මතට හුරු වූ සුරනිමල මතෙන් බේරුණු හැටි


මඟ වැරදුණු ජීවිතය යළි යහ මගට

 

සුරනිමල හතේ අටේ පංතිවල ඉගෙන ගන්න කාලෙදිම තමයි බීඩි බොන්න පුරුදු වුණේ. එයාට සහෝදරයෝ දෙන්නෙක් හිටියා. අයියට හොරෙන් බීඩි බීලා ගඳ යන්න විටක් කන්න ඔහු පුරුදු වුණා. ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමේත් ඔහු හොඳට සෙල්ලම් කළා. ශිෂ්‍ය භට කණ්ඩායමේ හිටියා. මේ හැම දෙයක් කරන අතරේ ඔහු ටික ටික ගංජාවලට පුරුදු වුණා. සුරනිමල ඒක ඇබ්බැහියක් කරගත්තා. මේවා ගෙදරින් දැනගෙන ප්‍රශ්න ඇති වෙන්න කලින් සුරනිමලම ඒ ගති අරින්න හිතාගෙන ආරක්ෂක අංශයේ රැකියාවකට ගියා.   
ආරක්ෂක අංශයේ රස්සාවකට ගිය සුරනිමල ආයෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණේ කොහොමද? මේ සුරනිමලගේ කතාවයි.   


මම ගංජා බොන්න පුරුදු වෙලා හිටියා. මේක ටික ටික අයියාට ආරංචි වෙන්න ගත්තා. ඒත් එයා විශ්වාස කළේ නැහැ. ඒ නිසා මම හිතුවා අයියගේ විශ්වාසය කඩ කරගන්නවාට වඩා හොඳයි ගමෙන් පිටවෙන එක කියලා. උසස් පෙළ ලියපු ගමන්ම මම ආරක්ෂක අංශයට බැඳුණා. ටික කාලයක් මේ විදිහට රස්සාව කරගෙන යනකොට මාව රේගුවට දැම්මා. ඒ රේගුවෙන් අල්ලන මත්ද්‍රව්‍ය සීල් කරලා අධිකරණයට ඉදිරිපත් කරන අංශයට. වැඩිපුරම අත්අඩංගුවට පත්වන්නේ කුඩු. ගංජා භාවිතා කරලා තිබුණ පුරුද්ද නිසා මට කුඩු දැක්කාම ආසාවක් ඇති වුණා. හොරෙන් බොන්නමයි හිතුණේ. ඒත් අනෙක් අයට පේන්න ගන්නත් බැහැ. මම ඒකට උපක්‍රමයක් යෙදුවා. ඒවා සීල් කරද්දී කාටත් හොරෙන් මම ටිකක් අරගත්තා. පළමු වතාවට කුඩු භාවිත කළේ ඒ විදිහටයි. ඊට පස්සේ මම ඒක දිගටම කළා. සීල් කරපුවා මා අතට ආවොත් ඒවා කාටත් නොදැනෙන්න සිදුරු කරලා ටිකක් ගන්නවා.   
මේ විදිහට අවුරුදු පහක් මම කුඩු බිව්වා. ඊට පස්සේ මාව වෙනත් අංශයකට මාරු කළා. ඒත් කවුරුවත් දන්නේ නැහැ මම කුඩු පාවිච්චි කරන බව. වෙන තැනකට දැම්මාට පස්සේ මට දැන් නිකම් කුඩු ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා හම්බවෙන පඩිය පාවිච්චි කරලා බොන්න පුරුදු වුණා. අන්තිමට මට පඩිය මදි. රස්සාව කරගෙන යන්නත් බැරි ගාණට ආවට පස්සේ ඒකෙන් අයින් වුණා. ඊට පස්සේ ගෙදර ඉඳන් පොඩි පොඩි දේවල් කළා. ඒත් ඒක බොන්න මදි. ඒ නිසා ගෙදර වත්තේ පොල් ටික කඩාගෙන බිව්වා. අන්තිමට මංකොල්ල කන්න පුරුදු වුණා. හොරකම් කළා. මේ විදිහට මට නඩු හයක් විතර වැටුණා. ඒත් ගෙදරින් දන්නේ නැහැ මම මේවා කරන්නේ කුඩු බොන්න කියලා.   


