බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව


 

බරණැස ඉසිපතන නම් වූ මිගද‌ායෙහි දී ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේ උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එය උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. මේ එහි සම්පූර්ණ සිංහල අනුවාදයයි.   
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මුවන්ට අභය ද‌ානය කළ හෙයින් ‘මිගද‌ාය’ නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල් හි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලා ඇමැතූ සේක.   


 මහණෙනි, පැවිද්දෙකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ හීන වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද ආර්යයන් සතු නොවූ අනර්ථයක්ම සිදු කරන්නා වූ පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපද‌ාවක් වෙත් ද එසේම දුක් උපදවන්නා වූ ආර්යයන් සතු නොවූ අනර්ථයක්ම සිදු කරන්නා වූ තම සිරුරට බෙහෙවින්ම දුක් දෙන්නා වූ අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපද‌ාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපද‌ාව අවබෝධ කරන ලදහ. එම ප්‍රතිපද‌ාව නුවණැස පිරිසිදු කරන්නේය. නුවණැස ඇති කරන්නේය. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස හේතු වන්නේය.   
මහණනි, තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද එම මධ්‍යම ප්‍රතිපද‌ාව නුවණැස පිරිසිදු කරන්නේය. නුවණැස ඇති කරන්නේය. කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස පවත්නේය. මධ්‍යම ප්‍රතිපද‌ාව කවරේ ද? ඒ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේද යත්, නිවැරදි දැකීම, නිවැරදි සිතිවිලි, නිවැරදි වචන, නිවැරදි ක්‍රියාකාරකම්, නිවැරදි දිවි පැවැත්ම, නිවරැදි උත්සාහය, නිවැරදි සිහිය සහ නිවැරදි සිතෙහි එකඟතාවයි.  


තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මෙම මධ්‍යම ප්‍රතිපද‌ාව නුවණැස පිරිසිදු කරන්නේය. නුවණැස ඇති කරන්නේය. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.  
මහණනි, දුක්ඛ ආර්ය සත්‍යය මෙසේය. ඉපදීම දුකකි. වයසට යාම දුකකි. ලෙඩවීම දුකකි. මරණයට පත්වීම දුකකි. අප්‍රියන් හා සමග එක්වීම දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. කැමැති වන්නේ යමක් ද එය නොලැබී යාම දුකකි. කෙටියෙන් කිවහොත් පඤ්චස්කන්ධයටම ඇති උපාද‌ානය දුකකි.  
මහණනි, දුක හට ගැනීමේ ආර්ය සත්‍යය මෙසේය. යම් තෘෂ්ණාවක් නැවත ඉපදීම ඇති කරන්නේ ද ඒ භවය කෙරෙහි ඇල්ම ඇති කරන්නා වූ ඒ භවයෙහි විශේෂයෙන් ඇල්ම ඇති කරන්නා වූ එම තෘෂ්ණාව කවරේ ද? යත් කාම තණ්හාව හෙවත් කම් සැප විදීමේ දැඩි කැමැත්තයි. භව තණ්හාව හෙවත් නැවත නැවත ඉපදීම කෙරෙහි ඇති තණ්හාවයි.  
 විභව තණ්හාව හෙවත් භවය මෙතැනින් අවසන්ය. මෙහි සුව පහසුකම් මැනවින් විඳිය යුතුය යන දෘෂ්ටිය ගත් තණ්හාවයි. මහණෙනි, දුක නැති කිරීමේ ආර්ය සත්‍යය මෙසේය. මෙම තණ්හාව සම්පූර්ණ නො ඇලීමක් නැති කිරීමක් වේ ද අත් හැරීමක් වේ ද දුරලීමක් වේද මිදීමක් වේ ද මෙය දුක නැති කිරීමේ ආර්ය සත්‍යයයි.  


