බෝම්බ පහරින් මහ මගදී මිය ගිය ජනාධිපති


කොළඹ බ්යපත් කළ කොටි බෝම්බ

 

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

 

​ෙලයින් උපන් මැයි දිනයක රටේ ජන නායකයා ලේ විලක් මැද මාරයා විසින් බිලිගත් හැටි ඔබේ මතකයේ ඇත.   


මැයි පළමුවැනිදා යනු වැඩ කරන ජනතාවගේ දිනයයි. එදිනට පෙළපාළි ජන රැලි රැස්වීම් ආදියෙන් රට උණුසුම් වෙයි.   


එහෙත් 1993 මැයි පළමුවැනිදා පැවති ජන රැලිය අවසන් වූයේ කිසිදා බලාපොරොත්තු නොවූ අන්දමේ ශෝචනීය සිදුවීමකිනි.   


එදින ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට පක්ෂය සූදානමින් සිටියේ සති ගණනාවකට පෙර සිටය.   
මැයි දින පෙළපාළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් ඇරඹිය යුතු යැයි ප්‍රකාශයට පත් කර තිබුණේ ඊට පෙර දිනයේ ය.   


දිවයිනේ නන් දෙසින් පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ සුගතදාස ක්‍රීඩාංගණය අසල ප්‍රධාන මාර්ගයේත් අවට මාර්ගවලත් අතුරු සිදුරු නැතිව පිරී සිටියහ.   
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණි පසු ජාතික මැයි රැලියේ පෙළපාළිය ආරම්භ කිරීමට සූදානම් කොට තිබිණි.   


මැති ඇමැතිවරු විශාල පිරිසක් ද පෙළපාළිය සංවිධානය කිරීමේ කටයුතුවල නිරතව සිටියහ.   


කාලය තටු සලා මොහොතින් මොහොත ඒ අවට ගහ කොළ උඩින් ද පියාසර කළේ ​නොදැනුවත්වමය. ඒ නිසලතාව නතර කර වීමට කම්පනය කරවීමට, කඳුළින් තෙත් කර වීමට තරම් බිහිසුණු මොහොතක් එළඹෙතැයි එහි සිටි කිසිවකු හෝ නොසිතෙන්නට ඇත. සියල්ල සිදු වූයේ අනපේක්ෂිත ලෙසටය.   


දහවල් 11.45ට පමණ සුගතදාස ක්‍රීඩාංගණය අසල පොදිකමින් සිටි ජනතාව එක වරම කලබල වූහ. ඒ අතරින් පතර ඉදිරිපස බලන්නටත් ඉදිරියට ඇවිද යන්නටත් ඇතැම්හු උත්සාහ කළහ.   


“ජනාධිපතිතුමා ඇවිල්ලා...” ඊළඟ අවස්ථාවේ එහි සිටියවුන්ට දිස් වූයේ මැයි දින පෙළපාළිය සංවිධානය කරන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. රනිල් වික්‍රමසිංහ, සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, දයානන්ද වික්‍රමසිංහ යන මැති ඇමැතිවරු ද ජනාධිපති සමග එම කටයුත්තට එක්ව සිටියහ.   


ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් පෙළපාළිය පටන් ගත් බව එහි පසු පස සිටියවුන්ට දැන ගන්නට ලැබුණේ තරමක් ප්‍රමාද වීමෙනි. පිටුපස සිටි ඇතැම්හු පසු වූයේ ජනාධිපතිතුමා තමන් ළඟටත් පැමිණෙයි දෝ වැනි හැඟීමෙනි. මුලින්ම ගමන් ගත් ආරක්ෂක රථවලට පසුව පෙළපාළියේ ඊළඟට ගමන් ගන්නේ විවෘත ජීප් රථයකි.   


“ඔබ හෙළනා දහදිය බිඳු රටක් වටිනවා. ඔබ තනි නෑ ඔබත් සමග අපත් ඉන්නවා” යනුවෙන් සටහන් වූ පුවරුවක් ද පෙරටුව එම ජීප් රියට පසු පසින් ජාතික ධජ රැගත් තරුණ තරුණියෝ රැසක් ගමන් ගත්හ.   


ගාලු මුවදොරපිටිය බලා යන අති විශාල ජන ගංගාව ගමන් කළේ ඒ අන්දමිනි.   


​ෙපළපාළියේ ගමන් කර අතරමග දී එය නිසි ලෙස හැසිරවීමට ද එතුමා වරින් වර ඉදිරිපත් විය. අතරමග දී හමු වන මව්වරුන්ට පියවරුන්ට තරුණයන්ට කතා කළ එතුමා පසු වූයේ ඉමහත් සතුටකිනි.   


මැයි පෙළපාළිය ආමර්වීදිය මංසන්ධියට පිවිසෙන විටත් ජනාධිපතිතුමා මහජනයා සමග ගැවසෙමින් සංවිධාන කටයුතුවල නිරතව සිටියේය.   


​ෙපළපාළියේ ගමන් ගත් පිරිස පසු වූයේ මැයි දිනයේ උද්දාමයෙනි. ඒ රිද්මයට දෝ ආමර්වීදියේ පොලිසිය අසල පිහිටි මාර්ග සංඥා රතු කහ හා කොළ පැහැයෙන් දැල්විණි.   
රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන කටයුතුවලට මුල් තැන හෙබ වූ මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ මැයි පෙළපාළිය ප්‍රධාන පෙළපාළියට සම්බන්ධ වූයේ ආමර්වීදිය මංසන්ධියට වැටෙන අතුරු පාරකිනි. ඔවුන්ට ද ප්‍රධාන පෙළපාළිය වෙත එක්වන ලෙස පැවසූ ජනාධිපතිතුමා දිගටම පෙළපාළිය සංවිධානය කිරීමෙහි යෙදී සිටියේය.   
එහෙත් ඊළඟ මොහොතේ මහා පිපිරීමකට තමන් නතු වන බව කිසිවකු සිහිනයකින් වත් නොසිතන්නට ඇත.   


ඈත ගම් දනව්වල වෙසෙන දිළිඳු මව්වරුන්ට පියවරුන්ට ඉන්න හිටින්න නිවස්න පවා තනා දුන් පුංචි පැල්පතකින් පැමිණි එම ජන නායකයා ජනතාවගෙන් උදුරා ගත් ඒ මාරක මොහොත උදා විය.   


එක්වරම විශාල පිපිරීම් හඬක් ඇසිණි. ඒ සමගම එහි සිටි ජනතාව කෑ ගසන්නට ද විලාප දෙන්නට ද වූහ.   


ඔවුන් ලේ පෙරාගෙන සීසීකඩ දිවගියේ දැඩි කලබලයෙනි. අාමර් වීදියේ පොලිසිය ඉදිරිපිට සංඥා එළි රතු පාටට දැල්වී තිබුණෙ​්ය. සුළඟේත් පොළෙවේත් හද ගැස්ම ටික මොහොතකට නතර වූවා සේය.   


“ජනාධිපතිතුමත් මිය ගිහින්” සිද්ධිය වී පැයකට පමණ පසුව ආරංචි විය .  


පෙළපාළිය නතර කර තිබිණි.   


තුවාලකරුවන් රෝහල් කරා ගෙන ගොස් තිබිණි. බෝම්බය පිපිරූ ස්ථානය දෙපසට මාවත් හුදෙකලා කොට තැබිණි.   


බෝම්බය පිපිරූ ස්ථානය එකම ලේ විලකි. තැනක අත් පා ය. තවත් තැනක මස් වැදලි ය. හිස් මොළ අතුනු බහන් පාර පුරා ය.   
මාවත දිගටත් ඒ අවටත් පාවහන්, කුඩ, හිස් වැසුම්, බැනර්, පත්‍රිකා වැනි දේවල් විසිරී තිබිණි. තාර පාර පුරා ගලා ගිය රුධිරය ගිනි අව්වට කැකෑරී වියැළෙමින් පැවතිණි.   
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මැයි පළමුවැනිදා කොළඹ ආමර් වීදියේ දී අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් ප්‍රකාශයට පත් විය.   
වෙනත් මැයි දිනවල දී මෙන්ම මෙවර මැයි දිනයේදීත් ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ පෙළපාළිය පිටත් වන මොහොතේ එහි සංවිධාන කටයුතු පරීක්ෂා කර බැලීය.   
ඉන් අනතුරුව සිය මෝටර් රථයේ පෙළපාළිය පසු කොට ඉදිරියට ගිය එතුමා ජේතවනාරාම විහාරස්ථානය අසල දී මෝටර් රථයෙන් බැස පෙළපාළියට එක් විය. ළා කොළ පැහැති අත්කොට කමිසයකින් සහ සුදු සරමකින් සැරසී කොළ පැහැති කැප් එකක් පැලඳ සිටි එතුමා පෙළපාළිය සංවිධානය කරන අතරතුරම මග දෙපස සිටි ජනයාට ද ආචාර කරමින් ගමන් ගත්තේ ප්‍රීතිමත් බවක් ද පළ කරමිනි.   


