බෝම්බයක් පුපුරන්නේ කොහොමද?


 

 

‘ජාතික තවුහිත් ජමාත්’ (NTJ) ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 වැනිදා සිදුකළ කොළඹ ප්‍රහාරයේදී ඔවුන් යොදා ගත් පළමු උපායශීලීත්වය (Strategy) වූයේ ‘මිනිස් බෝම්බ’ පුපුරුවා හරිමින් ‘බහු මාර්ගික ප්‍රහාරයන්’ කිහිපයක් ‘එකවර’ සිදුකිරීමය. ත්‍රස්තවාදීන් හට ‘උපරිම විශ්මයක්’ (Maximum Surprise) ලබාගැනීමට පහසු වන ආකාරයේ ආරක්‍ෂක තත්ත්වයක් පැවතීම මෙකී ප්‍රහාරය සාර්ථක වීමට ප්‍රධාන හේතුව විය. සැබැවින්ම ඔවුන් එල්ටීටීඊය සිදුකළාක් මෙන් තනි ප්‍රහාරයකට පමණක් සීමාවූ ප්‍රහාරක මාලාවක් විටින් විට පසු කාලීනව සිදුකිරීමට යොමු වූයේ නම් මෙකී ‘විශ්මය’ සඵල කරගැනීමට නොහැකිව ඔවුන් බොහෝ විට අසාර්ථක වනු ඇත. එසේම, ඒ සඳහා අවැසි ලෙස සැලසුම් කිරීම ද ඔවුන් හට අපහසු වනු ඇත. එහෙයින් යොදාගත් මිනිස් බෝම්බ මගින් ‘උපරිම හානියක්’ ගෙන දෙන අයුරින් සකස්කර පුපුරුවා හැරීම ඔවුන්ගේ දෙවැනි උපායශීලීත්වය බව නිරීක්‍ෂණය වේ. ඒ සඳහා ඔවුන් බෝම්බ තාක්‍ෂණය ඉහළම අයුරින් යොදා ගෙන ඇති බව සිදුවූ මිනිස් හා දේපල හානිය පිළිබඳ තක්සේරු කිරීමේදී පෙනී යයි. 


හමුදා විසින් භාවිතයට ගනු ලබන බෝම්බ හා ත්‍රස්තවාදීන් විසින් භාවිතයට ගනු ලබන බෝම්බ අතර ප්‍රධාන වෙනසක් ඇත. හමුදා බෝම්බ, උසස් තත්ත්වයකට හා උසස් ප්‍රමිතියකට අනුව ‘නිෂ්පාදනය’ (Manufactured) කෙරේ. එසේ වුවද, ‘අවස්ථාව අනුව නිපද වූ’ (Improvised) බෝම්බ වර්ගද භාවිත කරනු ලැබේ. ත්‍රස්තවාදීන් විසින් භාවිතයට ගනු ලබන විවිධ බෝම්බ වර්ග සියල්ලම පාහේ ‘අවස්ථානුකූලව නිපද වූ’ ඒවා වේ. මෙකී බෝම්බ වර්ග ඉංග්‍රීසි බසින් IED (Improvised Explosive Device) යනුවෙන් හැඳින්වේ. මෙලෙස අවස්ථානුකූලව නිපදවන ලද බෝම්බයක් මෙතරම් පුද්ගල හා දේපල විනාශකාරී ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න සොයා බැලීම වටී. 


බෝම්බ පිපිරීමක් විද්‍යානුකූලව නිරීක්‍ෂණය කිරීමේදී එහි ද්විත්ව ක්‍රියාවලියක් සිදුවන බව නිගමනය කළ හැක. එනම් පිපිරීම ආරම්භයට තුඩු දුන් පුපුරණ ද්‍රව්‍ය තුළ සිදුවන්නා වූ රසායනික ක්‍රියාවලිය හා පිපිරීමේ දී සිදුවන්නා වූ භෞතික ක්‍රියාවලියයි. 


උෂ්ණත්වය /තාපය (Heat), කම්පනය (Shock), ඝර්ෂණය (Friction) හෝ වෙනත් ජවන ශක්තිය (Impulse) යන තත්ත්වයන්ට ඉතා සංවේදීතාවයක් දක්වන එක්තරා රසායනික ද්‍රව්‍ය සම්මිශ්‍රණයක් හෝ සංයෝගයක් ලෙස පුපුරණ ද්‍රව්‍ය හැඳින්විය හැක. කුමන හෝ එවැනි සංවේදීතාවයකින් බලගැන්වීමේදී එකී ද්‍රව්‍ය තුළ ක්‍ෂණිකව රසායනික ප්‍රතික්‍රියාවක්, නැතහොත් රසායනික විසංයෝජනයක් සිදුවේ. සරලව කිවහොත් එය ආලෝකය, තාපය, ශබ්දය හා පීඩනය යනාදී තත්ත්වයන් ඇති කරමින් සිදුවන්නාවූ ‘දහනයකි’ (Combustion). 


සංවේදීතාවයට දක්වන ප්‍රතිචාරයට අනුව පුපුරණ ද්‍රව්‍ය කොටස් තුනකට වර්ග කෙරේ. ඝට්ටනය, ඝර්ෂණය, උෂ්ණත්වය, ස්ථිති විද්්‍යුතය නැතහොත් විද්්‍යුත් චුම්බක විකිරණය යන උත්තේජකයන්ට අධික සංවේදීතාවයන් දක්වන පුපුරණ ද්‍රව්‍ය මෙහි පළමුවැන්නයි. එය ‘ප්‍රාථමික පුපුරණ ද්‍රව්‍යයයි’ (Primary Explosives) ලෝකයේ භාවිත වන රසායනික ද්‍රව්‍යයන් අතුරින් 70කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අධික සංවේදීතාවයකින් යුත් පුපුරණ ද්‍රව්‍යයන්ය. ප්‍රාථමික පුපුරණ ද්‍රව්‍යට වඩා අඩු සංවේදීතාවයක් දක්වන රසායනික ද්‍රව්‍යයන් ‘ද්වීතියික පුපුරණ ද්‍රව්‍යයන්’ ලෙස හැඳින්වේ. ඒවා මෙහි දෙවැන්නයි. මෙම වර්ගයට අයත් පුපුරණ ද්‍රව්‍යයන් බළගැන්වීමට නම් ප්‍රාථමික පුපුරණ ද්‍රව්‍ය පිපිරවීමට යොදා ගන්නා උත්තේජක ශක්තියට වඩා වැඩි බලයක් යෙදිය යුතුවේ. 


බෝම්බ සෑදීම සඳහා බහුලව යොදා ගන්නා ‘ඩයිනමයිට්’ ලෙස හඳුන්වන ටී.එන්.ටී. (tri-nitro-toluene), සුදු පැහැයෙන් යුත් හා කිසිදු ගඳ-සුවඳක් හා රසයක් නොමැති RDX, C4 හා Semtex Plastic Explosives යනාදී පුපුරණ ද්‍රව්‍යයන් මීට අයත්ය. මෙහි තෙවැන්න නම් කම්පනයට, සංවේදීතාවය නොදක්වන පුපුරණ ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන ‘තෘතීයික පුපුරණ ද්‍රව්‍ය’ වේ. (Tertiary Explosives). ගල් පර්වත පිපිරවීම වැනි වානිජමය කටයුතු සඳහා මෙකී පුපුරණ ද්‍රව්‍ය භාවිත වේ. 


‘ප්‍රාථමික’ හා ‘ද්විතීයික’ පුපුරණ ද්‍රව්‍යයන් පිපිරවීමට භාවිත කරනු ලබන උත්තේජක ශක්ති භාවිතයෙන් මෙකී පුපුරණ ද්‍රව්‍යයන් පිපිරවීම සිදුකළ නොහැක. එහෙයින් ඒවා ‘අධිබලැති පුපුරණ ද්‍රව්‍ය’ ලෙස හඳුන්වන්නේ නැත. ඇමෝනියම් නයිට්‍රේටි වැනි කෘෂිකර්මාන්තයේදී යොදා ගනු ලබන රසායනික පොහොර ද්‍රව්‍යයන් ද මීට අයත්ය. එහෙත් මෙකී රසායනික පොහොර ද්‍රව්‍යයන් සංයෝග කොට ‘අවස්ථානුකූලව නිපද වූ බෝම්බ’ ත්‍රස්තවාදීන් විසින් ලොව පුරා විටින් විට භාවිත කර ඇත. 


 පුපුරණ ද්‍රව්‍ය, ‘රසායනික ශක්තියක්’ ලෙසින් හෝ ‘පීඩන ගෑස් වායු ශක්තියක්’ ලෙසින් හෝ ‘න්‍යෂ්ඨික ශක්තියක්’ ලෙසින් හෝ පිපිරවීම් සඳහා යොදා ගත හැක. පිපිරීම සඳහා සකස් කළ ‘පුපුරණ ද්‍රව්‍ය’ තනි ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය දෙකක හෝ කිහිපයක හෝ සංයෝගයක් ද විය හැක. 


දහනය වීමේ වේගයට අනුව, පුපුරණ ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ ‘මද බලැති පුපුරණ දුව්‍ය’ (Low Explosives) හා ‘අධි බලැති පුපුරණ ද්‍රව්‍යයයි‘ (High Explosives). ‘මද බලැති පුපුරණ ද්‍රව්‍ය’ , ගිනි ගන්නා සුළු අතර ඒවා ගිනි ගැනීමෙන් හෝ එසේ නැතහොත් දහනය වීමෙන් ගෑස් වායුවට පරිවර්තනය වේ. ‘අතිධ්වනික පීඩන තරංග’ හෝ ‘අතිධ්වනික කම්පන තරංග, නැතහොත් ‘පිපිරීම් තරංග’ නිකුත් කරමින් පිපිරීම් සිදුවන්නේ ‘අධි බලැති පුපුරණ ද්‍රව්‍ය’ මගිනි. 


‘පීඩන තරංග’ හෝ ‘කම්පන තරංග’ යනු අවකාශයේ පවතින පීඩනය ක්‍ෂණිකව ඉතා තියුණු වෙනස් වීමකට ලක් වීමෙන් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් අවකාශයේ ගමන් කළ හැකි පරිදි සකස් වන වායු හෝ ශක්ති විශේෂයකි. එසේ ගමන් කිරීමේදී අවකාශයේ උෂ්ණත්වය හා ඝණත්වයද අධික වෙනස්වීමකට ලක්වේ. 


 ගොඩනැගිලි අභ්‍යන්තරයේ බෝම්බයක් පුපුරා යාමේදී ගොඩනැගිල්ලේ මුදුනින් හා දෙපස සවිකර ඇති වීදුරු ජනේල සිඳී- බිඳී විසිර යාම සිදුවේ. ගොඩනැගිලි අභ්‍යන්තරයේ පවතින වායු පීඩනය ක්‍ෂණික වෙනස් වීමකට ලක්වීම ඊට හේතුවයි. එසේ අධික පීඩනයක් ඇති වීමට බෝම්බය පිපිරීමේදී ඇතිවන ක්‍ෂණික ‘රික්තකය’ (Vacuum) හේතු කාරකවේ. කොළඹ ප්‍රහාරයට ලක්වූ අදාළ සියලු ගොඩනැගිලිවල අභ්‍යන්තරය නිරීක්‍ෂණය කරන විටදී මෙම තත්ත්වය වටහාගත හැක. එසේම ආවරණය වී ඇති ස්ථානයක් තුළ සිදු වන බෝම්බ පිපිරීමෙන් මිනිස් ජීවිත හා දේපලවලට සිදුවන හානිය විවෘත ස්ථානයක සිදුවන පිපිරීමෙන් ඇතිවන හානියට වඩා බරපතළය. 


‘කම්පන තරංග’ සුවිශේෂී ශක්ති විශේෂයකි. බෝම්බ ගබඩාකර ඇති ස්ථානයක යම් බෝම්බයක් හදිසියෙන් හෝ වැරදීමකින් හෝ පුපුරා ගියහොත් එම පිපිරීමෙන් ඇති වන්නාවූ ‘කම්පන තරංග’ මඟින් ගබඩා කර ඇති අනෙකුත් බෝම්බ ද පිපිරීයාමට අවශ්‍ය උත්තේජනය ලැබේ. මෙම ක්‍රියාවලිය, ඉංග්‍රීසි බසින් Sympathetic Detonation යනුවෙන් හැඳින්වේ. 
‘අධිබලැති’ පුපුරණ ද්‍රව්‍ය අතරට ටී.එන්.ටී. tri-intro-toluene), C4 සෙම්ටෙක්ස් යනාදි වර්ග ඇතුළත්ය. මඳබලැති පුපුරණ ද්‍රව්‍ය අතරට පයිප්ප බෝම්බ, තුවක්කු වෙඩි බෙහෙත් (Gun Powder), පැට්රල් බෝම්බ, මොල්ටොව් කොක්ටේල් (ගිනි බෝම්බ), ගුවන් යානා මගින් හෙළන ‘නාපාම්’ බෝම්බ යනාදිය ඇතුළත්ය. මෙම දෙවර්ගය මඟින් ඇති කරනු ලබන තුවාල හා හානි එකිනෙකට වෙනස්ය. 


‘අධිබලැති’ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බයක් පිපිරීමේදී නිකුත් වන ‘කම්පන තරංග’, ‘ප්‍රාථමික තරංග’ (Primary Wave) ලෙස හැඳින්වේ. පවතින අවකාශය තුළ ක්‍ෂණිකව සිදුවන අධිපීඩන තත්ත්වය (Over-Pressurization) හේතු කොට ගෙන එය සිදුවේ. ඒ සමඟම ඇති වන ‘පිපිරීම් සුළඟ (Blast Wind) මෙහි ‘ද්විතීය තරංගයයි’ (Secondary Wave) මෙම තරංගය, ‘මද බලැති’ පුපුරණ ද්‍රව්‍ය හා ‘අධිබලැති’ පුපුරණ ද්‍රව්‍ය යන දෙවර්ගයෙන්ම හට ගනී. මෙහි ‘පිපිරීම් සුළඟ’ ලෙස හැඳින්වෙන්නේ පිපිරීම මගින් ඇතිවන අධික තාපයකින් යුත් වායුවයි. (Superheatedairflow). 

 

 


 මිනිස් ශරීරයේ සියයට හැටකට වැඩි ප්‍රමාණයක් අඩංගුව ඇත්තේ ජලයයි. විද්‍යානුකූලව කිවහොත් ශරීර ස්කන්ධයේ (Mass) සියයට අනූනවයක් පමණ සමන්විත වී ඇත්තේ ද ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කැල්සියම් සහ ප්‍රොස්පරස් යන මූල ද්‍රව්‍යවලිනි. ඉතිරිය පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම් යන මූල ද්‍රව්‍යවලින් යුක්තය. මෙවැනි සංයෝගකින් හෙබි මිනිස් ශරීරය අධිබලැති බෝම්බයක් පිපිරීමේදී ඇතිවන ‘ක්‍ෂණික රික්තකයකට’ ද ‘ක්‍ෂණික අධිපීඩන තත්ත්වයකට’ ද මුහුණ දීමට හැකියාවක් නොමැත. බෝම්බය ආසන්නයේ සිටි පුද්ගලයින්ගේ ශරීර කොටස් කැබලිවලට කැඩී විසිරි යන්නේ එහෙයිනි. එසේම මෙම සමස්ත ක්‍රියාවලිය සිදුවීමට අදාළ ‘කාලයක්’ නැත. සියල්ල සිදුවන්නේ යමෙකුට ‘නොදැනිවමය’. ‘අධිබල’ බෝම්බයේ ඇති විශේෂත්වය එයයි. 


 කෙසේ වුවද, ‘අධිබලැති’ බෝම්බයක් පිපිරීමේදී සිදුවන මෙකී රසායනික හා භෞතික ක්‍රියාවලියට අනුව බෝම්බයේ ඉලක්කයට ලක්වන පුද්ගලයින් සතර ආකාරයකට පිපිරීම් තුවාල (Blast Injuries)වලට ලක් විය හැක. මින් පළමුවැන්න ‘ප්‍රාථමික පිපිරීම් තුවාලයි’ (Primary Injuries). එය අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිපිරීම්වලට පමණක් සුවිශේෂී වූ ශාරීරික තුවාලවේ. පිපිරීමේදී පවතින අවකාශයේ ඇතිවන ‘ක්‍ෂණික අධිපීඩන තරංග’ ගමන් කිරීම නිසා මිනිස් ශරීරයේ මතුපිට සිදුවන හානි ‘ප්‍රාථමික ගණයට’ අයත්වේ. වායු පිරි ඉන්ද්‍රියන් මෙමඟින් අධික ලෙස හානියට පත්වේ. පෙනහැල්ල, ආහාර මාර්ගය, කන් බෙරයට පිටුපස ඇති වාතයෙන් පිරුණු කනෙහි කුහරයේ මධ්‍යම කොටස යනාදිය මින් විශේෂිතය. 
පිපිරීමේදී අවට තිබෙන වස්තූන්වලට සිදුවන හානිය හේතුකොට ගෙන විනාශවී සිඳී-බිඳී විසිරී යන බාහිර කොටස් අපමණය. එසේම බෝම්බය පුපුරායාමේදී බෝම්බයේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ඇතුළත් කර ඇති කුඩා යකඩබෝල හෝ එසේ නැතහොත් බෝම්බයේ ලෝහමය කොටස් ද අධික ලෙස විසිරී යයි. ඒවා වැදීමෙන් ඇතිවන ශාරීරික තුවාල ‘ද්විතීයික පිපිරුම් තුවාල ලෙස හැඳින්වේ. ශරීරයේ ඕනෑම කොටසක් ඉන් විනාශ වීම හෝ තුවාලයට ලක් වීම සිදුවිය හැක. පිපිරීමේදී ඇතිවන ‘පිපිරුම් සුළඟ’ හේතුවෙන් පුද්ගලයින් විසිවී ගොස් වෙනත් වස්තූන්වල වැදීමෙන් ශරීරයේ ඇති වන තුවාල ‘තෘතීයික තුවාල’ වේ. ඉන් ශරීරයේ ඕනෑම කොටසක් තුවාල විය හැක. ප්‍රාථමික, ද්වීතියික, හා තෘතීයික යන වර්ගීකරණයන්ට අයත් නොවන ශාරීරක තුවාල හා ආබාධයන් ‘චතුර්මය පිපිරුම් තුවාල’ ලෙස හැඳින්වේ. බෝම්බය පිපිරීමෙන් අදාළ අවකාශයේ විවිධ වර්ගයේ වායු වර්ග නිපදවේ. ඒවා විවිධ විෂ වායු, දූවිලි වායු, තාප වායුවලින් සමන්විතය. අධික දුමාරය හා රසායනික විකිරණය ද ඒ සමඟම ඇතිවේ. මෙකී තත්ත්වයන් හේතුවෙන් ශරීරයේ පිළිස්සුම් තුවාල හා විවිධ ආඝ්‍රාණ ආබාධිත තත්ත්වයන් ඇති විය හැක. තවද බෝම්බ පිපිරීමකට හසුවී දිවි ගලවාගත් ඇතැම් අය තුළ යම් මානසික ආබාධිත තත්ත්වයක් ද (Trauma Condition) හට ගත හැක. ‘චතුර්මය පිපිරුම් තුවාල’ ගනයට ඇතුළත් වන්නේ එවැනි ආබාධිත හා අසනීප තත්ත්වයන්ය. 


‘අධිබලැති’ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බයක් පිපිරීමකට ලක්ව ඇතිවන තුවාල, වෙනත් අනතුරකට ලක්වීමෙන් ඇතිවන තුවාලවලට වඩා බොහෝ විට වෙනස්ය. මෙහි විශේෂත්වය වන්නේ පිපිරීමේදී පුපුරණ ද්‍රව්‍ය තුළ ඇතිවන රසායනික ක්‍රියාවලිය අවසානයේ සිදුවන භෞතික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ අවකාශය තුළ ගමන් කරවනු ලබන රසායනික විෂ අංශු පුද්ගලයින්ගේ තුවාල තවදුරටත් බරපතළ කිරීමට ඇති හැකියාවයි. 


විවෘත භූමියක සිදුවන බෝම්බ පිපිරීමකට වඩා ආවරණයවී ඇති ස්ථානයක, එනම් ගොඩනැගිල්ලක් තුළ හා වාහනයක හෝ යාත්‍රාවක් තුළ සිදුවන්නා වූ පිපිරුම අතිශයින් හානිදායකය. ආවරණය වී ඇති ස්ථානයේ පවතින අවකාශයේ වායුව, විවෘත ස්ථානයකට වඩා වැඩි පීඩනයකට ලක්ව ඇහිරී සීමාවී තිබේ. එසේම අදාළ ස්ථානයේ ගැවසෙන පුද්ගලයෝ ද ඒකරාශීව සිටිති. එවැනි තත්ත්වයන් යටතේ සිදුවන්නා වූ කුමන පිපිරීමක් වුවද බරපතළය. කොළඹ ප්‍රහාරයේ ඉලක්ක කර ගත් ස්ථානයන් හි සිදුවූ පිපිරීම්වලින් ඇතිවූ පුද්ගල හා දේපළ හානිය මීට උදාහරණයකි. විශේෂයෙන් ඇතැම් විදේශයන්හි සිදුකරනු ලබන පතල් හෑරීම්වලදී ඇති වන පිපිරීම්වලදී ද මෙලෙස පුද්ගල හානිය අධිකව සිදුවේ. 


‘අධිබලැති’ පුපුරණ ද්‍රව්‍ය ඉන්ධන සමඟ මිශ්‍රකර භාවිත කිරීම ද සිදුවේ. ‘ගිනි බෝම්බ’ (Incendiary Bombs) ලෙස ඒවා හැඳින්විය හැක. මෙකී ක්‍රමය, හමුදාවන් හා ත්‍රස්තවාදීන් යන දෙපාර්ශවය විසින් ‘අවස්ථානුකූලව’ හා ‘ඉලක්කයේ ස්වභාවය’ අනුව යොදා ගනු ලැබේ. මෙහිදී දැවීම (Combustion) මඟින් හානි පැමිණවීම අරමුණයි. පිපිරීමෙන් ඇතිවන ‘කම්පන තරංග’ මෙන්ම අධිකව හට ගන්නා ‘තාප තරංග’ නොහොත් ‘පිපිරුම් සුළඟ’ භාවිතය මගින් හානි පැමිණවීම මින් සිදුකළ හැක. 1985 වර්ෂයේදී එල්.ටී.ටී.ඊය ඔවුන් විසින් පැහැර ගන්නා ලද ඉන්ධන බවුසරයක් හා ඉන්ධන බැරල් පුරවන ලද ලොරි රථයක් භාවිතයෙන් ප්‍රහාරයන් දෙකක් සැලසුම් කළේය. මින් පළමුවැන්න යාපනයේ ‘නාවක්කුලි’ කඳවුර ඉලක්ක කොට ගෙනය. ඊට ඉන්ධන බවුසරය යොදා ගැනුනි. මෙහිදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බය බවුසරයට සවිකිරීම සඳහා ඊට අවශ්‍ය තහඩුවක් ‘වෙල්ඩින්’ කිරීමට යාමේදී එය පුපුරා ගියේය. එහිදී අධික ගිනි ජාලාවක් ඇති කරමින් බවුසරය පුපුරා ගිය අතර එල්ටීටීඊයේ සිටි දක්‍ෂ බෝම්බ තාක්‍ෂණකරුවන් කිහිප දෙනෙකු ඉන් පිලිස්සී මිය ගියහ. වෙල්ඩින් කිරීමේදී නිකුත් වන තාප වායු තරංග බවුසරය ආසන්න වායු ගෝලයේ තිබූ ඉන්ධන අංශු සමඟ එකතු වීමෙන් ඇතිවූ දහනය නිසා එය පුපුරා ගිය බවට තොරතුරු ලැබිණි. 


එල්ටීටීඊය, දෙවැනි වරට ද එම තාක්‍ෂණය යොදා ගනිමින් ‘කිලිනොච්චි’ කඳවුරට ප්‍රහාරයක් සැලසුම් කළේය. මේ සඳහා ඔවුන් පෙර සඳහන් ඉන්ධන බැරල් පිරවූ ලොරිය යොදා ගත්තේය. ලොරිය අඳුර වැටීම ආරම්භයත් සමඟම අදාළ කඳවුර ඉදිරියේ තිබූ මාර්ග බාධකය වෙත පැමිණියේය. රථය කඳවුර දෙසට පදවා, ක්‍ෂණිකව රියදුරු ලෙස පැමිණි එල්ටීටීඊ සාමාජිකයා ඉන් බැස පැන දිව ගියේය. ඉන් මොහොතකින් පමණ පසු ලොරිය පුපුරා ගියේය. රථය නැවැත්වීම සඳහා ඉදිරියට පැමිණි හමුදා භට පිරිස් කිහිපදෙනෙකු මෙහිදී පිළිස්සුම් තුවාල ලැබූහ. මෙහිදී කඳවුරේ සිටි නිලධාරියෙක් වූ ලුතිතන් කාවින්ද ගුණවර්ධන ඉතා දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබීය. කෙසේවුවද, අපේක්‍ෂා කළ අයුරින් බෝම්බ පිපිරුම් ප්‍රහාරය සාර්ථක කරගැනීමට එල්ටීටීඊය අපොහොසත් විය. 1987 වර්ෂයේ ජුලි 05 වන දින එල්ටීටීඊය විසින් ‘නෙල්ලිඅඩි’ කඳවුර ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් සිදුකරන ලදී. එය ‘රාත්‍රී ප්‍රහාරයක්’ වූ අතර එහිදී පළමුව සිදුවූයේ බෝම්බ පිරවූ ලොරියක් කඳවුරට පදවා ගෙන ඒමය. එය පැදවූ තැනැත්තා ‘මිලර්’ නම් විය. එල්ටීටීයේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ ඔහුය. එහෙත් ඔහු, ‘මරාගෙන මැරෙන ජැකට්ටුවක්’ (Suicide Jacket) හැඳ තම ශරීරය ‘මිනිස් බෝම්බයක්’ ලෙස භාවිත නොකළ බවට තොරතුරු අධ්‍යයනයේදී හෙළිවිය. ඔහු සැබැවින් සිදුකළේ පිපිරවීම සඳහා නවීකරණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය පදවා ගෙන පැමිණ ඔහු රථය තුළ සිටියදීම එය පුපුරුවා හැරීමය. මෙය ‘කිලිනොච්චි’ කඳවුරට ප්‍රහාරය එල්ල කිරීමට ගොස් වැරදුන පාඩමෙන් උගත් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. 


අතීතයේදී ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරයේ සිදුවූ විවිධ බෝම්බ ප්‍රහාර සිදුවීම් අධ්‍යයනය කිරීමේදී හෙළි වන එක් ප්‍රධාන කරුණක් ඇත. එනම්, ‘අධිබලැති’ හා ‘මඳබලැති’ පුපුරණ ද්‍රව්‍යයන් දෙවර්ගය, පිපිරීමක දී රසායනිකව හා භෞතිකව ඒවා හැසිරෙන අන්දම උපයෝගී කොට ගෙන ‘අවස්ථානුකූලව’ හා ‘ඉලක්කයේ ස්වභාවයට’ අනුව ‘ඇති කිරීමට අපේක්‍ෂා කරනු ලබන හානිය’ සිදුකිරීම සඳහා ‘අවැසි පරිදි’ යොදා ගත හැකි බවය.