සොඳුරු දසුනක්-ගමට විනයක්
හම්බන්තොට-මත්තල මාර්ගයේ නිතර නිතර එහා මෙහා යන එන වල් අලි රංචුව නෙතට සොඳුරු දසුනක් වූවාට මත්තල හා අවට ගම්වැසියන්ට හා මාර්ගයේ ගමන් කරන අයට නම් එය ඉතා අමිහිරි අත්දැකීමක් වී තිබේ.
‘අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි කවදාවත් එපා වෙන්නේ නැහැ’යි කියමනක් ඇත. එහෙත් මත්තල-හම්බන්තොට මාර්ගයේ ගමන් කරන අයට නම් එය සුන්දර කියමනක් නොවන බව කිව යුතුමය. ඒ මෙම වල් අලි නිසා මේ මාර්ගයේ ගමන් කරන අයගේ ජීවිත අද වනවිට දැඩි අවදානමකට ලක් වී ඇති නිසාවෙනි.
මේ ලිපිය ලියන මා ද දිනපතා උදේ සවස මේ මාර්ගයේ ගමන් කරන අයකු ලෙස මේ ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දී ඇති වාර ගණන අනන්තය. උදේ අටට නවයටත් මත්තල පාරේ ‘වල් අලි සෙල්ලම් දමනවා’ය කිව්වොත් එය කිසිවකුත් එක වරම පිළිගන්නේ නැත. නමුත් ඒ ඇත්තය. ඊට ආසන්නතම සිදුවීම ලෙස මත්තල හතරේ කණුව ප්‍රදේශයේ පෙරපාසලට දරුවා රැගෙන යමින් සිටියදී වල් අලියකු එකවර ත්‍රිරෝද රථයට පහර දීමට පැමිණීමත් සමඟ ඇති වූ අනතුරයි. එදා ත්‍රිරෝද රථයේ පැමිණි පෙරපාසල් දරුවාගේත් ත්‍රිරෝද රථය පදවාගෙන ආ පියාගේත් ජීවිත බේරුණෙත් අනූනවයෙනි.
සීනුක්කුගල, කුරුදාන, පහළඅන්දරවැව, හැඩිල්ල, ගොන්නොරුව, කෑලියපුර, සිරිබෝපුර, මත්තල, එළල්ල, මීගහජදුර හරහා සූරියවැව යන ප්‍රදේශ අද වනවිට වල් අලි නිසා දැඩි අවදානමට ලක් වී ඇති ප්‍රදේශ බවට පත් වී තිබේ. පෙරත් මේ ප්‍රදේශවල වල් අලි ජීවත් වූ නමුත් අද මෙන් වල් අලි තර්ජන එදා නොවූ බව පැරැන්නෝ කිහිප දෙනෙක්ම අප සමඟ පැවැසූහ. එදා වල් අලින්ට රිසි සේ ඇවිද යාමට කැලෑව පැවැති අතර ඔවුන්ට කෑමට ද ඇති තරම් කෑම ද ජලය ද තිබුණි. එහෙත් වර්තමානය වනවිට සිදුවී ඇති අක්‍රමවත් සංවර්ධන කටයුතු නිසා වල් අලින්ගේ නිජබිම් ඔවුන්ට අහිමි වී ගොස් තිබේ. වෙනදා වල් අලින්ට ඇවිද යාමට තිබූ කැලෑ අද අක්කර දහස් ගණනින් එළිකර තිබේ.
කෑලෑ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර මහා පරිමාණ වගා කටයුතු සිදු කිරීමෙන් වල් අලින්ගේ භූමි අද ඔවුනට අහිමි වී ගොස් තිබේ. මේ හේතුව නිසා අද වනවිට වල් අලින් ගම් වැදී කලහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකෙරුණු විවිධ සංවර්ධන කටයුතු සඳහා පමණක් කැලෑ අක්කර 15,000ක් පමණ සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. මේ එළි පෙහෙළි කර ඇති ප්‍රදේශ වල් අලින්ගේ නිජබිම් ලෙස පැවැති ප්‍රදේශ බව සංවර්ධන කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කළ අය නොදැන සිටීම පුදුම සහගතය.
අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත්තේ අක්‍රමවත් සංවර්ධන කටයුතු හා වන සංහාරය නිසා බව පරිසරවේදීන්ගේ ද පිළිගැනීමයි. එහෙත් ඉහළ පෙළේ බලවතුන්ගේ බලහත්කාරකම්වලට යටවීමට සිදුවීම හමුවේ පරිසරවේදීන්ට ද ඇස් කන් පියා සිටීමට සිදු වී තිබේ.
හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ජාවාරමක් පවතින බව පසුගියදා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය මාධ්‍ය කළ විමසීමකදී පිළිගත්තාය. ඇය සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවට සඳහන් කර ඇති ඉඩම් විවිධ පිරිස් විසින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ය.
“දැන් දවස් තුනකට කලිනුත් මම වැඩට යනකොට මේ අලියා මගේ පාරේ එළෙව්වා. එදත් මම බොහොම අමාරුවෙන් බේරුණේ. අනික මේ අලියා අනිත් අලින්ට වඩා දරුණුයි. වෙන අලි වාහන එනකොට පාරෙන් අයින් වෙනවා. නමුත් මේ අලියා වාහන එනකොට පාර දිගේ එළවගෙන එනවා. බයික්, ත්‍රීවීල් පේන්න බෑ. වනජීවී එකටත් අපි මේ ගැන කිව්වා. මේ අලියාගේ වල්ගේ කෑල්ලක් නෑ. ඒ නිසා මේ අලියා අපිට අඳුර ගන්න පුළුවන්” යැයි මත්තල පදිංචි රවීන්ද්‍ර කුමාර මහතා අපට පැවැසීය.
“මේ අලි ගැටලුවට මෙතෙක් කවුරුවත් වගකිව යුතු බලධාරියෙක් නිසි පිළිතුරක් ලබා දීමට පියවර ගෙන නැහැ. හැමෝම කරන්නේ සිද්ධියක් වුණාම ඇවිත් තාවකාලික විසඳුමක් දීලා ඇඟ බේරගෙන යන එක විතරයි. යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය කියලා එකක් හදන්න කටයුතු කළා. නමුත් ඒවත් තවම සුදු අලි විතරයි. යෝජිත හම්බන්තොට වල් අලි කළමනාකරණ රක්ෂිතයට අයත් සීනුක්කුගල, මත්තල, කුඩා ඉඳිවැව හා එලල්ල ප්‍රදේශයේ මහ පරිමාණ ගල් වළවල් ගණනාවක් මේ වනවිට පවත්වාගෙන යනවා. මේ නිසා අලින්ට ඒ පැතිවල ඉන්න බෑ. ඒ විතරක් නෙමේ අලින්ට ඉන්න කියලා වැටවල් ගහලා වෙන් කරපු කැලෑවල් අද ලොකු ලොකු මුදලාලිලා ඇවිත් සුද්ධ කරලා මහා පරිමාණ වගාවන් සිදුකරනවා. මේ නිසා අලි ගමට එන්න පටන් අරගෙන. ගොවිතැන් කරලා ජීවත් වෙන අපට නිදහසේ ගොවිතැනක් කරගෙන ඉන්න බැරිවෙලා. සීතල කාමරවල ඉඳගෙන අලි ගැටලු ගැන කතා කරන අයට අපි කියන්නේ එන්න දවසක්, එක රැයක් මේ ගම්මානයක ඉඳලා බලන්න කියලා. එතකොට තේරේවි අලි නිසා මේ මිනිස්සු කොච්චර මරණ බයකින් ද ජීවත් වෙන්නේ කියලා” යැයි ඔහු පැවැසීය.
වෙනදාටත් වඩා මෙම ගම්මානවලට දිනපතා අලි කඩාවැදීම් බහුලව සිදුවන අයුරු සිදුවී තිබෙන විනාශ තුළින් දැකගත හැකිය. අලි රංචු පිටින් මෙන්ම තනි තනි වශයෙන් ද ගම්මාන තුළට කඩා පනිති. මීට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන්නේ මහා පරිමාණ ලෙස ප්‍රදේශයේ ලඳු කැලෑ එළිකිරීමයි. එමෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් විශාල වශයෙන් කැලෑ ප්‍රදේශ එළිකිරීම හේතුවෙන් අලින් ඉතා කුඩා ප්‍රදේශයකට කොටු වී තිබේ. මේ හේතුවෙන් වෙනදා අලි දිනකට ඇවිද ගිය දුර ප්‍රමාණය ද අද වනවිට සීමා වී තිබේ. අලින්ගේ නිජභූමි අද මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම හේතුවෙන් අලින්ට වෙනදා තිබූ නිදහස අහිමි වී ගොසිනි.
හම්බන්තොට-මත්තල පාරේ දිනපතාම පාහේ වල් අලි නිසා සිදුවන හිරිහැර එන්න එන්නම වැඩිවෙමින් පවතී. වල් අලි මත්තල මාර්ගය හරහා එහා මෙහා ගමන් කිරීම අද ඊයෙක සිදු වූවක් නොවේ.
මීට වසර ගණනාවක සිටම වල් අලි මේ මාර්ගය හරහා ගමන් කර තිබේ. ඒ බුන්දල හා ඒ අවට කැලෑ ප්‍රදේශයේ සිටින වල් අලි සූරියවැව මදුනාගල කැලය වෙත ගමන් කරන අලිමංකඩ වැටී තිබෙන්නේ මේ මත්තල මාර්ගය හරහාය. එදා මෙම මාර්ගයේ තිබූ නිදහස අද වල් අලින්ට අහිමි වී ගොසිනි. මංතීරු හතරකට පුළුල් කෙරුණු මෙම මාර්ගය දෙපස ද විදුලි වැටවල් ද තැනින් තැන යොදා තිබීම හමුවේ වල් අලි උවදුර උග්‍ර අතට හැරී තිබීම පුදුමයක් නොවේ.
සංවර්ධනය යැයි කියා ගනිමින් එකී සිහිනය වෙනුවෙන් වනාන්තර පද්ධතිය හා වනජීවීන් හා අනෙකුත් ස්වභාවික සම්පත් සියල්ල විනාශ කර දමන්නේ කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. රටක පවතින ස්වභාවික සම්පත් ටික විනාශ කර දමා ඇති කරන සංවර්ධනයෙහි කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව මොළේ ඇති කාට වුව ද වැටහෙන කාරණාවකි.
තම දේශපාලන හෙන්චයියලාට මෙරට පවතින වනාත්තර පද්ධතිය විනාශ කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දොළ පිදේනි ලෙස බව කවුරුත් දනිති. මෙරට ජනයාට ද වැඩි දවසක් නොගොස් මේ සිදුවන වන සංහාරයට එරෙහිව පාරට බහින්නට සිදුවන දවස නම් වැඩි ඈතක නොවේ.
පසුගියදා වත්මන් ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශය තම සියතට ගත්තේ ඇයි ද? යන්න පිළිබඳව රූපවාහිනී ඔස්සේ අප දුටුවෙමු. එය සියලු දෙනාට තරමක අස්වැසිල්ලක් වනු ඇත. පරිසර පද්ධතිය ආරක්ෂා කෙරේ නම් වල් අලි උවදුරට ද විසඳුම් ලැබෙන බව අමතක නොකළ යුතුය.
සටහන හා ඡායාරූප -
සූරියවැව දිලීප් ජයසේකර