බැංගලෝරයේ දින සතක සොඳුරු සැරිසර මතක


රටකින් රටකට

මයිසූර් මාලිගය

 

ඉන්දීය වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ 71 වැනි මහ සමුළුව ඉකුත්දා ඉන්දියාවේ බැංගලෝරයේ පැවැති අතර මේ සඳහා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු 24 දෙනෙක් සහභාගි වූහ. මේ එම සමුළුවට එක්වූ මාධ්‍යවේදියකුගේ අත්දැකීම් සමුදායයි.   


රටක භෞතික සංවර්ධනය මෙන්ම අාධ්‍යාත්මික දියුණුව එරට අනාගතය පිළිබඳ සුබ නිමිති පළ කරන විසල් කැටපතක් බඳුය. ඉන්දියාව වූ කලී එකී කැටපත අබියස සිය හැඩරුව පිරික්සන ගලිවරයෙකි. මේ අදීන ගලිවරයාට පොලු මුගුරු කැට කැබැලිතිවලින් පහරදීමට මානබලන බටහිර රටවල උඩඟු නායකයෝ කිහිපදෙනෙක් ද සිටිති.   


එහෙත් මහ පොළොවේ දෙපයින් නැගීසිටින මේ සුවිසුරු ගලිවරයා බිම හෙළීමට කිසිදු බලවේගයකට නොහැකිය. මාතීර් මොහොමඩ් ලීක්වාන් යූ වැනි බුහුටි රාජ්‍ය තාන්ත්‍රික නයුවන් මෙන් ඉන්දියාව මෙකී ආධ්‍යාත්මික සහ භෞතික දියුත්හුව කරා කැටුව ආවේ මහත්මා ගාන්ධි ශ්‍රී ජවහල්ලාර් නේරු වැනි දූරදර්ශී අදීන නායකයන්ය.   


ඔවුහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නයුවෝ වෙති. ඔවුනගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම නොවන්නට ඉන්දීය ගලිවරයා ද අනෙක් බලගතු රටවල ගොදුරක් වනු නොඅනුමානය. ලංකාව වනාහී මේ සුහද අසල්වැසි මිතුරු ගලිවරයාට පෙම් බඳින ලිලිපුට්ටෙකි. මේ නිහතමානී ගලිවරයා ලංකාව නමැති ලිලිපුට්ටාට ව්‍යසනකාරී අවස්ථාවල දෑත දිගු කරන අයුරු අපි දැක ඇත්තෙමු.  


ඉන්දීය වෘත්තීය පත්‍රකලා වේදීන්ගේ ​ෆෙඩරේෂණයේ (Indian Federation Of Working Journalist) ඇරියුමකට අනුව ශ්‍රී ලංකා පත්‍රකලා සංගම නියෝජනය කරමින් රටේ පිළිගත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු 24 දෙනෙක් ඉකුත් දිනවල බැංගලෝරයේ මාධ්‍ය සංචාරයක නිරත වූහ. මේ ලියුම්කරුට ද එකී මාධ්‍ය සංචාරයට සහභාගිවීමට අවස්ථාව ලැබිණි.  


ඉන්දියාවේ පොන්ඩිචේරි, චෙන්නායි, බොම්බාය, කල්කටාව, දිල්ලිය යන විසල් නගර අතරේ තවත් සුවිසල් නගරයක් වන බැංගලෝරය සුන්දර රූමතියක් සදිසිය. එක්තරා කාලයක ඉන්දියාවේ තවත් එක් නගරයක් පමණක් වූ බැංගලෝරය නවීකරණය වන්නට පටන් ගත්තේ රාජ්‍ය ආරක්ෂක සහ විදුලි සංදේශ අඩවි එහි පිහිටුවීමත් සමග යැයි ඉතිහාසඥයෝ කියති. මේ නවීකරණය වීම මෑතකදී තවත් විශාල වෙනස්කම්වලට බඳුන්වූයේ බැංගලෝරය ඉන්දියාවේ තාක්ෂණ දැනුම පිළිබඳ අඩවියක් ලෙස පහළවීමත් සමගය.  


