බිසෝවරුන් තිස්දෙනා පැන මැරුණු ගල්වළ


මා ඔයේ ඉවුරු දිගේ

මේ එක ශෝචනීය කතාවක් ඊළඟට මම කියන්නම්. බදුල්ල පැත්තේ ගොළු ළමයෙක් ආමි එකේ පිරිමි ළමයෙක් අසුපිනි ඇල්ලේ මරපු කතාව. ඒ කතාව ඒ දවස්වල ඇඟිලි සලකුණුවල පවා රූපවාහිනියේ ගියා. ඒ සිද්ධියේ ඇටකටු හා සිරුරේ කොටස් සොයා දුන්නෙත් තමා බව අබේරත්න තරමක වේදනාවෙන් පැවැසීය. සමාජයේ මිනිසුන් කරන මේ පහත් වැඩ පිළිබඳ ඔහු අපට කියන්නට විය.  
 
බදුල්ලේ ජීවත් වූ අමිල හා කසුනි (නම් මනඃකල්පිතයි) අතර ආදර සම්බන්ධතාවක් හට ගන්නේ වසර කිහිපයක සිටයි. නමුත් කසුනිට දේපොළ ඇති කිසිදු අග හිඟ කමකින් තොර ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පසුබිම දෙමාපියන් විසින් උරුම කර දී තිබුණි නමුත් කසුනිට කතා කරන්න හැකියාවක් නම් තිබුණේ නැත. එහෙත් ඇය රූප සම්පත්තියෙන් ලස්සන කාන්තාවක වූවාය. 


අමිල දුප්පත් පවුලක කෙනෙකු වන අතර කසුනි සමග ආදර සම්බන්ධතාවක් ඇති කර ගත් නමුත් අමිල ඇගේ කායික දුර්වලතාව මනා ලෙස තේරුම් ගෙන තිබුණි. ​ෙම් දෙදෙනා එකිනෙකා තේරුම්ගෙන තම අඩුපාඩු හඳුනාගෙන ඇතිකරගත් සම්බන්ධතාවට කසුනිගේ නිවසේ කාගෙන්වත් අවහිරයක් තිබුණේ නැත්තේ අමිල ද හමුදා නිලධාරියකු ලෙස රැකියාව කරන හෙයින් වන්නට ඇත. 


කාලයේ අවෑමෙන් මෙ දෙදෙනා අතර සම්බන්ධතාව දුර දිග ගිය බව තේරුම් ගියේ කසුනි විවාහ වීමටත් පෙර කසුනි ගැබ්බර විම හේතුවෙනි. කිසි විටකවත් ඒ පිළිබඳ කසුනිට ඇඟවෙන්නට හෝ කසුනිගේ ගෙදර ඇයට ඇඟවෙන්නට නොසැලසූ අමිල කසුනි සමග අමිලගේ මිතුරකු වු රුවන්ගේ අරණායක දෙමළහිරියේ නිවසට පැමිණියේය. අමිල සමග එකට වැඩ කරන රුවන් අතර ඇත්තේ යාළුවන් ලෙස විශාල බැඳීමකි. රුවන්ගේ යාළුවාගේ පැමිණීම පිළිබඳව රුවන්ගේ මව සතුටට පත් වී  ඔවුන්ට අවශ්‍ය සියලු ආගන්තුක සත්කාර පවා දෙදෙනාට කළාය. 


ඊට පසු දින කසුනි ගෙදර ගොස් ඇරලීමට යන බව පවසා ඇති අමිල රුවන්ගේ නිවසින් පිටව ගොස් ඇත. කසුනි රවටා ගත් අමිල කසුනි අසුපිනි ඇල්ල කඩා වැටෙන පහත් බිමෙහි ඇති වෙරළු ගහ මුල වළ නමැති ස්ථානයට ගොස් ඇය වතුරට තල්ලු කර හිස පහත් කර වතුර පෙවී මියයන තෙක්ම අල්ලාගෙන සිට ඇත්තේ ඇගේ සියලු රන් ආභරණ ද රැගෙනය. 


