මධ්‍යම විදුලි පණිවිඩ හුවමාරුවේ බෝම්බ පිපිරවීම


කොළඹ බ්යපත් කළ කොටි බෝම්බ

 

එක්දහස් නවසිය අසූව දශකයේ කොළඹ බියපත් කරමින් කොටි සංවිධානය බෝම්බ පිපිරවීම් විශාල සංඛ්‍යාවක් සිදුකළේය. දෙවැනියට පුපුරා ගිය ප්‍රබල බෝම්බය වූයේ කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ (සීටීඕ) පුපුරුවාහල අධිබලැති විදුලි කාල බෝම්බයයි.


දවසේ විසිහතර පැයේම විවෘතව පවතින මෙම ස්ථානයෙන් ගුවන්විදුලි බලපත්‍ර, විදේශ දුරකථන ඇමතුම්, ටෙලිෆෝන් ගාස්තු ගෙවීම් හා විවිධ බිල්පත් ගෙවීම් ආදී කටයුතු සඳහා විශාල ජනසමූහයක් එක්රැස්වෙති.


මෙම අවශ්‍යතා සඳහා සේවක සේවිකාවෝ 150 ක් පමණ කඩිමුඩියේ සේවයේ නිරත වෙති.


මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලීය ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විතය.


එදා 1986 මැයි 7 වනදාය. වෙනදා මෙන්ම එදිනත් මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය කලබලකාරී ස්වරූපයක් ගෙන තිබිණි. වේලාව උදේ නවය පසුවෙමින් තිබුණු නිසාත් එම පරිශ්‍රය ඉතා කාර්යබහුල විය.


වේලාව 9.23 පසුවූවා පමණි. සියල්ල උඩුයටිකුරු කරමින් මුළු කොළඹම දෙදුරුම් කන්නට විය. මධ්‍යම පණිවිඩ කාර්යාලයේ ගොඩනැගිල්ල දෙදරා ගියේය. එම පරිශ්‍රයේ සිටි පිරිසට සිදුවන්නේ කුමක්ද? සිදුවූයේ කුමක්ද? සිතාගත නොහැකිවිය.


ගොඩනැගිල්ලේ වීදුරුත් පළමු මහලේ කොන්ක්‍රීට් කැබලිත් ලෑලි වලින් සැදි සොල්දරය මතට ඇද හැලිණි. ඒ සමගම සොල්දරයද බිම් මහලට කඩා වැටිණි.


ගිනිදැල් සහ දුමාරය ගොඩනැගිල්ලෙන් මතුවෙද්දී ගොඩනැගිල්ලේ විදුලිබලයද අක්‍රිය විය. ඇඟ මතට ලෑලි සහ කොන්ක්‍රීට් කඩා වැටුණු කිහිපදෙනෙක් ​ඉන් නැගිටීමට වෙර දරති. පණ බේරාගැනීමට ඒ මේ අත දුවයන පිරිස්ද නෑ හිතවතුන් සොයමින් විලාප දෙන අයද ඒ අතර විය. රතු ලෙයින් නැහැවුණු ඇතැමෙකු ලෑලි අතරින් නැගිටිද්දී තවත් පිරිසක් මර ළතෝනි දෙමින් සිටියහ.


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ තබා තිබූ කාල බෝම්බයක් පිපිරීයාමෙන් සිදුවූ විපත මෙයයි. කිලෝ පහක පමණ බරැති ලෙස සැලකෙන බෝම්බය පිපිරී යාමෙන් 14 දෙනෙක් මරුමුවට පත්වූහ. 144 කට තුවාල සිදුවිය. ඉන් බොහෝ පිරිසක් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූවන්ය.


කාල බෝම්බය තබා තිබුණේ ගොඩනැගිල්ලේ පළමු මහලේය. මෙම මාරක දිනයේ අවශ්‍යතා සඳහා පැමිණි බොහෝ දෙනෙකුට දිවි අහිමිවන විට තවත් පිරිසකට සිදුවූයේ ජාතික රෝහලට ඇතුළුව නේවාසිකව හා බාහිරව ප්‍රතිකාර ගැනීමටය.


හිත්පිත් නැති අධමයන් රැලක් මෙසේ කොළඹ කොටුවේ මධ්‍යම විදුලි සංදේශ සේවා මධ්‍යස්ථානයේ බෝම්බ පුපුරුවා අසරණ ජීවිත කිහිපයක් බිලිගෙන කොළඹ ඉතිහාසයට තවත් ඛේදනීය මතකයක් එක්කිරීමට සමත්වූහ.


මෙම ජනතාවත් සේවක සමූහයාත් තම මවුපියන්, දූ දුරුවන් සනසා එදින සේවයට පැමිණ ආපසු නිවෙස් බලා යාමට එහිවූ දැවැන්ත ඔර්ලෝසුව දෙස නෙත් යොමා සිටින්නට ඇත.
එදින පෙරවරු 9.23 ට කුරිරු බෝම්බය පුපුරායමින් කම්පිතව ක්‍රියා විරහිතවූ එම දැවැන්ත බිත්ති ​ඔර්ලෝසු පවා එම මාරාන්තික වෙලාව සටහන් කරමින් නිසොල්මන් වූ අයුරු ගරාවැටුණු ගොඩනැගිල්ලේ බිත්ති කුහර තුළින් දිස්විණි. අදත් මෙම දර්ශන දකින සේවක සේවිකාවන්ගේ සිත් මැරිමැරී උපදිනු වැනිය.


එසේ පුපුරාගිය හිත්පිත් නැති බෝම්බයෙන් නැගුණු කළු දුමාරය ඒ පෙදෙසම අඳුරු කළේය. මහ මාවතද උණු ලෙයින් තෙත් විය.


ඇතැමුන්ගේ හදවත් තුළ සදහටම දෝංකාර දුන් මෙම අනුවේදනීය සිද්ධිය තවදුරටත් තීව්‍ර කරමින් ගොඩනැගිල්ල වටා නංවා තිබූ සුදු කොඩි මළානිකව ලෙළ දෙන්නට විය. සුදු කොඩි, පරාජිත මුහුණු දකිමින් නිහඬව ඔබ මොබ යන මහජනතාව තුළින් දිස්වූයේ ඇදහිය නොහැකි සාමූහික බවකි.


උතුරුකරයේ සටන් පෙරමුණේදී මෙයටත් වඩා ජීවිත අකාලයේ වියැකිණ. එහෙත් ත්‍රස්තවාදයේ කුරිරු බව වැඩිදෙනෙකු සියැසින් දැකගත් පළමු අවස්ථාව මෙම අගනුවර ඛේදවාචකය විය.


අනේ දෙවියනේ වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් නම් සිද්ධවෙන්න එපා.


කාගෙත් ප්‍රාර්ථනය වූයේ එයයි.


1910 වසරේ බ්‍රිතාන්‍ය රජය විසින් ඉදිකරන ලද මෙම මධ්‍යම විදුලි සංදේශ කාර්යාල ගොඩනැගිල්ලේ බෝම්බය ගිලගත් කොටස පසුව දූවිලි ගොඩකර පුනරුත්ථාපනය කර තිබිණි. ලේ තැවරුණු පොත්පත්, සේප්පු, ගෘහ භාණ්ඩද ක්‍රමයෙන් දූවිල්ලට වැසෙමින් අතීතයට එක්ව ඇත.


ත්‍රස්තවාදයේ අනිසි බලපෑම් කෙතරම් බිහිසුණුදැයි සිතමින් ගරාවැටුණු විදුලි සංදේශ ගොඩනැගිල්ල පසුකරන සැවොම එදෙස මොහොතක් බලා සිටීම එකළ සුලභ දර්ශනයක් විය.
වයස්ගත ආරක්ෂක නිලධාරියෙක් පොලිස් නිලධාරීන් තිදෙනකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු බෝම්බය පුපුරා ගිය ස්ථානයේ එදා සේවය කරමින් සිට ඇත. ගරාවැටුණු ගොඩනැගිල්ලට ඇතුළු වූ පසු එහි ඇතුළුවීම සඳහා තවත් අංශයකින් අවසර ගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.


බෝම්බය නිත්‍ය වශයෙන්ම පුපුරා ගිය ස්ථානය මෙම ආරක්ෂක නිලධාරීන් සඟවා සිටීමට උත්සාහ කළ බවක්ද සඳහන්ය. ඒ සඳහා ඔවුන් වෙහෙසකාරී ප්‍රයත්නයක යෙදුණු අයුරු වඩාත් පැහැදිලි විය.


විදුලි සංදේශ අමාත්‍යාංශ ගොඩනැගිලිවලට ඇතුළුවන සියලුදෙනා තම අනන්‍යතාව තහවුරු කළයුතු අතර වෙනත් බඩු බාහිරාදීයද පරීක්ෂා කිරීමට අදාළ ආරක්ෂක නිලධාරීන්ට සහය විය යුතුය. එහෙත් එසේ ගමන් මලු පරීක්ෂා කිරීම, හැඳුනුම්පත් පරික්ෂා කිරීම පිළිබඳ සමහරෙක් අකමැත්තක් දක්වන බව සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරී මහතෙක් පවසා ඇත.


මෙම අනතුරට පෙර කාර්යාලයේ දෛනික කටයුතු අැරඹීම සඳහා සූදානම් වෙමින් තිබුණා විය හැක. එහෙත් එදින පෙරවරු 9 පසුවී තැනින් තැන රොක්වුණු සේවකයන් සෙමෙන් සෙමෙන් මුමුණමින් සිටියේ කුමක්දැයි සිතාගත නොහැක.


සුනුවිසුණු වී ගිය දුරකතන සියයක් පමණ ක්‍රියාවිරහිතව පැවතිණ. තීන්ත තවරා අලංකාර ලෙස තිබූ විදුලි සංදේශ කාර්යාලයේ බිඳී ගිය වහලෙන් පරාල, රීප්ප, පහළට එල්ලෙමින් පැවතිණ. පරීක්ෂණ අවසන් වනතුරුම කිසිවකට අත තැබීමද තහනම් කර තිබිණි.


බෝම්බ පිපිරී විනාශ වී ගිය විදුලි සංදේශ මධ්‍යස්ථානයේ තිබූ මුදල් අඩංගු සේප්පු දෙක බිම් මහළට පෙරළී සුන්බුන් ගොඩක් මධ්‍යයේ සිරවී තිබී ඇති බවද තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.


රජයේ රස පරීක්ෂකවරයා පැමිණ සිය පරීක්ෂණ අවසන් කරනතුරු එම සේප්පු එළියට ගත නොහැකි වූ බවද සඳහන්ය.


බෝම්බය පිපිරී ගිය අවස්ථාවේ උප තැපැල් ස්ථානාධිපතිවරයකු අත තිබූ රුපියල් 24,000 ක්ද නැතිවූ බවද පැවසේ.


මීට අමතරව ටෙලිෆෝන් ගාස්තු ගෙවීමට පැමිණි අයගේ මුදල්, ඔර්ලෝසු, මුදු - මාල ඇතුළු තවත් වටිනා දේවල් බොහොමයක් සුන්බුන් වලින් සදහටම වැසී ගිය බවක්ද කියැවිණ.
මේ සිදුවීමෙන් පසු දින කිහිපයක් යනතුරු තැපෑලෙන් යැවීමට රැගෙන එන කිසිදු පාර්සලයක් භාර නොගන්නටද තැපැල් හා විදුලි සංදේශ සේවක සංගම් 6 ක් ඒකාබද්ධව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වෙත දන්වා යවා ඇත.


තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සංගමය, සමස්ත ලංකා විදුලි පණිවුඩ සේවක සංගමය, උප තැපැල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදුලි සංදේශ ඉංජිනේරු පොදු සේවා සංගමය සහ එක්සත් විදුලි සංදේශ ඉංජිනේරු සේවක සංගමය ඒකාබද්ධව මෙම පියවර ගෙන තිබිණ.


කිසියම් අයෙකුට තැපෑලෙන් පාර්සලයක් යැවීමට අවශ්‍ය නම් ඔහුගේ ජාතික හැඳුනුම්පතද තැපැල් කාර්යාලයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතුවිය. නමුත් එකල පැවති තත්ත්වය නිසා ජාතික හැඳුනුම්පත කෙරෙහි විශ්වාසය තබා පාර්සල් භාරගත නොහැකි බවටද ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සං​දේශ සංගමයේ ප්‍රධාන ලේකම් කේ. බටුවන්තුඩාව මහතා පවසා තිබේ.


