මතට-මත්කුඩට එරෙහි නාටාමිලා


​කොළොම්පුරේ ජීවිතේ  

 

 

ෙබාහෝ වේලාවක් තිස්සේ තැන් තැන් හි කැටි ගැසෙමින් තිබූ සැඳෑ අඳුර ඒ වන විට කොළඹ නගරය ග්‍රහණයට ගෙන තිබුණ දහවල තිස්සේ ගිනියම් වෙමින් තිබූ කොන්ක්‍රීට් වනාන්තරයට ඉසිඹුවක් ලැබුණා සේය.  


කෙළවරක් නැතිව ඒ අතට මේ අතට යන එන වාහන කන්දරාව කෙමෙන් අඩුවෙමින් තිබිණ. රෑ මනමාලියන්ගේ වත්සුනු සුවඳ ගුණසිංහපුර හන්දිය වෙළාගෙන ඇත. යකඩ වැටෙන් එපිට දවස තිස්සේ රටේ නන් දෙසින් පැමිණ වෙහෙස නිවා ගනිමින් සිටින ලංගම බස්රථ එක පෙළට හති හලන හෝරාවේ මම චිර ප්‍රසිද්ධ පිටකොටුවේ ඇවිද යමින් සිටියේ මීට පෙර වතාවේදී මවිසින් විස්තර කරන ලද ‘නාටමි’ ජීවිත අඳුරේ කරන රාජකාරි කටයුතු විපරම් කරනු රිසියෙනි.  
 වැහි අඳුරත් සමග අහස වසා සිටින කළු වලාකැටි පරිසරයට ගෙන දී තිබුණේ මූසල පෙනුමකි. දස අතින් විහිදුණු නන් වර්ණ විදුලි එළි ඒ මූසල බව පලවා හරින්නට සාර්ථක වෑයමක යෙදේ. කොටුව දෙසින් හමා එන මුහුදු සුළඟේ ලුණු රසය යන්තමින් ද තොලට දැනේ. අරක්කු තැබෑරුම්වලට දොරගුළු ලන වේලාව ළංව තිබූ බැවින් ඒ තැන්වල මී මැසි පොදි සේ මධුවිතට කිට්ටු කරන පිරිස්ය.  


 අඳුර උකු ගැසී තිබෙන අහුමුලු වලින් මතුවන එකා දෙන්නා නියොන් ලයිට් එළිය හා පසුකර අඳුරටම වදිති. දිවා කාලයේදී දුහුවිල්ලෙන් රථවාහන කළු දුමෙන් පීඩාවට පත් පිටකොටුවේ බෝ සමිඳු සෙවනේ වැඩවසන බුදුනෙත් දහසකුත් එකක් ජනයාගේ දුක්ඛ දෝමනස්සයන් දිවැසින් දැක දහදිය සුසුම් සුවඳ ආග්‍රහණයෙන් බිඳකුදු කම්පාවට පත් නොවී මහා කාරුණිකයාණෝ ඒ මොහොතේ දීත් ශාන්තව හුදී ජනයා දෙස මෛත්‍රිය පතුරුවමින් සිටී. නින්ද නැති කොළඹ නගරයට මේ එළඹ තිබෙන්නේ ‘නිශාචර’ හෝරාවයි.  
 බෝ සමිඳුන්ගේ සිසිලස සිත් මෑත්ව අඳුර කට බලියා සිටින හරස් වීදියකට වැදුණෙමි. එක්වරම මා ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ කළු නැඩ මිනිසෙකි. උසට උසේ ඔහු මා අභියස හිටගෙන සිටී. අවශ්‍යතාව නැඩයාට පැවසුවෙමි.  


කළුම කළු මුහුණේ කිරි පැහැ හීන් හිනා රේඛාවක් මතු විය.  


