මඟුල් මහා විහාරයේ ඇත්තේ ලංකාවේ පැරැණිතම මඟුල් පෝරුවද?


 

දුටුගැමුණු මහ රජු පිළිබඳ මතකය ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළින් කෙදිනකවත් බොඳවී නොයනු ඇත. ඒ මෙරට එක්සේසත් කර මහා බෞද්ධ පුනරුදයක් ඇති කළ ශ්‍රේෂ්ඨ නරපතියා ඔහු වන නිසාවෙනි. මෙම ශ්‍රේෂ්ඨ පාලකයා මේ දේශයට ජනිත කළ ඒ පින්බර මාපිය යුවළ වන්නේ රුහුණේ රජ කළ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියයි. එම රාජකීය යුවළගේ සරණ මංගල්‍යය පැවැති මඟුල් පෝරුව අම්පාර මඟුල් මහා විහාරයේ දක්නට ඇති බවට ජනප්‍රවාදයේ පවතී. එය සත්‍ය නම් දැනට ශේෂව පවතින මෙරට පැරැණිතම මඟුල් පෝරුව මෙය වේ. එය වසර 2000 කටත් වඩා පැරැණිවීම වඩාත් සුවිශේෂය.   


වර්තමානයේ මඟුල් මහා විහාරය ලෙස හැඳින්වෙන පැරැණි රෝහණයේ වූ රුහුණු මහා විහාරය පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සල්ගොඩ ග්‍රාමසේවා වසම තුලය. මොණරාගල සිට පැමිණෙන්නේ නම් මොණරාගල පොතුවිල් මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කි.මී. 18ක් පමණ දුරින් වූ පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී මීටර 500ක් පමණ ගිය විට මෙම විහාරයට ළගාවිය හැකි වේ.   
ජනප්‍රවාදගත ඉපැරැණි මඟුල් පෝරුව සහිත මෙම විහාරයේ ආරම්භය පිළිබඳව විවිධ මත ඇති අතර ධාතුසේන රජතුමා විසින් කරවන ලද රුහුණු මහා විහාරය මෙය බවට මත ඇත. විහාරයෙන් ලැබී ඇති ශිලා ලේඛනයකට අනුව 14වන සියවසේදී ගම්පොළ රජකළ හතර වැනි බුවනෙකබාහු (ක්‍රි.ව.1341-1351) හා දැදිගම පස් වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව.1344-1359) යන රජවරුන්ගේ බිසව වූ විහාරමහාදේවි නම් බිසවක් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර තිබේ. ගල් පුවරුවලින් තැනවූ ප්‍රාකාරයකින් වටවූ මෙම විහාර පරිශ්‍රය ආශ්‍රිතව පැරැණි ඉදිකිරීම් ගණනාවක සාධක දක්නට ලැබේ.   


ඒ අතර පිළිමගෙයක්, දාගැබක්, දානශාලාවක් හා පොහොයගෙයක නටබුන් දක්නට ඇත. එම සීමාවට පිටතින් වටදාගෙයක හා ආසනඝරයක සාධක ද හඳුනාගත හැකිය. මෙහි දක්නට ඇති ස්තූපය සතැරැස් වේදිකාවක් මත ගොඩනගා ඇති අතර බුදුමැදුරක් ලෙස අනුමාන කළ හැකි ගොඩනැගිල්ලක අවශේෂ මේ ආසන්නයේ තිබෙන ගල්කණු හා පියගැට පෙළ සාධක මගින් හඳුනාගත හැකි වේ.   


මෙම විහාරයට මඟුල් මහා විහාරය යන නම පටබැදී ඇත්තේ පුරාණ රෝහණයේ රජ කළ කාවන්තිස්ස රජු හා විහාරමහාදේවී කුමරියගේ සරණ මංගල්‍යය මෙම විහාරයේදී සිදුවුණේ යැයි යන ජනප්‍රවාදය හේතුවෙනි. එහිදී එම මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදුකළ මඟුල් පෝරුව මෙහි තවමත් දක්නට ඇති බව එම ජනප්‍රවාදයෙන් හෙළිදරව් වේ.  
යුද විරෝධී සාමකාමී රාජ පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජු අනුරාධපුරය යටත් කරගෙන සිටි එළාර රජුට විරුද්ධව පවා සටන් නොකළේ යුද්ධයට ඇති අකැමැත්ත නිසාවෙනි. එම නිසාම තම පුත් ගැමුණු කුමාරයන්ගෙන් ස්ත්‍රී වස්ත්‍රාභරණ ලැබීමට පවා එම රජුට සිදුවූ අතර ගැමුණු කුමරු දුෂ්ට ගාමිණී නම් වූයේද පිය රජුට කළ එම අවමානය හේතුවෙනි. මෙවැනි ධාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජු විහාරයක ආගමික පරිසරයක් තුළ තම සරණ මංගල්‍යය පැවැත්වූයේ යැයි පැවසීම අසාධාරණ නොවේ. ඒ පිළිබඳ වසර සියදහස් ගණනාවක් තිස්සේ ගලාඑන මතයක් ජනප්‍රවාදයේ පැවැතීමද ඉවත දැමිය නොහැකි සාධකයකි. ජනප්‍රවාදයේ එන මතයට අනුව එම සරණ මංගල්‍යය සිදුවූ රාජකීය මඟුල් පෝරුව යන නිර්මාණය දෙස අවධානය යොමුකිරීම වටී. 

 

 

 


මඟුල් පෝරුව ලෙස පිළිගන්නා ඉදිකිරීම කළු ගල් භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර එහි මධ්‍යයේ වළක් වේ. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම වළ ගිනි දැල්වීම පිණිස භාවිත කළ බවය. ඒ අනුව මෙය හින්දු චාරිත්‍රයන්ට අනුව අග්නි සාක්ෂි කරගෙන සිදුවූ මංගල්‍යයකි. එසේම මෙම විහාරයේ කාවන්තිස්ස රජුගේ මාළිගාවට පිවිසෙන ස්ථානයේ වූ දොරටු සතරක් පිළිබඳවද සාධක ඇතැයි ජනප්‍රවාදයේ පවතී. රජුගේ රජ මාළිගයද මෙම ස්ථානයේ පිහිටා තිබුණේ නම් එතුමාගේ මංගල්‍යය සිදුවූ පෝරුව මෙම ස්ථානයේ පවතී යයි යන මතය යුක්ති සහගත විය හැකිය.  


 මඟුල් පෝරුව ලෙස ප්‍රචලිත මෙම නිර්මාණය පිළිබඳ උගතුන් අතර විවිධ මත පවතින අතර ජනප්‍රවාදයේ එන මතයට එරෙහි මතයක් ඔවුන් ගෙනහැර දක්වයි. එනම් නිර්මාණ ලක්ෂණ අනුව මෙය විශේෂ ගනයේ බෝධිඝරයක් බවය. එම විග්‍රහයට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති පැරැණි බෝධිඝර විශේෂයන් හා සැසඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා ඇති අතර බෝධීන් වහන්සේ රෝපණය කළ මළුව ලෙස සැලකෙන්නේ මෙයයි.   


පද්මාකාර ආකෘතියකින් කර ඇති මෙහි දක්නට ලැබෙන අපූර්වතම කැටයම් හා නිර්මාණ ලක්ෂණ දෙස අවධානය යොමුකළ විට මඟුල් පෝරුවක් යන ජනප්‍රවාදයේ ආ මතයද ඉවත දැමිය නොහැකි බව පෙනේ. මන්ද එම ජනප්‍රවාදය විහාරයේ නාමය තුළද ගැබ්වී ඇති හෙයිනි.  

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර