනෙක් නිවාස පේළි අතරින් රිංගා හර්ෂ සිටි නිවසටම කෙළින්ම ගමන් කළේ හරියට මීට පෙර ඇවිත් ගියා සේය. ආරක්ෂක කබා හැඳ ආරක්ෂක හිස ආවරණයක් සහිතව සිටිය ද ඒ පැමිණ තිබෙන්නේ තමන්ගේ මාරයා බව හර්ෂ දැනගත්තේය. ක්ෂණයකින් ක්‍රියාත්මක වූ හර්ෂ වහාම නිවසේ පිටුපසට දිව යන්නට පටන් ගත්තේය. එහෙත් ඔහුට පලායාමට සිදුවුයේ වෙඩි පහර කාගෙනමය. දෙදෙනා විසින්ම තැබූ වෙඩි පහරවලින් හර්ෂ බරපතළ ලෙස තුවාල ලැබුවේය. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ජීවිතය බේරාගත නොහැකි විය.   


සමයංගේ ලෙයට ලෙය පළිගැනීමේ පිපාසාව හර්ෂ ඝාතනයෙන් යම්තාක් දුරකට සංසිඳින. එහෙත් ඔහුගේ ලැයිස්තුවේ තවත් කෙනෙක් සිටී. ඒ අංගොඩ ලොක්කාය. හර්ෂ ඝාතනයට ලක්වෙන විට පාකිස්ථානයේ රැඳී සිටි මාකඳුරේ මධුෂ්ට එම ඝාතනය දැන ගන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. දකුණේ පාතාලයේ නමක් හදාගැනීමට තමන් සමඟ එක බඩවැල කඩාගෙන ආ සහෝදරයකු මෙන් අපරාධ රැසකට සහය වූ හර්ෂ යසස් ශ්‍රී ජයසේකර ඝාතනය කිරීම මධුෂ්ට දරාගත නොහැකි විය. හේ පිස්සුවෙන් මෙන් මෙය සිදුකළේ කවුද කොහොමද යැයි තොරතුරු සෙව්වේය. ඒ බව දැනගන්නට ඔහු කතා කළේ අංගොඩ ලොක්කාටය. එහෙත් ලොක්කා ඒ වනවිටත් ඒ ගැන දැන සිටියේ නැත. මධුෂ් පැවසූ දේ සත්‍යදැයි ඔහු විපරම් කර බලන විට සියල්ල සිදුවී හමාරය. එය සිදුකර තිබෙන්නේ සමයං බව තහවුරු කළ හැකි තොරතුරු අංගොඩ ලොක්කාට ලැබිණ. ඔහු ඒ බව මධුෂ්ට දැනුම් දුන්නේය. අංගොඩ ලොක්කාට වඩා භයානක හතුරා හර්ෂ යැයි සිතා සමයං හර්ෂව ඝාතනය කළත් ඔහු පිටුපස තිබෙනා දැවැන්ත හස්තය ගැන සමයං කල්පනා කර තිබුණේ නැත. ඒ නිසා හර්ෂගේ ඝාතනයක් සමඟ සමයංගේ හතුරන්ගේ ලැයිස්තුවට අලුත් නමක් එක්විය. ඒ මාකඳුරේ මධුෂ් ය. දැන් මධුෂ් හා අංගොඩ ලොක්කා ඇසට ඇස, දතට දත ලබාගැනීම වෙනුවෙන් නව මෙහෙයුමකට එළැඹුණහ.


හර්ෂ ඝාතනයෙන් පසු සමයංගේ අවිය එල්ල වන්නේ තමන් දෙසට බව අංගොඩ ලොක්කා දැන සිටියේය. මන්ද කඩුවෙල අධිකරණයේදී සමයං ඝාතනය කිරීමේ සැලැස්මේ තමන් ද සිටි බව සමයං දැන සිටිනු ඇතැයි ඔහු සැක කළේය. ඒ සැකය නිසා ඔහු තමන්ගේ ගමනට බාධාවක් විය හැකි තැනැත්තා මාර්ගයෙන් ඉවත් කිරීමට තීරණය කළේය.   


සමයං ද නිකං සිටියේ නැත. හර්ෂව කපාහැරිය සමයං ඊළඟ උණ්ඩය අංගොඩ ලොක්කා වෙත හරවාගෙන බලා සිටියේය. එහෙත් ඔහු අල්ලා ගැනීම පහසු වූයේ නැත. ඒ සඳහා සමයං අලුත් උපක්‍රමයක් භාවිතා කළේය. තාත්තාට උණ ගැනෙන්න පුතාට ගහනවා කියලා ගමේ ගොඩේ කතාවක් තිබේ. සමයං ද භාවිතා කළේ ඒ ක්‍රමයයි. අංගොඩ ලොක්කාට මරබිය ඇති වන පරිදි සමයං ඔහුගේ ගෝලයින් ඝාතනය කරන්නට පටන් ගත්තේය.   
සමයං අංගොඩ ලොක්කා කොටු කර ගැනීමට ඇටවූ උගුල් හා මාකඳුරේ මධුෂ් අංගොඩ ලොක්කා සමඟ එක්ව සමයංට එරෙහිව දියත් කළ සැලසුම් මොනවාද? ඒ ගැන අපි ලබන කලාපයෙන් කතා කරමු.

 

 

 


සටහන : 
මුදිතා දයානන්ද