මේ කාලේ අයියලා දෙන්නම හිටියේ රට. ඒ නිසා එයාලට මම කරන දේවල් ගැන ආරංචි වුණත් විසඳුමක් හොයන්න බැරි වුණා. ඒ කිසිම කෙනෙක් හිතුවේ නැහැ මල්ලි කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. එයාලා දෙන්නම තමන් ඉන්න රටවලට ගෙන්න ගන්න හැදුවත් මම ගියේ නැහැ. අන්තිමේදි එක අයියා කෙනෙක් ලංකාවට ආවා. ඒ පොඩි අයියා. මට වඩාත් සමීප ඔහුයි. අයියා හොයා ගත්තා මම කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. මම එයාට ඇත්ත කිව්වා. එයා ඇහුවා මේකෙන් බේරෙන්න මොනවද කරන්න පුළුවන් කියලා. මම කිව්වා කොළඹ පැත්තේ වෛද්‍යවරයෙක් ඉන්නවා මේවාට ප්‍රතිකාර කරන එයාගෙන් පෙති ගමු කියලා. අයියා කැමති වුණා.   


අයියා මාව එතනට අරන් ගියා. එතන දෙන්නෙත් මත් පෙත්තක්ම තමයි. ඒකේ සැර ටික ටික අඩුවෙන විදිහට දීලා ඇබ්බැහිය නවත්වනවා කියලා තමයි කියන්නේ. ඒත් අපි කරන්නේ කුඩු නැති වුණාම මේ පෙති අරන් එක පෙත්ත වෙනුවට දෙක තුනක් බොන එකයි. කුඩුවලට වඩා මේවා ගණන් අඩු නිසා ලාභයි. ඉතිං අයියා රවට්ටලා පෙති අරන් මම එකවර දෙක තුනක් බොනවා.   


මේ විදිහට වතාවක් දෙකක් කරනකොට අයියාට හොරේ අහුවුණා. ඒ නිසා එයා මට සල්ලි දුන්නේ නැහැ. කොහොම හරි මම මාස කීපයක් කුඩු ගන්නේ නැතිව නවත්තලා හිටියා අයියට බයේම. ඒ අතරේ අයියා කඩයක් දැම්මා. මම දැන් කුඩු පාවිච්චියක් නැති නිසා අයියා මාව කඩේට සම්බන්ධ කරගත්තා. එතනදී සල්ලි අතගාන්න ලැබුණාම මට නැවත අර ආසාව ආවා. අයියගේ කඩේ සල්ලි ටික හොරකම් කරගෙන ගිහින් ආයෙම කුඩු බොන්න පටන් ගත්තා.   

 

මම ගංජා බොන්න පුරුදු වෙලා හිටියා. මේක ටික ටික අයියාට ආරංචි වෙන්න ගත්තා. ඒත් එයා විශ්වාස කළේ නැහැ. ඒ නිසා මම හිතුවා අයියගේ විශ්වාසය කඩ කරගන්නවාට වඩා හොඳයි ගමෙන් පිටවෙන එක කියලා. උසස් පෙළ ලියපු ගමන්ම මම ආරක්ෂක අංශයට බැඳුණා. ටික කාලයක් මේ විදිහට රස්සාව කරගෙන යනකොට මාව රේගුවට දැම්මා. ඒ රේගුවෙන් අල්ලන මත්ද්‍රව්‍ය සීල් කරලා අධිකරණයට ඉදිරිපත් කරන අංශයට. වැඩිපුරම අත්අඩංගුවට පත්වන්නේ කුඩු. ගංජා භාවිත කරලා තිබුණ පුරුද්ද නිසා මට කුඩු දැක්කාම ආසාවක් ඇති වුණා. හොරෙන් බොන්නමයි හිතුණේ. ඒත් අනෙක් අයට පේන්න ගන්නත් බැහැ. මම ඒකට උපක්‍රමයක් යෙදුවා. ඒවා සීල් කරද්දී කාටත් හොරෙන් මම ටිකක් අරගත්තා. පළමු වතාවට කුඩු භාවිත කළේ ඒ විදිහටයි. ඊට පස්සේ මම ඒක දිගටම කළා. සීල් කරපුවා මා අතට ආවොත් ඒවා කාටත් නොදැනෙන්න සිදුරු කරලා ටිකක් ගන්නවා.   

