මට මොනවා හරි වුණොත් දුක් වෙන්න එපා කියලා අන්තිම බණට යද්දී කීවා


පානදුරේ අරියධම්ම හිමියන් අපවත් වුණේ වස ශරීරගත වෙලාද?-3


 

 

මෙහි මුල්​ කොටස ඉකුත් සතිවල පළවුණා. අද අපි කතාකරන්නේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා රටාව ගැන. එය අදටත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට මතක සිටින ධර්ම දේශනා හඬක් නිහාල් කළුඅාරච්චි මහතා ඒ ගැන මෙසේ කතා කළා.   


මම මුලින්ම අරියධම්ම හාමුදුරුවන් අඳුනා ගත්තේ පානදුරේ නගර සභාවේ පින්කම්මාලාවකදී. ඒ වෙනකොට මම උසස් පෙළ ලියලා හිටියේ. අම්මයි, තාත්තයි එක්ක බණ අහන්න කියලා එතනට ගියා. මිනිස්සු ළඟ වෙනදට නොදුටු සංයමයක් මම දැක්කා. විවිධ ආකාර වූ මිනිස්සු හිටියා. හාමුදුරුවෝ බොහොම ළයාන්විත හඬකින් මිහිරි ලෙස ධර්මය දේශනා කළා. බුද්ධ පූජා පින්කම් පැවැත්තුවා. හවස හය හමාරට විතර ආරම්භ කළ පින්කම සෑහෙන වෙලාවක් තිබුණා.  


අටවිසි බුදුවරුන්ට ශාලාව ඇතුළේ අලංකාර මණ්ඩපයක් හදලා තිබුණා. බැතිමතුන් උන්වහන්සේලාට මල් පහන් පූජා කර තිබුණා. පෝලිම් ගැසී මල් පෙරහරේ ආවා. බුදුගුණ කවි කැසට් පටයකින් වාදනය වුණා. අනිත් අතට මල් පහන් ගිලන්පස මණ්ඩපයේදී ස්වාමීන් වහන්සේගේ අතට දුන්නා. ස්වාමින් වහන්සේ මේවා අතට අරන් බුදුරජාණන් වහන්සේලා ගේ නම් පිළිවෙලට මේවා තැන්පත් කළා.   


මෙම වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ සියලු දෙනාට පන්සිල් දෙනවා. ඊට පස්සේ සියලු දෙනා උන්වහන්සේ සමඟ බුදු ගුණ වන්දනාව කරනවා. අනතුරුව මව්පිය උපස්ථාන වැනි පොදු මාතෘකාවක් ගෙන ධර්ම දේශනා කරනවා.   


කාලීන සමාජයේ සිදුවන දේ උදාහරණයට ගෙන පංචශීලය ආරක්ෂා කිරීමේ වටිනාකම පැහැදිලි කරනවා. කිසිදු භේදයකින් තොරව සැමටම මෙහි ආ හැකියි.   


බීලා යන කෙනෙක්වත් එලවාගෙන නෑ. ඒ නිසා පළමු දවසේ බිලා ආ පුද්ගලයා දෙවන දවසේ නොබී ඇවිත් ධර්මය ශ්‍රවණය කරන තත්ත්වයක් උදා වුණා. අවසානයට ​ඔහු යහපත් පුද්ගලයෙකු වෙලයි සමාජගත වුණේ.   


අන්තිම පින්කම් දවස් වෙනකොට එහෙම පුද්ගලයන්ගේ කතාව දැනගෙන ඔවුන් ගෙන්නලා ධාතු කරඬුව වඩමවන්නත් අවස්ථාව දෙනවා. ඔවුන්ට එතනදී ලොකු පිළිගැනීමක් ලැබෙනවා. ඒ පුද්ගලයා ස්වයං විනයක් ඇතිවෙලා ලොකු පරිවර්තනයක් වෙලයි ජීවිතයට අර්ථය එකතු කරගත්තේ. සම්පූර්ණයෙන්ම බීම අතෑරලා යහපත් ජීවිතයකට යොමුවුණ එවැනි පිරිස් බොහොමයක් ඉන්නවා.   


මේ වගේ විපර්යාසයන් එදා පානදු​ෙර් සිට යාපනය දක්වා සිදුවුණා.   


ගාල්ල, අනුරාධපුර, රත්නපුර. කුරුණෑගල, බදුල්ල, හිඟුරක්ගොඩ ආදී බොහෝ ස්ථානවල වස් පින්කම් කළා. මේ පින්කම් අතර මට විශේෂිත වූ පින්කමක් මතකයි. ඒ රත්නපුරේ දිසාපති නිවසේ කළ පින්කම.   


වැලිගෙපොල දිසාපතිතුමාගේ නිවසේ වස් වසා අවසන් පින්කම පවත්වද්දී පොලිස්පති ආනා සෙනවිරත්න මහත්තයා සහ හමුදාපතිවරු හතර දෙනා සහභාගි වුණා. නිල ඇඳුමින් පැමිණි ඔවුන් මණ්ඩපයට ඇවිත් කරඬුවට අතගහලා සියලු දෙනා සමඟ පින්කමට සහභාගි වුණා. ඒක හරි අසිරිමත් පින්කමක්.   


අන්තිම දව​ෙස් පින්කමේදී නගරයේ තරුණයෝ 22,000ක් සිල් සමාදන් වුණා. ඉන් පසු දිසාපති මැදුරේ සිට මුළු රත්නපුර ටවුම වටාම පෙරහරේ ගියා. එදා මැණික් ව්‍යාපාරිකයෙකු වූ රත්නාලෝක මුදලාලි තමයි සියලු දෙනාටම දානය ලබා දුන්නේ. මේ වගේ පින්කම් ලංකාව පුරාම සිද්ධ කළා.   


මීට අමතරව ස්වාමින් වහන්සේ මුණගැහිලා ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්නත් බොහෝ පිරිසක් ආවා. ඒ අතර ජනාධිපති ප්‍රේමදාස මහතා, චන්ද්‍රිකා මැතිනිය, යනාදී දේශපාලන නායක නායිකාවන්ද හිටියා. හාමුදුරුවෝ ඒ අයට කියලා තිබුණේ බණ අහන්න සාමාන්‍ය ජනතාව නැති වෙලාවට එන්න කියලා නැත්නම් සාමාන්‍ය ජනතාව මාව දේශපාලනයට සම්බන්ධ කරගනියි කියලා.   


ප්‍රේ‍මදාස මහත්තයා එයාගේ ගෙදර ඉඳලා රෑ 11.30 ට විතර තනියම පයින් ඇවිත් තියෙනවා හාමුදුරුවන් මුණගැහෙන්න. එක පාරක් මට මතකයි එක්සත් ජාතීන්ගේ සමුළුවකට යාමට පෙර ප්‍රේ‍මදාස මහත්තයා ස්වාමීන් වහන්සේ මුණගැහුනා. එදා හාමුදුරුවෝ කිව්වේ යන්න ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව කර යහපත් දේ ප්‍රාර්ථනා කරලා යන්න කියලා.   
 එහෙම කරලයි එද‌ා ප්‍රේමද‌ාස මහත්තයා එක්සත්ජාතීන්ගේ සමුළුවට ගියේ. ඒක අවසන් කරලා එතුමා පන්සලට කතා කළා. මමයි ෆෝන් එක ගත්තේ.   


එතුමා එදා එකපාරටම කිව්වේ මේ කතා කරන්නේ ප්‍රේමද‌ාස, හාමුදුරුවෝ ඉන්නවාද කියලා. එතුමා තමන්ගේ තනතුරවත් කිව්වේ නෑ.   


එතුමාගේ නිවාස දස ලක්‍ෂයේ වැඩපිළිවෙළට පෙර සම්බෝධියේ පොඩි ආකෘතියක් හැදුවා. එතන පහනක් පත්තු කරලයි ඔය වැඩ සටහන පටන් ගත්තේ. සම්බෝධිය හැදීමට පෙර හාමුදුරුවෝ වැඩ හිටියේ විපස්සාන භාවනා මධ්‍යස්ථානයේ. ඒ පන්සලේ වෙනම ස්ථානයක් තිබුණා හාමුදුරුවන්ට වැඩ ඉන්න. ස්වාමින් වහන්සේ හමුවෙන්න එන ප්‍රේමදාස මහත්තයා නිතරම කිව්වේ සැප පහසු ඉඩකඩ තියෙන තැනකට වඩින්න කියලා. ඒත් හාමුදුරුවෝ කවදාවත් එය පිළිගත්තේ නෑ. මට මගේ කියලා කිසි දෙයක් අවශ්‍ය නෑ. මම මේ බුද්ධශාසනේට ආ කෙනෙක්. මම ගිය තැන මගේ පන්සල තමයි. මට ස්ථිර තැනක් වැඩක් නෑ කියල තමයි හාමුදුරුවො කිව්වේ.   


දවසක් ප්‍රේමද‌ාස මහත්තයා ජනේලයෙන් බලද්දී පාළුවට ගිය දැන් සම්බෝධිය තියෙන ඉඩම දැක්කා. ඒ ඉඩම දැකලා එතන පන්සලක් හදල‌ා දෙන්නට එතුමා යෝජනා කළා. හාමුදුරුවෝ ඒත් පිළිගත්තේ නෑ. දවසක් එතුමා කිව්වා මට පිනක් කරගන්න අවස්ථාවක් හදලා දෙන්න හාමුදුරුවනේ කියලා. ඊට පස්සේ තමයි හාමුදුරුවෝ ඊට එකඟවුණේ. හැබැයි හාමුදුරුවන්ගේ නමට ලියන්න එපා කිව්වා. අන්තිමට මගේ නමට ඉඩම ලියලා තමයි ඔය පන්සල හදලා හාමුදුරුවන්ට පූජා කළේ.   


ස්වාමින් වහන්සේ අපවත් වුණාට පස්සේ මම පිටරටකට ගියා. මේ කතාව දැනගෙන හිටියේ මමයි එතුමායි හාමුදුරුවොයි විතරයි. මේක මගේ හිතටත් හරි බරක්. මම අගමැති ප්‍රේමද‌ාස මැතිතුමාට කතා කරලා කිව්වා මෙයින් මාවත් නිදහස් කරන්න කියලා. එතුමා ඇහුවේ ඇයි හදිස්සි? කියලා.   


අන්තිමට එවකට සිටි නීතිඥවරුන් හතරදෙනෙක් සහ රත්නසිරි රාජපක්‍ෂ, සිරිසේන කුරේ යන අය ඉදිරිපිටදී අත්සන් කර ආපසු ඉඩම භාර දුන්නා. ඉන් පස්සේ තමයි මෙම පන්සල වජිරාරාමයේ පියදස්සී ස්වාමින් වහන්සේට භාර දුන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් තමයි කුසලධම්ම හාමුදුරුවන්ට භාර දෙන්නේ. ඒ ආකාරයටයි සම්බෝධි විහාරය පැවත එන්නේ.   


ආරියධම්ම හාමුදුරුවන්ගේ චරිතයේ තිබුණු විශේෂතා මොනවාද?   


උන්වහන්සේගේ ජීවිත කතාව බැලුවොත් අපි ගොඩක් තැන්වලට ස්වාමින්වහන්සේත් සමඟ ගිහින් තිබෙනවා. බලන්ගොඩ පැත්තේ යනකොට සිදුවූ විශේෂ සිදුවීම් මට මතක් වෙනවා. හාමුදුරුවෝ දිරාගිය සිවුරක් ඇඳගෙන සිටිය ස්වාමින් වහන්සේ නමක් දුටුවොත්, ඒ හිමියන්ට කතා කර එක්කර ගෙන ඇවිත් ඇප උපස්ථාන කර දන් පිළිගන්වා, සිවුරු පිරිකර ලබාදී යැවූ අවස්ථා එමට තිබෙනවා. මේකට වෙලාවක් කලාවක් අදාල නෑ.   


