බුදු හිමියන් දෙසූ නිරය තියෙන්නේ කො​හේද ?


ජීවීන් සිටින ග්‍රහලෝක ගැන බුදුහිමියන් කළ මහා හෙළිදරව්ව

පෘථිවියට ළඟින්ම පිහිටි අඟහරු ග්‍රහයාගේ ජීවය සෙවීම තරමට නූතන විද්‍යාව තවමත් ළපටිය. නමුත් බුද්ධ දේශනාව අනන්ත සක්වළ දක්වා පැතිර ගොස් එහි පවතින්නා වූ ජීවීන් ද, එහි පසුබිම පිළිබඳව ද වන ප්‍රකාශයකි. බුදුරජාණන් වහන්සේ දේශිත ලෝක විෂය බොහෝ ප්‍රබල වන්නේ එහෙයිනි. අපායක් දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් අප අසා තිබුණාට දැක නැත. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්ම දේශනා කිරීමට දෙව්ලෝ වැඩියහ. දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට පැමිණියහ.  

බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට ධර්මය දේශනා කිරීමට තවුතිසා දෙවුලොව වැඩම කිරීම බෞද්ධ පොත පත්හි එන එක තැනකි. උන්වහන්සේ දෙවු ලොව සිට අහසින් මහ පොළොවට ගොඩබට තැන සංකස්ස පුරයයි. මේ සංකස්ස පුරයට උන්වහන්සේ ගොඩ බසින අාකාරය, මනුෂ්‍ය ලෝකයේ අය පුදුමයෙන් සාදු නාද දෙමින් බලා සිටින ආකාරය විහාර මූර්ති හා සිතුවම්වල ද ජනප්‍රිය බුද්ධ චරිතාපදාන අවස්ථාවකි. මේ කාරණා අනුව දිව්‍ය ලෝකය අහ​ෙසහි හෙවත් පොළොව මට්ටමෙන් ඉහළ තැනක විහිද ඇති දෙයක් බව අපට කල්පනා කළ හැකිය.  


මෙසේම දේවදත්ත ස්ථිවිරයෝ බුදුරජාණන් වහන්සේට නොයෙක් අපහාස කරදර කිරීමට කටයුතු කළ අයෙකි. දෙවුදත් තෙරුන් තම ජීවිතාවසානයේ බුදුරජුන් බැහැදැකීමට ශිෂ්‍ය කරමතින් පැමිණ ජේතවනාරාමයට නුදුරුව මහ පොළොවට පය තබද්දීම පොළොව පළාගෙන අවීචි මහා නිරයට ඇද වැටුණු බව කියැවේ. මේ කතා අනුව නිරය පොළොව යට බොහෝ දුරින් පවතින්නක් බව නිශ්චය කළ හැකිය. දෙව්ලොව හා අපායේ ආයුෂයද මනුෂ්‍ය ලෝකයේ ආයුෂයට බොහෝ වැඩි බව කියැවේ. එයට හේතු වශයෙන් බෞද්ධ සාහිත්‍ය කතා අපූර්ව කාරණා මතු කර දෙයි. බුදුරදුන්ගෙන් ධර්මය ඇසූ දෙවියන්ට තවමත් ඒ ධර්ම ශ්‍රවණ කාලය දවසක් තරම්වත් නැත, යන අදහස අනුව දිව්‍ය ලෝකයේ ආයුෂය මිනිය හැකිය. කෙසේ වෙතත් මේ පිළිබඳ බෞද්ධ සාහිත්‍යය හා බුද්ධ දේශනාව කැටිව ගත්කල මනුෂ්‍ය ලෝකයෙන් පිටස්තර ජීවයක් හා ජීවීන් පිළිබඳ කිසියම් අධි ගැඹුරු සංකලනයක් ගොඩ නැගිය හැකිය. පිටසක්වළක් ගැන කරුණු ඉදිරිපත් කළ හැකිය. පිටසක්වළ ජීවයක් ගැන මත ගොඩ නැගිය හැකිය. මේ කිසිම කාරණයක් නූතන විද්‍යාඥයන්ට බොරු යැයි කිව නොහැකි අතරම මානසික අධිගමයකට පත් වූවකුට අදත් ඒ සක්වළ විනිවිද යා හැකි ප්‍රබල සාක්ෂියක් බවද කිව යුතුය.   


බුදුරජාණන් වහන්සේ එක ඉරක් එක සඳක් යටතේ පවතින ලෝකය සක්වළක් ලෙස දේශනා කළා නම් එහි එක් තිරිසන් ලෝකයක් පමණි. අපාය දෙව්ලෝ-බ්‍රහ්ම ලෝ ද එසේමය. සහස්සධා ලෝක ධාතුවේ ඉර දහසකි. සඳ දහසකි. එයට අයත්ව ඉහත සක්වළට අයත් සියල්ල ඇත්තේය. එබැවින් මේ වි‌ෂය පථය මනුෂ්‍ය ඇස - කන - නාසය - දිව - ශරීරය යන පංචස්කන්ධයට ගැඹුරු වැඩිය. පෘථග්ජන මනස පිස්සු වට්ටන සුලුය.  


බුදුරජාණන් වහන්සේ මහා වේදල්හ සූත්‍රයේ ප්‍රධාන භව තුනක් පිළිබඳ දේශනා කරති.  


මේ වනාහි කාම භවය, රූප භවය හා අරූප භවයයි. මේ භව තුනෙහිම සත්වයෝ වෙසෙති. එහි වෙනම ලෝකයක් පවතිති. දැන් අප මේ විග්‍රහ කරන්නේ එක ඉරක් එක සඳක් පවතින සක්වළක විෂය පථයේ ගැඹුරයි.  


 ඉහත දක්වන ලද කාම භවය තවත් කොටස් තුනකි. ඒ වනාහි අපි උදේ හවා කතා කරන දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය හා අපායයි.  
මෙයින් මනුෂ්‍ය ලෝකය තුළට අයත්ව අපි ජීවත් වෙමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදී ශරීරයට අධික සැප දීම හෙවත් කාමසුඛල්ලිඛානු යෝගය ප්‍රතික්ෂේප කරති. ශරීරයට අධික දුක්දීම හෙවත් අත්ථකිලමථානු යෝගය ප්‍රතික්ෂේප කරති. උන්වහන්සේ වදාළේ මජ්ඣිමා ප්‍රතිපදා හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එය නිවන් දැකීමට මාර්ගය වේ.  
මේ අනුව කාම භවයේ දිව්‍ය ලෝකය යනු අනන්ත, අප්‍රමාණ සැප සම්පත්වලින් අාඪ්‍ය අයවලුන් ජීවත් වන පිටස්තර ලෝකයකි. එහි උපදින්නේම පෙර පින් ඇතියවුන් බව කියැවේ. අපාය යනු අනන්ත, අප්‍රමාණ දුක් සහිත පිටස්තර ලෝකයකි. සිතක්වත් පහළ නොකර ගත යුතු තරම් දුක්ඛ වේදනා එහි උපදින ජීවීන් විදින බව කියැවේ. මනුෂ්‍ය ලෝකය සුගති සංඛ්‍යාත ලෝකයක් වුවත් සැප-දුක් මධ්‍යස්ථව විඳ දරා ගත හැකි ලෝකයකි. දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත්, අපායේ නිරි සතුන්ටත් ධර්මාවබෝධය ලබාගෙන සසරින් එතෙර විය හැක්කේ යම් දිනෙක මනුෂ්‍යලෝකයට පැමිණීමෙන් පමණි. එබැවින් බුද්ධ ධර්මයේ හැටියට මනුෂ්‍ය ලෝකය විශිෂ්ට නවාතැන් පලක් ලෙස දක්වති. තවද බුද්ධ දේශනාවේ හැටියට මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබීම දුර්ලභ කාරණයක් ලෙස වෙන්කර දක්වති. ඒ වනාහි කණ කැස්බෑවෙකු විය සිදුරින් අහස බලනවාට සමාන දෙයකි. ඒ අතරින්ද අංග විකල නොවී, ශරීරාබාධ නැතිව ඉපදීම තවත් දුර්ලභ අවස්ථාවකි. බෞද්ධයකු වී බුද්ධ දේශනාව ලොව පවතින බුද්ධෝත්පාද සමයක ඉපදීමට ලැබීම තවත් දුර්ලභ සිදුවීමකි.  


ඉහත කී කාම භවයේ දිව්‍ය, මනුෂ්‍ය, අපාය ලෝක ප්‍රමුඛව තුනක් වුවද දිව්‍ය ලෝකයේ හා අපායේ තවත් ප්‍රභේද පවතී. ඒ ඒ ප්‍රභේද වෙන වෙනම ලෝක වන අතර ඒ එකින් එකට වෙන වෙනම ජීවීන් වෙසෙන වෙන වෙනම ස්ථානවල පිහිටා තිබෙන වෙන වෙනම වූ ස්වභාවයන්, ආයුෂ පවතින ලෝක වේ. මනුෂ්‍ය ලෝකය පමණක් ප්‍රභේද නැතිව කාම භවයේ පවතින එකම ලෝකයයි.  


 දිව්‍ය ලෝකය ප්‍රභේද හයකි. එනම් චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති වශයෙනි. අපාය ගත් කල විෂය ගැඹුරුය. අපාය මූලික කොටස් 4කි. එනම් නරකය (නිරය), තිරිසන්, ප්‍රේත හා අසුරයි. මෙහි නිරය (නරකය) ප්‍රධාන ලෝක අටකි. ඒ අට වනාහි සංජීව නිරය, සංඝාතය, කාල සූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචියයි.  


 එ් හැරුණු විට තවත් නිරි සතුන් වෙසෙන නරකයන් ලෝක 128ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒවා නම් අබ්බුදය, නිරබ්බුදය, අබ්බය, අටට, අහහ, කුමුදු, සෞගන්ධික, උප්පල, පුණ්ඩරීක, පදුම, ගුථ, කුක්කුල, කුලුහිඹුල්වත, අසිපත්‍ර වන, වේතරණි, ලෝකුඹු, ඛාරෝදිකා, සොණඛාදක, ගිජ්ඣකාක, සන්තිසුල, බග්ගසිරු, පහාස, සීත, අඟුරුමාල, දළ කොහොල් මාල, පොකුරු පත්, අලුකුඹු, රොරුව, පසුඝාත, සාකුණික, අසිලෝම, උසු​ලෝම, සූචක, ගූථකූප, නිච්ඡවි, ඔකිලිනි, පලෝභ, පාණහිංස, වෙලුනාද, මහාජාල, ද්විකල්ප, චතුකල්ප, ඡ.කල්ප, අට්ඨ කල්ප, දශකල්ප, බාරස කල්ප, චුද්දස කල්ප, සොළස කල්ප, උච්චාර දල්හ, භිදග්ගි, මුත්තකරී සග්ගි, අනුපට්ඨිතග්ගි, විපරිතග්ගි, තසිතග්ගි, තේලග්ගි, පරභණ ඩාහාර, කෝධග්ගි, විලසග්ගි, මහඟුලෝම, හස්සා දිසාය, කිහිරගුරු, ගෝපාන, සීතතරච්ඡ, ඕරම්භික, සන්තිලෝම, රථාචාරික, ගාමකූට, මිළහගබ්භ, මංකුලි තථිකා, අසීසත, නච්ඡවාදක, කාකොල, සඤ්චිච්ච, එ්කකල්ප, තයෝකල්ප, පංච කල්ප, සප්ත කල්ප, නව කල්ප, ඒක දශ කල්ප, තේරස කල්ප, පඤ්ච දස කල්ප, අච්චන්ත වත්තර, ආරාම දූෂක, ගෝමුත්තග්ගි, දූස මාලග්ගි, භුතග්ගි, කුම්භග්ගි, සයනග්ගි, නුට්ඨිභග්ගි, විරහිතග්ගි, එරුසග්ගි, උභතග්ගි, දිට්ඨිනුතග්ගි, පතිතාන දේහග්ගි, උදාහි ජාරික, තේලහත, සක්භග්ගි, නිවාරිතග්ගි, සුමතාප, තිප්පා කටුග්ගි, පත්තග්ගි, ජඩ්ඩිතග්ගි, අපච්චවෙක්ඛ තග්ගි, ලාභුපක්කම, ඉන්ද්‍රිය අගුත්තර ද්වාර, මාංස පේසි, කාලහත්ථි, සජොති, වෙළෙ, සීත නදී, මුසනදි, සුප්ප මුසාලග්ගි, ඝටිතග්ගි, මුසග්ගි, උරචක්‍රමාල, නපුජග්ගි, කුක්කුටග්ගි, ඵල මුලග්ගි, ඔසක්ක තාප, කුලදුසකග්ගි, කිලෙසග්ගි, කුසග්ගි, සුනඛ, මහා යත්ත, සංඝවත, ආයෝගුල, අංගාර පබ්බත හා කූටකාරිය.  


මේ එකසිය තිස් හයක් වන නිරය අපායට අයත් පළමු කොටසයි. අපායේ ඉතිරි කොටස් තුන තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය හා අසුරයයි.  


නිරයෙහි පවතින දුක් වේදනාවලට අමතරව එහි ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර ඇත.  


 නිරය වූ කලී සතර කෝණයෙන් වට වූවකි. එහි නව යොදුන් ගණකමින් යුත් යකඩ දොර හතරකි. නව යොදුන් යකඩ පවුරකින් වටවූවකි. බිම හා වහල ද යකඩින්ම වැසී ඇත. මේ සියලු යකඩ නිරතුරුවම රන්වන් පාටින් දිලිසෙමින්‌, උණුවෙමින්, දැවෙමින්, නැගෙන ගින්දරක් යොදුන් 100ක් පුරා පැතිර යන්නේය. එහි සැරපරුෂ භාවය කොතෙක්ද යත්, යමෙක් යොදුන් 100ක් දුර සිට මේ නිරය බලන්නේ නම් එහි රශ්මියට ඔහුගේ ඇස එළියට පනිනා තරම් ප්‍රබල වේ.  


 නිරයේ උපදින්නේ අතිශයින් පව් කළවුන් බව බුද්ධ දේශනාව මනා කොට පැහැදිලි කරයි. තමන් නිරයට වී එහි දුක් විඳ කළ පව් ගෙවා දමන තුරුම නිරි සතා නොමැරී සිටී.  


බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි.  


‘මහණෙනි, මහා නිරයෙහි පෙරදිග බිත්ති මතින් නැගෙන ගිනි සිළ අපරදිග බිත්තියෙහි වැදේ. උතුරු බිත්තියෙන් නැගෙන ගිනි සිළ දකුණු බිත්තියෙහි වැදේ. දකුණු බිත්තියෙහි නැගෙන ගිනි සිළ උතුරු බිත්තියෙහි වැදේ. බිම ගිනි සිළ උඩ වැදේ. උඩ ගිනි සිළ බිම වැදේ. මේ දුක් වූද කටුක වූද දරුණු වූද වේදනාව එහි සත්ත්වයන්ට විඳින්ට සිද්ධ වේ. එපමණක්ද ඇතැම් සත්වයෝ අශූචිවල හිස තෙක් ගිල්වා සිටිති. එහි වසන ඉදිකටු වැනි තුඩු ඇති පණුවෝ මේ මිනිසුන්ගේ සම, මස්, නහර, ඇට, ඇටමිදුලු පසාරු කරගෙන කති.  


ඉහත බුද්ධ දේශනාව සමඟ ගළපා අප සිතන විට මෙලොවදී වැරදි කරන මිනිසුන්ට නීතිමය වශයෙන් පොලිසි, උසාවි හරහා නොයෙක් දඬුවම් විඳින්නට සිදුවේ. තමන් කරන වරද අනුව සිර දඬුවම්හි කාලය තීන්දු වේ. සමහර ප්‍රබල වැරදි කළ සිරකරුවෝ බරපතළ වැඩ ඇතිව හිරගෙවල්හි ලගිති. එහි සිටින විට රෙදි සේදීම, පෝරණුවල වැඩකිරීම, අඳුරු කුටිවල සිරගත කර තැබීම ආදි දේ සිද්ධ වේ. එයද අප අසා තිබුණත් කිසියම් වූ නොදුටු ලෝකයකි. මිහිපිට මෙසේ නම් අප උපදින්නේ මැරෙන්නේ අපට උවමනා වේලාවට නොව කර්මානුරූපව, සොබාදහම, සංසාරය, අපට ලබාදෙන මොහොතකය. අප ඉපදී කරන්නේ ජීවත්වීම පමණි. එය අසාධාරණ ලෙස ජීවත් වුණොත් සොබාදහම හා ලෝකය විනාශ කිරීමේ දඬුවම අපි මෙලොවට බිහි වූ හා මෙලොවින් යන පරිදිම තීන්දු වේ. ඒ දඬුවම නිරයට වැටී ගෙවීමට මේ විස්මිත ක්‍රමවේදය ක්‍රියාත්මක වුවහොත් එය අතිශය භයානක බව කල්පනා කළ යුතුය.

 
 නිරය පොළොව යට තියෙන බවට අපට නිගමනය කළ හැකි සරල සාධක පවතී. එහි ගිනි ජාලාවේ රශ්මිය අතිශය ප්‍රබලය.

මහපොළොව දිගින් දිගට හාරාගෙන යනවිට රස්නය වැඩිමිස අඩු නැත. ගිනිහල් ආදිය තිබේ. ලෝදිය හමුවේ අමුතු දෝංකාර හඬවල් ඇසේ.   

එසේ නම් බුද්ධ දේශනාව තුළ විග්‍රහ වන මේ මහ පොළොව යට නිරයක ලක්ෂණ ක්‍රමිකව මුණ ගැසේ. නමුත් මේ පෘථග්ජන පංචස්කන්ධයට මහ පොළොව හාරමින් හෝ යා හැක්කේ අල්ප දුරකි. ඒ අල්ප දුර තුළ හමුවන ලක්ෂණ බලන්න.  


 මේ ලෝක ධාතුව විනිවිද යාම දුෂ්කරය. බුද්ධ දේශනාවට​ අනුව අපායේ ද ගස් ඇත. ඒවා කෙබඳුද? ආදී තවත් විස්තරයක් ලබන සතියට.  


මග පෙන්වීම: රත්මලාන කඳවල නවෝද්‍යා මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තලංගල්ලේ සුධම්ම හිමි.  


සටහන
අසංක ආටිගල