ඉන්පසුව තැපෑලෙන් යැවීමට අවශ්‍ය පාර්සල් ඒවා අයිතිකරුවන් විසින්ම තැපැල් ස්ථානයේ නිලධාරීන් ඉදිරිපිට විවෘත කොට හෝ ඔවුන් ඉදිරිපිට පාර්සල් කර ඒ පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතුව ඇතැයි සඳහන්විණ.


දිනකට තැපැල් පාර්සල් 1500 පමණ ලෝටස් පාරේ පිහිටි පාර්සල් අංශය මගින් භාරගනු ලැබිණි. ඊට අමතරව මාර්ගස්ථ පාර්සල් 1000 පමණ මෙම අංශයට ලැබී තිබිණි.
ලැබුණු පාර්සල් 3000ට අධික ප්‍රමාණයක් කඩිනමින් බෙදාහැරීමටද තැපැල් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය විධිවිධාන යොදනු ලැබිණි.


එයාර් ලංකා ට්‍රයිස්ටාර් ගුවන්යානය පුපුරුවා හැරීම හා කොළඹ ප්‍රධාන විදුලි සංදේශ කාර්යාලයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගතයුතු පුද්ගලයන් 7 දෙනෙකු ගැන රජය විමසිල්ලෙන් සිටින බවද ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා පවසා ඇත.


එයාර් ලංකා සිද්ධිය පිළිබඳව පස් දෙනෙකුද සී.ටී.ඕ. සිද්ධිය පිළිබඳ එක් අයෙකුද අත්අඩංගුවට ගෙන තිබිණි.


මේ සිද්ධියෙන් මියගිය කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳවද මරණ පරීක්ෂණ පැවැත්විණ. ඒ කොළඹ 13, නිව්හැම් චතුරශ්‍රයේ රංජනී තුරේරාජා සහ මාවනැල්ල සහිරා පාරේ අබ්දුල් ජබාර් උම්හයිම් නමැති කාන්තාවන් දෙදෙනාගේය.


මොවුන් දෙදෙනාත් විදේශවලට ටෙලෙක්ස් පණිවිඩ ලබාගැනීම සඳහා මෙම කාර්යාලයට පැමිණ ඇති අයයි. මෙම මරණ දෙකද අනෙකුත් මරණ තීන්දුවටම අයත් ලෙසත් මිනීමැරුම් ලෙසත් මරණ පරීක්ෂකවරු තීරණය කළහ.


කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට බෝම්බ තබා පුපුරුවා හැරීමට ඊරෝස් ත්‍රස්තවාදී කල්ලිය විසින් සූදානම් කොට තිබූ සැලැස්මක් ගැන සම්පූර්ණ තොරතුරු පොලිසියට හා හමුදාවට ලැබී තිබිණි.


පුපුරුවා හැරීමට නියමිතව තිබූ ස්ථාන නම් එයාර් ලංකා යානය සමග වරාය අධිකාරිය, නැව් සංස්ථාව, මහ බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, කොටුව දුම්රිය ස්ථානය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි.


වී බාලකුමාර්ගේ නායකත්වයෙන් යුත් ඊරෝස් කල්ලියේ මෙම රහස් සැලැස්ම පිළිබඳ තොරතුරු හෙළිවූයේ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ බෝම්බ පිපිරවීම ගැන පොලිසිය විභාග කරගෙන යන අවස්ථාවේදීය.


ඊරෝස් කල්ලියේ මෙම අනතුරු හැඟවීම පිළිබඳව පොලිසියටත් හමුදාවලටත් තොරතුරු ලැබීමත් සමගම මේ ගොඩනැගිලිවල ආරක්ෂක කටයුතු තරකරන ලෙස එකල පොලිස්පති සිරිල් හේරත් මහතා නිලධාරීන්ට උපදෙස්දී තිබේ.


මෙම බෝම්බ තර්ජන ගැන පොලිස් මූලස්ථානයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණු අතර ගතයුතු ආරක්ෂක වැඩපිළිවෙළ ගැන පොලිස්පතිවරයා ඉහළ පෙළේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.


පිපිරවීම් සඳහා යොදාගන්නා කාලබෝම්බ පිටතින් ගෙන ඒමට අවශ්‍ය නොවන අතර ඒවා ඕනෑම අවස්ථාවකදී කොළඹදී නිෂ්පාදනය කරගැනීම සඳහා ඊරෝස් ත්‍රස්තවාදීන් කටයුතු යොදාගෙන ඇති බවද පරීක්ෂණ වලදී හෙළිවිණි.


ඊරෝස් සංවිධානයට උදව් උපකාර කළ සිංහල තරුණයන් කිහිපදෙනෙකු ගැනද පොලිසිය සෙවිල්ලෙන් සිට ඇත.


සී.ටී.ඕ. කාර්යාලයේ බෝම්බ පිපිරීම මූලික පියවරක් පමණක් යැයිද ඊරෝස් සංවිධානය කොළඹ විශාල කලබලයක් ඇතිකරන බවටද තර්ජනය කර තිබේ.


මෙම කාර්යාලය තුළ කාලබෝම්බයක් පිපිරීමට විනාඩි දෙකකට පෙර විදුලිය ඇනහිටියේ කෙසේදැයි යන්න පිළිබඳවද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත. විදුලිය ඇනහිටීමත් සමගම සී.ටී.ඕ. කාර්යාලයේ සිටි සියලුම ද්‍රවිඩ සේවක සේවිකාවන් පිටතට පැමිණ ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම සිද්ධිය වීමට පෙර සී.ටී.ඕ. කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනෙකු නිවාඩු යාම ගැන සැකයක් මතුවී ඇති බැවින් ඒ ගැන එහි සේවකයන් සියලුදෙනාගෙන්ම ප්‍රශ්න කර ඇත.
මීට පෙර කොළඹ ස්ථාන කිහිපයකදීම බෝම්බ පිපිරූ අවස්ථාවේ එම ස්ථානවල සිටි ද්‍රවිඩ සේවකයන් කළින් නිවාඩු යාම හෝ එසේ නැතහොත් බෝම්බ පිපිරීමට පෙර සේවය හමාර කොට යෑමේ සිද්ධීන් තිබූ නිසා සී.ටී.ඕ. කාර්යාලයේ පිපිරීමෙන් ද්‍රවිඩ සේවකයන් කළින් යෑම ගැනත් කිසියම් සම්බන්ධයක් අත්දැයි රහස් පොලිසිය සොයා බලා ඇත.
මෙම කාර්යාලයේ ප්‍රධාන කවුන්ටරය අසල පොලිස් උප සේවයේ කොස්තාපල්වරුන් තිදෙනෙකු ආයුධ සන්නද්ධ ආරක්ෂක සේවයේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන්ට සම්බන්ධකම් තියෙන තරුණයකු බෝම්බ පාර්සලය තැබුවේ කෙසේදැයි යන්න බලවත් ප්‍රශ්නයක් වී තිබේ. ඒ පිළිබඳව ආරක්ෂක නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කර ඇත.
මෙම බෝම්බ තැබීමේ සිද්ධියට බාලකුමාර්ගේ නායකත්වයෙන් යුත් ඊරෝස් සංවිධානය සම්බන්ධ බව අත්අඩංගුවට ගත් සැකකටයුතු තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත.


මෙම ත්‍රස්තවාදීන් සියලුදෙනාම ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානයේ (ඊරෝස්) සාමාජිකයන් බවද අනාවරණය වේ. මොවුන්ගෙන් වැඩිදෙනෙකු යාපනය, කිලිනොච්චිය, වව්නියාව සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණවලදී හෙළිව ඇත.


මෙම සිදුවීම නිසැකවම සිදුව තිබෙන්නේ මරාගෙන මැරෙන කල්ලියේ ත්‍රස්තවාදීන්ගේ මෙහෙයවීම යටතේය.


මෙම ත්‍රස්තවාදී කල්ලියට කොළඹ, වනාතමුල්ල ප්‍රදේශයේ සිංහල තරුණයන් උදව් උපකාර කළ බවටද ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වූ අතර මරාගෙන මැරෙන කල්ලිය කොටහේන, මෝදර, තොටළඟ, යන ප්‍රදේශවල පදිංචිව සිටි බවටද ආරක්ෂක හමුදාවට ලැබී ඇති තොරතුරු වලින් හෙළිවේ.

 


ධනු විජේරත්න