හාමුදුරුවෝ අපිට නිතරම කිව්වේ අනුන්ගේ දුක දැකලා කාටහරි උදව්වක් කළොත් එය බලාපොරොත්තු නොවූ විලසින් තමන්ගේ පසුපස හඹා එනවා කියලා.   


අවසාන කාලය වනතෙක්ම මං උන්වහන්සේ ළඟයි හිටියේ. උන්වහන්සේ සහභාගි වූ අවසන් වෙසක් පෝය. (1986 මැයි 27) පින්කම දවසේ අගමැතිතුමාගේ නෝනගෙ අම්මයි තාත්තයි දෙන්නාත් සිල් සමාදන් වෙන්න ඇවිත් හිටියා. මගේ අම්මා තාත්තත් හිටියා. එදා ලැහැස්තිවෙලා අද මේ ගමන මම තනියම යනවා කියලා සින්නයියා කියන රියදුරු මහතා සමඟ ගියේ. අපි කවුරුවත් ඊට සහභාගි කරගත්තේ නෑ.   


ඒ වගේම වෙනදට අපි ස්වාමින් වහන්සේ වඩින අයුරු බලා සිටින බව දන්න නිසා ආපසු හැරී බලනවා. ඒත් එදා පසුනොබලාම තනියම යන්න ගියා.   


පේරාදෙණිය ගලහා තිබෙන නීරඹේ ආරණ්‍යයට වැඩම කරලා දවස් කීපයකින් තමයි උන් වහන්සේ අපවත් වුණේ. ඊට පෙර මට කතා කරලා කිව්වා උන්වහන්සේ බඩු බාහිරාදිය එක එක්කෙනාට වෙන් කරලා තිබෙනවා ඒවා භාර දෙන්න කියලා. ‘‘මට මොනවා හරි වුණොත් දුක් වෙන්න එපා කියලා තිබුණා. හාමුදුරුවන් ළඟ තිබුණේ සිවුරයි, පාත්තරෙයි, කන්නාඩි කුට්ටමයි, පෑනයි විතරයි. බැංකු ගිණුම්, ඔප්පු තිරප්පු කිසිවක් ස්වාමින් වහන්සේට තිබුණේ නෑ. බොහොම සරල ජීවිතයක් තමයි ගත කර තිබුණේ.   


අප උදේ හවස උන්වහන්සේට පින්දීලා පහන් පත්තු කරනවා. මේ ස්වාමින් වහන්සේ නිසා නඩු හබ වලට පැටලුණු මිනිස්සු පවා සිල්වත් මිනිස්සු වූ අවස්ථා තිබුණා. මට මතකයි ගාල්ලේ හිටියා බර්ටි කියලා මනුස්සයෙක්. ඒ මනුස්සයාට නඩු 28ක් තිබුණා. ඒ දවස්වල ඒකනායක කියලා විනිශ්චයකරුවෙක් හිටියා. බර්ටි කියන පුද්ගලයා ධර්මය අහලා වෙනස් වෙලා පෙරහරේ යනවා දැකලා වරදින් නිදහස් කර විශේෂ සමාවක් ලබා දුන්නා. මේ වගේ විපර්යාස රාශියක් සිදුවුණා ඒ කාලයේ.   

 

අරියධම්ම හිමි වැඩසිටියැයි අනුමාන කරන කුටිය

එවක හමුදාපතිවරු සමග

 

 


හාමුදුරුවන්ගේ පුණ්‍ය කටයුතුවලට දායක වූ පිරිස් කවුරුන්ද?   


