බෙයිජිං නුවර විස්මිත දියුණුව


පැරණි නගරය (තහනම් නගරය)

තහනම් නගරයේ මාළිගා පරිශ්‍රය

 

 

චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ විවිධ රටවල මාධ්‍යවේදීන් සහභාගී වූ සේද මාවතේ සංචාරය පසුගිය 6 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්විණි. මෙවර මෙම සේද මාවතේ සංචාරය සංවිධානය වී තිබුණේ 7 වැනි වතාවටය. “එක් මාවතක් - එක් තීරයක්” යන තේමාවට අදාළව මෙවර අප මේ ගමන ආරම්භ කළේ චීනයේ බීජිං නුවර සිටය. 

 
දින දෙකක පමණ කාලයක් අප බීජිං නුවර ගත කළ අතර, එකී කාලයේදී, චීන අධිවේගී දුම්රිය පද්ධතිය සඳහා නව්‍යකරණයන් සහ නව සංකල්ප බිහි කරන බුද්ධිමය පරිශ්‍රය (China Railway Signal and Communication Pvt Ltd) මෙන්ම බීජිං හි විශේෂ ආර්ථික කලාපයද, ජින් ඩොන්ග් ෆැන්ග් තාක්ෂණ සමූහය, ජින්ග් ඩොන්ග් (JD.com) මූලස්ථානය පෞරාණික තහනම් නගරය, ජාතික කෞතුකාගාරය ඇතුළු සුවිශේෂී ස්ථාන කීපයක් නැරඹීමේ මෙන්ම තොරතුරු දැනගැනීමට අවස්ථාව චීන මාධ්‍ය සමූහයේ සංවිධායකයින් මෙන්ම රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරීන් විසින් අප හට අවස්ථාව සලසා තිබිණි.   


බිජිංහි ගත කළ මෙකී කාලයේදී චීනය ආර්ථික හා තාක්ෂණික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ලබා ඇති දියුණුවේ අපූර්වත්වය අපහට සාක්ෂාත් විණි. මෙම ලිපියෙන් සටහන් වන්නේ ඒ ගැන වූ විස්තරයකි.   


චීනයේ අධිවේගී දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක වන හැටි   


චීනයේ අධිවේගී දුම්රිය පද්ධතිය ලෝකයේ වඩා ප්‍රකටව ඇත්තේ වේගය සහ ආරක්ෂාව හේතුවෙනි. මෙම අධිවේගී දුම්රිය වඩාත් සුරක්ෂිත අයුරින් ධාවනය කිරීම සඳහා වූ සංඥ‌ා පද්ධතිය ක්‍රියාත්මක කෙරේ. මහා චීන රාජ්‍යයේ විවිධ ප්‍රදේශවල ඇත්තේ විවිධ පරිසර රටාවකි.   


එකී වෙනස් පරිසර රටාවට ගැළපීම සඳහා ක්‍රමවත්ව සහ විධිමත්ව අධිවේගී දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අප හට නැරඹීමට ලැබුණේ මෙම පරික්ෂනාගාර පරිශ්‍රයයි. එය මෙම චීන අධිවේගී දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කර වීමේ මොළය මෙන්ම හදවත ලෙස නම් කළ හැකිය. අධිවේගී දුම්රිය ක්‍රියාත්මක කරවීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ සන්නිවේදන උපකරණ පද්ධතියයි.   


මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ එකී සන්නිවේදන සහ සංඥ‌ා පද්ධතියේ හරවත් සහ දියුණු බව නිසාය. මේ නිසා මෙතැනදී නිරන්තරයෙන් සිදුකරණු ලබන්නේ විවිධ පරික්ෂණයන් මෙන්ම පර්යේෂණයන්ය. පැයට කිලෝමීටර 350 ක වේගයෙන් දිවෙන දුම්රිය මගක මෙන්ම එකී මාර්ග පද්ධතියේ ආරක්ෂාව ඉතා හොඳින් මේ නිසා තහවුරු කර ගැනීමට මෙම ආයතනය විසින් නිරන්තරයෙන් කරණු ලබන පර්​ෙ‌ය්ෂණ නිසා හැකියාව ලැබී තිබේ. මෙය ලොව ඉතා උසස් මට්ටමේ මෙන්ම අංක එකේ නිර්මාණ සැලසුම් සහ පර්​ෙ‌ය්ෂණ ආයතනයක් ලෙස නම් කළ හැකිය.   


අධිවේගී දුම්රිය කීපයක් එකම මගක ධාවනය වීමේදී දුම්රිය අතර වූ පරතරය රඳවා තැබීමට මෙන්ම වේගය පාලනය කිරීම ඇතුළු සියල්ල ක්‍රියාත්මක වන හැටි විටෙක අපට මවිතය ගෙන දෙයි. ​උමං දුම්රිය පද්ධතිය සඳහා ද නිරන්තරයෙන් නව සන්නිවේදන සංඥා පද්්ධතියේ තාක්ෂණික භාවිතය සිදු කෙරේ. සරලවම කිවහොත් 'CRSC' සමාගම වෙතින් මහා චීනයේ අධිවේගී දුම්රිය පද්ධතිය වඩාත් සුරක්ෂිත තැනකට ගෙනැවිත් තිබේ. මේ සියල්ලෙහි විස්මිත බල මහිමයේ හරය කලාපයේ අනෙකුත් රටවලට ලබා දීමට ද චීන බලධාරීන් කටයුතු කර තිබීම පැසසිය යුතුම කරුණකි.   


මෙම අධිවේගී දුම්රිය නිර්මාණ ආසියාවේ තවත් රටවල් කීපයකටම මේ වන විට හඳුන්වා දී තිබේ. නිර්ලෝභීව චීනය ඔවුනගේ ඒ විස්මිත තාක්ෂණය නිරන්තරයෙන් අප වැනි රටවලට මෙන්ම ලෝකයේ දියුණු රටවලට ද ලබා දීමට සැදී පැහැදී සිටී. දැන් ඔවුනගේ නවතම පර්​ෙ‌ය්ෂණය වන්නේ නියමුවන් රහිතව ස්වයංක්‍රීයව දුම්රිය ක්‍රියාත්මක කරවීමේ අංශය හඳුන්වා දීමටය.   


මෙම CRSC පර්​ෙ‌ය්ෂණ ආයතනයේ විස්මිත බව රැගෙන ඊළඟට අප ප්‍රවේශ වූයේ බීජිංහි විශේෂ ආර්ථික කලාපය වෙතය.

 

 

CRSC මූලස්ථානය

කෞතුකාගාරයේ දසුනක්

විශේෂ ආර්ථික කලාපීය ගොඩනැගිල්ල

   

අධිවේගී දුම්රිය ආකෘති

 

 

බිංජිං විශේෂ ආර්ථික කලාපය

  
ලෝකයේ රටවල් හතළිස් හතරක පමණ මහා පරිමාණයෙන් යුතු සමාගම් ආයෝජනය කරන හැටි මෙන්ම ආර්ථිකයේ වර්ධනය මෙන්ම මූල්‍ය මෙන්ම තාක්ෂණික අංශයේ පිබිදීම ගැන වූ පැහැදිලි සවිස්තරාත්මක තොරතුරු මෙහිදී දැන ගත හැකිය.   


මෙම විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කර වසර 20 ක් පමණ වේ. බිජිංහි මධ්‍යම ප්‍රදේශය කේන්ද්‍රකොට නිර්මාණය වූ මෙම කලාපය සතුව ගුවන් තොටුපළක් මෙන්ම නව ප්‍රවාහන පද්ධතියක්ද ස්ථාපිතය. ජාතික මට්ටමේ සමාගම් 800 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත අතර විශේෂඥයින්ගේ සේවයද ඇතුළත්ය. මෙම ආර්ථික කලාපය මේ දක්වා සිදු කර ඇති ජාතික වැඩ සටහන් නිසා සුවිශේෂී ඵලනෙළා ගැනීමට හැකිව තිබේ. සංවර්ධන තත්ත්වය ගැන අදියරෙන් අදියර සංවර්ධනය වන අන්දම මෙහිදී අපට දැනගත හැකි විය.  
 සංවර්ධනය මූලික වශයෙන් සිදු වන්නේ. ඉලෙක්ට්‍රොනික තොරතුරු, වෛද්‍ය අංශයේ උපකරණ. මෝටර් රථ තාක්ෂණය සහ නවෝත්පාදන අංශ ඉලක්ක කර ගෙනය. ලෝකයට අලුතින්ම හඳුන්වා දුන් තාක්ෂණික උපකරණ සහ විවිධාකාර අංශවලට වැදගත් වන උපකරණ අපට ඇස්පනාපිට දැක ගැනීමට සලස්වා තිබිණි.   