අතමිට සරු නවීන පන්නයේ පිරිසක් හැටියට වත්මන් බැංගලෝර් නගරවාසීහු නම් දරා සිටිති. බැංගලෝරයේ එක් දවසකට පමණක් වාහන හත්අට සියයක් අලෙවි කෙරේ. දිනපතා පුවත්පත්, සතිපතා පුවත්පත් හා සතිවාරික පුවත්පත් ඉංග්‍රිසි ඇතුළු ප්‍රාන්ත භාෂා සියල්ලෙන් දහස් ගණනින් මුද්‍රණය වන අතර තමනට ඇති තොරතුරු දැනගැනීමේ අයිතියද ඔවුහු මුල් තැන්හිලා සලකති.  

 


ඉන්දීය ප්‍රෞඪත්වය  


ඉන්දියාව ප්‍රෞඪත්වයට පත්කළ දෑ බොහෝය. ඔවුහු තමන් සතු තාක්ෂණික විද්‍යා දැනුම පෞරාණික සම්පත් ගැන මෙන්ම සන්නද්ධ හමුදාව ගැනද ආඩම්බර වෙති. දුම්රිය සේවා, තැපැල්, ආයුර්වේද වෛද්‍ය ක්‍රම යෝග ව්‍යායාම ක්‍රම හා බොලිවුඩය ගැනද ඔවුහු නිතර උදම් අනති. තමන් සතු බයිසිකලය ත්‍රි​ෙරා්දරිය මෝටර් රිය අඳින ඇඳුම පැලඳුම සහ පානය කරන කිරි කෝප්පය කෙරෙහි වුවද ඔවුහු නිරාමිස සතුටක් භුක්ති විඳිති. ඊට ප්‍රධාන හේතුව වනුයේ මෙකී සියල්ල ඔවුනගේම නිෂ්පාදන වීමය. මෙයට අමතරව පසුකාලීනව විලාසිතාවක් බවට පත්වූ නේරු ජැකට්ටුව ගැන ද ඉන්දීය රූමතියන්, නළු නිළියන්, ක්‍රීඩකයන්, ලේඛකයන්, ගායකයන් හා සංගීතඥයන්, සාරි නිෂ්පාදන ගැනද ඔවුහු ආඩම්බර වෙති. අපේ රටේ මෙන් ඉන්දියාවේ මවුපියන්ට සිය දියණිය සරණපාවා දීමේදී දෑවැදි සෙවීමට වෙහෙසිය යුතු නැත.  


ඔවුනට ඇගේ නර්තන හා ගායන කුසලතාවන් වුවද සිය බෑනාවරුන්ට දෑවැදි හැටියට දිය හැකිය. සරස්වතියට පෙම් බඳින හැම නිවෙසකම කුඩා කලාගාරයක් තිබේ. අපේ රටේ මාතර බත් කඩ ගම්පහ බෙහෙත් ශාලා මෙන් ඉන්දියාවේ සෑම නගරයකම ඇම්.ජී. රෝඩ් (මහත්මා ගාන්ධි පාර) බහුලය. ඇම්.ජී. රෝඩ් නොමැති නගරයක් හමුවන්නේ කලාතුරකිනි. බැංගලෝරයේ ඇම්.ජී. රෝඩ් අනෙක් නගරවල වීදිවලට වඩා තරමක් වෙනස්ය. සෙසු නගරවල වීදි මෙන් දැඩි කලබලකාරී බවක් මෙහි දක්නට නොමැත. ඉද්ද ගැසුවාක් මෙන් දිගට ඇදුණු මහාවීදියේ දෙපස ඇත්තේ අලුතින් ඉදිවන ගුවන් පාලම් සහ තනි තට්ටුවේ සිට අහස සිඹින කඩ සාප්පුය. ඊට අමතරව පදිකවේදිකාව දිගට තිබෙන්නේ ත්‍රිරෝද රථ පෝලිමකි.  


පුංචි එංගලන්තය  


අතුපතර විහිදුණු විසල් ගහකොළ කඳු අතර අපේ රටේ නුවරඑළියට සමාන සෞම්‍ය හා සීතල කාලගුණයකට උරුමකම් කියන මේ විසල් නගරය අතිශය චමත්කාරය. වියළි සිසිල් මදනළ ගත දැවටෙන හැම නිමේෂයකම මට සිහිපත්වූයේ පුංචි එංගලන්තය නමින් විරුදාවලියට පත් අපේ සුන්දර නුවරඑළියයි. අගෝස්තු 16 වැනි බ්‍රහස්පතින්දා අලුයම 1.05 ට පමණ ශ්‍රී ලංකන් ගුවන්යානයකින් උතුරු ඉන්දියාවේ බැංගලෝර් නගරය බලා පිටත්වූ අපි පැය 1 1/2 කට ආසන්න කාලයකදී Kempegowda (කෙම්පේගවුඩා) ගුවන්තොටුපළට ළඟාවීමු.  


