බ්‍රහස්පතිද මාරක විය හැක


 

සූර ගුරු ලෙස හඳුන්වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා නෛසර්ගිකව සුබ ඵල දෙන බවට ප්‍රකාශ වේ. ධනු - මීන රාශි ද්විත්වය හිමි බ්‍රහස්පතිට පුනාවස, විද්‍යා පුවපුටුප නැකැත් ත්‍රිත්වයද හිමිවේ. ගුරුගේ මහ දශා කාලය වසර 16ක් වේ.  

සුබ පල ලබාදෙන බව ප්‍රකාශ කළද බ්‍රහස්පති මාරක අපල ලබාදෙන අවස්ථා ඇත. බ්‍රහස්පති විසිදෙවන දෙර්කානාධිපතියාවී ඔහුගේ දශා අනුදශා ලැබීම ශුභ නැත. වසර දොළහකට ආසන්න කාලයකදී රාශිචක්‍රය වටා ගමන් කරන ගුරු එක්රාශියකට පැමිණෙන්නේ වසර දොළහකට පසුවය. ගුරු වෘත්තිය වැනි අවවාද අනුශාසනා ලබාදෙන වෘත්තිකයන් බ්‍රහස්පති බිහිකරයි. එහෙත් තුන්වැන්නේ බ්‍රහස්පති සිටීම බාල සහෝදරයාට ශුභ නැත. බොහෝ විට බාල සහෝදරයකු නැත. සිටියත් තදින් විරසක ගති ඇතිවේ.  


ජන්ම කේන්ද්‍රයේ බ්‍රහස්පති සිටින ස්ථානයේ ගෝචරය එතරම් ශුභ නැති බව පෙනේ.  


එසේම ගුරු 7 වැන්නේ පිහිටා තිබීම යහපත් විවාහයක් සිදු කරදී නැවත 7 වැන්නේ ගෝචරවෙත්දී එනම් වසර 12කදී පමණ කිසියම් අකරතැබ්බයක් ඇති කරයි. මෙසේ වූ කේන්ද්‍ර කීපයක් හමුවී ඇති අතර විවාහ බිඳී ගිය අවස්ථාද ඇත. කොතරම් සුබ ග්‍රහයකු ලෙස සැලකූවද බ්‍රහස්පති ග්‍රහයා මාරක අපල ගෙනදී ඇත. මෙහිදී ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්තවලට වඩා පර්යේෂණ ජ්‍යෙතිෂය වැදගත් වේ.  


කටක ලග්නයේ ඉපිද ගුරු ලග්න ගතව උපන් ධනු නවාංශකයෙන් උපන් ධීවර තරුණයෙකුගේ කේන්ද්‍ර සටහනක් හමුවිය. ලග්නයේ බ්‍රහස්පති බලවත් වුවත් 64 වන නවාංශකාධිපති බ්‍රහස්පතී විය.  


මෙම තරුණයා බ්‍රහස්පති දශාව තුළදීම වයස 23ක් පමණ වන තුරුණු වියේම ඝාතනය විය. බලවත් ලග්නගත බ්‍රහස්පතිට ජීවිතය ගලවාදීමට නොහැකි විය. එහෙත් 64 නවාංශකාධිපති බ්‍රහස්පති වීම මරණයට හේතුවිය. පුද්ගලයා හොඳ ඇඟපත ඇති අයෙකි. දුර්වලයෙකු නොවේ. එහෙත් මග රැක සිටි පිරිසක් විසින් ඝාතනය කර ඇති බව ප්‍රකාශ වේ.  


ඉතින් බ්‍රහස්පති සුබ යෙක්ද? එබැවින් ග්‍රහයා සුබ තත්ත්වයේ කේන්ද්‍ර සටහනේ සිටියත් එයා මරණයට සම්බන්ධ ග්‍රහයෙකු නම් මාරක අපල ඇති කරයි. කොතරම් සුබ යයි සලකන ගුරු- සිකුරු වැනි ග්‍රහයින් විසිදෙක දෙර්කාණාධිපතිවීම හෝ 64 නවාංශකාධිපති වීම තුළින් කේන්ද්‍රයේ කුමන භාවයක සිටියත් අඩුපාඩු ඇති වේ.  


දැනට ගුරු ග්‍රහයා තුලා රාශියේ ගෝචර වේ. එවිට මීන ලග්න හිමියන්ගේ අටවැන්නේ ගුරුගෝචරය සුබ නැත. ලග්නාධිපති ගුරු අටවැන්නේ ගෝචරය සුබ නැත. න්‍යායාමත්මක ජ්‍යොතිෂ්‍ය කරුණු කෙසේ වෙතත් අත්දැකීමෙන් ලබාගත් දැනුම ඉතා වැදගත් වනු ඇත. එසේම අශුභ ග්‍රහයින් ලෙස සලකන කුජ- ශනි රාහු- කේතු වැනි ග්‍රහයින් ජන්මියා බොහෝ ඉහළ තත්ත්වවලට ඔසවා තබා සමාජයේ ඉහළ තත්ත්වයන් දරන අවස්ථා ඇත. සෙනසුරු කම්කරුවාය. ගොඩනැගිලි ද්‍රව්‍යවලින් ඉහළට ගිය අයගේ කේන්ද්‍ර සටහනේ සෙනසුරු බලවත්ය. ඔවුන් විශාල ව්‍යාපාරිකයින් වී ඇත.  


රාහු බලවත් අය විදේශ හා සම්බන්ධ හා ගමන් බිමන් සංචාරක ව්‍යාපාර ආදියේ ඉහළ තැන්වල සිටිති. මේ අනුව සුබ යයි පිළිගත් ග්‍රහයින්ගෙන් බලවත් අපල විපාක ඇතිවන අවස්ථා ඇත. ඒවා කේන්ද්‍ර සටහන තුළින් නිරීක්‍ෂණය කළ යුතුව ඇත.  

 

 

 


ඒ.ඩබ්. සරත් ආනන්ද  
පැලෑණ උතුර  
වැලිගම.