රූපවාහිනී යන්ත්‍රයේ ප්‍රමාණයේ ......... තරම විස්මය ගෙන දෙන්නකි. කුඩා ප්‍රමාණය සිට සුවිශාල සිනමා තිර පරයා ගිය LCD (Liquid Crystal display) නිෂ්පාදන මෙන්ම විවිධ බලශක්ති භාවිතය මගින් බලශක්තිය නිපදවන නවෝත්පාදන, ජංගම දුරකථන සඳහා භාවිතා කරන සිම්පත් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ වන නව තාක්ෂණික යන්ත්‍ර, සුවිශේෂී CT ස්කෑනර් යන්ත්‍රය ඇතුළු බොහෝ නවෝත්පාදන සහ ඒවායින් සිදු කෙරෙන සේවය ගැන බැලීමේදී, චීනය තාක්ෂණික සහ විද්‍යුත් නව්‍යතාවයෙන් ගොස් ඇති ඉදිරිය සැබැවින්ම පුදුමාකාර සහගත වූ දෙයකි. 

 
මෙම තාක්ෂණික පෙළහරේ විස්මය හමුවේ ගොළු වී ඒ ගැන දැනුම ලද අප ඊළඟට ප්‍රවේශ වූයේ JD.com ඔන්ලයින් (Online) සේවය වෙතින් සිදුවන සේවය ගැන දැන ගැනීමටය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී මීට පෙර අප අසා තිබුණේ චීනයේ ‘අලිබබා’ ගැනය.   


එහෙත් මේ JD.com යනු වත්මනෙහි අලිබබා අබිබවමින් ශීඝ්‍රයෙන් ඉදිරියට යන ලාභ පිට ලාභ උපයන සමාගමකි. ලොව හොඳම ව්‍යාපාරික ආයතන අතරට එනම් ෆෝචූන් 500 අතරට මෙම JD.com'' ඇතුළත්ය. අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේදී සහ භාණ්ඩ ග්‍රාහකයා වෙත ලබා දීම වෙනුවෙන්. JD.com අන්තර්ජාල සේවාව ලබා දෙන කාර්යක්ෂම සේවාව දෙස බැලීමේදී ලොව එවැනි අංශයේ තවත් ආයතනයක් නොමැති තරම්ය.   


චීනයේ මහා ජන ගංගාව නිරන්තරයෙන් කාර්ය බහුලය. ඒ නිසා මෙම ඔන්ලයින් සේවයේ බල පරාක්‍රමයේ පහස ඔවුනට බෙහෙවින්ම වැදගත් වී ත​ිබේ.   


ඇණවුම් ලැබෙන පරිදි භාණ්ඩ ප්‍රවාහනය ක්‍රම කීපයකින් සිදු කෙරේ. මෝටර් රථ සහ කන්ටේනර් රථ මෙන්ම ගුවනින් සහ ප්‍රවාහනයේ සියලු අංශ වෙතින් ඒ කටයුතු සිදු කෙරේ. හෙලිකොප්ටර යානා මගින් මෙන්ම නවීනතම ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන්ද භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරේ. JD.com ජනතාවට ලබා දෙන කාර්යක්ෂම සහ අනර්ඝ සේවය නිසාම ලෝකයේ ප්‍රකට ආයතනයක් බවට පත්ව තිබේ.   


තහනම් නගරය (Forbidden city)   


ඉපැරණි රාජ වංශයේ ඉතිහාසය වත්මනට යා කළ මෙම ඉපැරණි මාළිගා සංකීර්ණය ලෝක උරුමයක් වූ ස්ථානයකි. මින්ග් (Ming) රාජ්‍ය සමයේ අවසානයේ සිට චින්ග් (Qing) රාජ සමයේ අවසන දක්වා වූ අධිරාජ්‍යයීය ලක්ෂණ විදහාපාන මෙම තහනම් නගර පරිශ්‍රය යනු ලොව පුරා සංචාරකයින් නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන ස්ථානයකි. 2017 වන විට පමණක් මෙය නැරඹීමට පැමිණි සංචාරකයින් ගණන මිලියන 16 කට වඩා යැයි සඳහන් වේ.   


අක්කර 180 ක පමණ සුවිශාල භුමියක ඉදිවී ඇති මාළිගා පරිශ්‍රය සහිත තහනම් නගරය එද‌ා තිබූ ආකාරයෙන්ම ඉපැරණි ප්‍රෞඪත්වය රැගෙන දෘශ්‍යමාන වේ. මෙම මාළිගා සහ අනෙකුත් ගොඩ නැගිලි තැනීම සඳහා චීන ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයේ ඵල දැකගත හැකිය. මෙය තවත් අතෙකින් සුවිශේෂී වන්නේ වැඩිම දැව ප්‍රමාණයක් යොද‌ාගෙන මන්දිර නිර්මාණය කර තිබීමය. ඒසා සුවිශාල දැව ප්‍රමාණයක් භාවිතා කොට නිර්මාණය කළ මන්දිර සඳළුතල සහ පරිසර භූමියක් මේ අයුරින් ලොව තවත් නැති තරම්ය.   
ජනවාරියේ බිජීං නුවර උෂ්ණත්වය පවතින්නේ ඍණ මට්ටමේය. අප මෙහි සංචාරය කළ දින පැවතියේ ඍණ 8 ක පමණ උෂ්ණත්වයකි. ඉපැරණි මාළිගා පරිශ්‍රයට නුදුරින් ගලා යන නදිය ඝනීභවනය වී තිබිණි. ඒ මත මහ පාරක ඇවිද යන්නාක් මෙන් ඇවිද යා හැකිය. සිරුරට හී සැර වදින්නාක් මෙනි. දැනෙන හීතල සැර වාවාගත නොහැකි තරම්ය.   


එසේ වුවද, ඉපැරණි තහනම් නගරයේ හැඩ වැඩ හමුවේ හීතල පවා අමතක වන්නේ මෙම තහනම් නගරයේ පෞඪත්වය හමුවේ මොහොතකට අතරමං වන බැවිනි. වත්මනෙහි බීජිං පුරවරය අරක්ගෙන ඇත්තේ නවීනතම ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමවලට අනුව නිර්මාණය වූ ගොඩනැගිලි වන අතර ඉපැරණි රජ මාලිග පරිශ්‍රයේ ඇති ගොඩනැගිලි නිර්මාණ වෙනස මෙහිදී අපූරුවට දැකගත හැකි වෙයි. එද‌ා සහ අද ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස සහ රිද්මය ගැන මෙතැන සිට කරුණු වටහා ගත හැකිය.   

 

 

ජාතික කෞතුකාගාරයේ තවත් කුටියක්

ජාතික කෞතුකාගාරයේ දර්ශන

ජින්ග් ඩොන්ග් පරිශ්‍රයේ කුටියක්...

 

 


ජාතික කෞතුකාගාරය   


බීජිං නුවර ගත කළ කාලයේදී මීළඟට අප සංචාරය කළේ ජාතික කෞතුකාගාර පරිශ්‍රය වෙතය. බීජිංහි චීන ජාතික කෞතුකාගාරය යනු දෙස් - විදෙස් සංචාරකයින් නිරන්තරයෙන් රොද බැ​ෙඳන සංචාරක නිම්නයකි.   


‘හන්’ රාජ්‍ය සමයේ මෙන්ම එක් - එක් යුගවල රාජ්‍ය සමයන්හි විස්තර, මෙන්ම පෞරාණික වශයෙන් බොහෝ වටිනාකමක් ඇති දේ මෙන්ම චීනයේ නවීනත්වයේ හැඩතල - අනුරූප ආදියද ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී නැරඹිය හැකිය. ඔලිම්පික් තරගවලදී චීනය ලද ප්‍රථම ඔලිම්පික් පදක්කම මෙන්ම, ඉපැරණි කාසි, එක් එක් යුගවලට අයත්ව භාවිතයට ගැනුණු බොහෝ දේ මෙහිදී නැරඹීමට පුළුවන. මෙම කෞතුකාගාරයේ ඇති සුවිශේෂත්වය වන්නේ, පෞරාණික දේ පමණක් දැක බලා ගැනීමට ඇති නිසා නොවේ. කෘෂිකර්මාන්තය, ජන ජීවිතය, දේශපාලනික ව්‍යුහය, ආදී අංශවලට අයත් බොහෝ දේ දැක බලා ගැනීමට අමතරව තොරතුරු ලබා ගැනීමටද සලස්වා තිබීමය.   
රතු පාටින් යුතු නිල ඇඳුමින් හැඩ වූ සුන්දර තරුණියෝ මෙහි සේවයේ යෙදෙන අතර තැනින් - තැනට අප සමග ගොස් කෞතුකාගාරයේ ස්වභාවය ගැන කරණු විස්තර කර දෙමින් ඉතිහාසය ගැනද කරුණු කියා දෙති.   


‘දන්නවද? සාමාන්‍යයෙන් කසාද බඳින විට දෑවැද්ද දෙන්න ඕනෑ පිරිමියාගේ පාර්ශ්වයෙන්’’   


එක් තැනෙක ප්‍රදර්ශනයට තිබූ පා පැදියක්, ගුවන් විදුලි යන්ත්‍රයක් මෙන්ම නිවසට අවැසි තවත් ආම්පන්න ඇති ස්ථානය ගැන විමසූ විට ඇය විස්තර කළේ එලෙසිනි. අදද චීන සමාජයේ ස්වභාවය එලෙසින් වෙයි. එනම් එද‌ා මෙන් පා පැදියත්, රේඩියෝවත් සහ අනෙකුත් ආම්පන්න නොවුණද, සැමියා නිවසක් සහ අනෙකුත් දේ මනාලියට ලබාදීම නැතහොත්, මනාලයා සතු විය යුතුය. එය දෑවැද්ද ලෙස සඳහන් කළ හැකිය.   


චීන රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරීන් හමුව 

 
සේද මාවතේ මෙම ගමනේ අරමුණු සහ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් චීන රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරීන්ගේ හමුවක් මෙකී කාල සීමාව අතරතුරේදී පැවැත්විණි. වෙසෙසින්ම එය සංවිධානය කර තිබුණේ මෙම සංචාරයට එක්ව සිටි ඊජිප්තුව, තුර්කිය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල මාධ්‍ය කණ්ඩායම හඳුනා ගැනීම සහ පිළිගැනීම මෙන්ම සංචාරයේ ඉදිරි දින කීපය ගැන පැහැදිලි කිරීම වෙනුවෙනි. 

 
මෙය ඉතා උණුසුම් සහ හෘද්‍යාංගම පිළිගැනීමක් විය. චීන රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරීන් සහ එම අංශයේ ප්‍රධානියා හෙවත් සභාපතිතුමාගේ කතාව අතිශය ගෞරවනීය මෙන්ම මිත්‍රශීලී බව පෙරදැරිව ඉදිරිපත් කරන ලද්දකි.   


නිරන්තරයෙන් මෙලෙසින් විවිධ රටවල මාධ්‍යවේදීන් චීනයට පැමිණෙන විට ලබා දෙන පිළිගැනීම සත්කාරය ඉතා ගෞරවනීය මෙන්ම වඩාත් මිත්‍රශීලී යැයි සඳහන් කළ යුතුමය. මෙලෙසින් මෙවර පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතා චීන රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරි කණ්ඩායම නියෝජනය කරමින් සභාපතිතුමා අප පිළිගත්තේ මෙලෙසින් අදහස් දක්වමිනි.   
“ඔබ සියලු දෙනාගේ කතා අහලා මම හරි හැඟුම්බර වුණා. මේ කලාපයේ ඔබ සහ අපේ රට අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වයේ තරම මනින්නට බැහැ. ඒක හරිම ගැඹුරුයි. ඔබ සියලු දෙනාම මා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. එමෙන්ම පුද්ගලිකව මටත්, චීන කොමියුනිස්ට් පක්ෂයට ඔබලාගේ මේ පැමිණීම ලොකු සතුටකට කරුණක්. චීනයේ විවිධ ජාතීන් 56 ක් පමණ ජීවත් වන රටක්. සුළු ජනයා කියා අප කිසි​ෙවක් වෙනුවෙන්, අඩු සැලකිල්ලක් දක්වා නැහැ. සුවිශේෂත්වය වන්නේ සියලු ජාතීන් හට සියලු වරප්‍රසාද එක හා සමානව ලබාදීමයි.   


මම හරි ආඩම්බරයෙන් කියන්නෙ චීනය යනු ඉතා සුරක්ෂිත රටක්. අපි එක කොටසකට හෝ සාධාරණය නොවුවා නම්? ගෞරව නොකළා නම්? මේ විදියට ජාතීන් 56 කට වඩා සිටින අපට එක්සේසත්ව නැගී සිටිය නොහැකියි. එහෙත් අපි හැමෝටම සාධාරණය - ගෞරවය දැක්වීම සහ එය ක්‍රියාත්මක කිරීම නිසා මෙලෙසින් ශක්තිමත්ව සිටින බව කියන්න පුළුවනි. නව චීනය ස්ථාපිත වෙලා හැට වසරක් සම්පූර්ණයි. ආගමික අතින් චීනය විවෘත රටක්. ඒක තමුන්ගේ නිදහස.  


නව චීනය ස්ථාපිත වෙලා හැට වසරක් සපිරෙන විට ආගමික සිද්ධස්ථාන අඩු වුණේ නැහැ. වැඩි වූවා මිසක. කිසිම හේතුවක් නිසා අපි ආගම ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. දැන් ඔබ කණ්ඩායම සූද‌ානමින් සිටින්නේ ෂින්ජියාන් ස්වායත්තය බලා පිටත්වීමටයි. දැන් තමයි ඔබලාගේ මේ සංචාරය හරියටම ආරම්භ වන්නේ.   


යන්න එහි ගිහින් බලන්න. ඔබ ඇසූ දේට වඩා දෑසින් සියල්ල දැක ගන්න. අහන දේට වඩා දුටු දේ තමයි විශ්වාස කළ යුත්තේ. චීනය මෙහි වෙසෙන සියලු ජාතීන් සමග ගෞරවනීයව - සාධාරණව ශක්තිමත්ව නැගී සිටින රටක්. සුරක්ෂිත වගේම තාක්ෂණය අතින් දියුණු රටක්. විවිධ ජාතීන් සිටින මහා චීනය ලෝකයට දුන් වැදගත්ම පණිවුඩය වන්නේ සාමකාමී බවයි.”   


චීන රාජ්‍ය ප්‍රවෘත්ති නිලධාරීන් පිරිසේ සභාපතිතුමා ඇතුළු පිරිස කළ ඒ කතාව සැබැවින්ම ශ්‍රී ලංකාව වැනි රටවලට ගත හැකි මහඟු ආදර්ශවත් කතාවකි. චීනයේ සියලු ජනයා අතර වූ එක්සත් බව එකමුතු බව මෙන්ම සාමකාමීත්වයට හේතුව සියලු දෙනා හට සම්පත් නිසි ලෙස බෙද‌ා දීම සහ ගෞරවය දැක්වීමය. චීනය වඩා ශක්තිමත්ව නැගී සිටින්නේ මෙවන් වූ හර පද්ධතියේ විනය සහ ගුණය නිසාය.   


මීළඟට අපි ප්‍රවේශවන්නේ චීනයේ ෂින්ජියාන් ස්වායත්තයේ කලාව, ජන ජීවිතය සහ ආධ්‍යාත්මය සොයා යාමටය. සහතිකෙන්ම ෂින්ජියාන් ස්වායත්තය යනු ලෝකයේ ඇති සොඳුරුතම සංචාරක නිම්නයකි. එහි සුන්දරත්වයේ රසය සහ ජන ජීවිතයෙන් අපට ගත හැකි දේ ගැන. මීළඟ ලිපියෙන් විස්තර කරන්නෙමු.

   
මෙම සංචාරය සඳහා අපට අනුග්‍රහය දැක්වූ චීන මාධ්‍ය සමූහය, චීන රේඩියෝ ඉන්ටර්නැෂනල් CRI (චීනය සහ ශ්‍රී ලංකාව) මෙරට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික ලේකම් ලියු තොන් (Liudon) CRI කලාපීය ප්‍රධානී Xia Yongmin මෙන්ම චීන හඬ ප්‍රධානී Shiyue (සංගීතා) ඇතුළු සියලු දෙනා හට අපගේ ස්තුතිය පුද කරන්නෙමු.   

 

 

 


සටහන/ඡායාරූප   
සඳුන් ගමගේ   

චීනයේ සංචාරයකින් පසු....