 “මහත්තයෝ මම කරන්නෙත් ඔය කියන ‘නාටාමි’ ජොබ් එක තමයි. මගේ උප්පැන්නෙ නම තිරුකේෂ්වරන්. හැබැයි බජාර් එකේ කවුරුත් දන්නේ ‘තලවකැලේ සිවා’ කියලයි.” 46 හැවිරිදි සිවා ගෙන්දගම් පොළොවට පය ගසා වසර 38කි. එද‌ා සිට අද දක්වාම පිටකොටුවේ හරස් වීදිවලට දහදිය කඳුළු දියකරමින් ​‘සොච්චමක්’ උපයා ගනී.  
 විවාහක මොහුට දරුවන් තිදෙනෙකි. මින් දෙදෙනෙකු පාසල් අධ්‍යාපනය හැරපියා තාත්තා අනුකරණය කරමින් කොළඹට පය ගසා සිටිති. වැඩිමහලු පිරිමි දරුවා කොළඹ පැරණි මාළු කඩේ ළඟ හෝටලයක අයකැමිවරයෙකි. ඊළඟ දුව වත්තල ප්‍රදේශයේ වෙළෙඳ සලක හිරිමල් තරුණ විය දියකරමින් සිටී. තවමත් පාසල් යන පවුලේ බාල දියණිය මවට රැකවරණ සලසමින් තලවාකැලේ වෙසේ.  


 මම මේ හැම දෙයක්ම කරන්නේ දරු පවුල වෙනුවෙන්. දවස තිස්සේම උරහිස් ඇදුම් දෙනකම් මුට්ට කරගහල ගතමනාව හොයාගෙන මහන්සිය යන්නත් එක්ක ‘අඩියක්’ ගහනව තමයි. හැබැයි ඒ ගෙදරට යවන මුදල් අයින් කළාට පස්සේ. අඳුර අස්සෙන් ඔහු කතා කරයි. අසල හෝටලයේ කොත්තු ‘චක චකයත්’ සමග දෙනාස්පුඩු තුළට රිංගන දවසේ ‘ඉතුරු බිතුරු’ තෙල් හා ගින්දර මුසුව එන සුවඳ කුසගිනි අවුළුවන සුලුය. මම ඒ දෙස නොබලමි. එතකොට කෑම එහෙම? සිවාට මගෙන් ප්‍රශ්නයකි. ‘යහමින් ගතමනාව ලැබුණොත් රයිස්, කොත්තු, බුරියානි එහෙම බඩට ද‌ාගන්නව. එහෙම නැති දවසට තේ කහට කෝප්පයේ ඩබල් බනිස්ගෙඩියක් රෝස්පාන් කෑල්ලක් තමයි.  
උඩුකය නිරුවත් සිවාගේ හැඩිදැඩි සිරුර පාරේ පහන් එළියෙන් දිලිසේ. දහවල වෙහෙස දියකර හරින්නට දෙ‌ා් මත්පැන් පොදක් ආමාශ ගතකළ සේය. එතකොට රෑට නිද‌ා ගන්නේ? ‘මෙතන මේ කරත්තේ උඩ. වහින දවස්වලට මේ පේමන්ට් එකට කාඩ් බෝඩ් කෑල්ලක් ද‌ාගෙන’ ඔහු තමන් හිඳ සිටින පදික වේදිකාව මට පෙන්වමින් කියයි.  
කරත්තෙ කුලියට අරගෙන වැඩ කරන්නෙ. ඒකටත් දවසට ගාණක් වෙන්කරනව. මේ කොළඹ අපිට කවුරුවත් බෝඩිං කාමර දෙන්නෙ නෑ. බෝඩිමකට මාසෙට රු. 3500 ක් 4000 දෙන්න බැරිකමක් නෑ. ළඟදි බෝම්බ පිපිරුණාට පස්සෙ කාමර දෙන්නෙම නෑ. මට මෙතන හොඳයි හුළං වැදීගෙන මේ කන්කරච්චලය අස්සෙ වුණත් පැය දෙක තුනක් නින්ද යනවා. කොහොමටත් පාන්දර 2.30 වැඩ පටන් ගන්නවා. මම වැඩිපුරම කරන්නේ ලොරිවලට පලතුරු පෙට්ටි පටවන එක. එහෙන් ගේන අල ලූනු තොග කඩවලට ගෙන යනවා. හවස 2, 3 වෙනකම් එක දිගට වැඩ. හැබැයි උදේ වරුව වැස්සොත් ඔක්කොම හබක්. සිවා පමණක් නොව තවත් පිරිසක් ද මේ අගු පිල සුවයහන් බවට පත්කරගෙන ඇති සේය.  
 උදේ සිටම ඇවිද ගිය දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ පාවහන්වලින් ගෙන ආ කුණු මඩවලින් කළුම කළු වී ඇති සිමෙන්ති පඩිය මත කාඩ්බෝඩ් කැබලි අතුරාගෙන ඔවුහු නින්දට පෙර සාමීචි කතාය. ඇතැමෙකු මුව මත බීඩියක් හෝ සිගරැට්ටුවකි. පාවී යන දුම්රොටු අතරින් ඔවුන් දිස්වන්නේ අබිං ගුහාවක සිටින අයවලුන් මෙනි. ඊට මදක් එපිටින් කළුවර මුල්ලක නිවි නිවී දැල්වෙන ගිනි පුළිඟුවකි.  


 ‘පේනව නේද ඔය කුඩ්ඩො. දවස තිස්සෙම හම්බකරන සේසත ඔය දහජරාවට පුදනව අපරාදෙ තරුණ ජීවිත. අපේ කල්ලියෙ කිසි කෙනෙක් ඔය ජරාවැඩේ කරන්නෙ නෑ. මම බොන්නෙත් බියර් විතරයි. තලවකැලේ සිවා බොන්නේ බියර් විතරයි කියල මුළු බජාර් එකම දන්නවා. බීමට පුරුදු වුණොත් මිනිස්සු කඩ මුදලාලිලා කුලී වැඩක්වත් දෙන්නෙ නෑ.
 දරුවෝ බිරිඳ බලන්න යන්නෙ නැති ද? යනවා. යනවා සති දෙකකට වතාවක් විතර ඒකත් අතමිට සරුවුණොත් තමයි. මම කසාද බැදල ඉන්නෙ ම​ෙග් තාත්තගෙ අක්කගෙ දුව, එයා තේ වත්තෙ දළු කඩනවා. මම යනකොට හාල්, සීනි, මිරිස් මේ හැම දෙයක්ම කෝච්චියට පටවලයි යන්නේ. මෙහේ ජොබ් කරන දෙන්නට නම් එහෙම නිවාඩු නැහැ. ඒත් පුළුවන් හැම වෙලාවකදීම එයාලත් ගමේ යනවා.  

 

මට කරත්තයක් තියෙනවා ඒ නැතත් බජාර් එකෙන් කුලියට කරත්තයක් අරගෙන රස්සාව කරන්නත් පුළුවන් කුලිය දවසකට රු. 150 යි. පැයක් වැඩ කළත් දවසෙ කුලිය ගෙවන්න ඕනෑ. ගොඩක් දවස්වලට මම නිද‌ාගන්නෙ කරත්තෙ උඩ. හොරු එමටයි. වැඩි හරියක් කුඩ්ඩො. උන්ට අණක් ගුණක් නැහැ ඕනෑම දෙයක් හොරෙන් අරගෙන යනවා. මගෙත් ජාතික හැඳුනුම්පත පවා උස්සලා. වැස්ස දවසට කරත්තෙ උඩ නිද‌ාගන්න බැහැ. එද‌ාට පේමන්ට් කොනට යනව තදින් වහින කොට පොරවාගෙන ඉන්න සරමත් හොඳටම තෙතබරි වෙනවා. වතුර මිරිකල ද‌ාල ආයෙත් පොරව ගන්නවා. මේක තමයි පේමන්ට් ජීවිතේ. ගෙදර ගිය දවසට අම්ම අතට  මුදල් ටිකක් දෙනවා. පුළුවන් හැටියට සලකනවා දැන් ගොඩක් කාලෙකින් ගමේ යන්න බැරිවුණා.


