බිරියට බෙහෙත් ගේන්න බෝතල් සෙවූ දරුවෙක්


​පෙර භවයේ ප්‍රබල සාක්කි   

 

දස මසක් වයස වූ පුංචි දරුවා යන්තම් දෙපයින් නැගිට ඇවිදින්නට විය. වැටි වැටී ඇවිදින දරුවා දිනක් නිවසේ තිබූ බෝතලයක් අතට ගත්තේය. තම පුත්‍රයා එමගින් අනතුරක් සිදුකරගනු ඇතැයි සිතූ මව ඔහු අත තිබූ බෝතලය ඉවත් කළාය. දැඩි ලෙස කෝපයට පත්වූ දරුවා එය නැවත මවගෙන් ලබා ගැනීමට උත්සාහ කළේය. එහෙත් මව ඊට ඉඩක් නොදී බෝතලය වෙනත් ස්ථානයක තැබුවාය. 
  
දින කීපයක් ගත විය. නැවතත් නිවසේ තිබූ බෝතලයක් දුටු දරුවා එය අතට ගත්තේය. එදින ද මව එය දුටු විගස ඔහු අත තිබූ බෝතලය ඉවත් කළාය. එදින ද දරුවා දැඩි කෝපයට පත්විය. මේ අයුරින් එම දරුවා බෝතලයක් දුටු විගස එය ලබා ගැනීමට උත්සාහ කිරීම සිරිත වී තිබිණි.   


තම පුත්‍රයා බෝතල්වලට මහත් ප්‍රියක් දක්වන්නේ යැයි මව සිතුවාය. තවත් මාස කීපයක් ගත විය. දිගින් දිගටම ඔහු බෝතල් එකතු කරන්නට උත්සාහ ගන්නා බව මවට දක්නට ලැබිණි. තම පුත්‍රයාගේ මෙම ආශාව පිළිබඳව මවට මහත් ගැටලුවක් ද විය. ඒ වන විට ඔහු විසින් එකතු කරගෙන තිබූ බෝතල් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවද ඇයට දක්නට ලැබිණි. මේ වන විට ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ද ලැබී තිබිණි.   


දිනක් බෝතලයක් ගෙන සෝදන අයුරු දුටු මව   “මොකටද පුතේ බෝතල සෝදන්නේ? යැයි ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දරුවා. ‘නෝනට බෙහෙත් ගේන්න’ යැයි පැවැසීය. පුත්‍රයාගේ පිළිතුරෙන් මව මවිතයට පත්වූවාය. නිවස තුළදී කළ කතා බහක් ශ්‍රවනය වීමක් නිසා දරුවා එසේ පවසන්නේ යැයි මව සිතුවාය. ඔහු පෙර භවයක් පිළිබඳව තොරතුරු හෙළි කිරීමක් ආරම්භ වී ඇතැයි මව නොසිතුවාය. එහෙත් පෙර මතක සටහන් අනාවරණය කළ දරුවා පෙර භවයේ චාර්යාවන් මතු කරන්නට විය.   


බෝතලයක් අතට ගෙන නිවසින් පිටතට පැමිණෙන දරුවා තනිවම කතා කරමින් ‘නෝනට බෙහෙත් ගේන්න යනවා.’ යැයි කියමින් නිවසින් පිටවී යාමට ද උත්සාහ ගැනීම ද සිරිතක් බවට පත් විය. වරින්වර පෙරභව මතක තොරතුරු හෙළි කළ ඔහු ‘මගේ නෝනාට සනීප නැතුව මම බේත් ගේන්න ගියා. එතකොට මට කියන්නේ මත්කාර් කියලා.’ යැයි වරක් මව සමග කීවේය. තම පුත්‍රයා පෙර භවයක් පිළිබඳව හෙළිකරන්නේ යැයි මවට සැක සිතුණි. ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශ ගැන මව දැඩි අවධානයක් යොමු කරන්නට වූවාය.   


 ඔවුන් පදිංචිව සිටි ගම් ප්‍රදේශයක් ද හෙළි කළ දරුවා එහිදී ඔහු ඝාතනය වූ බවක් ද අනාවරණය කළේය.   


‘එද‌ා මම නෝනට බෙහෙත් ගේන්න ගියා. එතකොට මිනිස්සු ගොඩක් එකතුවෙලා මට ගැහුවා. මගේ ඔළුවට පොල්ලකින් ගහල හෙල්ලකිනුත් ඇන්නා.’ යැයි ද කීය. ‘මම බිම වැටුණාම වතුර ඉල්ලුවා. කව්රුත් මට වතුර දුන්නේ නැහැ.’ යනුවෙන් පෙර භව මතකයෙන් ඔහු කියා සිටින්නට විය.   