මේ අවසනාවන්ත ඉරණම ගැන සිහිනෙන්වත් නොසිතු කසුනි අකාලයේ දිවි හැර ගියාය. තමන් පණමෙන් ආදරය කරන ලද අමිල මෙසේ ඇයට ඉරණමක් අත්කර දෙයි කියා ඇය නොසිතන්නට ඇත. අහිසංක ජීවිතයක් නැති කළ අමිල කිසි දෙයක් නොදත් අයෙකු ලෙස රුවන්ගේ නිවසට එන්නේ කසුනි ගෙදර ගොස් ඇරලූ අකාරයෙනි. 


දින දෙක තුනක් රුවන්ගේ නිවසේ ගත කර අමිල හා රුවන් නැවත වැඩට යාමට පිටත් වු අතර රබර් වත්ත කෙළවරක පිහිටි රුවන්ගේ නිවසින් මාර්ගයට යා යුත්තේ නියරකින් වන නිසා දෙදෙනා නියරේ ගමන් කරමින් සිටියහ. රුවන්ට පිටුපසින් අමිල ගමන් කළේය. අමිලගේ උඩ සාක්කුවේ තිබූ කසුනිගේ හැදුනුම්පත එක වරම අතට ගත් අමිල නියරේ වක්කඩයක් තිබෙන ස්ථානයක එක් පැත්තක නියරේ මඩ අස්සේ ගසා එහි වූ ජලයෙන් අත සෝදා ගන්නට විය. 


මාස ගණනකට පසු වෙ​ෙළහි අයිතිකරු වන ජේමිස් මුදලාලි විසින් නියර රහිමින් සිටින අතරවාරයේ උදැල්ලේ තට්ටු වී එම හැඳුනුම්පත ඔහුට හමු විය. එය සෝදා පවිත්‍රකොට තමා ළඟ තබාගෙන එදින හවස් ජාමයේ කසිප්පු තිප්පොළට ගියේ මෙම හැඳුනුම්පතත් උඩ සාක්කුවේ දා ගෙනය. හදිසියේම කසිප්පු තිප්පොළට අරණායක පොලිසියෙන් පැන මෙ අය අල්ලාගෙන පොලිසියෙන් පරීක්ෂා කරන අතරවාරයේ මෙම හැඳුනුම්පත හමුවී ඇත. පසුව බදුල්ල පොලිසියෙන් විමසා පසුව අරණායක පොලිසියට භාර දුන් අතර එහිදී තොරතුරු පාපොච්චාරණය කළහ. සිවිල් නිලධාරින් දෙදෙනෙක් යවා අදාළ සැකකාර ජේමිස් මුදලාලිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අදාළ නියරේ කෙළවර පිහිටි නිවසට ගොස් මේ පිළිබඳ විමසා ඇත. 


“අම්මේ කොහොමද අම්මලාගේ බදුල්ලේ කවුද ඉන්නේ?’’ නිලධාරීහු කාන්තාවක​ෙගන් ඇසූහ. 


“අනේ පුතේ අපේ කවුරුත් නැහැ.” 


“පුතාගේ යාළුවෙක් නම් ඉන්නවා. ඒ කවුද?” 


“එයත් එක්ක එකට වැඩ කරන කෙනෙක්” 


“එයා ළඟදී අාවේ නැද්ද?” 


“දැන් අවුරුදු කිහිපයකට කලින් නම් ආවා. ඒ බඳින්න ඉන්න ගෑනු දරුවාත් එක්ක ඒ ළමයාට කතා කරන්න බෑ ගොළුයි. 


පොලිස් නිලධාරීහු එම තොරතුරුවලට අනුව අදාළ සැකකරු සැකපිට අත්අඩංගුවට ගත්හ. 


ඒ වනවිට අමිල කසුනිගේ ගෙදර අයත් සමඟ කසුනි සොයන්නට මහන්සි වී ඒ අය සමග කටයුතු කර ඇත්තේ සියලු තොරතුරු වසන් කරමින්ය. අමිල කෙරෙහි ඒ අයගේද සැකයක් මතුවී නැත්තේ කසුනි සමග රුවන්ගේ ගෙදර ගියත් ඇය මහනුවරින් බදුල්ල බලා යන බසයකට පසුදින නංවා ඔහු ගිය බව, කියූදෑ එම නිවැසියන් විශ්වාස කළ නිසාය. ඒ වාගේම අමිල ඔවුන්ට විශ්වාස අයෙකු වශයෙන් කාලයක් ආ ගිය කෙනෙක් වි සිටි නිසාය. 
වරදක් කළත් කොයි මොහොතේ හෝ නැවත තමන්ට දඬුවම් ලැබෙන බව පසක් කරමින් අමිලට නීතිය ඉදිරියේ සියලු පාපොච්චාරණයන් කරන්නට සිදු විය. මෙහි ප්‍රතිඵලය වූයේ අවසානයේ වසර ගණනාවකට ඔහු සිපිරි ගෙදරට නියමවීමය. 


මෙම සිද්ධියේ ඇටකටු හා පොලිසියට අවශ්‍ය සියල්ල සොයා දී ඇත්තේ අසුපිනිඇල්ලේ ජීවත් වන අබේරත්න විසිනි. මේ අකාරයෙන් අසු පිනි ඇල්ලේ අමිහිරි මතක සටහන් අපට පවසා සිටි ඔහු මෙතෙක් මෙම දිය ඇල්ලේ වැටී මියගිය සිරුරු රැසක්ම ගොඩට ගෙනවිත් දී ඇත්තේ තම ජීවිතය පරදුවට තබමින් බව හෙළි කළේය. 


අබේරත්න සොබා දහමට ආදරය කරන මිනිසෙකි. එම ආදරය නිසාම අදටත් තරුණයෙකු ලෙසින් ඔහු ජීවත් වන්නේ කිසිදු රෝගාබාධයකින් තොරව වීම විශේෂත්වයකි. 


කවියට කලාවට ළැදි රාජපක්ෂ ගෙදර අබේරත්න නොහොත් කවුරුත් හඳුන්වන අසුපිනි ඇල්ලේ “මල් මාමා” කිවහොත් ඔහු ගැන ඔහුගේ දක්ෂතා පිළිබඳ අසුපිණි ඇල්ල නරඹන්නට පැමිණෙන ගවේෂණශීලී සංචාරකයන් දන්නා අතර ඔවුන් නොවරදවාම ඔහු හමුවී කතා බහ කිරීම පුරුද්දක් කරගෙන ද සිටිති. 


ඔය අසුපිනි ඇල්ල ව්‍යාවහාරයේ තියෙන්නෙ අහුපිනි ඇල්ල කියලා. 


අසුපිනි ඇල්ලට වැටිලා නිර්මාණය වන්නේ මා ඔය. සමස්ත මනුෂ්‍ය සංහතියටම වතුරෙන් ආධාරයක් දෙන්න පුළුවන් ජල සම්පතක් තියෙන්නේ මා ඔය පමණි. අපේ හීලෑ අලි ඇතුන් මා ඔයට තරම් දණ නමස්කාර කරපු ඔයක් කොහෙවත්ම නැහැ. අලුත්නුවර දේවාලයට පඩුල්ලන්න ගෙනයන ඕනෑම සද්ධන්ත කුලයේ අලියකුම මා ඔයෙන් තමයි නාවලා ගෙනියන්න ඕනෑ. දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ අලි ඇතුන් බොහොමයක් මාඔයට දණ නමස්කාර කරපු අලි ඇතුන්. එ්ක තමයි අර මනුෂ්‍යයා ​ෙම්කට කීවේ තැඹිලි කියලා. සුද්දා වුණත් ඒක දැනගෙන මාඔය ගැන එහෙම ලියලා තිබුණා. ඔවුන් එහි වටිනාකම තේරුම් ගත්තා. 


ඒ වාගේම අද රජරට මහවැලි කලාපයේ ඉඩම් අරන් එහිම කුඹුරු අස්සද්දලා රටට බත් සපයන්නේ ​ෙම් මාඔයේ නාපු මිනිස්සු. ඒ ශක්තියෙන් තමයි ඒ ප්‍රදේශ මහා කෙත්වතු සරුසාර වුණේ. 


දවසක් ජනාධිපතිතුමාගේ කතාවක මට ඇසුණා කෑගල්ලට ආපු වේලාවේ එතුමගේ ගමේ කෑගල්ල පැත්තේ අරණායක මාවනැල්ල පැත්තේ අය ඉන්නවා කියලා. එහෙම නම් මාඔයෙහි ජල සම්පත අසුපිනි ඇල්ලේ ජල සම්පත මෙම රටට කොයි තරම් මහ මෙරක්ද කියන වග සෑම කෙනෙකුටම සිහිපත් විය යුතුයි. එය රැකගත යුත්තේ ඒ නිසායි. 


ඒ වාගේම අසුපිනි ඇල්ලේ කිලි අසුවෙලා නෑවොත් අනතුරක් වීමේ ඉඩ කඩක් තිබෙනවා. දරු සම්පත් නැති අම්මා කෙනෙක් මාඔයෙහි අසුපිනි ඇල්ලේ කිහිප වතාවක් නෑවොත් දරු සම්පත් ඇතිවෙනවා කියලාත් පැරණි මතයක් තිබෙනවා. 


අතීතයේ රාස්ස ඇල්ල සහ රාවණ ඇල්ල නමින් ප්‍රකටව ඇත්තේ මෙම ප්‍රසිද්ධ අසුපිනි ඇල්ලම බවත් ඊට හේතුව එය යක්ෂයන් සේම නාග, දේව සහ ආර්ය ගෝත්‍රිකයන් වාසය කළ භූමි ප්‍රදේශයේ මායිමක පිහිටි නිසා බවත් පැරැණි ගැමියෝ පවසති. 


දැනට සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දෙයියන්වල ඇල්ලෙන් පහළ පිහිටි ගමකි. මල්ගොල්ලවත්ත යනු ඇල්ලට සමාන්තරව පිහිටි තවත් ගමකි. නමුදු එහෙත් එය අයත් වන්නේ වත්මන් මධ්‍යම පළාතට සහ මහනුවර දිස්ත්‍රික්කයටය. ගම්මුන් විශ්වාස කරන අන්දමට ඒ ග්‍රාම නාම අනුව වුව අතීතයේ එම ප්‍රදේශවල දේව ගෝත්‍රිකයන් වාසයකොට තිබේ. ඊට අමතරව ඉන්දියාවෙන් පැරණි ආර්යයන්ද ඒ කාලයේ මෙහි වාසය කර තිබේ. 


කෙසේ හෝ පසු කාලය වන විට මේ ප්‍රදේශයේ විසූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ බලය හීන වී ඊට සාපේක්ෂව ආර්ය බලය ඉහළ නැංවී තිබේ. ‘අරම’ යනු අසුපිනි ඇල්ල පාමුල ඇති වී ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ ආර්ය ජනාවාසයකි. අරම යන නම පටබැඳීම සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද ඇත. එහෙත් එහි එන අරම යන්න ආර්යයන් විසූ පෙදෙස බව හැඟවෙන්නක් බවට ඇති ජනප්‍රවාදය එතරම් ප්‍රචලිත වී නැත. 


කෙසේ හෝ අරම යනු දැනට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ හැරුණුකොට දනගිරිගල, වාකිරිගල, සැලය, දෙවනගල, දොඩම්තලේ ආදී බෞද්ධ සිද්ධස්ථාන ද එම ප්‍රදේශයේ පැතිර ගිය ආර්ය ජනාවාස මුල්කොට මහින්දාගමනයෙන් පසු විවිධ වකවානුවල ඉදි වූ ඒවා බව පෙනේ. ඒ කෙසේ හෝ අසුපිනි ඇල්ල කේන්ද්‍රගතකර පැවැති අතීත යක්ෂ ජනයා පසුව ක්‍රමයෙන් ආර්ය ශිෂ්ටාචාරය තුළට සංක්‍රමණය වූ බවට සැක නැත. 


අසුපිනි ඇල්ල සහ මාඔය සම්බන්ධයෙන් තම මව පියාගෙන් කුඩා කාලයේ අසන්නට ලැබුණු තවත් කතාවක් අප සමග පැවසූයේ වර්තමාන විවාහ මරණ ලේකම්වරයකු මෙන්ම මාඔය කුඩාඔය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණී ඇටම්පාවල මහතායි 


අසුපිනි ඇල්ලට උඩින් “තිස් කුමාරි” ලෙන කියලා ලෙනක් තියනවා. පුරාණයේ කෝට්ටේ යුගයේ රජකෙනෙක් යුද්ධයකට යන්න ලෑස්තිවී එම යුද්දෙන් රජතුමා පැරදුණොත් බිසෝවරුන් තිස්දෙනා සතුරන් විසින් මරා දමයි කියලා එම රජු විසින් බිසෝවරුන්ට උපදෙස් දීලා තියනවා, තමන් පැරදුණහොත් කළු කොඩියක් උස්සන බවත් දිනුවොත් සුදු කොඩියක් ඔසවන බව. කළු කොඩිය එසෙව්වොත් බිසෝවරුන්ට ඇල්ලෙන් පැන දිවි නසා ගන්නා ලෙස දන්වා එම යුද්ධයට රජු හා සේනාව ගොස් ඇති අතර රජු එහිදී යුද්ධයෙන් විශිෂ්ට ජයක් ලැබ තිබෙනවා. 


මෙම කොඩි උස්සන කටයුත්ත රජු අරණායකට නුදුරින් පිහිටි හත්ගම්පොළ අයෙකුට භාර දුන් අතර එම තැනත්තා බීමතින් සිට කළු කොඩිය උස්සා ඇති අතර යුද්ධයෙන් රජු පැරදුණායි සිතු බිසෝවරු ඇල්ලෙන් පහළට පැන ඇති බව එක් කතා පුවතකින් කියැවෙනවා. 


තවත් කතා පුවතකින් කියන්නේ රජු යුද්ධයෙන් දිනූ පසු කුමාරියන් රවට්වන්නට විහිළුවට මෙන් කළු කොඩිය එසවූ බවයි. කෙසේ හෝ කළු කොඩිය එසවීම නිසා ඇල්ලෙන් පහළට පැනීම නිසා එහි වළක බිසෝවරුන්ගේ මළ මිනී පාවෙමින් තිබූ අතර  මේ වළ ‘මීනිකඳ වළ’ ලෙස හඳුන්වනු ලැබූ බවත් කියනවා. එහි පැමිණි රජු මෙම ප්‍රශ්නය සියසින් දැක ඇති අතර එයින් කම්පාවී රජුද සිය යුධ අශ්වයා පිටින්ම ඇල්ලෙන් පහළට පැන මියගොස් ඇත. ඒ නිසා එදා සිට මෙම ඇල්ල අසුපිනි ඇල්ල වූ බවත් පසුව අහුපිනි ඇල්ල ලෙස හඳුන්වන බව අසා ඇතැයි ඒ මහතා පැවැසීය. 

 


රහලගල 


අරණායක පිහිටි සැලව හා රහලගලද අපේ පුරාවෘත්තාන්තයේ ප්‍රධාන තැනක් ගන්නා බව සඳහන්ය. රහලගල එදා හැඳින්වූයේ ‘රහස්ගල’ එම ප්‍රදේශය රහස් සාකච්ඡාවන් සඳහා අතීතයේ වැඩි වශයෙන් යොදාගෙන ඇත. මෙය පිහිටා ඇත්තේ අසුපිනිඇල්ල පහතට කඩා වැටෙන ස්ථානයේ ඉස්මත්තේය. අරණායක සිට අසුපිනි ඇල්ල තෙක් පැමිණෙන විට වම් පස දැක ගත හැකි සුවිශාල ගල් පර්වතයයි. සැලව ගම්මානය ඊට පහතින් පිහිටා ඇත. 


අද වනවිට රහලගල කියන ප්‍රදේශයේද ජනාවාස ඉදිවී ඇති අතර පසුගිය දිනක අපි එහි ගොස් ගමේ මුල් පදිංචිකරුවන් කිහිප දෙනෙකු මුණ ගැසුණෙමු. එම ගම්මුන්ගෙන් සැලව හා රහල ප්‍රදේශවල ගම්මුන්ගෙන් මෙන්ම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගෙන් සොයාගත් තොරතුරු මෙසේය. 


රහලගල හා සැලව කියන ප්‍රදේශ තරමක් උස් ප්‍රදේශ වන අතර එම ප්‍රදේශ වෙත යෑමට ද ඉතා දුෂ්කර වූ ගමනක් යා යුතුය. රහලගලේ කුමාරවරුන් තිස්දෙනෙක් හා කුමාරිකාවන් තිස්දෙනෙක් තම ආරක්ෂාව සඳහා එම බිම් යොදාගෙන ඇත්තේ රහස් බැලීම සඳහායි. 


මෙම ඔත්තු ඔවුන්ගේ ප්‍රධානීන්ට කියූ ස්ථානය සැලව නමින් හඳුන්වයි. අද එම ස්ථානය සැලව රජමහා විහාරය නමින් ව්‍යහාරයට භාජනය වී ඇත. මෙම කුමාරවරුන් හා කුමාරිකාවන් රහස් බැලූ ස්ථානයට බලන කපොල්ල පේන නිසා කන්ද උඩරට සිදුවන රහස් යනාදිය මෙහි සිට බැලූ බවට ජනතාව අතර මතයක් තිබේ. 


අසුපිනි ඇල්ලේ මිනිකඳවළ යන නම හැදුණේ ඉහත අාකාරයට බව සමහර ගම්මුන් කීවත් තවත් කතාවකින් කියැවුණේ කුමාරවරුන් තිස්දෙනා ජල ක්‍රීඩාවේ යෙදුණු ස්ථානය ‘ගලකැප්පූවළ’ ලෙසයි. 


කුමාරවරු යුද්ධයෙන් ජයගෙන මෙහි පැමිණි පසු සිදුවී ඇති විපත දැක. එම වළෙහි තිබූ බිසෝවරුන්ගේ මීනි ගොඩගෙන සොහොනක් කරවු බවද සඳහන්ය. අද වෙනකොට මෙම ස්ථානය හඳුන්වන්නේ සොහොන් කැලේ කියාය. බිසෝවරුන්ගේ මීනි ගොඩ ගන්නා විට එක් මිනියක් ජල පහරට හසු වී ගලා ගිය අතර පසුව එම මිනියද රැගෙන සොහොනක් කර පිළිස්සූ අතර ඒ වනවිට ඇය ගැබ්බරව ඇති බව හෙළි විය. 


මෙම කුමාරිය දර සෑයේ දමා පිලිස්සූ පසු පසුදා එම ප්‍රදේශයේ තොරතුරු බැලීමට ගිය අයට එම සොහොනේ අළු මත කුඩා ළමයකු සෙල්ලම් කරමින් සිටිනු දැක ගැනීමට හැකි වී තිබෙනවා. පසුව මෙම කුමරා ඔත්තු බැලීමට පැමිණි පිරිස රැගෙන ගොස් ඇති දැඩි කර අතර පසු කාලයකදී ‘දාපූලුසෙන් රජු’ ලෙසින් ප්‍රකට වූයේ ඔහුය. 


දැපුලුසෙන් විහාරය හෙවත් රාජගිරි මල්පහ විහාරය ලෙස හඳුන්වන අද දිප්පිටියේ පිහිටි රාජගිරි මල්පහ විහාරය ඊට සාක්කි දරන බවද ගම්මුන් අපට කීහ. 


රහලගලේ ජනාවාස ඉදිවීම 


පුරාණ කතා රැසකටම සාක්ෂි සපයන රහලගල ජනාවාස ඇති වන්නේ මිට වසර 53කට කලින්ය. රහල ගල පිහිටා ඇත්තේ ද අහුපිනි ඇල්ල කඩා හැළෙන නිම්නයේ එක් කඳු මුදුනකය. එම කඳු මුදුනේ සිට ද අසුපිනි ඇල්ල නැරඹීමට හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 2900 ක උසකින් යුත් මෙම හුදකලා කන්ද අක්කර 800 ක භූමි ප්‍රමාණයක විහිදී පවතී. මේ ගමේ මුල් පදිංචිකරු වන්නේ දැනට වයස 74 ක් වන ටී.ජී. මාර්ටින්ය. 
රහලගලේ පුරාණ කතාවක් මාර්ටින් අපට කීවේය. 


මහත්තයෝ ඒ දවස්වල මේ හුදකලා කන්දක් නිසා යුධ පුහුණුවීම් කටයුතු පෙර රජ දවසේ කළා කියලා සඳහන් වෙනවා. සැලව විහාරය තිබුණ නිසා මෙම ආසන්නයේ ඒ පිළිබඳ හිතන්න පුළුවන්. ඒ වාගේම මේකේ රජ මාළිගාවක් තිබිලා තියනවා. බෙහෙත් පැළෑටි ද බොහොමයක් තිබිලා තියනවා. 


මේකෙ නිරිත දිග හුලංගල නිම්නයෙන් වැටෙන අසුපිනි ඇල්ලේ ඔය මිනී කඳවළ (බිලි ගන්නා ස්ථානයක්) කියන තැනින් උමංගයක් තියනවාලු. ගම්පොළට එක මහවැලි ගඟෙන් මතු වෙනවා කියලා අපි අහලා තියනවා යැයි ඔහු අප සමඟ පැවැසීය. 


අප මේ පිළිබඳ පැරැණි පොත් පත් සබරගමු වංශ කථාව වැනි පැරැණි පොත් රහල ගල පිළිබඳ තොරතුරු සොයා ගැනීමට උත්සාහ කළෙමු. එහිදී අපට මේ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. 
එහි සඳහන් පරිදි රහලගල පෙදෙසේ රාවණා රජුගේ මාළිගාවක් හා ඖෂධ උයනක් තිබූ බවත් මෙම ප්‍රදේශය රජුගේ දඩයම් බිමක් වූ බව ද කියැවේ. දොළොස්බාගේ පිහිටි රස්සාව කඳු ප්‍රදේශයේත් රහලගලෙත් යක්ෂ ගෝත්‍රිකයන් සිට ඇත. දැනට මෙහි ඇති සෙල් ලිපිවලින් අතීතය පිළිබඳ බොහෝ දේවල් හෙළි වේ. මේ බව පුරා විද්‍යා ගවේෂණවලින් තහවුරුවී ඇති බව පොත් පත්වල සඳහන් කර ඇත. කොහොඹ කංකාරි ශාන්ති කර්මයෙහි ඇති කවිවල සඳහන් පරිදි අතීතයේදී රහලගල මුදුනේ වැදි ජනයා ජීවත් වූ බව සඳහන්ය. පසු කාලයකදී වළගම්බා ආදී රජවරුන් තම ආරක්ෂාව පතා මෙම ප්‍රදේශයට පැමිණ මාළිගාවක්ද ඉදිකළ බවත් ඒ වකවානුවේ අලි ඇතුන්ද රහලගලේ සිටි බව ජන කවිවල පවා කියැවෙන බව මෙම ග්‍රන්ථවල සඳහන්. 


කඳු මුදුනේ තිබෙන හළුව නම් ගලෙහි දවුලක් හා කඩිප්පුවක් කොටා ඇති අතර ඒවායේ හඬ ඇසෙන තුරාවට ප්‍රදේශය පර්වත පාමුල පිහිටි සැලව රජමහා විහාරයට අයත්ව තිබූ බව පැවසේ. නිදන්ගල නම් ගල් කෙමක්ද කඳු මුදුනේ ඇත. තවද ගස්වැල් හා උෂ්ණත්වය ද මෙහි අනිකුත් ප්‍රදේශයන්ට වඩා වෙනස්කමක් ඇති බව සඳහන්ය. මෙම ඓතිහාසික කරුණු නිසා මෙම පර්වතය පුරාණයේ වැදගත් ස්ථානයක්ව තිබී පසු කාලෙකදි මනුෂ්‍ය වාසයකින් තොරවී හුදකලාව තිබියදී මාර්ටින් මුල් පදිංචියට පැමිණ ඇත. අද වනවිට ජනවාස ව්‍යාප්ත වූ බව පෙනේ.  

 

 

 

 


මතු සම්බන්ධයි. 

 

 


ඡායාරූප හා සටහන
මාවනැල්ල හෙම්මාතගම 
සමන් විජය බණ්ඩාර