බැතිමතුන්ගේ බලාපොරොත්තු ඉටුකරන ඓතිහාසික වැඩසිටිකන්ද


 

සිංහල බෞද්ධ ජනතාව වැඩසිටි කන්ද නමින්ද, හින්දු ජනතාව ඒළු මලේ නමින්ද අතීතයේ සිට හඳුන්වන කතරගම වැඩසිටි කන්ද රාජමහා විහාරස්ථානය අද වන විට බැතිමතුන්ගෙන් පිරී පවතින පිංබිමක් බවට පත්ව තිබේ. හේම කූඨය, දක්ෂිණ කෛලාසය, අංජන පර්වතය, සිංහාසන කන්ද, මැදුම් හෙලය යන නම්වලින්ද හැඳින්වෙන මෙම පුණ්‍ය භූමිය කතරගම සිට සැතපුම් තුනක් පමණ දුරින් දකුණු දෙසින්ද පිහිටා ඇත. 


වැඩසිටි කන්ද තවත් කඳුවැටි හයකට මැදිව පිහිටා තිබීමද තවත් ආශ්චර්යමත් සිද්ධියකි. ⁣‘‘මැදුම් හෙලය”‍ යනුවෙන් හඳුන්වන්නේද මේ නිසාම විය හැකිය. මහාසේන රජු මෙහි රජ කරන සමයෙහි සෙසු හිතෛෂී ජනතාව, ආශ්‍රිත කඳු පද්ධතියේ සිටින්නට ඇතැයි කියති. රජුගේ සේනාධිපති කඩවර විසූ කන්ද, කඩවර කන්ද නමින්ද, අනෙකුත් යක්ෂ සේනාපති ‘‘ප්‍රකාශ”‍ විසූ කන්ද ප්‍රකාශ කන්ද නමින්ද, උමග ඇති කන්ද උමං කන්ද නමින්ද, උයන් පැවති කන්ද උයන් කන්ද නමින්ද, කුමාරවරුන් විසූ කන්ද කුමාර කන්ද නමින්ද, බණ්ඩාරවරුන් විසූ කන්ද බණ්ඩාර කන්ද නමින්ද ව්‍යවහාර කරති. 


මුහුදු මට්ටමේ සිට අඩි 1000 ට වැඩි උසකින්ද, පහත බෝමළුවේ සිට පා ගමනින් තරණය කරන විට කිලෝමීටර් එකයි මීටර් 800 ක දුරක්ද ඇති බව පැවසේ. 
ස්කන්ධ කුමාරයාගේ ශක්ති අනභිභවනීය වේලායුධය සහ දක්ෂිණ කෛලාසනය කඳු මුදුනේ සැතපුන ගලේ තැන්පත්කොට ඇති බවට රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් රචිත ‘‘කන්ද කුමාර පූජාමාලා”‍ ග්‍රන්ථයේ සඳහන් වේ. 


තවද සිංහාසන කන්දේ සිට කාලපන්දම්, දෙවොල් පන්දම්, ආලත්ති පන්දම්, ඇවරි පන්දම් ආදිය රැගත් පෙරහරවල් ඇසළ උත්සවයේදී කතරගම දෙවොල කරා ගිය බව සඳහන් වීමෙන් දුටුගැමුණු රජු කතරගම දෙවොල ගොඩනැගීමටත් පෙර වැඩසිටි කඳු මුදුනේ සැතපුණ ගලේ කතරගම දෙවියන් උදෙසා දේවාලයක් තිබූ බවට විශ්වාසයක් පවතී. 

 


වැඩසිටි කන්දේ සිට මහා දේවාලය දක්වාත්, සෙල්ල කතරගම වල්ලි ගුහාව රාජමහා විහාරය දක්වාත් උමගක් (ගුහාවක්) ඇති බව ජනප්‍රවාදයේ දැක්වේ. එපමණක් නොව කඳු මුදුනේ නැගෙනහිර දිසාවට වන්නට බෑවුමේ නොසිඳී පවත්නා ජල පොකුණක් පිහිටා ඇති බවත්, කතරගම දෙවියන් හා වල්ලි අම්මා දේවිය දියනෑම සඳහා මෙම පොකුණ යොදාගෙන ඇති බවත් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. 


තවත් විස්මය දනවන සිදුවීමක් වන්නේ කඳු මුදුනේ සිට බලන්නෙකුට කතරගම මහා දේවාලයත් කිරි වෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේත්, එකම සරල රේඛාවක පිහිටා තිබීමය. 


මෙහි ඉහළ මාලයෙහි ඉන්දියාවේ සිට වැඩම කරවන ලද ආනන්ද බෝධියේ අංකුරයක්ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර දෙකක්ද රෝපණය කර තිබෙන බවත් බොහෝ බැතිමතුන් දිනපතා බෝධි පූජාවන් සඳහා පැමිණෙන බවත් ඊශ්වර මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර විජේපාල ජයකොඩි මහතා පෙන්වා දුන්නේය. 


තවද ලෝකවාසී ජනතාව වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත පැමිණ වැඳ පුදා ගනිමින් තම අපල උපද්‍රව දුරුකොට දෙන ලෙසට අයැද සිට බාර හාර සපල වී ඇති බව පවසමින් ඒවා ඔප්පු කිරීම සඳහා නිරන්තරයෙන් බොහෝ පිරිස් පැමිණෙන බවද කතරගම දේවාලය බාරව තේවා කටයුතු සිදුකරන ‘‘කුමාර සාමි”‍ කපු මහතා ප්‍රකාශ කළේය. 

 


අලි, කොටි, වලසුන් වැනි වන සතුන්ගෙන් හා විවිධ විෂඝෝර සර්පයින්ගෙන් ගහනව ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටි මෙම ඓතිහාසික පුදබිම ලෝකවාසී බැතිබර ජනතාවට උරුමකර දීමට මූලිකත්වය ගෙන ඇත්තේ මීට වසර 55 ට පමණ පෙර පැමිණි බව කියන රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්ය. 
කන්ද මුදුනේ උසම ස්ථානයේ මැද පෞරාණික ගොඩනැගිල්ලක නටබුන් තිබී ඇති අතර ඒ මත දෙවියන්ගේ ශෑලායුධය සවිකර තිබූ බවත්, එම වකවානුවේදී කලාතුරකින් පැමිණි බැතිමතුන් එම ස්ථානයේ පූජාවන් පවත්වා ගිය බවත්, ගරාවැටී තිබූ පෞරාණික දේවාලයේ නෂ්ටාවශේෂ අතර හතරැස් ගඩොල් වර්තමානයේද දැකගත හැකි බවටත් රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් විසින් රචිත ග්‍රන්ථයක සටහන් වී ඇත. 


ඓතිහාසික වැඩසිටි කන්ද වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව තේරුම්ගත් විහාරාධිපති හිමියන් දේවාල, චෛත්‍යය, බුද්ධ මන්දිර පමණක් නොව ධර්මශාලා, දාන ශාලා, විශ්‍රාමශාලා, ජල ටැංකි, වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ඇත්තේ කරමතින් ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති යනාදිය රැගෙන යාමෙනි. 


එපමණක් නොව වයෝවෘද්ධ වූවන්, ආබාධිත පුද්ගලයින් හා රෝගීන් වෙනුවෙන් වාහනයක් ගමන් කළ හැකි වනසේ සකස්කර ඇති කොන්ක්‍රීට් මාර්ගයද තවත් විශ්මකර්ම නිර්මාණයකි. මෙම සියලුම ඉදිකිරීම් සඳහා කිසිදු ඉංජිනේරුවෙකු හෝ කාර්මික නිලධාරියෙකුගේ සහාය ලබා නොගැනීමද මවිතය ගෙන දෙන්නකි. 