මමත් තාත්තා කෙනෙක් මහත්තයෝ, බිරිඳ, දරුවන් එක්ක එකට ඉඳගෙන කෑම වේලක් කන්න මමත් ආසයි. ඒත් ඒකට ඉඩක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. බජාර් එකට නාකි වුණත් අපිත් ලේ මස් වලින් හැදුනු මිනිස්සු. ආදරය, සෙනෙහස, දරු කැක්කුම අපටත් තියෙනවා. බිරිඳ දරුවන් සිහිවීමෙන්දෝ මේ හැඩිදැඩි මිනිසාගේ මුහුණේ මන්දාස්මිතියක් අඳුරේ වුව ද මට පෙනිණි.  


 මේ රස්සාවෙන් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඉතිරියක් නැහැ. මම නම් මගේ කෙල්ලො දෙන්නට බිරිඳට රත්තරං බඩු ඔක්කොම වගේ හදවලයි තියෙන්නේ. හිතට දුකක් නෑ. අප සිටින පදික වේදිකාවට තවත් අය ළංවේ. ‘මේ ඔක්කොම මම වගේ නාටාමි ජොබ් එක කරන අය’ මගේ ඊළඟ ප්‍රශ්නය තේරුම් ගන්නාක් සේ සිවා කියයි. මම ඔවුන් වෙත කිට්ටු කළෙමි.  


 කේ.ඩී.සී. මෝගන් (53) කොළඹ අලුත් පාලම ප්‍රදේශයේ මදුල්ලවත්තේ පදිංචිකරුවෙකි. තරුණ අවදියේම ඈත එපිට කල්මුණෙ ප්‍රදේශ​ෙයන් තරුණියක සරණ පාවාගෙන ජීවිත ගමනේ කුණාටු සමය අවසන ගෙන්දගම් පොළොවට පය ගසා තිබේ. ‘දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව. එයා මේ අවුරුද්දේ අපොස සා.පෙළ විභාගයට පෙනී සිටිනවා. බාල පුතා 7 වස​ෙර්. බිරිඳ ගමේම අත්යන්ත්‍ර රෙදි වැඩපොළක (හෑන්ඩ්ලුම්) වැඩකරනවා. ඒ අයට අගහිඟයක් නැහැ. මම මෙහේ දරු පවුල බලන්න යන්නේ කලාතුරකින්. ඒක හිතලා මතලා කරන දෙයක් නෙමෙයි. නිවාඩුවක් විවේකයක් නැතිකම. අපි ලබා උපන් හැටි තමයි’. ඔහුගේ කටහඬ හැඟුම්බරය. 4 වන හරස් වීදියේ කැටිගැසුණු අඳුර දෙස බලාගෙන කතා කරයි. මම ඔහු අසලින් කාඩ්බෝඩ් කැබැල්ල මත ඉඳගනිමි.


 ‘මම බජාර් එකට එන්නෙ හැන්දෑවෙ 6 ට විතර. වරායෙන් ‘ටැංකි’ එන්නේ ඒ ඒ වෙලාවට (කන්ටේනර්) මේ එක ටැංකියක අල, ලූනු මිටි 500 ක් 600 ක් අතර ප්‍රමාණයක් තියෙනවා. තනියම නම් බාන්න බැහැ. සමහර වෙලාවට නාටමිලා 6 ක් 8 ක් සෙට් වෙනවා. තොග කඩවල වැඩ කරන නාටාමිලත් ඉන්නවනේ. රෑ එළිවෙනකම් වැඩ තියෙන දවසුත් තියෙනවා. ගොඩක් වෙලාවට ඇඟේ මහන්සිය නිසාම වැඩ නවත්වන දවසුත් නැත්තේම නැහැ.  
අල මිටියක් බාන පටවන වැඩේට අපට ලැබෙන්නේ කෑල්ලකට රු. 4 ක් නැත්නම් 5 ක්. මම වැඩිපුරම වැඩ කරන්නේ 4, 5 හරස්වීථිවල. මෙහේ වැඩ අඩු දවසට කුමාර වීදිය පැත්තටත් යනවා. ගතමනාවක් හොයාගෙන හීනියට අඩියකුත් ගහල එළිවෙනජාමෙ ගෙදර යනව මහන්සි නම් අයිනකට වෙලා නිද‌ාගන්නව. ඒත් දවල්ට නම් මේ හරියෙ නිද‌ාගන්නව බොරු. අද වැඩ අඩුයි. ඒ නිසා මෙතන පොඩි ‘ඇලට්’ එකක් ද‌ාන්නයි ආවෙ.  


 සෙනෙහෙබර බිරිඳ සමග දරු පැටවුන් උපන් රටේ එක් කෙළවකර අතුපැලක එකට ගුළි වී නිදන හෝරාවේ මෝගන් කුණු මඩ පිරුණු පදික වේදිකාවේ සුසුම් හෙලයි. මොවුන්ගේ ජීවිතවල හැටි එහෙමය.  


එහෙත් මහමෙර සැලුණත් මේ දිරිය මිනිසුන් නොසැලේ. සියලු දෝමනස්සයන් හිත් තුළින් පිටතට ඒමට ඉඩ නොදී තදකරගෙන හිරකරගෙන මුට්ට කරගසති. දරුවෝ බිරිඳ ගැන මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනවා. ඒත් දැන් මේ ජීවිතේට හුරුවෙලා. සෙනෙහස ආදරය නැතිවුණා කියලා ඒව හොයාගෙන පාරෙ ඉන්න ගෑනු පස්සෙ යන්නේ නෑ. ගෙදර ගෑනිගෙන් ලැබෙන ආදරේ උන් ළඟ නෑ මහත්තයෝ. අසල බෝ ගසේ කොළ හොලවන්නට තරම් වූ සුසුමක් මුදාහළ මෝගන් කාඩ්බෝඩය මත වකුටු විය.  
රාත්‍රිය මෝරා ඇත මේ නිශාචරයන්ගේ ගොදුරු බිමයි. පිටකොටුව කෙමෙන් හිස් වෙමින් පවතී. ඒත් මුළුමනින්ම නොවේ. වීථි තුළින් මතුවන සුරාසොඩුන් නිනව් නැතිව කෙම්බිමක් සොයා ඇවිද යති. වීථි සරණ නෙක අගනුන්ගේ නෙත්සර පහස ඉඳහිට මා ද ඉලක්ක කර ගනී. මේ සියලු දේ මගහරිමින් මම ඇවිද ගියෙමි.  
 මහත්තයා තනියම ඕවා අස්සෙ යන එක අවද‌ානම්. කුඩ්ඩන්ට මාට්ටුවුණොත් කලිසමත් ගලව ගනීවි. සිවා ද මා පසුපසින් වැටේ. මේ මිනිසුන්ගේ ළෙන්ගතුකමද පුදුමාකාර අන්දමේ එකකි. මිතුරු වුවහොත් හදවත ගලවා දෙන්නට වුව සූද‌ානම්ය. තම්බිරාජා මයිලේසිංගු මුණ ගැසෙන්නේ එසේ යන අතරතුරදීය.  
 හේ තනිකඩයෙකි. ඇඟපත සවි ශක්තිමත් තරුණයෙකි. මධුවිතකින් උගුර තෙමාගෙන සිටි නිසාදෙ‌ා් නිවැරදි වයසත් සඳහන් නොවිණි.  


පෙනුමෙන් 25 වියෙහි යැයි කිව හැකිය. වචන පැටලුණත් මුවින් පිටවූයේ සොඳුරු යෞවනයේ දුක්බර කතාවයි. තම සමවයසේ කොලු කෙල්ලන් නවීන මාදිලියට හැඳපැලඳ ‘හෑන්ඩ්ප්‍රී’ වලින් දෙකන් වසා සුරංගනා ලොවක ඇවිද යද්දී ඒ ​ෙපාළොවේ අල, ලූනු මිටි අතර මයිලේසිංගුගේ භද්‍ර යෞවනය හිරවී තිබේ.  


 ගම රාගල. යුද්දෙ ඉවරවෙනවත් එක්කම වගේ තමයි කොළඹට ආවෙ. තාත්තා නැතිවුණේ මම කුඩා කාලෙදිමයි. ඉන් පස්සෙ අම්මයි අයියලා දෙන්නයි මමයි තනිවුණා. පස්සෙ කාලෙකදි අයියලට රැකියාවල් ලැබුණා. දැන් එයාල කසාද බැදලා ගමේ ජීවත්වෙනවා. ලොකු අයිය විදේශගත වෙලා. මට ඉතින් මේ ජීවිතේ තමයි උරුම. දුකක් නැහැ. තනියමනේ. හම්බ කළා ජීවත් වුණා. එහෙමයි මගේ ජීවිතේ.  


 කොළඹින් ආහාර, දුරු මිරිස්, අට්ටිගසා ගෙන සිටින ලොරි තුන හතරක් වීථියේ එකපෙළට නවතා ඇත. මාතලේ, මාතර, අම්බලන්තොට මේ ආදී වශයෙන් මේවා බ​ෙඳහි පින්තාරුකර තිබේ. බඩු ගෝනි අතර මේ අට්ටිගසා තිබෙන්නේ සිවාලාගේ මෝගන්ලාගේ ලේ කඳුළු හා දහදියයි. තවත් පැය දෙක තුනකින් එළඹෙන හිමිදිරියේම මේ දුක් සුසුම්පොදත් සමග මේවා රටේ නන්දෙසට පියාඹනවා ඇත. මයිලේසිංගුගේ හඬින් මගේ දැහැන බිදුණි.  
මහත්තයෝ දවසට රුපියල් 1200 ක් විතර හොයා ගන්න පුළුවන්. රු. 800 ට, 700 ට අඩුවෙන දවසුත් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. ඇතිද‌ා සීනි නැතිද‌ා ගෝනි’ පාන්දර 3.00 වෙද්දි ලොරි එන්න පටන් ගන්නවා එවෙලෙ ඉඳන් වැඩතමයි. වැඩ තිබුණොත් රු. 1700 ක් වුණත් හොයාගන්න පුළුවන්. ඇඟේ පතේ හයිය තියෙනකම් වැඩ කරනවා. ඊට පස්සෙ ටිකක් වෙලා පේමන්ට් එකේ වාඩිවෙලා ඉන්නවා.  


කොච්චර හම්බ කළත් වියදම තමයි. ටොයිලට් එකට ගියත් රු. 20, පිරිසිදු වතුර ටිකක් බොන්නත් සල්ලි ඕනෑ. උදේ, දවල්, රෑ එක කෑම වේලක් රු. 130 ඉඳල 170 ඒ නෝමල්, රයිස්, බුරියානි කෑවොත් ඊටත් එහා. එතකොට නැවතිලා ඉන්න කාමරේට? මගෙන් ප්‍රශ්නයකි.  
මේ තියෙන්නෙ මේක තමයි රූම් එක ඔහු පදික වේදිකාවට අතදිගුකර මට පෙන්වා සිනාසෙයි. එය ඔලොක්කුවට, කුහකකමට තරහකට නොව නිර්ව්‍යාජය. දිවා කලට දහස් වතාවක් ඔවුන්ගේම පයට පෑගෙන පදික ​වේදිකාව රාත්‍රියට සුව යහන් බවට පත් වේ. මොනාවා කරන්නද මහත්තයා රූම්වලට රු. 5000 ක් 6000 ගෙවන්න මා ළඟ මුදල් නෑ. අනික් අයත් එක්ක පේමන්ට් එකට එකතු වෙනවා සමහර දවස්වලට මෙතන ඉඩ නැහැ. වෙන තැනකට ගිහින් තනියම හිටියොත් යට කලිසමත් සුද්දකරගෙන යනවා. දැනුත් මම නාලා කොට කලිසමයි, යට කලිසමයි අතන කරත්තෙ උඩ වනල ආවේ උදේ වෙනකොට ඒවා තියේවිද දන්නෙ නෑ.’  
බඩු අදින්නෙ කරෙන් ද?  


මට කරත්තයක් තියෙනවා ඒ නැතත් බජාර් එකෙන් කුලියට කරත්තයක් අරගෙන රස්සාව කරන්නත් පුළුවන් කුලිය දවසකට රු. 150 යි. පැයක් වැඩ කළත් දවසෙ කුලිය ගෙවන්න ඕනෑ. ගොඩක් දවස්වලට මම නිද‌ාගන්නෙ කරත්තෙ උඩ. හොරු එමටයි. වැඩි හරියක් කුඩ්ඩො. උන්ට අනක් ගුණක් නැහැ ඕනෑම දෙයක් හොරෙන් අරගෙන යනවා. මගෙත් ජාතික හැදුනුම්පත පවා උස්සලා.   


වැස්ස දවසට කරත්තෙ උඩ නිද‌ාගන්න බැහැ. එද‌ාට පේමන්ට් කොනට යනව තදින් වහින කොට පොරවාගෙන ඉන්න සරමත් හොඳටම තෙතබරි වෙනවා. වතුර මිරිකල ද‌ාල ආයෙත් පොරව ගන්නවා. මේක තමයි පේමන්ට් ජීවිතේ. ගෙදර ගිය දවසට අම්ම අතට  මුදල් ටිකක් දෙනවා. පුළුවන් හැටියට සලකනවා දැන් ගොඩක් කාලෙකින් ගමේ යන්න බැරිවුණා.  


 ඔහු කියවාගෙන යයි නැවතීමක් නැත. ‘නාටාමි’ ලා දෙස අවඥ‌ාවෙන් බලනවා හැරෙන්නට මේ අපේම මිනිසුන්ය යන හැඟීමෙන් ඔවුන් දෙස බලන කිසිවෙකු අපේ සමාජ ප්‍රවාහය තුළ නැත. බොහෝ දුරක් හිස මතින් හෝ කරමතින් ගෙන එන බඩු පොදියට කුලිය වශයෙන් මිලක් නියම කළ විට ‘ආඩපාලි’ කියමින් එය අඩුකර ගැනීම අපේ අයගේ සිරිතය.  
මීටර කීපයක් දුර රැගෙනවිත් රුපියල් දහස් ගණනින් කුලිය කියන ‘මර්සිකරුවන්ද’ ගෙන්දගම් පොළොවේ නැතුවාම නොවේ. ‘අපිට නම් බස්ටෑන්ඩ් එකට ගෙන යන බඩු පොදි එන්නේ කලාතුරකින්. එ්වාට වෙනමම පිරිසක් ඉන්නවා. එහෙම ගියත් සාමාන්‍ය කුලිය කියනවා මිසක් මිනිසුන්ව සූරගෙන කන්නේ නෑ. එහෙම ගන්න සල්ලි යාදෙන්නෙ නෑ මහත්තයෝ. ඒ සැබෑ ‘නාටාමි’ මහත්වරුන්ගේ හඬයි.  


 මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් ඇත. කොටුවෙන් පිටත් වූ අන්තිම දුම්රිය ද හූ කියමින් පාවෙන වෙ​ෙළඳපොළ පසුකරමින් සිටිනු පෙනේ. මා නිවහනට යා යුතු අවසන් බසය ද රථගාලේ ඇතුවා නිසැකය. එය මගහැරුණ හොත් මට ද සිදුවන්නේ සිවාලා සමග දූවිලි මඩ සමග අගුපිලේ රැය පහන් කිරීමටය. එයට මගේ හිත එකඟ නමුත් මට ද නිවෙසක් ඇත. ඒ නිසා මේ දිරිය මිනිසුන්ගෙන් සමුගෙන අඳුරට එක්ව බස්රථය සොයාගොස් ඊට ගොඩ වී මුල්ලක ඉඳගතිමි.  


 විස්සයි විස්සට අපෙන් විජයග්‍රහණයට සැරසෙන්න. මේ ආදී නේක වර්ණ විශාල කටවුට් මා අබියස දිස්වේ. පැය ගණනාවක් මා සමග ගත කළ ඒ සොඳුරු මිනිසුන් හැමදාමත් විජයග්‍රහණය සමරන්නෝ නොවෙත් ද? මට නිකමට මෙන් සිතුණි.  

 

සිවාලාගේ බෝඩිං කාමරය (කඩයක අගුපිල)   

අත් කරත්තය සුව යහනාව කරගත් තලවකැලේ සිවා

 

 

 


සටහන හා ඡායාරූප  
තිලක් පුෂ්පකුමාර