ඉන්දීය වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ගුවන්තොටුපළේදී අප සියලුදෙනා මල් මාලා පලඳවා මහත් හරසරයෙන් පිළිගත්හ. ඉන්පසු ඔවුන් සුපිරි බසයකින් අප සියලුදෙනා රැගෙන ගියේ, බැංගලෝරයේ කර්ත්නාටක ප්‍රාන්තයේ පිහිටි The art of Living (ජීවත්වීමේ කලාව) නිර්මාතෘ ශ්‍රී රවිශංකර් නමැති ප්‍රකට අධ්‍යාත්මික නායකයාගේ බසාවා (Basava) ආශ්‍රමයටය. බසාවා ආශ්‍රමය ආශ්‍රිත පූජා නගරයේ සුපිරි නිවාස සංකීර්ණය අපගේ පළමු නවාතැන්පොළ විය.  


ගමන් වෙහෙස පහව ගිය දවසක විරාමයකින් පසු අගෝස්තු 18 වැනි සෙනසුරාදා නිර්මාංශික පාතරාසයකින් පසු උදෑසන 11 ට පමණ අපි සියලුදෙනා ඉන්දීය වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ 71 වැනි මාධ්‍ය සමුළුවකට සහභාගි වීමු. 18-19 දෙදින පුරා පැවැති සමුළුවට විවිධ රටවල් නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක් සහභාගි වූහ. අපි සියලුදෙනා මෙම සමුළුවේදී මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ න්‍යායික සහ ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගත්තෙමු. හරවත් දේශන ගැඹුරු සංවාද මෙහිදී ඇති පදම් තිබිණ.  


මයිසූර් මාලිගය  


මාධ්‍ය සමුළුව පැවැති දෙදින පුරා නිර්මාංශ ආහාරපාන බුක්ති විඳි අපි ඉන් මහත් ආහ්ලාදයක් ලැබුවෙමු. අගෝස්තු 20 වැනි දින අපි තවත් මාධ්‍ය සංචාරයකට එක්වීමු. බැංගලෝරයේ සිට කිලෝමීටර් 186 ක් දුරින් පිහිටි හසන් (Hassan) නමැති සුන්දර පෙදෙසකට ඔවුහු අප රැගෙන ගියහ. මෙම මාධ්‍ය සංචාරයේ මූලික අරමුණ වූයේ බැංගලෝරයේ ඓතිහාසික හා වැදගත් ස්ථාන නිරීක්ෂණය කිරීමය. හසන්හි සදර්න් ස්ටාර් හෝටලය අපගේ මීළඟ නවාතැන්පොළ විය.  


බසාවා පූජා නගරයෙන් විකර්ෂණය වූ අපි සදර්න් ස්ටාර් හෝටලයට වඩාත් ආකර්ෂණීය වීමු. නිර්මාංශ ආහාරවලින් හෙම්බත් වී සිටි ඇතැමකුට මේ නවාතැන්පොළ මහත් අස්වැසිල්ලක් විය. සර්දන් ස්ටාර් හෝටලය ලංකාවේ තරු පහේ හෝටලයක් මෙනි. එහෙත් ඔවුන්ට එය තරු පහේ හෝටලයක් නම් නොවේ. ඔවුන් එය සලකන්නේ තරු තුනේ හෝටලයක් හැටියටය. පිහිනුම් තටාක ඇතුළු සියලු අංගෝපාංගවලින් සමන්විත මෙම හෝටලය පැත්තක මහ පාරට මායිම්ව බෝගන්විලා මල් යායකි.  


එකල බැංගලෝරයේ සෑම පෙදෙසකම සුන්දරත්වයේ සංකේතයක් බඳුවූ බෝගන්විලා මල් පඳුරු අද දුර්ලභය. යුග පෙරැළියත් එක්ක ඇතිවූ ආකල්ප පෙරැළිය හේතුවෙන් සියල්ල විපර්යාසයට බඳුන් වී තිබේ. එදවස නෙතට අඳුනක් වී තිබුණු මෙකී බෝගන්විලා මල් පඳුරු නව දුම්රිය මාර්ග හා තාක්ෂණික ගොඩනැගිලිවලට බිලිවිය. අද ඒ සියල්ල දක්නට නැති තරම්ය. කලාතුරකින් වත්තක බෝගන්විලා පඳුරක් දක්නට ලැබේ. සදර්න් ස්ටාර් හෝටලයේ රැය පහන් කළ අපි පසුදා පාතරාසයට පසු මයිසූර් නගරය බලා පිටත්වීමු.  


ඓතිහාසික වැදගත්කමකින් යුත් රාජකීය මාලිගයක් වූ මයිසූර් මාලිගය (Mysore Palace) නැරඹීමෙන් අපි සියලුදෙනාම ප්‍රීති ප්‍රමෝදයට පත්වීමු. සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම සුවිසල් මාලිගය ගොඩනැගීමට සම්පූර්ණයෙන්ම භාවිත කොට ඇත්තේ දේශීය අමුද්‍රව්‍ය පමණි. මයිසූර් රාජ පරම්පරාව ද මේ වනවිට මාලිගයට මායිම් වන පෙදෙසක ජීවත් වන අතර ඔවුන් නඩත්තු කරනු ලබන්නේ ආණ්ඩුව විසිනි. සියලු කැටයම් කලාවන්ගෙන් සුසැදි සැබැවින්ම සෞන්දර්යාත්මක මනරම් සිහිවටනයකි.  


මයිසූර් මාලිගය පුරා සැරිසරා සුන්දර අත්දැකීම් සම්භාරයක් ලැබූ අපි මීළඟට බැංගලෝරයේ කර්ණාටක ප්‍රාන්ත මන්ත්‍රණ සභාව දැකබලා ගත්තෙමු. මන්ත්‍රණ සභා පරිශ්‍රයට ඇතුළු වන තැනම මහත්මා ගාන්ධිගේ දැවැන්ත පිළිරුවකි. මෙහිදී අපි ප්‍රාන්ත මන්ත්‍රණ සභාවේ කතානායකවරයා සමගද සුහද පිළිසඳරක නිරත වීමු.  


මට හමුවූ මුල්ම ඉන්දීය මිතුරා රාම් ඔස්මාන්ය. ධවල වර්ණයෙන් යුතු රූමත් ගැහැනුන් වෙසෙන බැංගලෝර් නුවර රාම් ගැන නොදන්නා කෙනකු නැතුවා සේම බැංගලෝරය ගැන රාම් නොදන්නා දෙයක්ද නැත. බොහෝවිට හින්දි බසින් කතාකළ ඔහුට ඉංග්‍රීසි බස හැසිරවීමේ මනා නිපුණතාවක් ද තිබිණ.  

 

වෛර්ණ කැටයමින් ඔපකළ මාලිගයේ ඇතුළත

රාජකීය සිංහාසනය

මයිසූර් මාලිගයේ තෙල් සායම් සිතුවමක්

 


ඉන්දීය නව ආකර්ෂණය  


අද ක්‍රමයෙන් ඉතා ශීඝ්‍රයෙන් බැංගලෝරය නවීකරණය වෙමින් පවතී. මහ මාර්ග ගුවන් පාලම් දවසින් දවස ඉදිවන අයුරු පෙනෙයි. මෙයට බොහෝ කලකට පෙර ස්වකීය පෞරාණික සංස්කෘතික උරුමයක් ගැනත් මහත්මා ගාන්ධි ශ්‍රී ජවහල්ලාර් නේරු, ගැනත් ඒ සමගම තාගෝර් සත්‍යජිත් රායි, ක්‍රිෂ්ණ මූර්ති රවි ශංකර්, ආර්.කේ. නාරායන්, දිලීප් කුමාර්, සුනිල් ගවස්කාර්, කපිල් දේව්, සචින් තෙන්දුල්කාර්, ෂාරුක් ඛාන්, ශ්‍රීදේවි, මධුරි ඩික්ෂිත් ආදී සුප්‍රකට චරිත ගැන හැර වෙනත් වැදගත් යමක් ඉන්දියානුවන්ට කතාකිරීමට නොතිබූ තරම්ය.  


එහෙත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්වී තිබේ. අද ඉන්දියාවට සංචාරකයන් වැඩිපුරම අවතීර්ණ වන්නේ බුදුන් ඉපැදුණු දේශය හෝ නළු නිළියන් නයි නටවන්නන්, ව්‍යාඝ්‍රයන් හෝ බැලීමට නොව එහි ඇති විශාල වෙළෙඳපොළේ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමටය.  