මෙහි පහත මළුවේ බෝධීන් වහන්සේ අසල සිට පඩිපෙළෙන් නගින බැතිමතුන් සඳහා කුඩා ඊශ්වර දේවාලයක්ද, ගණ දේවාලයක්ද, කාලි දේවාලයක්ද, සූනියම් දේවාලයක්ද පිහිටුවා ඇති අතර කඳු මුදුනේ ඊශ්වර දේවාලයද, කතරගම දේවාලයද හා කඩවර දේවාලයද පිහිටුවා තිබේ. 


සතියේ සෑම දිනයක් තුළදීම වැඩසිටි කන්ද වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් පැමිණෙන අතර සති අන්තවලදී මෙන්ම පොහෝ දිනයන්වලදී වැඩි බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ බාර වී ගිය අරමුණු ඉටුවීම නිසා ඒවාට ප්‍රති උපහාර දැක්වීම සඳහා බව කපු මහත්වරු පෙන්වා දෙයි. 


වැඩසිටි කන්ද විහාරස්ථානයට අමතරව සෙල්ලකතරගම ගඟේ දේවාලය හෙවත් ගණ දේවාලයේද නිර්මාතෘ ලෙස කටයුතු කළ රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ ප්‍රදේශවාසී දිළිඳු ජනතාවටත්, ඉතා අපහසුවෙන් පවත්වාගෙන යනු ලබන අවමංගල්‍ය ආධාර සමිති ඇතුළු ස්වේච්ඡා සංවිධානයන්ටත් මුදල් හා ද්‍රව්‍ය ආධාර පිරිනමමින් විශාල මෙහෙවරක් ඉටුකළ හිමි නමක් බව ප්‍රදේශවාසීහු කියති. 


එමෙන්ම විශේෂ පුද පූජා විදි, ජ්‍යොතිෂය, වෛද්‍ය, ගුප්ත විද්‍ය, ශාස්ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර ඇතුළු බොහෝ අංශයන්ගෙන් කෘතහස්ත දැනුමක් ලබා සිටි රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියෝ 2011 අප්‍රේල් 12දා අපවත් වූහ. 


එම අභාවයත් සමගම ඊළඟ උරුමකරුවා ලෙසත්, වත්මන් වැඩසිටි කන්ද විහාරාධිපති ලෙසත් කටයුතු කරනු ලබන්නේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නායක හිමියන් විසිනි. 
සෙල්ලකතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් විහාරස්ථානය, ගලහිටිය දියවර ගම්මානයේ ශ්‍රී රාජාරාම විහාරස්ථානයේද විහාරාධිපතිත්වය උසුලනු ලබන උන්වහන්සේ වැඩසිටි කන්ද රාජමහා විහාරස්ථානය බැතිමතුන්ගේ සුව පහසුව උදෙසා දිවා රාත්‍රිය ගතකරමින් සියලු අඩුපාඩු සපුරාලමින් පසුවෙති. 
පහත මාලයට පිවිසුම් තාප්පය සහිත වාහල්කඩ, පහත මාලයේ බෝ මළුව ඇතුළු ධර්ම ශාලාව, උඩමළුවට ඇති පඩිපෙළ සහිත අත් වැට, උඩ මළුවේ අභිනව චෛත්‍යය, බෝ මළුව, ධර්ම ශාලාව, දාන ශාලාව, මුළුතැන්ගෙය ඇතුළු විහාරස්ථානයකට තිබිය යුතු සෑම අංශයකින්ම අඩුපාඩු සපුරාලීමට වත්මන් විහාරාධිපති හිමියන් සමත්වී ඇති බව පෙනීයන්නේ වැඳ පුදා ගැනීමට යන එන බැතිමතුන්ට පමණි. 

 

 

විස්තර හා ඡායාරූප
කතරගම එම්.කේ. නන්දසේන