කොළඹ පැත්තේ අලහකෝන් කියලා මහත්තයෙක් හිටියා. ගාල්ලේ පී.ආර්. දිසානායක, ගාමිණී අමරසේකර, වොරන්ටන්, මාතලේ ටුවින්ස්ටන් වගේ මහත්වරුන් මීට අමතරව මුළු රටේම දායකයෝ විශාල ප්‍රමාණයක් හිටියා. ඒ ඒ ප්‍රදේශවලට යනකොට ඒ මහත්වරු තමයි ඒ පුණ්‍ය කටයුතු සියල්ලක්ම සංවිධානය කරන්නේ. කිසිම මනුස්සයෙක්ට බරපැනක් දරන්න තියන්නේ නෑ. හාමුදුරුවන්ට පින්කම් වලට ගෙනියන ලවුඩ්ස් පීකර් සෙට් එක පූජා කළේ කථානායක කරු ජයසූරිය මහත්තයා ගේ අම්මා. එය තමයි රට වටේම ගෙනිච්චේ.   
ගාල්ලේ පී.ආර්. දිසානායක මහත්තයා තමයි ධර්ම ප්‍රචාරය සඳහා වඩින්න අවශ්‍ය වාහන පහසුකම් සලසා දුන්නේ. සම්බෝධි කියන සංකල්පය ආවෙත් එතුමා නිසා . එතුමාට තිබෙනවා අංගවිකල ළමයින් වෙනුවෙන් ඉදිකළ සම්බෝධි කියලා ළමා නිවාසයක්. 


ස්වාමින් වහන්සේ පින්කම්වලට ගියාමත් ඒ ගෙදරට ගොඩවෙලයි යන්නේ. ඔහු අනේපිඬු සිටුතුමාවගේ කෙනෙක්. හැමදාම මිනිසුන්ට කෑම බීම දෙනවා. එතුමාගේ නිවසේ තිබුණ අැත්දළ යුවලක් දළදා මාළිගාවට පූජා කළා. එය ලංකාවේ තිබූ ලොකුම දළ දෙක. ඒ දළ දෙක කඩුගන්නාව ගලයටින් ගෙන යන්න බැරිවුණා උස වැඩි නිසා. ඊට පස්සේ අලුත්ම වාහනේ හුළං ඇරලා තමයි දළදෙක එපිටට ගත්තේ. එදා හාමුදුරුවන් වැහෙන තරමට අටපිරිකර සහිත පිරිකර පූජා කරලා තමයි ඒ විශාල පින්කම සිදුකළේ.   


මේ අැත්තා වෙනුවෙන් හාමුදුරුවන් කවිපන්තියක් හැදුවා. මට කවි කීපයක් මතක තිබෙනවා.   


සම්මා සම්බුදු සිරි දළද‌ා වෙත   
ඇත් දළ දෙක බැති සිතින් පුදා   
කළ මාහැඟි පින්කම සිහියට ගෙන   
නිවන් පතා මතු පෙරුම් පුරා   
මහ සඟරුවනට මහදන් දෙන පින   
මහ සඟ රුවනෙහි සැප සලසන පින   
නිතර දෙවේලේ සිහිකොට පින්වත   
නිවන් පතා මතු පෙරුම් පුරා 

 
මේ ලස්සන කවි පන්තියෙන් ඒ ඇත්තා කළ පින්කම් එකින් එකට විස්තර කර කැසට් පටියකට ගෙන ඔහුට ඇසීමට ලබා දුන්නා. එය තාමත් ඇති එතන.   


දිසානායක මහත්තයා ඒ නිවසේ ආයුර්වේද මැදුරක් හදලා පූජා කළා. කරාපිටිය රෝහල පූජා කළේත් එතුමායි. රුවන්වැලි සෑයට සම්බෝධියේ සිට අංගවිකල දරුවන් අරගෙන ගිහින් පුණ්‍ය කටයුතු කෙරෙව්වා. එවැනි පුද්ගලයෙකු ඇගයීමටයි අරියධම්ම හිමි ඒ කැසට් පටිය පිළිගැන්වූයේ.   


හාමුදුරුවන්ගේ පුණ්‍ය වැඩසටහන්වලදී සිදුවූ විශේෂ සිදුවීම් තිබෙනවාද?   