එතුමා ද ඇතුළුව බෝම්බය පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 17 දෙනෙකි. ජනාධිපතිතුමා අසලින්ම සිටි පොලිස් අධිකාරි රොනී ගුණසිංහ සහකාර පොලිස් අධිකාරි සරත් මහින්ද සහ සිරිමල් පෙරේරා යන මහත්වරු ද ජනාධිපති ආරක්ෂක ඒකකයේ කිහිප දෙනෙක් ද මියගිය පිරිස අතර වූහ.   
​ෙබා්ම්බ පිපිරීම සිදු වූ තැන සුනු විසුනු වී ගිය මෝටර් බයිසිකලයක් ද පාපැදි කිහිපයක් ද විය. විනාඩි 25කට පමණ පෙර සුගතදාස ක්‍රීඩාංගණය අසලින් ජනාධිපතිතුමා නැගී පැමිණි කළු පැහැති ජීප් රථය ද ඒ අසලින් විය. බෝම්බයට ගොදුරු වූ සිරුරුවලින් විසිරී ගිය ලෙයින් ඒ වාහනය ද තෙමී තිබිණි.   
ජනාධිපතිතුමාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි. අභාවය නිමිත්තෙන් එම අවමඟුල් කටයුතු සිදු වූ දිනය ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කෙරිණි.   


එතුමා ඝාතනයට ලක් වූයේ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකු අතිනි. 1924 ජුනි 23 උපත ලැබූ එතුමා මියයන විට අවුරුදු 68කි.   
ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි බාබු හෙවත් කුලවීරසිංහම් වීර කුමාර් එතුමා සමග මිත්‍රව සිටි අයෙකි. එහෙත් ඔහුගේ ඒ හිත මිත්‍රකම රැඳී තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට තිබූ පක්ෂපාතිත්වයට දෙවැනිවය. 1991 දී කොළඹට පැමිණි බාබු ජනාධිපතිවරයාගේ නිවෙසට සමීපව සිටි රාජා නමැති ව්‍යාපාරිකයා සමග හවුල්කරුවෙකු වී කටයුතු කළෙ​්ය.   
පසුව ජනාධිපතිවරයාගේ නිවසට සමීපයෙන් විශාල මුදලකට කඩ කාමරයක් මිලට ගත්තේය.   


උපක්‍රමශීලීව සිය ව්‍යාපාරය ගෙන ගිය බාබු කිසි විටෙකත් උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳව උනන්දු වන්නකු සේ පෙනී නොසිටියේය. ඔහු සැමවිටම පෙම් බැන්දේ ධනය සහ ජීවිතයට බව පෙනුණි.   


මේ අතර ජනාධිපතිවරයා සමීපයේ සිටි මොහිදින් සමගත් ජනාධිපතිවරයාගේ සේවකයන් සමගත් සමීප සබඳතා ගොඩනගා ගැනීමට බාබු කටයුතු කළේය.   
බාබු සහ ප්‍රේමදාස ජනාධිපතිවරයගේ සම්බන්ධය ගොඩනැගුවේ ද මොහිදින් ය. මේ නිසා ජනාධිපතිවරයා පිට පළාත්වල යන සංචාර කිහිපයකටම පරිවාර රථයක නැගී යාමට බාබුට අවස්ථාව උදා වී තිබිණි. මෙලෙස එතුමාට සමීප වූ බාබු අවසානයේ ජනධිපතිවරයා ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කළේය.

 

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

 


ප්‍රේමදාස මහතාගේ දේශපාලන දිවිය ආරම්භ වූයේ ඒ.ඊ. ගුණසිංහ නායකත්වය හෙබවූ කම්කරු පක්ෂයට සම්බන්ධ වීමත් සමගය. එහෙත් එතුමා පසුව එක්සත් ජාතික පක්ෂයට එක් විය.   


ජන සවිය ගම්උදාව ආදී ව්‍යාපෘති ඇති කර එම ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද එතුමා​ෙග් අදහසකි.   


ඝාතකයෙකුගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ එතුමාගේ අභාවය ඇසූ මහජනතාව කම්පාවට පත් වූහ.   


එතුමා දේශපාලන න්‍යාය හා සංවර්ධනය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ස්වයං අධ්‍යාපනයක් ලබා ගත්තේය. ඔහුගේ දේශපාලන චින්තනය හැඩ ගැසුණේ ඉන්දීය නිදහස් සටනින් හා මහත්මා ගාන්ධීගේත් ජය ප්‍රකාශ් නාරායන්ගේත් චරිතාපදාන තුළිනි.   


ව්‍යවස්ථාදායක සභා සහ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාලය දක්වා වන සියලු හැන්සාඩ් වාර්තා ඔහු කිය වූයේ යැයි වාර්තා වී ඇත. අදහස් ඉදිරිපත් කිරීමේ මනා හැකියාවක් හා පැහැදිලි වූත් සිත් ගන්නා සුලු වූත් කතා ශෛලියක් එතුමාට තිබිණි. නිසැකයෙන්ම එතුමා ඉතා චතුර ප්‍රසිද්ධ කථිකයන්ගෙන් කෙනෙක් විය.   


​බෝම්බයට කෙනෙකුගේ තරාතිරමක් නැත. අනුකම්පාවක් නොමැත. නමුත් බෝම්බ ගෙන එන්නා සිත් පිත් ඇත්තෙකි. අයාලේ ගිය සිත් සුවපත් වූ දාට බෝම්බ බියක් නොමැත.

 

 

 

  
ධනු විජේරත්න