භික්‍ෂුවකට පෙම්බැඳි සිටුවරයා


රාග ගින්දරට අසුවූවෙක් පිච්චෙනවා, මත්වෙනවා මිස සැපයක් සතුටක් නොලබන්නේය. රාගය ඒ තරමට දරුණුය. එහි මත් වූවාට කායික-මානසික වශයෙන් තාවකාලික පිහිටක් තිබුණ ද එය සදාතනික වෙන්නේ නැත. වෙනස් වෙන දේ වෙනස් වීමේ ප්‍රවාහයට හසු වූ විට දුක ද, නොසන්සුන්කම ද දැනෙන්නට පටන් ගන්නේය. ඇතැමෙක් එය විරහව ලෙස පිළිගන්නා අතර තවත්හු එය ‘විරාගයක්’ බවට පත් කර ගන්නේය. 


එබැවින් පටලැවීම ද නිවීම ද ඇත්තේ අපි අපිම තුළය.


සැවැත් නුවර සමීපයේ සෝරෙය්‍ය නමින් සමෘද්ධිමත් නුවරක් තිබිණි. එහි ප්‍රධාන සිටුවරයා වූයේ සෝරෙය්‍ය සිටාණෝය. සිටුවරයා විවාහ වී ඔහුට දරුවන් දෙදෙනෙක් ද ලැබිණි. හෙතෙමේ අඹු දරුවන්ගේ යුතුකම් ද ඉටු කරමින් ඉතාම ගුණවත් ජීවිතයක් ගත කළේය. නුවරට සිටුවරයෙක් වූ සෝරෙය්‍ය බිරිඳට ආදරණීය සැමියෙක් විය. දරුවන්ට සෙනෙහෙබර පියෙක් විය. හේ කිසිවිටෙකත් ගෙදරට ‘සිටුවරයෙකු’ වූයේ නැත.


දවසක් සෝරෙය්‍ය තමන්ගේ යහළුවන් කණ්ඩායමක් ද සමඟ දුරබැහැර වූ නදී තීරයක ජලස්නානයට පිටත් විය.


දිය තොටේ කෙළවරක කච්චායන රහතන් වහන්සේ දිය ස්නානය කරන සේක. බණ පොතේ හැටියට කච්චායන තෙරුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ සිටි රූමත්ම භික්‍ෂූන් වහන්සේය. උන්වහන්සේගේ පෙර පින් බලය නිසා කච්චායන හිමියන්ට තිබුණේ රන්පාටින් බබළන සිරුරකි.


සෝරෙය්‍ය සිටුතුමාට, කච්චායන හිමියන්ගේ උඩුකය දුටු සැනින් රාගයක් හට ගත්තේය. දිය ස්නානය කර උඩට පැමිණි කච්චායන තෙරුන් සිවුරු පොරවන හැටි ද සෝරෙය්‍ය ඇසිපිය නොහෙලාම බලා උන්නේය.


සෝරෙය්‍යගේ හිතේ සුළු මොහොතක් තුළ අසාමාන්‍ය සිතුවිලි ජාලයක් උපදින්නට විණ.


‘මේ වගේ රන්වන් සිරුරක් තියන කච්චායන හාමුදුරුවෝ මගේ බිරිඳ කර ගන්න තිබුණා නම්...’


‘මගේ භාර්යාවත් මේ වගේ රන්වන් සිරුරකට උරුමකම් කීවානම්...’ සෝරෙය්‍යට සිත පහළ විය.


ඔහුගේ උමතු රාග සිතිවිල්ලත් කච්චායන තෙරුන් ගැන අසාමාන්‍ය සිතිවිලි පහළ කර ගැනීමත් උඩ සෝරෙය්‍යගේ ශරීරයේ අඟපසඟවල වෙනසක් එවලේම සිද්ධ විය. ගං තෙරදීම පිරිමි සෝරෙය්‍ය රූමත් ස්ත්‍රියක් බවට පත් විය.


දැන් මේ සිදුවීම සෝරෙය්‍යට ලජ්ජාවකි. දැන් තමන් ස්ත්‍රියකි. සියළු අඟපසඟ එසේය. තමන් සෝරෙය්‍ය සිටාණෝයි කීවාට කිසිවෙක් විශ්වාස කරන්නේ ද නැත.


ලජ්ජාවට පත් ඔහු ස්ත්‍රී වේෂයෙන්ම සෝරෙය්‍ය නුවරින් පළා ගියේය. ගං දියට පැමිණි යහළුවන් දිය ස්නානය කර සෝරෙය්‍යට වූ දේ බැලූහ. ඔහු පෙනෙන්නට නැත. සියලු අතම බැලූහ. නුවරට ද පැමිණ සිටු මාළිගයේ ද බැලූහ. සෝරෙය්‍ය නැත. ඔහු දියේ ගසා ගෙන ගියායැයි සිතූ මිතුරො සෝරෙය්‍ය මිය ගියැයි සිතා පින් අනුමෝදන් කළෝය.


ස්ත්‍රී සෝරෙය්‍ය තක්සලා නුවරට පැමිණ එහි සිටුවරයෙකු හා විවාපත් විය. දැන් ඇයත් තක්සලාවේ සිටුවරයාත් අලුත් පවුල් ජීවිතයක් ගත කරති. ඇයට ද දරු දෙන්නෙක් ලැබිණ. දරුවන්ගේ යුතුකම් කරමින් සිටින අතරේ ඇය තමන්ගේ අතීතය ගැන නිතර මෙනෙහි කළාය.


‘මම ඉස්සර පිරිමියෙක්. සෝරෙය්‍ය නුවර සිටුතුමා. මට තාත්තා කෙනෙක් විදිහට දරුවෝ දෙන්නෙක් හිටියා. දැන් මම මේ ජීවිත කාලය තුළම ස්ත්‍රියක් වෙලා. අද මම තක්සලා සිටුතුමාගෙ භාර්යාව. අද මගේ කුසින්ම දරු දෙපළක් මට ලැබිලා.’


සිටු මැදුරේ ඉහළම මහළේ සිටින ඈට ඈත වීදියේ යන සෝරෙය්‍ය නුවර පරණ මිත්‍රයකු දකින්නට ලැබිණි. ඔහුව වහාම දාසයකු ලවා ඔහුව සිටු මැදුරට ගෙන්වා ගත්තාය.


‘ඔබ කොහේද?’ තක්සලාවේ සිටු බිරිඳ අසන්නීය.


‘මා සෝර්‍යෙය නුවර සිටයි’


‘ඉස්සර සෝරෙය්‍ය නුවර සිටුවරයෙක් හිටියා’ එයා දැන් ඉන්නවාද?’


‘සිටුතුමියනි, සෝරෙය්‍ය සිටුතුමා ගඟේ ගහගෙන ගිහින් 


මියගියා. අපි එයාට දානයක් දීලා පින් අනුමෝදන් කළා..’ එහෙම කියන විට, සිටු බිරිඳ කතා කළාය.


‘නෑ...නෑ... සෝරෙය්‍ය මළේ නෑ. මමයි ඒ සෝරෙය්‍ය’ 


යහළුවාට ඇස් අදහාගත නොහැකිය. ස්ත්‍රියක් පුරුෂ ආත්මයක් ගැන කියවයි.


‘මෑට විකාරද’ යහළුවා කල්පනා කළේය.


‘මට උමතු ස්වභාවයක් නෑ. මම එදා ගං තීරෙදි කච්චායන හාමුදුරුවෝ ගැන මෙහෙම සිතිවිල්ලක් පහළ කර ගත්තා. ඒ සැනින් මට ස්ත්‍රී අඟපසඟ පහළ වුණා. මට උපකාරයක් කරන්න. ඒ කච්චායන හාමුදුරුවන්ට මේ සිටු මැදුරේ දානයකට ආරාධනා කරන්න. මට මහදන් පවත්වා උන්වහන්සේට මේ කාරණාව කියන්න ඕනෑ....’


එදාම පැරණි මිතුරා කච්චායන මහරහතන් වහන්සේ සොයා ගියේය.


‘උන්වහන්සේ අසවල් ආරාමයේ වැඩ ඉන්නේ.’


මිතුරා කච්චායන හාමුදුරුවෝ හමු වී තක්සලා නුවර සිටු මැදුරේ දානයට ආරාධනා කළේය.


පසුවදා කච්චායන මහ රහතුන් දහවල් දානයට තක්සලා සිටු මැදුරට වැඩම කළහ. සිටු දියණිය උන්වහන්සේ ගෞරවයෙන් පිළිගත්තාය. ප්‍රණීත, පිරිසිදු දානය පිළිගැන්වූවාය.


දානයෙන් පසු ඇය තමන් සෝරෙය්‍ය සිටානෝව සිට තක්සලාවේ සිටු බිරිඳ වූ කතාව ප්‍රකාශයට පත් කළාය.


‘ඔබවහන්සේ කෙරේ පහළ වූ රාගික සිතුවිල්ලයි මාව ස්ත්‍රියක් කළේ. මට මෙයින් මිදෙන්න ඕනෑ.’ ඕ ප්‍රකාශ කළාය. 


කච්චායන මහ රහතන් වහන්සේ සිටු බිරිඳ නැවත ‘පුරුෂ’ තත්ත්වයට පත්කළහ.


සෝරෙය්‍ය ජීවිතයේ කලක් පිරිමියකු වී පසුව ස්ත්‍රියක් බවට පෙරළී දැන් නැවත පිරිමියකු වී ඇත.


දැන් සෝරෙය්‍යට ස්ත්‍රිත්වය හෝ පුරුෂ බව කෙරෙහි ආශාවක් නැත. ඔහු කච්චායන හාමුදුරුවන් ළඟ වැඳ වැටී පැවිද්ද ඉල්ලා සිටියේය. කච්චායන හාමුදුරුවෝ සෝරෙය්‍ය පැවිදි කළහ.


සම්බුද්ධ ශාසනයේ සෝරෙය්‍ය තෙරුන් විදිහට පෙනී සිටියේ මුන්වහන්සේය.


උන්වහන්සේට එකම ජීවිත කාලයක වුණු ‘අමුතු විපර්යාසය’  මහා සඟරුවන අතරේ ද කටකතා පැතිර ගියහ. භික්‍ෂුන් පැමිණ සෝරෙය්‍ය හා නිතර සාකච්ඡා කළහ.


‘සෝරෙය්‍ය හිමියනි, ඔබ වහන්සේ ස්ත්‍රී ජීවිතයක් වගේම පුරුෂ ජීවිතයකුත් ගත කළ කෙනෙක්. ඔබට මවක් විදිහටත් දරුවන් හිටියා. පියෙක් විදිහටත් දරුවන් සිටියා. ඔබ වැඩියෙන්ම ආදරේ පියෙක් ලෙස ලද දරුවන් දෙදෙනාටද? මවක් ලෙස ලද දරුවන් දෙදෙනාටද?


‘මම හිතනවා, එදා මම වැඩියෙන් ආදරේ කළේ අම්මා කෙනෙක් ලෙස කුසින් ලද දරුවන් දෙදෙනාටයි කියලා...’


දවසින් දවස මේ ප්‍රශ්නය රැගෙන භික්‍ෂූහු සාමීචියට පැමිණියහ. 


සුළු කලක් ගෙවිණ, සෝරෙය්‍ය හිමියන් හමුවට එන භික්‍ෂූන් නැවත පෙර ප්‍රශ්නයම විමසති.


‘මම ඒ කිසිම දරුවෙකුට කැමති නෑ... මට දරුවන් ගැන අදහසක් නෑ...’ උන්වහන්සේ පැවසූහ.


‘එදා සෝරෙය්‍ය හාමුදුරුවෝ මෙහෙම කිවුවා. දැන් උන්වහන්සේ දරුවන්ට කැමති නෑ කියනවා. මේ හාමුදුරුවෝ 
ගිහි කාලෙ වගේම මහා බොරුකාරයෙක් ද කොහේද?’


භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එසේ තීරණය කොට ගොසින් බුදුරජාණන් වහන්සේ හමුවූහ. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ සෙසු භික්‍ෂූන් අරභයා, ‘මහණෙනි, දැන් සෝරෙය්‍ය බැඳීම්වලින් නිදහස් වූ කෙනෙක්. උන්වහන්සේ සසර බැමි ලිහා දමා ඇත. සෝරෙය්‍ය දැන් මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට දැන් ලෞකික කිසිවක් කෙරේ කැමැත්තක් නැතැයි’ වදාළහ.


ඒ අසා භික්‍ෂූහු සාධුකාර පැවැත්වූහ.


කෙනෙකුගේ සිතක් දූෂණය වූ කල්හි ඇති වන විපර්යාසය තේරුම් ගන්නට මේ හොඳ අවස්ථාවකි. රාගය නිසා සෝරෙය්‍ය ස්ත්‍රියක් බවට පත්විය. ආදරය, රාගය යනු සසරට බැම්මකි. බැඳීමකි. එය ඒ ඒ ශබ්ද කෝෂවල සෙනෙහෙවන්තකම, ලෙන්ගතුකම, බැඳීම ලෙස දක්වා ඇත.


රේරුකානේ චන්දවිමල හිමියන් බෝධි පාක්‍ෂික ධර්ම පොතේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සිතෙහි ආකාර 16 විස්තර කරයි. ඉන් එකක් පරාද චිත්තයයි. ආදරය යනු රාග සිතක් පහළ වීමක්  බවත්, එය පරාද චිත්තයම වන බවත් එහි දක්වයි.


‘පරාද සිත ඇති වූ තෙමේ මම අසවලාට බොහෝ ආදරේ යැයි කියයි. මේ පරාද සිත කැමැති අරමුණක් හේතුකර උපන් ධර්මයයි. පරාද සිත වනාහි සසරට පරාජයකි.’ පරාද චින්තය නිසා කාමයෙන් මුර්ජාවන්නේය. කාම ගින්නට හසුවන්නේය.


ස්ත්‍රිය පුරුෂයා කෙරේ ඇති වන්නේ පුළුල් විග්‍රහයෙන් දැකිය යුතු ආදරයයි. ඒ තුළ බොහෝ කැපවීම් තිබිය යුතුය. නමුත් ඒ ආදරය ද - ප්‍රේමය ද දුකක් බව, බයක් බව ධම්මපදයේ ප්‍රිය වර්ගයේ විස්තර කරයි.


‘පියතෝ ජායති සෝකෝ - පියතෝ ජායති බයං’


‘ප්‍රේමතෝ ජායති සෝකෝ - ප්‍රේමතෝ ජායති බයං.’ එසේ නම් ප්‍රේමය සේම ප්‍රියදේ ද අපව දුකට පත් කරන්නේය. අප බයට පත් කරන්නේය. මනස උමතු කරන්නේය. වෙනස් වන, අනිත්‍ය දේ කවර රූප සම්පන්තියෙන් පෙනී සිටිය ද එය අනිත්‍යමය.


විකටනි මානසිකතාවක් සෝරෙය්‍යට ඇතිවිය. එය ඔහුට උපන් මානසික උමතුභාවයයි. මෙය අදත් කෙනෙකුට පිරිමියකු-පිරිමියකු කෙරේ ද ස්ත්‍රියක-ස්ත්‍රියක කෙරේ ද හට ගත හැකිය. ඒවා සමාජ සම්මතය බිඳී යන සිතිවිලිය. එහෙත් සිත දමනය කර ගන්නට ඒ සියල්ලට වඩා තමාට හැකිවිය යුතුය. සිත දමනය කරනවුන්ට අනිත්‍ය දේ කවර ආකාරයෙන් පෙනී සිටිය ද අනිත්‍යමය. දුක් සහිත දේ කවර සැපයක් ආකාරයෙන් පෙනී සිටිය ද එය දුකක්මය. මේ ධර්මතාව පිළිබඳ මානසික පුහුණුව ක්‍රමක්‍රමයෙන් අපේ චිත්ත වේග තුළට ඇතුළු කර ගත යුත්තේය. එවැනිහු සසර දුක නිවීමට මෙලොවදීම ‘පාර’ කපා ගන්නෝය.


සටහන - අසංක ආටිගල