 


කඩේ බංකොලොත් වෙනකොට අයියා දැන ගත්තා. එයා මගෙන් අහන්නේ නැතිවම ඒ ගැන හොයලා. අන්තිමට මාව කඩෙන් අයින් කරලා කඩෙත් වහලා දැම්මා. 

 
එයා වෙනම කඩයක් කරගෙන ගියා. මට දැන් මොනම දෙයක්වත් කරගන්න විදිහක් නැහැ. සමහර වේදනා නාශක පෙති ගත්තාමත් කුඩු ගැහුවා වගේ තමයි. ඉතිං මම දවසක් අයියාට කෝල් කරලා කිව්වා ඉන්නම බැහැ දතක් කැක්කුමයි කියලා. අයියා කිව්වා දැන් රෑ වෙලානෙ හෙට බේත් ගමු කියලා. මම කෑ ගැහුවා ඉන්නම බෑ කියලා. අයියා කඩෙත් වහලා ඇවිත් මාව ඩොක්ට ළඟට එක්ක ගියා. ඩොක්ට වේදනා නාශක පෙති ගොඩක් දුන්නා. මම ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා අරගෙන තාවකාලිකව මගේ අසනීපය සනීප කරගත්තා. ඒක ඉවර වෙනකොට ආයෙම ගියා. ඒ වෙලාවේ අයියා දැනගත්තා මේක උපක්‍රමයක් කියලා. ඒ නිසා එයා මට පෙති ටික නොදී උදේට හවසට එයාම පෙත්ත පෙත්ත දෙන්න ගත්තා. මම කිව්වා සේරම එක පාර දෙනවා නම් මිසක් මම බේත් බොන්නේ නැහැ කියලා. අයියා සේරම බේත් ටික දුන්නා. අයියා මාව බලාගත්තේ ඇත්තටම පොඩි ළමයෙක් බලාගන්නවා වගේ. මම හැසිරුණෙත් ඒ විදිහට.   


මාව පොලිසියෙන් හොය හොයා හිටියේ හොරකමකට. දවසක් මාව පොලිසියට මාට්ටු වුණා. හැමදාම පොලිසියෙන් ගෙනිච්චාම අයියා ඇවිත් ඇප දෙනවා. මේ පාර අයියා අම්මාටත් කියලා තිබුණා පොලිසිය පැත්ත පළාතේ යන්න එපා කියලා. නඩුවටත් කවුරුවත්ම නැහැ. අයියා මම හිතන විදිහට පොලිසියට කියලා තියෙනවා මාව කන්දකාඩු යවන්න කියලා. පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලුවා මම හොරකම් කරන්නේ කුඩුවලට ඇබ්බැහි වෙලා තියෙන නිසා, ඒ නිසා පුනරුත්ථාපනයට කන්දකාඩු යැවීම සුදුසුයි කියලා. මමත් ඒකට කැමති වුණා.   


මගේ වයස දැන් අවුරුදු විසි අටක්. කුඩුවලට ඇබ්බැහි වෙලා අවුරුදු අටක් විතර වෙනවා. මේ කාලය තුළ මම විශාල මුදල් ප්‍රමාණයක් කුඩු නිසා නැති කරගෙන ඉවරයි. කසාදයක් බැඳලා නැහැ. බඳින්න කෙනෙක් ගැන හිතලාවත් නැහැ. මොකද මගේ එකම ලව් එක කුඩු නිසා.   

 


ඇත්තටම කුඩුවලට ඇබ්බැහි වුණ කෙනෙක් පුනරුත්ථාපනයට තියෙන හොඳම තැන කන්දකාඩු කියලයි මම හිතන්නේ. අපිට තියෙන නීති රිති, ලබාදෙන දැනුම, වෘත්තීය පුහුණුව ආදී සියල්ලක්ම තුළ හැදෙන්න බැරි කෙනෙකුට ඇත්තටම හැදෙන්න බැහැම තමයි. ආණ්ඩුව අපි වෙනුවෙන් අවුරුද්දකට ලක්ෂ විස්සක් විතර වියදම් කරලා යට ඇඳුමේ සිට සියල්ල ලබාදීලා කරන මේ සත්කාරය ගැන අපි මීට වඩා ගැඹුරින් හිතන්න ඕන. මිනිහෙකුට බලෙන් කුඩු පොවන්න බැහැ. ඒකට අපි ඇබ්බැහි වන්නේ අපේ හිතේ දුර්වලකම නිසයි.   
 මමත් එහෙමයි. දැන් වුණත් ඒ ආසාව යටපත් කරගන්න බැරි වුණොත් මම නැවත කුඩුවල ට ඇබ්බැහි වෙන්න පුළුවන්. මාස හයක් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන ඒකකයේ සිටිය අපිව ඉන්පසුව සේනපුර තෘතීය වාත්තීය පුහුණු මධ්‍යස්ථානයට යොමු කළා. එතනදී මම මේසන් වැඩ ඉගෙන ගත්තා. දැන් මට එළියට ගිහින් කරන්න රස්සාවක් තියෙනවා.   


මම මගේ මාපියන්ට සහෝදරයෝ දෙන්නාට විශේෂයෙන්ම පොඩි අයියාට සෑහෙන කරදරයක් කළා. එයාලට මාව අවමානයක් වෙන තැනටම මම වැඩ කළා. දැන් මට අවශ්‍ය හොඳ මනුස්සයෙක් වගේ විවාහයක් කරගෙන හොඳින් ජීවත් වෙන්න. ඒකට මට මෙතනදී ලැබුණ දැනුම, වෘත්තීය පුහුණුව ඉතාමත්ම වැදගත්. මට අද NVQ 3 සහතිකයක් ලැබුණා.   
ඉතිං සුරනිමල බලාපොරොත්තු වෙන විදිහට ඔහුට නිවැරදි වෙන්න ඉඩක් ලැබී තිබෙනවා. ඒ වගේම ඔහු ගැන සොයා බලන්න පසුවිපරම් නිලධාරීන් කණ්ඩායමක්ද පුනරුත්ථාපන කොමසාරිස් කාර්යංශය යටතේ කටයුතු කරනවා. පුනරුත්ථාපනය වන අයගෙන් සියයට පනහක් පමණ නැවත කුඩුවලට යොමු වන බව ඒ නිලධාරින්ගේ අදහසයි. එය වෙනස් කිරීමට නම් මේ පුනරුත්ථාපනය වන පිරිස් නිරන්තර කිසියම් කාර්යයක යොදවා ගත යුතුවෙනවා. මේ වෙනුවෙන්ද දැන් අධ්‍යක්ෂක පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන ඒකකය කටයුතු සැලසුම් කරමින් සිටී.   


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   


විශේෂ ස්තුතිය - - පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ, අධ්‍යක්ෂක පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන කර්නල් එම්. අසාද් ඉසඩීන්, කන්දකාඩුව හා සේනපුර මධ්‍යස්ථාන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් වන කර්නල් චමින්ද පැස්කුවල් හා ලුතිනන් කර්නල් විරාජ් විමලසේන මහත්වරුන්ට.   

 


සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද