බුදු දහම සොයා ගිය චීන හිමිවරු


ගංෂු පළාත චීනයේ හැඳින්වෙන්නේ ‘හක්ෂි කොරිඩෝව’ යන නමිනි. එම ප්‍රදේශයේ පවතින සෞම්‍ය දේශගුණය චීනයේ වයින් කොරිඩෝව බවට මෙම ප්‍රදේශය පත්කර වන්නට මහත් දායකත්වයක් සපයා ඇත. එහි වැවෙන මිදි ඇපල් අාදි පලතුරුවලින් නිපදවෙන වයින් අතිශය ප්‍රසිද්ධය.   


පුරාණ චීනයේ නිපැයෙන වෙ​ෙළඳ බඩු සඳහා ලොව පුරා මහත් උනන්දුවක් ඇතිව තිබුණි. චීන තැනිතලාවල වැඩෙන අශ්වයන් ජාවාධිකයන් ලෙස සලකන ලදී. චීනයේ පෝසිලේන් භාණ්ඩ රාජ රාජ මහාමාත්‍යයන්ගේ මන්දිරවල අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා විශේෂයෙන්ම ආනයනය කරන ලදී. චීනයේ නිපැයෙන සේද රෙදි රජ මෙහෙසියන්ගේ ලාලිත්‍ය තව තවත් ලාලිත්‍යවත් කෙරිණි. චීන පබළු අත්පත් කර ගැනීමට එකල ලෝකයේ ධනවතුන් අතර මහත් උනන්දුවක් ඇතිව තිබිණි. චීනයේ නිප​ැෙයන මේවා භාරත​යටත් මැද පෙරදිග සහ යුරෝපය කරාත් ගෙනගිය තවලම් මාර්ගය හැඳින්වුණේ ‘සේද මාවත’ යනුවෙනි. චීනයෙන් ඔබ්බට ජපානය සහ කොරියාව කරාද තවත් සේද මාවත් වැටී තිබුණි.
   
සේද මාවතින් චීනයට ආදායම් ගලා එන්නට පටන් ගත්තා සේම ඒ පිටුපස මංකොල්ලකාරයෝද ගලා එන්නට වූහ. ආසියානු ස්ටෙප්ස් තණ භූමිවල සිටි කොල්ලකාරයෝද, මොංගෝලියානු තණ භූමිවල සිටි කොල්ලකාරයෝද සේද මාවතේ තවලම් කොල්ලකෑමට උත්සාහ දැරුවත් එය චීන අධිරාජ්‍යයන්ට මහත් ප්‍රශ්නයක්ව තිබුණේය. කොල්ලකෑම් මුවාවෙන් ආ සමහර ප්‍රහාර රාජ්‍යය පැහැර ගන්නා තරම් බලසම්පන්න විය. මේ නිසා චීනයේ බලය හෙබවූ “හන්” අධිරාජ්‍‌යා එයට විසඳුමක් ලෙස ආසියානු ස්ටෙප්ස් භූමිය හා මොංගෝලියනු සීමාව දිගේ දැවැන්ත ආරක්ෂක තාප්පයක් ඉදිකිරීමට තීරණය කළේය. මේ කාලවකවානුව ක්‍රිස්තු පුර්ව 1 වැනි සියවස විය.   

 

 

 “ඩුන්හෑං” යනු සේද මාවත ආරක්ෂා කරමින් ඉදි කරන ලද මුල්ම මහා ප්‍රාකාරයේ නගරයකි. අද ද එම ප්‍රකාරයේ ශේෂ වූ කොටස් ඩුන්හෑං වැලිකඳු අසල දැකිය හැකිය.  


එය මහා ප්‍රාකාරයේ බටහිර කොටසේ ආරම්භයද වේ. ගෝබි කාන්තාරය හරහා යන මේ මහා තවලම් මාර්ගය නිරතුරුව අන්‍ය ජාතීන්ගේ කොල්ලකෑමට ලක්විය. මේ නිසා ක්‍රිස්තුපූර්ව 211 පමණ වනවිට චීනය පාලනය කළ හන් රාජවංශයේ රජවරු නිරතුරුව කොල්ලකාරයන් සමග සටන් වැදුණෝය. අල්ලාගත් යුද සිරකරුවන් යොදවා දේශසීමා ප්‍රාකාරයක් තැනවූ අධිරාජ්‍යයෝ වරින්වර ඒවා ප්‍රතිසංස්කරණයට ලක් කළහ. සේද මාවත සමග චීන මහා ප්‍රාකාරය සම්බන්ධ වන්නේ ඒ හේතුවෙනි.   


බටහිර පරාදිසයට ආ කහපැහැති වස්ත්‍ර අඳින ආගන්තුක පූජකවරයකු ගැන වැඩිකල් නොගොස්ම ප්‍රදේශයේ පාලකයා වූ හන් රාජවංශයේ වුඩී අධිරාජ්‍‌යාට ආරංචි විය. රණකාමී මෙන්ම යහපත් පාලකයකු වූ වුඩී අධිරාජ්‍‌යා ඒ වනවිටත් සේද මාවතේ ආරක්ෂාව සඳහා ඩුන්හෑං හි හමුදා බළකොටුවක් පිහිටුවා තිබිණි.   


චීනයේ සිට භාරතය පර්සියාව (මැද පෙරදිග) කරා යන වෙ​ෙළඳ බඩු තවලම් මාර්ගයේ ආරක්ෂාවට ඉදිකළ බළකොටුව නිසා ඩුන්හෑං නගරය ඔහුගේ අධිරාජ්‍යයේ වැදගත් ස්ථානයක් ඉසිලුවේය.   


දැන් එයට ආගන්තුක පූජකවරයකු පැමිණ සිටියි. ආගන්තුක පූජකවරයා සිදු කරමින් තිබෙන දේ බලන්නට තම යටත් වැසියන් සිය ගණනක් දිනපතා එම කඳු තරණය කරන බව දැනගත් අධිරාජ්‍‌යා විමතියට පත්විය. එවැන්නක් එයට පෙර තම රාජධානියේ සිදුව නැත. ඔහුද වහා බළසේනා ගෙන ඩුන්හෑංහි කඳුකරය වෙත ගියේ මේ විමතිය නිසාය.   


අලුත් ගල්ගුහා සංකීර්ණයේ පාමුලට ගිය අධිරාජ්‍‌යාගේ විමතිය තව තවත් උත්සන්න වූයේ විවිධාකාරයේ ආවරණ යොදා ගනිමින් ගල්ගුහා කැනීමේ යෙදී සිටි ජනතාව දැකීම නිසාය. ඔවුහු බිම සිටවූ ඉනිමං සහ ලී කණු ආධාරයෙන් මීයන් සේ ඒ මේ අතට යමින් මහා ගල් පව්වේ ගුහා කනිමින් සිටියහ. ඔහු එක් ගුහාවක් වෙතට හැරුණේය. අධිරාජ්‍‌යා ඇතුළට යද්දී මිනිස්සු ඔහුට ඉඩදී පසෙකට වූහ. මිනිසුන් තමාට ඉඩදී පසෙකට වුවත් තමා ආ බවක් නොතකා බිත්තියක බදාම ආලේප කරමින් සිටි පූජකවරයා අධිරාජ්‍‌යාගේ සිත ගත්තේය. ඔහු හැඳ සිටියේ කහ පැහැති වස්ත්‍රයකි. හිසකෙස් හිස මුදුනට කර බැඳ සිටි අමුත්තාගේ ශාන්ත ගතිගුණද ඔහු කරමින් සිටි කටයුත්තද අධිරාජ්‍‌යාගේ සිත ගත්තේය. ඔහු ගුහා සිතුවම් දෙස බලා සිටියේ ආශාවෙනි.   


ලුසුන් හිමිනම සහ අධිරාජ්‍‌යා එකිනෙකා හමුවූයේ ඒ අවස්ථාවේදීය. නොදන්නා දේශයෙන් පැමිණි පූජකවරයා දෙස අධිරාජ්‍‌යා බලාසිටියේ විස්මයෙනි. හුදකලා කඳුගැට තුළට ඔහු මිනිස් ප්‍රාණය කවා තිබේ. ශතවර්ෂ ගණනාවක් සේද මාවතේ තවලම්වලට නොතිබුණු ආරක්ෂාවක් පූජකවරයාගෙන් ලැබී තිබේ.   


අධිරාජ්‍‌යා ලුසුන් හිමියන් සමග පිළිසඳරක යෙදී සිටියේය. භාරතයේ උපන් බුදු හිමියන් ගැනද ටිබෙටය හා භාරතය ගැනද තොරතුරු විමසුවේය. තවත් ටික වේලාවක් එහි රැඳී සිටි අධිරාජ්‍‌යා ඉණිමගෙන් පහළට බැස්සේ පූජකවරයා ගැන පැහැදීමට පත්වය. මාලිගාවට ගිය අධිරාජ්‍‌යා තම රාජසභාවේ අනුග්‍රහය ලුසුන් හිමියන්ට ලබා දුන්නේය. එහි ප්‍රතිඵල නොබෝ කලකින්ම ලැබුණි.   


වංශාධිපතිවරුන් රජුගේ නිලධාරීන්, පොහොසත් වෙළඳුන් ගල් වඩුවන් සහ පොදුජනතාව ​ෙසන්වෙයි කඳුකරයේ ගුහා ප්‍රදේශයට පැමිණ ලුසුන් හිමියන්ගේ කටයුත්තට උදව් කළහ. කෙටි කාලයකින් සිය ගණන් ගල්ගුහා මිනිස් දෑතින් ඉදිවිණි. ඒවායේ මඩ බදාම අතුරා සිතුවම් නිර්මාණයට ජනතාව සිය ගණන් එක්වූහ. තවත් සමහරු බුදු පිලිම නෙළුෑහ.   


ඉන්පසු සියවස් දහයක් යනතුරුම කෙටියෙන් කිවහොත් වසර දහසක කාලයක් මේ බිමට බෞද්ධා ලෝකය වැටී තිබුණි. එම වසර දහසක කාලය තුළ තව තවත් අධිරාජ්‍​ෙ‌යා් ප්‍රදේශය පුරා ගුහා තනවමින් බුදුපිළිම නෙළමින් සේද මාවතේ බොදු කේන්ද්‍රයක් බවට ඩුන්හෑං ප්‍රදේශය පත් කරන්නට තම දායකත්වය ලබා දුන්හ.   


පස්වැනි සියවසේ සිට දහතුන්වැනි සියවස දක්වා කාලය මෙම ගුහා ප්‍රදේශයේ ස්වර්ණමය යුගය විය. මුල් කාලීන ප්‍රතිමා වැඩි වශයෙන් භාරතීය ගති ලක්ෂණ පෙන්වුවද ඉන්පසු කරන ලද ගුහාවල සිතුවම් හා ප්‍රතිමා චීන ගති ලක්ෂණ පෙන්වයි. ප්‍රතිමාවලට දේශීය හැඩරුව කැවීම ආගමක් ප්‍රචාරයන වනවිට සෑම රටකම සිදුවන්නකි. අද වනවිට සොයාගෙන ඇත්තේ මෙහි ඇති සමහර ප්‍රථිමා බෞද්ධ කලාවේ විශිෂ්ටතම නිර්මාණ අතරට අයත් වන බවයි.   


බොහෝ ගුහාවල ඇති බිතු සිතුවම් ජාතක කතා ඇසුරින් ඇඳි ඒවාය. 275 වැනි ගුහාවේ සිතුවම හා පිළිරූ බුදුරදුන්ගේ ජීවිත කතාව ඇසුරින් සහ සඳකිඳුරු ජාතකය අැසුරින් නිරූපිත එකකි.   

 

 

ඉසිපතනයේ මිගදායේදී බුදු හිමියන් කළ පළමු ධර්ම දේශනය හඳුන්වා ඇත්තේ ‘මුව වනයක බණ කීම’ යන අරුතිනි. එය සහ කන්ථක අසුපිටින් යෑම ආදී අවස්ථා සිතුවම් කර ඇති අන්දම අති විශිෂ්ටය. එම සිතුවම් කිසිවකත් චීන හැඩරුව දක්නට නැත.   


බුදුරදුන් දෙපස සිටින මහා කාශ්‍යප හිමියන් සහ ආනන්ද හිමියන්, සාථව ජාතකය සහ සිබි ජාතකය, වරද මුද්‍රාවෙන් සිටින බුදුහිමියෝ ධ්‍යාන මුද්‍රාවෙන් සිටින බුදුහිමියන්, අප්සරාවන්, යක්ෂයෝ, දේවතාවන් ඌරන් ආදි විවිධ සත්ව රූප, මාරයාගේ පහර දීම, මහා පරිනිර්වාණ සුත්‍රය මෙම ගුහාවල ඇති සිතුවම් සහ ප්‍රතිමා අතරින් කිහිපයකි. අංක 96 වැනි ගුහාවේ මීටර් 34ක් උසැති දැවැන්ත බුදුපිළිමයක් ඇත. කන්ද හාරා තනවා ඇති එම බුදුපිළිමය බලා සිටින්නේ තවලම් මාර්ගයේ එන ජනතාව දෙසය. මෙහි එදා කොතරම් පූජනීය පරිසරයක් තිබෙන්නට ඇතිදැයි සිතන විට බුද්ධාලම්භන ප්‍රීතියකින් මාසිත පිනායයි. ථේරවාද සහ මහායාන සම්ප්‍රදායන් අතර කවර මතිමතාන්තර පැවතියත් සමස්ත භාරතයත් ටිබෙටයත් එතැනින් කිලෝමීටර් පන්දහසක් තරම් දුර යනතුරු චීන දේශයටත් පැතිර ගිය බෞද්ධ විහාරාරාම ආදිය තිබූ අතීත සමය මම සිතෙන් මවා ගන්නට තැත් කරමි. තවලම් මාර්ගය දි​ෙග් චිනයට ගිය ලුසුන් හිමියනුත් චීනයේ සිට භාරතය කරා ආ ෆාහියන් සහ හියුංසියාන් යන හිමිවරුන් ඇතුළු සිය ගණනක් වූ චීන දේශාටකයන් සොයා ආවේ බුදුදහම නොවේද? මහා ගල්කුළු අතර මහා කාන්තාර තුළ මෙම පළාතේ එදා කොතරම් විහාරාරාම පවතින්නට ඇත්ද. මේ මහා විශ්වකර්ම නිර්මාණකරුවන්ට මම හිසනමා ආචාර කළෙමි.   


සේද මාවත සහ ලංකාවේ වරාය   


ලංකාවේ සමුද්‍රික පිහිටීම අනුව පැරණි නාවික ගමනා ගමනයේදී බොහෝ නෞකාවලට අනිවාර්ය නැවතුම් පොළ බවට ත්‍රිතුණාමලය ගෝකන්න වරාය සහ නූතන හම්බන්තොට වරායට ආසන්නයේ පැරණි වරාය වූ ගොඩවාය වරාය පත්ව තිබිණි. ගොඩවායට මුහුදු සැතපුම් කීපයක් ඔබ්බෙන් ජපානය, චීනය ඇතුළු පෙරදිග සිට යුරෝපය කරා ගමන් ගන්නා නෞකාවල ගමන් මාර්ගය වැටී තිබිණි. මේ නිසා වෙ​ෙළඳ බඩු විකුණා ගැනීමට මෙන්ම ජලය සහ ආහාර සොයාද මෙම මාර්ගයේ ගමන් ගන්නා නෞකා ගොඩවායට පැමිණීම අනිවාර්ය කටයුත්තක්ව තිබිණි.   


ත්‍රිමලේ ගෝකන්න වරාය සහ ගොඩවාය වරාය එදා ජාත්‍යන්තර වෙ​ෙළඳ මාර්ගයේ ගමන් ගත් නෞකාවලට උපරිම පහසුකම් ලබාගැනීමට ප්‍රයෝජනවත් නැව් තොටු ලෙස පුරාණ නාවික සිතියම්වල සටහන්ව ඇත. එදා රජ දවස මෙරට ප්‍රධාන අපනයන භාණ්ඩ වූ මුතු මැණික්, අලි ඇතුන්, ඇත් දළ හා කුළු බඩු විකුණා ගැනීමටත් මෙරටට ගෙන එන විසිතුරු බඩු ලබා ගැනීමටත් මෙම වරාය දෙක කැපී පෙනෙන මෙහෙවරක නිරත විය. චීනයේ සොන් (ක්‍රි.ව. 960-1126) හා යුවාන් (1270-1360) යුගවල මෙම චීන වෙ​ෙළඳ නැව් ලෝකය පුරා කරක් ගසද්දී ලංකාවේ වරාය දෙකට පැමිණි බව පුරාණ ලේඛනවල සටහන්ව තිබේ. ක්‍රිස්තු වර්ෂ 1405-1433 අතර කාලයේ චීන නාවික අද්මිරාල් ෂෙන්හී අතිවිශාල නෞකා කණ්ඩායමක් රැගෙන චීනයෙන් පිටත්ව ලෝකය පුරා සංචාරය කළේය. ඔහු මෙවැනි ආකාරයේ නෞකා පංතියකින් ලෝකය පුරා ගමන් කළ ප්‍රථම චීන අද්මිරාල්වරයා ලෙස ඉතිහාසගතය. ඔහුගේ ගමන අතරතුර ගාලු වරායට හා කෝට්ටේ රාජධානියටද පැමිණි​ෙය්ය. සීනිගම ප්‍රදේශයෙන් ගොඩබට ඔහු​ෙග් හමුදාව මෙරට ප්‍රාදේශීය රජකෙනකු චීනයට රැගෙන ගිය බවද කියැවේ. එම පරපුරේ කුමරියක අදටද චීනයේ ජීවත් වන්නීය. චීන අධිරාජ්‍යයා දෙවුන්දර දේවාලයට එවූ රන්, රිදී සිල්ක් රෙදි සහ සඳුන් ඇතුළු පූජා භාණ්ඩ රැසක් අද්මිරාල් ෂෙන්හී දෙවුන්දර දේවාලයට පූජා කළේය.  


 එකල දෙවුන්දර දේවාලය ලක්දිවට යන එන විදේශීය නාවිකයන්ගේ ගරු බුහුමනට ලක්වූ පුද බිමක් විය. 

 
පුරාතන ලංකාව ජාත්‍යන්තර නැව් තොටක් වූවා සේම ලංකාවේ නිපැයෙන නැව් ජාත්‍යන්තර වෙ​ෙළඳපොළේ අලෙවි විය. නැව් අලුත්වැඩියාවට මෙහි වරාය කිහිපයකම පහසුකම් විය. මාස ගණන් මුහුදේ ගත කරන නැව් අලුත්වැඩියාවට ලංකාව ප්‍රධාන මධ්‍යස්ථානයක් වුයෙන් ලොව පිළිගත් නාවිකයෝ මෙරට වරායවලට තම නැව් පදවාගෙන පැමිණියහ. ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේදී ඊජිප්තු භික්ෂුවක වන කොස්මස් සටහන් කර ඇත්තේ ඉන්දියා, චීන, පර්සියා, ඉතියෝපියා යන රටවල නෞකා ලංකාවේ වරායවලදී දැකගත හැකිවූ බවය.   


ඩුන්හෑං නගරයේ සිට විහිදි යන සේද මාවත චීනය සහ භාරතය අතර ධර්ම සහ සංස්කෘතික හුවමාරුවෙහිලා ප්‍රධාන මාර්ගය විය. මධ්‍යම චීනයේ සිට භාරතය කරා යන මේ මග අති බිහිසුණු සහ දුෂ්කර එකක් විය. ගෝබි මහ කාන්තාරයද ටියංෂාන්, සුංලිං,  කාරකෝරම් ආදී හිමෙන් වැසුණු මහා කඳුවැටිද තරණය කරමින් සැතපුම් පන්දහසකට ආසන්න දුරක් ගමන් කිරීම වසර දෙදහසකට පමණ පෙර කාලයේ කොතරම් දුෂ්කර වෙන්නට ඇතිද? අදද එම මාර්ගයේ ඇති රටවල ගමනා ගමනය අති දුෂ්කරයය. කාරකෝරම් කඳුමැදින් චීනය පාකිස්ථානයේ ග්වාඩර් වරාය කරා අධිවේගී මාර්ගය තැ​ෙනන්නේ මහත් දුෂ්කරතා මැදය. එහෙත් එදා මේ මාර්ගයේ චීන භික්ෂුහු කිහිප දෙනෙක් භාරතයට පැමිණ බුද්ධ ධර්මය උගෙන බෞද්ධ පතපොත චීනයට ගෙන ගියහ.   

 

 

ක්‍රි.ව. 399දී චීනයෙන් පිටත්වූ ෆාහියන් හිමියන් තියංෂාන්, සුංලිං කාරකෝරම් පසුකර භාරතය ඔස්සේ ලංකාවට පැමිණ වසර 2ක් අනුරාධපුරයේ ගතකළ බව උන්වහන්සේ ගමන් විස්තරයේ දැක්වේ. උන්වහන්සේ ආපසු ගමන සිදු වුයේ මලයාසියාව හරහාය. එතැනින් චීනයේ නැන්කිං නැව් තොටට ගොස් එහි නැවතී භාරතයෙන් හා ලංකාවෙන් ගෙනගිය දහම් පත​පොත රැසක් චීන භාෂාවට නගා ඇති බවද සඳහන්ය.   


ක්‍රිස්තු වර්ෂ 629දී ඩුන්හෑං නගරය කේන්ද්‍ර කරගත් තවලම් මාර්ගයේ ආ තවත් හිමිනමක් වන්නේ හියුංසියාං හිමියන්ය. උන්වහන්සේගේ ගමන් විස්තරය අැතුළත් කර ලියූ හියුංසියාං හ්‍රමණවෘත්තාන්තය කෘතියෙහි සිංහල පරිවර්තනයක් අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් කරනු ලැබු අතර එය 1952 වසරේ නිකුත්ව තිබේ. ගෝබි කාන්තාරය හරහා ටියංෂාන් සහ කාරකෝරම් කඳුවැටි දිගේ ආ ගමනත් ඒ මග දෙපස පසුකළ රටවල් හා ඒවායේ තිබූ බුදු පිළිම හා විහාරාරාම ආදිය ගැනත් සිත් කාවදින විස්තරයක් එම කෘතියේ අඩංගු වේ.

 

 

 

 

 

 


මතු සම්බන්ධයි...