තම පුත්‍රයා කිසියම් පෙර භවයක් පිළිබඳව අනාවරණය කරන බැව් මේ වන විට දෙමාපියන්ට පැහැදිලි වූ නමුත් ඒ පිළිබඳව සොයා බැලීමකට ඔවුහු ඉදිරිපත් නොවූහ. එහෙත් දරුවාගේ පෙරභව තොරතුරු හෙළි කිරීම දිනෙන් දින වැඩි දියුණු වන්නට විය.   


මේ අතර එම දරුවාගේ හිසේ සහ සිරුරේ ස්ථාන කීපයක උපන් ලප පිහිටා ඇති බැව් ද දෙමාපියන්ට දක්නට ලැබිණි. ඔහු හෙළිකරන කරුණු සොයා බලන ලෙස පවුලේ ඥා‌ාතිවරයෙක් දෙමාපියන් උනන්දු කළේය. එ් අනුව පුත්‍රයා අනාවරණය කරන තොරතුරු ලිඛිත සටහනක් ද සකස් කැරිණි. ඔහු මරණයට පත්වූ ප්‍රදේශයත් එය සිදුවූ ස්ථානයත් සමග පුද්ගල නම් කීපයක් ද විය. මරණයට පත්වී ඇත්තේ කිසියම් අරගලයක් සිදුවන අවස්ථාවේ බවත් දෙමාපියන්ට පැහැදිලි විය. එම අරගලයට මුස්ලිම්වරුන් සම්බන්ධ බව ද දරුවාගෙන් හෙළි විය.   


‘ඔයාට ඉස්සර ගෙදර හොයා ගන්න පුළුවන්ද? යැයි ඥාතිවරයා එම දරුවාගෙන් දිනක් විමසා සිටියේය.   


‘මම ගෙදර හොයා ගන්නම්. මට ඒ ගෙදර හොඳට මතකයි.’ යනුවෙන් දරුවා පිළිතුරු දුන්නේය. ඒ අනුව පෙර නිවස සොයාගෙන යාමට දෙමාපියෝ ද එකඟ වූහ.   


දිනක් දෙමාපියෝ දරුවාද කැටුව පෙර නිවසට යාමට පිටත් වූහ. නිවරදි ගමන් මාර්ගය ඔස්සේ දරුවා ගමන් කළේය. පෙර නිවස සොයා ගිය දරුවා නිවස තුළට යන විට පෙර භවයේ මව නිවසේ සිටියාය. වහා මව වෙත ගිය පුංචි දරුවා මව හඳුනා ගනු ලැබුවේ රැස්ව සිටි අය පුදුමයට පත්කරවමිනි.   


එම දරුවා හෙළි කළ පෙරභවයේ තැනැත්තා පදිංචිව සිටියේ ඉන්දියාවේ කාත්පූර් ප්‍රදේශයේය. තිදරු පියෙක් වූ ඔහු මරණයට පත්ව තිබුණේ 1931 වසරේදී ඇතිවූ මුස්ලිම් හින්දු ගැටුමක් නිසාය. ඒ වන විට ඔහු තිස්පස්වන වියේ පසුවූ විවාහක පුද්ගලයෙකු විය. ඔහුගේ බිරිය රෝගී තත්ත්වයේ සිටීම නිසා ඇයට බෙහෙත් ගෙන දීමට නිතර ඔහු වෛද්‍යවරුන් වෙත යාම ද සිරිත බවට පත්වී තිබිණි.   


එද‌ා ඔහු අරගලයට මැදිවූ දිනයේදී ද බිරියට බෙහෙත් ගෙන ඒමට බෝතලයක් ද අතැතිව ගොස් තිබිණි. බෙහෙත් ලබාගෙන නිවසට එන අතර ඔහු අනතුරට පත් විය. එදින කලහකාරී ලෙස හැසුරුණ පිරිස සියයකට අධික පිරිසකට තුවාල සිදුකළහ. කලහකාරීන් අතර සිටි අයෙක් ඔහුට පොල්ලකින් පහර දුන්නේය. එය හිසට වැදුණ අතර ඔහු බිම ඇද වැටිණි. එහි සිටි තවත් අයෙක් ඔහුට හෙල්ලකින් අනිනු ලැබීය. එයින් ඔහු මරණයට පත් විය.   
මෙම දරුවා පෙරභව නිවසට පැමිණීමේ ආරංචිය ප්‍රදේශය පුරා පතළ වීමෙන් පසු විශාල පිරිසක් එහි රැස්වූහ. එහිදී ඔහුගේ පෙරභව ඥා‌ාති හිතමිතුරන් රැසක් නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. පහරදෙනු ලැබූ හෙල්ලේ හැඩය ද මෙම දරුවා අනාවරණය කළේ පුදුමාකාර ලෙසටය. ඒ වන විට දරුවා පස්වන වියේ පසුවිය. මෙම පුනර්භව සාධකය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉන්දියාවේ THE LEADER පුවත්පත 1938 අප්‍රේල් 30 වැනිද‌ා කලාපයෙන් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. අනතුරුව පුනර්භව පර්යේෂකයෝ මෙම කතා පුවත දැඩි විමර්ශනයකට ලක් කළහ.   


දීර්ඝ ලෙස පර්යේෂණවලට ලක් කළ එම දරුවාගේ පෙරභව සිදුවීම් විමර්ශනය කළ මනෝ විද්‍යා පර්යේෂකයෝ පෙරභවයේ සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා ද විමසා බැලූහ. එහිදී හිසට පොලු පහරක් වැදී ඇති බවත් අනතුරුව හෙල්ලකින් ඇනීම නිසා මරණය සිදුවූ බවත් මරණ පරීක්ෂණ වාර්තා මගින්ද සනාථ කිරීමට හැකි විය.   


පර්යේෂකයන් විසින් එම සිදුවීම දරුවාගෙන් විමසූ අවස්ථාවේ ඔහු අනාවරණය කළ තොරතුරු පර්යේෂණ වාර්තාවල ඇතුළත් කර ඇත්තේ මෙසේය. 

 
‘එද‌ා මම නෝනට බෙහෙත් ගේන්න ගියා. ඒ වෙලාවේ මගේ යාළුවෙක් හමුවුණා. මම එයත් එක්ක එනකොට පාරේ පිරිසක් එකතු වෙලා කෝලහලයක් සිදුකරමින් සිටියා. එහි සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් මට පහර දුන්නා. එක් අයෙක් මගේ හිසට පොල්ලකින් ගැහැව්වා. මම බිම වැටුණා. එතන විශාල පිරිසක්​ ​රැස්වෙලා හිටියා. පොලුපාර මගේ හිසට වැදුණා. මම බිම වැටුණාම තවත් අයෙක් හෙල්ලකින් මට ඇන්නා. මම වතුර ඉල්ලුවා කව්රුවත් මට වතුර දුන්නේ නෑ.’ යැයි ද දරුවා ප්‍රකාශ කළේය.  


අනතුර සිදුවන ආකාරය ඉතා පැහැදිලිව හෙළි කළ පුනර්භව සාධකයක් ලෙස ද මෙම දරුවාගේ කතා පුවත පර්යේෂණ අතරට එක්වී ඇත. ඒ සමගම පෙර භවයේ පැවති හැසිරීම් රටාවක් ඒ අයුරින්ම යළි උපන් දරුවකු මගින් ඉදිරිපත් වූ සිදුවීමක් ලෙස ද මෙම දරුවාගේ පුනර්භව සාධකයට ප්‍රබල සාක්කි ඇතුළත් වී ඇත. පෙරභවය හෙළි කළ දරුවන්ගේ හැසිරීම් රටා පෙරභවයට සම්බන්ධ වීම පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවට ඇතුළත් වී ඇත්තේ (BENAVIOR RELATED TO PREVIOUS LIFE) යනුවෙනි.  


 මෙම දරුවාගේ පෙරභව තොරතුරු අතර තිබූ තවත් විශේෂත්වයක් වූයේ ඔහුට අනතුර සිදුවන අවස්ථාව ඉතා පැහැදිළිව හෙළි කිරීමට හැකියාව තිබීමය. එද‌ා ඔහුට අනින ලද හෙල්ලේ හැඩරුව ඇතිව අනාවරණය කිරීමට ද එම දරුවාගේ පෙර භව මතකය රැඳී තිබිණි.  


මෙම දරුවාගේ හිසේ සහ සිරුරේ දක්නට ලැබුණු උපන් ලප පෙරභවයේදී සිදුවූ අනතුරෙන් ලද තුවාලවලට සමාන වීම ද තවත් ප්‍රබල සාක්කියක් බවට පත් විය.  

 


තිස්ස ජයවර්ධන