වහින්න ආවොත් වහින්නේ නෑ. වැස්ස නැති තැන්වල පින්කමෙන් පස්සේ වැස්ස ඇති වුණා. ඒ නිසා මිනිස්සු පුදුමාකාර විදියට ස්වාමින් වහන්සේට බැඳුණා. ස්වාමින් වහන්සේට ලැබෙන සියලු පිරිකර ස්වාමින් වහන්සේ ඒ ප්‍රදේශවල හාමුදුරුවරුන්ට පූජා කළා. ස්වාමින් වහන්සේ වැඩිය විදියටම හිස් අතින් ආපහු එනවා. අඩුම තරමේ පීරිසි කුට්ටමක්වත් අරගෙන ඇවිත් නෑ. හරිම සැහැල්ලු දිවිපෙවෙතක් ගත කළේ.   


ඒ වගේම හාමුදුරුවෝ කිසිවිටෙකත් දන් දෙන අයගේ නම් ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. ඒ අය වුණත් වැරදි කළොත් ඒවා කියලා දුන්නා. කිසිවෙක් සමඟ විශේෂ බැඳීමක් තිබුණේ නෑ.   


හාමුදුරුවන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කළේ බලන්ගොඩ ආනන්ද මෛ​ෙත්‍රය හාමුදුරුවෝ, කළුකොඳයාවේ පඤ්ඤ‌ාසේකර හාමුදුරුවෝ, ගාල්ලේ අරියධම්ම හාමුදුරුවෝ, කටුබැද්දේ ගුණවංශ හාමුදුරුවෝ, ගලේගම සරණංකර හාමුදුරුවෝ යනාදී ගුරු හාමුදුරුවරුන්වයි. ඒ හාමුදුරුවරුන් අරියධම්ම හාමුදුරුවන්ට බොහොම කරුණාවයි.   
හාමුදුරුවන්ගේ අපවත්වීම පිළිබඳ සමාජයේ විවිධ කතා ඇසෙනවා නේද?   


ඔව්, ඔය කතාව සම්පූර්ණ බොරුවක්. හාමුදුරුවන් අසනීප තත්ත්වයෙන් හිටියේ.   


මිනිස්සු දේහය දැක්කම තොල් දෙක ඉදිමිලා වගේ තිබුණා. ඒ නිසයි වස දීලා කියලා කතාවක් ප්‍රචාරය වුණේ. ඒත් ඇත්තටම සිදුවුණේ මේකයි.   


ගලහ ඉඳලා පේරාදෙණිය රෝහලට උන්වහන්සේ ගෙනිච්චා, වෛද්‍යවරු අසීමිත උත්සාහයක් ගත්තා ස්වාමීන් වහන්සේ ජීවත් කරවන්න. උගුරේ සෙම වගේ හිරවුණා. කෘත්‍රිම හෘදය තෙරපුමක් දෙන්න උත්සාහ කළා, දෙවැනි ඇටෑක් එක එද්දී හිරවෙන්න ගත්තා. ඉන් පස්සේ සක් කරලා සෙම ගන්න කටයුතු කළා. ඒ නිසයි තොල් ඉදිමිලා වගේ තිබුණේ. හාමුදුරුවන්ට තරහකාරයෝ හිටියේ නැහැ. හාමුදුරුවෝ හොඳටම දැනගෙන හිටියා එච්චර කාලයක් ජීවත් නොවන බව. ඒ නිසයි අවසාන ගමන යද්දී හාමුදුරුවන් භාවිත කළ උපකරණ එක එක්කෙනාට භාර කළේ. කවදාවත් නැතිව ගලහට ගියෙත් තනියම. හාමුදුරුවෝ එදා ගියේ අවසන් ගමන යන්නමයි. ඒ අපවත්වීම මිනීමැරුමක් නොවෙයි.   

 

 

 

 

සටහන කුමාරි හේරත්  
ඡායාරූප චානුක කුලසේකර