බ්‍රහස්පති ග්‍රහ ලොවක් නොව සූර්යයෙක් ?


දැනට උපග්‍රහයන් රැසක් සොයා ගෙන 
තවත් උපග්‍රහයන් සිය ගණනක් සිටින බවට සැක 

හිරුගේ සිට පස්වැනි ස්ථානයේ පිහිටි සෞරග‍්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බ්‍රහස්පති ග‍්‍රහයාය. බ්‍රහස්පති වායු ග‍්‍රහයෙකි. සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක අතර රජු බ්‍රහස්පති යැයි ද පැවැසෙයි. බ්‍රහස්පති සෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහලොව පමණක් නොවේ, සෞරග‍්‍රහ මණ්ඩල පරිණාමයේ ආදීතම සාමාජිකයකු ද වෙයි. බ්‍රහස්පතිගේ අසාමාන්‍ය ගති ලක්ෂණ හේතුවෙන් එය අප හිරුගේ රහස් සොහොයුරකු විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. 

බ්‍රහස්පති, වචනයෙන් විස්තර කළ නොහැකි තරමට, විකිරණ, කුණාටු පිරුණු ප‍්‍රචණ්ඩ මෙන්ම බිහිසුණු ග‍්‍රහලොවකි. බ්‍රහස්පතිගේ අභ්‍යන්තරය මොන වගේ දැයි සිතා ගැනීමට පවා නොහැක. ඇතැම් විට, බ්‍රහස්පති මතුපිට දියමන්ති වැසි වසිනවා විය හැකි යැයි විද්‍යාඥයෝ සැක පළ කරති. ඇමෙරිකාවේ නාසා ආයතනය, බ්‍රහස්පති ගවේෂණය සිදු කළේ ‘ජූනෝ’ මෙහෙයුම හරහාය. බ්‍රහස්පතිගේ රහස් සෙවීමේ ප‍්‍රධාන අරමුණ ඇතිව නාසා විද්‍යාඥයන් ජූනෝ මෙහෙයුම ඇරැඹුවේ 2011 වසරේදීය. ජූනෝ අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිගේ කක්ෂයට පිවිසුණේ පසුගිය 2016 දීය. ඉන්පසු එය බ්‍රහස්පතිගේ සමීප අති පැහැදිලි ඡායාරූප ගැනීම සිදු කරන අතර දත්ත රැස් කිරීමක් ද සිදු කෙරුණි. මේ වනවිට ජූනෝ බ්‍රහස්පතිගේ ගැඹුරු අබිරහස් එකිනෙක අනාවරණය කර ගනිමින් සිටී. ප‍්‍රචණ්ඩ මෙන්ම අතිබිහිසුණු කුණාටු, අභ්‍යවකාශය තෙක් ලාවා විදින අති බිහිසුණු ගිනි කඳු පිපිරීම් සිදුවන්නේ ඇයිදැයි විද්‍යාඥයන් සොයා දැන ගන්නේ ජූනෝගේ ආධාරයෙනි. 


බ්‍රහස්පති අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහයෙකු වුවත්, එය වඩාත් සමීප අනෙක් ග‍්‍රහයන්ට නොව, අප හිරුට යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එහෙයින්, බ්‍රහස්පති සැබැවින්ම, හිරුගේ ‘රහස් සොයුරා’ බවට ද අදහසක් පවතී. මෙය අලුත් අදහසකි. සෞරග‍්‍රහ මණ්ඩයේ දැවැන්තයා ​වන බ්‍රහස්පති මුළුමනින්ම පාහේ නිර්මාණය වී ඇත්තේ හයිඩ‍්‍රජන් සහ හීලියම්වලිනි. බ්‍රහස්පති සැතපුම් 85,000 ක් පුරා පැතිර පවතී. බ්‍රහස්පති සැබැවින්ම විශාලය. පෘථිවි 1,000 ක් එය තුළට දැමිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 


බ්‍රහස්පතිට චන්ද්‍රයෝ 67 කි. විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වී ඇත්තේ චන්ද්‍රයන් 67 ක් වුවත්, තවත් චන්ද්‍රයන් දහස් ගණනක් සිටිය හැකි බවට අනුමාන කෙරේ. බ්‍රහස්පති පිහිටි ස්ථානය කුඩා සෞරග‍්‍රහ මණ්ඩලයක් වැනි යැයි ද පැවැසෙයි. බ්‍රහස්පතිගේ පමණක් නොව, බ්‍රහස්පති වටා ඇත්තේ ද අති ප‍්‍රචණ්ඩකාරී වටපිටාවකි. එපමණක් නොවේ, බ්‍රහස්පති සාමාන්‍ය ග‍්‍රහලොවකට වඩා වෙනස් වෙයි. 


බ්‍රහස්පති නිර්මාණය වූයේ සෞරග‍්‍රහ මණ්ඩලය උපත ලබද්දීය. බ්‍රහස්පති නිර්මාණය වී ඇත්තේ ද අප හිරු නිර්මාණය වී ඇති දේවල්වලිනි. ඒ අනුව බ්‍රහස්පති සැබෑම අබිරහසකි. එය රහස් සඟවා ගත් තරුවක් විය හැකි යැයි සැක මතුවී ඇත්තේ ඒ නිසාය. 


ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ, ඉදිකර අති දැවැන්ත රේඩියෝ එසේත් නැතිනම් ගුවන් විදුලි දුරේක්ෂවල අරමුණ විශ්වයෙන් ලැබෙන ගුවන් විදුලි (රේඩියෝ) සංඥාවලට සවන්දීමය. නාසා විද්‍යාඥ ස්ටීව් ලෙවන් බ්‍රහස්පතිගේ රහස් අනාවරණය කරදීමෙහිලා පුරෝගාමියෙකි. 


‘අප බ්‍රහස්පති ගැන දන්නේ වසර දහස් ගණනක් තිස්සේ. පෘථිවියේ දුරේක්ෂ ආධාරයෙන් මුලින්ම අධ්‍යයනය කෙරුණු ග‍්‍රහ වස්තුව ලෙස සැලකෙන්නේත් බ්‍රහස්පති. තාක්ෂණය දියුණු වෙද්දී අප රේඩියෝ දුරේක්ෂ යොදා ගෙන විශ්ව ගවේෂණ කටයුතු සිදු කරන්න ගත්තා. එවිට අපට බ්‍රහස්පති ගැන මහ පුදුමාකාර කරුණු කාරණා රැසක් දැනගන්න ලැබුණා’ යැයි ස්ටීව් ලෙවන් පෙන්වා දෙයි. 


රේඩියෝ දුරේක්ෂවලින් බ්‍රහස්පතිගෙන් නිකුත් ​ෙවන රේඩියෝ සංඥා හසුකර ගැනීම සිදුවෙයි. බ්‍රහස්පතිගෙන් නිකුත් ​ෙවන රේඩියෝ සංඥා අප සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් ග‍්‍රහලෝකවලින් නිකුත් ​ෙවන රේඩියෝ සංඥාවලට වඩා වෙනස්ය. ග‍්‍රහලොවකින් එවැනි ආකාරයට රේඩියෝ සංඥා ලැබේවිදැයි තාරකා විද්‍යාඥයන්ට විශ්වාස කිරීමට පවා නොහැකිය. 


‘‘විශ්වයෙන් අපට ලැබුණු මහා පරිමාණයේ රේඩියෝ සංඥා ගැන මුලින් අප පුදුමයට පත්වුණා. ඒත් වැඩිදුර සොයා බලද්දී අපට පැහැදිලි වුණා ඒවා පැමිණෙන්නේ බ්‍රහස්පති ග‍්‍රහයාගෙන් බව. බ්‍රහස්පතිගෙන් නිකුත් වන්නේ එහි ප‍්‍රමාණයටත් වඩා විශාල වඩා දීප්තිමත් ගුවන් විදුලි සංඥා.


මේ ගුවන් විදුලි සංඥා නිර්මාණය වී ඇත්තේ, චුම්බක ක්ෂේත‍්‍රය සමඟ ගැටෙන ආරෝපණය වූ කුඩා අංශුවලින් යැයි විශ්වාස කෙරේ. ග‍්‍රහලෝක බොහොමයකට චුම්බක ක්ෂේත‍්‍ර ඇත. කෙසේ නමුත් බ්‍රහස්පතිට ඇත්තේ අනෙක් ග‍්‍රහයන්ගේ චුම්බක ක්ෂේත‍්‍ර පරයන විදියේ චුම්බක ක්ෂේත‍්‍රයකි. ජූනෝ ගවේෂණ යානයට හැකිවුණා බෘහස්පතිගේ චුම්බක ක්ෂේත‍්‍රය පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍රයට වඩා 10 ගුණයක් ශක්තිමත් බව පෙන්වා දෙන්න. 
‘‘බ්‍රහස්පතිගේ මේ ආකාරයට අති දැවැන්ත චුම්බක ක්ෂේත‍්‍රයක් නිර්මාණය වීමට හේතුව කුමක් විය හැකිද? විද්‍යාඥයන්ගේ අදහස වන්නේ එය අපට ආගන්තුක නොවන, බ්‍රහස්පති අභ්‍යන්තරයේ රසායන ක්‍රියාවලියක ප‍්‍රතිඵලයක් විය හැකි බවය. 


පෘථිවියේ සිට සැතපුම් මිලියන 300 ක් දුරින්, පිහිටා ඇති බ්‍රහස්පති තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ ‘වායු යෝධයකු’ කියාය. බ්‍රහස්පති මුළුමනින්ම පාහේ නිර්මාණය වී ඇත්තේ හයිඩ‍්‍රජන් වායුවෙන් වීම ඊට හේතුවයි. අපේ හිරු තරුවකි. හිරුත්, සෙසු තරුත් සෑදී ඇත්තේ හයිඩ‍්‍රජන්වලිනි. වලාකුළුවලින් පිරුණු ප‍්‍රචණ්ඩකාරී වායුගෝලයට යටින් ඝනකම් කළු පැහැති ද්‍රව බෝලයක් ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. අධික පීඩනයත්, උෂ්ණත්වයත් මුල්කොට ගනිමින්, හයිඩ‍්‍රජන් වායුවෙන් මෙම අමුතු විදියේ ද්‍රව බෝලය නිර්මාණය වී ඇතැයි විශ්වාස කෙරේ. බ්‍රහස්පතිගේ යෝධ චුම්බක ක්ෂේත‍්‍රය පිහිටා ඇත්තේ මේ කළු පැහැති අඳුරු ද්‍රව බෝලය වටා යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. ඉදිරියේ දී මේ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. 

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
ඩිස්කවරි නාළිකාවේ ‘ද ප්ලැනට්ස්’ ඇසුරිනි