රාජකාරි කටයුතුවලින් අනතුරුව අප සංචාරය තුළ ප්‍රදේශ අතර හසන්, මයිසූර් පෙදෙස් සුවිශේෂී වටිනාකමකින් යුත් ඓතිහාසික නගර යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඉන්දියාවේ සංචාරය කරන කවුරුත් මෙන් අපිද සුන්දර සාප්පු සවාරියක නියැළුණෙමු. විවිධ වර්ණයෙන් ඔපකළ වටිනා සාරි, සල්වාර්, ලෙදර් බෑග්, බඳපටි වර්ග අට්ටි ගණන් බැංගලෝරයේ බොහෝ සාප්පු සංකීර්ණවල දක්නට ලැබිණි.  


අධික මුදල් වැය කොට අප ලංකාවේදී මිලදී ගන්නා ඇතැම් ඇඟලුම් මෙන්ම රූපලාවන්‍ය භාණ්ඩද ඉතා අඩුවට විකිණීමට තිබේ. මේ සියල්ලෙන් හැඟී ගියේ ලෝකයේ ඉන්දියාවට ඇති ආස්ථානය වෙන කිසිදු රටකට නොදෙවැනි බවය. මම ඉන්දියාවට ආගන්තුකයකු නොවීමි.  


එහෙත් හා පුරා කියා බැංගලෝරයට ගිය ගමනේ ද වෙනත් සංචාරවල මෙන් මගේ වැඩි අවධානය යොමුවූයේ පොතපතටය. බැංගලෝරයේදී මගේ මුල්ම මිලදී ගැනීම වූයේ කුෂ්වාන්සිංගේ නිර්මාණ අඩංගු සාහිත්‍ය කෘතියකි.  


Not a nice man know the rest of kushwantsing නමැති එම කෘතිය ඉන්දියාවෙන් යොදා ගත යුතු බඩු ලැයිස්තුවේ අඩංගු අංගයක් නොවුවද අනෙකුත් සියලු දේ පසෙකලා එහි බරපැන දැරීමට මා පෙළඹුණේ මහත් කැමැත්තෙනි.  


ඊළඟට මා මිලදී ගත්තේ 1997 බූකර් සම්මානය හිමිවූ ප්‍රකට ලේඛිකා අරුන්දති රෝයිගේ The god of small things නමැති නවකතාව සහ A/Chemist නමැති කතාවෙන් ප්‍රබන්ධ සාහිත්‍ය ලොව උඩුයටිකුරු කළ පවුලෝ කොයියෝගේ The Spy නවකතා ද්විත්වයයි. බැංගලෝරයේ පොත්රාක්ක අරක්ගත් ප්‍රකට ලේඛකයන්ගේ ජනප්‍රිය කෘති බොහොමයක් මා මිලදී නොගෙන මගහැරියේ සාප්පු සවාරියෙන් හිස් වූ පොකැට්ටුව දෙස බලා සුසුම් හෙලමිනි. ඉන්දීය කලා සංස්කෘතික කවුළුව පිළිබඳ දැක්මක් ඇතිකර ගැනීමට ආර්.කේ. නාරායන්ගේ කෘති කිහිපය වුවද ප්‍රමාණවත් නොවේදැයි මට නිකමට සිතිණි.  


නාරායන්ගේ කෘති කිසිවකුදු මා මිලදී නොගත්තේ ඔහු ලියූ බො​හෝ නවකතා මගේ කුඩා පුස්තකාලයේ සුරැකිව තිබෙන හෙයිනි. මෑතකදී අප අතරින් වියෝ වූ වී.එස්. නායිපොල්ද ඉන්දීය ජනතාවගේ මානසික භූගෝලය පුළුල් කළ කෘතහස්ත ලේඛකයෙකි. බැංගලෝර් සංචාරය නිමකර ඉන්දීය අසිරිය විඳිමින් අප සියලුදෙනාම පෙරළා ලංකාවට අවතීර්ණ වූයේ සංචාරයට සහභාගි වූවාටත් වඩා සතුටිනි.  

 

 


බැංගලෝර් නුවර සංචාරයෙන් පසු  


ශෂී ප්‍රභාත් රණසිංහ