 මහණනි, දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය මෙසේය. එනම් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එ් කවරේද යත් නිවැරදි දැකීම, නිවැරදි සිතිවිලි, නිවැරදි වචන, නිවැරදි ක්‍රියාකාරකම්, නිවැරදි දිවිපැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය සහ නිවැරදි සිතෙහි එකඟතාවයි.  
මහණනි, මට මේ දුක්ඛ ආර්ය සත්‍යය යයි කියා පෙර කිසිවෙකුගෙන් නොඇසූ විරූ ධර්මයන් හි සත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. එහි දැනීම ඇති ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහළ විය. මෝහය හෙවත් අවිද්‍යා අන්ධකාරය දුරු කරන ඤාණාලෝකය පහළ විය.  


 මහණනි, මෙම දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යැයි මට පෙර කිසිවෙකුගෙන් නොඇසූ විරූ ධර්මයන් හි කෘත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. එහි දැනීම ඇති ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහළ විය. මෝහය හෙවත් අවිද්‍යා අන්ධකාරය දුරුකරන ඤාණාලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දක්නා ලදැයි මට පෙර කිසිවෙකු ගෙන් නොඇසූ විරූ ධර්මයන් හි කෘත ඥ‌ාන නුවණැස පහළ විය. එහි දැනීම ඇති ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහළ විය. මෝහය හෙවත් අවිද්‍යා අන්ධකාරය දුරුකරන ඤාණාලෝකය පහළ විය.  
මහණනි, මට මෙය දුක හට ගැනීමේ ආර්ය සත්‍යයයි කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි සත්‍ය ඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මට මෙම දුක හට ගැනීමේ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යැයි කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි කෘත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක හට ගැනීමේ ආර්ය සත්‍යය පිරිසිඳ දක්නා ලදැයි කියා පෙර නො ඇසූ විරූ ධර්මයන් හි කෘත ඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි. මෙය දුක නැති කිරීමේ ආර්ය සත්‍යයයි කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි සත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක නැති කිරීමේ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි කෘත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤ‌ාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක නැති කිරීමේ ආර්ය සත්‍යය පිරිසිඳ දක්නා ලදැයි කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි කෘතඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙය දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියා පෙර නොඅසූ විරූ ධර්මයන් හි සත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යැයි කියා පෙර නොඇසූ විරූ ධර්මයන් හි කෘත්‍යඥ‌ාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥ‌ාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  
මහණනි, මෙම දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ දක්නා ලදැයි කියා පෙර නො ඇසූ විරූ ධර්මයන්හි කෘතඥාන වූ නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.  


මහණනි, යම්තාක් කල් මෙසේ සත්‍යඥාන, කෘත්‍යඥ‌ාන කෘතඥ‌ාන ලෙස වට තුනකින් යුතුව දොළොස් ආකාරයක් ඇති මෙම චතුරාර්ය සත්‍යයන් කෙරෙහි නිවැරදි ආකාරයෙන් කරුණු අවබෝධවීම සිදු නොවූයේ ද මහණෙනි, ඒ තාක් කල් මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයින් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ ප්‍රජාව අතරෙහි ද මෙම අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙමියි, ප්‍රතිඥ‌ා නොකළෙමි.  
මහණනි, යම් තැනක පටන් මෙසේ වට තුනකින් යුතුව දොළොස් ආකාරයක් ඇති මෙම චතුරාර්ය සත්‍යය කෙරෙහි නිවැරදි ආකාරයෙන් කරුණු අවබෝධවීම සිදුවූයේද එකල්හි මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයින් සහිත වූ ලෝකයෙහි මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ ප්‍රජාව අතරෙහි ද මම අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේමීයි දැන ගතිමි. මට චතුරාර්ය සත්‍යය පිළිබඳ ඤාණ දර්ශනය පහළ විය. මාගේ චිත්ත විමුක්තිය හෙවත් අරහත් ඵල සමාප්තිය සම්පූර්ණය. මේ මාගේ අන්තිම උපත වන්නේය. මින් මතු මට පුනර්භවයක් නැත්තේය.  


භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මය මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති පංච වග්ගිය භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවින් පිළිගත්හ. මෙම පැහැදිලි කිරීම් සිදු කරන විට දී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට හටගන්නා යමක් වේද ඒ සියල්ල නැසෙන සුලුය යන අවබෝධය ඇති වනවාත් සමගම කෙලෙස් දුහුවිලි නැති, කෙලෙස් මල නැති, දහම් ඇස හෙවත් සෝවාන් මාර්ග ඥ‌ානය පහළ විය.  
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම චක්‍රය පවත්වන ලද කල්හි පෘථිවිවාසී දෙවියෝ සාධු නාදය පැවැත්වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි අන්කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි වූ මේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය, කියායි.  


පෘථිවිවාසී දෙවියන්ගේ සාධු නාදය අසා චාතුම්මහාරාජික දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
චාතුම්මහාරාජික දෙවියන්ගේ සාධු නාදය අසා තාවතිංස දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
තාවතිංස දෙවියන්ගේ සාධු නාදය අසා යාම දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
යාම දෙවියන්ගේ සාධු නාදය අසා තුසිත දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
තුසිත දෙවියන්ගේ සාධු නාදය අසා නිම්මානරතී දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
නිම්මානරතී දෙවියන්ගේ සාධු නාදය අසා පරනිම්මිතවසවත්ති දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
පරනිම්මතවසවත්ති දෙවියන්ගේ සාධු නාදය අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සාධු නාදය අසා බ්‍රහ්මපුරෝහිත දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සාධු නාදය අසා මහාබ්‍රහ්ම දෙවියෝ සාධුනාද පැවැත්වූහ.  


මහාබ්‍රහ්ම දෙවියන්ගේ සාධු නාදය අසා පරිත්තාභ දෙවියෝ සාධු නාද පැවැත්වූහ පරිත්තාභ දෙවියන්ගේ සාධු නාදය අසා අප්පමාණාහා දෙවියෝ සාධු නාද පැවැත්වූහ.   


අප්පමාණාහා දෙවියන්ගේ සාධු නාදය අසා ආභස්සර දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
ආභස්සර දෙවියන්ගේ සාධු නාදය අසා පරිත්ත සුභ දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
පරිත්ත සුභ දෙවියන්ගේ සාධු නාදය අසා අප්පමාණසුභ දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
අප්පමාණසුභ දෙවියන්ගේ සාධු නාදය අසා සුභකිණ්හක දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
සුභකිණ්හක දෙවියන්ගේ සාධු නාදය අසා වේහප්ඵල දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
වේහප්ඵල දෙවියන්ගේ සාධු නාදය අසා අවිහ දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
අවිහ දෙවියන්ගේ සාධු නාදය අසා අතප්ප දෙවියෝ සාදු නාද පැවැත්වූහ.  
අතප්ප දෙවියන්ගේ සාධු නාදය අසා සුදස්ස දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  
සුදස්ස දෙවියන්ගේ සාදු නාදය අසා සුදස්සී දෙවියෝ සාධු නාද පැවැත්වූහ.  


සුදස්සි දෙවියන්ගේ සාධු නාදය අසා අකනිට්ඨක නම් බඹ ලෝවාසී දෙවියෝද සාධු නාද පැවැත්වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාස නම් වූ ඉසිපතානාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි වූ මේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේය කියායි.  


 මේ ආකාරයෙන් එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව දක්වා සාධු නාද ශබ්දය ඉතා උස්හඬින් පැතිර ගියේය. දස දහසක් ලෝක ධාතුව ද බොහෝ සෙයින් කම්පා විය. තදින්ම කම්පා විය. බලවත්ව කම්පා විය.  


දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ මහත් වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේය. 

 
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙවන් උද‌ාන වාක්‍යයක් පැවැත් වූ සේක. ‘භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය දත්තේය. භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළේය’  
මෙසේ මේ කාරණයෙහිදී කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේය.