බොම්බායේ බෞද්ධ නටබුන්


එක පෙළට පිහිටා ඇති ලෙන්

 

බොම්බාය නොහොත් මුම්බායි කී සැණින් ඔබට සිහිපත් වන්නේ කුමක් ද? විසිතුරු සිනමා සිත්තම්, වෛවර්ණ ඇඳුමෙන් සැරැසුණු සිනමා තාරකා, හින්දි සංගීතය, විය හැකිය. 


එහෙත් එකල බෞද්ධ භික්ෂූන්වහන්සේ වැඩසිටි, බණ භාවනා කළ ලෙන් ආරාම සමූහයක් ජනාකීර්ණ නගර සීමාවේ පිහිටා ඇති බව කීවොත් ඔබ තරමක් විමතියට පත්වන්නටත් පිළිවන.


මේ බොහෝ ලෙන් විහාර දැක ගැනීමට නගරයේ සිට විනාඩි 30ක් 45ක් ඇතුළත යා හැකිය. ඇතැම් ලෙන් විහාර නැරැඹීම සඳහා මුදලක් අය කරන අතර සමහර ලෙන් විහාර අපහසුවකින් තොරව නිදහසේ බලා කියා ගත හැකිය.


අපහසුවකින් තොරව නිස්කලංකව නැරැඹිය හැකි ලෙන් විහාර අතර කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය මුල් තැන් ගනී.
කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය පිහිටා ඇත්තේ බොම්බායේ සුන්දර් නගර්හි අන්දේරි ප්‍රදේශයේය. මෙම විහාර සංකීර්ණයට යන පාර ප්‍රකටව ඇත්තේ මහාකාලී මාවත යනුවෙනි. ඇතැමුන් මෙම ලෙන් හඳුන්වන්නේ මහාකාලී ගුහා යනුවෙනි.


නගරය හරහා අන්දේරි හි නැගෙනහිර පැත්තට ගමන් ගනිද්දී වාහනවලින් නැගෙන ශබ්දයත්, නළා හඬත් එකම ඝෝෂාවකි. මංමාවත් එතරම්ම කලබලකාරීය. ජනාකීර්ණය. අතරින් පතර උස්ව අහසට විහිදුණු ගොඩනැගිලිත් ඒ අතර පිහිටි කුඩා නිවාසත් පසුකොට කඳු ගැටයක් වැනි ස්ථානයකට පැමිණි පසු ඈතින් යාන්තමට කොණ්ඩෙවිටේ ගුහා දැක ගත හැකිය.


මෙවන් කලබලකාරී පෙදෙසක ලෙන් ආරාම සංකීර්ණයක් තිබේදැයි සිතා ගැනීමට පවා අපහසුය.


මෙම ලෙන් ආරාම සංකීර්ණය මහාකාලී ලෙන් යනුවෙන් හැඳින්වීම නිවැරැදි නොවන බව මහාරාෂ්ට්‍ර බෞද්ධයෝ කියති. ඔවුන් පවසන්නේ මෙහි නිවැරැදි නාමය වන්නේ කොණ්ඩෙවිටේ ලෙන් නොහොත් කොණ්ඩෙවිටේ ලෙන් විහාර යන්නය.


“කොණ්ඩෙවිටේ ලෙන් විහාරවල ආරම්භය ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවස දක්වා දිව යනවා. ඒත් පසුකාලීනව මහාකාලී කෝවිලක් කොණ්ඩෙවිටේ ලෙන් විහාරවලට යාබදව හැදුණා. ඒ අනුව තමයි සමහරුන් මෙම ලෙන් විහාර මහාකාලී ගුහා කියා හඳුන්වන්නට පටන් ගත්තේ. එය වැරැදියි.” මෙසේ පවසන්නේ මහාරාෂ්ට්‍රයේ බෞද්ධ ධර්ම ගුරුවරයකු වූ සුගත සාන්තයාය.


කොණ්ඩෙවිටේ ලෙන් විහාර පිළිබඳව තොරතුරු සොයා ගැනීම අපට ඉතා දුෂ්කර විය. බොහෝ කරුණු ඇත්තේ මරාති භාෂාවෙන් නිසාය. එම තොරතුරු අපට ලබා දුන්නේ මහාරාෂ්ට්‍රයේ ලෙන් විහාර සුරැකීමේ සංවිධානයේ සාමාජික මුකේෂ් ජාදේව්ය.

 

නටබුන්වී ගිය කැටයම්

 

මෙම සංවිධානය මගින් මහාරාෂ්ට්‍රයේ ලෙන් විහාරවල තොරතුරු එක්රැස් කරන අතර ඒවා සුරැකීම පිළිබඳව ද සැලකිලිමත් වෙයි.


එමෙන්ම මහාරාෂ්ට්‍ර රජය කොණ්ඩෙවිටේ ලෙන් විහාර සංකීර්ණය පිහිටි කඳුගැටය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත්කර ඇත. එම භූමි භාගයට අයත් කොටස වෙන්කර මනාව නඩත්තු කරන අතර එම ලෙන්වල ආරක්ෂාව සඳහා විශාල යකඩ වැටක් ද යොදා ඇත.


වර්තමානයේ අන්දේරි නමින් හැඳින්වුව ද මෙම කඳු ගැටය එදා හඳුන්වා ඇත්තේ උදයගිරි නමිනි. එහි තේරුම වන්නේ අරුණ නැගෙන කන්ද යන්නයි. උදයගිරි පසු කල උන්දේරි වී දැන් අන්දේරි නමින් හැඳින්වෙයි.


එක පෙළට පිහිටා ඇති ලෙන් 19කින් යුතු කොණ්ඩෙවිටේ විහාර සංකීර්ණයේ ඇතැම් ලෙන් ක්‍රි.පූ. 2 වැනි සියවසේ ආරම්භ වුව ද ඇතැම් ලෙන් ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ දී පමණ ඇරැඹුණ බව කියැවෙයි.


මහා සංඝරත්නයට වැඩ සිටීමට, බවුන් වැඩීමට මෙන්ම වන්දනාමාන කටයුතු සඳහා මෙම ලෙන් විහාරයේ විවිධ කොටස් සකස්කොට ඇත්තේ සුවිශාල ගල් පර්වත අතරය. ඒවා බොහෝ විටෙක අපට සිහිපත් කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ අපට දැකගත හැකි එම යුගවලට අයත් ඉපැරැණි ලෙන් විහාරය.
අශෝක අධිරාජයා බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසු භාරතය පුරාත්, විදේශ කරාත් ධර්ම ප්‍රචාරය පිණිස ධර්මදූතයන් පිටත් කර යැවූ බව ප්‍රකට කරුණක්.


ඒ අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට වැඩම කළ ධර්ම දූතයාණන් වහන්සේ අර්හත් මහා ධම්මරක්ඛිත හිමිය. 
මහා ධම්මරක්ඛිත හිමි මහාරාෂ්ට්‍ර බුදු දහම නගාසිටුවීම සඳහා සුවිශාල සේවයක් කළ බව කියැවෙයි.
මෙම ප්‍රදේශය කොණ්ඩෙවිටේ නමින් හැඳින්වූ පසු ලෙන් විහාර ද එනමින් නම් කෙරිණ.


මෙම ලෙන් 19න් 15ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇති අතර ඉතිරි 4 බටහිරට වන්නට පිහිටා ඇත.
මෙම ලෙන් විහාර සඳහා සාතවාහන රාජ සමයේ දී ද සුවිශේෂී රාජ්‍ය අනුග්‍රහය ලද බව කියැවෙයි.
මෙහි ඇතැම් ගුහා ථෙරවාදී බුදු දහමේ ආභාසයෙන් සකස් වී ඇති බව එහි නටබුන්වලින් දැකගත හැකිය. චෛත්‍ය ගෘහයත් බවුන් වඩන කොටසක් යැයි සිතිය හැකි ඉඩ ප්‍රමාණයක් එම කාලයට අයත් යැයි සැලකෙයි.


එහෙත් ඇතැම් ගුහාවල ඇති ප්‍රතිමා, කැටයම් ආදී නෂ්ටාවශේෂ අනුව පසු කල මහායාන බලපෑම් ලද බව සිතිය හැකිය. මෙහි ඇති ප්‍රතිමා ආදිය එකල රනින් සරසා තිබුණු බවට විශ්වාස කෙරේ.
මෙහි ඇතැම් ලෙන් තුළට ඇතුළුවීමේ දී ගල් බිත්තිවල ඇති කුහර දැකගත හැකිය. එයින් පැහැදිලි වන්නේ එම කුහර තුළට ලී කණු ඇතුළුකොට විශේෂ දැවමය ගොඩනැගිලි තනා තිබෙන්නට ඇති බවයි.


මෙම ලෙන් අතර විශාල ශාලා දැකගත හැකිය. එම ශාලා තුළ බවුන් වැඩීම, ධර්ම සාකච්ඡා මෙන්ම වන්දනාමාන කටයුතු ද සිදුවන්නට ඇත. තැනින් තැන සංඝාරාමවල නටබුන් ද දැකගත හැකිය.
පළමු වැනි හා දෙවැනි ගුහා දෙක අතර කුඩා ගුහාවකි. එහි ඉදිරිපස වැරැන්ඩාවක් වැනි කොටසකි. දෙවැනි ගුහාවේ පියැස්සේ බෝපත් කැටයම් දක්නට ලැබෙයි. දොරටුවේ දී දර්ශනීය කැටයම් පෙළකි. මෙහි පිටතින් ඇති ලෙනක පෙණ ගොබ පහක් ඇති නාග රූපයක් දැකිය හැකියි.
තවත් ගුහාවක ධම්මචක්ක පවත්තන මුද්‍රාවෙන් යුතු බුද්ධ රූප කැටයම් කර ඇති අතර එම බුද්ධ රූපවල සිරිපතුල් නෙළුම් මල් මත තබාගෙන සිටින ආකාරයට නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.


එමෙන්ම පද්මපානි, වජ්‍රපානි බෝධි සත්ව රූප ද බුදු රුව දෙපස දක්නට ඇත.
ඒ සියල්ල ඔසවාගෙන සිටින මිනිස් රූප දෙකක් දැකිය හැකි අතර පෙණ ගොබ පහකින් යුතු නාග රූප ඒ මිනිස් රූපවලට හිසට ඉහළින් කැටයම් කර ඇත.
බුදුන්වහන්සේ වන්දනා කරන දෙව් රූප ද ඉහළින් පෙනෙයි.
මෙම ආරාම සංකීර්ණයේ ජල ටැංකි තිබුණ ද ඒවා කාලයා සමඟ නටබුන්ව ගොස් ඇත.
ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ආරම්භ වුව ද කලින් කලට මේ ආරාම සංකීර්ණය වෙනස් වී ගිය ආකාරය මෙහි ඇති කැටයම් හා නටබුන්වලින් පැහැදිලි කරගත හැකිය.

 

චෛත්‍ය ගෘහය


චෛත්‍ය ගෘහය ඇති කවුළුවක් අසල ඇති බිත්තියේ ඇති සෙල්ලිපියෙන් කියැවෙන්නේ, පතිකාම් හි පදිංචි පිටුල් නම් ගෞතම ගෝත්‍රයට අයත් බ්‍රාහ්මණයකු සිය සහෝදරයා ද සමඟ එක්ව මෙම ලෙන ධර්මදානය සඳහා පරිත්‍යාග කළ බවයි. මෙය බ්‍රාහ්මී සෙල්ලිපියකි. භාරතයේ පමණක් නොව, ශ්‍රී ලංකාවේ ද මෙසේ ලියා ඇති බ්‍රාහ්මී සෙල්ලිපි ගණනාවකි. මෙය ලියා ඇති භාෂාව ප්‍රක්‍රිට් ලෙස හැඳින්වෙයි.


මෙම ලෙන් විහාර සංකීර්ණය පිළිබඳව විමසිලිමත් වීමේ දී අපට පැහැදිලි වන්නේ හීනයාන, වජ්‍රයාන, මහායාන ආභාසයේ සලකුණු මෙහි ඉතිරි වී ඇති බවයි.
මහාරාෂ්ට්‍රයේ බොහෝ පිරිස් කොණ්ඩෙවිටේ ලෙන් අසල වාඩිවී ගිමන් හරිනු දැකගත හැකිය. මෙය ජනාකීර්ණ නගරය මැද පිහිටිය ද කුඩා කඳු ගැටයක පිහිටා තිබීම නිසාත් සුවිශාල භූමිය පුරා නිල්ලෙන් පිරුණු තණකොළ දැකගත හැකි නිසාත් එයට ඇතුළු වූ සැණින් සිතට කිසියම් සහනයක් දැනෙයි.
එහෙත් මේ ලෙන් විහාරවලට පුද පූජා කටයුතු සඳහා ජනතාව පැමිණෙන බවට සලකුණු නම් දැකගන්නට නැත.


බොම්බාය වැනි ජනාකීර්ණ, වාණිජ නගරයක කොණ්ඩෙවිටේ ලෙන් විහාර සංකීර්ණයක් දැක ගන්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ එදා බුදු දහම මුළු භාරතය පුරාම ප්‍රකට වී තිබූ බවයි.

 

 

රොඩ්නි විදානපතිරණ